
වසර 2026 අප්‍රේල් 30 වැනි දින වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 550 ක හිඟ බදු ප්‍රමාණයක් අයවිය යුතුව ඇති බවත්, එයින් රුපියල් බිලියන 101 ක මුදලක් අයකර ගැනීම සඳහා මේ වෙනවිට නීතිමය හා වෙනත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එසේම රටේ පුද්ගල ආදායම් බදු ගෙවන්නන් ලක්ෂ 13 ක් සහ බදු ගෙවනු ලබන ලියාපදිංචි සමාගම් 130,000 ක් පමණ ඇති බව ද, පුද්ගල ආදායම් බදු ගෙවන පිරිසෙන් ලක්ෂ 10 ක පමණ ප්‍රමාණයක් පමණක් නිසි පරිදි බදු ගෙවන බවද, එම දෙපාර්තමේන්තුව හෙළි කරයි.
මේ තොරතුරු අනාවරණය වූයේ 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා පසුගිය 23 වැනිදා එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවැති වැඩසටහනක දී ය. එම පනතින් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කෙරිණි.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට ගෙනා 6 වැනි සංශෝධනය වන මේ පනතට කථානායකවරයා අත්සන් තබා ඇති හෙයින් එය රටේ නීතියක් බවට පත්ව තිබේ. එයින් බදු ව්‍යුහයට අදාළව කරනු ලැබ ඇති වෙනස්කම් හා තාක්ෂණික වෙනස්කම් පිළිබඳව බදු ගෙවන්නන් දැනගෙන සිටීම ඉතා වැදගත් හෙයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ දැනුම්වත් කිරීමේ වැඩසටහන සංවිධානය කරන ලදී. මෙම ලිපියෙහි දැක්වෙන සියලු තොරතුරු එම වැඩසටහනට සහභාගී වූ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැක් වූ අදහස් හා මාධ්‍යවේදීන් වෙත ලබාදුන් පනත සම්බන්ධ තොරතුරු ඇතුළත් පත්‍රිකාවේ සඳහන් කරුණු ආශ්‍රයෙන් උපුටා ගත් ඒවාය.
සභාව අමතමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.
බදු පරිපාලනයේ වෙනස්කම් සිදු කරමින් තිබෙන බවත් බදු ගෙවන පිරිස ඉහළ නංවා ගැනීම එහි ඉලක්කය බවත් ය. 2026 වසර වෙනුවෙන් දෙපාර්තමේන්තුවේ බදු ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2,401 කරා ළඟාවීම සඳහා බදු ගෙවීමට යටත්ව නව බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින බවත් ඇය වැඩිදුරටත් පැවසුවා ය.
මෙම වසරේ අපේක්ෂිත බදු අදායම් ඉලක්කයෙන් ජූනි 22 වැනිදා වෙනවිට සියයට 50ක ප්‍රතිශතයක් සම්පූර්ණ කරගෙන ඇති බව වැඩසටහන අතරතුර දී හෙළි කෙරිණ.
බදුපදනම පුළුල්කිරීමත් බදු පරිපාලනය ශක්තිමත් කිරීමත් මේ සංශෝධිත පනතෙහි ප්‍රධාන අරමුණු වන බව කී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නිහාල් විජේවර්ධන ඊට අදාළ ප්‍රතිපාදන රැසක් පනතෙහි අන්තර්ගත බව ද සඳහන් කළේ ය. මෙම පනතෙන් හඳුන්වා දී ඇති වැදගත් ප්‍රතිපාදන කිහිපයක් පහත පරිදි ය.
මෙම වසරේ අපේක්ෂිත බදු අදායම් ඉලක්කයෙන් ජූනි 22 වැනිදා වෙනවිට සියයට 50ක ප්‍රතිශතයක් සම්පූර්ණ කරගෙන ඇති බව වැඩසටහන අතරතුර දී හෙළි කෙරිණ.
01. මුදල් මගින් ගනුදෙනු කිරීම අධෛර්යවත් කර බැංකු සහ කාඩ්පත් මගින් ගනුදෙනු කිරීම දිරිගැන්වීම
මේ යටතේ යම් තැනැත්තකු විසින් තවත් තැනැත්තකු වෙත රුපියල් 500,000 ක් හෝ ඊට වැඩි මුදලක්,
ආදායකයාගේ ගිණුමට පමණක් වන චෙක්පතක් මගින්
ආදායකයාගේ ගිණුමට පමණක් වන බැංකු අණකරයක් මගින්
ණය කාඩ්පතක් Credit Card මගින්
හර කාඩ්පතක් Debit Card මගින්
බැංකු ගිණුමක් ඔස්සේ සිදු කරනු ලබන ඉලෙක්ට්‍රොනික ගෙවීම් පද්ධතියක් මගින් හෝ ගෙවීම් ලබන තැනැත්තාගේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කිරීම මගින්
යන ක්‍රමවලින් හැර වෙනත් ආකාරයකින් ගෙවනු ලබන්නේ නම් එවැනි තැනැත්තන් නීතිමය ප්‍රතිවිපාකවලට යටත් වේ. එම නීතිමය ප්‍රතිවිපාක වන්නේ ගෙවීම් කළ තැනැත්තාට තම තක්සේරු කළ හැකි ආදායම (Assessable lncome) ගණනය කිරීමේ දී එම ගෙවීම් මුදල අඩු කළ හැකි වියදමක් (Deductive Expense) ලෙස ඉල්ලා සිටීමට අවස්ථාව නොලැබීම ය. තවද ආදායම් බදු කාර්යයන් සඳහා එම ගෙවීම වත්කමක් පිරිවැයට ඇතුළත් කිරීමට ද හැකියාවක් නොමැත.
එසේ වුවත් මෙම ප්‍රතිපාදනයට අදාළ ව්‍යතිරේකයක් ගැන ද පනතෙහි සඳහන් වන අතර එයට අනුව, ශ්‍රී ලංකා රජය හෝ රජයේ ආයතනයක් බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් සහ මුදල් අමාත්‍යවරයා විසින් විශේෂයෙන් නිදහස් කරනු ලැබ ඇති වෙනත් තැනැත්තකු යන පාර්ශ්වවලට සිදු කරනු ලබන හෝ ඔවුන්ගෙන් ලැබෙන ගෙවීම් සඳහා ඉහත නීතිමය ප්‍රතිවිපාකය අදාළ නොවේ.
02. රඳවාගැනීමේ බද්දට අදාළ සංශෝධන
මෙම පනත මගින් රඳවාගැනීමේ බද්දට අදාළව සංශෝධන රැසක් සිදුකර ඇති අතර ඒ යටතේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් නිශ්චිතව සඳහන් කරනු ලබන තොරතුරු ඇතුළත් මාසික බදු වාර්තාවක් එක් එක් මාසය අවසාන වී දින 30 ක් ඇතුළත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. ඒ යම් මැණික් වෙන්දේසියක දී විකුණන ලද ඕනෑම මැණිකක විකුණුම් මිල මත ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් අඩු කරනු ලබන රඳවාගැනීමේ බද්දට අදාළව වේ. මෙය 2026 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වේ.
රඳවාගැනීමේ බද්දට අදාළව කරන ලද සංශෝධන අතර බැංකු සහ මූල්‍ය ආයතනවල පවත්වාගෙන යනු ලබන තැන්පතු මත පොලී ආදායම ලබන වාසික පුද්ගලයන් විසින් ඉදිරිපත් කරනු ලැබිය යුතු ස්වයං ප්‍රකාශ ගැන ද සඳහන් වන අතර ඒ යටතේ එවැනි පුද්ගලයන් ලබන පොලී ආදායම අදාළ තක්සේරු වර්ෂය සඳහා බදු ගෙවීමට යටත් ආදායමක් නොවන්නේ නම් ස්වයං ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට පිළිවන. එසේ ඉදිරිපත් කරනු ලබන ස්වයං ප්‍රකාශ මගින් අසත්‍ය හෝ නොමගයවනසුලු තොරතුරු ඉදිරිපත් කළ හොත් රුපියල් ලක්ෂ දෙක දක්වා වූ දඩයක් පැනවිය හැකිය.
03. සියයට 5 රඳවාගැනීමේ බද්දට කලා, ක්‍රීඩා, මාධ්‍ය, වෛද්‍ය ඇතුළු වෘත්තීත් 30 ක්
රඳවා ගැනීමේ බද්දට අදාළ තවත් සංශෝධනයක දැක්වෙන්නේ දේශීය ආදායම් පනතේ 85 වන වගන්තියේ (1ඇ) උපවගන්තියේ නිශ්චිතව සඳහන් කර ඇති වාසික පුද්ගලයන්ට සේවා සඳහා ගෙවනු ලබන මාසික ගෙවීම් රුපියල් 100,000 ට වැඩි නම් එම ගෙවීමට සියයට 5 ක රඳවාගැනීමේ බද්දක් අදාළ වන බවය. මෙම නියමය 2026 ජූනි 03 වැනි දින සිට ක්‍රියාත්මක වන අතර විගණක, නිරූපණ ශිල්පී, පෞද්ගලික පුහුණුකරු, ක්‍රීඩා පුහුණුකරු, තක්සේරුකරු, කලාකරුවා, නළුවා, නර්තන ශිල්පියා, ගායකයා, සංගීතඥයා, උත්සව සංවිධායක, ඡායාරූප ශිල්පියා, වීඩියෝ ශිල්පියා, චිකිත්සක, මනෝ චිකිත්සක, රූපලාවණ්‍ය ශිල්පියා, අරක්කැමි, විදුලි කාර්මිකයා, දන්ත වෛද්‍යවරයා, පශු වෛද්‍යවරයා, සමාජ මාධ්‍ය විශේෂඥ, සන්නාම තානාපති, ක්‍රීඩකයා, තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඥ, ප්‍රචාරණ නියෝජිත, උපදේශක, භාෂා පරිවර්තක, ලේඛක හෝ ණය එකතු කරන්නා යන වෘත්තීන්වලට ද මේ නියමය අදාළ වේ.
ඒ අනුව ඉහත සඳහන් කරන ලද වෘත්තීයමය සේවා සපයන පුද්ගලයන්ට මාසයක දී ගෙවනු ලබන මුදල රුපියල් ලක්ෂය ඉක්ම වන්නේ නම් එම ගෙවීම් මත සියයට 5 ක බද්දක් රඳවාගෙන අවශ්‍ය බදු අනුකූලතාව දක්වන ලෙස රඳවාගැනීමේ බදු අනු නියෝජිතයන්ට නියම කරනු ලැබේ. මෙම බදු සංශෝධනය 2026 ජූනි 3 වැනි දින සිට ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ වාසය කරන අයකුට විදේශ ප්‍රේෂණ වශයෙන් රුපියල් ලක්ෂයක් හෝ ඊට වැඩි මුදලක් මාසිකව ලැබෙන්නේ නම් එවැනි අය රඳවාගැනීමේ බද්දට යටත් වන්නේ දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නිහාල් විජේවර්ධන කීවේ එවැනි අය රඳවාගැනීමේ බද්දට යටත් නොවන බව ය. එහෙත් 2025 දී හඳුන්වා දෙන ලද විදේශ සේවා අපනයන ආදායම් බදුවලට අදාළ තැනැත්තන් ඊට යටත් වන බව කී ඔහු, විදේශ ප්‍රේෂණ වශයෙන් ආදායම් ලබන්නන් ස්ව තක්සේරු ක්‍රමයට ලාභය ගණන් බලා (ලාභය ගණන් බැලීමේ දී වියදම් හා භාවිත කරන ලද වත්කම් ඇත්නම් ඒවාට අදාළ ප්‍රාග්ධන දීමනා ඉවත් කළ හැකිය. බදු ගෙවිය යුතු බවත් ඒ සඳහා අදාළ වෙන උපරිම බදු අනුපාතය සියයට 15 ක් බවත් ප්‍රකාශ කළේ ය.

වැඩමුළුවට සහභාගිව සිටි නිලධාරීහු
රඳවාගැනීමේ සහතික ගැන ද මෙම පනතේ විධිවිධාන දැක්වෙන අතර ඒ අනුව සියලුම රඳවාගැනීමේ අනු නියෝජිතයන් විසින් බදු රඳවා ගනු ලැබීමට යටත් වන තැනැත්තන්ට ගාස්තු අය කිරීමකින් තොරව රඳවා ගැනීමේ සහතික නිකුත් කළ යුතු බවට බැංකු සහ මූල්‍ය ආයතනවලට උපදෙස් දෙයි.
2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ සඳහන් විධිවිධානවලට යටත්ව අනුමත කර ඇති ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරයක් පවත්වා ගෙන යන ඕනෑම තැනැත්තකු ආදායම් බදු වාර්තාවක් ගොනු කිරීම මෙම පනත මගින් අනිවාර්ය කර තිබේ.
04. ආදායම් බදු වාර්තා ගොනු කිරීමෙන් නිදහස් පිරිස්
ආදායම් බදු ගොනු පවත්වාගෙන යෑම අවශ්‍ය නොවන කාණ්ඩයක් ගැන ද පනතෙහි ප්‍රතිපාදන අඩංගු වේ. ඒ අනුව යම් පුද්ගලයකුගේ එකම ආදායම සේවා නියුක්තියෙන් (රැකියාවක නිරත වීමෙන්) ලැබෙන ආදායම පමණක් නම් සහ මාස තුනක වාරික හෝ අවසන් බදු ගෙවීම් නොමැතිව පූර්ණ ලෙස අත්තිකාරම් පුද්ගල ආදායම් බද්දට යටත් නම් එම පුද්ගලයාට ආදායම් බදු ගොනු පවත්වාගෙන යෑමේ හෝ ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ අවශ්‍යතාවක් නොමැත. මෙම සහනය පූර්ණ ලෙස අත්තිකාරම් පුද්ගල ආදායම් බද්දට යටත් සේවා නියුක්තියෙන් ලැබෙන ආදායමට අමතරව රුපියල් 5,000 නොඉක්මවන පොලී ආදායමක් ලබන සේවා නියුක්තිකයන්ට ද අදාළ වේ. එසේ වුව ද අදාළ තැනැත්තකු සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් ආදායම් බදු ගොනුවක් විවෘත කරනු ලැබුවහොත් එම ගොනුව නිල වශයෙන් වසා දමන තෙක් ඔහු හෝ ඇය ආදායම් බදු වාර්තා ගොනු කළ යුතු ය.
05. ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර පවත්වාගෙන යන්නන් ආදායම් බදු වාර්තා ගොනු කළ යුතු බව
2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ සඳහන් විධිවිධානවලට යටත්ව අනුමත කර ඇති ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරයක් පවත්වා ගෙන යන ඕනෑම තැනැත්තකු ආදායම් බදු වාර්තාවක් ගොනු කිරීම මෙම පනත මගින් අනිවාර්ය කර තිබේ.
06. බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය TIN ගැන පනතේ ඇති දේ
2024 වසරේ ජනවාරි පළමු වැනිදා වෙනවිට සහ ඉන් ඉදිරියට වයස අවුරුදු 18 ක් සම්පූර්ණ මෙරට ජීවත් වන සියලු පුරවැසියන් TIN අංකයක් ලබා ගැනීම මීට ඉහත දී අනිවාර්ය කෙරිණි. පනත සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් මාධ්‍යවේදීන් කළ විමසීම්වල දී හෙළි වූයේ මේ දක්වා මිලියන 13 කට TIN අංක නිකුත් කර ඇති බව ය. TIN අංකයක් ලබා දෙනු ලබන සෑම කෙනකුටම කොමසාරිස් ජනරාල්වරයා විසින් TIN සහතිකයක් නිකුත් කරනු ලබන බවත් පහත සේවාවන් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බවත් එහි දැක්වේ.
ඕනෑම මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම
ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගැනීම
මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම
මෝටර් වාහන බලපත්‍රයක් අලුත් කිරීම
ඉඩමක් හෝ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීම
ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම
මාරු කරන්නා සහ මාරුකිරීම ලබන්නා විසින් ශ්‍රී ලංකාවේ සංස්ථාගත කර ඇති සමාගමක කොටස් මාරු කිරීම
ක්‍රෙඩිට් කාඩ්පතක් ලබා ගැනීම
රඳවාගැනීමේ සහතික ගැන ද මෙම පනතේ විධිවිධාන දැක්වෙන අතර ඒ අනුව සියලුම රඳවාගැනීමේ අනු නියෝජිතයන් විසින් බදු රඳවා ගනු ලැබීමට යටත් වන තැනැත්තන්ට ගාස්තු අය කිරීමකින් තොරව රඳවා ගැනීමේ සහතික නිකුත් කළ යුතු බවට බැංකු සහ මූල්‍ය ආයතනවලට උපදෙස් දෙයි.
07. බදු ගෙවීම පැහැර හරින්නන්ට එරෙහිව ගනු ලබන අධිකරණ ක්‍රියාමාර්ග
යම් පුද්ගලයකු පහත දැක්වෙන ආදායම් බදු අනුකූලතා අවශ්‍යතා ඉටු කිරීමට අපොහොසත් වන්නේ නම් ඔහු හෝ ඇය නඩු පැවරීමට යටත් වන බව ද පනතෙහි සඳහන් ය.
වාර්ෂික ප්‍රකාශ (රඳවාගැනීමේ බදු WHT වාර්තා) ඉදිරිපත් කිරීම මගින් අනුකූල වීම
ආදායම් බදු වාර්තාවක් ගොනුකිරීම
කොමසාරිස් ජනරාල්වරයා වෙත ලියාපදිංචි වීම
ඉල්ලීමක් කළ විට කොමසාරිස් ජනරාල්වරයා ඉදිරියේ පෙනීසිටීම
126 වැනි වගන්තිය යටතේ බදු වාර්තාවක් භාරදීම
2026 අප්‍රේල් 1 වැනි දිනෙන් ආරම්භ වන තක්සේරු වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි කොමසාරිස් ජනරාල්වරයා විසින් බදු පැහැර හරින්නා වාසය කරන හෝ බදු පැහැර හරින්නාගේ ව්‍යාපාරික ස්ථානය පිහිටි අධිකරණ බල සීමාවට අයත් මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා වෙත භාර දෙනු ලබන සහතිකයට අනුව දඩයක් වශයෙන් අධිකරණ ක්‍රියාවලියක් මගින් පැහැර හරින ලද බදු මුදල් අයකර ගැනීම සිදු වේ.
ශ්‍රී ලංකා රජයට හෝ රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත ත්‍යාග හෝ පරිත්‍යාග වශයෙන් පවරනු ලබන වත්කම් ආදායම් බද්දට යටත් නොවේ. නීතිඥ හා වෛද්‍ය වැනි වෘත්තිකයන් ලබා දෙනු ලබන සේවාවන් වෙනුවෙන් අය කරනු ලබන මුදල් සඳහා බදු අය කරන්නේ ද යන්න ගැන මාධ්‍යවේදීන් කළ විමසීමේ දී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කළේ එවැනි අය මූල්‍යමය වශයෙන් කරනු ලබන ගනුදෙනු ඔස්සේ උපයන ආදායම් පිළිබඳ තොරතුරු දැන ගත හැකි වුවත් යම් කිසි ප්‍රමාණයකින් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩ ඇති බව ය. එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා ඉදිරියේ දී දේශීය ආදායම් පනතට තවත් සංශෝධන හඳුන්වාදීමට සිදු වනු ඇති බව ද ඔවුහු පැවසූහ. “ඒ අය තමන්ට ලැබෙන ආදායම් මුදල් වශයෙන් තබා නොගෙන වෙනත් තැන්වල ආයෝජන කරන විට ඒ තොරතුරු දෙපාර්තමේන්තුව වෙත ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් හදනවා” එක් නිලධාරියෙක් කීවේය.
උපුල් වික්‍රමසිංහ

