තේරීම් කාරක සභාවේ හැමදාම හිරවෙන පළාත් සභා ඡන්දයේ අනාගතය


පළාත් සභා මැතිවරණය කුමන ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීම සඳහා මෙන්ම ඒ පිළිබඳ යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ඉකුත් සතියේ පත් කෙරිණි. ඇමැති විජිත හේරත්ගේ සභාපතිත්වයෙන් යුතු මෙම කාරක සභාවට ආණ්ඩු පක්ෂයේ ද විපක්ෂයේ ද නියෝජිතයෝ ඇතුළත් වෙති. මේ වන විට ඡන්දය පැවැත්වීම සඳහා නීතියක් හෙවත් පනතක් නොමැතිව සිරවී ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීමට විපක්ෂයෙන් එල්ල වූ පීඩනය යටතේ රජය මෙම තේරීම් කාරක සභාව පත්කර ඇත. පැරණි පළාත් සභා ඡන්ද ක්‍රමය යළි සක්‍රිය කිරීම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන්නේ නම් සහාය දෙන බව විපක්ෂය මෙයට පෙර කියා සිටි අතර රජය පවසන්නේ ජනතාව සහ පැවැති ආණ්ඩු විසින් ප්‍රතික්ෂේප කළ එම ඡන්ද ක්‍රමයට යළි පණ දීමට රජයේ අදහසක් නැති බවය. ඒ නිසා රජය සුදුසු ක්‍රමයකට යෝජනා ඉල්ලයි.

එම තේරීම් කාරක සභාව විටින් විට රැස්වී, මහජනතාවගෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්ද විද්වතුන්ගෙන් ද අදහස් විමසා නව ඡන්ද ක්‍රමයක් සඳහා නිර්දේශ ඉදිරිපත් කරනු ඇත. එම ක්‍රියාවලිය සඳහා දිගු කාලයක් ගතවේ. රැස්වීම් වාර, දීමනා, රථවාහන සඳහා ඉන්ධන, කඩදාසි ආදිය වෙනුවෙන් කෝටි ගණනක මුදලක් වැය වේ. වම වශයෙන් අවුරුද්දකට වඩා වැඩි කාලයක් මෙම තේරීම් කාරක සභාවේ රැස්වීම් සඳහා පමණක් ගතවනු ඇත.

මෙයට පෙර මහින්ද රාජපක්ෂ රජය සමයේ පත්කරන ලද පළාත් සභා ඡන්ද ක්‍රමයක් සැකසීම සඳහා වූ මෙවැනිම ඡන්ද ක්‍රමයක් සඳහා වූ තේරීම් කාරක සභාව දිගු කාලයක්ද විශාල මුදලක් ද වැයකර සකසන ලද යෝජනාව ඉන් වසර ගණනකට පසු ආ 2015 යහපාලන රජය සමයේ සම්මත වුවද සීමා නිර්ණය කොමිසම පත් කිරීම පිළිබඳ ආරවුලක් හේතුවෙන් එම තේරීම් කාරක සභාවේ කාලය සහ වැය කළ ධනය ගඟට කැපූ ඉනි බවට පත්විය.

මෙවරද එසේ නොවේ යැයි තීරණය කිරීමට නොහැකියාවක් නැත.

මහින්ද රාජපක්ෂ රජය සමයේ 2008 වර්ෂයේ පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක ප්‍රතිඵලයක් ලෙස 2012 වර්ෂයේදී පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා මිශ්‍ර හා සමානුපාතික ඡන්ද ක්‍රමයක් හඳුන්වා දෙන්නට එම රජය පියවර ගත්තේය. එමගින් මන්ත්‍රීවරුන්ගෙන් සියයට හැටක සංඛ්‍යාවක් කොට්ඨාසවලින්ද සියයට හතළිහක් සමානුපාතික ලැයිස්තුවෙන්ද පත්වීමට නියමිත විය. එහෙත් එම රජයට ඒ සඳහා ඉදිරි පියවර ගත නොහැකි වූයේ 2015 දී එම රජය පරාජයට පත්වූ නිසාය. පළාත් සභා පිළිබඳ අවසන් වරට මැතිවරණයක් පැවැත්වූයේ 2014 වර්ෂයේදීය. එම මැතිවරණය පැවැත්වූයේද අදියරෙන් අදියරටය.

රාජපක්ෂ ආණ්ඩුව විසින් සකස් කර තිබූ පනත සම්මත වූයේ 2015 බලයට ආ යහපාලන රජය සමයේය. එහිදී පනත සම්මත කළ ද කොට්ඨාස ක්‍රමයට අලුතෙන්ම සීමා නිර්ණය කළ යුතු වූ අතර එම ක්‍රියාවලියේ දී පනත අක්‍රිය විය.

සංකල්පයක් ලෙස පළාත් සභා යනු මෙරට බලය බෙදාහැරීම සඳහා ලැබුණු හොඳම මෙවලමය. උතුරේ ජනතාවට ද බලය අතපත ගෑම සඳහා ලැබුණු හොඳම ඒකකය පළාත් සභාය. එහෙත් එම අගනා මෙවලම විනාශ වූයේ බලය බෙදීමෙන් නොව මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වූ ඇතැම් පුද්ගලයන්ගේ හැසිරීම් රටාව නිසාය. 1987 දී මෙම සංකල්පය හඳුන්වා දුන් අවස්ථාවේ පත්වූ මන්ත්‍රීවරුන් ජනතා කෝපයට ලක්වූයේ ඔවුන්ට ලැබුණු නිල රථ දීමනා හා ඔවුන් ජනතාව වෙත මුදාහළ ප්‍රචණ්ඩත්වය නිසාය.

මෙරට නීතිය අනුව ඡන්ද කොට්ඨාස අලුතෙන් සකස් කිරීමට තුන් මසක් තුළ සීමා නිර්ණය කොමිසමක් පත් නොකළහොත් මැතිවරණ ක්‍රමය අඩංගු පනතක් අහෝසි වෙයි. ඒ ලෙසම කටයුතු සිදුවීමෙන් මේ වන විට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පනතක් නැත.

පළාත් සභා සංකල්පයම දැන් මියගිය සංකල්පයක් වී ඇත්තේ ඒ නිසාය. වත්මන් රජය පළාත් සභා මැතිවරණය පවත්වන බව කියා සිටියත් එය සංකීර්ණ කටයුත්තකි. මැතිවරණය සඳහා පනතක් ගෙන ආ යුතුය. ඒ සමගම සීමා නිර්ණය කොමිසමක්ද පත් කළ යුතුය. ඒ සියල්ල සකස් කිරීමට කාලයක් ගතවේ. තම රජයේ අවසාන භාගයේදී මැතිවරණ පැවැත්වීමට ආණ්ඩු කැමැත්තක් දක්වන්නේ නැත.

තමන්ගේ ආණ්ඩු කාලය තුළ පළාත් සභා මැතිවරණය පවත්වන්නට උනන්දු නොවූ විපක්ෂයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දැන් අවශ්‍ය වී තිබේ. එමෙන්ම තමන් විපක්ෂයේ සිටියදී පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස බලකළ ජාතික ජනබලවේගයට මේ වන විට පළාත් සභා මැතිවරණය පැවැත්වීම අනවශ්‍ය තැනට පත්වී තිබේ. විපක්ෂය මැතිවරණය ඉල්ලා සිටින්නේ බිංදුවට වැටී තිබූ ඔවුන්ගේ ජනබලය දැන් තරමක් හෝ වර්ධනය වී ඇති බව රටට පෙන්වන්නටය. ආණ්ඩුව පළාත්සභා මැතිවරණය පැවැත්වීමට උනන්දුවක් නොදක්වන්නේ ඉහළටම නැග තිබූ ඔවුන්ගේ ජනප්‍රසාදය මැතිවරණ ප්‍රතිඵලයේදී අඩුවිය හැකි නිසාය.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යුහය සතු බලතල පුළුල් මට්ටමින් විමධ්‍යගත වූයේ පළාත් සභා තුළිනි. එදා එයට එකඟ නොවීනම් ඉන්දියන් බලහත්කාරය මත මෙයට වඩා වැඩි බලතල දෙන ගිවිසුමක් අත්සන් කිරීමට වුවද ඉඩ තිබිණි. දුරදක්නා නුවණින් එම අවදානම අඩුකර ගෙන විමධ්‍යගත කළ බලතල සමගාමී ලැයිස්තුව නමැති අතිරේකයක් යටතේ යළි මධ්‍යම ආණ්ඩුව යටතේම තබා ගන්නට ජයවර්ධන ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයා එකඟ කරවා ගත්තේය.

පළාත් සභා ද ඇතුළත් සමස්ත ව්‍යවස්ථාවම වෙනස් කරන බව රජය මෙයට පෙර කියා තිබේ.

අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට වත්මන් ජනවරම යටතේ කිසිදු බාධාවක් නැත. ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ඔවුන්ට තිබේ. ජනමත විචාරණයකින් එම ව්‍යවස්ථාව ජනතාවගෙන් අනුමත කර ගැනීමේ ප්‍රශ්නයක් ද ඔවුන්ට නැත. සම්පූර්ණ ව්‍යවස්ථාවම අහෝසි කොට සමානුපාතික නියෝජනය, ජාතික ලැයිස්තුව වැනි සාධනීය අංග ද ඒ සමගම ඉවත් වුවහොත් පක්ෂ දේශපාලනයේ පැවැත්ම සඳහා එම තීන්දුව තීරණාත්මක ලෙස බලපාන බවට සැකයක් නැත.

දේශපාලකයන්ගේ සියලු වැරදි වසා ගන්නට ගොඩනගන එක් තර්කයක් වන්නේ ජේ.ආර්. හැදූ ව්‍යවස්ථාව සහ දේශපාලන ක්‍රමයම වෙනස් කළ යුතු බවය. ඉකුත් ජනාධිපතිවරණයේදී පමණක් නොව 1988 ජනපතිවරණයේදී සිටම ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව නමැති මුව හමට තඩිබෑම සිදුවිය. දේශපාලකයන් තේරුම් නොගන්නා දෙය නම් කතා කරන තරම් ලෙහෙසියෙන් එම වෙනස්කම් කිරීම පහසු නැති බවය. අද මෙරට සමස්ත සමාජ ක්‍රමයම පවතින්නේ 1978 දී ජේආර් ගොඩනැගූ ව්‍යවස්ථාවේ හා විධායක ජනාධිපති ධුරයේ අත්තිවාරම උඩය. සමස්ත රාජ්‍ය සේවයම, නිලධාරී තන්ත්‍රයම පාලනය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය යටතේය. ජේ.ආර්. ගොඩනැගූ සමාජ ක්‍රමය යටතේය. විවෘත ආර්ථිකය යටතේ එතෙක් මෙරට නොතිබූ සංකර සමාජ රටාවක් බිහිවීමේ සිට එතෙක් මෙරට නොතිබූ මධ්‍යම පන්තියේ බිහිවීම දක්වා කුදුමහත් සමාජයම වෙනස් වුණේ 1977 න් පසුවය. එම වෙනස දැන් සමාජයේ ලේ නහරයකි. එම ලේ නහරය ඉවත් කළහොත් සමාජ දේහය ජීවත් කරවිය නොහැක. ජේආර් ගොඩනැගූ සමාජයට පෙර සම්භාව්‍ය සංගීතය රසවිඳි තරුණ පරම්පරාව වෙනුවට අද සිටින බටහිර සංගීතයෙන් යැපෙන යූටියුබ් වැනි සමාජ මාධ්‍ය රසවිඳින තරුණ පරපුර ඇතුළු සමස්ත සමාජයම අනියම් ආකාරයකට ජේආර්ගේ සමාජ පෙරැළියේ ආ දායාදයන්ය.  ජාතික ජනබලවේග ආණ්ඩුව 1977 පෙරැළියට පෙර මෙරට තිබූ සමාජ ක්‍රමය යළි ඇතිකිරීමට උත්සාහ ගන්නේ නම් නූතන සමාජයේ අතිමහත් කැලඹීමක් ඇතිවීම වැළැක්විය නොහැකි වනු ඇත. මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නේ නම් කුඩා දේශපාලන පක්ෂ යළිත් වල්වැදීම නතර කරළිය නොහැක්කේය.  

මෙතෙක් පැවැති උදාහරණය වන්නේ තේරීම් කාරක සභාවක් හෝ විශේෂ කාරක සභාවක් යනු යම් ආණ්ඩුවක් ප්‍රශ්න විසඳීම වෙනුවට එම ප්‍රශ්නය යටපත් කිරීමට යොදාගන්නා උපක්‍රමයක් වීමයි. චන්ද්‍රිකා ජනාධිපතිනියගේ පාලන සමයේ මැතිවරණ ක්‍රමය සංශෝධනයට පත් කළ මංගල මුණසිංහ තේරීම් කාරක සභාව බොහෝ කාලයක් ගත් එමෙන්ම විශාල වෙනසක් වියදම් කළ ඒ හා සමානවම කිසිදු ප්‍රතිඵලයක් අත් නොවූ තේරීම් කාරක සභාවක් විය. 1993 දී එවකට විපක්ෂයේ සිටි මංගල මුණසිංහ මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් පිහිටු වූ මෙම තේරීම් කාරක සභාව චන්ද්‍රිකා රජය මගින්ද ඉදිරියට ගෙන යමින් පළාත් සභා සඳහා තවදුරටත් බලතල ලබාදීමට යෝජනා සලකා බැලුණි. වසර ගණනාවක වෙහෙසකර තේරීම් කාරක සභාවක් වූ එයින් ගත් කිසිදු තීන්දුවක් ප්‍රායෝගිකව යොදාගත්තේ හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළේ හෝ නැත. චන්ද්‍රිකා යටතේ 1995 දී, 1997 දී හා මහින්ද රාජපක්ෂ යටතේ 2006 දී ද උතුරේ ප්‍රශ්නය හා බලය බෙදාහැරීම සඳහා මෙවැනිම තේරීම් කාරක සභා ක්‍රියාත්මක වුවද ඒ කිසිවක යෝජනා කිසිම රජයකින් සලකා නොබැලුණි.

මෙරට නීතිය අනුව ඡන්ද කොට්ඨාස අලුතෙන් සකස් කිරීමට තුන් මසක් තුළ සීමා නිර්ණය කොමිසමක් පත් නොකළහොත් මැතිවරණ ක්‍රමය අඩංගු පනතක් අහෝසි වෙයි. ඒ ලෙසම කටයුතු සිදුවීමෙන් මේ වන විට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පනතක් නැත.

පළාත් සභා සංකල්පයම දැන් මියගිය සංකල්පයක් වී ඇත්තේ ඒ නිසාය. වත්මන් රජය පළාත් සභා මැතිවරණය පවත්වන බව කියා සිටියත් එය සංකීර්ණ කටයුත්තකි.

ආණ්ඩුව මේ ගෙවන්නේ තමන්ට ලැබුණු ආණ්ඩු බලයේ දෙවැනි වසරය. තේරීම් කාරක සභාවේ ප්‍රතිඵල තෙවැනි වසර තුළ ලැබුණත් එවැනි අවස්ථාවක ඡන්දයක් පැවැත්වීමට රජය සූදානම් ද යන්න ප්‍රශ්නාර්ථයකි. ඒ සඳහා අතීත ආණ්ඩුවල ඕනෑ තරම් උදාහරණ ඇත.

සංකල්පයක් ලෙස පළාත් සභා යනු මෙරට බලය බෙදාහැරීම සඳහා ලැබුණු හොඳම මෙවලමය. උතුරේ ජනතාවට ද බලය අතපත ගෑම සඳහා ලැබුණු හොඳම ඒකකය පළාත් සභාය. එහෙත් එම අගනා මෙවලම විනාශ වූයේ බලය බෙදීමෙන් නොව මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වූ ඇතැම් පුද්ගලයන්ගේ හැසිරීම් රටාව නිසාය. 1987 දී මෙම සංකල්පය හඳුන්වා දුන් අවස්ථාවේ පත්වූ මන්ත්‍රීවරුන් ජනතා කෝපයට ලක්වූයේ ඔවුන්ට ලැබුණු නිල රථ දීමනා හා ඔවුන් ජනතාව වෙත මුදාහළ ප්‍රචණ්ඩත්වය නිසාය. 1984 තරම් ඈත කාලයේ සර්වපාක්ෂික සමුළුව අමතමින් ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා පැවසුවේ පළාත් සභාවේ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද පළාතේ වැදගත් සුවිශේෂී පුරවැසියන්ටද අසුන් ගත හැකි බවය. මුලදී ජේආර් කතා කළේ ඡන්දයෙන් පත් නොවන නියෝජිතයන් පිරිසක් ගැනය.

එහෙත් ඔහුගේ පක්ෂයෙන් හා ඉන්දීය රජයෙන් එල්ල වූ පීඩනය හමුවේ අවසානයේ පළාත් සභා රටට ලැබුණේ දේශපාලන පක්ෂවල දෙවැනි පෙළ නියෝජිතයන්ට රැකියා සපයන ආයතනයක් ලෙසය. පළාත් සභාවලට වැරදුණේ එතැනය. මෙරට අතීතයේ තිබූ සෙනෙට් සභාව වැනි දෙවැනි මන්ත්‍රණ සභාවක් ලෙස පළාත් සභා පණ ගැන්වීමට අපි රජයට යෝජනා කරමු. මන්ත්‍රීවරුන් නොමැතිව අද පළාත් සභා ක්‍රියාත්මක වන්නේ නිලධාරීන්ගේ මෙහෙයවීමෙනි. මන්ත්‍රීවරුන් නොමැතිව මනා කළමනාකරණයෙන් පළාත් සභා මෙහෙයවන්නේ ආණ්ඩුකාරවරයා, පළාත් ප්‍රධාන ලේකම්වරයා ඇතුළු නිලධාරී තන්ත්‍රය විසිනි. එම ක්‍රියාදාමය රටට හානියක් නොවේ. පළාත් සභා ජනතා පිළිකුලට ලක්වන්නේ එහි දේශපාලකයන්ගේ ක්‍රියාකාරීත්වය ස්ථාපිත වූ පසුවය. ඒ නිසා මැතිවරණයෙන් පත් නොවන එහෙත් විවිධ නිර්ණායක මත පත්වන දෙවැනි මන්ත්‍රණ සභාවක් ලෙස පළාත් සභා පවත්වාගෙන යාම වරදක් නොවේ.

ප්‍රේමකීර්ති රණතුංග