අහස උසට බදු බර පැටවී මිරිකී හෙම්බත් වී සිටින ජනතාවට තවත් බද්දක් අය කරන බවට ඉකුත් දා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කර තිබුණි. එහි දැක්වූයේ ශ්‍රී ලංකාවේ නිර්වාසික තැනැත්තෙකු විසින් ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සේවා සැපයීමේ දී එම සේවාවන් සඳහා සියයට 18ක බද්දක් අය කර ගන්නා බවටයි. එය එළැඹෙන ඔක්තෝබර් මස 01 වැනි දා සිට ක්‍රියාත්මක වෙන බවත් දක්වා තිබිණි. ඒ අනුව විදේශයක සිට මෙරටට සපයන සේවාවන් සඳහා බදු අය කිරීම සිදු කරනු ලබයි.
ඒ අනුව, මේඝ පරිගණකය (Cloud Computing) ,සේවාවක් ලෙස මෘදුකාංග සැපයීම (SaaS), විද්‍යුත් වාණිජ්‍යය සේවා, ඩිජිටල් අලෙවිකරණය සහ වෙළෙඳ ප්‍රචාරණය, සයිබර් ආරක්ෂණ සේවා, තොරතුරු තාක්ෂණ සහාය සහ කළමනාකරණය කළ සේවා, ප්‍රවාහන සේවා, මූල්‍යය තාක්ෂණය (FinTech), ඊ-වාණිජ්‍යය වේදිකා (E-commerce Platforms), සමාජ මාධ්‍යය වේදිකා (Social Media Platforms), ඉල්ලුම මත සේවා සැපයීමේ වේදිකා (On-Demand Service Platforms), අන්තර්ගතය බෙදාගැනීමේ වේදිකා (Content Sharing Platforms), Cloud Collaboration වේදිකා, වෙෙළඳපොළ වේදිකා, සූදු ක්‍රීඩා වේදිකා, Blockchain සහ NFT වේදිකා, සාමාජිකත්වය සඳහා දායක මුදල් ගෙවනු ලබන වෙබ් අඩවි, හෝටල් වෙන්කිරීම්, ටිකට්පත් වෙන්කරවාගැනීම සඳහා යෙදුම් භාවිත යන සේවාවන්ට යටත්ව මෙම බදු පැනවීම සිදුකිරීමට නියමිතව ඇත. නමුත් මෙම සේවාවන්ට පමණක් සීමා නොවන බවද එම ගැසට් පත්‍රය තුළම දක්වා ඇත.
ඒ අනුව එම බදු අය කර ගැනීමේ ගැසට් නිවේදනය පිළිබඳව අදහස් දක්වමින් ’ඩිජිටල් ට්‍රස්ට් එලායන්ස් හි සභාපති ලක්මාල් ඇඹුල්දෙණිය ප්‍රකාශ කළේ සියයට 18හි බද්ද ක්‍රියාත්මක කරගැනීම යහපත් වුවද එහි නිවැරදි ක්‍රමවේදයක් දක්වා නොමැති බවයි.
‘‘සියයට 18 වැට්එක අදාළ වෙන්නේ ලංකාවට සේවාව සපයන පිටරට ආයතන වන Uber, Microsoft, Google වගේ ඒවගේ සිට සේවා සපයන ඕනෑම තාක්ෂණික සේවා සපයන්නෙකුට හෝ තොරතුරු සේවා සපයන්නන්ට. දැනටමත් ප්‍රශ්න වෙලා තියෙන Temu, Daraz, Ali Express වල සේවාවලටත් මේක ඇතුළත් වෙනවා. ඒ කියන්නේ පුද්ගලයෙක් මේ ඔන්ලයින් මාර්ගයකින් භාණ්ඩයක් ගෙන්වද්දී රේගුවෙන් භාණ්ඩය නිදහස් කරගත්තම මේ බදු එම භාණ්ඩවලට ඇතුළත් වෙනවා. මේක දෙපැත්තක් තියෙනවා. තාම හරියටම පැහැදිලි නැහැ මේ බද්ද කොහොම ද අය කරගන්නේ කියලා. Pickme එකට ලංකාවේ රෙජිස්ටේෂන් එකක් තියෙනවා.
Digital Mobility Private limited Company එක හරහා සියයට 18 බදු ගෙවන්න පුළුවන්. නමුත් Uber වගේ ආයතනයක් මෙහෙයවෙන්නේ පිටරටකින්. එතකොට මේ සියයට 18 වැට් එක ක්‍රියාත්මක වෙන්න කොහොම ද? මේක ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තහම කොහොමත් අපි පාවිච්චි කරන හැම දේටම සියයට 18ක් වැඩිපුර ගෙවන්න සිද්ධ වෙනවා සාමාන්‍ය ජනතාව විදිහට. මේකෙන් අවුරුද්දකට රුපියල් මිලියන 60කට වැඩිය වෙළෙඳාම් කරන ආයතනවලට තමයි මේක කරන්න හදන්නේ. එක කාර්තුවකට රුපියල් මිලියන 15කට වැඩියි නම් ඒ අය මේ බද්දට යටත් වෙනවා. මේකෙ දක්වලා තියෙන ලිස්ට් එකත් එකිනෙකට පරස්පර විරෝධී. එකම සේවාවට නම් දෙකක් දාපු අවස්ථා තියෙනවා.
දැන් අපි Digital Economy කියන සංකල්පයට යන්න තමයි හදන්නේ. නමුත් හරියට කල්පනාවක් නැතුව මේ ක්‍රමවේදය ගැන අවබෝධයක් නැතුව මේ වගේ Tax ගහන්න ගියහම Digital Economy එකට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. හොඳ බලපෑමකුත් තියනවා තරගකාරී ව්‍යාපාර කරන අයට. විශේෂයෙන් Pickme, Uber, Software solution පිටරටින් ගෙන්නන එක සහ ලංකාවේ හදන එකේදී බදු ගැනීම සහ බදු නොගැනීම අතර තිබුණ පරස්පරය නැතිවෙනවා. නමුත් අවසානයේ සියයට 18 බර පැන කොහෙන් ගියත් වැටෙන්නේ සාමාන්‍ය ජනතාව මත. සාමාන්‍ය ජනතාව හෝ ලංකාවේ බිස්නස්වලින් අවුරුද්දට මිලියන 50කට අධික බිස්නස් කරන ඕනෑම පෞද්ගලික ආයතනවලටත් බලපානවා. කොහොමද මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙන්නේ කියන දේ පිළිබඳව පැහැදිලි අදහසක් මහා භාණ්ඩාගාරයෙන් දීලා නැහැ. ඒක තාම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. මේක කරන්නේ කොහොම ද කියන එක පිළිබඳ අවබෝධයක් නෑ තාම. ’’
මෙම බදු අය කර ගැනීමට ගත් තීරණය සමග එය පාරිභෝගික සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට කුමන අයුරින් බලපාන්නේද යන්න සම්බන්ධවද අපි සොයා බැලීමු. ඒ පිළිබඳව වරලත් තොරතුරු තාක්ෂණවේදී, කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ තීක්ෂණ ආයතනයේ විධායක නිලධාරී, හර්ෂ විජේවර්ධන කරුණු දැක්වීය.
‘‘ඩිජිටල් මධ්‍යවලින් සේවා ගන්නවා නම් සේවාව ලබාදෙන ආයතනය මිලියන 60ක් විතර ගනුදෙනු පෙන්වලා තියෙනවනම් Value Added Tax එක ගෙවන්න ඕනැ. ඒක සාමාන්‍ය විදිහ. ඒ කියන්නේ සොෆ්ට්වෙයා සර්විස්, Cloud Service, දෙනවානම් මේ හැම සර්විස් එකටම Value Added Tax එකක් ගෙවනවා. උදාහරණයක් විදිහට කියනවා නම්, මම Netflix එකේ මාසෙක Subscription එකට ඩොලර් 6-7ක් වගේ ගෙවනවා. මේකෙදි Value Added Tax එක, SLT මොබිටෙල් වගේ ආයතන හරහා ගන්න බැරි නිසා Netflix එකට ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට අපේ වියදම ඉහළ යනවා. අනිත් ලොකුම ප්‍රශ්නෙ තමයි, මධ්‍යම ප්‍රමාණෙ Software Companies, Ticketing Companies වලටත් වාර්ෂික ආදායම මිලියන 60 ට වැඩිනම් මේ බද්ද ගෙවන්න වෙනවා. මේක ඉතින් පාරිභෝගික සේවාවලටත් වැඩිවෙයි කියලා තමයි මම හිතන්නෙ. මේක නිසා සමහර Online ආයතන පවත්වාගෙන යෑමේ ප්‍රශ්නෙකුත් ඉදිරියේදී පැමිණෙයි. රජයෙන් ගත්ත මේ තීරණේ ඇත්තටම හොඳයි. ඒ කියන්නේ මෙම බදු ගත්තේ නැතිවුණොත් ඔන්ලයින් සේවාවලින්, බිස්නස් වලින් ලැබෙන ආදායම රජයට නැති වෙනවා. ඒක මං පිළිගන්නවා. නමුත් සියයට 18ක් වගේ වැඩි අගයක් අය කර ගැනීම තමයි ගැටලුව. මම හිතන්නෙ හැමෝටම දරාගන්න පුලුවන් විදිහට Value Added Tax එකක් නැතුව Digital බද්දක් ගැහුවා නම් හොඳයි. නැත්තම් Business කඩාවැටෙන්න පුළුවන්.’’
හර්ෂ විජේවර්ධනගේ අදහසට අනුව අය කර ගැනීමට නියමිත බදු මුදල මේ වන විටත් මග හැරී තිබූ රජය විසින් අය කර ගත යුතුව තිබෙන බද්දක් බවත්, නමුත් මෙය ක්‍රියාත්මක කරන ක්‍රමවේදයේ ගැටලුවක් පවතින බව ඔහුගේද අදහස විය.
‘‘අපි බලන්න ඕනෑ කොයි වගේ Business ද මේකට අහුවෙන්නේ කියලා. මේ තීරණය ඇත්තටම නිවැරදියි. මොකද, මගහැරිලා තිබුණ දෙයක් මේක. ඒක අපිට පිළිගන්න වෙනවා. රජයට ආදයමක් නැති වෙනවා මෙහෙම අය කළේ නැත්තම්. කොහොමත් අනාගතේදී ගොඩක් ඩිජිටල් services වැඩි වෙනවා. රජය දෙපැත්තම පාලනය කරන්න ඕනෑ.
හොටෙල් Booking කරන වෙබ්සයිට් සමහර විට ලංකාවේ ඒවත් නෙමෙයි. ඒවගෙන් ලැබෙන ආදයම් රජයට අහිමි වෙනවා. මේවා එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැ. රජයට එන ආදායම ඔන්ලයින් බඩු ඕඩර් කරද්දී, ඩොලර්ස්වලින් ගනුදෙනු කරද්දි නැති වෙලා යනවා. ඒකෙන් වෙන බලපෑම බලලා මේක කරනවා නම් හොඳයි කියලා මන් හිතන්නෙ. නමුත් රජයට හිතන්න වෙනවා කොතැනින් ද බද්ද අය කරගන්නේ කියලා.’’
ඒ අනුව රටක ඉදිරි පැවැත්මට බද්දක් අය කර ගැනීම අත්‍යවශ්‍ය නමුත් නිවැරදි ක්‍රමවේදයකින් තොරව එය සිදු කිරීම අසාර්ථක වැඩ පිළිවෙළකි. කෙසේ නමුත් සියයට 18ක් වැනි විශාල ප්‍රතිශතයක් මෙම මොහොතේ සාමාන්‍ය ජනතාවට දරාගැනීමට හැකි වේ ද යන්නත් රජය විසින් අවධානය යොමු කළ යුතු කාරණයක් වේ. රජය විසින් ගන්නා ඕනෑම තීරණයක් මෙරට සිටින එදා වේල හරිහම්බකරගැනීමට අපමණ වෙහෙසක් ගන්නා සාමාන්‍ය ජනතාව ගැනද සිතා බලා ගත යුතු බව අපගේ අදහසයි.
සුදර්ශනී කෝණාර