ද්විත්ව පුරවැසිභාවය අය පාර්ලිමේන්තු ගේන එක අනතුරක්


අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ වන විට අමාත්‍ය මණ්ඩලයට යොමු කර තිබේ. ආණ්ඩුක්‍රමයේ ව්‍යුහයට අදාළව එමගින් යෝජනා කර තිබෙන මූලික සංශෝධන සහ ඒ සම්බන්ධයෙන් පොදු සාකච්ඡාවේ පවතින නීතිමය කරුණු කාරණා කිහිපයක් පිළිබඳව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවක් මෙසේය.  

 

?මේ වෙන කොට අමාත්‍ය මණ්ඩලයට යොමු කරලා තියෙන ඔබ සකස් කළ 21 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රමයේ ව්‍යුහයට අදාළව කර තිබෙන ප්‍රධාන වෙනස්කම් මොනවාද?   


19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් විනිවිදභාවයෙන් යුත් ආණ්ඩු ක්‍රම රටාව 20 වැනි සංශෝධනය මගින් විකෘති කරලා තියෙනවා. ඒ අනුව 20 වැනි සංශෝධනයේ තියෙන බොහෝ දේවල් ඉවත් කරලා නැවතත් 19 වැනි සංශෝධනයේ තිබුණු කරුණු ඉදිරිපත් කිරීම තමයි මේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙන් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නෙ. ඒ අනුව කිසිදු ස්වාධීනත්වයක් නැති පාර්ලිමේන්තු කවුන්සිලය වෙනුවට ව්‍යවස්ථාදායක කවුන්සිලයක් පත් කරන්න යෝජනා කරලා තියෙනවා. ඒකට සිවිල් සමාජයේ සාමාජිකයනුත් ඇතුළත් වෙනවා. 19 වැනි සංශෝධනයෙන් හඳුන්වලා දුන් ප්‍රසම්පාදන සහ විගණන කොමිෂන් සභා 20 වැනි සංශෝධනය මගින් අහෝසි කළා. ඒවා තමයි රාජ්‍ය අංශයේ විනිවිදභාවය හා වගවීම සම්බන්ධයෙන් පැවති ප්‍රධාන කොමිෂන් සභා. ඒවා අහෝසි කිරීම නිසා රාජ්‍ය සම්පත් මුදල් විශාල වශයෙන් අවභාවිතයට දූෂණයට ලක් වෙනවා. ඒ නිසා එම කොමිෂන් සභා දෙක යළි පත් කරන්නත් අපි කටයුතු කරනවා. මැතිවරණ කොමිසම, ජාතික පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම යන කොමිෂන් සභා ස්වාධීනව කටයුතු කළ හැකි ආකාරයට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විධිවිධාන යොදලා තිබුණා. 20 වැනි සංශෝධනය මගින් ඒවායේ බලතල අඩු කරලා යළිත් වරක් දේශපාලන අධිකාරියේ බලපෑම් මත ක්‍රියාත්මක වෙන මට්ටමකට ගෙනාවා. ඒ නිසා එම කොමිෂන් සභා නැවත වතාවක් ස්වාධීන කිරීමට 21 හරහා කටයුතු කරනවා. ඒ වගේම අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමේදී ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ලබා ගත යුතු බවටත් විධිවිධාන යොදලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිවරයාට තම හිතූමනාපෙට අගමැතිවරයා ඉවත් කළ නොහැකි බවටත් ප්‍රතිපාදන හඳුන්වා දී තිබෙනවා. මහ බැංකු අධිපතිවරයා පත් කිරීමත් ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව කළ යුතු බවට විධිවිධාන ඉදිරිපත් කරලා තියෙනවා. 

 
?විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දුන් කාලයේ සිටම යෝජනා ඉදිරිපත් වුණා. ඒ වගේම මේ දේශපාලන අර්බුදය ඇතුළෙත් එය ප්‍රබල ලෙස ප්‍රකාශයට පත් වෙමින් තිබෙන බවක් පෙනෙන්නට තියෙනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය සකස් කළ යෝජනාමාලාවෙත් එය ඇතුළත් වෙනවා. නමුත් මේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙන් ජනාධිපති ධුරයේ ඇතැම් බලතල අඩු කිරීමට පමණක් අවධානය යොමු කරලා තියෙනවා. ඒ ගැන මොනවද කියන්න පුළුවන් ? 

 
හුඟක් අය ව්‍යවස්ථා සංශෝධන මගින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න යෝජනා කරන එක බොළඳ ක්‍රියාවක්. ඒක ව්‍යවස්ථා මූලධර්ම පිළිබඳ අනවබෝධයෙන් කරන දෙයක්. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ හැක්කේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම මගින් විතරයි. මොකද ජනාධිපතිගේ බලතල මුළු ව්‍යවස්ථාව පුරාවටම විහිදිලා තියෙනවා. ඒක කරනවා කියන්නෙ ආණ්ඩුවක් කරගන්න බැරි තත්ත්වයක් ඇති කරලා රට අරාජික කරනවා කියන එක. ව්‍යවස්ථා නීතිය ගැන දැනීමක් ඇති කවුරුත් එහෙම කියන්නෙ නෑ.   


?ජනාධිපතිවරයාගෙ අඩු කරන බලතල මොනවාද?   


ඒ ටික තමයි මම කලින් කිව්වෙ. ජනාධිපතිවරයගෙ බලතල විශාල ප්‍රමාණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැවරෙනවා. යම් ප්‍රමාණයක් අග්‍රාමාත්‍යවරයාටත් තවත් ප්‍රමාණයක් අමාත්‍ය මණ්ඩලයටත් ස්වාධීන කොමිෂන් සභාවලටත් හිමි වෙනවා.   


?19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙනුත් ජනාධිපතිවරයාගෙ ඇතැම් බලතල පාර්ලිමේන්තුවටත් අගමැතිවරයාටත් පැවරුවා. නමුත් ප්‍රායෝගික ආණ්ඩුකරණ ක්‍රියාවලියේදී ගැටුම්කාරී තත්ත්ව පැන නැගුණු අවස්ථා අපි දැක්කා. මේ 21 වැනි සංශෝධනය ක්‍රියාත්මක වුවහොත් එවැනි තත්ත්වයන් යළි ඇති විය හැකිද?   

 

අපි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්නෙ මොන්ටිසෝරි ළමයින්ට නෙවෙයිනෙ. දේශපාලනයේ පරිණතභාවයක් තියෙන රාජ්‍ය නායකයන්ගේ මට්ටමේ අයටනෙ. හිටපු ජනාධිපතිතුමා රටේ අනවශ්‍ය මතයක් ඇති කළා ජනාධිපති ධුරයේ බලතල අඩු කරපු නිසා එතුමට කිසි බලයක් නෑ කියලා. නමුත් එතුමට තිබුණු බලය රාජ්‍යතන්ත්‍රය පවත්වා ගෙන යෑම සඳහා හොඳටම ප්‍රමාණවත්. අනිත් පැත්තෙන් අග්‍රාමාත්‍යවරයට චෝදනා එල්ල වුණා එතුමා තමන්ගේ බල සීමාව ඉක්මවා කටයුතු කළා කියලා. ඒ තත්ත්වය ඇති වුණේ 19 වැනි සංශෝධනයේ දුර්වලකමක් නිසා නෙවෙයි. ඒක පාලකයන්ගේ දුර්වලකම.   


?අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් පවතින විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා ඒ වෙනුවට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ඇති කිරීම රට මුහුණ දෙන මේ දේශපාලන අර්බුදයට විසඳුමක් වෙනවා කියලා ඔබ හිතනවද?   


මේ ව්‍යවස්ථාවට කෑලි එකතු කරලා පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයට යන්න බෑ. ඒකෙන් වෙන්නෙ ව්‍යවස්ථා අර්බුදයක් ඇති වෙන එක. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකට යනවා නම් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යන්න පුළුවන්. ඒකෙ කිසි ගැටලුවක් නෑ.   


?පැවති ආණ්ඩුව යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම පිළිබඳ වැඩපිළිවෙළක් ඉදිරියට ගියා. මේ ආණ්ඩුව යටතේ ඒ කටයුතු ඉදිරියට ගෙන යනවද? 

 
යහපාලන රජය කාලෙත් ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පත් කරලා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා හදපු යෝජනා තියෙනවා. වර්තමාන ජනාධිපතිතුමා පත් කරපු විශේෂඥ කමිටුවක් මගින් හදපු කෙටුම්පතකුත් තියෙනවා. මම බලාපොරොත්තු වෙන්නෙ මේ දෙකම අරගෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරලා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට සැලසුමක් හදන්න. ඒක දවසින් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා ජනතාවගේ හා සිවිල් සංවිධානවල අදහස් ගන්න ඕන. ඒකට මාස 6 ක් හෝ අවුරුද්දක් වැනි කාලයක් ගත වෙනවා. අපි ඒ කටයුතු ආරම්භ කරන්න බලනවා. පවතින අර්බුදයෙන් රට ගොඩ ගන්න එක තමයි ප්‍රමුඛතාව ලබා දිය යුතු කාරණය.   


?ද්විත්ව පුරවැසිභාවය දරන අයට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට ඇති ඉඩ මේ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙන් අහුරලා තියෙනවා. ඒකෙ අරමුණ මොකක්ද?   


ද්විත්ව පුරවැසිභාවය දරන අය තීන්දු තීරණ ගන්න කොට මේ රටට වඩා තමන් පුරවැසිභාවය දරන රටේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරනවා කියලා ඔප්පු වුණා. මුල් කාලෙ ඒ පිළිබඳ සැක සංකා විතරයි තිබුණෙ. නමුත් බැසිල් රාජපක්ෂ මුදල් ඇමැති වෙලා අස්සන් කරපු සමහර ගිවිසුම්වලදි පැහැදිලි වුණා ද්විත්ව පුරවැසිභාවය දරන අය පාර්ලිමේන්තු ගේන එක අනතුරක් කියලා. ඒ නිසා ඒ තත්ත්වය වළක්වන්න ප්‍රතිපාදන ඇතුළත් කරලා තියෙනවා.   


?එතකොට මේ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වෙලා බලාත්මක වෙන දිනයේ සිට ද්විත්ව පුරවැසිභාවය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා බලපැවැත්වෙනවද? නැත්නම් ඊළඟ පාර්ලිමේන්තුවේ ඉඳන්ද?   


පනත බලාත්මක වෙන දිනයේ සිට තමයි බලපාන්නෙ.   


?ඒ කියන්නෙ ඒ අයට තමන්ගෙ මන්ත්‍රී ධුරවලින් ඉවත් වෙන්න සිද්ධ වෙනවද?   


ඉවත් වුණේ නැත්නම් ඉවත් කරනවා.   


?වත්මන් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ධුර දරන කාලය ඇතුළත මෙහි විධිවිධාන අදාළ වෙනවද? 

 
අදාළ වෙනවා. ඒ පිළිබඳව ගැටලුවක් නෑනෙ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගේන වෙලාව වෙන කොට එවකට ජනාධිපතිවරයගෙ ධුර කාලය අවුරුදු 6ක් හැටියට තිබුණෙ. නමුත් ඒ සංශෝධනයෙන් ධුරයේ නිල කාලය වසර 5 ක් දක්වා අවුරුද්දකින් අඩු කළා. ඒක හිටපු ජනාධිපතිටත් අදාළ වුණා.   


?ජනාධිපතිවරයාට අමාත්‍යාංශ සම්බන්ධයෙන් 19 වැනි සංශෝධනයට කලින් තිබුණු බලතල නොවෙනස්ව ඉදිරියට ගෙන යෑම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ විධිවිධාන වෙනස් නොකිරීම ආදී කරුණු කීපයක් පෙන්වා දෙමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නෙ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙහි ඇතුළත් වැදගත් විධිවිධාන මේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ගෙනල්ලා නෑ කියලා. මේ ගැන ඔබේ ප්‍රතිචාරය මොකක්ද?   


නීතිඥ සංගමය මේ ගැන කරුණු හතරක් යටතේ අදහස් දක්වලා තියෙනවා. පළවැනි එක තමයි මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගත යුතුයි කියන එක. මහ බැංකු අධිපතිවරයා පත් කිරීමට අදාළව අපි ඒ පියවර අරගෙන තියෙනවා. මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් පත් කිරීම සම්බන්ධ කාරණය ගැන අපි පක්ෂ නායකයන් සමග සාකච්ඡා කරනවා. ඒක අපිට ඇතුළත් කරන්න පුළුවන් වෙයි. නීතිඥ සංගමය දෙවැනියට කියලා තියෙන්නෙ අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ආණ්ඩුකාරවරුන් සහ විදේශ තානාපතිවරුන් පත් කිරීම ගැන. තානාපතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ දැනටමත් උසස් නිලතල කමිටුව තියෙනවා. අමාත්‍යාංශ ලේකම්වරුන් කියන්නෙ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන නිලධාරීන්නෙ. ඒ නිසා ඒ පත් කිරීම් පිළිබඳව විශාල ගැටලුවක් මතු වෙලා නෑ. පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීම කියන එක 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සම්බන්ධ දෙයක්. ඒ සඳහා බලතල තියෙන්නෙ ජනාධිපතිවරයට. අපි පැහැදිලිව කිව්වා 13 වැනි සංශෝධනයෙන් ගෙනාපු දේවල්වලට අත තියන්නෙ නෑ කියලා. ඒ නිසා මේ ගැන විධිවිධාන ඇතුළත් කළොත් අපි මේ සංශෝධනයෙන් කරන්න යන දේට බාධා පැමිණෙන්න ඉඩ තියෙනවා වගේම එය ජනමත විචාරණයට ලක් විය යුතු කාරණයක් හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථනිරූපණය කරන්නත් ඉඩ තියෙනවා. ජනාධිපති සමාව ගැනත් නීතිඥ සංගමය අදහස් දක්වලා තියෙනවා. රටක ජනාධිපතිවරයෙකුට සිරකරුවන් නිදහස් කිරීමට බලය තියෙනවා. ප්‍රශ්නය තියෙන්නෙ ඒ බලය අවභාවිත කිරීම සම්බන්ධවනෙ. මම අධිකරණ ඇමති කාලෙ සිරකරුවන් දෙන්නෙක්ගෙ නම් නිර්දේශ කරලා යැව්වා ඒ අය ජනාධිපති සමාව ලැබීමට සදුසුයි කියලා. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාව ලැබිය යුතු බව මම නිර්දේශ කළේ එතන පැහැදිලිවම දේශපාලන මැදිහත්වීමක් තිබුණ නිසා. සීගිරි බිතු සිතුවම්වල කුරුටු ගෑවයි කියලා ගැහැනු දරුවකුට අවුරුදු දෙකක සිරදඬුවම් නියම කරලා තිබුණා. එයාටත් ජනාධිපති සමාව ලබා දෙන ලෙස මම එවක ජනාධිපතිතුමාට නිර්දේශ කළා. ඒ අයට සමාවත් ලැබුණා. අද වෙනකන් ඒ අය ගැන ප්‍රශ්නයක් මතු වෙලා නෑ. මේ බලය ජනාධිපතිවරයා අවභාවිත කරනවා නම් ඒක වැළැක්වීම සඳහා යම් නිර්ණායකයක් හදන එකයි කළ යුත්තෙ. මේ සියලුම දේවල ව්‍යවස්ථාවට ඇතුළත් කරලා ව්‍යවස්ථාව 550 ජාතකය වගේ දිග්ගස්සන්න බෑ.   


?19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ හරය මේ 21 වැනි සංශෝධනයට ගෙනාවා කියලා ඔබට කියන්න පුළුවන්ද? 

 
පැහැදිලිවම ගෙනල්ලා තියෙනවා. ඊළඟට නීතිඥ සංගමය කියන මූල්‍ය ස්වාධීනත්වය විනිවිදභාවය සහ වගවීම කියන කාරණා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ස්වාධීන කොමිෂන් සභාවල තියෙන්නෙ ඒවා තමයි.   


?නීතිඥ සංගමය ඉදිරිපත් කරපු යෝජනා 21 න් සැලකිය යුතු ඒවා ඉදිරි සංශෝධන අවස්ථාවලදී සලකා බලන්න ආණ්ඩුව සූදානම්ද?   


ගැළපෙන ඒවා ආවොත් අපි සලකා බලනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මම ගෙනාපු වෙලාවේ සංශෝධන 140 ගාණක් ගෙනාවා. මම ඒවයෙන් තුනක් විතරක් පිළිගත්තා. අනිත් ඒවා ඒ අයට පැහැදිලි කරලා ඒ අය ලව්වම ඉවත් කර ගත්තා.   


?ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය ගැන අවධානය යොමු කරමින් නීතිඥ සංගමය කියන්නෙ පාර්ලිමේන්තු නොවන නියෝජිතයන්ගේ සංඛ්‍යාව 3 සිට 5 දක්වා වැඩි කළ යුතු බව. මේ ගැන අවධානය යොමු කරන්න සූදානම්ද?   


19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන්නු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය වුණේ සිවිල් සමාජයෙන් 7 ක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 3 ක් වශයෙන්. නමුත් ඒ වෙලාවේ 19 ට අවශ්‍ය තුනෙන් දෙකක බහුතර කැමැත්ත ලබා ගැනීමට මට ඒකට ඉදිරිපත් වුණු සංශෝධනවලට ඇහුම්කන් දෙන්න සිදු වුණා. ඒ වෙලාවේ පක්ෂ නායකයන් කිව්වෙ ජනතා පරමාධිපත්‍ය බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට නිසා ව්‍යවස්ථා සභාවේ බහුතරය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විය යුතුයි කියලා. අවසානයේදී මට එකඟ කර ගන්න පුළුවන් වුණු ප්‍රමාණය 3 ක්. මේ 21 වැනි සංශෝධනය යටතේ හදන ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජනය වැඩි කළ යුතුයි කියලා පාර්ලිමේන්තුව එකඟ වෙනවා නම් ඒකට මගේ විරුද්ධත්වයක් නෑ.   


?ව්‍යවස්ථාපිතව පාර්ලිමේන්තුවට මූල්‍ය පාලන බලය හිමි වුවත් ප්‍රායෝගික ආණ්ඩුකරණයේදී ඒ බලය අමාත්‍ය මණ්ඩලයේ අවශ්‍යතා අනුව භාවිත වෙන අවස්ථා අපි දැක්කා. මේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතින් පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන බලය ශක්තිමත් කිරීම සඳහා යෝජනා කරන විධිවිධාන මොනවාද?   


ඒකට තමයි ප්‍රසම්පාදන කොමිෂන් සභාව තියෙන්නෙ. මින් පස්සෙ අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලි අනුගමනය නොකර ගිවිසුම් අස්සන් කරන්න බෑ. කැබිනට් මණ්ඩලයට හෝ විෂය භාර ඇමතිට අවශ්‍ය විදියට ඒ දේවල් කරන්න බෑ. ප්‍රසම්පාදන කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට වගකියන්න ඕන. ඒ වගේම ඒ කටයුතු විගණනය කිරීම සඳහා විගණන කොමිෂන් සභාවකුත් තියෙනවා.   


?විධායක ජනාධිපති ධුරයේ බලය අඩු කිරීමකදී හෝ එය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමකදී පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමයත් සංශෝධනය කළ යුතු බව ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශේෂඥයන් පෙන්වා දෙනවා. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ පසු මැතිවරණ ක්‍රමය සංශෝධනයටත් ආණ්ඩුව යොමු වෙනවද?   


විධායක ජනාධිපති ක්‍රමයයි සමානුපාතික මැතිවරණ ක්‍රමයයි සමපාතව යන විදියටනේ මේ 1978 ව්‍යවස්ථාව ගොඩනගලා තියෙන්නෙ. එහෙම නම් ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියන අය මැතිවරණ ක්‍රමයත් සංශෝධනය කළ යුතුයි කියලා කියන්න ඕනනෙ. 13 වැනි සංශෝධනයත් අහෝසි කරන්න කියන්න එපැයි. එහෙම කෑලි කෑලි වෙනස් කරන්න බෑ.   


?පක්ෂ නායකයන්ගෙ අනුමැතිය මේ සංශෝධන පනත් කෙටුම්පතට ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවද?   


අනුමැතිය ගන්න පුළුවන් කියලා අපිට විශ්වාසයක් තියෙනවා. 19 වැනි සංශෝධනය ගෙනාපු වෙලාවේ අපිට පාර්ලිමේන්තුවේ හිටියෙ මන්ත්‍රීවරු 41 ක් විතරයි. නමුත් අවසානයේදී පක්ෂව ඡන්ද 215 ක් ගන්න අපිට පුළුවන් වුණා. මහජන හිතවාදීව පනත් කෙටුම්පත් ගේනවා නම් මහජන නියෝජිතයන්ට ඒවට විරුද්ධ වෙන්න හැකියාවක් නෑ. ඒ විදියට තමයි 19 වැනි සංශෝධනය ගෙනාවේ. සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කර ගැනීමේ පනතත් තොරතුරු දැන ගැනීමේ පනතත් ගෙනාවෙත් ඒ විදියට.   


?පාර්ලිමේන්තුවේදී මුල් කෙටුම්පතම සංශෝධනය කරගන්න පුළුවන් වෙයිද නැත්නම් කාරක සභා අවස්ථා විවාදයේදී විවිධ සංශෝධන ඉදිරිපත් වෙලා විකෘතියක් සම්මත වෙයිද?   


19 ඉදිරිපත් කරපු වෙලාවේ කාරක සභා අවස්ථාවේ පනත් කෙටුම්පතේ හරයට බල නොපාන සංශෝධන තුනක් විතරක් ඉදිරිපත් වෙලා තිබුණා. කාරක සභා අවස්ථාවේදී ලොකු විකෘතිතා සිදු වුණේ නෑ. එහෙම වුණා කියලා කවුරුහරි කියනවා නම් මම අභියෝග කරනවා ඇවිත් පෙන්නන්න කියලා.   


?මේ සංශෝධන කෙටුම්පතේ ජනමත විචාරණයට තුඩු දෙන කාරණා ඇතුළත් වෙලා නෑ කියලා ඔබට කියන්න පුළුවන්ද?   


අපි මේ කෙටුම්පත සම්බන්ධ නීතිපතිතුමාගේ මතයත් නිල වශයෙන් ගන්නවා. මේකෙ ජනමත විචාරණයට තුඩු දෙන කාරණා නෑ කියලා අපි කිව්වට ශ්‍රේෂ්ඨාධිකරණයේදී තීරණය වෙන්න පුළුවන් මෙහි ඇතුළත් ඇතැම් වගන්ති සම්මත කිරීම සඳහා ජනමත විචාරණයකට යන්න වෙනවා කියලා. එතනදි වලංගු වෙන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය. ශ්‍රේෂ්ඨාධිකරණය එහෙම තීන්දු කළොත් ඒ වගන්ති මගඇරලා තමයි අපිට යන්න වෙන්නෙ. 19 වන සංශෝධනයෙත් ජනමත විචාරණයට ලක් විය යුතු කරුණු 5 ක් තිබුණා. ඒ අනුව අපි ඒ වගන්ති ඉවත් කළා.

 

 

 

සාකච්ඡා කළේ : 
උපුල් වික්‍රමසිංහ