ජනාධිපතිවරයාට හොඳ දැක්මක් තිබෙනවා: එත් එයාගේ වටේ ඉන්න අය නිසා ආණ්ඩුවට තියෙන ප්‍රසාදය අඩු වෙලා - ජීවන් තොන්ඩමන්


මෙරටේ දේශපාලන ඉතිහාසයේ ප්‍රබල දේශපාලන චරිත කිහිපයක් ලෙස සෞම්‍ය මූර්ති තොණ්ඩමන් සහ ආරුමුගම් තොණ්ඩමන් හැඳින්විය හැකියි. ඔවුන් මෙරට දේශපාලනයේ රජුන් තනන්නන් බවට ප්‍රචලිත වී තිබුණි. 

ඒ ඔවුන් නියෝජනය කරන ලංකා කම්කරු කොංග්‍රසය පිළිබඳව වතුකරේ ජනතාව තැබූ විශ්වාසය නිසයි.

නමුත් අද ඒ තත්ත්වය තරමක් දුරට හීන වී ගොස් තිබේ. පසුගිය ජනාධිපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දී ඔවුන්ගේ ඡන්ද පදනම පහත වැටිණ. තොන්ඩමන් පරම්පරාවේ මේ වෙන විට දේශපාලනයේ නිරතව ඇත්තේ සෙන්දිල් තොණ්ඩමන් හා ජීවන් තොණ්ඩමන් යන දෙදෙනා පමණි. 

සෙන්දිල් තොණ්ඩමන් නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ද, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එම ධුරයෙන් ඔහුව ඉවත් කළේය. දැනට ඔහු ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන්නේ නැත. ජීවන් තොණ්ඩමන් තවමත් දේශපාලනයේ නිරත වන අතර, හෙතෙම පැවති ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධුරයක් ද දැරීය. මේ වෙන විට ඔහු වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරයි. ඔහු සමග පසුගියදා අපි සාකච්ඡාවක නිරත වීමු. මේ ඔහු සමග කළ එම සාකච්ඡාවේ සංක්ෂිප්තයයි.

මේ දවස්වල  දේශපාලන කටයුතු...?

ඉදිරියේ දේශපාලනික වශයෙන් වඩා ශක්තිමත් වන්නේ කොහොමද කියලා කල්පනා කරමින් සැලසුම් සකස් කරමින් සිටිනවා. ඉදිරියේ දී ඡන්ද පදනම යළි වැඩි කර ගන්නේ කොහොමද කියන එක ගැනයි මේ දවස්වල වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. ඒ වගේම පසුගියදා ගංවතුර සහ නායයෑම් ආපදා වලට ලක් වූ ජනතාවට අවශ්‍ය සහන කටයුතු කරමින් ඉන්නවා.

ඔබ පාසල් ගියේ?‍

මම අධ්‍යාපනය ලැබුවේ විදේශ රටවල් කිහිපයක. ඉන්දියාව, මැලේසියාව සහ එංගලන්තය යන රටවල. නීතිඥ උපාධිය හැදෑරුවේ ඉන්දියාවේ. දැන් මට 32ක්. ලබන නොවැම්බර් 9 වැනිදාට 33 සම්පූර්ණ වෙනවා.

ඔබ ළඟදි යුගදිවියට එළඹුණා, කොහොමද විවාහ ජිවිතය?

විවාහ ජීවිතේ හොඳයි. සතුටෙන් ඉන්නවා. අපි දෙන්නා හොඳ අවබෝධයකින් තමයි ජීවිතය ගත කරන්නේ. අපි දෙන්නා වෘත්තීන් දෙකක. මම දේශපාලනඥයෙක්. ඇය වෛද්‍යවරියක්. ඇත්තටම ඇය දැනට වෛද්‍ය ශිෂ්‍යාවක් හැටියට අවසන් වසරේ විභාගයට පෙනී සිටිමිනුයි ඉන්නේ. දැනට අයර්ලන්තයේ ඩබ්ලින් නුවර අධ්‍යාපන කටයුතුවල නිරත වෙමිනුයි එයා ඉන්නේ. ලබන වසරේ විභාග කටයුතු අවසන් කළ සැණින් නැවත ලංකාවට ඒමේ අදහසින් ඇය ඉන්නවා.

බිරිඳ ගෙන් ඔබගේ දේශපාලන කටයුතු වලට හා ජීවිතයට ලැබෙන සහයෝගය කුමක්ද?

අපි දෙදෙනා වෘත්තියෙන් ක්ෂේත්‍ර දෙකක වුවත්, අදහස් සමානයි. එයා මගේ ජීවිතේට ලොකු හයියක්. මම මගේ දේශපාලන කටයුතු ශක්තිමත්ව කරගෙන යනවා. වතුකරයේ ජනතාවට උදව් කරනවා. ඔවුන්ගේ ගැටලු වලට විසඳුම් ලබා දීමට තමයි මේ දිනවල වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ. බිරිඳ මගේ දේශපාලන කටයුතු වලට වැඩි අතපෙවීමක් සිදු කරන්නේ නැහැ. මොකද එයා දන්නවා ලංකාවේ දේශපාලනික තත්ත්වය. එයාට ඉන්දියන් දේශපාලනය ගැනත් හොඳ අවබෝධයක් තිබෙනවා. දේශපාලනික වශයෙන් ඇයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. නමුත් කිසිම බලපෑමක් මට කරන්නෙ නැහැ. අපි දෙන්නා අවබෝධයෙන් තමයි කාලය ගත කරන්නේ.

ඔබගේ බිරිඳ ගැන සඳහන් කළොත්?

එයා ඉන්දීය ජාතික කාන්තාවක්. පරම්පරා හතරක පමණ දීර්ඝ ඉතිහාසයක හැඳුනුම්කමක් අප පවුල් දෙක අතර තිබෙනවා. ඇය මගේ ජීවිතේට අලුත් කෙනෙක් නෙමෙයි. මමත් එයාට අලුත් කෙනෙක් නෙමෙයි. අපේ පවුල් අතර තිබූ බන්දුතාවත් එක්ක ගොඩනැඟුණු හැඳුනුම්කම තමයි අවසානයේ විවාහයක් දක්වාම ගියේ.


• ම​ෙග් බිරිඳ තවම වෛද්‍ය ශිෂ්‍යාවක්
• මට කවුරුත් රඟපාන්න කතා කරලා නෑ
• ලොකුම දුර්වලකම මට තරහා යනඑක
• වතුකරයේ ඉන්නෙත් ශ්‍රී ලාංකිකයන්


විවාහය සිදු වුණේ ප්‍රේම සබඳතාවකින් ද? නොඑසේනම් මංගල යෝජනාවකින් ද?

අපේ විවාහය සිදුවුණේ මංගල යෝජනාවකින්. ලංකාවේ දී මට විවාහ යෝජනා කීපයක්ම ආවා. නමුත් මම කැමැති වුණේ නෑ. තරුණයෙක් හැටියට පොඩි පොඩි ආදර සබඳතා නොතිබුණා නොවේ. නමුත් ඒවා දුරදිග ගියේ නැහැ. අතරමග ඇණහිටුණා. තාරුණ්‍යයේ ඇතිවෙන එබඳු සබඳතා බොහෝ අවස්ථාවල දී කෙටි කාලයක දී හෝ දීර්ඝ කාලයකදී අත් හැරෙන බවයි යථාව. විවාහයකින් නිමා වෙන්නේ ස්වල්ප සංඛ්‍යාවක් පමණයි. ඒකයි යථාර්ථය. 

මගේ බිරිඳ ඉන්දියානු ජාතික කාන්තාවක් වීම මට හෝ අපේ පවුලේ කිසිවෙකුට ගැටලුවක් වුණේ නැහැ. මටත් එහි කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඇයට අපේ පරිසරයට හුරුවෙන්න සිද්ධ වෙනවා. එයාට හොඳ අවබෝධයක් ඇති නිසා අපේ පරිසරයට හුරුවෙයි කියලා මම විශ්වාස කරනවා. අනික සංසාරේ පතාගෙන ආපු විදිහටනේ විශේෂයෙන් විවාහය වගේ දේවල් සිද්ධ වෙන්නේ. මේකත් සංසාරේ පතාගෙන ආව දෙයක් වෙන්න ඇති.

ඉන්දියාවෙන්ම මනමාලියක් සොයා ගන්න විශේෂ හේතුවක් තිබුණා ද?

ඉන්දියාවෙන්ම මනමාලියක් තෝරා ගන්න විශේෂ සිදුවීමක්, බලපෑමක් තිබුණේ නෑ. අපේ ඉතිහාසය දිහා බලන්න. සිංහල රජවරු පවා කී දෙනෙක් නම් ඉන්දියාවෙන් අගබිසෝ තනතුරට කාන්තාවෝ කැන්දන් ආවා ද? වෙන එකක් තබා පොළොන්නරු රාජධානියේ ආරම්භක රජු සේ සැලකෙන පළමුවෙනි විජයබාහු රජු පවා අගමෙහෙසිය බවට පත් කර ගත්තේ මධුරාපුරයෙන් කැන්දාගෙන ආ තිලෝකසුන්දරී නම් වූ කාන්තාවක් බවයි ඉතිහාසයේ එන්නේ. ඉන්දියාවෙන් බිසෝවරු ගෙන ඒම ඒ යුගයේ සාමාන්‍යකරණයට ලක් වූ කාරණාවක් වුණා. ඉතිහාස කතා කොහොම වුණත්, මගේ බිරිඳ ඉන්දියන් කාන්තාවක් වීම මට කිසි විශේෂ කාරණාවක් වුණේ නැහැ. අර මම කලිනුත් කිව්වා වගේ සංසාරේ පතාගෙන ආපු විදිහටයි වැඩේ සිද්ධ වුණේ.

ඔබගේ විනෝදාංශ හා ඇයගේ විනෝදාංශ ගැන කතා කළොත්?

මම උයන්න පිහන්නත් ගොඩක් ආසයි. ඒ වගේම ඇවිදින්නත් කැමතියි. නමුත් දේශපාලනය කරන්න පටන් ගත්තාට පස්සේ ඒ සඳහා කාලය අඩු වුණා. බිරිඳ වෛද්‍ය ශිෂ්‍යාවක් නිසා ඇයට විනෝදාංශය සඳහා කාලයක් නැතිව ඇති. ඇය ලබන වසරේ ලංකාවට ආවම අපි ඒ කටයුතු වල නිරත වන්නයි බලාපොරොත්තු වෙන්නේ.

ඔබේ ඔය නළු පෙනුමත් එක්ක රංගනයට ආරාධනා එහෙම ලැබිලා නැද්ද?

අද බොහෝ දෙනෙක් පෙනුම රැක ගන්න තමුන්ගේ මට්ටමින් විශාල මුදලක් වැය කරනවා. මම දකින්නේ ඒක අනවශ්‍ය වියදමක් විදියට. කෙනෙක් හිත සතුටින් තියාගෙන, සෙසු අයට ඊර්ශ්‍යා ක්‍රෝධ නොකර ජීවත් වෙනවා නම් ඉබේටම ලස්සන වෙනවා. අසරණ වෙලා ඉන්න අයට පිහිට වෙනවා නම්, ඔවුන්ට උදව් උපකාර කරනවා නම්, සහයෝගය ලබා දෙනවා නම්, හදවත හොඳ නම්, හදවත පිරිසිදු නම් ඉබේටම ජීවිතයත් මුහුණත් ලස්සන වෙනවා. මගේ ජිවිතයත්, මුහුණත් ලස්සන වෙලා තිබෙන්නේ ඒ නිසායි කියලා මම විශ්වාස කරනවා. විශේෂ යමක් කියලා ⁣දෙයක් පෙනුම රැකගන්න කියා මම කරන්නේ නැහැ. චිත්‍රපට හෝ ටෙලිවල රඟපාන්න ඇරයුම් ඇවිත් නැහැ. මගේ මුළු කාලයම මම නියෝජනය කරන ජනතාව වෙනුවෙන් වැය කරන නිසා, වෙනත් කටයුත්තකට මට කාලය වෙන් කරන්න නොහැකි බැව් සැවොම දන්නා නිසා විය හැකියි.     

ඔබගේ ජීවිතයේ ලොකුම දුර්වලතාව කුමක් ද?

මගේ ලොකුම දුර්වලතාව තමයි ඉක්මනින්ම කේන්ති යාම. එය   දුර්වලකමක් කියලා මම දන්නවා. එම දුර්වලතාව හැකිතාක් අවම කරගෙන ඉදිරියට යන්න මම මගේ උපරිම උත්සාහය ගන්නවා. ඉක්මනින් කේන්ති නොගෙන උපේක්ෂාවෙන් බලා සන්සුන්ව ක්‍රියා කිරීමේ නිපුණත්වය ලැබීමයි කෙනෙකුගේ දක්ෂතාව. 

තරුණ තරුණියන් අද දේශපාලනයට ඒම ගැන ඔබ කොහොමද හිතන්නේ?

තරුණ පරම්පරාව දේශපාලනයට ඒමේ ප්‍රවණතාව එදාට සාපේක්ෂව අද අඩුයි. අලුත් පරම්පරාවේ බොහෝ දෙනෙක් දේශපාලනය කරන්න රුචියක් නොදක්වන බවයි පේන්න තියෙන්නේ. මනා අවබෝධයකින් දේශපාලනය කිරීමේ ශක්‍යතාව ඇති පිරිසක් අපේ රටේ ඉන්නවා. එහෙත් ඔවුන් අපේ රටේ දේශපාලනය දකින්නේ හරියට යක්ෂයෙක් නැත්නම් කළු දෙයක් විදියට. 

අද බොහෝ දෙනෙක් දේශපාලනය කරන්නේ තමන්ගේ බඩ ගෝස්තරේ  වෙනුවෙන්. නැත්නම් විවිධ අයථා අනීතික ක්‍රම මගින් හෝ තනතුර හරහා හිමිවෙන වරප්‍රසාද භාවිත කර තමන්ගේ මඩිය තර කරගන්න. ඒ නිසා එවැනි පිරිස් අනුචිත දේවල් දේශපාලනය තුළින් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒක හොඳ නැහැ. කොහොම නමුත් ජනතාවාදීව දේශපාලනය කළ සැලකිය යුතු පිරිසක් අතීතයේ අපේ රටේ හිටියා. දැනුත් ස්වල්ප පිරිසක් ඉන්නවා. අද ⁣   

දේශපාලනඥයෝ කී දෙනෙක් හොරු බවට පත්වෙලාද? කීදෙනෙක් හිරගෙවල් වල ඉන්නවද?

දේශපාලනය කියන්නේ ගෞරවනීය වෘත්තියක්. ඒක පරිපාලන රැකියාවක් වගේ. ඒක හොඳට කරගෙන යන්න පුළුවන්. 

නමුත් අද අපේ රටේ ප්‍රායෝගික තළයේ ක්‍රියාත්මක වෙන දේශපාලන ක්‍රමය ගැන නූතන තරුණ පිරිස් හොඳට අවබෝධ කරගෙනයි ඉන්නේ. ඒ නිසා දේශපාලනය පිළිබඳව කලකිරීමේ ස්වභාවයක් දක්නට ලැබෙනවා. බොහෝ තරුණයන් දේශපාලනයෙන් ඈත්වෙලා. 

වත්මන් ආණ්ඩුව ඔබ දකින්නේ කොහොම ද?

මේ ආණ්ඩුව පිහිටුවන්න සිංහල, දෙමළ, මුස්ලිම් කියන සෑම බහුතර ජන කොටසකගේම සහය හිමිවුණා. ඒ නිසායි අනුර කුමාර දිසානායක ජනාධිපති ධුර⁣යට පත්වුණේ. ඒ අවස්ථාවේ රටේ පුළුල් වෙනසක් ඇති කරන්න ජනතාවට අවශ්‍ය වුණා. ජනාධිපතිවරණ ජය ආසන්නයේ පැවති මහමැතිවරණයෙන් ආණ්ඩුවට මන්ත්‍රී ආසන 159ක් හිමි වුණේත් ඒ නිසයි. ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට පසු වැඩිම පාර්ලිමේන්තු බලයක් හිමි වුණේ මේ ආණ්ඩුවට. කෙසේ නමුත් එවැනි බලයක් සහිතව පිහිට වූ ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු ඉටු කළේ හා ඉටු කරමින් ඉන්නේ මන්දගාමීව. කියූ සමහර ජනහිතවාදී දේවල් ක්‍රියාත්මක කළේත් නැහැ. ජනාධිපතිවරයාගේ හැඟීම් මුසු ආකර්ෂණීය කතා විලාසයට තමයි ජනතාව ආශා කළේ. ඇළුම් කළේ. ජනතාව ඉමහත් විශ්වාසයෙන් බලය ලබා දුන්නා. නමුත් ජනතාව බලාපොරොත්තු වුණු වේගයෙන් හා පරිමාවෙන් පළල් සේවයක් මේ දක්වා ආණ්ඩුවෙන් ඉටු වෙලා නැහැ. 

දැන් බලන්න ගංවතුර සහ නායයාම් උවදුරක් ඇතිවුණා. ඒක සැලසුම්සහගතව කළමනාකරණය කරන්න ආණ්ඩුවට බැරි වුණා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී පොරොන්දු වුණා, සම්පූර්ණයෙන්ම විනාශවූ නිවසකට රුපියල් කෝටියක් දෙනවා කියලා. නමුත් දුන්න ද? තහඩුවක් ගියත් රුපියල් ලක්ෂ දහයක් දෙනවා කිව්වා. ඒ දේවල් සිද්ධ වුණාද? විපතට පත්වූ ජනතාව බලාපොරොත්තු වුණා, ප්‍රකාශ කළ දේ  ඉටුකරයි කියලා.  

ජනාධිපතිවරයාට හොඳ දැක්මක් තිබෙනවා. ඒත් එතුමාගේ කණ්ඩායමේ බහුතරයක් ප්‍රමාණවත් තරමින් කාර්යක්ෂම නැති බවයි මට නම් පෙනී යන්නේ. ලැබුණු දේශපාලන බලය සමග ජනතාව දුන් පණිවුඩය මනාව වටහා ගනිමින් ඉදිරියේදී හෝ කටයුතු කරනවා යැයි අප හිතනවා. එසේ වුවහොත්, මේ ආණ්ඩුවට ජනතාවගේ ප්‍රසාදය ඉදිරියේ දීත් ලැබෙයි.  නමුත් ජනතා ප්‍රසාදය දැන් අඩු වෙමින් පවතින බවකුයි මට නම් පේන්නේ.

උඩරට වතුකරයේ ජනතාව බලාපොරොත්තු වුණු දේවල් ආණ්ඩුවෙන් ඉටු කළා ද?

මේක ශ්‍රී ලාංකිකයන්ගේ රටක්. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන සෑම ජනකොටසක්ම නියෝජනය වෙනවා. 

උඩරට වතුකරයේ ජනතාව සුළු පිරිසක් වුවත්, ඔවුන් ගේ අයිතිවාසිකම් ලබාදීම ඉතා වැදගත්. ඒක තවමත් ඉටුවෙලා නැහැ. වතුකරයේ ජනතාව තවමත් ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තබා ගෙන සිටිනවා. දැන් වතුකර ජනතාවගේ දෛනික වැටුප රුපියල් 200 කින් වැඩි කළා. ඒක ඉතා හොඳ දෙයක්. ඒ ගැන මම ආණ්ඩුවට ස්තූතිවන්ත වෙනවා. නමුත් එය තවමත්  ගැසට් පත්‍රයක් මගින් නීත්‍යනුකූලව  ප්‍රකාශයට පත්කර නෑ. ඒ නිසා එය නිකම්ම නිකම් ප්‍රකාශයක් විතරයි. ඒ නිසා එම වැටුප් වැඩි කිරීමට අදාළ නීත්‍යනුකූල තත්ත්වය ආණ්ඩුව නොපමාව තහවුරු කර දීමට ක්‍රියා කළ යුතුයි.   

දැන් බලන්න වතුකරේ ඉඩම් ප්‍රශ්නය, නිවාස ප්‍රශ්නය. තවමත් සම්පූර්ණ විසඳුමක් ලබාදීලා නැහැ. ඉන්දියාවෙන් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළා. ඒක හොඳයි. නමුත් ආණ්ඩුවට ඇයි නිවාස ප්‍රශ්නය විසඳන්න දැන් බැරි? බලන්න පසුගිය ගංවතුරෙන් හා නායයෑමෙන් කඳුකරයේ නිවාස කොච්චර නම් විනාශ වුණා ද? ජනතාවට ඉන්න හිටින්න තැනක් තිබුණා ද? විශාල බලපෑමකට ලක්වුණා. නමුත් ඔවුන්ට ස්ථිර වාසස්ථානයක් නැහැ. වන්දි ලබා දීමේදී ඇති කළ නිර්ණායක හේතුවෙන් විසඳගන්න බැරි ආකාරයේ  ගැටලු වලට මුහුණ දෙන්න මේ අහිංසක ජනයාට සිදුවී තියෙනවා. 

උඩරට කඳුකරයේ වෙසෙන දෙමළ ජනතාවට ඉඩම් අයිතිය අවශ්‍යයි. ඇතැම් දේශපාලනඥයන් හිතන්නේ ඔවුන් කල්ලතෝනින් කියලා. අවුරුදු ගණනක් ඉඳලා ඔවුන් ශ්‍රීලාංකිකයන් විදියටයි ජීවත් වෙන්නේ. ඔවුන්ගේ ශ්‍රමයෙන් තමයි වතුකරේ තේ වගාව තවමත් කර ගෙන යන්නේ. දැන් උඩරට දෙමළ ජනතාවගේ ඉඩම් අයිතිවාසිකම් ලබාදීමට ඔබත් එකඟයිනේ. නමුත් බොහෝ දෙනා එකඟ වුවත්, සමහර දේශපාලන නියෝජිතයන් ඊට එකඟ නැහැ. ආණ්ඩුව දැන්වත් මේ අහිංසක ජනයාගේ අවශ්‍යතා ඉටුකළ යුතුයි.

උඩරට කඳුකරය නියෝජනය කරමින් මෙවර නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙක් බිහිවුණා. ඔවුන් ගෙන් වතුකරයේ ජනතාවට විශේෂිත  සහනයක් ලැබුණේ නැද්ද?

බොහෝ මන්ත්‍රීවරුන් බොරුව පෙන්නලා රවටලා තමයි බලයට ආවේ. පිරිසක් ජනාධිපතිවරයා ගේ නම පාවිච්චි කරලා බලයට ආවා. තවත් පිරිසක් මාවත් ඉතාම කැත විදියට විවේචනය කරලා බලයට ආවා. නමුත් ඒ දේශපාලකයන් වතුකරයේ ජනතාවට සේවයක් ඉටු කළේ නැහැ. ජනයාට එය වැටහෙමින් තියෙනවා. ඒක බොහොම පැහැදිලියි.

සාකච්ඡා සටහන
නිරෝෂණ කුමාර