සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා
රටේ අලුත් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සමග කළ සාකච්ඡාවකි.
Q රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ ඔබේ තක්සේරුව කොහොමද?
ඇත්තම කිව්වොත් මේ රටේ ජනතාව මේ කණ්ඩායමට බලය දුන්නේ විශාල බලාපොරොත්තුවක් ඇතිව. ඒ බලාපොරොත්තු ඇති කළේ අසීමාන්තිකව බොරු වපුරමින්. ඒ බලාපොරොත්තු ඇස් ඉදිරිපිටම බිඳ වැටිලා ඉවරයි. ඒ බලාපොරොත්තු වූ වෙනස මේ කණ්ඩායමෙන් ලැබෙන්නේ නෑ කියලා ජනතාව තේරුම් අරගෙන ඉවරයි.
Q ඡන්දය කාලෙදි ඔයාලා කිව්වේ මාලිමාව දිනුවොත් රට ඉවරයි කියලයි. ඒකත් බොරුවක් කියලා දැන් ඔප්පු වෙලා නේද?
මැතිවරණ කාලෙදි කියපු ඒවා සම්බන්ධයෙන් වැඩිම වගකීම තියෙන්නේ බලයට ආපු කණ්ඩායමට. ඒ අය කියපු දේවල් අද කරලා තියෙනවද? අයි.එම්.එෆ්. එකත් එක්ක තියෙන කොන්දේසි වෙනස් කරනවා කිව්වා. අයි.එම්.එෆ් එකත් එක්ක ගනුදෙනු කරන්නේ මාලිමාව දෙන කොන්දේසිවලට යටත්ව කියලයි කිව්වේ. විදුලිය බිල මාස තුනක් යන්න පෙර තුනෙන් එකක් අඩු කරනවා කිව්වා. තෙල් ගේන කොට ඇමැතිට යන කොමිස් එක නවත්තලා මිල සූත්‍රය අහෝසි කරලා ජනතාවට සහන ලබා දෙනවා කිව්වා. මේ කිව්ව එක දෙයක්වත් තවම කෙරිලා නෑ. තමන් රැවටුණා කියලා ජනතාව අද හොඳටම තේරුම් අරගෙන ඉන්නේ.
Q මාලිමාව වගේ ආණ්ඩුවකට ජාත්‍යන්තර සහාය නෑ කියලා කිව්වා. අපි මේ කතා කරන මොහොත වන විටත් ජනාධිපති අනුර කුමාර මාලදිවයිනේ සංචාරයක?
මාලදිවයිනට විතරක් නොවෙයි සංචාර ගණනාවකට මේ මාස 10 ට ජනාධිපතිවරයා ගිහින් තියෙනවා. මේවා සංචාරද සවාරිද කියන ප්‍රශ්නය මතු වෙනවා. රටක නායකයෙක් තවත් රටකට සංචාරයක් ගියාහම තමන්ගේ රටට මොනතරම් රාජතාන්ත්‍රික ප්‍රතිලාභ ලැබෙනවාද? ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම මේ යන සවාරිවලින් මොනවද රටට ගෙනාවේ?
අනිත් එක තමයි ඉන්දියාවට ගියා. ඉන්දීය අගමැතිවරයත් එක්ක ගිවිසුම් අත්සන් කළා. ඒ ගිවිසුම්වල තියෙන්නේ මොනවද කියලා රටම දන්නේ නෑ. ඒගොල්ලෝ විපක්ෂයේ ඉන්නකොට බෙරිහන් දුන්නා අත්සන් කරන ගිවිසුම් ජනතාව දැනගන්න ඕනෑ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනෑ කියලා. නමුත් අද එහෙම දෙයක් වෙන්නේ නෑ. ජනතාව දන්නෙත් නෑ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලත් නෑ. මොන විදියෙ ‘පාවාදීම්ද’ වෙලා තියෙන්නේ කියලා රට දන්නේ නෑ.
Q විපක්ෂයේ ප්‍රධාන විපක්ෂය හැටියට ඔහොම කෙඳිරිගාලා විතරක් ඇද්ද? කෝ ජන සටන්?
ආණ්ඩුවට දැනෙන යමක් ඉදිරියේදී කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පළමුවැනි අවුරුද්දවත් මේ අයට අපි අවස්ථාව ලබා දෙන්න ඕනෑනේ. ඒ අවස්ථාව නොදුන්නොත් මේ අය විපක්ෂයට චෝදනා කරන්න පුළුවන් ‘කකුලෙන් අදිනවා, සාධාරණ කාලයක් දුන්නේ නෑ’ කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා යම් සාධාරණ කාලයක් ලබා දීලා විපක්ෂයේ සටන උද්වේගකරව පෙරට ගන්න.
Q ජන සටන් කොහොම වෙතත් සජිත් ප්‍රේමදාස නායකත්වයෙන් ඉවත් කරන්න ලොකු සටනක් පක්ෂය ඇතුළේ යනවා.
නෑ එහෙම කිසිම දෙයක් නෑ. එහෙම කිසිම සාකච්ඡාවක්වත් සිදුවෙලා නෑ. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් තමයි සමගි ජනබලවේගය තුළ හැමදෙයක්ම සිදුවෙන්නේ.
Q ඔබල එජාපයෙන් ගැලවිලා ඇවිත් සජබය පිහිටුවා ගත්තේ රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම පරදිනවා කියලනේ. එහෙම බැලුවම සජිත් ප්‍රේමදාසත් එහෙමනේ.
සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් පක්ෂය පිහිටුවලා තවම අවුරුදු පහයි. ඉතින් අවුරුදු පහක් කියන්නේ පක්ෂ නායකයකුට මහ ලොකු කාලයක් නොවෙයි. එතුමාට තව අවස්ථාව දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා.
Q විපක්ෂය සුන්බුන් ගොඩක් කියලයි ජනාධිපති අනුර කිව්වේ. ඇයි මේවා අහගෙන ඉන්නේ?
ඇත්තෙන්ම විපක්ෂයෙ සියලු පක්ෂ විශේෂයෙන්ම දක්ෂිණාංශික කඳවුර එකට එකතු විය යුතුයි. ඒකට සියලු පක්ෂ වෙනත් සංවිධාන බලවේග එකතු කරගන්න අපි බලාපොරොත්තු වෙනවා.
Q බලවේග එකතු කරගන්න කලින් ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන් එකතු කරන්න වෙයි නේද? මොකද සමහර මන්ත්‍රීවරුන් පක්ෂයේ මතයට එරෙහිව තීන්දු ගත්තා.
ඔව්, කිහිප දෙනෙක් පක්ෂයෙ මතයට විරුද්ධව කටයුතු කරලා තියෙනවා. පෞද්ගලික හේතු නිසා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඒ අයට විරුද්ධව විනය පරීක්ෂණ තියලා පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන්න තීරණය කරලා තියෙනවා. පක්ෂයේ විනය රැකගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග අපි අරගෙන තියෙනවා.
Q සමහර තැන්වල සජබෙ මන්ත්‍රීවරුන් මාලිමාවත් එක්ක එකතු වෙලා තියෙනවා?
ඒ හැම තැනකදීම පක්ෂයේ තීරණයට පිටින් ඒ අය කටයුතු කරලා තියෙන්නේ. පෞද්ගලික හේතු මත.
Q පෞද්ගලික හේතු කියන්නේ මුදල්ද?
වෙන්න පුළුවන්. මට ඒ ගැන දැන්ම විශේෂ විස්තරයක් කරන්න බෑ.
Q මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් සජිත් ප්‍රේමදාස අවභාවිත කරලා කියලා ලොකු චෝදනාවක් තියෙනවා. ඒ නිසා ද සජිත් ප්‍රේමදාස නිශ්ශබ්ද?
නෑ නෑ ඔය විදියෙ චෝදනා කලිනුත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරලත් තියෙනවා. ඒ පරීක්ෂණවලදී වරදක් වෙලා නෑ කියලා ඔප්පු වෙලත් තියෙනවා. ඉතින් මෙතැනදීත් ඒ කාරණාවම තමයි වෙන්නේ. සජිත් ප්‍රේමදාස මැතිතුමා දූෂිතයෙක්, හොරෙක්, වංචාකාරයෙක් නොවේ කියලා මුළු රටම දන්නවා.
Q කොළඹ මහර නගර සභාවේ බලය අල්ලනවා කියලා සජබෙ පාරම් බෑවා. නමුත් අන්තිම මොහොතේ සජිත් සටනින් අයින් වුණා. සමහරු නම් කියන්නේ ඒ ඩීල් එකක් නිසා කියලයි?
නෑ අපි පළාත් පාලන ආයතන 50 කට වැඩි ප්‍රමාණයක සාර්ථකව බලය පිහිටුවලා තියෙනවා. කොළඹ මහ නගර සභාවෙ බලය පිහිටුවන උත්සාහය සාර්ථක වුණේ නැතත් මුළු රට පුරාම පළාත් පාලන ආයතනවල ලබාගත් ජයග්‍රහන ගැන අපි සතුටට පත්වෙනවා.
Q රටේ ඉදිරි දේශපාලනය තුළ කුමක් වෙයිද?
පිළිතුර:- ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේකයි ආණ්ඩුවට සහයෝගය ලබා දිය යුතු තැනදී සහයෝගය ලබා දෙන්නත් විරුද්ධ විය යුතු තැනදී කොන්දේසි විරහිතව විරුද්ධ වෙන්නත් ආණ්ඩුව පොරොන්දු කඩ කරනකොට ජනතාව කබෙලන් ළිපට ඇදලා දාන කොට ශක්තිමත් විපක්ෂයක් හැටියට ඒවාට මැදිහත් වෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා.
Q විපක්ෂ නායකත්වයේ වෙනසක් වෙන්න පුළුවන් කියලත් කතාවක් යනවා?
පිළිතුර:- මේ ආණ්ඩුවට හිතවත් පාර්ශ්ව නොයෙකුත් කතා ගොතනවා. ඒ වගේම බොරු ප්‍රවෘත්ති මවන්න හදනවා. ආණ්ඩුවේ නොහැකියාව වහගන්න ආණ්ඩුව ගෙනයන ව්‍යාජ ක්‍රියාවලියක් මිසක් ඔය කතාවල ඇත්තක් නෑ.
Q විපක්ෂ නායක සජිත්ගේ භූමිකාව සම්බන්ධයෙන් ඔබ සෑහීමකට පත් වෙනවද?
ඇත්ත වශයෙන්ම එතුමා අවංක නායකයෙක්. දක්ෂ නායකයෙක්. පිරිසිදු නායකයෙක්. එතුමාගේ නායකත්වය යටතේ අපට දක්ෂ කණ්ඩායමක් ඉන්නවා. ඒ දක්ෂ. තරුණ, ඒ වගේම පළපුරුද්දක් තියෙන උගත්, බුද්ධිමත් කණ්ඩායමට නායකත්වය දෙන්නේ එතුමා. ඒ නිසා එතුමාගේ නායකත්වය සම්බන්ධයෙන් විශ්වාසයක් ලොකු සතුටක් අපිට තියෙනවා.
Q යූඑන්පියත් එක්ක එකතු වීමේ උත්සාහයේ අලුත්ම තත්ත්වය මොකක්ද?
යූඑන්පිය සමග පමණක් නොවෙයි. දක්ෂිණාංශික බලවේග සියල්ල එකට එකතු විය යුතුයි. කියන මතයෙ මම ඉන්නවා. පක්ෂයක් හැටියට ඉන්නෙත් ඒ මතයෙයි.
Q මගේ ප්‍රශ්නය වුණේ යූඑන්පී සජිත්ට එකතුවීම ගැනයි. ඒ එකතු වීමට විරුද්ධ රනිල්ද සජිත් ද?
අපි විශ්වාස කරනවා යූඑන්පිය ඇතුළු සියලු දක්ෂිණාංශික බලවේග එකතු විය යුතුයි කියලා. පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී අපි යූඑන්පියත් එක්කත් එකතු වෙලා තියෙනවා. ඒ නිසා අනාගතයේදීත් එකට වැඩ කරන්න අපට බාධාවක් නෑ.
ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු කඩ කරලා ඉවරයි. ඒ නිසා දවසෙන් දවස විවිධ මාතෘකා එළියට දානවා විවිධ මාධ්‍ය සංදර්ශන දානවා. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ එක එතැනින්ම නතර වුණා. වැව් වැඩෙත් ඒ වගේම වෙයි. ඉහළ ව්‍යාපාරිකයන්ට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියලයි පේන්නේ. ලාල්කාන්ත ඇමැතිවරයා විහිළු සපයන්නෙක් බවට පත්වෙලා තියෙනවා. ඊයේ කියපු දේ නොවෙයි අද කියන්නේ. මුළු ආණ්ඩුවම විහිළුවක් බවට පත්වෙලා ඉවරයි. ඒ නිසා අපි සමගිව මේ තත්ත්වයට මුහුණ දෙන්න ඕන.
Q රනිල් වික්‍රමසිංහ ආපහු සැරයක් ජනාධිපති වෙයි කියලත් සමහරු කියනවා?
රනිල් වික්‍රමසිංහ මැතිතුමා නොවෙයි. එහෙම තත්ත්වයක් උදාවුණෙත් සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිකම බාරගන්න සූදානම්.
Q ජන වරමකින් තොරව ජනාධිපති වෙන්නේ නෑ කියලා සජිත් ප්‍රේමදාස කියලා තියෙනවා.
බලමු. කොයි විදියටද එහෙම වුණොත් වැඩ කරන්නේ කියලා.
Q ආණ්ඩුව පෙරළන්න මොකක් හරි වැඩපිළිවෙළක් තියෙනවාද?
නෑ තවම එහෙම දෙයක් ගැන සාකච්ඡා කරලා නෑ. තවම මේ ආණ්ඩුවට අවුරුද්දක්වත් නෑනේ. බලමු තව ටිකක් කල් දෙමු.
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්