නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ


මෙරට මෙතෙක් නියාමනයට ලක් නොවූ එහෙත් නියාමනය කළ යුතු බවට දශක ගණනක් තිස්සේ දේශපාලඥයන්, නිලධාරීන් සහ විවිධ වෘත්තීය සංගම් විසින් පෙන්වා දෙන ක්ෂේත්‍රයක් ලෙස මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ, මගී ප්‍රවාහන මෝටර් රථ, පාසල් වෑන් රථ හා කාර්යාලයීය ප්‍රවාහන සේවා ක්ෂේත්‍රය දැක්විය හැක. විශේෂයෙන් ත්‍රිරෝද රථ නියාමනය සම්බන්ධ කතා බහ කලින් කල කරළියට පැමිණ අමතක කර දමන මාතෘකාවක් බවට පත්ව තිබුණි. කෙසේ නමුත් මෙම ගැටලුව සම්බන්ධයෙන් පසුගියදා ජනපති, ප්‍රවාහන ඇමති, නියෝජ්‍ය ඇමති සහ නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවති අතර එහි දී පැවසුණේ ඉදිරි මාස කිහිපය තුළ මෙම කටයුත්ත සිදුකිරීමට නියමිත බවය. 

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සේවාව නියාමනයට ලක් නොවීමෙන්  ත්‍රිරෝද රථ රියදුරන් සහ මගීන් අතර කොතෙක් සංවාද සහ ගැටලු‍කාරී තත්ත්ව ඇතිවනු ඔබ මහමග දී ඕනෑ තරම් දැක ඇත. 

එවන් පසුබිමක ත්‍රිරෝද රථ නියාමනයේ වත්මන් තත්ත්වය පිළිබඳව සහ ත්‍රිරෝද රථ මගින් සේවාව සපයා ගන්නා ජනතාව මුහුණ දෙන ගැටලුවලට ඉන් විසඳුම් ලැබෙනවාද යන්න පිළිබඳව විමසා බැලීමට අපි අදහස් කළෙමු. 

ලත් තැනම ලොප් වූ  ත්‍රිරෝද රථ නියාමනය

මේ සම්බන්ධව විමසීමට අප මුලින්ම සම්බන්ධ කරගත්තේ ත්‍රිරෝද රථ මෙරටට හඳුන්වා දුන් සමයේ සිටම මෙම ක්ෂේත්‍රයෙහි නිරත සහ එම කර්මාන්තයේ ප්‍රමුඛ වෘත්තීය සමිති නායකයකු වන සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිති සභාපති ලලිත් ධර්මසේකර ය.

මම 1992දී ත්‍රිරෝද රථ සේවාව සමග සම්බන්ධ වුණ අයෙක්. කුලී ත්‍රිරෝද රථ සේවාව හා ගාස්තු සම්බන්ධව මගීන්ට ගැටලුවක් මතුව තිබුණත් මෙම සේවාව විධිමත් කළ යුතු යැයි 1999 සිට හඬ නඟන්නේ එකල සිටි ත්‍රිරෝද රථ කර්මාන්තයේ නියැළී සිටි වෘත්තීය රියැදුරන් විසින්මයි. මෙය මුලින්ම එකල පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් කරනු ලැබුවා. එකල ඔහු සමග ඇරඹූ “ශ්‍රී ලංකා ත්‍රිරෝද රථ සම්මේලනයෙන්” තමයි මේ පිළිබඳ මූලික සාකච්ඡාව අපි ඇරඹුවේ. පසුව එම සම්මේලනය අඩපණ වුණාම අපි 2002 “සමස්ත ලංකා ත්‍රිරෝද රථ සංගමය” අරඹලා ත්‍රිරෝද රථ නියාමන සාකච්ඡාව දිගටම කරගෙන ගියා. මේ හැම සාකච්ඡාවකටම මම සහභාගි වුණා. එකල බස්නාහිර පළාත් සභාවේ ප්‍රවාහන අමාත්‍යවරයා වුණ ලසන්ත අලගියවන්න සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඒකඡන්දයෙන් බස්නාහිර පළාත් සභාවෙහි ත්‍රිරෝද රථ නියාමනය කිරීමේ ප්‍රඥප්තිය සම්මත වුණා. 2003 පෙබරවාරියේ මෙම ප්‍රඥප්තිය ගැසට් කළා. 2004 මීට අදාළ මූලික කටයුතු ක්‍රියාත්මක කිරීම ආරම්භ කළා. නමුත් අපේ රටේ ඇතැමුන්ගේ තිබෙන කාලකන්නි ගති නිසා මීට විරුද්ධව සුළු පිරිසක් පෙනී සිට දේශපාලඥයන් ලවා එය ක්‍රියාත්මක වීම වළක්වා ගත්තා. 

ගාස්තු මීටරය මහ පොළොවේ පැළ කිරීම

කෙසේ නමුත් මෙම ප්‍රඥප්තිය මහපොළවේ යථාර්ථයක් බවට පත් කිරීමේ වගකීම තිබෙන්නේ පාලකයන්ටයි. පසුගිය කාලයේ සිටි පාලකයන්ට එවැනි අවශ්‍යතාවක් තිබුණේ නෑ. දැන් ඉන්න පාලකයන්ට එවැනි අවශ්‍යතාවක් තිබෙනවා. පසුගිය දා ජනපතිතුමා, ඇමතිතුමා සහ නියොජ්‍ය ඇමතිතුමා යන තිදෙනාම මේ ගැන එළිපිට කතාකරන්න සහ එම වැඩපිළිවෙළ ප්‍රායෝගිකව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රඥප්තිය සැකසීම මේ වන විට සිදුකරමින් තිබෙනවා. මේක ඉබේ සිදුවූවක් නොවේ. ඒ වෙනුවෙන් අපි කරන්න ඕනෑ දේ කිරීමේ ප්‍රතිපලයක් ලෙස සිදුකෙරුණු දෙයක්. 
ත්‍රිරෝද රථ ගාස්තු මීටරය මේ මහපොළොවේ යථාර්ථයක් වෙන්න නම් නියාමනය කියන ව්‍යුහාත්මක නෛනික වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුයි. 2005 ජනවාරි 05 ලංකාවට ගාස්තු මීටරය හඳුන්වා දීමට මූලික වුණු කෙනා මමයි. එසේ නැතිව විශ්වවිද්‍යාල, ආණ්ඩු කිසිවක් ඊට මූලික වුණේ නෑ. 2004 ත්‍රිරෝද රථ නියාමන ප්‍රඥප්තිය ක්‍රියාත්මකවීම වැළැක්වුවත් එහි ඇතුළත් වූ කරුණු අපි මහපොළොවේ යථාර්ථයක් බවට පත් කරලා පෙන්නුවා. ස්වේච්ඡාවෙන් ත්‍රීවීල් ගාස්තු මීටරය හඳුන්වා දීමෙන් පසු “මීටර්ඩ් ටැක්සි‘”, “බජට් ටැක්සි‘”, ආදී ක්‍රමවේද හඳුන්වා දුන්නා. 

නියාමනයේදී සලකා බැලෙන සාධක

හයර් දුවන ත්‍රිරෝද රථයක ගාස්තු මීටරය අනිවාර්‌යයෙන් තිබිය යුතුයි. ඒ මීටරයෙන් අය කළ හැක්කේ ජාතික ගමනාගමන කොමිසම විසින් ඒ ඒ පළාතට බස් ගාස්තු තීරණය කරන්නා සේ ඔවුන් විසින් අනුමත කරන්නා වූ මිල සූත්‍රයට අදාළව සකසන ගාස්තුවයි. මීට එරෙහිව මගී ප්‍රවාහන ත්‍රිරෝද රථයක් ගාස්තු අයකරනවා නම් අද එය පැමිණිලි කිරීමට තැනක් නැති වුණත් ඉදිරියේ දී නියාමන ප්‍රඥප්තිය හඳුන්වා දීමෙන් පසුව ප්‍රවාහන අධිකාරියට, පොලිසියට, පාරිභෝගික අධිකාරියට පැමිණිලි කර දඬුවම් ලබා දෙන්න පුළුවන්. 

මෙම නීති කෘත්‍ය මේ වනවිට බස්නාහිර පළාතෙහි සම්පූර්ණ කර තිබුණත් සෙසු පළාත්වල තවමත් ප්‍රඥප්තියක් සම්මත කර නැහැ. මින් පළාත් සභා 5ක් ප්‍රඥප්තිය කෙටුම්පත් කර පමණක් තිබෙනවා. 

ලලිත් ධර්මසේකර ආචාර්ය නිලාන් මිරින්ඩා ගාමිණී ජයසිංහ

ත්‍රිරෝද රථ ගාස්තු මීටරය සම්බන්ධ නීතිය සකසා රටටම මාර්ගොපදේශ ලබාදිය යුත්තේ ජාතික ගමනාගමන කොමිසම විසිනුයි. ඔවුන් විසින් සකසන නීති පළාත් සභා වෙත ලබාදීමෙන් පසු පළාත් සභා තමයි අදාළ නීතිය ක්‍රියාත්මක කළ යුත්තෙ. ඒ අනුව මේ වනවිට සකසමින් තිබෙන නියාමන වැඩපිළිවෙළ සම්මත වීමෙන් පසු මගී ත්‍රිරෝද රථ ධාවනය කිරීමට නම් ඒ ඒ පළාතට අදාළ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් අනිවාර්‌යයෙන් බලපත්‍රයක් ලබාගත යුතුයි. ඇප් මගින් මගී ප්‍රවාහනයේ යෙදෙන්නන් පවා මේ බලපත්‍රය ලබාගත යුතුයි. 

එසේ ලියාපදිංචි වීමට ත්‍රිරෝද රථ සපුරාලිය ගුණාංග කිහිපයක් තිබෙනවා. 

  • මූලිකවම ත්‍රිරෝද රථය ධාවනයට සුදුසු තත්ත්වයේ තිබිය යුතුයි.
  • පැහැදිව ප්‍රදර්ශනය කෙරෙන ගාස්තු මීටරයක් අනිවාර්යෙන් තිබිය යුතුයි.
  • ත්‍රිරෝද රථ රියදුරාගේ ඡායාරූපය, ඔහුගේ තොරතුරු, අධිකාරියෙන් ලබාදෙන ලියාපදිංචි අංකය, වාහනයේ අංක තහඩුවේ සඳහන් අංකය සහ ගැටලු පිළිබඳ දැනුම් දිය හැකි දුරකථන අංක ත්‍රිරෝද රථයේ රියදුරාගේ අසුන පිටුපස මගියාට පැහැදිලිව පෙනෙන ලෙස ප්‍රදර්ශනය කළ යුතුයි. (මෙමගින් මගියාට තමන් ගමන් කරන ත්‍රිරෝද රථය පිළිබඳ තොරතුරු තමන් ගමන් කරන අතරේ නිවැසියන්ට පහසුවෙන්ම ලබාදිය හැකි සේම යම් ගැටලුවක් ඇත්නම් ඒ ගැන මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියට පැමිණිලි කිරීමට ද හැකිය) 
  • මෙහිදී අයකළ හැකි ගාස්තුව වන්නේ පාලන අධිකාරිය විසින් නිකුත් කළ උපරිම ගාස්තුව පමණයි. මෙලෙස අයකරන ගාස්තුව ත්‍රිරෝද රථයේ ඉදිරිපස සඳහන් කර තිබිය යුතුයි. 
  • මෙම එසේම ත්‍රිරෝද රථ නියාමන පනත ක්‍රියාත්මක වීම ඇරඹීමෙන් පසු රියදුරාට කොට කලිසම් හා ස්කිනි ඇඳ ත්‍රිරෝද රථ ධාවනය කිරීමට නොහැකි අතර සුදුසු ඇඳුමකින් සැරසී සිටිය යුතු වනවා.
  • පනත් ක්‍රියාත්මකවීම ඇරඹීමෙන් පසුව සියලු‍ මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ගාස්තු මීටරයකින් යුක්ත වන නිසා තවදුරටත් මීටර් ටැක්සි හෝ මීටර් ටැනිසි යනුවෙන් සඳහන් පුවරු වෙනුවට “ටැක්සි‘ යනුවෙන් සඳහන් පුවරු පමණක් ප්‍රදර්ශනය කිරීම ප්‍රමාණවත් වෙනවා.

මේ වනවිට ත්‍රිරෝද රථ මීටර් සම්බන්ධව පවතින්නේ ඒකාධිකාරියක්. මෙය ත්‍රිරෝද රථ  රියැදුරන්ට විශාල ගැටලුවක්ව පවතින කාරණයක්. ඒ නිසා රජය මැදිහත්ව සතොස හෝ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හරහා හෝ ගාස්තු මීටර් ආනයනය කර සහන මිලකට ලබාදිය හැකිනම් ගාස්තු මීටර් ඒකාධිකාරිය බිඳ දමාවි යැයි බොහෝ රියැදුරන් බලාපොරොත්තු තබාගෙන සිටිනවා. 

ව්‍යාජ ඇප් මීටර් ඉදිරියේදී තහනම්

අපි වැනි දුප්පත් රටවල තාක්ෂණය වංචනිකව භාවිත වන අවස්ථා කොතෙකුත් දක්නට ලැබෙනවා. එලෙස ත්‍රිරෝද රථ සඳහාත් වංචනිකව සැකසූ ගාස්තු මීටර් ඇප් භාවිත කරනු ලබනවා. (ඌබර් හෝ පික්මී වැනි විධිමත් ආයතන මගින් ක්‍රියාත්මක ඇප් මීට අදාළ නොවේ) මෙම ගාස්තු මීටර්වල දුර මෙන්ම ගාස්තු රියැදුරාට අවශ්‍ය ලෙස සැකසිය හැකියි. කෙසේ නමුත් නියාමන වැඩපිළිවෙළ සම්මත වීමෙන් පසු මෙම ව්‍යාජ ගාස්තු ඇප් මීටරය භාවිත කළ නොහැකියි. 

දැනටත් ඔබ මීටර්ඩ් ටැක්සි යැයි සඳහන් ත්‍රිරෝද රථයක ගමන් කරනවා නම් එහි මීටරය ලෙස භාවිත කරන්නේ මෙවැනි ව්‍යාජ ගාස්තු ඇප් එකක් නම් එම ත්‍රිරෝද රථයේ ගමන් කිරීම වහාම ප්‍රතික්ෂේප කර පැහැදිලිව ප්‍රදර්ශනය කෙරෙන මීටරයක් සහිත ත්‍රිරෝද රථයක පමණක් භාවිත කරන්න.

සුබසාධනය

ත්‍රිරෝද රථ නියාමනය සිදුකිරීම ඇරඹීමෙන් පසුව ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සුබ සාධනය වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ද බලධාරීන් හා නිලධාරීන් සමග අප සාකච්ඡා කර අවසන් එකඟතාවකට පැමිණ තිබෙනවා. ඒ අනුව ත්‍රිරෝද රථ රියැදුරන්ට විශාමික සැලසුමක් මේ වනවිට සකස් කරමින් තිබෙනවා. 

ත්‍රිරෝද රථ මීටර් ඒකාධිකාරිය

මේ වනවිට වෙළෙඳපොළේ මීටර් වර්ග දෙකක් තිබෙනවා. ඒ ඩිස්ප්ලේ 03 සහ ඩිසිප්ලේ 04 වශයෙනුයි. ඒ අනුව ඩිස්ප්ලේ 04 මීටරයක් අත්පිට මිල දී ගැනීමේ දී වසරක වගකීමක් සහිතව එහි මිල මිල රු. 27,450 වනු ලබනවා. එය මාස 6ක වගකීමක් සහිතව මිලදී ගැනීමේ දී මිල රු. 21,950ක් වනු ලබනවා. 

වසරක වගකීම සහිත මීටරය ගෙවීමේ ක්‍රමයට ලබා ගන්නේ නම් රු. 9500ක මූලික ගෙවීමක් සහ රූ.3250 බැගින් වාරික 8කින් හෝ රු. 6100 බැගින් වාරික 4කින් හෝ රු. 9750 බැගින් වාරික 2කින් ගෙවා අවසන් කළ හැකියි. 

මාස 6ක වගකීම සහිත මීටරයේ මූලික ගෙවීම රු. 8500ක් වන අතර රු.3600 බැගින් වාරික 7ක් හෝ රු. 4750 බැගින් වාරික 5කින් හෝ රු. 9200 බැගින් වාරික 2කින් ගෙවා අවසන් කළ හැකියි.

ඩිස්ප්ලේ 3 මීටරයක් වසරක වගකීමක් සහිතව මිලදී ගන්නේ නම් මිල රු. 25,450කි. මාස 6ක වගකීමක් සහිතව මිල දී ගන්නේ නම් මිල රු. 19,500කි. 

වසරක වගකීම සහිත මීටරය ගෙවීමේ ක්‍රමයට ලබාගැනීමේ දී මූලික ගෙවීම රු. 9500ක් වන අතර රු.2975 බැගින් වාරික 8කින් හෝ රු. 3950 බැගින් වාරික 6කින් හෝ රු. 5350 බැගින් වාරික 4කින් ගෙවා අවසන් කළ හැකිය.

මාස 6ක වගකීමක් සහිත මීටරයේ මූලික ගෙවීම රු. 8500ක් වන අතර රු.3500 බැගින් වාරික 7කින් හෝ රු. 4050 වාරික 5කින් හෝ රු.7950 වාරික 2කින් ගෙවා අවසන් කළ හැකියි.

කෙසේ නමුත් ත්‍රිරෝද රථ සඳහා සවි කළ හැක්කේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත මීටර පමණි. 

මේ වනවිට ත්‍රිරෝද රථ මීටර් සම්බන්ධව පවතින්නේ ඒකාධිකාරියක්. මෙය ත්‍රිරෝද රථ  රියැදුරන්ට විශාල ගැටලුවක්ව පවතින කාරණයක්. ඒ නිසා රජය මැදිහත්ව සතොස හෝ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හරහා හෝ ගාස්තු මීටර් ආනයනය කර සහන මිලකට ලබාදිය හැකිනම් ගාස්තු මීටර් ඒකාධිකාරිය බිඳ දමාවි යැයි බොහෝ රියැදුරන් බලාපොරොත්තු තබාගෙන සිටිනවා. 

එසේම දිවයින පුරා තිබෙන සමෘද්ධි බැංකු හරහා ගෙවීමේ ක්‍රමවේදයක් ඇතිකර මෙම මීටර ලබාදිය හැකි නම් ත්‍රිරෝද රථ රියැදුරන්ට ගැටලුවකින් තොරව මීටරයක් ලබාගත හැකි වනවා. එමගින් රියැදුරාගේ සහ මගියාගේ ගැටලු‍වලට විසඳුමක් ලබාදිය හැකි වනවා.“

මගී ප්‍රවාහන සේවයට අදාළ ක්ෂේත්‍රයක නියාමන කටයුතු සම්බන්ධව මැදිහත්වන මෙරට ප්‍රමුඛතම ආයතනය වන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවය. එවන් පසුබිමක මෙවර එම නියාමන කටයුතු සිදුවන්නේ කෙසේද යන්න ගැන අපි ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරින්ඩා ගෙන් විමසීමක් කළෙමු. 

“ත්‍රිරෝද රථ නියාමනය සම්බන්ධව අපට බලය ලැබුණේ 2025 අංක 8 දරන පනත හරහායි. මීට අදාළ රෙගුලාසි සකස් කිරීමට සියලු‍ පාර්ශ්වවල අදහස් ලබා ගත්තා. ඒ අනුව ත්‍රීරෝද රථ රියැදුරන්, රියැදුරු සංගම්, ත්‍රිරෝද රථ සංගම්, මගී සංගම් සහ මෙම නියාමන වැඩපිළිවෙළ පළාත් මට්ටමින් ක්‍රියාත්මක කරන මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අදහස් අරගෙන අපි සකස් කළ රෙගුලාසි සඳහා අවශ්‍ය වෙනස්කම් සිදුකර ආයතන හා අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා කර පනත මේ වනවිට සකස් කර තිබෙනවා. එසේම දිසාපතිවරු හරහා තවදුරටත් අදහස් ලබාගැනීමෙන් පසුව අමාත්‍යංශය හරහා නීතිපති වෙත යැවීමෙන් පසුව ගැසට් කිරීමට අදහස් කරගෙන සිටිනවා. 

ත්‍රිරෝද රථ නියාමනය ඇරඹීමෙන් පසුව අධීක්ෂණ කටයුතු මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය විසින් සිදුකරනු ලබනවා. විශේෂයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් දක්වා ඇති අකාරයට ත්‍රිරෝද රථයේ පැවතිය යුතු සාධක සහ මීටරය සම්බන්ධව බස් රථ පරීක්ෂාව සිදුකරන ආකාරයටම එම බස් රථ පරීක්ෂක නිලධාරීන්ම යොදවාගෙන ඉදිරියේ දී ත්‍රිරෝද රථ පරීක්ෂාව සිදු කිරීමට කටයුතු කරනවා. ඒ එක්කම පොලිසියටත් මෙම පරීක්ෂාව සිදු කිරීමට බලය පැවරීමට කටයුතු කරනවා. 

මෙම පනත ක්‍රියාත්මක කිරීමේදී අප විසින් තීරණය කරන ගාස්තුව පමණයි දිවයින පුරා ත්‍රිරෝද රථ රියැදුරන්ට අය කළ හැක්කේ. මෙම ගාස්තුව සකසා තිබෙන්නේ භූ විෂමතා සාධක ආදිය සලකා බලායි. 

  • කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ අනුමත ගාස්තු මීටරයක් සවිකර තිබිය යුතුයි. එසේම ඩිජිටල් හෝ භෞතික ටිකට්පතක් මගියාට නිකුත් කළ යුතුයි.
  • ත්‍රීරෝද රථයේ ආසනයේ දිග පළල පිළිබඳවත් නිර්ණායක අප විසින් නිකුත් කරනු ලබනවා.
  • වාහනය සඳහා පූර්ණ රක්ෂණයක් සහ මගීන් වෙනුවෙන් අසීමිත රක්ෂණයක් තිබිය යුතුයි.
  • ත්‍රීරෝද රථය අප විසින් ලබාදෙන නිර්ණායකයන්ට අනුකූල විය යුතු අතර අනවසර සවිකිරීම්වලින් තොර විය යුතුයි.
  • කුලී රථ ඇප් (පික්මී, ඌබර් ) නියාමනය කරනු ලබනවා (ඉදිරියේදී පොදු ඇප් එකක් සැකසීමේ සූදානමකුත් පවතිනවා.)

ත්‍රිරෝද රථ නියාමන ක්‍රියාවලිය මාස තුනක් පමණ ඇතුළත සිදුකිරීමට අපේක්ෂාවෙන් පසුවනවා. අප මේ සඳහා කාලයක් ගන්නේ සියලු‍ පාර්ශ්වවල එකඟතාවෙන් යුතුව මෙම කටයුත්ත සිදුකර බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය නිසයි.

එසේම මීට සමගාමීව රියැදුරන් සඳහා සුබසාධන වැඩපිළිවෙළක් සකස් කරනවා. එය පෞද්ගලික අංශයේ  සේවකයන් වෙනුවෙන් දැනටත් ක්‍රියාත්මක ඊ.ටී.එෆ් ආකාරයේ වැඩපිළිවෙළක්.  මේ සඳහා රියැදුරන් විසින් ගෙවීමක් කළ යුතු නෑ. මීට දායකවීම මගින් සෙසු අයට ලැබෙන ඊ.ටී.එෆ් ප්‍රතිලාභම  ත්‍රිරෝද රථ රියැදුරන්ටත් ලැබෙනවා. ඒ වගේම ඉදිරියේදී  ත්‍රිරෝද රථ සේවා ගාස්තු මගීන්ට ඩිජිටල් ආකාරයට ගෙවීමේ ක්‍රමවේද හඳුන්වා දීමට අපේක්ෂා කරනවා. මේ සම්බන්ධව ඩිජිටල් අමාත්‍යාංශය සමග ඉදිරි කටයුතු කිරීමට අපේක්ෂා කරනවා”.

ත්‍රිරෝද රථ නියාමන ක්‍රියාවලියට මුල සිටම විශාල දායකත්වයක් දැක් වූ ආයතනය වන්නේ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියයි. මෙරට පළමු  ත්‍රිරෝද රථ නියාමන ප්‍රඥප්තිය සකසා නියාමනය ඇරඹු රාජ්‍ය ආයතනය ද වන බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මේ වනවිට එම ක්‍රියාවලිය සමග සම්බන්ධව සිටින අයුරු පිළිබඳව ද අපි විමසීමක් කළෙමු. ඒ සඳහා අප එක්කර ගත්තේ බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහය.

“බස්නාහිර පළාතේ  ත්‍රිරෝද රථ ලක්ෂ 3 1/2 ක් පමණ තිබෙනවා. ඉන් ලක්ෂ 2 1/2 ක් පමණ මගී ප්‍රවාහන සේවයේ නිරත වනවා. බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා ඔන්ලයින් ඇප් එකක් අප්‍රේල් මාසයේ දී හඳුන්වා දීමට සූදානමින් සිටිනවා. ‍පුද්ගලික ආයතන දෙකක් සමග එක්වෙලයි අපි මේ කටයුත්ත කරන්නෙ. ඊට අදාළ මූලික කටයුතු සීයට80ක් පමණ මේ වනවිට අවසන් කර තිබෙනවා. 

ත්‍රිරෝද රථ නියාමනය ඇරඹීමෙන් පසුව ගාස්තු මීටරයක් තිබීම සහ සම්පූර්ණ රක්ෂණයක් අනිවාර්යයි වගේම මීටරය මගියාට ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය වෙනවා. එසේම ත්‍රිරෝද රථ ගාස්තු නිර්ණය කිරීම ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබනවා. ඒ වගේම ටිකට් පත ලබාදීම සම්බන්ධයෙනුත් මේවනවිට සාකච්ඡා කරමින් තිබෙනවා. කෙසේ නමුත් මඟියා ඉල්ලා සිටියහොත් ටිකට්පතක් අනිවාර්‌යයෙන්ම ලබාදිය යුතුවනවා. 

ත්‍රිරෝද රථ නියාමනය ඇරඹීමෙන් පසුව අධීක්ෂණ කටයුතු මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය විසින් සිදුකරනු ලබනවා. විශේෂයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් දක්වා ඇති අකාරයට ත්‍රිරෝද රථයේ පැවතිය යුතු සාධක සහ මීටරය සම්බන්ධව බස් රථ පරීක්ෂාව සිදුකරන ආකාරයටම එම බස් රථ පරීක්ෂක නිලධාරීන්ම යොදවාගෙන ඉදිරියේ දී ත්‍රිරෝද රථ පරීක්ෂාව සිදු කිරීමට කටයුතු කරනවා. ඒ එක්කම පොලිසියටත් මෙම පරීක්ෂාව සිදු කිරීමට බලය පැවරීමට කටයුතු කරනවා. 

නිරෝෂාන් ප්‍රේමරත්න