
ශ්‍රී ලංකාවේ නාගරික නිවාසවලින් සියයට70ක් පමණ සහ ග්‍රාමීය ජනතාව ගෙන් සැලකිය යුතු පිරිසක් තම දෛනික ආහාර පිසීමේ කටයුතු සඳහා ගෑස් (LP Gas මත යැපෙති. එවැනි පසුබිමක, වරින් වර මෙරට ඇතිවන ගෑස් හිඟය හුදෙක් පාරිභෝගික අපහසුතාවක් පමණක් නොව, එය රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියටම බලපාන ජාතික මට්ටමේ අර්බුදයකි.
විදේශ විනිමය (Forex) අර්බුදය සහ ආනයන සීමා
ශ්‍රී ලංකාවේ ගෑස් අර්බුදයට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ විදේශ විනිමය හිගයයි. එල්.පී.ගෑස් යනු සම්පූර්ණයෙන්ම ආනයනය කරනු ලබන භාණ්ඩයක් වන බැවින්, එහි සැපයුම රඳා පවතින්නේ මහ බැංකුව සතු ඩොලර් සංචිත ප්‍රමාණය මතය.
2022 ආර්ථික බිඳවැටීමෙන් පසු ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම පැහැර හැරීම නිසා, ජාත්‍යන්තර සැපයුම්කරුවෝ මෙරටට භාණ්ඩ එවීම සඳහා ණයවර ලිපි පිළිගැනීමට මැළි වූහ. මෙය අර්බුදයේ ආරම්භය විය.
ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව මෙතෙක් කල් ආහාර පිසීම සඳහා වැය කළේ ණයට ගත් ඩොලර් බවය. ණය ලබා ගැනීමේ හැකියාව සීමාවූ වහාම ගෑස් නෞකා මෙරටට පැමිණීම නතර විය.
මිල සූත්‍රය සහ වෙළෙඳපොළ විකෘතිතා
වසර ගණනාවක් පුරා එල්.පී.ගෑස් සිලින්ඩරයක මිල තීරණය වූයේ ආර්ථික සාධක මත නොව දේශපාලනික තීරණ මතය.
ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යන විට දේශීය මිල ඉහළ දැමීමට රජය මැළිවීම නිසා ලිට්‍රෝ සමාගම රුපියල් බිලියන ගණනක පාඩුවක් ලැබීය. මෙය නව ඇණවුම් සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය නොමැති වීමට ප්‍රධාන හේතුවක් විය.
පෞද්ගලික අංශය ලෙස ලාෆ්ස් සමාගමට රජයේ ආයතනයක් මෙන් දිගින් දිගටම පාඩු විඳිය නොහැකි විය. මිල ඉහළ දැමීමට අවසර නොලැබීම නිසා ඔවුන් මෙහෙයුම් සීමා කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සියලු පාරිභෝගිකයන් ලිට්‍රෝ ගෑස් වෙත යොමු වීමෙන් අසමතුලිතතාවක් නිර්මාණය විය.
යටිතල පහසුකම් සහ ගබඩා කිරීමේ සීමා
ශ්‍රී ලංකාව පවත්වාගෙන යන්නේ ඉතා අවම ගබඩා පහසුකම් ප්‍රමාණයක් සහිතවයි.
ශ්‍රී ලංකාව සතුව හදිසි අවශ්‍යතාවක දී මාස කිහිපයක් පාවිච්චි කළ හැකි “උපායමාර්ගික ගබඩා” (Strategic Reserves) නොමැත. අප කරන්නේ එසැණින් පරිභෝජනය (Just-in-Time Logistics) කිරීමේ ක්‍රමයයි. එනම් නැව පැමිණි සැණින් බෙදාහැරීමයි. නෞකාවක් ප්‍රමාද වූ වහාම දින කිහිපයක් ඇතුළත වෙළෙඳපොළ හිස් වෙන්නේ මේ නිසාය.
ලාෆ්ස් සමාගමට අයත් හම්බන්තොට පර්යන්තය උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වීමට ඇති බාධා ද 2026 වසරේ වත්මන් හිඟයට බලපා ඇත.
“කලබලයෙන් මිලදී ගැනීම” (Panic Buying)
හිඟයක් පවතින බවට පැතිරෙන සුළු ප්‍රවෘත්තියක් පවා පාරිභෝගිකයන් කලබල කිරීමට හේතු වේ. මාස දෙකකට වරක් ගෑස් මිලදී ගන්නා අය පවා හිඟයක් වේ යැයි බියෙන් අමතර සිලින්ඩර රැස්කිරීමට පෙලඹෙති. මෙලෙස එකවර ඉල්ලුම සියයට 300 කින් පමණ ඉහළ යන විට කිසිදු සැපයුම්කරුවෙකුට එය දරාගත නොහැකි වේ.
2021 ගෑස් පිපිරීම්
2021 ශ්‍රී ලංකාවේ ගෑස් ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදයයි. මෙහිදී පිරිවැය අඩු කරගැනීම සඳහා ප්‍රොපේන් සහ බියුටේන් (Propane and Butane) අනුපාතය වෙනස් කළ බවට චෝදනා නැගිණ. මෙහි ප්‍රතිඵලයක් ලෙස සිලින්ඩරයෙහි පීඩනය ඉහළ ගොස් නිවාස දහස් ගණනක ගෑස් කාන්දුවීම් සහ පිපිරීම් ඇති විය. මෙය ජනතාව තුළ ඇති කළ භීතිය නිසා සමස්ත සැපයුම් පද්ධතියම අඩාල වී දිගුකාලීන හිඟයක් ඇති විය.
වත්මන් තත්ත්වය සහ පවතින අභියෝග
2026 පෙබරවාරි අගභාගය වන විට ශ්‍රී ලංකාවේ එල්.පී.ගෑස් සැපයුම සක්‍රීය යථා තත්ත්වයට පත්වීමක් සහ තැනින් තැන පවතින හිඟයන්ගේ මිශ්‍රණයකි. රජය සහ සැපයුම්කරුවන් තත්ත්වය ස්ථාවර වෙමින් පවතින බව ප්‍රකාශ කළද, දිවයිනේ ප්‍රදේශ කිහිපයක පාරිභෝගිකයෝ තවමත් දුෂ්කරතාවලට මුහුණ දෙති.
පසුගිය සති දෙක තුළ සැලකිය යුතු හිඟයක් වාර්තා වූ අතර, සිල්ලර අලෙවිසල් අසල දිගු පෝලිම් නිර්මාණය විය. බෙදාහැරීමේ කාලසටහන් පිළිබඳ පැහැදිලි තොරතුරු නොමැතිකම හේතුවෙන් පාරිභෝගිකයෝ දැඩි කලකිරීමට පත්ව සිටිති.
මේ තත්ත්වය මත රජයට අයත් ලිට්‍රෝ ගෑස් සමාගම වෙළෙඳපොළේ බර තමන් වෙත ලබාගෙන ඇති අතර, සාමාන්‍යයෙන් ලාෆ්ස් සිලින්ඩර භාවිත කරන පාරිභෝගිකයන්ට පවා සැපයුම ලබා දෙන්නට පටන් ගෙන තිබේ. පවතින පරතරය පියවීම සඳහා ලිට්‍රෝ සමාගම සිය දෛනික නිකුතුව මෙට්‍රික් ටොන් 1,200 සිට 1,700 දක්වා (දිනකට සිලින්ඩර 100,000ක් පමණ) ඉහළ නංවා ඇත.
ගෑස් හිඟය අර්බුදයක් වෙන්නට නොදී මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක් පෙබරවාරි 22 දින මෙරටට ළඟා විය. අමතර නැව්ගත කිරීම් පෙබරවාරි 24, 25 සහ 28 යන දිනවලට නියමිතව තිබූ අතර තවත් නැව්ගත කිරීම් මාර්තු 01 දින අපේක්ෂා කෙරේ.
මේ හිඟයට ලාෆ් ගෑස් සැපයුම් දාමයේ බාධාවන් හේතු වූ බව පෙන්. හම්බන්තොට පිහිටි ඔවුන්ගේ මෙට්‍රික් ටොන් 30,000ක ආනයන පර්යන්තයේ “මෙහෙයුම් සීමාවන්” පවතින බව ලාෆ්ස් සමාගම සඳහන් කළේය. මෙය නිත්‍ය ගොඩබෑමට සහ බෙදා හැරීමට බාධාවක් වූ අතර මහනුවර සහ බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශ ඇතුළු බොහෝ ස්ථානවල “කහ සිලින්ඩර” සම්පූර්ණයෙන්ම පාහේ හිඟ වීමට හේතු විය.
ලාෆ්ස් සමාගම තාවකාලික විසඳුමක් ලෙස නැව්ගත කිරීම් කොළඹ වරාය වෙත යොමු කරමින් සිටින අතර 2026 පෙබරවාරි 28 වන විට ඔවුන්ගේ මාබිම පර්යන්තයේ සම්පූර්ණ මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව දන්වා තිබේ.
මිල විෂමතාවය සහ ආර්ථික පීඩනය
පාරිභෝගිකයින්ගේ බර අඩු කිරීම සඳහා ජනවාරි සහ පෙබරවාරි මාසවලදී ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690 (කි.12.5) මට්ටමේ පවත්වා ගෙන යනු ලැබීය.
මේ අතර 2026 ජනවාරි 1 සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස්මිල රුපියල් 4,250 (12.5නට) දක්වා ඉහළ නංවන ලදී.මෙම රුපියල් 560ක වෙනස ලිට්‍රෝ සඳහා “අනපේක්ෂිත ඉල්ලුමක්” ඇති කිරීමට හේතු වී ඇත. පාරිභෝගිකයින් ස්වභාවිකවම ලාභදායී විකල්පය වෙත යොමුවීම නිසා ලිට්‍රෝ සමාගමේ තොග සහ ප්‍රවාහන කටයුතු දැඩි පීඩනයකට ලක්ව තිබේ.
කෙසේ වුවද වත්මන් ආර්ථික තත්ත්වය අනුව නැවත ගෑස් හිඟයක් ඇති වීමට ඇති ඉඩ අඩුය. 2025 අවසානය වන විට විදේශ විනිමය සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 6.8 ඉක්මවා යමින් යම් දුරකට ස්ථාවර වී ඇත. මෙය 2022-2023 කාලසීමාවට සාපේක්ෂව නිතිපතා ආනයන ගෙවීම් සිදු කිරීමට හැකියාව ලබා දී ඇත.
2026අර්බුදය මූල්‍ය හිඟයකට වඩා “සැපයුම් සහ ඉල්ලුමේ හදිසි ඉහළ යාමක” ගැටලුවක් ලෙස බලධාරීහු හඳුන්වති. කෙසේ වෙතත්, මෙම හිඟයන් වරින් වර ඇතිවීමෙන් පෙන්නුම් කරන්නේ සැපයුම් දාමය තවමත් බිඳෙනසුලු බවත් ප්‍රමාණවත් “අතිරික්ත තොග”(Buffer Stock) නොමැති බවත්ය.
ඩොලර් සත 15ක් නිසා ඇතිවූ ගැටලුවක්?
ලංකාව තුළ පෙබරවාරි, මාර්තු වන විට යළිත් ගෑස් ගැටලුවක් ඇතිවන බව පසුගිය වසරේ දෙසැම්බර් 18දා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් ශේෂ ප්‍රකාශයක් සිදුකළේය. එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඩොලර් සත 15ක් නිසා රට තුළ ගෑස් ගැටලුවක් ඇතිකරන්නට ආණ්ඩුව කටයුතු කරන බවය.
විශේෂයෙන් වසර 15ක් තිස්සේ මෙරටට ගෑස් සැපයූ ඕමාන් රාජ්‍ය ගෑස් ආයතනයෙන් එම ටෙන්ඩරය ඉවත් කොට ඔහුන්ට වඩා ඩොලර් සත 15ක අඩු ලන්සුවක් ඉදිරිපත් කළ ස්ව්ට්සර්ලන්තයේ ජියෝ ගෑස් ආයතනයට ටෙන්ඩරය පිරිනැමීම තුළ මෙම ගැටලුව ඇතිවන බව ඔහු එදා පැවසීය.
ඩොලර් සත 15ක අඩුවෙන් රටට අවශ්‍ය ගෑස් ලැබෙනවානම් එය ආණ්ඩුව ගත් හොඳ තීරණයක් බවත් එය ආණ්ඩුව රටට සැපයූ ආදර්ශයක් බවත් චාමර සම්පත් මන්ත්‍රීවරයා නැති ගැටලුවක් මවා පෑමට උත්සාහ කරන බවත් ආණ්ඩු පක්ෂ ඇමතිවරු හා මන්ත්‍රීවරු මීට ප්‍රතිචාර වශයෙන් ප්‍රකාශ කළහ.
නමුත් චාමර සම්පත් මන්ත්‍රීවරයා පවසා සිටියේ ස්විට්සර්ලන්තයේ ජියෝ සමාගමට ලිට්රෝ ගෑස් ටෙන්ඩරය ලබාදෙනු ලැබුවේ ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශනවලින් සහ තාක්ෂණික ඇගයීම්වලින් බැහැරව බවය. එනම් ගෑස් ටෙන්ඩර ලබාගන්නා සමාගම නැව් 5ක් ඒ සඳහා යොදා ගත යුතු බවත් එම නැව් 5 මෙම කටයුත්තට යොදා ගන්නා බව තහවුරු කරමින් නැව් හිමියන්ගෙන් ලිපි ලබාදිය යුතු බවට වන කොන්දේසිය උල්ලංඝනය කරමින් නැව් 2කින් මෙම කටයුත්ත සිදුකිරීමට එම සමාගමට අනුමතිය ලබාදීමම ගැටලුවක් බවත් මන්ත්‍රීවරයා කියා තිබිණි.
ඕමාන් සමාගම වසර 15ක් තිස්සේ නැව් 5ක් යොදාගෙන සිදුකළ සැපයුම ජියෝ සමාගම නැව් 2කින් සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙන්ම ජියෝ සමාගම ආසියාවේ කිසිදු රටකට ගෑස් සැපයීමක් සිදුකර නොතිබීම තුළ ඔවුන් නැව් 2කින් මෙම මෙහෙයුම් කටයුත්ත සිදුකරාවිද යන කරුණු විද්‍යාත්මකව විග්‍රහ නොකිරීමම සැබවින්ම ගැටලුකාරී බව නොසිතීම ජනතාවගේ අවාසනාවකි.

ගෑස් හිඟය ලාෆ්ස් නිසාද?
කෙසේ නමුත් මෙම ගෑස් සම්බන්ධ ගැටලුව ලිට්රෝ සමාගමේ ගෑස් සැපයීමේ ගැටලුවක් නොව ලාෆ්ස් සමාගම විසින් නිසි ලෙස ගෑස්
වෙෙළඳපොළට නිකුත් නොකිරීම නිසා ඇතිවූවක් බව වෙෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පසුගියදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. විශේෂයෙන් ලාෆ්ස් සමාගම 2019 දී BOI ව්‍යාපෘතියක් ලෙස හම්බන්තොට පිහිටවූ ගෑස් ගබඩා පර්යන්තයේ මෙ.ටොන් 30,000ක් ගබඩා කළ හැකි වුවත් 2024 සිදුකළ විගණනයෙන් හෙළිව ඇත්තේ BOI උපදෙස් උල්ලංඝනය කරමින් කටයුතු කරමින් සිටින බවය. ඒ අනුව BOI නියෝග අනුව ඔවුන්ට එහි මෙහෙයුම් කටයුතු නවතා දැමීමට සිදුවිය.
ලාෆ්ස් සමාගම තමන්ට අවශ්‍ය ගෑස් සපයා ගනු ලැබුවේ ලිට්රෝ සමාගමට ගෑස් සැපයූ ඕමාන් සමාගමෙනි. නමුත් ලිට්රෝ සමාගම ඕමාන් සමාගමේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමත් සමග ලාෆ්ස් සමාගම අවශ්‍ය මෙට්රික් ටොන් 10,500 සැපයීමෙන්ද ඕමාන් සමාගම ඉවත් විය. ඒ අනුව ලාෆ්ස් සමාගම ලිට්රෝ සමාගමේ නව ගෑස් සැපයුම්කරුවන ජියෝ සමාගමෙන් තම ගෑස් අවශ්‍යතාව සපයන ලෙස ඉල්ලා සිටියත් ඔවුන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණි.
ලාෆ්ස් ගෑස් ගැටලුව පැනනගින්නේ මෙතැන් සිටය. ඒ අනුව වෙනත් සමාගම් හරහා මෙම අවශ්‍යතාව සපුරා ගත නොහැකිව සිටින පසුබිමක ඕමාන් ගෑස් සමාගමෙන් යළිත් සිදු කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට ගෑස් ලබාදීමට ඕමාන් සමාගම එකඟව ඇති බව පැවසේ. ඒ අනුව එහි පළමු තොගය වන මෙට්‍රික් ටොන් 3800ක් පෙබරවාරි 28 වැනිදා මෙරටට ලැබීමට නියමිතව තිබිණි.
කේ. ආර්. විතානගේ

