ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක කොළඹ නගර සභාවේ බලය අත්පත් කරගැනීම සම කළ හැක්කේ වාමාංශිකයන් අත තිබූ නගර සභාවේ බලය එජාපය සතු කරගත් 1956 දෙසැම්බරයේ පළාත් පාලන ඡන්ද විමසීමටය. පංච මහා බලවේගයෙන් රටේම බලය ලබාගත් බණ්ඩාරනායක ආණ්ඩුවට එතෙක් ඇන්.ඇම්. පෙරේරා අත තිබූ නගර සභාවේ බලය රැකගත නොහැකි විය. පක්ෂ නායක ඩබ්ලි සේනානායකගේ යම් යම් අකුල් හෙළීම් මැද එවක එජාප මහලේකම් උක්වත්තේ ජයසුන්දර සහ වී.ඒ. සුගතදාසගේ සහාය ඇතිව එජාපයට නගර සභාවේ බලය රැගෙන දීමට ජේ.ආර්. ජයවර්ධනට හැකියාව ලැබිණි. ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ ඒ ජයග්‍රහණය මෙසේ විස්තර කරයි. ‘‘ඔවුහු එක්ව 1956 දෙසැම්බරයේදී අනුස්මරණීය ජයග්‍රහණයක් ලබාගෙන කොළඹ නගරය එක්සත් ජාතික පක්ෂයට නොසෙල්වෙන සහයෝගයක් ඇති ප්‍රදේශයක් වශයෙන් සිය බලය තහවුරු කර ගත්තේය. එදා මෙදා තුර ජාතික හෝ පළාත් පාලන වේවා කවර මැතිවරණයකදීවත් කොළඹ නගරයෙන් බලය එක්සත් ජාතික පක්ෂයට අහිමිව ගියේ නැත.
කොළඹ දේශපාලනය එජාපයට සින්න වූයේ 1977 න් පසුවය. 1970 මහා මැතිවරණයේදී මැද කොළඹ බහු ආසනය පීටර් කෙනමන් විසින්ද බොරැල්ල ආසනය කුසලා අබේවර්ධන විසින්ද දිනා ගන්නා ලදී. 1956 දී ඇන්.ඇම්. පෙරේරා කොළඹ නගර සභාවේ පුරපති වූ සමය හා ඉන්පසු 1970 දක්වාම කොළඹ නගරය ආශ්‍රිතව එජාප විරෝධී වාමාංශික බලවේග ප්‍රබල ලෙස පැතිර තිබුණේය. එහෙත් 1977 දී පීටර් කෙනමන් පරදවා රණසිංහ ප්‍රේමදාස මැද කොළඹද කුසලා පරදවා එච්.ඇම්. මොහොමඩ් බොරැල්ල ආසනයද ජයග්‍රහණය කළහ. එතැන් පටන් එම ආසන එජාපයටම සින්නවිය.
කොළඹ නගර සභාව කියන්නේ අලින්ගේ පක්ෂයේ ලොකුම බළකොටුවය. අලින්ගේ පක්ෂය බලවත්ව තිබූ සමයේ කොළඹ නගරසභා බලය කවදාවත් වෙන පක්ෂයකට ලැබුණේ නැත. අලින්ගේ පක්ෂය දෙකඩ වූ පසු අලි කකුලක් වූ සජබයට කොළඹ නගර සභාවේ බලය ලැබෙනු ඇතැයි. උපකල්පනයක් තිබිණ. එහෙත් ඒ සියලු උපකල්පන බොරු කරමින් ජාතික ජන බලවේගය කොළඹ නගර සභාවේ බලය දිනාගත්තේය. එහෙත් එසේ බලය දිනා ගත්තේ ඔළුගෙඩි මාරුවකිනි. සභා ගණනාවකදීම මාලිමාව බලය ගත්තේ ‘‘හොරුන්’’ ලෙස හංවඩු ගැසූ කණ්ඩායම් සමඟ එකතුවීමෙනි. මේ නිසා මාලිමා රජය රටට පෙන්වමින් සිටි දේශපාලන සුජාත භාවයද අවසන්ව ඇත.
බණ්ඩාරනායකලාටත් රාජපක්ෂලාටත් දිනා ගන්නට බැරි වූ කොළඹ නගරයේ බලය මාලිමාවට දිනාගත හැකිවීම ජාතික ජන බලවේගය ඇති කළ තවත් විප්ලවයක් ලෙස සැලකිය හැකිය. කොළඹ නගර සීමාවේ පදිංචිකරුවන්ගේ බහුතරය දමිල සහ මුස්ලිම් ජාතිකයන්ය.
එජාපය සැමදාම කොළඹ බලය රඳවා ගත්තේ සුළු ජාතික ඡන්ද පදනම ඔවුන්ගෙන් ගිලිහී නොයන නිසාය. අතිශය බලසම්පන්න පාලනයක් ගෙන ගිය රාජපක්ෂලාටද කොළඹ බලය ඡන්දයෙන් ලබා ගත නොහැකි වුවත් ඔවුන් කොළඹ නගර සභාවට උඩින් නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතියක් අරඹා එජාප නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් සමඟ එක්ව නගරය පාලනය කළේය. රාජපක්ෂලාටවත් බැරි වූ කොළඹ නගරයේ බලය ගැනීම අනුර ලබා ගත්තේ ඡන්දයෙනි. පළාත් පාලන පනතේ වැරදි හේතුවෙන් ඍජුව බලය නොලැබුණත් විපක්ෂ මන්ත්‍රීන් ‘‘බාගෙන’’ හෝ අනුර කොළඹ නගරයේ බලය මාලිමාවට ලබාදී තිබේ. ජනාධිපතිවරයාගේ දේශපාලන භාවිතාවට උතුරත් සමඟ සියලු ජනවර්ගවල සහාය ලැබෙන තත්ත්වයක් තුළ මෙම ‘‘විප්ලවය’’ කරන්නට ඔහුට හැකි විය. එහෙත් එම සියලු ජනවර්ග බලාපොරොත්තු වන වෙනස්කම් කිරීමට ඔහුට හැකි වේ ද නැද්ද යන්න වෙනම කරුණකි.
ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමයේ තාත්තාද බාප්පාද මහප්පාද වූය් ජේ.ආර්. ජයවර්ධන පූර්ණ බලැති විධායක ජනාධිපතිවරයාය. ඔහු විධායක ජනාධිපති ක්‍රමයෙන් තම පක්ෂයේත් විපක්ෂයේත් දේශපාලන පක්ෂ සමඟ සෙල්ලම් කළේය. තමාට කරන්නට බැරි වන්නේ ගැහැනියක පිරිමියකු කිරීමත් පිරිමියකු ගැහැනියක කිරීමත් පමණක් බවට වහසි බස් දෙඩුවේය. කවුරුත් සිතුවේ ජේ.ආර්ගේ එජාපයෙන් වෙනත් පක්ෂයකට කවදාවත් බලය මාරුවන එකක් නැති බවය. එහෙත් 1994 දී ශ්‍රීලනිපයේ චන්ද්‍රිකාට බලය ලැබුණු පසු 2004 වනතුරු විපක්ෂය පතුරුවලට ගැලවූවාය.
තම පක්ෂයට බලය ලබාගැනීම අසීරු තැන්වලදී විපක්ෂ මන්ත්‍රීන් තම පක්ෂයට ගෙන බලය පිහිට වූවාය. ඇගෙන් පසු මහින්ද රාජපක්ෂ ඇයට වඩා තදින් පක්ෂ කඩමින් රට පාලනය කළේය.
දැන් රටේ පාලකයා අනුරය. ගෙවුණු හත් මාසයට අනුර පෙන්වා ඇත්තේ ජේ.ආර්ගේ සිට රනිල් දක්වා සියලු ජනාධිපතිවරුන්ටත් එහා ගිහින් රට පාලනය කරන බවය. මහා මැතිවරණයකදී කිසිම ජනාධිපතිවරයකු ජය නොගත් උතුරේ මන්ත්‍රී ආසන බහුතරය දිනුවේ අනුරය. අලින්ට සින්න වී තිබූ කොළඹ නගරයේ බලය පළමු වතාවට අලින්ට අයත් පක්ෂයකට නොදී ඩැහැගත්තේ අනුරය. ජේ.ආර්ලා කළ ආකාරයටම බලය පිහිටුවන්න සහාය පළ කළ විපක්ෂ මන්ත්‍රීවරුන්ට තාන්න මාන්නදී රටේ බලවත් තැන්වල බලය මාලිමාවට ගත්තේ අනුරය.
ඔක්කොම කුණු බේරුවල බොක්කට එකතු වෙනවා වගේ ව්‍යාපාරිකයන් හා දේශපාලකයන් සියලු දෙනා එකතු වෙන්නේ බලය ඇති තැනටය. රටේ බලය ඇති තැන ජනාධිපති ධුරයය. දැන් රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකය. රාජ්‍ය යාන්ත්‍රණයේ සියලු බර එකතු වී ඇත්තේත් අනුර ළඟය. ජේ.ආර්. රටේ විධායක ජනාධිපති ධුරයක් ඇති කෙරුවාට අනුරගේ පැරණි නායකයා වූ විජේවීරගේ සිට අනුර දක්වාම ජවිපෙ නායකයන් එදා මෙම විධායක ජනාධිපති ධුරය විවේචනය කළාට විපක්ෂයේ සිටින සජිත්ලාට, රනිල්ලාට ඕනෑ විදිහට විධායක ජනාධිපති ධුරය ක්‍රියාත්මක වන්නේ නැත. එම ධුරය ක්‍රියාත්මක වන්නේත් එයවටා බලය ගොනුවන්නේත් පුටුව දරන ජනාධිපතිගේ දේශපාලන වුවමනාව අනුවය. විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියන හැටියට එදා තමන් ළඟ සිටි සියලු ධනවත් ව්‍යාපාරිකයන් දැන් ඉන්නේ අනුර ළඟය. එදා තමන්ගෙන් වාසිගත් ව්‍යාපාරිකයන් දැන් තමන්ගේ මූණවත් බලන්නේ නැත. කොළඹ පුරපති බලය ගන්න ව්‍යාපාරිකයන්ගේ උදව් ඉල්ලූ විට විපක්ෂයට කිසිම ව්‍යාපාරිකයකුගේ උදව් ලැබුණේ නැත. ව්‍යාපාරිකයින්ගෙන් උදව් ඉල්ලනවා කියන්නේ මන්ත්‍රීන් බාගන්න සල්ලි ඉල්ලන එකය. විපක්ෂයට නොදුන් සල්ලි ව්‍යාපාරිකයන් දුන්නේ ආණ්ඩුවටය.
විපක්ෂය කොළඹ නගර සභා ඡන්දයට පෙර ස්වාධීන මන්ත්‍රීවරුන් ඇතුළු තමන්ට සහාය දෙන්නට පොරොන්දු වූ මන්ත්‍රීන් 62කගේ අත්සන් ලේඛනයක් ලබා ගත්තත් ඡන්දයට පෙර එයින් කීප දෙනෙකු තමාගේ පැත්තට හරවා ගන්නට ජනාධිපති අනුර සමත් විය.
දේශපාලන පක්ෂපාතීත්වය සඳහා මන්ත්‍රීවරුන් ලබාදෙන අත්සන් කිසිදා ගලේ කෙටූ ඉරක් මෙන් ස්ථීරව තිබෙන්නේ නැත. දේශපාලකයාගේ ප්‍රතිපත්තිද ස්ථීර නොවන අතර ඔහුගේ අත්සනද ස්ථීර නැත. ජනාධිපති ප්‍රේමදාසට එරෙහිව ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාව සමයේ ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට ලිපියකට අත්සන් කළ මන්ත්‍රීවරුම දෝෂාභියෝග ලියවිල්ලටත් අත්සන් කර තිබිණි.
දෝෂාභියෝගයට අත්සන් කළ සමහර මන්ත්‍රීවරු තමාගේ අත්සන ඉල්ලා අස්කර ගන්නා බවට වෙනම ලිපියකට අත්සන් කළේ ජනාධිපතිවරයාගේ බලපෑම මතය. ලංකාවේ ඇත්තේ අත්සනද ඉල්ලා අස්කර ගන්නා දේශපාලන සංස්කෘතියකි. ජනාධිපති ප්‍රේමදාසට සමීප ඇමැතිවරයකු වූ ඒ.ජේ. රණසිංහ මන්ත්‍රී අත්සන් ගැන මෙසේ සටහන් කරයි.
‘‘රනිල් වික්‍රමසිංහ සහ ජෝන් අමරතුංග වැනි මැති ඇමැතිවරුන් කිහිපදෙනෙක් දිවා රෑ නොතකා ආණ්ඩු පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වරින් වර අරලියගහ මැදුරට කැඳවා ජනාධිපතිතුමාට සම්පූර්ණ සහාය දෙන බවට වෙන වෙනම අත්සන් ගන්නා ලදී. එය ඉතා සාර්ථක ක්‍රියාවක් විය.
මෙහි සිනාවට කරුණ වන්නේ ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝග ලියුමට අත්සන් කළ ඇතැම් මන්ත්‍රීවරුන් ජනාධිපතිතුමාට පක්ෂ සකස් කළ ලියුමටද අත්සන් කිරීමය.
දෝෂාභියෝගයට අත්සන් කර තිබූ සමහරුන් ජාතික ජනමාධ්‍යයට ලියුම් යවමින් කියා සිටියේ තමන් අත්සන් කළේ ජනාධිතිට එරෙහිව නොව ආණ්ඩුවේ වැඩ කටයුතු ගැන ලියුමක් යැයි සිතා බවය.
අවසානයේ කුමන්ත්‍රණකරුවන්ට තරු විසි විය. ඒ.ජේ. රණසිංහ එසේ සටහන් කර ඇත.
මන්ත්‍රී අත්සන ගළේ කෙටූ ඉරක් නොව ජලයේ ඇඳි ඉරක් බවට එදා පත්විය.
අද ද එය එලෙසමය.
ප්‍රේමදාසට එරෙහි දෝෂාභියෝගය අවස්ථාවේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ගැන ලලිත් ඇතුළත් මුදලි තදබල ලෙස විශ්වාස කළේය. එහෙත් ඇතැම් මන්ත්‍රීවරුන් රහසින් ප්‍රේමදාස ජනාධිපතිවරයා සමඟද ගනුදෙනු කරන බව එවකට වාමාංශික දේශපාලනයේ නියැළුණු දොස්තර රාජිත සේනාරත්න හොඳින්ම දැන සිටියේය. තමා ඒ බව ලලිත්ට කී බව රාජිත මෙසේ සිහිපත් කරයි.
ලලිත් අසීමිතව විශ්වාස කළා මන්ත්‍රීවරුන්ගේ සහාය තියෙනවා කියලා. මට තේරුණා දෙපැත්තටම වැඩ කරන අය ඉන්නව කියලා. රාජ්‍ය බලය තියෙන තැනට හැමෝම ඇදෙනවා. ඔයාලා කියනවා ඔයාලා දිනනවා කියලා. ප්‍රේමදාසගේ කට්ටිය කියනව එයාල දිනනව කියල. මතක තියාගන්න ප්‍රේමදාසට තියෙනවා රාජ්‍ය බලය. ඒකත් එක්ක ඔයාලට හැප්පෙන්න බෑ කියල ලලිත්ට මම කීවා.
අත්සන් කළ මන්ත්‍රීවරු ගැන විශ්වාසය තියන්න එපා කියලත් කීවා. මේ කතාව අවසන් වුණෙත් ඒ විදිහටමයි. දොස්තර රාජිත සේනාරත්න සඳහන් කරයි.
මන්ත්‍රී අත්සන සදාකාලිකවම සෙලවෙනසුලුය. මේ මොහොතේ සහාය දෙන බවට අත්සන් කර දිවුරා පොරොන්දු වන මන්ත්‍රීවරයා ලැබෙන වරප්‍රසාද වැඩි වේ නම් තවත් පැයකින් තවත් බලවතකු ළඟ අත්සන් කරන්නේය. මෙවර පළාත් පාලන ආයතන ගණනාවකදීම විපක්ෂයට සහාය දෙන්න පොරොන්දු වූ ගණනාවක්ම මාලිමාවට එකතුවීම දැක ගත හැකි විය.
විපක්ෂ මන්ත්‍රීවරුන්ව තම පක්ෂයේ සහායට එකතු කර ගැනීම සඳහා ජනාධිපති අනුර උපයෝගී කර ගත්තේ හිටපු ජනාධිපතිවරුන් උපයෝගී කරගත් උපක්‍රම මිස අන් ක්‍රමයක් නොවේ. අනුර කළේ ඒ කටයුත්ත හිටපු ජනාධිපතිවරුන්ටත් වඩා හොඳට කරන එකය. කොළඹ නගර සභාවේ ස්වාධීන මන්ත්‍රීවරුන් කැඳවා ඔවුන්ගේ ප්‍රශ්නවලට සවන් දුන් ජනාධිපතිවරයා එම ප්‍රශ්න විසඳීමට පොරොන්දු විය. ඇතැමුන්ට රැකියාද තවත් සමහරුන්ට වෙනත් ත්‍යාගතද පිරිනැමිණි. කොළඹ දීත් කොලොන්නාවේදීන් විපක්ෂයේ පක්ෂ අතර ඇති ගැටුම් ඉතා හොඳින් අධ්‍යයනය කර එම ගැටුම් වලින් කලකිරුණු මන්ත්‍රීවරුන් තම පාර්ශ්වයට හරවා ගත්තේය. කළුතර දී ප්‍රබල ඇමැතිවරයකු තීරණාත්මක සහා කිහිපයක තීරක මන්ත්‍රීවරුන්ට පවසා තිබුණේ තම පක්ෂයට සහාය ලබාදුනහොත් රැකියා දහය බැගින් ලබාදෙන බවය. ඇතැම් ප්‍රාදේශීය සභාවක විපක්ෂ මන්ත්‍රීන්ට රුපියල් ලක්ෂ දහය පහලොව ලබාදී ඔවුන්ගේ සහාය මාලිමාවට ලබාගැනිණි. මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට පක්ෂයට නොහැකි වූ පසු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ජනමාධ්‍යයට කීවේ තම කණ්ඩායමේ මන්ත්‍රීවරයකුට රුපියල් ලක්ෂ පහළොවක් ලබාදී මාලිමාවට සහාය ලබාගෙන ඇති බවය.
මේ කිසිවක් හිටපු ජනාධිපතිවරුන්ගේ ආණ්ඩු සමයේ සිදු නොවූ දේවල් නොවේ. මන්ත්‍රීවරුන් බාගැනීම අගමැති ඩීඑස් සේනානායක යුගයේ පටන්ම සිදුවිය. ජේ.ආර්ගේ ආණ්ඩු කාලයෙත් සිදුවිය. ප්‍රේමදාසගේ ආණ්ඩු කාලයේත් සිදුවිය. චන්ද්‍රිකා එජාපයෙන් බාගයක්ම තම පක්ෂයට බාගත්තාය. මහින්ද රාජපක්ෂ පක්ෂ කඩා ආණ්ඩු හැදීමට නම් දැරූවේය. ඒ සියලු නායකයන්ගේ සමයේ මන්ත්‍රීවරුන් බාගනිද්දී මන්ත්‍රීවරුන් පිල් පනින්නේ මුදලට සහ වරප්‍රසාදවලටය. විපක්ෂයට මේ මන්ත්‍රීන් හැඳින්වූයේ වරදාන වරප්‍රසාදවලට යට වූ මන්ත්‍රීවරුන් හැටියටය. එකල ජවිපෙ නායක අනුර දිසානායක දිගින් දිගටම මෙම මන්ත්‍රී සංස්කෘතිය හෙළා දැක්කයේ. තම ආණ්ඩුවක් යටතේ එවැනි පිල්මාරුවලට ඉඩ නැති බව පරසක්වළ ගසා දිවුරුවේය. මාලිමාව බලය ගත්තේ එම දේශපාලන සංස්කෘතිය අවසන් කරන බව පවසමිනි.
එහෙත් මාලිමා ආණ්ඩුවද මන්ත්‍රී පිල් මාරුවලට ඉඩ සලසන දේශපාලන සංස්කෘතිය පැවතියාටත් වඩා හොඳින් වැඩි දියුණු කර තිබේ. පළාත් පාලන තලයේදී ස්වාධීන කණ්ඩායම් සමඟ පමණක් නොව සජබයේ, පොහොට්ටුවේ මන්ත්‍රීන් සමඟද එක්ව සභා පිහිටුවා තිබේ. වතුකරයේ බලය ලබා ගන්නට හැමදාම පවතින ආණ්ඩුවට එකතු වන ලංකා කම්කරු කොංග්‍රසයේ තොණ්ඩමන්ලා සමඟ එකතු වී තිබේ. මාලිමාවට පැරණි දේශපාලන සංස්කෘතිය සමඟ ඉකුත් සතියේ අතිනත ගත්තේ ඒ ආකාරයෙනි.
‘සිස්ටම් චේන්ජ්’ගැන කතා කරමින් බලයට ආ වත්මන් ආණ්ඩුව බලය ලබා ගත් පසු ගමන් කරන්නේද පැරණි මාර්ගයේ මය. රට යන අතට ආණ්ඩුව ගෙනයනවා හැර ඡන්දයකින් බලයට එන ආණ්ඩුවකට වෙන යාමට මාර්ගයක්ද නැත. ඡන්දයෙන් පත් වූ පළාත් පාලන ආයතනයක් බලය ස්ථාවරව ලැබී නොමැති නම් සෙසු පක්ෂ හවුල්කර ගැනීම නීතියට වලංගුය. නීතියේ ඇත්තේ එහෙමය. කලින් ආණ්ඩු කළේත් එහෙමය. ඒ කටයුත්ත සිස්ටම් චේන්ජ්වලට අයත් වන්නේද නැත. ‘‘සිස්ටම් චේන්ජ්’’ කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවා, සිවිල් පාලනය අත්හිටුවා රට පාලනය කරන විප්ලවීය ආණ්ඩු වලට පමණය. අවුරුදු පහකින් ඊළඟ ඡන්දයට මුහුණ දෙන්න බලාගෙන ඡන්දයෙන් බලයට පත්වන ආණ්ඩුවලට රටේ පවතින නීති පද්ධතියෙන් හා උසාවි ක්‍රමයෙන් ගැලවී සිස්ටම් චේන්ජ් කළ නොහැකිය. ඒ නිසා ආණ්ඩුව කරන දේ නිවැරදිය. බලය නැතිනම් පාර්ලිමේන්තුවේදී ඔළු මාරු කළාට බලය මදි නම් නගරසභාවේ විපක්ෂයෙන් බාගත්තාට එතන නීතිමය වරදක් නැත. ප්‍රශ්නය වන්නේ කඩපිල් ගානේ දේශනා පවත්වමින් පැවැති ආණ්ඩු බලය ගන්න ඔළුගෙඩි මාරු කළ විට ඔවුන්ට බැණ වැදුණු බලය ගන්න මන්ත්‍රීන් බාගත්විට වරදාන වරප්‍රසාද දෙන බවට හංවඩු ගැසූ ජවිපේ හා මාලිමා නායකයන්ට අද ආණ්ඩුව ලැබී තිබියදී හිටපු නායකයන්ගේ පාරේම යමින් වරදාන හා වරප්‍රසාද ලබාදෙමින් සිටීම ඔවුන්ගේ වචන වලින්ම කියනවා නම් ‘‘ලජ්ජා නැති අසිකිත්ත වැඩක් වීමය.
ප්‍රේමකීර්ති රණතුංග