ජන්ද දායකයන් පනස්තුන් ලක්ෂය දිනාගැනීමේ අභියෝගය


මේ වන විට නිද්‍රාශීලීව සිටින ඡන්දදායකයන් පනස්තුන් ලක්ෂය හිමිකර ගන්නා පක්ෂයට මේ රටේ මීළඟ ආණ්ඩුවද හිමිකර ගත හැක්කේය. එහෙත් ඒ ලක්ෂ පනස් තුනක ඡන්දදායක පිරිස හිමිකර ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.

පනස්තුන් ලක්ෂය යනු ඉකුත් මහ මැතිවරණයේ දී ඡන්දය වර්ජනය කළ ඡන්දදායකයන් පිරිසය. ජාතික ජනබලවේගයට ඡන්ද හැට අටලක්ෂයක් හිමිවූ නිසා මේ පනස්තුන් ලක්ෂය ජාතික ජන බලවේගයට ඡන්දය දෙන පිරිසක් ලෙස සැලකිය නොහැකිය. එම පිරිස සැලකිය හැක්කේ එවකට පැවැති ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එපා වී ඡන්ද පොළට නොගිය ඡන්ද හැටියටය. එම ඡන්ද ප්‍රමාණය අනුරට එරෙහි හෝ ජාතික ජන බලවේගයට එරෙහි කිසියම් හෝ පක්ෂයකට වැටුණේ නම් ජාතික ජනබලවේග ආණ්ඩුවක් බිහිවන්නේ නැත. ජාතික ජනබලවේග ආණ්ඩුවක් බිහිවුණේ එම ලක්ෂ පනස්තුනක ඡන්ද ප්‍රමාණය ඡන්ද පොළට ගෙන්වා ගන්නට සජබයට එජාපයට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොහැකි වූ නිසාය.

ඒ ලක්ෂ පනස්තුන අද කාටද? 

ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී බිංදුවටම වැටුණු විපක්ෂයට පෙර තිබූ තරම් ජනප්‍රසාදයක් අදටත් ඇතිවී නොමැත්තේය. පොහොට්ටුව, එජාපය හෝ සජබය ප්‍රාදේශීය සභාවල බලය අල්ලා ගන්නා තත්ත්වයක් පෙනෙන්නටවත් නැත. ජනතාව තවමත් ඉන්නේ නිද්‍රාශීලිවය. මහ ඡන්දයේදී ඡන්දය නොදුන් ලක්ෂ පනස්තුනක මහා ජනතා බලවේගය නැගිටුවාගෙන ඡන්ද පොළට ගෙන්වා ගත හැකි නම් ජාතික ජනබලවේග ආණ්ඩුවේ පැවැත්ම එතැනින්ම අවසානය.

එහෙත් විපක්ෂයට ඒ දේ කළ හැකිද? ලක්ෂ පනස්තුනක් වූ  විපක්ෂයට නොවැටුණු ඡන්ද ටික ඡන්දපොළට ගෙන්වා ගැනීමට විපක්ෂයේ  කවර පක්ෂයකට හෝ පුළුවන් වේද? මැයි 6 වැනිදාට ලක්ෂ පනස්තුන නැගිටුවා ගන්නා පක්ෂයක් වේ නම් එම පක්ෂයට මීළඟ මහ මැතිවරණය ජයගැනීම අපහසු නැත. ප්‍රශ්නය වන්නේ ලක්ෂ පනස්තුන නැගිටුවීම වෙනුවට තවත් ලක්ෂ හත අටක්වත් ඒ ගොඩට එකතු වේද යන්නය.

මේ වන විට සිදු කෙරෙමින් පවතින පළාත් පාලන ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය අනුව නිරීක්ෂණය වන්නේ මෑත ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රමාණය වැටුණු ඡන්දය බවට මෙම පළාත් පාලන මැතිවරණය පත්වන බවය. එහිදී ජාතික ජනබලවේග ආණ්ඩුවට මහ මැතිවරණයේදී ලැබුණු ඡන්ද ප්‍රමාණය හිමිවන්නේ නැත. මාලිමාවට තිබූ ආකර්ෂණය අද වන විට යම් තරමකට අඩු වී තිබීම එයට හේතුවය. ලැබෙන මැතිවරණ ප්‍රතිඵලය අනුව ආණ්ඩුවට තමන්ගේ ගමන් මග යළි සමාලෝචනය කිරීමට අනිවාර්යයෙන්ම සිදුවන්නේය.

ආණ්ඩුවට එම අභියෝගය එල්ලවෙද්දී විපක්ෂයට ද ඇත්තේ එම අභියෝගය ම ය. එනම් රැල්ලක් සේ පෙනෙන ඡන්දදායක උනන්දුවක් තවමත් ගම් මට්ටමේදී විපක්ෂයට පෙනෙන්නට නොමැතිවීමය.

එවැනි තත්ත්වයකදී මේ ආණ්ඩුව පරාජය කරමින් මීළඟ ආණ්ඩුව යම් දිනක බිහිකිරීමට සමත් වන්නේ විපක්ෂයේ කවර පක්ෂය ද යන්න විමසිල්ලට භාජනය කළ යුතුය. විපක්ෂයේ ප්‍රධාන පාර්ශ්වය වන්නේ සජිත් ප්‍රේමදාස ‍ යටතේ ඇති සමගි ජනබලවේගය ය. නාමල් රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  සහ රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය අනෙකුත් කණ්ඩායම් දෙකය. ආණ්ඩුවේ පැවැත්ම අනුව එක්කෝ සජබයට තනිවම හෝ නැතහොත් සෙසු විපක්ෂ කණ්ඩායම් සමග එක්ව හෝ එසේත් නැතිනම් ක්ෂණිකව මතුවන වෙනත් විපක්ෂ කණ්ඩායමක් විසින් හෝ යම් දිනක මෙම  ඡන්ද පෙරළා දමනු ඇත.

මේ වන විට සිදු කෙරෙමින් පවතින පළාත් පාලන ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය අනුව නිරීක්ෂණය වන්නේ මෑත ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රමාණය වැටුණු ඡන්දය බවට මෙම පළාත් පාලන මැතිවරණය පත්වන බවය. එහිදී ජාතික ජනබලවේග ආණ්ඩුවට මහ මැතිවරණයේදී ලැබුණු ඡන්ද ප්‍රමාණය හිමිවන්නේ නැත. මාලිමාවට තිබූ ආකර්ෂණය අද වන විට යම් තරමකට අඩු වී තිබීම එයට හේතුවය. 

ප්‍රේමදාස පවුලේ දේශපාලන උරුමයක් ගැන ප්‍රේමදාස ජනාධිපතිවරයා ජීවත්ව සිටින තුරු කතා කළේ නැත. ඔහු දේශපාලනය කළේ පවුලේ උදවිය නොමැතිවය. බිරිඳ හා දරුවන් උත්සව හා පොදු වැඩ කටයුතු සඳහා කැඳවාගෙන ගියද එය දේශපාලනය පවුලේ උරුමයක් ලෙස පවත්වාගෙන යාමක් වූයේ නැත. තනිවම පියවරෙන් පියවර දේශපාලනයේ ඉහළට ප්‍රේමදාස ජනාධිපතිවරයා පවුල් දේශපාලනයට දිගට හරහට බැට දුන්නේ  විශේෂයෙන්ම බණ්ඩාරනායක පවුල ඉලක්ක කර ගනිමිනි.

ප්‍රේමදාස ඝාතනයෙන් පසු අනුප්‍රාප්තික ජනාධිපති වූ විජේතුංග ප්‍රේමදාස නාමය දේශපාලනයෙන් කොන්කර දැමීමට උත්සාහ දැරීය.

ඒ වන විට රට තුළ ඇතිවී තිබූ ප්‍රේමදාස විරෝධය තුළ ප්‍රේමදාස සංකල්ප සියල්ල අත්හිටුවිණි. ප්‍රේමදාස පවුල දේශපාලනයට ඒමට දැරූ උත්සාහයට විජේතුංග ජනාධිපතිවරයා අනුග්‍රහය දැක්වූයේ  නැත. සජිත් ප්‍රේමදාස එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කර තිබුණද පක්ෂය ඔහු තබා ගත්තේ අතේ දුරිනි. ඒ සමයේ ඇතිවූ මත ගැටුමකින් පසු සජිත් එම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන්ද ඉල්ලා අස්විය. සජිත්ට එජාපය තුළ යම් තැනක් ලැබුණේ 1994 දී ගාමිණී දිසානායක යළි පක්ෂයට පැමිණි පසුවය.

සජිත් හම්බන්තොටින් දේශපාලනය ආරම්භ කළ අවස්ථාවේ කුඩා දරුවන්ට “ටිකිරි ළමා ගිණුම්” ආරම්භ කර මුදලක් තැන්පත් කර දරුවන්ට පරිත්‍යාග කළේය. මෙය එම ප්‍රතිලාභී පවුල්වල ප්‍රසාදයට ලක්වූ මුත් සජිත්ගේ විරුද්ධවාදීන් පැවසුවේ ඔහු ඉපදෙන්නට සිටින දරුවන්ටත් ටිකිරි ළමා ගිණුම් විවෘත කරන බවය. එවකට හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට හා සූරියවැව කොට්ඨාසවල එජාප සංවිධායකවරයා වූයේ සජිත්ය. දේශපාලනයේදී ආසන සංවිධායකවරයකු තම කොට්ඨාසයෙන් පිටස්තර කොට්ඨාසයකට පැමිණීම අනෙකුත් සංවිධායකයන්ගේ අකමැත්තට හේතුවකි.

සජිත්ට ද එම ප්‍රශ්නය බලපෑවේය. සජිත් තමන්ගේ කොට්ඨාසය හැර අන් කොට්ඨාසවලට රිංගන්නේ කුමක් නිසාදැයි එජාප සංවිධායකවරුන් ප්‍රශ්න නගන්න පටන් ගත්තේ මේ නිසාය. එහෙත් ටිකෙන් ටික ජනතාව ආකර්ශනය වුණේ සජිත්ටය.ිදේශපාලන භේදයකින් තොරව සමාජ සුබසාධනයේ යෙදීම සඳහා තමන්ට හිමි කොට්ඨාස දෙකට පමණක් සීමාවීම අවශ්‍ය නොවන බව සජිත්ගේ පැහැදිලි කිරීම විය. එතැන් සිට සජිත් අතිදුෂ්කර දේශපාලන චාරිකාවක් ආරම්භ කළේය. ඉහළ නායකයන්ගේ උපදෙස් මත පහළ මට්ටමේ සංවිධායකවරු එළිපිටම සජිත්ට ගල් පෙරළුෑහ. බිම සිටම ගමන ඇරඹූ ඔහුට පක්ෂයේ නායකයන්ගේ, ජ්‍යෙෂ්ඨයන්ගේ කෙළවරක් නැති අතවරවලට මුහුණ දීමට සිදුවිය. පියාගේ බළකොටුව වූ මැදකොළඹ ඉල්ලා සිටියද ඔහුට එය නොලැබිණි. ලැබුණේ ලංකාවේ දුෂ්කරම මැතිවරණ කොට්ඨාසයක් වූ  හම්බන්තොට ය. එහි ආසනයක් දුන් එජාප නායකයන් එපා වාහෙට හොඳි බෙදන්නා සේ සජිත්ට සැලකුව ද සජිත් පියවරෙන් පියවර හම්බන්තොට ස්ථාවර විය. ඔහුගේ එජාපයේ ගමන අවසන් වූයේ නියෝජ්‍ය නායකත්වයට පත්වීමෙනි. ඉන්පසුව ඔහු එය අතහැර අලු‍ත් පක්ෂයක් පිහිටුවා ගත්තේය.

මේ වන විට විපක්ෂනායකයා ද විපක්ෂයේ පක්ෂවලින් වඩාත්ම ජන සහයෝගයක් ඇති පක්ෂයේ නායකයාද ඔහුය. එහෙත් එම ජන සහයෝගය ඔහුට අවස්ථා දෙකකදීම ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නට ප්‍රමාණවත් ජන සහයෝගයක් වූයේ නැත.

එහෙත් මේ වන විට සජබය පාර්ලිමේන්තුව තුළ සැලකිය යුතු ප්‍රගතියක් ලබන ආකාරය දැකගත හැකිය. ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව විපක්ෂනායකයාගේ හා ඔහුගේ පක්ෂයේ සෙසු කථිකයන්ගේත් හඬ ජනතාව තුළ ස්ථාවරම කිඳා බසිමින් තිබේ. සජබයට ඉදිරි ආණ්ඩුව පිහිටුවීම සඳහා මෙම තත්ත්වය තවත් වර්ධනය කරගත හැකි වේද? මෙම පළාත් පාලන මැතිවරණයේදී සජබයට රටේ ඇති තැන කාටත් බලාගත හැකිවනු ඇත.

විපක්ෂයේ ඊළඟ චරිතය බවට පත්වෙමින් පවතින නාමල් රාජපක්ෂට තවමත් අතිවිශාල බලයක් ගොඩ නැගී නැතත් මහ මැතිවරණයෙන් එම පක්ෂය ඇද වැටුණු තැනින් යම් සෙලවීමක් මේ වන විට දැකගත හැකිය. පක්ෂය අතහැර සිලින්ඩරයට ගිය මන්ත්‍රීවරුන් ගණනාවක් යළිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කරා පැමිණ තිබේ. පළාත් පාලන මැතිවරණයේදී නාමයෝජනා ඉල්ලා යම්  පොරයක් සමහර තැන්වලදි දැකගත හැකි විය. එසේ පොරයක් ඇතිවූයේ එම පක්ෂය කෙරෙහි ගමේ ඡන්දදායකයන්ගේ යම් ආකර්ෂණයක් ඇතිව තිබෙන නිසාය. එහෙත් මෙම තත්ත්වය එම පක්ෂය කෙරෙහි ඇතිව තිබෙන මහා පිබිදීමක්’ ලෙස කිසිසේත්ම නොසැලකිය යුතුය. ඇදවැටුණු තැනින් යම් මට්ටමක ඉදිරියට පැමිණීමකි. මහමැතිවරණ පරාජයෙන් මාස හයක් ගතව තිබෙද්දී එවැනි සුළු චලනයක් පවා එම පක්ෂය කෙරෙහි අනාගතයේ යම් තරමක බලාපොරොත්තුවක් දැල්විය හැකි බවට සංඥාවක් ලෙස සැලකිය හැකිය. රාජපක්ෂ පවුල් සාධකය ඇතැම් මැතිවරණවලදී තුනෙන් දෙකක අතිවිශාල බලයක් ලැබීමට හේතු සාධක වනවා සේම ඇතැම් මැතිවරණවලදී අන්ත පරාජයකටද හේතු වන්නේය. ඉකුත් මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය යන ප්‍රධාන ඡන්ද විමසීම් දෙකේදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරාජයට හේතු වූයේ රාජපක්ෂවරුන්ගේ දේශපාලනයට එරෙහිව මතු වූ දේශපාලන මතවාදය බලවත් වූ නිසාය. රාජපක්ෂ විරෝධය තවමත් යම්කිසි ප්‍රමාණයකින් රට තුළ දැකිය හැකිය. 2005 දී මහින්ද රාජපක්ෂට ලැබුණු ජනවරම රාජපක්ෂ පරම්පරාවම රටේ පාලනයට කැඳවූ අවිචාරවත් සමයක් ලෙස ජනතාව අතර ප්‍රචලිතව පවතින්නේය. ඒ නිසා රාජපක්ෂ පරම්පරාවට විශ්‍රාම සුවයෙන් සැඳෑ සමය ගත කරන්නට ඉඩදී නාමල් රාජපක්ෂ පමණක් දේශපාලනය කළහොත් එම පක්ෂයට ඉදිරි කාලයේ යම් තැනක් ලබාගත හැකි වනු ඇත.

ලංකා දේශපාලන ඉතිහාසයට එබී බලන විට නායකයන් බිහිවෙන්නේ නොසිතූ අවස්ථාවල බව පැහැදිලිව පෙනී යයි. හොඳම උදාහරණ දෙකක්ම ඇත්තේ බණ්ඩාරනායක පවුලෙනි. අගමැති බණ්ඩාරනායකගේ අකල් වියෝවෙන් පසු එම පක්ෂයේ වෙනත් කිසිවකුටත් ජනතා ආකර්ෂණයක් නොලැබුණි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයා වූ ඩබ්ලිව්. දහනායක ඊළඟ ආණ්ඩුව භාරගත්තද ඔහු දේශපාලන ලෑල්ලේ දාම් අදින්න පටන් ගත් නිසා මාස කිහිපයකින් ආණ්ඩුව ද ඔහුගේ තනතුරද අහෝසි විය. බණ්ඩාරනායක මැතිනිය පක්ෂ නායකත්වයට පත්වූයේ ඉන්පසුවය.

1960 මැතිවරණයේ දී බණ්ඩාරනායක මැතිනියට ඇතිවූ ආකර්ෂණය දශක ගණනාවක අනාගත දේශපාලන ජීවිතය සඳහා ඇයට අත්තිවාරමක් දමා දුන්නේය. ළමයි බලාගෙන ගෙදරට වී ඉන්නැයි එජාපය ඇයට උසුළු විසුළු කරද්දී මැතිනිය කඳුළු සලමින් රට වටා ගිය ගමන අවසන් වූයේ රටට ස්ථාවර නායිකාවක ලැබීමෙනි. 1960 සිට වසර පහක්ද 1970 සිට වසර හතක්ද ඇය රටේ අගමැතිනිය වූවාය. මැතිනියගේ දේශපාලන ආගමනය සම්පූර්ණයෙන්ම අහම්බයකි.

ඇගේ දියණිය 1994 දී රාජ්‍ය නායිකාව වූ ගමන ද එවැනිම නොසිතූ නායකත්වයකි. ජනපතිවරණයට එන්න සිටි බණ්ඩාරනායක මැතිනියට පක්ෂයේ බොහෝ දෙනා කීවේ ආවොත් දිනන්න බැරි බවය. මත ගැටුම් ගණනාවකට පසු අම්මා දුවට අපේක්ෂත්වය දී පසෙකට වුණාය. ඒ වෙද්දී ශ්‍රීලනිපය පමණක් නොව සෙසු විපක්ෂයේ පක්ෂද චන්ද්‍රිකා වටා රොද බැඳ සිටියහ. 17 වසරක විපක්ෂයේ මැතිවරණ ඉඩෝරය නිම කරමින් චන්ද්‍රිකා වටා ජනරැල්ලක් හැදුණේය. ඒ ජනරැල්ල අවසන් වූයේ චන්ද්‍රිකා රටේ ජනාධිපතිනිය කරවමිනි.

දැන් විපක්ෂයට එළඹ ඇත්තේද එවැනි ඉඩෝරයක ආරම්භක අවස්ථාවය. ඡන්ද දෙකක්ම පැරදුණු විපක්ෂයට මෙම පළාත් පාලන මැතිවරණයද ජයගැනීම විශාල අභියෝගයකි.

අතීතයේ ආණ්ඩුවක් පෙරළා බලයට ආවේ විපක්ෂයය. එකල විපක්ෂ තිබුණේ එකකි. කුඩා පක්ෂ තිබුණද එක් මන්ත්‍රීවරයකු හෝ දෙදෙනකු සිටි එම පක්ෂ ඊළඟ ආණ්ඩුව භාර ගන්නා පක්ෂය ලෙස කවදාවත් මතු වූයේ නැත. 1994 දී එවකට තිබූ රජය පෙරළා බලයට ආවේත් ප්‍රධාන විපක්ෂය පෙරටු කරගත් සන්ධානයකි. 2005 දිත් බලය ගත්තේ එවකට තිබූ ප්‍රධාන විපක්ෂය පෙරටු කරගත් සන්ධානයකි. එහෙත් 2024දී එම පැරණි ක්‍රමය හා සම්ප්‍රදාය කණපිට හැරුණේය. තුනෙන් දෙකේ බලය තිබූ පක්‍ෂ බිංදුවට වැටී එවර බලය ගත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තුන් දෙනෙකු පමණක් සිටි පක්ෂයය. බලය තිබූ පක්ෂය පමණක් නොව සාම්ප්‍රදායික විපක්ෂයද බිංදුවට වැටුණේය. ඉන් පසුව පැවැති මහ මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ සියල්ලම පතුරු පතුරු ගැලවී විපක්ෂයට වැටුණේය. එහෙත් මේ විපක්ෂ කණ්ඩායම් එකකටවත් වත්මන් ආණ්ඩුවට අභියෝගයක් එල්ල කළ හැකි තත්ත්වයක් තිබෙනවාද යන්න තවමත් ප්‍රශ්නකාරීය. ආණ්ඩුව හැම අතකින්ම දුර්වල වෙමින් යද්දීත් ලබාදුන් පොරොන්දු ඉටු නොකළ බවට චෝදනා නැගෙද්දිත් තවමත් ප්‍රධාන විපක්ෂයක් ඔලු‍ව ඔසවා ඇති බව පෙනෙන්නට නැත. ඡන්දය වර්ජනය කර නිද්‍රාශීලීව සිටින පනස්තුන් ලක්ෂය අවදි කරවන්නට විපක්ෂයේ කිසිම කණ්ඩායමක් සමත්ව ඇති බවක්ද පෙනෙන්ට නැත.

එසේ වී ඇත්තේ ජනතාවට දිනෙන් දිනම දේශපාලනය එපා වී ඇති නිසාය. ජවිපෙ සහ මාලිමාවේ ප්‍රචාරක වැඩසටහන නිසා ප්‍රධාන දේශපාලන පක්ෂ අප්‍රසන්න වූ ජනතාවට මාලිමා ආණ්ඩුව ගෙන ආ ආකර්ෂණයද තාවකාලික විය. අද ආණ්ඩුවේ කථිකයන්ගේ ප්‍රකාශ ජනපතිවරණ සමයේදී තරම් ජනතාවට ආකර්ෂණීය වන්නේ නැත. එම පක්ෂයේ බොහෝ දේශපාලකයන්ගේ ප්‍රකාශ ජනතාව අතර හෑල්ලු‍වට ලක්වෙමින් තිබේ. විපක්ෂයේදී කරන ජනප්‍රිය ප්‍රකාශ ආණ්ඩුකරණයේදී නොකළ යුතු බව ආණ්ඩුවේ දේශපාලකයන් තවමත් තේරුම් ගෙන නැතත් ජනතාව ඒ බව තේරුම් ගෙන තිබේ. එහෙත් ප්‍රශ්නය ඇත්තේ ආණ්ඩුවට එදා ඡන්දය ලබාදී අද ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන ජනතාව විපක්ෂය වෙත ආකර්ෂණය නොවීමය. ඒ සඳහා විපක්ෂයට වැඩපිළිවෙළක්ද නැත. එහි ප්‍රතිඵලය වන්නේ නිද්‍රාශීලීවූ ලක්ෂ පනස්තුනක ඡන්ද ගොඩට මෙම පළාත් පාලන මැතිවරණයේදී තවත් ඡන්ද ලක්ෂ ගණනක් එකතුවීම පමණය.

ප්‍රේමකීර්ති රණතුංග