
පෝරුතොට ලෙල්ලම යනු හුදෙක් මාළු අලෙවි කරන වෙළෙඳපොළක් පමණක් නොව, දිවිසැරිය සරිකර ගන්නට වෙර වීරිය දරන දිරිය ගැහැනුන්ගේ සංග්‍රාම භූමියක හරස්කඩක් යැයි කීවොත් එය අතිශයෝක්තියක් නොවේ.
හිමිදිරි උදෑසන සයුර පිසගෙන හමා එන චණ්ඩ සුළඟින් සිව්ගතම සැලෙද්දී, ලොකු තියුණු පිහියක් අතැතිව මැෂින් මෙන් දෑත් හසුරුවමින් ලොකු කුඩා මාළුන් ශුද්ධ කෙරී කුට්ටි කරන කතුන් ගේ දසුන් කෙනෙකු තුළ සොව පිරි අභිමානනීය හැඟුම් ජනිත කරවනවාට සැකයක් නැත. සොව නම් ජීවිතය ගැටගසාගන්නට අවඅප්‍රසාදිත ජනයා විඳින දුක්ගැහැට ගැන සිහිපත් විය. අභිමානය නම් පිරිමින් හා කරට කර යමින් ජීවිතය ජීවත් කරවන්නට වෙර දරන කාන්තාවන්ගේ ධෛර්යය, කැපවීම, හා අධිෂ්ඨානය විචිත්‍රව ප්‍රක්ෂේපණය වෙන නිසාවෙනි.
ඒ දෑත් මාළු ලෙයින් තෙත් වී තිබුණත්, ඒ රළු ඇඟිලි තුඩුවලින් ඇය රකින්නේ තම දරුවන්ගේ අනාගතයයි. පෝරුතොට ලෙල්ලමේ හඬ උස්වෙන්නේ, කතාබහ වෙන්නේ, මිල ගණන් තීරණය වෙන්නේ කාන්තාවන්ගේ හඬිනි.
කිලෝ ගණන් බර මාළු තියුණු පිහියක් අතට ගත් මොහොතේම, කැබලිවලට කැපෙන්නේ කාන්තා දෑතිනි. ඒ චලනවල වේගය බලන කෙනෙකුට, එය හුදෙක් රැකියාවක් නෙව ජීවිතය ඉගෙනගත් කලාවක් සේ පෙනේ.
පෝරුතොට ලෙල්ලමේ විශේෂත්වයක් ඇත. මෙහි මාළු කපන්නෙත්, සුද්ද කරන්නෙත්, තරාදියට දාන්නෙත්, මිල කියන්නෙත් කාන්තාවන් විසින් වීමය. උදෑසනින්ම ගෙවල්වලින් පිටත් වෙන ඔවුන්, දවස පුරා වෙහෙස දරාගෙන, සවසට ආපහු යන්නේ හිස් අතින් නොව පවුලක් රැකගත් ගෞරවයත් සමගය. ඇගේ දෑත් මෘදු නැත. කලක් තිස්සේ කරදියට පෙඟී, මාළු කොරපොතුවලට කැපී, ලුණු වතුරට පෑරුණු ඒ රළු ඇඟිලිවල ඇත්තේ ජීවිතය ඉල්ලන මහා අරගලයකි. සරලවම කියනවා නම් පිරිමි ආධිපත්‍යය රජයන බොහෝ ලෙල්ලම්වලට වඩා පෝරුතොට ලෙල්ලමේ තමන්ගේම අනන්‍යතාවක් ගොඩනගාගත් මේ ගැහැනුන්ගේ කතාව ලුණු රසටත් වඩා සැරය.
පෝරුතොට ලෙල්ලම හුදෙක් මාළු වෙළෙඳපොළක් පමණක් නොව කාන්තාවන්ගේ සැදුම්ලත් ධෛර්යමත් වෙළෙඳපොළකි.
පෝරුතොට ලෙල්ලමේ මේ කාන්තාවන්ට මාළු කපන පිහිය අලුත් දෙයක් නොවනු ඇත. ඒ ඔවුන්ගේ අත්වලට පුරුදු වුණේ ඊයේ අද නෙව පරම්පරා ගණනාවක් තිස්සේය. අද විශාල මාළු කපමින් වෙළෙඳාම කරන බොහෝ කාන්තාවන්, කුඩා කාලයේදීම මේ ලෙල්ලමට අඩිය තැබූ අයය. කුඩා කාලයේ සිටම මෙවැනි රැකියාවට යන්නේ පියා පිටුපසින් පිරිමි දරුවන් වුවද, පෝරුතොට ලෙල්ලමේ මව පිටුපසින් ආවේ ගැහැනු දරුවන්ය. කෙනෙකු පාසල් නිමවී එන සවස් කාලය ක්‍රීඩා පිටියක් වුණා නම්, ඔවුන්ට ඒ කාලය වුණේ මාළු සෝදා, තරාදි අල්ලලා, මිල කියන ලෝකයකි.
“අපේ අම්මාත් මේකම කළා ආච්චි ගෙන් තමයි අම්මා ඉගෙන ගත්තේ මේ උරුමය මට අවේ මගේ අම්මා ගෙන්.”

කියන වාක්‍යය බොහෝ දෙනාගේ මුවින් කියැවේ. ඒ වචනවල තියෙන්නේ හුදෙක් මතකයක් පමණක් නෙව උරුමයකි. ජීවිතය ගෙනියන්න ඉගෙනගත්, අත්පොත් නොව, අත්දැකීම්වලින් ලියැවුණු වෘත්තීය උරුමයකි. මාළු පිහිය අල්ලන අන්දම, මාළු කපන නිවැරදි තැන, මස් හා කටු වෙන් කරන වේගය මේවා පාසලක ඉගැන්වෙන දේවල් නොව අම්මා ගෙන් දුවට, නැන්දා ගෙන් මිතුරියට, පරම්පරාවෙන් පරම්පරාවට පාවී ආ ජීවන දැනුමකි. ඒ නිසාම, පෝරුතොට ලෙල්ලමේ මේ රැකියාව හුදෙක් ආදායම් මාර්ගයක් විතරක් නොව එය පවුල් ඉතිහාසයක්, කාන්තා ශක්තියක්, සහ පරම්පරාවෙන් පරම්පරාවට සුරකිමින් ආ ජීවන උරුමයකි.
පෝරුතොට ලෙල්ලමේ දවස ඇරඹෙන්නේ අලුයම දෙකට තුනට ලාම්පු එළියෙන්ය. ගම්මාන වල තවම අඳුර නොහැරී තිබෙන පාන්දර වේලාවට, ඔවුන් ගෙවල් වලින් පිටත් වෙන්නේ නිදිමත තවම ඇස් බැඳී තිබියදී මය. කුඩා කෑම පාර්සලයක්, තුවායක්, සහ දවස ගැටෙන්න අවශ්‍ය දිරිය අරගෙන ඔවුන් එන්නේ ලෙල්ලමටය. මුහුදු තීරයට ළඟාවෙද්දී ඈතට දිස්වෙන්නේ දියමත හෙමින් හෙමින් ඇදෙන බෝට්ටුය. රාත්‍රිය පුරා මුහුදේ සටන් කොට, මාළු බරින් බරව ආපසු එන ඒ බෝට්ටු, මේ කාන්තාවන්ට හෙට දවසේ බලාපොරොත්තු වගේය. බෝට්ටුව වෙරළට තැන්පත් වෙනවිටම, ලෙල්ලම ජීවිතයෙන් පිරෙන්න පටන්නේ පුදුමාකාර සතුටකිනි.
“දැල ආවා, මාළු ආවා, බෝට්ටු ආවා, කියන හඬත් එක්ක කූඩ, තැටි, බාල්දි අතට ගත් කාන්තාවන් වට වෙන්නේ ඉක්මනිනි. තවම මුහුදු වතුර වැගිරෙන, නැවුම් දිලිසෙන විශාල මාළු බෝට්ටුවෙන් ගොඩබස්සන මොහොත, එතැන තියෙන්නේ කාර්ය බහුලත්වයත්, උද්‌යෝගයත් එකට මිශ්‍ර වූ දර්ශනයකි.
එතැනින් පටන් ගන්නේ මිලගණන් කතාබහ, වෙන්කර ගැනීම්, තරාදි තැබීම්ය. හුරු අත් දෙකින්වි ශාල මාළු ඔසවා, තම තමන්ගේ ස්ථාන වෙත ගෙන යන ඔවුන්, දවසේ වෙෙළඳාමට සූදානම් වෙන්නේ හිරු නැගෙන්නත් පෙරය.
ඒ පාන්දර ගමනත්, බෝට්ටු ගොඩ බැස්සෙන ඒ උද්‌යෝගිමත් මොහොතත් පෝරුතොට ලෙල්ලමේ කාන්තාවන්ගේ ජීවිතයේ දිනපතා නැවත නැවත ලියැවෙන, වෙහෙසත් බලාපොරොත්තුවත් එකට ගැළපෙන ආරම්භයකි.
“මගේ නම රූපා නන්දනී. මාළු කපන්න මෙතැනට ඇවිත් දැන් අවුරුදු 20ක් විතර වෙනවා. මගේ අක්ක තමයි මුලින්ම මාළු කැපුවේ. ඉස්සර එයා මාළු කපද්දි මම ළඟට වෙලා එයාට උදව් කලා. මුලින්ම අක්ක මට මාළු සුද්ද කරන්න කියලා දුන්නා. ඊළඟට පොඩි මාළු කපන හැටි ඉගැන්නුවා. දැන් ඕනැම ලොකු මාළුවෙක් කපන්න පුළුවන්. මඩුවා වුණත් මට කපන්න පුළුවන්. මාළු කපනවා කියන්නේ ලේසි පාසු රස්සාවක් නෙමෙයි.."

පෝරුතොට ලෙල්ලමේ මේ කාන්තාවන් ගේ අත් බලද්දී, ඒවා හුදෙක් වැඩකරන අත් දෙකක් විතරක් නෙවෙයි. දවස පුරා ලුණු මිශ්‍ර වතුරට පෙඟී තිබෙන නිසා, ඔවුන්ගේ අත් සුදුමැලි වී, තැන් තැන්වල පිපිරීම් පවා පෙනෙයි. නියපොතු යට ලුණු, මාළු රුධිරය, සීතල වතුර මේ හැමදේම අතරින් ඒ අත් විවේකයක් නොලැබීමෙන් වෙහෙසට පත් වී තිබේ.
විශාල මාළු ඔසවන්න, කපන්න, සෝදන්න මේවා බලන කෙනෙකුට ලෙහෙසි වගේ පෙනුණත්, ඇත්තටම ඒ ශාරීරික ශක්තිය අත්‍යවශ්‍ය වන කටුක රැකියාවකි. කිලෝ ගණන් බර මාළු දිගටම අතට ගන්න කොට අත, බාහු, පිට සම්පූර්ණ ශරීරයම වෙහෙසට පත් වේ. කැපුම්, සීරීම්, පිහිය වැදුණු ලකුණු මේවා ඔවුන්ට අලුත් දෙයක් නෙවෙයි. ඒවා ඔවුන්ගේ රැකියාවේ නිහඬ සාක්ෂි වගේය. නමුත් ඒ වේදනාවත් එක්ක වැඩ නවත්වන්න ඔවුන්ට ඉඩක් නැහැ. දවස නවත්වන්න බැරි නිසා, ඔවුන්ගේ අත්ද නවත්වන්නේ නැත.
ඒක ඇගේ හයියට, හිතේ දිරියට, පවුලේ වගකීමට කරන සටනකි.
ඒ නිසාම පෝරුතොට ලෙල්ලමේ මේ කාන්තාවන්ගේ අත් බලද්දී පෙනෙන්නේ වෙහෙස විතරක් නෙව ජීවිතය රැකගත් ගෞරවයත් එක්ක ලියැවුණු ශක්තිමත් කතාවකි.
"මගේ නම ධම්මිකා. මගේ වයස දැන් අවුරුදු තිහයි. මගේ අම්මා මුලින්ම මෙතන මාළු කැපුවා. මගේ අම්මා අසනීප වෙලා අංශභාගේ හැදුණා. ඒ නිසා කරගන්නම දෙයක් නැති නිසා මගේ අවුරුද්දේ දරුවාව අම්මා ළඟ තියලා මම මාළු කපන්න ලෙල්ලමට ආවා. අම්මා මාළුකපද්දී මම ඒ දිහා බලාගෙන ඉඳලා තියෙනවා. ඒ නිසා අම්මා ළඟ දරුවාව තියලා මම මෙතනට ආවා. අද වෙද්දී ඕනෑම මාළුවෙක් සුද්ද කරන්න, කපන්න මට පුළුවන්. දවසේ වැඩි කාලයක් අතේ වතුරට පෙඟිලයි තියෙන්නේ. ඒ නිසා අත් දෙක වතුරේ පෙඟෙද්දී අමාරුවක් නැහැ. හැබැයි ගෙදරට ගියහම උරපතේ ඉඳන් යටි පතුල වෙනතුරා රිදෙනවා. පැය ගානක් මෙතන එක තැන හිටගෙන රස්සාව කරන එක ලෙහෙසි නැහැ. අවුරුදු ගානක් ගියත් තාමත් ඒ ඇඟේ පතේ වේදනාව තියෙනවා. උදේ හතර අපි මාළු ගන්න මෙතනට එනවා. දැන් මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම ඉස්කෝලේ යනවා. ඒ හැම දෙයක්ම කරන්නේ මේ රස්සාවෙන්. මේ රස්සාව අතහැරලා දාලා ගෙදර නවතින්න අනන්තවත් හිතිලා තියෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ තාමත් අපිට ඉන්න තැනක් නැහැ. කුලී ගෙවාගෙන දරුවන්ට උගන්නගෙන ජීවිතේ ගැට ගහන්න කරන මේ රස්සාව හරි අමාරුයි."
පෝරුතොට ලෙල්ලමේ අත් බලයෙන් ජීවිතය ගෙනියන කාන්තාවන් අතර, තරුණ වයසේම මේ රැකියාවට බැඳුණු තරුණියන් කිහිප දෙනෙක්ම දැකගන්න පුළුවන. ඔවුන්ගේ ජීවිත කතාව, ඒ වයසට සාමාන්‍යයෙන් ලියැවෙන සිහින කතාවක් නෙවෙයි.
එක වයසේ වෙනත් තරුණියන් උදෑසන කාර්යාලවලට, වෙළෙඳසල්වලට, හෝ වෘත්තීය රැකියාවන්ට ලස්සනට ඇඳපැලඳ ගෙන යන වෙලාවේ, ඇය ගමන් කරන්නේ වෙනම මාවතකය. ඇගේ අතේ බෑග් එකක් වෙනුවට ඇත්තේ පිහියක් ය. සුවඳ විලවුන් වෙනුවට, ඇගේ වටා පැතිරෙන්නේ මාළු පිළීගඳ දෙන තද ගඳකි.
උදෑසනම පැරණි ඇඳුමක් ඇඳගෙන, හිසට තුවායක් බැඳගෙන, ඇය ලෙල්ලමට එන්නේ සිහින ලෝකයකට නොව ජීවිත සටනකටය. විශාල මාළු අතට ගන්න, කපන්න, සෝදන්න මේවා ඇගේ දෛනික වැඩ කොටසකි. ඒ අතරින් ඇයගේ අත, ඇඟ, ඇඳුම් හැම දේම මාළුපිළී, ලුණු වතුර, වෙහෙසින් පිරී යයි.
කෙසේ වෙතත්, ඇගේ හිත තුළ තියෙන්නේ අසරණකමක් නෙවෙයි. පවුලේ බර සැහැල්ලු කරන්න, දරුවන්ට හෝ දෙමාපියන්ට උදව් වෙන්න, ජීවිතය ඉදිරියට ගෙනියන්නය. ඒ වගකීමට ඇය මේ රැකියාවට බැඳී ඇත.
වෙනත් තරුණියන් ලස්සනට ඇඳගෙන ජීවිතය හදද්දී, ඇය ජීවිතය හදන්නේ අතේ තියුණු පිහියක්, වටා මාළු ගඳ, හිතේ දිරිය සමගය.

ඒ නිසාම, ඇගේ කතාව දුක්බර කතාවක් විතරක් නෙවෙයි වයසට වඩා බර වගකීම් උසුලමින්, ජීවිතය සමඟ සටන් කරන දිරිය තරුණියකගේ සැබෑ ජීවිත කතාවකි.
"මගේ නම ඇසිලින්. මගේ වයස දැන් අවුරුදු හැත්තෑ එකයි. මගේ නැන්දම්මා තමයි මට මුලින්ම මේ රස්සාව පුරුදු කළේ. මම සිංහල. හැබැයි මට සිංහල, මුස්ලිම්, දමිළ, භාෂා තුනම කතා කරන්න පුළුවන්. මෙතන ඒ හැම ආගමකම ජාතියකම අය වැඩ කරනවා. ඒ නිසා අපිට ඒ හැම භාෂාවක්ම දැන් හොඳට පුළුවන්. මට දුවලා දෙන්නෙක් ඉන්නවා. ඒ අය මේ රස්සාව කරන්නේ කැමති නැහැ. සාමාන්‍යයෙන් මේ රස්සාවෙන් දවසකට රුපියල් පන්දාහක් වගේ මුදලක් අතට හොයා ගන්න පුළුවන්. "අපේ ජීවිතේ ඉතින් මේ පිහිය වගේම තමයි ..."
පෝරුතොට ලෙල්ලමේ මේ කාන්තාවන් අතර වෙනසක් හොයන්න ගියොත්, හමුවෙන්නේ නාමයන් පමණය. හදවත්වල වෙනසක් නෑත. ජාතිය, ආගම, කුලය කියන සීමාවන් එතැනට ඇතුළු වෙන්නෙත් නැති තරම්ය. ලුණු වතුර, මාළු ගඳ, වෙහෙස මේ හැම දේම ඔවුන්ව එකම රේඛාවක ගෙනා එකම බැඳීමක් වී තිබේ. එක් අයෙකුට වැඩ බර වුණාම, අනිත් අයෙකු අත දිගු කරයි. කෙනෙකුගේ කූඩ ඉක්මනින් හිස් කරන්න, කෙනෙකුගේ මාළු කපන්න, කෙනෙකුගේ තරාදි අල්ලන්න මේවා ඔවුන් අතර ලිඛිත නොවූ එකඟතාය. කතා නොකළත්, එකිනෙකාගේ වෙහෙස තේරුම් ගන්න හිත ඔවුන්ට තිබේ.ඒ නිසා පෝරුතොට ලෙල්ලම යනු, මාළු වෙෙළඳාම පමණක් සිදුවෙන තැනක් නෙවේ. එය, ජාති ආගම් කුල භේද ඉක්මවා, වෙහෙසත් ජීවිතයත් එකට බෙදාගන්නා මිනිස් එකමුතුකමේ තෝතැන්නකි .
"මගේ නම චන්ද්‍රිකා. පෝරුතොට ලෙල්ලමේ මාළු බිස්නස් කරන්න පටන් අරගෙන දැන් මම අවුරුදු තිහක් විතර වෙනවා. මගේ අම්මා මුලින්ම කොච්චිකඩේ මාළු බිස්නස් කළා. අම්මගේ තනියට මාත් මාළු කපන තැනට ගියා. මට අක්කලා දෙන්නෙක් ඉන්නවා. අම්මා ගෙන් අක්කල මාළු කපන්න පුරුදු වෙලා අක්ක මට මාළු කපන්න කියලා දුන්නා. මුලින්ම පොඩි මාළු කැපුවා. දැන් නම් ඕනම මාළුවෙක් කපන්න පුළුවන්. හැබැයි දැන් ඇඟට හරි වෙහෙසයි. මාළු කපද්දි හරි අමාරුයි. මේ පිහිවලින් හැමෝටම කපන්න බැහැ. ඉස්සර අපේ අම්මලා මේ පිහි අපිට අල්ලන්නවත් දුන්නේ නැහැ. අපෙන් පස්සේ මේ රස්සාව කවුරුත් කරන එකක් නැහැ. අපි වගේ අපේ දරුවෝ මාළු බිස්නස් කරන්න කැමති නැහැ. "
ඒ තවත් මාළු වෙළෙන්දියකගේ අදහසයි. ගිනිගහන හිරු යට, ලුණු වතුරට පෙඟී, මාළු පිළීගඳත් එක්ක දවස ගෙවා දමන මේ කාන්තාවන්ගේ ජීවිතය, සවස ලෙල්ලම නිහඬ වෙද්දී තාවකාලිකව විවේක ගනී. නමුත් ඔවුන්ගේ සටන අවසන් වෙන්නේ නැත. හෙට දවසත් එලෙසම නැවත ආරම්භ වෙන බව ඔවුන් දනී.පරම්පරාවෙන් උරුම වූ මේ රැකියාව, ඔවුන්ගේ දරුවන්ටත් එලෙසම උරුම වෙයි ද? නැත්නම්, ඔවුන් දරාගෙන ගිය මේ වෙහෙස, ඊළඟ පරම්පරාවට සැහැල්ලු හෙටක් හදයි ද? ඒ ප්‍රශ්නයට පිළිතුර තවම ඇත්තේ කාලයත් සමගය.
නමුත් එක දෙයක් නම් පැහැදිලිය.මේ කාන්තාවන් අද කපන්නේ මාළු විතරක් නෙවෙයි.ඔවුන් දුප්පත්කම, අභියෝග, ජීවිත බර ද කපන්නේය.
ඔවුන් සුද්ද කරන්නේ මාළු විතරක් නෙවෙයි. තම දරුවන්ගේ හෙට දවසට මාර්ගය ද ඔවුන් කපයි.ඒ නිසා, පෝරුතොට ලෙල්ලමේ හිරු බැස යද්දී,බිම පුරා රැඳෙන්නේ මාළු පිළී සුවඳ විතරක් නෙවෙයි අද දවස ජයගත් කාන්තාවන්ගේ නිහඬ අභිමානයත්ය.
“මොවුන්ගේ හෙට දවස කෙසේ වේද?” එය තවම ප්‍රශ්නයක් වුණත්, ඔවුන්ගේ දිරිය බලද්දී, ඒ හෙට දවස අදට වඩා සැහැල්ලු වේවි කියලා විශ්වාසය තැබීමට හැකිය.
දිශානි ජයමාලි කරුණාරත්න
ඡායාරූප: ඉසුරු පෙරේරා

