ජනතාව ඉල්ලුවේ ආණ්ඩූවක් ඒත් ලැබුණේ දේපොළ වෙ​ෙළඳ සමාගමක්


සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු

මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල 

  •  හමුදාව නැතිව මේ විදිහට එන්නත්කරණය රට පුරාම කරන්න බෑ  
  • වෛද්‍ය මතය රට වහන්න කියන එකයි  

 

ජනතාව ඉල්ලුවේ ආණ්‍ඩුවක්-ඒත් ලැබුණේ දේපොළ වෙළෙඳ සමාගමක් යැයි සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.​ මේ ඒ මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවය.  


ප්‍රශ්නය- රට බිහිසුණු අනතුරක තිබුණට ආණ්ඩුව එන්නත්කරණය සාර්ථකව කරනවා.  


පිළිතුර- පරක්කු වෙලා හරි එන්නත්කරණය කිරීම ගැන මම සතුටු වෙනවා. එන්නත්කරණය අවුරුද්දක් ප්‍රමාදයි. ප්‍රමාද වෙලා හරි පටන් ගත්ත එක ගැන මම සතුටු වෙනවා. විශේ‍ෂයෙන්ම හමුදාව විශාල මහන්සියක් ගන්නවා. සෞඛ්‍ය අංශ විශාල කැපවීමකින් කරනවා. ඒ සියලුම දෙනාට මගේ ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කය ඇතුළු කන්ද උඩරට මගේ ජනතාව වෙනුවෙන් මම රජයෙන් විශේ‍ෂ ඉල්ලීමක් කරනවා. ඒ තමයි කන්ද උඩරටට තවම ඩෙල්ටා ප්‍රබේදය ඇවිත් නෑ. ඒ නිසා කන්ද උඩරට ජනතාව බේරාගන්න දෙවැනි එන්නත වහාම ලබා දෙන්න කියලා. මොකද මට දවසකට දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් එනවා දෙවැනි ඉන්නත ලබා දුන්නේ නෑ කියලා. මගේ මේ ඉල්ලීම ගැන අදාළ බලධාරීන් නිසි අවධානය යොමු කරයි කියලා මම විශ්වාස කරනවා.  


ප්‍රශ්නය- ඔබ හමුදාවට ස්තුති කරනවා කිව්වට ඔබේ කඳවුරේ ඇතැම් අය ඒක විවේචනය කරනවා. ඔවුන් ඒකට කියන්නේ මිලිටරිකරණය කියලයි.  


පිළිතුර- නෑ ඉතින් හමුදාව නැතිව මේ විදියට එන්නත්කරණය රට පුරාම කරන්න බෑ. අනිත් රටවල් පවා හමුදාව මේ සඳහා යොදා ගන්නවා. හැබැයි හමුදාව දේශපාලන තීරණ ගන්නේ නැතිව වෛද්‍යවරුන් එක්ක සාකච්ඡා කරලා. වෛද්‍ය මතය පදනම් කරගෙන තීරණ ගත්තොත් හොඳයි කියලා මම හිතනවා.  


ප්‍රශ්නය- මම කියන්නේ දැන් වෙන්නේ එහෙම කියලද?  


පිළිතුර- රටේ මතයක් තියෙනවා වෛද්‍ය මතය පසෙකට තල්ලු කරලා කාර්ය සාධක බළකාය දේශපාලන තීරණ ගන්නවා කියලා. කාර්ය සාධක බළකාය හරහා හමුදාව විශාල කාර්ය භාරයක් කරනවා. නමුත් ඔවුන් දේශපාලන තීන්දු ගන්න බවක් පේනවා.  


ප්‍රශ්නය- ඔබ එහෙම කියන්නේ.  


පිළිතුර- කාර්ය සාධක බළකාය කියලා රට විවෘත කළානේ. රජයේ සේවකයන්ට වැඩට එන්න කිව්වා. නමුත් වෛද්‍ය මතය තමයි රට වහන්න කියන එක. මේ දෙගොල්ලන්ගේ කඹ ඇදීම නිසා රට විනාශ වෙනවා. 

 
ප්‍රශ්නය-රට වහලා යන්නේ කොහොමද? එතකොට රටේ ආර්ථිකයට මොකද වෙන්නේ.  


පිළිතුර- රට ඇරියාම මොකද වෙන්නේ. රට ඇරලා මිනිසුන්ට කිව්වට ගෙයින් එළියට බහින්න එපා කියලා ඒක විහිළුවක්නේ. ඔයාට තේරෙන්නේ නැද්ද ඒක. රට ඇරියාම රට ඇරල වගේ වැඩ වෙන්නත් ඕනෑ. ආණ්‍ඩුව රට ඇරලා මිනිසුන්ට කියනවා ගෙයින් එළියට බහින්න එපා කියලා මොකක්ද ඒකේ තේරුම.

  
ප්‍රශ්නය-විපක්ෂය ආණ්ඩුව විවේචනය කරනවා මිසක් ජනතාවගෙන් ඉල්ලීමක්වත් කරන්නේ නෑ සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්න කියලා.  


පිළිතුර- මම කියන්නම් විපක්ෂය. ඇත්තෙන්ම අපි පාර්ලිමේන්තුවේ කතා කරනවා. එතැනින් එහාට අපට යන්න යාන්ත්‍රණයක් නෑනේ. විපක්ෂයෙ මන්ත්‍රීවරු ඔය කාර්ය සාධක බළකාවලත් නෑ. අපේ විපක්ෂනායකතුමත් නෑ. හැබැයි ඔයා දන්නවද ආණ්‍ඩුව විශාල වැරැද්දක් කරලා තියෙනවා. ඒ තමයි 2005 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට 2005 අංක 13 දරණ ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත කියලා පනතක් ඉදිරිපත් කළා. මේ වගේ ව්‍යසනයක් ආවම ඉස්සෙල්ලාම පත් කරන්න ඕනෑ මේ කමිටුවයි. මේ කමිටුවේ සභාපති ජනාධිපතිවරයයි අගමැතිතුමා ඉන්නවා. විපක්ෂනායතුමා ඉන්නවා. ඇමැතිවරුන් ගණනාවක් ඉන්නවා. ඒ වගේම එක වගන්තියක් තියෙනවා කතා නායකතුමා විපක්ෂයෙන් පස් දෙනෙක් පත් කරන්න ඕනෑ කියලා. මේ ව්‍යසනය පටන් අරගෙන අවුරුදු එක හමාරකටත් වැඩියි. තාම මේ කොමිටිය පත් කරලා නෑ. මෙතැන හිටියානම් අපට අපේ අදහස් දෙන්න තිබුණ. දැන් පාර්ලිමේන්තුවේ කතා කරනවා හැරෙන්න අපට වෙන ස්ථානයක් නෑනේ. රජය ඒගොල්ලන්ගේ වගකීම පැහැර හැරලා තියෙනවා. අපෙන් සහයෝගය ඉල්ලනවා. අපට සහයෝගය දෙන්න තියෙන එකම තැන මේගොල්ලෝ පත් කරලා නෑ.

  
ප්‍රශ්නය- මගේ ප්‍රශ්නය වුණේ ඔබලා ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ නෑ. කොවිඩ් මර්දන මෙහෙයුමට සහයෝගය දෙන්න කියලා.  


පිළිතුර- දැන් ඇත්ත වශයෙන්ම ආණ්‍ඩුව රට ඇරියනේ. රට ඇරලා කියනවා උද්ඝෝෂණ නවත්වන්න කියලා. උද්ඝෝෂණ නවත්වන්නනම් රට වහන්න ඕනෑ. එහෙනම් එක පැත්තකින් රට ඇරලා අනිත් පැත්තෙන් කියනවා උද්ඝේෂණ නවත්වන්න කියලා. රට වැහුවොත් උද්ඝෝෂණ නවත්වනවා.  


ප්‍රශ්නය- ඒ කියන්නේ පසුගිය දවස්වල උද්ඝෝෂණ කළේ රට ඇරලා තිබුණ නිසයි. 

 
පිළිතුර- නෑ නෑ ප්‍රශ්න තියෙන නිසානේ උද්ඝෝෂණ කරන්නේ. දැන් මේ අය රට විවෘත කළානේ. එක වටයයි එන්නත විදලා තියෙන්නේ. ලෝකයෙ විවෘත කරපු හැම රටක්ම විවෘත කළේ‍ එන්නත වට දෙකක්ම ගහලා. ඇමෙරිකාව, එංගලන්තය ජපානය වගේ රටවල් විවෘත කළේ වට දෙකම එන්නත ගහලා.  


ප්‍රශ්නය-අගෝස්තු මාසය ඉවර වෙන්න කලින් වට දෙකම සම්පූර්ණ කරනවා කියලා ආණ්‍ඩුව කියනවා.

  
පිළිතුර- හරියට හරි. අපි ප්‍රාර්ථනා කරනවා වට දෙක ගහලා රට විවෘතව තබාගන්න කියලා.  


ප්‍රශ්නය- රටේ තත්ත්වය හොඳින්ම දැන දැනත් ඇයි ඔබලා ජනතාව පාරට බස්සසවලා උද්ඝෝෂණ කරවන්නේ.  


පිළිතුර- උද්ඝෝෂණ ඇති කළේ අපිද? උද්ඝෝෂණ ඇතිවුණේ රජයේ ක්‍රියාමාර්ග නිසානේ. ආණ්ඩුවේ සෞභාග්‍ය දැක්මේ කිව්වා පොහොර නිකන් දෙනවා කියලා. ආණ්‍ඩුව ඒක දුන්නේ නැති නිසානේ ගොවියෝ පාරට බැස්සේ. සෞභාග්‍ය දැක්මේ තියෙනවා ගුරු වැටුප් විසමතා වහාම විසඳෙනවා කියලා, ඒක විසඳුවාද? අපේ ආණ්‍ඩුව කාලේ රජයේ සේවකයන්ගේ වැටුප් රුපියල් දස දහසකින් වැඩි කළා. මේ ගොල්ලෝ දුන්න පොරොන්දු ඉටු නොකළ නිසානේ ජනතාව පාරට බැස්සේ. අනිත් එක 2015 දී අපි එනකොට රාජ්‍ය ආදායම තිබ්බේ බිලියන දාහයි. අපි යනකොට ඒක බිලියන දෙදාහක වැඩි කරලා තිබුණා. එහෙම වැඩි කරගත්ත නිසා තමයි අපට පුළුවන් වුණේ හැම පඩි වැඩිවීමක්ම දෙන්න. හැම වෘත්තීය සමිති ඉල්ලීමක්ම දෙනවා. අපි කිසි දෙයක් බෑ කිව්වේ නෑ. අපි විශ්‍රාමිකයන්ගේ අවසන් දීමනාවවත් කැබිනට් එකේ අනුමත කරලා ගියේ. අපි රටේ ආදායම දෙගුණයක් කර ගත්තා. මේගොල්ලො මොකක්ද කළේ ආවා විතරයි. වැට් එක ගජ මිතුරු සමාගම්වලින් ඉවත් කළා. ඒකෙන් ආණ්‍ඩුවට බිලියන 800 ක් අහිමි වුණා. ඇවිල්ලා මාසයක් යනකොට. ඒක කර ගන්නේ කොයි ආණ්ඩුවද, තමන්ගේ ආදායම් අහිමි කර ගන්නේ. ලොකු කොම්පැණිකාරයෝ මේ ගොල්ලන්ට විශාල වශයෙන් සල්ලි දුන්නා. මම දන්නවා එක සමාගමක් පොහොට්ටුවට මිලියන දාහක් දුන්නා. ඒගොල්ලන්ව සතුටු කරන්න බිලියන 800ක් නැතිකර ගත්තා. සීනි එකේ බද්ද අයින් කරලා මිලියන දහසය දාහක් නැතිකර ගත්තා. ආදායම් නැති කර ගත්තේ මේ ගොල්ලන්ගේ වැරැදි තීරණ නිසා. ඔය අහිමි කරගත්ත සල්ලි ටික තිබුණා නම් මේ ප්‍රශ්න කිසිම දෙයක් ඇතිවෙන්නේ නෑ. ගුරු වැටුප් දෙන්නත් පුළුවන්. මේ රටට ඩොලර් විතරක් නොවෙයි රුපියලුත් නැති වෙනවා.  


ප්‍රශ්නය-ඔබ ආණ්‍ඩුවේ පොරොන්දු ගැන කතා කළා. පොරොන්දු දෙන කාලේ මේ කොවිඩ් තිබුණේ නෑ. මේක අලුත්ම තත්ත්වයක්.  


පිළිතුර- හරි. මම අහන්නේ කොයි ආණ්ඩුවද තමන්ගේ ආදායම දෙකෙන් පංගුවකින් අහිමි කර ගන්නේ. 

 
ප්‍රශ්නය- ආණ්ඩුවේ තර්කය වුණේ බදු ගැහුවම ඒ බර වැටෙන්නේ ජනතාවගේ කර මතට කියලයි.  


පිළිතුර- පොඩි මිනිහාගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු අයින් වුණේ නැහැනේ. ඒකෙන් වාසි ගත්තේ ලොකු සමාගම්. පොඩි මිනිහට කිසිම වාසියක් වුණේ නෑ. බඩු මිල අඩු වුණාද? පොහොර ප්‍රශ්නය ගන්න. සල්ලි නැති නිසානේ මේ ඔක්කොම ප්‍රශ්න.  


ප්‍රශ්නය-දැන් පොහොර උද්ඝෝෂණ කෝ. ඒකෙන්ම පේනවනේ ඒක කෘත්‍රිමව හදපු ප්‍රශ්නයක් කියලා.  


පිළිතුර- වැරදියිනේ. සෞභාග්‍යයේ දැක්මේ තියෙන විදියට කාබනික පොහොර අවුරුදු දහයක ව්‍යාපෘතියක්. අවුරුද්දට සීයට දහය ගානේ අඩු කරලා මේක කරනවා කියලයි කිව්වේ.  


ප්‍රශ්නය-ඔබලාගේ විපක්ෂ හරිත පක්ෂයක් කියලනේ කියන්නේ. ඉතින් මේවගේ දෙයකට උදව් නොකරන්නේ ඇයි?  


පිළිතුර- එක පාරටම මේක කරන්න බෑනේ. සෞභාග්‍යා දැක්මේ තියෙන්නේ මේක දස අවුරුදු ව්‍යාපෘතියක් කියලනේ. පැය විසි හතරෙන් මේක නැවැත්තුවාම කොහොමද සහාය දෙන්නේ. දැන් මේ සැරේ හැම අස්වැන්නකින්ම සියයට තිහකින් හතළිහකින් අඩු වෙනවනේ.  


ප්‍රශ්නය-කාබනික පොහොර ව්‍යාපෘතිය නිසා සාගත එනවා කියලා කියලා කිව්වා. ඇයි මේ වගේ බිල්ලෝ මවන්නේ.   


පිළිතුර- නෑ අපට මවන්න දෙයක් නෑ. රටේ සාගතයක් ඇති වෙලානේ තියෙන්නේ. සීනි රුපියල් 150යි. කිරිපිටි නෑ. ගෑස් නෑ. මිනිස්සු මැරෙනවා. දැන් සාගතයක් ඇති වෙලා තියෙන්නේ. අපට මවාපාන්න දෙයක් නැහැ.  


ප්‍රශ්නය- ස්පුට්නික් එන්නත ආපු ගමන් ඒ තොගයම එව්වේ මහනුවරට.  


පිළිතුර- ඔව්. ඔව්. සති දෙකකට කලින් මම ඒ ඉල්ලීම කළා. රජය ඒකට ඇහුම්කන් දෙන්න ඇති. කන්ද උඩරටට දෙවැනි මාත්‍රාව දෙන්න කියලා මම ඒ වෙලාවෙත් මතක් කරනවා.  


ප්‍රශ්නය-ඔබ කලින් කිව්වා. ඔබලා කියන දේට ආණ්ඩුව සවන් දෙන්නේ නැහැ කියලා. දැන් කියනවා ඉල්ලීමක් කළාම ඒක ඉටු කළාලු.   


පිළිතුර- ඔව් ඉතින් අපි පාර්ලිමේන්තුවේ කතා කතා කරන දේවල්වලට ඇහුම්කන් දෙනවා. නැත්තෙත් නෑ. මම කියන්නේ 2005 පනත යටතේ යාන්ත්‍රණයක් හදලා අවශ්‍ය සහයෝගය ගන්න කියලයි. 


ප්‍රශ්නය- කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට විරුද්ධ නෑ කියලා ඔබේ කඳවුරේ අයත් කියනවා. ඔබේ මතය.  


පිළිතුර- මම කියන්නේ මේ ගොල්ලෝ මේ ගැන කා එක්කවත් සාකච්ඡා කළේ නෑනේ. අඩුම තරමේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් එක්ක හරි සාකච්ඡා කරන්න එපැයි. මෙතැන එහෙම වුණේ නැහැනේ. හිතුවා ගෙනාවා.  


ප්‍රශ්නය-ඔබ උසස් අධ්‍යාපන ඇමැති කාලේ තමයි ඔය පනත මුලින්ම හැදුවේ.  


පිළිතුර- ආරක්ෂක අමාත්‍යාංශයෙන් පනත හදලා එව්වා. නමුත් මම ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නෑ. මොකද මේකේ ප්‍රශ්න තිබුණ නිසා.  


ප්‍රශ්නය-මේ විශ්වවිද්‍යාල හරහා විදේශයට ඇදී යන විශාල මුදලක් ඉතිරි කරගන්න පුළුවන්.  


පිළිතුර- එහෙම කියන ආණ්ඩුව විපක්ෂයේ ඉන්න කොට එහෙනම් ඇයි සයිටම් එකට විරුද්ධ වුණේ. මේ කබරගොයා තලගොයා න්‍යායනේ. දැන් බලන්න මේගොල්ලෝ රටේ දේපොළ විකුණන්නේ නැහැ කිව්වා. දැන් කොළඹ නගරයෙ තියෙන හොඳම ගොඩනැගිලි 15 ක් විකුණන්න දාලා. මේක මේ ආණ්‍ඩුවක් නොවෙයි. දේපොළ වෙළෙඳාම් සමාගමක්. රටේ ජනතාව ඉල්ලුවේ ආණ්‍ඩුවක්. නමුත් ලැබුණේ දේපොළ වෙළඳාම් සමාගමක්.  


ප්‍රශ්නය- බරපතළ චෝදනා එල්ල වී තියෙන රිෂාද් බදුර්දීන් වෙනුවෙන් ඔබ පාර්ලිමේන්තුවේ කතා කළා. එය දැඩි විවේචනයට ලක්වුණා. 

 
පිළිතුර- ඔව් මම කතා කළා. හුඟ දෙනෙක් දන්නේ නැහැ. මම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක. විපක්ෂයේ මන්ත්‍රී කෙනෙකුගේ ප්‍රශ්නයක් වුණාම ඒ ගැන කතා කිරීමේ වගකීම තියෙන්නේ මට. කතානායකතුමාගේ මූලික වගකීම තමයි මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන එක. රිෂාද් දැන් මාස ගණනක් අත්අඩංගුවේ තියාගෙන ඉන්නවා. එයාගෙන් තවම කට උත්තරයක්වත් අරගෙන නෑ. එදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ඉන්න වෙලාවෙම මම කිව්වා ලංකා ඉතිහාසයෙ කිසිම දවසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රඳවා ගැනීමේ නියෝග මත මෙහෙම තියාගෙන ඉඳලා නෑ රිෂාද් තමයි පළමු එක්කෙනා. ජේ.ආර්. හිටියා, ප්‍රේමදාස හිටියා, ඩී.බී. විජේතුංග හිටියා, චන්ද්‍රිකා හිටියා, මහින්ද හිටියා, මෛත්‍රීපාල සිරිසේන හිටියා. මේ කිසිම කෙනෙකුගේ පාලන සමයකදි මන්ත්‍රීවරයකු ඩී.ඕ. ගහලා රඳවාගෙන ඉඳලා නෑ. ඉතින් ඒ ගැන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියට මම කතා කරන්නේ නැත්නම් කවුද කතා කරන්නේ.   

 

 

 සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්