දූෂණ හෝ වංචා ලෝකයේ ඕනෑම ආර්ථිකයක කොටසකි. රටක් දුප්පත් වූ පසු දූෂණ ගැන ආන්දෝලනය තීව්‍ර වෙයි. පොහොසත් රටවල ද අන්ත දූෂිත තත්ත්ව තිබේ. ආර්ථිකයේ වේගය අනුව සාපේක්ෂය. මෙරට සමාජයේ ප්‍රචලිතව දක්වන පරිදි “‘හොරකම් කරන කොටස” දියුණු රටක දී සුළු එකක් වන අතර, ස්වල්පයක් උත්පාදනය කරන රටක සුළු හොරකමක් පවා බරපතළ ගනයට වැටේ. මහජන මුදල් වංචා කරන සිද්ධි සාධාරණීකරණය කිරීමක් මෙයින් කිසිසේත් අදහස් කරන්නේ නැත.
රාජ්‍ය ධනය කොල්ලකන සිද්ධි සම්බන්ධයෙන් ඉහළම දඬුවම් නියම කළ යුතුය. සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ ඔහුට සමීපතම ඇමතිවරයෙකු ගේ දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන අතරවාරයේ වගකීම භාරගත් අදාළ ඇමැතිවරයා ලිපියක් ලියා තබා දිවි නසා ගත්තේය.
චීනයේ දූෂිත ඇමැතිවරු, නිලධාරීහු සිය ගණන් ඝාතනය කර තිබේ. ඇමරිකාවේ පවා වඩාත් දූෂිත නායකයන් ගේ ලැයිස්තු සහ ඉහළම දඬුවම් නියම වූ අවස්ථා සඳහන්ය. අනෙක් අතට ඉතාම දූෂිත බව හුවා දක්වා පලවා හරින ලද බ්‍රසීලය, තායිලන්තය, පිලිපීනය වැනි රටවල නායකයෝ හෝ ඔවුන්ගේ සමීපතමයන් එම රටවල ජනතාව නැවතත් ඉහළින්ම බලයට පත් කරගෙන තිබේ. විශාලතම ජනගහනයක් සහිත ඉන්දියාවේ ආණ්ඩුව පමණක් නොව පුද්ගලික අංශය ගැන ද, දූෂිත තත්ත්ව ගැන දැවැන්ත මතිමතාන්තර ඇත. ලෝකයේ වැඩිම කළු සල්ලි ප්‍රමාණයක් ගැවසෙන රට බව අර්ථදක්වයි. කෙසේ වෙතත් ආර්ථිකය වේගයෙන්ම දියුණුවෙමින් පවතින රටකි.
අහඹු සිද්ධිවලට පමණක් දඬුවම
මහජන ධනය අයුතු ලෙස පරිහරණය කරන ලද බවට වරදකරුවන් බවට පත් වූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ එවකට ස.තො.ස. සභාපතිවරයාව සිටි හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු සම්බන්ධයෙන් ඓතිහාසික නඩු තීන්දුවක් පසුගිය දා ප්‍රකාශයට පත්විය. 2014 වසරේ සිද්ධිය සම්බන්ධයෙන් වසර දහයකට පසු අවසන් වූ මෙම නඩු නිමිත්ත තවමත් අවසානයක් නැත. ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රමවේදය අනුව නඩු තීන්දුව ගැන සෑහීමකට පත් නොවන අවස්ථාවක එයට ඉහළ අධිකරණයෙන් නැවත සහනයක් ඉල්ලා සිටිය හැකි වේ. සුළු ප්‍රමාද දෝෂයක් වාසියකට හැරවෙන්නට ඉඩ ඇති අතර එහි දී මෙම තීන්දුව අනෙක් පැත්තකට පරිවර්තනයවීමට ඉඩ තිබේ. අවසානයේ දී ජනාධිපති සමාව දක්වා මෙම සිද්ධිය ඉදිරියට පැවැතිය හැකිය.
මහජන මුදල් කොල්ලකන සිද්ධි සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වේ. විගණන වාර්තා සහ රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධ පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ අනාවරණය වන කරුණු අධිකරණයට ගොනුකළහොත් මැති ඇමැතිවරු හා නිලධාරීහු බහුතරයක් සඳහා අලුතින් සිර මැදිරි තැනීමට සිදුවනු ඇත. දූෂණ වැළැක්වීමේ පණත, අල්ලස් හෝ දූෂණ සම්බන්ධ කොමිසම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වුවහොත් ස්වභාවය තවත් සංකීර්ණ වේ. අවසානයේ දී ප්‍රායෝගිකව ඔප්පුවන කරුණක් තිබේ. සිද්ධි අතරින් අහඹු ලෙස තීන්දු ගැනෙන එකකට දෙකකට දඬුවම් නියම වන බව නිරීක්ෂණය කළ හැක.
අධිකරණයේ ප්‍රවණතාව අනුව සියලුම පැතිවලින් තහවුරු වන සිද්ධිවලට උපරිම දඬුවම් නියම කෙරෙන අතර එය සමාජයට ආදර්ශයක් කෙරෙන පරිදි සිදුවේ. පොල් ගෙඩියක් සොරකම් කිරීම හෝ සුළු සේවකයෙකු ගේ අල්ලසක් වැනි සිද්ධියක දී පවා ජීවිත කාලයටම වන්දි ගෙවන තීන්දු එහි ප්‍රතිඵලයකි.
සොරකම් කරන ධනය හා සරදියෙල් ආර්ථිකය
මහජන මුදල් කොල්ලකන සිද්ධි සම්බන්ධ ආකෘතිය බිඳ දැමීම රජයේ වගකීමකි. ජනතා ඡන්දයෙන් පත්වන ඇතැම් පිරිස් ජනතාව ගෙවන බදුවලින් නඩත්තු වන අතර මහජන මුදල් අවභාවිත කරන තැනට පත්වීම තුළ ක්‍රමයෙහි වරද තිබේ. මුලින් දක්වන ලද පරිදි දුප්පත් රටවල ප්‍රජාතන්ත්‍රවාදය දිළිඳුය. ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය අනුව දිස්ත්‍රික්කයක් ආවරණය කරන්නට සිදුවේ. සැලකිය යුතු ජන කොටසක් සඳහා ඡන්ද ව්‍යාපාරය පහසු නැත. රුපියල් ලක්ෂයක් දෙකක් වැටුප හා දීමනා සේ ලබන නමුත් සමහර මහජන නියෝජිතයෙකුට ඡන්ද කටයුතු සඳහා බිලියන ගණනක් වැය කරන්නට සිදුවේ. මනාප ක්‍රමය තුළ විශාල අකටයුතුකම් තිබේ. කොතැනකින් හෝ උපයාගෙන ධනය හා උපකරණ බෙදන්නට සිදුවන අතර අනුගාමිකයන් නඩත්තු කිරීම වෙනම පිරිවැයකි. මුල් කාලයේ දී ධනවත් පිරිස් ඡන්දවලට ඉදිරිපත් වූ අතර ඔවුන්ගේ දේපොළ පවා අහිමි කරගෙන මැතිවරණවලට මුහුණ දී තිබේ. අලුත් ක්‍රමයේ දී සාමාන්‍ය ජනතාව අතරින් දේශපාලනයට ඇතුළුවන ඇතැම් පිරිසක් ඡන්ද සඳහා මුදල් එකතු කරන ක්‍රම සංවිධානාත්මකව හසුරුවන බව සඳහන් කළ හැක.
අකටයුතුකම්වලින් උපයන ධනය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කොටසකි. දේශපාලනඥයන්, නිලධාරීන් හෝ ඕනෑම පුද්ගලයෙකු ජනතා මුදල් අනිසි ලෙස උපයන අතර අවසානයේ දී රට තුළ වියදම් වේ. ඩොලර්වලට හරවා පිටරට යැවෙන ඕනෑම අවස්ථාවක වාණිජ බැංකුවකින් හෝ මුදල් මාරු කරන ස්ථානවලින් ලබාගත යුතුවේ. මහා පරිමාන ඩොලර් මිල දී ගැනීම් අල්පය. වංචා කරන ධනය කලු සල්ලි වශයෙන් සංසරණයට එකතු වේ.
ඡන්ද කාලයට අලුතින් එන ව්‍යවසාය අතර බත් පැකැට්වල සිට ඩිජිටල් මුද්‍රණය දක්වා ද, අන්තර් ජාල ප්‍රචාරවල සිට බස් රථ යොදවා පාක්ෂිකයන් ප්‍රවාහනය දක්වා ද මෙම මුදල් රට තුළ අතින් අතට යැවේ. ආර්ථික වර්ධනය සුළු අගයක තිබෙන අවස්ථාවක ඡන්ද ආර්ථිකය ද රටට සේවයක් වන අතර මේවා මැඩපැවැත්වීම සඳහා නීති පමණක් නොව නැවතත් ආසන මට්ටමට මැතිවරණ ක්‍රමය හැරවීමේ බරපතළ සංශෝධන ඉක්මනින් අවශ්‍යය.
සියයට පහක් වෙනුවෙන් මහා ඝෝෂාවක්
එක්සත් ජාතීන්ගේ සහ ලෝක ආර්ථික සංසදයේ නිල පර්‌යේෂණ වාර්තා අනුව දූෂණය හෝ වංචාවල ප්‍රමාණය ලෝකයේ සියලුම රටවල ආර්ථික කටයුතුවලින් සියයට පහක පමණ ප්‍රමාණයකි. එය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන පහක් ව දැක්වේ. අල්ලස් හෝ දූෂණ පමණක් ඇමරිකානු ඩොලර් ට්‍රිලියනය ඉක්මවන අතර සොරකම් කරන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.6 ක පමණ කොටසකි. දුප්පත් රටවලට බර තබන ජාත්‍යන්තර මතවාදීහු රටක දරිද්‍රතාව සඳහා මහා පරිමාන වංචා හෝ දූෂණ විශාල වශයෙන් බලපා ඇති බව ඒත්තු දක්වන්නට සමත්වෙති. ආධාර සැපැයීම සඳහා දූෂණ මර්දන පණත්, තොරතුරු දැනගැනීමේ අයිතිය, විනිවිද පෙනෙන ටෙන්ඩර් පටිපාටි සහ අපේක්ෂකයන් ධනය වියදම් කරන ආකාරය හෙළිකළ යුතු බව අවධාරණය කරමින් සිටී. මෑත කාලය තුළ බටහිර දියුණු රටවල ආකෘති හඳුන්වාදීමෙන් පසු දූෂිත තත්ත්ව තවත් වර්ධනය වූ බව හැර ඒවා පාලනය කරගන්නට සමත් වූ බවක් අනාවරණය නොවේ.
දුප්පතුන් ගේ වෛරය අවුලුවන හා ධනය කොල්ලකන පාලකයන් ගැන දක්වන අතිශයෝක්ති දියුණුවෙමින් පවතින රටවල දේශපාලනය ව්‍යාකූල කර ඇත. චෝදනා ලබන පිරිස් අධෛර්යයට පත්වන අතර රට ගැන තීරණගැනීමෙන් වැළකේ. නිලධාරීහු අලස වන අතර උපදෙස් තකා ලිපිගොනු ඉහළට තල්ලුකර තමන් පමණක් ආරක්ෂා වන රාමුවකට ඇතුළු වේ. රටක් දියුණු කිරීම සඳහා තීන්දු අවශ්‍යය. තීරණවලින් එකක් දෙකක් අසාර්ථක විය හැකි අතර සාර්ථක වන තීරණවලින් ප්‍රතිලාභ ලැබේ. සියලුම තීරණ සාර්ථක කරගත හැකි විශිෂ්ට පාලන ක්‍රම ලෝකයේ නැත. නිදහස ලැබූ දිනයේ සිට පාලනය කළ නායකයෝ රට විනාශ කළේ නැත. දේශපාලන නායකයන් ද පවතින සමාජයේ කොටසකි. අඩු වැඩි වශයෙන් අඩු ලුහුඬුකම් ඇත. රටක් ගොඩනැඟුණු අතර මහජනතාවගේ ජීවන මටට්ම උසස් වූ බවට සාක්ෂි තිබේ. දූෂණය, වංචා හෝ මහජන මුදල් නාස්තිය එක කොටසක් පමණක් වන අතර ජාත්‍යන්තරය දක්වන පරිදි එය සියයට පහක්, සමහරවිට ශ්‍රී ලංකාව වැනි රටක දෙගුණයක් හෝ තෙගුණයක් විය හැකිය.
කාර්යක්ෂමතාවයට හා පලදායීතාවට ඉඩ
දූෂණය හෝ වංචා ගැන චෝදනා කරන සෑම අවස්ථාවකම කාර්යක්ෂමතාව හා පලදායීතාව වැදගත්ය. ලෝක බැංකු වාර්තාවක් ශ්‍රී ලංකාව ගැන දක්වන කරුණු අනුව අධික මාර්ග තදබදය හා මාර්ග අනතුරුවල පිරිවැය මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3-5 අතර කොටසකි. මාර්ග තදබදය පුලුස්සන ඉන්ධන ප්‍රමාණය වසරකට රු. බිලියන 200 කි. අකාර්යක්ෂම ප්‍රවාහන සේවා තවත් අතිවිශාල ධනයක් විනාශ කරයි. මහනුවර නගරයේ තදබදය ගැන කරන ලද පර්‌යේෂණයකට අනුව වැඩ කරන පැය ගණනින් සියයට 27 ක් අපතේ යන බව දක්වයි. මෙහි ප්‍රතිපලයක් වශයෙන් පලදායීතාව සියයට 97 කින් පහත වැටී ඇත. කොළඹ හෝ අවට නගරවල තත්ත්වය වඩාත් විනාශකාරීය. වාහන තදබදය හා අනතුරු වළක්වන පද්ධති සඳහා ඇමරිකානු ඩොලර් බිලියන දෙකක් වැය කළහොත් ඉදිරි වසර දහය තුළ මෙම හානියෙන් සියයට පනහක් ආවරණය කරගත හැකි වේ. ශ්‍රී ලංකාවේ විදුලිය, ඛනිජතෙල් හා බැංකු පද්ධතියේ අකාර්යක්ෂමතාව ද මේ හා සමානය. අධ්‍යයන වාර්තා පෙන්වන පරිදි 2005 මෙරට රාජ්‍යයේ අසාර්ථක ව්‍යාපාර රු. ට්‍රිලියන 1.8 ක පාඩුවක් සිදුකොට තිබේ. ප්‍රතිපත්ති සම්පාදකයෝ, මැති ඇමැතිවරු, නිලධාරීහු මෙම ධනස්කන්ධය ගැන අවධානය යොමු කළ යුතුවේ.
මහා පරිමාන දූෂණ හෝ වංචා ගැන කියැවෙන ඉලක්කම් ආපසු හැරවිය නොහැක. වළක්වා ගැනීමට අවශ්‍යය. නීතිය හෝ දඬුවම්වලට එපිට ඇති සිස්ටම් වෙනස් කිරීමක් අවශ්‍යය. සිස්ටම් තිබිය දී මාර්ග තදබදය, අනතුරු, බලශක්ති පිරිවැය, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ වැනි අංශ ගැන තීරණ ගත හැක. මහත් ඝෝෂාවක් ඇති කරන දූෂණයට වඩා ඇතුළතින් හානි කරන පිළිකාවක් සේ ජාතික ආර්ථිකය විනාශ කරමින් සිටී. දූෂණය තුරන් කර සුපිලිපන්න සමාජයක් නිර්මාණය කිරීම හා සමානව නිසි කළමනාකරණය, පලදායීතාව හා කාර්යක්ෂමතාව ඉතා වැදගත්ය.
දූෂණ හා වංචා සිද්ධි ගැන අනෙක් පාඩමක් ද තිබේ. දියුණු රටවල දේශපාලනය විකාරරූපී නමුත් ආර්ථිකය බලපැවැත්වේ. ඉන්දියාව, චීනය හෝ වෙනත් රටක නිලධාරීන් සැලසුම අනුව තීරණ ගෙන ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය අනුව වසර පහකට බලය ලැබේ. දින එක්දහස් අටසිය විසි පහකි. අරාබි නිසොල්ලාසය සේ එක්දහස් එක් රාත්‍රියක් ඉක්මනින් අවසන් වනු ඇත. දූෂණ, වංචා, අක්‍රමිකතා ආණ්ඩුවේ ගමන් මාර්ගයේ විශාල පරාසයක් ආවරණය කළ පසු බලයට පැමිණ ඉලක්ක කරන ලද සැලසුම් පැත්තකට විසිවේ. මහජනතාව ආර්ථිකය ගොඩනැගෙන තෙක් බලා සිටී. ජීවත්විය හැකි පරිසරයක් සහ දරුවන්ට හොඳ අනාගතයක් අපේක්ෂා කරති. දූෂණ හා වංචාවලට ඉඩ තිබිය යුතු නැති අතර සංවර්ධනය සඳහා වේගයක් අවශ්‍ය කෙරේ. සංදර්ශන අවසන් වූ පසු ජනතාවට මතක තිබෙන ප්‍රමාණය ගැන ආණ්ඩුවට තක්සේරුවක් තිබිය යුතුය.
සාරා කන්දෙගොඩ