දෙමළ ජනසංහාර අධ්‍යාපන පනත (Tamil Genocide Education Week Act -TGEWA) නමින් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත රාජ්‍ය ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරන ලද පනතක් එම ප්‍රාන්තයේ අධිකරණ තුනක දී අභියෝගයට ලක්කර පනතෙන් ප්‍රකාශිත අන්දමේ දෙමළ ජනසංහාරයක් ලංකාවේ සිදු නොවූ බවට සහ එය අධ්‍යාපනයට සම්බන්ධ පනතක් නොවන බවට තීන්දුවක් ලබා ගත් පුවතක් ගැන “ඉරිදා ලංකාදීප”ය පසුගිය සතියේ මුල් පිටුවෙන් තොරතුරු අනාවරණය කළේ ය.
එම තීන්දුව ලබාගැනීමට මුල් වී ක්‍රියා කළේ කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වන ආචාර්ය නෙවිල් හේවගේ ය. ඔහු සහ ඔහුගේ කණ්ඩායම රට වෙනුවෙන් ලබාගත් මේ ජයග්‍රහණය පිළිබඳ තොරතුරු දැනුම් දීම වෙනුවෙන් ප්‍රතිපත්ති පර්‌යේෂණ සඳහා වෙන ඔන්ටාරියෝ මධ්‍යස්ථානය පසුගියදා කොළඹ දී විශේෂ දේශනයක් සංවිධානය කර තිබූ අතර , එහි දී අපට මේ සම්බන්ධයෙන් ඔහු සමග සාකච්ඡාවක නිරත වීමට හැකි විය. මේ එම සාකච්ඡාවේ සටහන යි.
කැනඩාවේ ප්‍රාන්ත රාජ්‍ය ව්‍යවස්ථාදායකයක් මගින් සම්මත කරපු පනතකට එරෙහිව ඔබ ඇතුළු කණ්ඩායම ලබපු ජයග්‍රහණයක් ගැන දේශනයේ දී තොරතුරු හෙළි කළා. මොකක්ද ඒ ජයග්‍රහණය?
දෙමළ ජනසංහාර අධ්‍යාපන පනත (Tamil Genocide Education Week Act -TGEWA) මුලින්ම ඔන්ටාරියෝ ප්‍රාන්ත රජයේ ව්‍යවස්ථාදායකයේ දී සම්මත වුණා. ප්‍රාන්ත පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් වූ විට එය අධිකරණය හමුවේ අභියෝගයට ලක්කරන්න බෑ. නමුත් පනත් කෙටුම්පතක් පනතක් බවට පත්වුණාට පස්සෙ ඒකෙ නීත්‍යනුකූලභාවය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන්න පුළුවන්. ඒ අනුව අපි මේ පනත ඔන්ටාරියෝ ප්‍රාන්ත රාජ්‍යයේ පහළ අධිකරණය හමුවට ගෙනගියා.
මේ පනත ගේන්න මුල් වුණේ කවුද සහ ඒකෙ ප්‍රධාන අරමුණ මොකක් ද ?
මේ පනත ගෙනාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරයෙකු වන විජේ තනිගසන් නමැත්තා. එයා ලංකාවේ ඉඳලා සරණාගතයෙකු වශයෙන් හොරෙන් කැනඩාවට ඇවිත් පුරවැසිභාවය ගත්ත කෙනෙක්. ශ්‍රී ලංකාවේ දෙමළ සංහාරයක් සිදු වූ බවට ඔන්ටාරියෝ ප්‍රාන්ත රජයෙන් නීතිමය සහතිකයක් ගැනීමේ අරමුණින් මේ පනත ගෙනාපු බව බොහොම පැහැදිලියි. ඊළඟට මේ පනතෙ තියෙන දේවල් පට්ටපල් බොරු. මේ පනත අධ්‍යාපන පනතක් හැටියට ඉදිරිපත් කරලා තියෙන නිසා ඔන්ටාරියෝ ප්‍රාන්ත රජයෙන් සම්මත වුණහම ඔන්ටාරියෝ ප්‍රාන්ත රජයේ පාසල්වල විෂය නිර්දේශයට ඇතුළත් කිරීමේ හැකියාව ලැබෙනවා.
ඒ කියන්නෙ ඔන්ටාරියෝ ප්‍රාන්ත රජයේ පාසල් විෂය මාලාවට පමණක් ද නැතිනම් සමස්ත කැනඩාවේ පාසල් පද්ධතියට අදාළව ද?
ඔන්ටාරියෝ ප්‍රාන්ත රජයට විතරයි තියෙන්නෙ. නමුත් පනත සම්මත කරලා ඔන්ටාරියෝ ප්‍රාන්තයේ පාසල්වලට දාගත්තම අනිත් ප්‍රාන්තවලටත් නිකන්ම යනවා.
ඉන්පසු ඔබලා මුලින්ම ගියේ මොන අධිකරණයට ද?
මේ තත්ත්වය යටතේ මේ පනත බැරෑරුම් එකක්. ඒ නිසා අපිට වැටහුණා මේ වැරදි වැඩේ ගැන උසාවියට ගිහින් කියන්න ඕනෑ කියලා. ඒ අනුව අපි මුලින් ම ඔන්ටාරියෝ සුපීරියර් යුක්ති අධිකරණය (Ontario Superior Court of Justice)ට ගියා. එතැනදී අපි අධිකරණයේ අවධානයට කාරණා හතරක් යොමු කළා. පළමු වැනි එක තමයි ඔන්ටාරියෝ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරපු මේ පනත මගින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනසංහාරයක් සිදු වූ බවට ඔන්ටාරියෝ ප්‍රාන්ත ආණ්ඩුව නීතිමය ප්‍රකාශනයක් කර තිබේ ද යන්න. අපි මේ නඩු කටයුත්තෙදී ඉතාම තීක්ෂණ විදියට කටයුතු කළා. මොකද අධිකරණය කිව්වොත් ප්‍රාන්ත ආණ්ඩුව ඒ විදියෙ නීතිමය ප්‍රකාශනයක් කරලා නෑ කියලා එතැනින් අපේ චෝදනාව අවසන් වෙනවා. එතකොට නඩුවත් ඉවත් වෙනවා. ව්‍යවස්ථානුකූල නීතිය ගැන හරියට නොදන්නා පිරිසක් ප්‍රචාරය කරගෙන ගියා අපි නඩුව පැරදුණා කියලා.
නමුත් ඇත්ත තත්ත්වය ඊට වඩා වෙනස්. පහළ අධිකරණය අපේ පළමු ප්‍රශ්නයට ඉතා පැහැදිලිව කිව්වා ඔන්ටාරියෝ ප්‍රාන්ත ආණ්ඩුව ලංකාවේ දෙමළ ජනසංහාරයක් වූ බවට නීතිමය ප්‍රකාශනයක් කරලා නෑ කියලා. නමුත් ඒ එක්කම අධිකරණය කිව්වා මේ පනත අධ්‍යාපනයට සම්බන්ධ පනතක් කියලා. ඒක ඉතාම බරපතළ කාරණයක්. ඒ නිසා අපි ඒ තීන්දුව ඔන්ටාරියෝ ප්‍රාන්ත රජයේ අභියාචනාධිකරණය(Court of Appeal for Ontario) හමුවේ අභියෝගයට ලක්කළා. ඒ නඩු තීන්දුවේ දී මේ පනත ලංකාවේ දෙමළ ජනසංහාරයක් වූ බවට ඔන්ටාරියෝ ප්‍රාන්ත රජය නිකුත් කළ නීතිමය ප්‍රකාශනයක් නොවන බවට මුල් අධිකරණය ලබා දුන් තීන්දුව අභියාචනාධිකරණය විසින් තහවුරු කළා. ඒ වගේ ම මේ පනත අධ්‍යාපනයට සම්බන්ධ එකක් නොවන බවටත් තීන්දු කළා. ඒක තමයි අපි ලබපු විශේෂ ජයග්‍රහණය. මේ පනත අධ්‍යාපනයට සම්බන්ධ එකක් නොවන බවට අධිකරණයෙන් තීන්දු කළහම සාමාන්‍යයෙන් වෙන්නෙ මේ පනත සම්පූර්ණයෙන් ම අහෝසි වෙන එක. ඒත් අභියාචනාධිකරණය එතන දී තීන්දුවක් දුන්නා මේ පනත අධ්‍යාපන පනතක් නොවුණත් ඒක දෙමළ අයට ඔවුන්ගේ මියගිය ඥාතීන් සිහි කිරීමට අවස්ථාව හිමිවෙන අනුස්මරණ පනතක් හැටියට ක්‍රියාත්මක වෙනවා කියලා. කැනඩාවේ නීතිය යටතේ ප්‍රාන්ත ආණ්ඩුවලට බලතල තියෙනවා ඒවායේ සිටින පුරවැසියන්ගේ මියගිය ඥාතීන් සැමරීම සඳහා පනත් සම්මත කිරීමට. මේ පනත ඒ යටතේ සම්මත කරපු එකක් හැටියට උසාවිය තීන්දු කළා.
ඒ කියන්නෙ මේ පනත තවමත් බලාත්මකයි?
ඔව් පනත බලාත්මකයි. ඒ වුණාට මේකෙ ලංකාවේ දෙමළ ජනසංහාරයක් වුණා කියලා පිළිගැනීමකුත් නෑ. අධ්‍යාපන පනතක් බවට පිළිගැනීමකුත් නෑ. නමුත් මේ පනතෙ නම තියෙන්නෙ දෙමළ ජනසංහාරය පිළිබඳ අධ්‍යාපන පනතක් හැටියට. දකින කෙනෙකුට හිතෙනවා මේ පනතෙ හැටියට ලංකාවෙ දෙමළ ජනසංහාරයක් වෙලා තියෙනවා සහ ඒ ගැන ඔන්ටාරියෝ ප්‍රාන්ත රජයේ පාසල්වල උගන්වන්න යනවා වැනි අදහසක්. ඒ වුණාට මේ වගේ පනත් තව විස්සක් විතර කැනඩාවේ තියෙනවා. ඒවායෙන් බොහොමයක් විවිධ ප්‍රජාවන්ට ඔවුන්ගේ මිය ගිය ඥාතීන් සිහිකිරීමට නීතිමය ඉඩ ලබා දීමට සම්මත කරපු ඒවා.
මේ පනත අධ්‍යාපනයට සම්බන්ධ එකක් නොවන බවට අධිකරණයෙන් තීන්දු කළහම සාමාන්‍යයෙන් වෙන්නෙ මේ පනත සම්පූර්ණයෙන් ම අහෝසි වෙන එක. ඒත් අභියාචනාධිකරණය එතන දී තීන්දුවක් දුන්නා මේ පනත අධ්‍යාපන පනතක් නොවුණත් ඒක දෙමළ අයට ඔවුන් ගේ මියගිය ඥාතීන් සිහි කිරීමට අවස්ථාව හිමිවෙන අනුස්මරණ පනතක් හැටියට ක්‍රියාත්මක වෙනවා කියලා.
ඔබලා ප්‍රාන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියා කියලත් එදා තිබුණු දේශනයේ දී කිව්වා. ඒ ගැන පැහැදිලි කළොත්?
ඔව්. අභියාචනාධිකරණ තීන්දුව ලැබුණට පස්සෙ ඒක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගෙනි යන්නත් පුළුවන්. කැනඩාවේ දෙමළ පුරවැසියන්ගේ ජාතික සභාව සහ දෙමළ අයිතිවාසිකම් කණ්ඩායම කියන දෙමළ කණ්ඩායම් දෙකකුත් මේ නඩුවලට සම්බන්ධ වෙලා හිටියා. අභියාචනාධිකරණය දුන් තීන්දුවෙහි නීතිමය ගැටලු තියෙනවා කියලා ඒ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන්න ඔවුන්ට හැකියාව තියෙන බව අපි දැනන් හිටියා. කැනඩාව අන්තර්ජාතික අපරාධ අධිකරණය (ICC) හා අන්තර්ජාතික යුක්ති අධිකරණය (ICJ) පිළිගත්ත රටක්. එතකොට ජනසංහාරයක් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ තැන්වලට ගෙන යා යුතුයි. ඒ වුණාට කැනඩා ශ්‍රේෂ්ඨාධිකරණයට බලතල තියෙනවා ජනසංහාරයක් සිදු වෙමින් පවතින හෝ ඒ හා සමාන ගති ලක්ෂණ තිබෙන බවට තීන්දු කරන්න. මේකත් භයානක කාරණයක්. මේ නිසා අපි කළේ කාරණා හතරක් මුල් කරගෙන මේ සිද්ධිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගෙන ගිය එක. ලංකාවේ දෙමළ ජන සංහාරයක් වූ බවට ඔන්ටාරියෝ ප්‍රාන්ත රජය නීතිමය ප්‍රකාශනයක් කළා ද සහ මෙය අධ්‍යාපන පනතක් ද කියන අර මුල් කාරණා දෙක අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් විමසා සිටියා. තුන්වැනි කාරණය යටතේ අපි කිව්වා මේ පනත මගින් අපේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා කියලා. පළමුවැනි කාරණා දෙක අපට වාසිසහගත විදියට අභියාචනාධිකරණයෙන් තීන්දුව දීලා තිබුණත් මම අධිකරණයට කිව්වා තවදුරටත් මේ ගැන විමර්ශනයක් අවශ්‍යයි කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා පහළ උසාවියෙන් මේ සම්බන්ධව දුන්නු තීන්දුව නිවැරදියි කියලා. ඒ අනුව දැන් තීන්දුව පැහැදිලියි. ආයෙ කාටවත් මේකට අත ගහන්න බෑ.
කැනඩාවේ වෙසෙන දෙමළ ඩයස්පෝරාව කාලයක සිට ලංකාවට මේ චෝදනා එල්ල කරනවා. කැනඩාවෙ වෙසෙන ලාංකික පුරවැසියෙකු විදියට ඔබ ඒ තත්ත්වය දකින්නෙ කොහොමද?
මේ වගේ පනත් ගේන්නෙ දේශපාලනමය වශයෙන් දෙමළ ජනතාවගේ ඡන්ද ලබාගැනීමේ උපක්‍රමයක් හැටියට. මේ අය එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග බොහොම කිට්ටුවෙන් කටයුතු කරන අය කියලා අපිට පැහැදිලියි. තව දෙයක් තමයි එල්.ටී.ටී.ඊ. මතවාදය දරන මේ අය එකතු වෙලා මිනිස් ජාවාරමකුත් කරනවා. අපිට තියෙන තොරතුරුවලට අනුව කැනඩාවෙ ඉන්න මේ අය ලංකාවෙ ඉඳන් බටහිර රටවලට යන්න එක සරණාගතයෙකු ගෙන් ඩොලර් 35,000 ත් 60,000 ත් අතර මුදලක් ගන්නවා. මේක තමයි ඒ අයගෙ බිස්නස් එක. මේ බිස්නස් එක කරන්න නම් ලංකාවේ ඉන්න දෙමළ අයට කරදරයක් වෙනවා කියලා ජාත්‍යන්තරයට කියන්න ඕන. යුද්දෙ ඉවර වෙලානෙ තියෙන්නෙ. ඒ නිසා කියන්න දේකුත් නෑ. ඒ නිසා කියන්න ගත්තා ලංකාවේ දෙමළ ජනසංහාරයක් වෙනවා කියලා. කැනඩාවෙ ඉන්නවා පුරවැසිභාවය නැති 60,000 ක විතර පිරිසක්. ඒ අය කැනඩාවේ හෝ වෙනත් බටහිර රටක පුරවැසිභාවය ලබා ගන්න ඕන නිසා ලංකාව මේ විදියට අපකීර්තියට ලක් කරනවා. දෙමළ අය විතරක් නෙවෙයි විවිධ හේතු කියලා මෙහෙ පුරවැසිභාවය ගන්න උත්සාහ කරන සිංහල මිනිස්සුත් ඉන්නවා.
මේ නීති කාර්යයට සම්බන්ධ වුණු අනිත් අය කවුද?
මේ කටයුත්තට තවත් සංවිධාන දෙකක් සම්බන්ධ වෙලා හිටියට ඒ අයට ඔවුන්ගේ නීතිමය තර්ක සාර්ථකව ඉදිරිපත් කරන්න බැරි වුණා. මම ඒ කාලේ ලොරෙන්ෂන් විශ්වවිද්‍යාලයේ නීති සහ යුක්තිය දෙපාර්තමේන්තුවේ සහකාර කථිකාචාර්ය කෙනෙක් විදියට කටයුතු කළා. මේ පනතෙ අධ්‍යාපන පැත්ත අභියෝගයට ලක් කරන්න මට ඒකත් හේතුවක් වුණා. මොකද විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු විදියට මට ළමයින්ට බොරු උගන්වන්න බෑ. මේ නඩුවෙදී මගේ නීතිඥයා වශයෙන් කටයුතු කළේ හසක රත්නමලල. අපි කණ්ඩායමක් වශයෙන් එකතු වෙලා මේ දේ කළා.
මේක අපේ කණ්ඩායම ලබපු ජයග්‍රහණයක් විතරක් නොවෙයි. මේක මුළු රටම ලබපු ජයග්‍රහණයක්. එල්.ටී.ටී.ඊ. මතවාදය අපි පරාජය කරලා තියෙනවා.
උපුල් වික්‍රමසිංහ