නැවත ඒකාධිපතිත්වය ශක්තිමත් කිරීමයි මේ කරන්නේ


සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ 

  • අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා ඒක ඔළුවේ තියාගෙන මේක ගෙනත් හරියන්නේ නෑ
  • ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ​ෙවන ව්‍යවස්ථා වෙනසක් බලාපො​රොත්තු වුණේ නෑ  

 

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉකුත්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එදින විපක්ෂය පාර්ලිමේන්තුව දෙවනත් කළේය. විපක්ෂයේ විරෝධය එතැනින් කොතැනටද? මේ ඒ ගැන විමසමින් සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා සමග කළ සාකච්ඡාවකි. 

ප්‍රශ්නය: 20ට විරෝධය මෙතැනින් කොතැනටද? 
 
පිළිතුර: 20ට විරෝධය මෙතැනින් අධිකරණයටත් ජනතාව අතරටත් ගෙනයාම තමයි අපේ බලාපොරොත්තුව. ශක්තිමත් විපක්ෂයක් හැටියට අපි ජනතාව වෙනුවෙන් ජනතාව ඉදිරියේදී මුහුණදීමට නියමිතව ඇති උවදුරෙන් මුදවා ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් සටන් කරනවා. ආණ්ඩුව හිතනවා නම් හිතුවක්කාරී ලෙස හා අත්තනෝමතික ලෙස කටයුතු කරන්න පුළුවන් කියලා ඒක එහෙම නොවෙයි කියලා අපි ඔප්පු කරනවා. 
 
ප්‍රශ්නය: ආණ්ඩුව කියනවා අපිට තුනෙන් දෙකක ජන වරමක් ලැබිලා තියෙනවා. ඒ නිසා ව්‍යවස්ථා සංශෝධනයකට යන්න පුළුවන් කියලා. 
 
පිළිතුර: ඔය තුනෙන් දෙකක බලය ඉල්ලනකොට ඒ අය ගේන ව්‍යවස්ථාව මෙන්න මෙහෙම එකක් කියලා පෙන්නුවේ නැහැ. ව්‍යවස්ථාවක් ගේනවා කියලා කිව්වා. ඒක හරි. ඒත් මේ වගේ විනාශකාරී ව්‍යවස්ථාවක් තමයි ගේන්නේ කියලා කිව්වේ නෑ. ගේන්නේ මේක කියලා කිව්වා නම් තුනෙන් දෙකක බලය තියා ආණ්ඩුවවත් ඒ අයට ලැබෙන්නේ නෑ. ඒ නිසා ජන වරම වැරැදි විදියට කියවා ගන්න එපා කියලා මම කියනවා. ඒ නිසා තුනෙන් දෙකක බලයක් ලැබුණා කියලා මර්දනකාරී ව්‍යවස්ථා, අණ පනත් ගේනවා නම් ඒක වැරදියි. 
ප්‍රශ්නය:නමුත් ආණ්ඩුවේ තර්කය...? 
 
පිළිතුර: පොඩ්ඩක් ඉන්න. ඔව්. ජනතාවත් ව්‍යවස්ථා වෙනසක් බලාපොරොත්තු වෙලා තුනෙන් දෙකක බලයක් දුන්නා කියලා හිතමු. නමුත් ඒ ජනතාව තුළ තමන්ගේ අයිතීන් තමන් භුක්ති විඳිමින් සිටින ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය උදුරා ගන්න ව්‍යවස්ථා වෙනසක් බලාපොරොත්තු වුණේ නෑ කියන එකත් ඒකාන්ත වශයෙන්ම අපිට පිළිගන්න වෙනවා. ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන ආකාරයේ ව්‍යවස්ථා වෙනසක් කොහොමටවත් ජනතාව බලාපොරොත්තු වුණේ නෑ. 
 
ප්‍රශ්නය:ආණ්ඩුව කියනවා 20 ගෙනාවේ තාවකාලිකව. අලුත්ම ව්‍යවස්ථාවක් හදලා රටට ඉදිරිපත් කරනවා කියලා? 
 
පිළිතුර: අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා ඒක ඔළුවෙ තියාගෙන මේක ගෙනල්ලා හරියන්නේ නැහැ. එහෙම නම් අලුත්ම ව්‍යවස්ථාව ගෙනාව නම් ඉවරයිනේ. අලුත් එකක් ගේන නිසා 20 තියෙන භයානකම දිහා බලන්න අවශ්‍ය නෑ. මේක මේ ටික කාලයකටනේ එහෙම කියලා අපිට එකඟ වෙන්න බෑ. 
 
ද්විත්ව පුරවැසිභාවය වගේ දේවල් ඇතුළත් කිරීම හරහා අපට පේනවා ආණ්ඩුව ජනතාව දිහා බලලා නොවෙයි තමන් ගැන හිතලා තමන්ගේ පවුල ගැන හිතලා තමයි මේක ගෙනාවේ කියලා. ඒ වගේම ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීම මේ හරහා සිද්ධ වෙනවා. අපිට ඒකට සාධාරණ හේතුවක් කියන්න. ස්වාධීන කොමිෂන් සභා නිසා තියෙන බාධාව මොකක්ද කියලා කියන්න. විගණනය මේ රටට අනවශ්‍යද? විගණනය අහෝසි වුණාම චෞර කප්පිත්තන් අතට නේද බලය යන්නේ? 
 
ජනාධිපතිවරයාගේ මුක්තිය ආරක්ෂා කිරීම දැන් බලන්න. ජනාධිපතිවරයා ගන්නා තීරණයක් නිසා පුරවැසියකුගේ අයිතිවාසිකමක් උල්ලංඝනය වෙනවා නම් ඒකට එරෙහිව අධිකරණයට යෑමට තිබෙන බලය ඉවත් කරනවා නම් ඔබට වුණත් හෙට දවසේ අත්වන ඉරණම ඉතාම පැහැදිලියි. ඔබේ මානව හිමිකම් කඩ වුණොත් ඔබට උඩ බලාගෙන ඉන්න තමයි වෙන්නේ. ඒ නිසා මේ රටේ ජනතාව පක්ෂ පාට බේදයකින් තොරව ​මේකේ අවදානම, භයානකකම තේරුම් ගන්න ඕනෑ. 
 
ප්‍රශ්නය:ඔබලාගේ යහපාලන ආණ්ඩුව ගෙනාව 19 වැනි සංශෝධනයෙ තිබුණ අඩුපාඩු නිසානේ 20 ගේන්න වුණේ? 
 
පිළිතුර: ඒ අඩුපාඩු නිවැරදි කර ගන්න නොවෙයිනේ මේ යන්නේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතාවගේ පරමාධිපත්‍ය බලය තමයි ශක්තිමත් වුණේ. 20න් ඒ ජනතා පරමාධිපත්‍ය අහෝසි වෙලා නැවත ඒකාධිපතියෝ ශක්තිමත් කරන තනි පවුලක් ශක්තිමත් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. 
 
ප්‍රශ්නය: කොහොම වුණත් 19න් රාජ්‍ය දුර්වල වුණා. තීන්දු තීරණ ගන්න කෙනෙක් නෑ. වගකියන්න කෙනෙක් නෑ. පාස්කු ප්‍රහාරයෙන් පවා ඔප්පු වුණේ ඒකයි? 
 
පිළිතුර: එහෙම නම් ඒ ප්‍රශ්නවලට උත්තර ලැබෙන සංශෝධන තමයි ගේන්න ඕනෑ. 19 නිසා මේ මේ කාරණා නිසා රාජ්‍ය දුර්වල වුණා කියලා පෙන්වලා 20 ගේන්න තිබුණා. නමුත් එහෙම තර්කයක් ගොඩනගන්න ආණ්ඩුවට ශක්තියක් නෑ. 
 
ප්‍රශ්නය:19 නිසා රාජ්‍ය දුර්වල වුණා කියලා ඔබ පිළිගන්නේ නැද්ද? 
 
පිළිතුර: ජනාධිපති එක පක්ෂයකයි අගමැති තව පක්ෂයකයි ඉඳීම නිසා යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා. මම කියන්නේ ඒකට උත්තරයක් ලැබෙන ආකාරයේ සංශෝධනයක් නොවෙයි 20 වැනි සංශෝධනය. ඇත්තම කියනවා නම් මේ 20 වැනි සංශෝධනයෙන් පස්සෙ අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක්, පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙන්නේ නෑ. රටට ඉතිරි වෙන්නේ ඒකාධිපති ජනාධිපතිවරයෙක් විතරයි. 
මේ ව්‍යවස්ථා සංශෝධනය හරහා ගෝඨාභය ජනාධිපතිවරයා පෙන්වලා තියෙනවා තමන්ගේ සහෝදරයා වුණත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා තමන්ට විශ්වාස නෑ කියලා. මම කියන්නේ ඉතාම පැහැදිලිවම. පුද්ගලයෝ දිහා බලලා පුද්ගලයන්ගේ චරිත සහතික දිහා බලලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙනල්ල හරියන්නේ නැහැ. 
 
ඉදිරියේදී පත්වන ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ට ජනතාවට සේවය කරන්න සුදුසු පරිසරයක් තිබිය යුතුයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සාධාරණයක් ඉෂ්ඨ කරන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන පරිසරයක් තමයි අපට අවශ්‍ය කරන්නේ. 
 
ප්‍රශ්නය:හිටපු හමුදා නිලධාරියකු, ආරක්ෂක ලේකම්වරයකු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්න රටේ සාතිශය බහුතරයක් ජනයා තීන්දු කරන්නේ විනය සහිත රටක් වෙනුවෙන්. ඔහු ශක්තිමත් විය යුතුයි කියල ඔබ හිතන්නේ නැද්ද? 
 
පිළිතුර: ඔහු ශක්තිමත් කළ යුතුයි කියලා ඔහුට අත්තනෝමතික දරදඬු ඒකාධිපති බලයක් දෙන එක සාධාරණද? මම ඒකයි කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ චරිත සහිතකය බලලා රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදන්න බැහැ කියලා. ඉදිරියට පත්වෙන ජනාධිපතිවරයා කවුරු වුණත් ඔහු ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ තබා ගන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී නොවන ව්‍යවස්ථා සංශෝධනයකුයි අවශ්‍ය වෙන්නේ. 
 
ප්‍රශ්නය: ඔබලාම තමයි කිව්වේ ‘ගෝඨාභය නම් හොඳයි. නමුත් මහින්ද තමයි වැඩ කරන්න දෙන්නේ නැත්තේ’ කියලා. දැන් කියනවා ගෝඨාභය ශක්තිමත් වෙනවා කියලා. මේ කතා පරස්පර නැද්ද? 
 
පිළිතුර: මම ඒකයි නැවතත් කියන්නේ මේක මේ ඝෝඨාභය සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ කියලා. ගෝඨාභය ද මහින්ද ද කියලා ප්‍රශ්නයක් මෙතැන නෑ. මෙතැන තියෙන්නේ රටේ ජනාධිපතිවරයාට තිබිය යුතු බලතල හා නොතිබිය යුතු බලතල සම්බන්ධ ප්‍රශ්නයක්. දැන් ඉන්නේ එකම පවුලේ මල්ලි ජනාධිපති, අයියා අගමැති. නමුත් ඉදිරියේදී එහෙම තත්ත්වයක් ඇති නොවන්න පුළුවන්. 
 
ඊළඟට එන අගමැතිවරයාට රටේ පාර්ලිමේන්තුවට බලයක් තියෙන්න ඕනෑ. ඉදිරියේදී පත්වන අගමැතිවරයා පඹයෙක් නම් කොහොමද රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්නේ? අගමැතිවරයාගෙන් පිළිබිඹු වන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයයි. 
 
ප්‍රශ්නය:ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් තියෙනවා. ඇමැති මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී කිව්වා ඔබේ කඳවුරේ 20ක් 20ට සහාය දෙනවා කියලා. 
 
පිළිතුර: අපේ 20 ගැන අපි බලා ගන්නම්. ඊට කලින් ඔය තියෙනවා කියන තුනෙන් දෙකක බලය 20ට ලැබෙයිද කියලා බලන්න. දැනටමත් ඇමැතිවරු මන්ත්‍රීවරු මේකට එළිපටම විරෝධය පළ කරලා තියෙනවා. තවත් සමහරු අපිත් එක්කම කියලා තියෙනවා 20ට අත උස්සලා රෙදි ඇඳගෙන ගමට යන්න බෑ කියලා. 
 
ප්‍රශ්නය:කොහොම වුණත් ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය ඉදිරිපිට ඔබේ විරෝධය පුස්සක් නොවේද? 
 
පිළිතුර: අපේ විරෝධය පුස්සක් වෙන්න පුළුවන්. එහෙමයි කියලා අපි නිහඬ වන්නේ නෑ. කල් නොයවාම මේ රටේ ජනතාව තේරුම් ගනියි අපිට වැරදුණා කියලා. බලන්න ඔය ඔබ කියන තුනෙන් දෙකක බලය දැනට ​යොදාගෙන තියෙන්නේ මහා වනාන්තර සංහාරයකට. මේ හාදයන්ට රක්ෂිත පෙන්වන්න බෑ. පුරාවිද්‍යා ස්ථාන පෙන්වන්න බෑ. ආවේ නම් ‘වියත් මග’ කියාගෙන. හැබැයි දැන් පෙන්වන්නේ ‘කියත් මග’ 
ජනතාව දැනටම තේරුම් අරගෙන ඉවරයි තමන්ට වැරදුණා කියලා. ඒ නිසා අප නගන හඬ මේ රටේ ජනතාව ඉතාම හොඳට දැන් තේරුම් ගනිමින් ඉන්නවා. ඒ තේරුම් ගැනීමම අපේ අතට රටේ බලය දෙන්න ජනතාව පොළඹවනවා. ඒ නිසා මේ තත්ත්වය අපට ලොකු ආශිර්වාදයක්. 
 
ප්‍රශ්නය: ඔබලාගේ යහපාලන ආණ්ඩුව කාලෙදි අතුරුදන් කරපු පළාත් සභා ඡන්දය ආපසු ගන්න වැඩපිළිවෙළක් තියෙනවාද? 
 
පිළිතුර: අපේ ආණ්ඩුවෙන් ඒක අතුරුදන් කළේ නෑ. අපේ ස්ථාවරය තමයි පළාත් සභා රටට අවශ්‍යයි කියන එක. පළාත් සභා මැතිවරණය තියන්න බැරි වුණේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ගත් ක්‍රියාමාර්ගය නිසයි. දැන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තියෙනවා. ඒ නිසා ආණ්ඩුවට ප්‍රශ්නයක් නෑ. කඩිනමින් පළාත් සභා මැතිවරණය තියන්න පුළුවන්. ඒක ආණ්ඩුව ගතයුතු පියවරක්. 
 
ප්‍රශ්නය: පළාත් සභා ඡන්දය තිබ්බොත් මොනවගේ ප්‍රතිඵලයක්ද බලාපොරොත්තු වෙන්නේ? 
 
පිළිතුර: අනිවාර්යෙන්ම මේ ආණ්ඩු විරෝධය හරහා පළමු ​පෙරැළිය අපි පළාත් සභා මැතිවරණයෙන් පටන් ගන්නවා. 
 
ප්‍රශ්නය: එජාපයත් එක්ව දැන් තියෙන සම්බන්ධය 
 
පිළිතුර: ඒ සම්බන්ධයෙන් අපේ නායකයතුමා කටයුතු කරනවා. අපි බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජිව