ජවිපෙ දින 50 ගැන කොමිසමක් ඉල්ලයි


බිඟුන් මේනක ගමගේ
 
 
දින පනහේ ආණ්ඩුව කාලයේදී දේශපාලන කුමන්ත්‍රණයක් වී යැයි ද ඒ සම්බන්ධයෙන් සෙවීමට පාර්ලිමේන්තු පනතක් හරහා විශේෂ කොමිසමක් පත් කළ යුතු යැයි ද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
 
ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීමෙන් එම දේශපාලන කුමන්ත්‍රණය යම් පමණකට පරාජය කළ නමුත් අවසානාත්මක තැනකට ගෙන යා හැක්කේ වැරැදිකරුවන්ට එවැනි කොමිසමක් හරහා දඬුවම් කිරීමෙන් පමණක් යැයි ද විජිත හේරත් මහතා ‘ලංකාදීප සඳුඳා හමුව’ දේශපාලන සාකච්ඡාවට එක්වෙමින් අවධාරණය කර කීය.
 
2015 ජනවාරි 8 වැනිදා ද මෙවැනිම කුමන්ත්‍රණයක් අරලියගහ මන්දිරයේදී සිදු වී යැයි කී හෙතෙම යහපාලන ආණ්ඩුව ඊට සම්බන්ධ කුමන්ත්‍රණකරුවන් සමඟ ඩීල් දමා දේශපාලන ගේම් ගැසී යැයි චෝදනා කළේය.
 
එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ඒ ගැන නොසොයා ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට 19 වැනි සංශෝධනයේ සිදුරු සොයමින් සිටින්නේ යැයි ද මන්ත්‍රීවරයා කීය.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රිංගා ගොස් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළ ද එයට ජන වරමක් හෝ ජන මතයක් නැතැයි ද එවැනි පියවරකට එක්සත් ජාතික පාක්ෂියන්වත් කැමැති නැතැයි ද විජිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.