
මෙරට දේශපාලන ක්‍රමය ගැන දිගු කලක සිටම ජනතාව තුළ දැඩි විවේචනයක් වෙයි. බලයට පත්වන ආණ්ඩුවක් රටේ සියලු ජාතික දේපොළ තම භුක්තියට සවිකරගෙන විවිධ අයුරින් ජාතික ධනය කොල්ලකන බව එම චෝදනාවය. රාජ්‍ය ආයතනවලට ආනයනික භාණ්ඩ ගෙන ඒමේ සිට බඩු භාණ්ඩ මිලදී ගැනීම හා විකිණීම දක්වාම සිදු වන්නේ පාලක පංතියේ බලවතුන්ගේ වුවමනාවට බව පැවැති ආණ්ඩුවලට එරෙහිව දැඩි සේ චෝදනා කෙරිණ. බෙහෙත් ආනයනය, ගල් අඟුරු ආනයනය, ඉන්ධන ආනයනය එවැනි මහා පරිමාණ දූෂණ සිදුවූ අංශ වේ. එහෙත් මේ වනවිට ගල් අඟුරු හා ඉන්ධන යන අංශවලදී වත්මන් ආණ්ඩුවට එරෙහිවද එවැනි චෝදනා නැගී ඇත.
වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් වූ ජාතික ධනයෙන් සොරකම් කළ හිටපු දේශපාලකයන් ගණනාවක්ම සිපිරිගෙට නියමවන අයුරු දැකගත හැකිය. දේශපාලකයන් සම්බන්ධ නඩු තිහකට මදක් වැඩි සංඛ්‍යාවක් විශේෂ මහාධිකරණවල විභාග වෙයි. මෙම නඩු පැවරී ඇති සියලු දෙනාම පාහේ රාජපක්‍ෂවරුන්ගේ දේශපාලනය වටා ගොනුවී සිටි පුද්ගලයන් වීමද විශේෂිතය. “මජර” දේශපාලන ක්‍රමයක් ලෙස හංවඩු ගැසී තිබූ දේශපාලනය පිරිසිදු කිරීමේ පියවරක් ලෙස මෙතරම් නඩු ප්‍රමාණයක් ගොනු වී ඇත. මෙම ක්‍රියාවලිය අවසන්වූ පසුවද මෙරට වංචා හා දූෂණයෙන් යුතු දේශපාලනයට තිත තැබේද යන්න විමසා බැලිය යුතුය.
මේ වනවිට ලංකාවේ දේශපාලන යාන්ත්‍රණයටද රාජ්‍ය ආයතන සියල්ලමද තදබල කඩාවැටීමකට හා ගරා වැටීමකට ලක්ව ඇත. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පවා දූෂණ වංචා චෝදනා හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබිණ. අමාත්‍යාංශ ගණනාවක ඉහළම ලේකම්වරුන් පවා දූෂණ වංචා චෝදනා හේතුවෙන් රිමාන්ඩ් භාරයට පත් කර තිබිණ. මෙම සිදුවීම්වලින් ගම්‍යවන්නේ රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයත් දූෂණ හා වංචා නමැති ගොහොරුවේ ගිලී ඇති බවය. දේශපාලකයා පමණක් නොව ඉහළ නිලධාරී යාන්ත්‍රණයම එවැනි ගොහොරුවක ගිලී සිටියදී රාජ්‍ය යාන්ත්‍රණය හා සමස්ත දේශපාලන ක්‍රමය කෙරෙහිම ජනතාවගේ ප්‍රසාදයක් නැත. වත්මන් ජනාධිපතිවරයාගේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ ජනතාව පිළිගත්තද අද වනවිට එම වැඩපිළිවෙළහිද යම් යම් අඩුපාඩු මතු වෙමින් තිබේ. එවැනි විටක ලබන ජනාධිපතිවරණය හා මහා මැතිවරණයේදීත් දූෂණ විරෝධී සටන් පාඨය නැවැත මතුවීම වැළැක්විය නොහැකිය.
දූෂණය සහ වංචාව දිගු කලක් තිස්සේ ජනතාවගේ පිළිකුලට හා විරෝධයට ලක්ව ඇති මාතෘකාවකි. අයථා ලෙස ධනය උපයා ගන්නා දේශපාලකයන් තම රජයක් යටතේ ගාලුමුවදොර පිටියට ගෙන්වා ප්‍රසිද්ධියේ දඬුවම් කරන බව ප්‍රකාශ කළ 1994 චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පූර්ව මැතිවරණ සමයේ සිටම දූෂණ හා වංචා විරෝධී දේශපාලනයක් රටේ පැතිර ගියේය. එහෙත් එම රජය කිසිවකුට එලෙස දඬුවම් නොකළ අතර වසර කිහිපයක් ගතවෙද්දී එම රජයේ බොහෝ දේශපාලකයන්ටද දූෂණ හා වංචා චෝදනා එල්ල විය. එදා සිට වසර තිස් දෙක්ක් ගෙවී ගොස් ඇතත් අදද රට ඉල්ලා සිටින්නේ දූෂණ හා වංචා විරෝධී ආණ්ඩුවකි.
වර්තමාන රජය බලයට පැමිණියේ දැනට පවතින දිස්ත්‍රික් මැතිවරණ ක්‍රමය වෙනුවට පැරණි ක්‍රමය වූ ආසන මට්ටමේ මැතිවරණ ක්‍රමයක් යළි ඇති කරන බව කියමිනි. එහෙත් එවැනි ක්‍රමයක් තවමත් යෝජනා වී නැත. දැනටද පවතින්නේ මන්ත්‍රීවරයා සමස්ත දිස්ත්‍රික්කයේම ඡන්දදායකයන්ගෙන් පත්වන ක්‍රමයමය. මන්ත්‍රීවරයකු බවට තේරී පත්වීම පිණිස අපේක්‍ෂකයකුට රුපියල් බිලියන ගණනක් වියදම් කිරීමට සිදුවන්නේ එහිදීය. ලබන මැතිවරණයේදී තේරී පත්වීම සඳහා කොළඹ වැනි මැතිවරණ දිස්ත්‍රික්කයකදී රුපියල් බිලියන ගාණක් ඉක්මවා යන මුදලක් ප්‍රධාන පෙළේ පක්‍ෂවල අපේක්‍ෂකයන්ට අවශ්‍ය වනු ඇත. වියදම් පිළිබඳ සීමා නිල වශයෙන් මැතිවරණ පනතේ අඩංගු වුවත් භාවිතයේදී එය ක්‍රියාත්මක කිරීම අසීරුය. එවැනි විටක විශාල පිරිසක් අතරින් තේරී පත්වීම සඳහා මුදල් විසි කරන අපේක්‍ෂකයන් පිරිසක් බිහිවීම වැළැක්විය නොහැකි. දූෂිත මැතිවරණ ක්‍රමයේ තැනක් ලබාගැනීම සඳහා දූෂිත ක්‍රමය ඉදිරියටම පවත්වාගෙන යාමට අපේක්‍ෂකයන්ට සිදුවන අතර මුදල් විසිකර මැතිසබයට පත්වීමෙන් පසු ඔහු තමා වියදම් කළ මුදල මොනයම් ආකාරයකින් හෝ සොයා ගත යුතුය. විපක්‍ෂය ප්‍රාණවත් වන මතු එළඹෙන මහා මැතිවරණයේදී මෙම මනාප පොරය යටතේ රටට ඉතිරිවන්නේ දූෂිත ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාමට කැපවූ මන්ත්‍රීවරුන් පිරිසකි.
තිත්ත කසායක් ගිල දැමීමට ලැබෙද්දී එය ඔතා ඇති අලංකාර කඩදාසියෙන් ප්‍රතිඵලයක් නැත. වංචා දූෂණ මැඩලීම හොඳ කටයුත්තක් වුවත් ජනතාව දිනෙන් දිනම ගිලී යන ආර්ථික අගාධය සහ බදු බර ජනතාවගෙන් ඉවතට ගත යුතුය. මෙම රජයද පෙර රජය සේම බදු බර දිනෙන් දින වැඩි කරන එමෙන්ම ලැබෙන වැටුපෙන් මාසයක් ජීවත් විය නොහැකි ජීවන ක්‍රමයක් ජනතාවට උරුම කර තිබේ.
ජීවන වියදම ඉහළ නැගීම ජනතාවට මුහුණ දෙන්නට සිදුවී ඇති ප්‍රශ්නවලින් ප්‍රධාන ප්‍රශ්නයකි. අත්‍යවශ්‍ය භාණ්ඩ සෑම එකකම මිල ඉහළ නැග තිබෙන අතර ත්‍රිරෝද රථ ගාස්තු ඇතුළු පොදු ජනයාගේ ප්‍රවාහන වියදම් ද ඉහළ ගොසිනි. ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සියළු දෑ ඉහළ නැග ඇති පසුබිමක ආදායම තිබූ තැනම තිබේ.
යම් නිවසක සාමාන්‍යයෙන් අවශ්‍ය කෙරෙන භාණ්ඩ හා සේවාවල මිල ඉහළ නඟින විට ඊට සමාන්තරව ආදායම වැඩිවීමක් සිදු නොවුණහොත් එම ගෘහයේ පැවැත්ම කඩා වැටෙයි. ජනතාව තව තවත් අගහිඟකමින් පෙලීම නවතාලීමට නම් කළයුතුව තිබෙන්නේ ජීවන වියදම අඩු කිරීමට රජය පියවර ගැනීමය. එහෙත් රජයට එවැනි හැකියාවක් සහ වුවමනාවක් නොපෙනෙයි.
විවිධ ආකාරයෙන් ගෙවීමට ඇති බදු ජනතාවගේ දැඩි විරෝධයට ලක්ව තිබේ. දියුණු රටවල බදු අය කරන්නේ අදාළ කර්මාන්තකරුවන්ට සහ පොදු ජනතාවට රජයෙන් විවිධාකාර සහන සහ පහසුකම් ලබාදීමෙන් පසුවය. මෙරට බදු අය කරන්නේ එසේ නොවේ. ලැබෙන වැටුප අන් අයට සාපේක්‍ෂව මඳක් ඉහළ නම් ඔහුගෙන් බදු අය කෙරෙයි. අසීරුවෙන් පටන්ගත් කුඩා වෙළෙඳසලක් යම් ආදායමක් උපයන තැනට පැමිණ තිබේනම් එම වෙළෙඳසලෙන් බදු අය කෙරෙයි. ආදායම් බදු දෙපාර්තමේන්තුව විවිධ ආකර්ෂණීය පාඨ සකසා ගෙන ජනතාවට ඉදිරිපත් කරන්නේ “බදු ඔබගේ අනාගතය” වෙනුවෙන් බවය. එහෙත් එම බදු ගෙවන සේවකයා හෝ කුඩා වෙළෙඳසලේ මූලික දියුණුව සඳහා රජය ලබා දුන් කිසිදු සහනයක් නැත. බැලූ බැල්මට ආදායම් ඇති බව පෙනෙයි නම් එම වෙළෙඳසලට බදු නිලධාරීන්ගේ බැල්ම වැටෙයි.
වත්මන් ආණ්ඩුව බලයට ඒමට පෙර පෙට්‍රල් ලීටරයකින් රජය අයකරන බදු ගැන ජනතාවගේ ආකර්ෂණය ඇද ගන්නා විවිධ කතා කීවේය. තම රජයක් යටතේ ඉන්ධන විකුණන්නේ වරායෙන් ගොඩබාන මිලට බව ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලුම මාලිමා දේශපාලකයන්ගේ ප්‍රබල සටන් පාඨයක් බවට පත්ව තිබිණි. එහෙත් වත්මන් ආණ්ඩුව බලයට පැමිණ වසර එකහමාරක් ඉක්ම ගොස් ඇතත් තෙල්වලින් පැවැති කිසිම බදු මුදලක් මේ දක්වා ඉවත් කර නැත.
පැවැති ආණ්ඩු සෑම එකක්ම පාහේ රජයේ ප්‍රධාන බදු ආදායමක් ලබා ගත්තේ විවිධ බදු වර්ග ඉන්ධන ලීටරයකට ඇතුළත් කරමිනි. 2011 වසරේදී මෙරටට පෙට්‍රල් ආනයනය කිරීමට ගිය වියදම රුපියල් මිලියන 44652 කි. ඉන් උපයා තිබෙන බදු ආදායම රුපියල් මිලියන 15897 කි. එකල රුපියලේ වටිනාකම අනුව රුපියල් 100ක පෙට්‍රල්වල තිබූ බදු මුදල රුපියල් 35 කි. අදද එම තත්ත්වයේ වෙනසක් වී නැත.
ජනතාව ඉල්ලා සිටි රාජ්‍ය තන්ත්‍රයේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් වෙනුවට ජනතාවට ලැබී ඇත්තේ දූෂණ වංචා මැඩලීම යන ආකර්ෂණීය කඩදාසියක තැවරූ බදු නමැති තිත්ත කසායකි.
තිත්ත කසායක් ගිල දැමීමට ලැබෙද්දී එය ඔතා ඇති අලංකාර කඩදාසියෙන් ප්‍රතිඵලයක් නැත. වංචා දූෂණ මැඩලීම හොඳ කටයුත්තක් වුවත් ජනතාව දිනෙන් දිනම ගිලී යන ආර්ථික අගාධය සහ බදු බර ජනතාවගෙන් ඉවතට ගත යුතුය. මෙම රජයද පෙර රජය සේම බදු බර දිනෙන් දින වැඩි කරන එමෙන්ම ලැබෙන වැටුපෙන් මාසයක් ජීවත් විය නොහැකි ජීවන ක්‍රමයක් ජනතාවට උරුම කර තිබේ.
තුනෙන් දෙකේ ජනවරමක් ලැබී තිබූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ආණ්ඩුවට ගෝඨාභය රාජපක්‍ෂ යටතේ අවාසනාවන්ත ඉරණමකට ලක්වීමට සිදුවූයේද ආණ්ඩුවේ ප්‍රශ්න සහ පොදු ජනතාවගේ ප්‍රශ්න තේරුම් නොගත් නිසාය. බලයට ඒමට පෙර පැවසූ පොරොන්දුවලට හත්පසින්ම වෙනස් පාරක ගමන් ගත් ගෝඨාභය රාජපක්‍ෂ රජය ජනතා වුවමනාවට පිටින් උද්ධච්ච මාවතක ගමන් ගෙන විනාශ වූයේය. ගොවියාට පොහොර නොලැබෙන පොදු ජනයාට ඉන්ධන හා ගෑස් වැනි අත්‍යවශ්‍ය දෑ නොලැබෙන විට ජනතා තීන්දුව වූයේ රජයට එරෙහිව වීදි බැසීමය. අද පවතින ආණ්ඩුවද එවැනිම මගක යමින් සිටින්නේ ද? ජනතාවගේ ජීවන වියදම් ප්‍රශ්නය සමනය නොකර වෙනත් අතකට ජනතා අවධානය ලක් කරමින් සිටින්නේ ද? එහි අවසානය වනු ඇත්තේ ගෝඨාභයට එල්ල වූ පන්නයේ මහජන අරගලයක් ද?
ජීවන වියදම් ප්‍රශ්නය ගැන ජනතාවගේ මැසිවිලි ඉහළ නගිනවිට රජය දූෂණ වංචා මැඩලීම වැනි මාතෘකා කරළියට ගෙනෙයි. මෙම ක්‍රමය පැවැති ආණ්ඩු කිහිපයක්ම ක්‍රියාත්මක කළ උපක්‍රමයක් නිසා තමන්ගේ බඩගින්න තිබියදී දූෂිතයන් හා වංචනිකයන් සිරගත කරන ජවනිකා නැරඹීමට ජනතාවට එතරම් උනන්දුවක් නැත. සමස්ත ආර්ථිකයම කඩා වැටෙමින් ඇති පසුබිමක ජීවන වියදම වැනි ඉතා සංවේදී විෂයයක් නොසලකා හැරීම රජයේ පැවැත්මට අහිතකර වනු ඇත. සිදුවිය යුත්තේ ආණ්ඩුවේ ප්‍රචාරක කටයුතුද කරගන්නා අතරතුර ජනතාවගේ “කුසගින්න” ගැනද බැලීමය.
ප්‍රේමකීර්ති රණතුංග

