ජාතික ආණ්ඩුවක් හදපු දවසට මුදල් ඇමති ධූරයේ දිවුරුම් දෙනවා


සමගි ජන බලවේගයේ 
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු
මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

 

රටේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? සිදුවිය යුත්තේ කුමක්ද? මේ ඒ ගැන විමසමින් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමග කළ සාකච්ඡාවකි.

? දැන් ඔබ කවදද මුදල් ඇමති ධුරයේ දිවුරුම් දෙන්නේ?   


මුදල් ඇමති ධුරයේ දිවුරුම් දෙන්නේ ජාතික ආණ්ඩුවක් හදපු දවසට. ජාතික ආණ්ඩුවක් හැදුවොත් පමණයි මුදල් ඇමතිකමෙන් මට යමක් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් රටට ඇති වැඩක් නෑ. මට පෞද්ගලිකව ලැබෙන දේ නොවෙයි. රට වෙනුවෙන්නේ අපි වැඩ කරන්න ඕනෑ.   


?නමුත් ලොකු රාවයක් යනවා ඔබ මුදල් ඇමති ධුරයේ දිවුරුම් දෙනවා. සජබයෙන් මන්ත්‍රීවරු 9ක් 10ක් ඔබත් සමග එනවා කියලා?   


නෑ නෑ ඒක සත්‍යයක් නොවෙයි. සජබය ආවොත් තමයි ජාතික ආණ්ඩුවක් හැදෙන්නේ. සජබෙ නැතිව ජාතික ආණ්ඩුවක් හැදෙන්නේ නෑ. ස්වාධීනව මන්ත්‍රීවරු ගිහිල්ලා ආණ්ඩුවට එකතු වුණ පලියට ජාතික ආණ්ඩුවක් හැදෙන්නේ නෑ. අපට අවශ්‍ය ජාතික ආණ්ඩුවක්.   


?රටේ අර්බුදයට උත්තරයක් විදියට තමයි ජාතික එකඟතා ආණ්ඩුවක් ඉල්ලා සිටියේ. ඇයි සජබ ඒ අවස්ථාව මග ඇරියේ?   


මග ඇරියෙ නෑ. සජබ එදත් හිටියෙ අදත් ඉන්නේ ජාතික ආණ්ඩුවක් හදන්න ඕනෑ කියන තැන. ඒකට යම්කිසි ඉල්ලීම් ප්‍රමාණයක් තියෙනවා අපේ. ඒ සියලු ජනතාවගේ ඉල්ලීම්. ඒ තමයි මේ ක්‍රමය අලුත් කරන්න ඕනෑ. ඒකට ව්‍යවස්ථා සංශෝධනය ගේන්න ඕනෑ. ඒ ව්‍යවස්ථා සංශෝධනවල එක පුද්ගලයකුගේ අතේ තියෙන බලය විනාශකාරී බලය නැති කරන, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන වගන්ති මේකට අලුතෙන් ගේන්න ඕනෑ. ඒකත් එක්කම ජනාධිපතිතුමාගේ ඉල්ලා අස්වීමත් වෙන්න ඕනෑ. ඒක තමයි ජනතාවගේ ඉල්ලීම ප්‍රකාරව සජබෙ කරලා තියෙන යෝජනාව.   


?විධායක ජනාධිපති ධුරය අහෝසි කරල ජාතික ආණ්ඩුවක් හදන්න අවුරුදු කීයක් යයිද?   


නෑ නෑ ඒක හෙට කරන්න ඕනැ කියල නෑ. ඒකට කාල රාමුවක් දෙන්න කියලයි අපේ ඉල්ලීම.   


?රට තියෙන්නේ අන්තිම අමාරු තැනක. එතැනදී ඔබලා මස් රාත්තම ඉල්ලන එක සාධාරණද? 

 
සාධාරණ නෑ. නමුත් අපි මෙතැන මස් රාත්තලම ඉල්ලන්නේ නැහැනේ. මස් රාත්තලම ඉල්ලනවා නම් අපි කියන්න ඕනැ ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙන්න ඕනැ කියලා. අපි එහෙම තැනක නෑ. අපි කියන්නේ ඒකට කාල රාමුවක් දෙන්න කියලයි. කාල රාමුවක් දෙන්න බැරි හේතුවක් නෑනේ.   


?ඔය සම්බන්ධයෙන් ඔබලා ජනාධිපතිවරයත් සමඟ සාකච්ඡා කළා.   


ඔව්! ඔව් මමත් ඒකට සහභාගි වුණා. පැය දෙකකුත් විනාඩි 20ක් ඒ සාකච්ඡාව ගියා. එතැන අපි පැහැදිලි කරලා දුන්නේ. එතුමා පැහැදිලිව කිව්වේ ‘‘මට හෙට ඉල්ලා අස්වෙන්න බෑනේ සජිත්’’ කියලා. එතකොට අපි කිව්වේ නෑ ජනාධිපතිතුමනි එහෙම දෙයක් ගැන නොවෙයි අපි මෙතැන සාකච්ඡා කරන්නේ. මෙතැන කතා කරන්නේ කාල රාමුවක් සම්බන්ධයෙන්. එහෙම සාකච්ඡා කරලා අපි දෙගොල්ලන්ටම යම්කිසි මැද තැනකට එන්න පුළුවන්. ඒකයි කියන්නෙ.   

 

දැනට අපි එතුමා අගමැති බව පිළිඅරගෙන තියෙනවනේ. එතුමා අගමැති වුණේ කොහොමද කියන එක පැත්තකින් තිබ්බත් එතුමා මේ රටේ අගමැති. දැන් තියෙන්නේ ජාතික ආණ්ඩුවක් නොවෙයිනේ. පොහොට්ටු ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වුණා.


?අරගල බිමේ තියෙන්නේ ගෝඨා ගෝ හෝම් කියලා?   


අරගල බිමේ ගෝඨා ගෝ හෝම් කියලා තමයි තියෙන්නෙ. ඒක අපිටත් කියන්න පුළුවන්. නමුත් ඒක ව්‍යවස්ථාවට අනුව කරන්න එපැයි. ව්‍යවස්ථාවට අනුව කරන්න නම් ව්‍යවස්ථාදායකයේ යම් නීති ටිකක් වෙනස් වෙන්න ඕනෑ. ඒක නෛතිකව කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.   


?රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය බාර ගන්නම් කියලා කිව්ව ගමන් සජිත් කිව්වා ‘අගමැතිකම මම බාර ගන්නම්’ කියලා.  


ඒක බොරු කතාවක්. ඒක මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒකට හේතුව තමයි ජනාධිපතිතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමාට දුරකථන ඇමතුක් දුන්නනේ. ඊට පස්සෙ සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ කණ්ඩායම රැස් කරලා තීරණයක් ගත්තා අපිට යම්කිසි තැනකට එන්න පුළුවන්. ඒ තමයි මම අර මුලින් කියපු මූලික කොන්දේසිය. ඒ වගේම මහ මැතිවරණයට දිනයක් නියම කර ගන්න එක. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නත් තුනෙන් දෙකක් ගන්න ඕනෑ. ඊට පස්සෙ ජනමත විචාරණයකටත් යන්න වෙනවා. ඒක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. සෑහෙන කාලයක් යනවා. ඒ වගේම මහ මැතිවරණයයි ජනමත විචාරණයයි එකට කරන්න පුළුවන්. ඔය සියලු කාරණා අපි එතුමත් එක්ක කතා කළා. ඊට දවස් දෙකකට පස්සෙ එතුමා ජාතිය අමතලා කතා කරලා ඒ වගේ තැනකට යන්න ඕනෑ කියලා ඉඟියක් රටට දුන්නා. ඊට පස්සේ වහාම අපි අපේ කණ්ඩායම රැස්වෙලා අපි ඉල්ලපු ඉල්ලීමට ප්‍රකාරව ජනාධිපතිතුමා ජාතිය අමතා කරපු කතාව දිහා බලලා අපි අපේ ස්ථාවරය ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා.  


?‘‘සොරි දැන් පරක්කුයි’’ කියලා ජනාධිපතිවරයා කිව්වා?  


මොනවා කිව්වද කියල මම දන්නේ නෑ. ඒ ලියුම අතේ තියාගෙන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අගමැති ධුරයට පත් කළා. මම මේක කියන්නේ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච නිසා. සියලු දේ දන්න නිසා. එහෙම නැතිව වෙන කෙනෙක්ගෙන් අහලා නෙවෙයි. මම මේ දන්න සත්‍යය තමයි ඔබට කියන්නේ.  


?පාර්ලිමේන්තුවේ ‘‘තනි අලියා’’ - රනිල් අගමැති වෙනවා. ඒකෙන් පේන්නේ ඔහුගේ දේශපාලන පරිණත බවයි.  


මෙහෙමයි එතුමා ජනාධිපතිතුමාට කොන්දේසි දැම්මද ඉල්ලීම් කළාද කියලා අපි දන්නේ නෑ. එතුමා තනි පුද්ගලයකු නිසා කාගෙන්වත් අහන්න අවශ්‍යත් නෑ. එතුමාට ඕනෑම තනි තීරණයක් ගන්න පුළුවන්. නමුත් දේශපාලන පක්ෂයක් වුණාම එහෙම කරන්න බෑ. මන්ත්‍රී කණ්ඩායමට කතා කරන්න ඕනැ ඔවුන්ගේ මත විමසන්න ඕනැ. නායකයා පක්ෂයේ සියලුම දෙනාට වග කියන්න ඕනැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා සජබෙ නායකයා හැටියට අර මම කලින් කියපු ඉල්ලීම් ටික ජනාධිපතිතුමාට ලිඛිතව ඉදිරිපත් කළා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්මය එවැනි ඉල්ලීම් කළාද කොන්දේසි දැම්මද 19 වැනි සංශෝධනය ගේන්න කියලා කිව්වද ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන කතා කළාද කියලා කිසිම දෙයක් අපි දන්නේ නෑ. සජිත් ප්‍රේමදාස මැතිතුමාට කතා කරපු වෙලාවේ ඒ වෙලාවෙම අගමැතිකම ගන්න තිබුණා. ගන්න බැරි හේතුව ජනතා අභිලාෂයන් ඉටු කළ යුතු නිසා. එතුමාට පෞද්ගලික අරමුණු තිබුණා නම් ඒ වෙලාවෙම අගමැතිකම ගන්න තිබුණා. එහෙම නම් සති එකහමාරකට කලින් සජිත් මේ රටේ අගමැති. එහෙම අගමැති වෙන්න යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා.  


?මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් වුණා. කිසිම රාජපක්ෂ කෙනෙක් කැබිනට් එකේ නෑ.

ජනාධිපතිවරයා එහෙම කොළ එළි දල්වා තිබියදීත් සජබෙ පස්ස ගැහුවේ වෙනත් හේතුවලට?  


නෑ. වෙන කිසිම හේතු තිබ්බේ නෑ. රාජපක්ෂවරු ගැන එහෙම කිව්වට ඒකෙ ඇත්ත නැත්ත නියෝජ්‍ය කතානායක පත් කිරීමේදී අපි දැක්කනේ. අගමැතිතුමාට ඕනෑ වුණේ රෝහිණී කවිරත්න නියෝජ්‍ය කතානායක කරන්න. හැබැයි අවසානයේ මොකද වුණේ. පොහොට්ටුවෙන් තව මන්ත්‍රීවරයකුගේ නමක් යෝජනා කරලා ඔහුට ඡන්දය දුන්නා. ඒ තීරණය අරගෙන තියෙන්නේ බැසිල් රාජපක්ෂ, කණ්ඩායම් රැස්වීමේදී. ඔහු තමයි ඒක මෙහෙයවලා තියෙන්නේ. එතකොට බැසිල් රාජපක්ෂලා කැබිනට් එකේ නැති වුණාට සම්පූර්ණයෙන්ම මෙහෙයවන්නේ ඔහු කියන එක එතැනදී සක්සුදක් සේ පැහැදිලි වුණා. ඔබ රාජපක්ෂලා නැහැ කියලා කිව්වට මේක තනිකරම මෙහෙයවන්නේ රාජපක්ෂලා තමයි තවම. 

 

මට එකක් සක්සුදක් සේ පැහැදිලියි. මේ ආර්ථික අර්බුදය විසඳන්න කිසිසේත්ම බැහැ දේශපාලන අර්බුදය විසඳන්නෙ නැතිව. මේ දෙක එකට පැටලිලා තියෙන්නේ. කවුරුහරි හිතනවා නම් මොකක්හරි ගේම් එකක් ගහලා මේ ආර්ථික අර්බුදය විසඳන්න පුළුවන් කියලා, ඒක වැරැදි තීරණයක්.

 
?සජබ ඇතුළේ ජාතික ආණ්ඩුවක් හැදීමේ සාකච්ඡාවක් ඇතිවෙලා තියෙනවා?  


ඒ සාකච්ඡාව අලුතෙන් ආරම්භ වෙච්ච සාකච්ඡාවක් නොවෙයි. ඒක දිගින් දිගටම යන සාකච්ඡාවක්. මොකද සජබෙට අවශ්‍යතාවක් තියෙනවා මේ අවස්ථාවෙදි රට වෙනුවෙන් කළ යුතු කාර්ය භාරය කරන්න. ඒක කරන්න පුළුවන් වෙන්නේ ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම හරහා. ඉතින් අපි දැඩිව කැපවෙනවා සියලු පක්ෂ ඇතුළත් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරන්න.  


?එහෙම ජාතික ආණ්ඩුවක් හැදුවොත් රනිල් වික්‍රමසිංහගේ අගමැති ධුරය පිළිගන්න ඔබලා සූදානම්ද?

  
දැනට අපි එතුමා අගමැති බව පිළිඅරගෙන තියෙනවනේ. එතුමා අගමැති වුණේ කොහොමද කියන එක පැත්තකින් තිබ්බත් එතුමා මේ රටේ අගමැති. දැන් තියෙන්නේ ජාතික ආණ්ඩුවක් නොවෙයිනේ. පොහොට්ටු ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වුණා. ජාතික ආණඩුවක් හදනවා නම් ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂයි සජිත් ප්‍රේමදාසයි රනිල් වික්‍රමසිංහයි වාඩිවෙලා කතා කරලා විසඳා ගන්න ඕනෑ දෙයක්නේ. ප්‍රශ්න ඔච්චර දුරදිග ගෙනියන්න අවශ්‍ය නෑනේ. මේ පක්ෂ නායකයන්ට විශාල වගකීමක් තියෙනවා මේ රටේ ජනතාවගේ අනාතගය සම්බන්ධයෙන්. තවත් පක්ෂ තියෙනවනේ. ටී.එන්.ඒ. එක තියෙනවා. එන්.එල්.එම්.සී. එක තියෙනවා. ඕල් සිලොන් මුස්ලිම් කොංග්‍රස් එක තියෙනවා. තව පක්ෂ තියෙනවා. මේ පක්ෂ නායකයන්ට වාඩිවෙලා විසඳුමකට එන්න බැරිකමක් නෑ. මට නම් හිතාගන්න බෑ මේක කරන්න බැරි ඇයි කියලා. මං නම් මගේ මුළු උත්සාහයම තියෙන්නේ මේ කට්ටියට එකතු කරලා යම්කිසි තැනකට ගේන්න. මට පුළුවන් උපරිම දේ ඒ වෙනුවෙන් කරනවා.  


?සජිත් ප්‍රේමදාස අගමැති රනිල් යටතේ වැඩ කරන්න හිත හදා ගනීද? මොකද නැවතත් සජිත්ගේ නායකයා වෙන්නේ රනිල්.  


අපි ඒ අලුතෙන් නිර්මාණය වන ජාතික ආණ්ඩුවේ ව්‍යුහය ගැන දන්නේ නෑනේ. මට ආරංචියි අලුත් ව්‍යුහයක් ගැන අවධානයට යොමු කරලා කියලා. ව්‍යුහ තියෙනවනේ. මේ හැම එකකටම විකල්ප තියෙනවා. ඒ මොකක් හරි විසඳුමකට එන්න පුළුවන් වෙන්නේ මේ ගොල්ලෝ වාඩිවෙලා කතා කළොත් පමණයි.  


?අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදි කිව්වා ‘‘ගෘෂා මයිකල් කුමරා වඩාගෙන වැල් පාලමේ යනවා වගේ දැනෙනවා’’ කියලා.  


ඒක ඇත්ත. මම එතුමට පොඩි ජෝක් එකක් කළා පාර්ලිමේන්තුවෙදි හමුවෙච්ච වෙලාවෙදි. මම කිව්වා ‘‘ගෲෂා මයිකල් වඩාගෙන යනවා වගේ ඔබතුමා නාමල්ව වඩාගෙන යනවද’’ කියලා. ඒක මම ජෝක් එකට කළේ.  


?සජිත් ප්‍රේමදාස අගමැති රනිල්ට ලියුමක් යවමින් අවශ්‍ය සහයෝගය දෙන්නම් කියලා කිව්වේ සජබේ මන්ත්‍රීවරුන් ගලවල ගනී කියන බයටද?  


නෑ. නෑ. ඒක අපේ ප්‍රතිපත්තියනේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න බැරිනම් අපි විපක්ෂයෙ ඉඳගෙන ආර්ථික වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙනවා කියන තැන අපි කොහොමත් හිටියා. ඒක දැනුම් දීම පමණයි ඒ ලියුමෙන් වුණේ?  


?අපේ මන්ත්‍රීවරුන්ට තනි තනිව කතා කරන්න එපා කියලත් ඒ ලියුමෙන් ඉල්ලලා තිබුණා.  


ඔව් ඔව්! ඒ ලියුමෙ තියෙනවා, අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන් පෞද්ගලිකව බිලී බා ගන්න එපා. එහෙම වුණොත් විශ්වාසය බිඳ වැටෙයි කියලා.  


?ඒ ලිපියෙ තිබුණ ‘‘සහයෝගය’’ කියන වචනයට ඔබ තදින් විරුද්ධ වුණා කියලා මාධ්‍ය වාර්තා කරලා තිබුණා.  


ඒක අමූලික බොරුවක්. ඒක මට ගහන්න කවුරුහරි යවපු එකක්.  


?ඒ කියන්නේ සජබෙ ඇතුළෙන්ම?  


වෙන්න පුළුවන්. මම කිසිම තැනක එහෙම විරුද්ධයක් පෑවේ නෑ. මම ඉන්නේ අපි සහයෝගය දෙන්න ඕනෑ කියන ස්ථාවරයෙ. මම මේ සහයෝගය දෙන්න ක්‍රමයක් සොයමින් ඉන්නේ.  


?රටේ හැම තැනම පෝලිම්. තව කොච්චර කාලයක් රටට මෙහෙම යන්න වෙයිද?  


මට එකක් සක්සුදක් සේ පැහැදිලියි. මේ ආර්ථික අර්බුදය විසඳන්න කිසිසේත්ම බැහැ දේශපාලන අර්බුදය විසඳන්නෙ නැතිව. මේ දෙක එකට පැටලිලා තියෙන්නේ. කවුරුහරි හිතනවා නම් මොකක්හරි ගේම් එකක් ගහලා මේ ආර්ථික අර්බුදය විසඳන්න පුළුවන් කියලා, ඒක වැරැදි තීරණයක්. ජනාධිපතිතුමා වැරැදි තීරණ ගත්ත නිසා තමයි රට මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. ඉහළ මැදි ආදායම් රටක ඉඳලා හිඟාකන රටක් බවට පත්වෙලා තියෙන්නේ ජනාධිපතිවරයාගේ වැරැදි තීරණ නිසා. මේ අරගෙන තියෙන තීරණයත් වැරැදියි. ඒ නිසා ජනාධිපතිවරයා තේරුම් ගන්න ඕනැ කාටත් පිළිගන්න පුළුවන් දේශීයව හා ජාත්‍යන්තරව පිළිගන්න පුළුවන් දේශපාලන විසඳුමක් මෙතැනට අවශ්‍යයි කියලා. එහෙම නැතිව මේ පෝලිම් නැති කරන්න අපට ජාත්‍යන්තර සහයෝගය ලබාගන්න බෑ. මම වගකීමෙන් කියන්නේ මම කතා කරපු විදේශීය සියලු නියෝජිතයන් කියන්නේ අපට සර්ව පාක්ෂික රජයක් යටතේ තමයි රට ගැන ජාත්‍යන්තර විශ්වාසය දිනා ගන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් වෙනකොට විශ්වාසය මුළුමනින්ම බිඳවැටිලා තියෙන්නේ.  


?ඔබේ ජාතික ආණ්ඩු සංකල්පය යථාර්ථයක් කරගන්න පුළුවන් වෙයිද?  


අපි උත්සාහ කරනවා. මම මගේ සම්පූර්ණ හැකියාව යොදවනවා මේකට. මම සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියනවා ජනාධිපතිතුමාට කිට්ටු පුද්ගලයන් හරහා ජනාධිපතිතුමාට නැවත කියවනවා. පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු දෙනාට කියනවා. එහෙම කියලත් කරගන්න බැරි වුණොත් එහෙමනම් ඉතින් කරන්න දෙයක් නෑ. මම මගේ උත්සාහය යොදවනවා.  


?මුදල් කාරක සභාවේ සභාපතිකම අපේක්ෂාවෙන් ඉන්නේ ජාතික ආණ්ඩු වැඩේ අවුල් නිසාද?  


අගමැතිතුමා ජාතිය ඇමතුවා. රටේ ඇත්ත තත්ත්වය කිව්වා. නමුත් එතුමා රට ගොඩගන්න වැඩපිළිවෙළක් ගැන කතා කළේ නෑ. ජාතික ආණ්ඩුවක් හදා ගන්න බැරි වුණොත් විකල්පයක් හැටියට සියලුම පක්ෂවල මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විශේෂ පාර්ලිමේන්තු කමිටුවක් හරහා ආර්ථික වැඩපිළිවෙළක් ආර්ථික පුනර්ජනනීය වැඩසටහනක් හදල ඒක ක්‍රියාත්මක කරන්න මගේ උපරිම දායකත්වය දෙන්න යෝජනා කළේ ඒකයි.

 

 

සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්