ගල් අඟුරු රුල්ලේ සජබ දිගටම එල්ලෙයි


නැවේදී පත්තු වූ ගල් අඟුරු

ඉකුත් සති කිහිපය තුළම දේශපාලනය රත් කළ මාතෘකාවක් බවට පත්ව ඇත්තේ නොරොච්චෝලේ බලාගාරය සඳහා බාල ගල් අඟුරු තොගයක් සපයා ඇති බවට වූ පුවතය. මේ වනවිට නැව් ගමන් වාර නවයක් සපයා ඇති අතර එම තොග නවයම නියමිත සුදුසුකම් සපයා නැති බාල ගල් අඟුරු බවට චෝදනා නැගී ඇත.

මේ වනවිට ආණ්ඩුව තම පාලනයක් යටතේ ගෙන ආ මෙම ගල් අඟුරු තොගය තුළ දූෂණයක් සිදුවී නොමැති බවට මතයක් පළ කරමින් සිටින අතර ගල් අඟුරු බාල බව රජය ද පිළිගනියි. විපක්ෂය කියන්නේ මේ නිසා එමගින් නිපදවෙන විදුලි බල ප්‍රමාණය අඩුවීමෙන් තාප විදුලිය මිලදී ගැනීමට සිදුවන බවය. දෙපාර්ශ්වයෙන් කියන මේ කතාවල සත්‍ය අසත්‍යතාව තවමත් ජනතාවට පැහැදිලි නැත.

ආණ්ඩුවේ ඇමැතිවරුන් පවසන්නේ ගල් අඟුරු බාල බව පිළිගන්නා නමුත් ඒ තුළ කිසිදු දූෂිත ගනුදෙනුවක් නොමැති බවයි. විදුලි බල මණ්ඩලය විසින් අදාළ සමාගම තෝරාගනු ලැබුවේ කිසිදු පක්ෂපාතීත්වයක් හෝ හිතවත්කමක් මත නොව නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ බවද්‍ රජය පවසයි. ටෙන්ඩර් ක්‍රියාවලියේ කුමන හෝ තැනක අඩුපාඩුවක් තිබේනම් පෙන්වා දෙන ලෙසද රජය සඳහන් කරයි.

‘‘ඕනෑම අවස්ථාවක අදාළ ගල් අඟුරු තොග බාල වන්නේ නම් එයින් සිදුවන පාඩුව ජනතාව මත පැටවෙන්නේ නෑ. එය අදාළ ආයතනයෙන් දඩ ලෙස අයකර ගත හැකියි.’’ කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමැතිවරයා කියා සිටියේය.

ගල් අඟුරු ප්‍රශ්නය ගැන සජබෙ සාකච්ඡාවක්

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එහි මුල් පෙළේ නායකයන්ගේ හමුවක් ඉකුත් බදාදා පැවැත්වුණේ පක්ෂ මූලස්ථානයේදීය. පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව පුළුල් සාකච්ඡාවක් එදින දවස පුරාම පැවැත්විණි. උදෑසන ගල් අඟුරු ටෙන්ඩරය පිළිබඳ ප්‍රශ්නය ගැන ද සවස්වරුවේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා කරන වැඩසටහන් පිළිබඳවද සාකච්ඡා කෙරිණි. පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, එස් එම් මරික්කාර්, මුජිබර් රහුමාන්, ජගත් විතාන යන මන්ත්‍රීවරුන් ඇතුළු මුල් පෙළේ නායකයෝ පැමිණ සිටියහ.

එදින උදෑසන පැවැති ගල් අඟුරු ටෙන්ඩරයේ දූෂණ පිළිබඳ කතාබහට එස් එම් මරික්කාර් මන්ත්‍රීවරයා පැමිණ සිටියේ ඒ පිළිබඳ ලිපිගොනු ගණනාවක් රැගෙනය. ඔහු ඒ පිළිබඳව දිගු පැහැදිලි කිරීමක් කළේය.

‘‘මේ ගල් අඟුරු ටෙන්ඩරය ආණ්ඩුව හොඳටම හිරවෙලා ඉන්න තැනක්. ඇමැති අයින් කරන්නත් එයාලට බෑ. මේ කණ්ඩායම අනික් අයට හොරු කීවට... දැන් එයාලම එතන හිරවෙලා ඉන්නේ... අපි මේ ගැන ලොකු කැම්පෙන් එකක් කරන්න ඕනැ ජනතාව දැනුවත් කරන්න...’’ මරික්කාර් මන්ත්‍රීවරයා කියා සිටියේය.

‘‘ඔය සලේව අත්අඩංගුවට ගත්තේ මේ වෙලාවේ ගල් අඟුරු වංචාව ගැන මතකය යට ගහන්න. එහෙම යට ගහන්න නොදී අපි ගල් අඟුරු වංචාව ගැන රටේම ජනතාව දැනුවත් කරමු...’’ ජගත් විතාන මන්ත්‍රීවරයා කීවේය.

මෙම ගල් අඟුරු වංචාව ගැන රහස් පොලිසියට පැමිණිලි කිරීමටද බාල ගල් අඟුරු ගෙනඒම පිළිබඳව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කිරීමටද එහිදී තීන්දු විය.

‘‘මම මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදීත් ඇහුවා... හරි උත්තරයක් ලැබුණෙ නෑ. බාල ගල් අඟුරු නිසා යන්ත්‍රවලට නියමිත විදුලිය ප්‍රමාණය සපයන්න බැරිවෙනවා.. ඒ හිස්තැන පුරවන්න ගන්න වෙන්නේ ඩීසල් බලාගාරවල විදුලිය. එහෙම ගත්තාම ජනතාවගේ විදුලි බිලට ඉන්ධන ගැළපුම් ගාස්තුවක් එකතු වෙනවා... ඒ බරත් ජනතාවට. මේ වෙනතෙක් ආපු ගල් අඟුරු නැව් නවයම ෆේල්... ගෙනාපු අයගෙන් දඩ අය කරගත්තා කියලා රටට ලාබයක් නෑ... බාල ගල් අඟුරුවලින් යන්ත්‍ර නැවතුණොත් තවත් කෝටි ගානක් පාඩුයි...’’ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය.

‘‘අපි නොරොච්චෝලෙ බලාගාරයට ගිහින් සේවකයො සමග කතා කළානෙ. ඒ ගමනින් සේවකයන්ට රුපියල් හතළිස් දාහක් පාඩුයි...’’ ජගත් විතාන මන්ත්‍රීවරයා කීවේ.

‘‘ඒ ඇයි?...’’ ජගත් එහෙම කියන්නේ කුමක් නිසාදැයි මන්ත්‍රීවරුන්ට ප්‍රශ්නයක් විය.

‘‘විදුලිබල සේවකයන්ගෙ වැටුපෙන් උපයන විට ගෙවීමේ බදු කපා ගන්නවට මණ්ඩලය රුපියල් හතළිස්දාහක් ඔවුන්ගේ වැටුපට එකතු කරනවා... අපි ගිහින් කතා කළාට ලොකු අයට තරහ ගිහින්... අපිට තොරතුරු දුන්නා කියල අර හතළිස් දාහෙ දීමනාව නවත්වලා... මාලිමාවෙ සේවකයන් ඇතුළු බලාගාරයේ හැමෝගෙම දීමනාව නවත්වලා... අපි ගිය ගමනේ ප්‍රතිඵල තමා ඒ...’’ ජගත් විතාන කීවේ සිනාසෙමිනි.

‘‘මෙයාල ඔය වංචාව වහගන්න සලේව ඇල්ලුවා... පාස්කු ප්‍රහාරය ගැන කතා කරන හැමදෙනාගේම හිත හදන්න ෂෝ එකක් තමා මේ දාන්න හදන්නෙ... එයාලගෙ අරමුණ පාස්කු පෙන්වල බාල ගල් අඟුරු සිද්ධිය යටගහන්න... අපි ඒ ගැන දිගටම ජනතාවට කරුණු දක්වන්න ඕනෑ...’’ මන්ත්‍රීවරු එහිදී කියා සිටියහ.

‘‘මතක තියා ගන්න ආණ්ඩුව අපට කීවෙ හොරු කියල... දැන් මේ ආණ්ඩුවත් හොරු වෙලා තියෙන්නෙ... එකකින් නෙවෙයි මේ ගල් අඟුරු සිද්ධිය... ඒ වගේ කීයක් ද? ඒ හොරකම්වලට ඔය ඇමැතිවරයෙක් අල්ලගෙන වැඩක් නෑ... ජනාධිපතිගෙ ඉඳල මුළු ආණ්ඩුවම තමයි හොරු කියන්නෙ... එයාල අපිට කිව්වෙත් එහෙමයි... මහ බැංකු බැඳුම්කර සිද්ධියේදි අගමැති හැටියට රනිල්ගෙ සම්බන්ධයක් එතන නෑ... හැබැයි මෙයාලා රනිල් හොරා කියල තමයි මතයක් හැදුවෙ... මේ ආණ්ඩුවෙත් ජනාධිපති මුකුත්ම දන්නෙ නෑ... හරිම අහිංසකයි කියලයි රටට පෙන්වන්න හදන්නෙ... ඒ දේශපාලන නිරුවතයි අපි රටට පෙන්වල දෙන්න ඕනෑ...’’ සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක කියා සිටියේය.

ඉන්පසු එදිනම සවස පැවැත්වුණේ කාන්තා දිනය සැමරීම සඳහා සජබය ගන්නා පියවර ගැන සාකච්ඡාවකි. නෙළුම් පොකුණ රඟහල කාන්තාවන්ගෙන් පුරවා විශාල රැස්වීමක් පැවැත්වීමට සජබය තීන්දු කර ඇත. ඒ සඳහා විවිධ කාන්තා සංවිධාන  පිටස්තරව ද සම්බන්ධ කර ගැනෙයි. කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් කාන්තාවන් කැඳවීමට නියමිතය.

‘‘මම ප්‍රවාහන පහසුකම් ඇතුළු වියදම් බලා ගන්නවා’’ ජගත් විතාන මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.

‘‘ඔව් ජගත්... ඔයාට පුළුළුන්... මේ රැස්වීම අපි හොඳට කරන්න ඕනෑ.’’ සජිත් ප්‍රේමදාස කියා සිටියේය.

ගම්පහ සංවිධායකයන් ගෙන්වයි

ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේග ආසන සංවිධායකවරුන් ගණනාවකගේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමේ රැස්වීමක් ඉකුත් බදාදා සජබ මූලස්ථානයේදී පැවැත්වුණේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ද එම හමුවට සහභාගී වූහ.

දිවුලපිටිය වත්තල ඇතුළු ආසන කිහිපයක සංවිධායකවරුන් ගෙන්වා තිබුණේ එම ආසනවල දුර්වලතා ඇති බවට විවිධ විවේචන ද එල්ල වී තිබූ නිසාය. එම හමුවීම පැවැත්වුණේ නව සංවිධායකයන් පත්කළ යුතු බවට පක්ෂ මූලස්ථානයෙන් තීන්දු කර තිබූ පසුබිමකය.

“අපි කොහොමත් සංවිධායකවරුන් මේ වසරට අලුත් කරනවා.

සමාලෝචන බලල අපිට සමහර ආයතනවලට අලුතෙන්මත් පත් කරන්න වෙනවා. ඒක කරන්නේ මම තනිවම නොවෙයි. මහලේකම්තුමා සහ ජාතික සංවිධායකතුමාගේ මූලිකත්වයෙන් අපි කමිටුවක් පත්කර තිබෙනවා. එම නිර්දේශ මතයි අපි සංවිධායකවරුන් පත් කිරීම හෝ ඉවත් කිරීම සිදු කරන්නේ. ඔයාලාගෙ අදහස් කියපු එක හොඳයි. අපි තීන්දුව ඉදිරියෙදී දන්වන්නම්.” පක්ෂ නායක සජිත් එම නියෝජිතයන් හමුවේ පැවසුවේය.

නාමල්ගේ ලන්ඩන් ගමන 

නාමල් රාජපක්ෂගේ එක්සත් රාජධානියේ සංචාරය දෙස් විදෙස් හැම කෙනාගේම අවධානයට ලක්වූ මාතෘකාවක් විය.

මෙම සංචාරය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී ඔක්ස්ෆර්ඩ් යුනියන් හා කේම්බි්‍රජ් යුනියන්  (ශිෂ්‍ය සංගම්) විසින් ආරාධිත දේශන හා ප්‍රශ්න හා උත්තර ලබාදීමේ සැසි සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට නිල වශයෙන් ආරාධනා කර තිබිණ. මෙය මාධ්‍යට රහසක් ලෙස තබා ගැනීමට නාමල් වග බලා ගත්තේය. නාමල් මේ නිල ඉල්ලීම් දෙකම පිළිගත්තේය.

නාමල් කලින්ම මේ සඳහා සැරසී සිටියේය. මෙහිදී නාමල් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.කේ සුමිත්ද සහභාගී වීමට සූදානම් වූහ. නාමල් ප්‍රමුඛ මෙම කණ්ඩායම වීසා අයදුම් කළ අතර එයද කළේ බොහොම රහසේය. වීසා ලැබෙන තුරු මෙය ළඟම හිතවතුන්ට හෝ පවසා නොතිබිණ.

නමුත් ජනවාරි මාසයේදී ඔක්ස්ෆර්ඩ් යුනියන් හා කේම්බ්‍රිජ් යුනියන් නාමල් රාජපක්ෂ තම විශ්ව විද්‍යාලයීය සංගම්වල දේශන සඳහා පැමිණෙන බවට මුලින්ම අනාවරණය කළේය.මෙහිදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට සහයෝගය ලබා දෙන ඩයස්පෝරාවේ පිරිස් විසින් යම් පීඩනයක් එම ශිෂ්‍ය සංගම්වලට එල්ල කර ඇත. නමුත් එය දැඩි එකක් නොවීය.

නාමල් රාජපක්ෂගේ ඔකස්ෆර්ඩ් දේශනය පැවැත්වීමට තිබුණේ පෙබරවාරි 25 වනදා වූ අතර කේම්බ්‍රිජ් දේශනය පැවැත්වීමට නියමිතව තිබුණේ පෙබරවාරි 27 වනදාය.නාමල් රාජපක්ෂ මෙම දේශනවලට සහභාගී වීම සඳහා එක්සත් රාජධානිය වෙත පිටත් විය. ඔහු එක්සත් රාජධානියට පැමිණ ඇති බව දැන ගත් සැනින් නාමල් රාජපක්ෂට එරෙහිව බ්‍රිතාන්‍යය පුරා වෙසෙන දෙමළ ඩයස්පෝරාව හා එල්ටීටීඊ හිතවාදීන් ඒකාබද්ධව දැඩි විරෝධයක් ප්‍රකාශ කළේය.

මෙම විරොධතාවල ප්‍රතිඵලයක් ලෙස කේම්බ්‍රිජ් ශිෂ්‍ය සංගමය ඇමතීමට ඇති දේශනය අවලංගු විය.එක්සත් රාජධානියේ දෙමළ ශිෂ්‍ය සංගම් සහ බ්‍රිතාන්‍ය දෙමළ තරැණ සංවිධානය එක්ව නිකුත් කළ නිවේදනයක දක්වා ඇත්තේ නාමල් රාජපක්ෂට ලබාදී ඇති මෙම අවස්ථාව වහාම අවලංගු කරන ලෙසය.

මේ බව නාමල් රාජපක්ෂට විද්‍යුත් තැපැල් පණිවුඩයක් ලබා දෙමින් මෙම දේශනය අවලංගු වූ බව කේම්බ්‍රිජ් ශිෂ්‍ය සංගමය දැනුම් දුන්නේය. නමුත් එම දේශන හා ප්‍රශ්න ඇසීමේ සැසි අවලංගු වුවත් ඔහු හමුවීමට අවශ්‍ය බවද කේම්බ්‍රිජ් ශිෂ්‍ය සංගමය දන්වා තිබිණ.

ඉන් අනතුරුව නාමල් ලන්ඩන් විහාරය වැදපුදාගෙන ස්වාමීන්වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගත්තේය .මෙහි විශේෂත්වය වූයේ ලන්ඩන් විහාරය වර්ෂ සියයක් සැපිරීමයි. ලන්ඩන් බෞද්ධ විහාරය ආරම්භ කර මෙම වසර වන විට වසර සියයක් සම්පූර්ණ වීම වෙනුවෙන් නාමල් ශුභාශිංසන එක කිරීමටද අමතක නොකළේය.ඉන් අනතුරුව කිංස්බරි විහාරයටද පැමිණ එහි ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයද ලබා ගත්තේය.

නාමල් නවාතැන් ගන්නා ස්ථානයට පැමිණි විට ඔක්ස්ෆර්ඞ් සංගමයේ සභාපතිනිය නාමල්ට දන්වා තිබුණේ තිබුණේ ආරක්ෂක හේතුන් මත ඔක්ස්ෆර්ඩ් දේශනය පෙබරවාරි 23 වනදාට යොදා ගැනීමට හැකි බවයි.නාමල් ඊට කැමැත්ත පළ කර ඇති අතර ප්‍රශ්න උත්තර සැසියක් පැවැත්වීමට නාමල් කැමැත්ත පළ කළේය.නමුත් එල්.ටී.ටී.ඊ හිතවාදීන් ඔක්ස්ෆර්ඩ් සංගමයටත් තර්ජනය කළ අතර අවසානයේදී ඔක්ස්ෆර්ඩ් සංගමයද නාමල්ගේ දේශනය අවලංගු කළේය. 

මෙහිදී නාමල් නිවේදනයකින් පවසා තිබුණේ සංවිධානාත්මක පිරිස් විසින් ඇති කළ පීඩනය නිසා මෙම දේශන සහ සංවාද සැසි අවලංගු කිරීමට සිදුවීම කණගාටුවට කරුණක් බවත් බාධා කිරීම වෙනුවට සාකච්ඡා හරහා කරන ආමන්ත්‍රණය බිය ගැන්වීමෙන් නිහඬ කිරීමට වඩා තර්කය හරහා අදහස් හුවමාරුව වැදගත් බව සමාජයට ඉදිරිපත් කරනු ඇත යන්නයි.තවද නාමල් පැවසුවේ අර්ථවත් සංහිඳියාවක් සහ ප්‍රගතියක් ඇති විය හැක්කේ විවෘත සංවාදයකදී වෙනස් දෘෂ්ටිකෝණයන් හමු වූ විට පමණක් බැවින්, මගේ අදහස්වලට දැඩි ලෙස විරුද්ධ වන අය ඇතුළු විචාරකයන් සමඟ සෘජුවම සම්මුඛ වීමට අවස්ථාව ලැබීම මම සාදරයෙන් පිළි ගන්නා බව දැනුම් දීමට කැමැත්තෙමි. එවැනි සම්බන්ධතාවක් සහ අවස්ථාවක් ප්‍රතික්ෂේප කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් නොකරයි. විවාදයකින් තොරව බෙදීමක් තුළින් සම්බන්ධතාවයක් ප්‍රතිස්ථාපනය කිරීම දුර්වලකමක් යනුවෙනි.

ඔක්ස්ෆර්ඩ් සංගමයද නාමල් සම්මුඛ වීමට කැමති බවටද විද්‍යුත් තැපැල් මාර්ගයෙන් දන්වා තිබිණ.

මේ අනුව නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් සංගම් ප්‍රධානීන් මුණ ගැසීම සඳහා පිටත් කර හැරියේය. එහිදී සාගර මෙම සංගම් ප්‍රධානීන් හමුවීමෙන් පසුව තමාට පැවසූ දෙයින් නාමල් පුදුමයට පත්විය.එල්.ටී.ටී.ඊ හිතවාදීන් එම සංගම්වල ප්‍රධානීන් සහ නාමල්ගේ දේශනයට සහභාගී වන ශිෂ්‍යයන් ඝාතනය කර තිබිීම ඊට හේතුවයි.

එක්සත් රාජධානියේ සාමි මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික, ලංකාව පිළිබඳ එක්සත් රාජධානියේ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ හිටපු නායක,මයිකල් මොරිස් බැරන් නේස්බි ලන්ඩනයේදී හමුවීමටද නාමල් අමතක නොකළේය. ඔහු නාමල්ගේ විවාහ මංගල උත්සවයට පවා සහභාගී වූ මහින්ද රාජපක්ෂගේ මිතුරෙකි. දෙරට අතර ශක්තිමත් සබඳතාවක් පවත්වා ගැනීමත්, ආයෝජන සහ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳවත් නාමල් ඔහු සමග සාකච්ඡා කළේය.තවද නාමල් ඔහු සමග පැවසුවේ මේ ආකාරයටම තම පියාවන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිටත් මේ ආකාරයටම එල්.ටී.ටී.ඊ තර්ජන නිසා ඔක්ස්ෆර්ඩ් දේශනය කිරීමට නොහැකි වූ බවය.මයිකල් මොරිස් බැරන් නේස්බි නාමල් සමග බොහෝ වෙලාවක් කතා බහ කළේය.

මෛත්‍රී - නලින්ද හමුවෙන්න ගිහින්

ඉකුත් අඟහරුවාදා සෞඛ්‍ය ඇමැතිවරයාගේ කාර්යාල සේවකයන් අතර කසුකුසුවකි. ‘‘අපේ හිටපු ඇමැතිතුමා ඇවිල්ලා...’’ කාර්යාල කාර්ය සහායකයකු කීවේය. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. මෛත්‍රී සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ සිටියේ වත්මන් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මුණගැසීමටය. මෛත්‍රීට සෞඛ්‍ය අමාත්‍යාංශය නුපුරුදු තැනක් නොවන්නේ ඔහු හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා නිසාය. ඔහු එම අමාත්‍යාංශය හෙබවූ කාලයේ සේවය කළ සේවකයන් තවමත් එහි සේවය කරන අතර වත්මන් රජය සේවකයන් මාරු නොකිරීම එයට හේතුවය.

සෞඛ්‍ය ඇමැති නලින්ද විශේෂ සාකච්ඡාවක නිරතව සිටි බැවින් මෛත්‍රීට ටික වේලාවක් එහි රැඳී සිටීමට සිදුවිය. එම කාලය ඇමැතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියකු සමග කතාබහ කරමින් සිටි මෛත්‍රී නලින්දගේ පුටුව පෙන්වා පැවසුවේ “මේ පුටුවේ සෞඛ්‍ය ඇමැති විදිහට වාඩිවෙලා ඉඳලා මම ජනාධිපති පුටුවටත් ගියා...’’ යනුවෙනි.

අනතුරුව ඇමැති නලින්ද සිය කාමරයට පැමිණි අතර හිටපු ජනාධිපතිවරයා තම ප්‍රශ්නය කියා සිටියේය.

‘‘පොළොන්නරුවේ වකුගඩු රෝහලේ අඩුපාඩු ගොඩක් තියෙනවා. ඔබතුමා මේක විසඳල දෙන්න...’’ හිටපු ජනාධිපතිවරයා කීවේය.

‘‘මම ඒ රෝහලට ගිය වෙලාවක කාර්ය මණ්ඩලය ඒ බව පෙන්වා දුන්නා... මම දැක්කා අඩුපාඩු....’’ එසේ කී ඇමැතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයද කැඳවා

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රශ්නය ගැන සොයා බැලීමට ද පියවර ගත්තේය.

වික්ටර්ගේ රසිකාවියක වූ අගමැතිනිය

ආචාර්ය වික්ටර් රත්නායක දශක හයකට වැඩි කාලයක් මෙරට සංගීත  ක්ෂේත්‍රයට සහ ගුවන්විදුලි සංස්ථාවට කළ මෙහෙවරට උපහාර පිදීමක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඉකුත් සතියේ සංවිධානය කළේය. “සුභාවිත ගීතයේ සිටුවරයාණෝ ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය” යන නමින් මෙම වැඩසටහන 24 වැනිදා පැවැත්වුණේ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙනි. කලා හා  සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය ඇමැති ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, ගුවන් විදුලි සංස්ථා සභාපති ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර ඇතුළු පිරිසක්  ද එයට සහභාගිවී සිටියහ. අසූහතර වියැති වික්ටර් රත්නායකයන් එම අවස්ථාවේදී ගීතයක් ගායනා කළ අතර ගීය අවසන් වත්ම සිය අසුනින් නැගී සිටි අගමැතිනිය ඔහුට සිය ගෞරවය පුද කළාය.

“මම ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ රසිකයෙක්. ඒ නිසාම මේ මොහොත මට ඉතා සුවිශේෂයි. ඔබට මේ තරම් සමීපව උපහාර පුදන්නට මගේ ජීවිතයේ කවදාවත් ලැබෙයි කියා මා සිතුවේ නෑ.” ‘‘අගමැතිනිය සිය සතුට ප්‍රකාශ කළේ ඒ අයුරිනි.

හරීන්ට කෝල් එකක් ‍

රනිල්ගෙන් පලිගැනීම ගැන රජයට විරැද්ධව ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමය ඇතුළු සියලු‍ ජාත්‍යන්තර සංවිධානවලට පැමිණිලි කරන්නට මේ වන විට තීරණය වී තිබේ.එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා පාර්ලිමේන්තු සංගමය ඇතුළු සියලු‍ම ජාත්‍යන්තර ආයතනවලට මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිතය.

රනිල්ට විරුද්ධව ආණ්ඩුව අත තැබීම මහා සාපයක් බවට පත්වනු ඇතැයි හරීන් මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධියේ පවසා තිබිණ.

ඒ මාධ්‍ය හමුව පවත්වා පසු දින හරීන් ජිම් එකට ගිහින් ව්‍යායාම කටයුතු කරමින් සිටින විට නොදන්නා අංකයකින් දුරකතන ඇමැතුමක් ආවේය.

“ඔයාලා මොකද රනිල්ගේ සිද්ධිය ජාත්‍යන්තරයට ගෙන යනවා කියන්නේ.හරි එහෙම කරලා බලමුකෝ. ”ආදී වශයෙන් තර්ජනාත්මක ප්‍රකාශ එම ඇමතුමෙන් කියැවිණ.හරීන්ගේ කටත් ඒ තරම් හොඳ නැති නිසා එහා පැත්තෙන් කතා කළ පුද්ගලයාට හොඳවැයින් ලු‍ණු ඇඹුල් වචන සංග්‍රහයක් ලැබිණ.ඒ වාග් ප්‍රහාරය හමුවේ ඒ පුද්ගලයා නිරැත්තරව දුරකතනය විසන්ධි කළේය.

හරීන් ව්‍යායාම කටයුතු කිරීමෙන් අනතුරැව නිවී සැනසිල්ලේ ඒ දුරකථන ඇමතුම ආවේ කාගෙන්දැයි පරීක්ෂා කළේය.එහිදී දුටු දෙයින් හරීන්ට සිනාව නවතා ගැනීමට නොහැකි විය.අදාළ දුරකථන ඇමතුම ලබා දී තිබුණේ උගන්ඩාව සම්බන්ධයෙන් කියැවෙන අයකුගේ සැමියා යැයි හරීන් කිහිප දෙනකුටම කියා තිබිණ. 

“කොට හුඹහ වගේම කොට මිනිහා විශ්වාස කරන්න බෑ කියලා ආණ්ඩුවේම ඇමති කෙනෙක් ප්‍රකාශ කළා. තමන්ට වඩා දියුණු උගත් මිනිහෙක් ගැන කොට මිනිස්සුන්ට ඊර්ෂ්‍යාවක් තියෙනවද මං දන්නේ නෑ.රට අගාධයට වැටුණු වෙලාවෙ ගොඩදාපු රනිල් වික්‍රමසිංහ පස්සේ මේ තරම් පන්නන්නේ ඒක නිසා වෙන්න ඇති. ඒක ඉතා පහත් හඹා යෑමක්.

කොහොමත් මේ ආණ්ඩුව නා ගනිමින් පවතිනවා. විශාල නා ගැනීමක් නාගෙන යනවා.මෙය අනුර කුමාර මහත්තයාගේ අවසානයේ ආරම්භය විය හැකියි,” යනුවෙන් හරීන් අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී පවසා තිබිණි.

රනිල්ගෙන් සිද්ධිය ජාත්‍යන්තර ආයතනවලට පැමිණිලි කරන අතර තානාපති කාර්යාල මට්ටමින් වෙනම දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ද හැම දිස්ත්‍රික්කයකම ස්වාමීන් වහන්සේලා, පූජ්‍ය පක්ෂය, නීතීඥවරු, තරුණ කණ්ඩායම්, ආදී සියලු‍ පාර්ශ්වවල⁣ට මේ ගැන කරුණු කියන්නට මාර්තු පළමු වැනිදායින් පසු වැඩසටහනක් සූදානම් කිරීමටද එලෙස කටයුතු කරගෙන යයි.

මෛත්‍රීට සහාය 

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මූල්‍ය අපරාධ විමර්ශන අංශයට කැඳවීම බොහෝ දෙනෙකු කනස්සල්ලට ලක්ව තිබෙන කාරණයකි. මේ කරන ක්‍රියාවලිය පළිගැනීමක් බව හොඳටම ඔප්පු කරන කාරණය වන්නේ මෛත්‍රී ප්‍රශ්න කරන්නට කැඳවීමයැයි එජාපයේ අදහසයි.

මේ කටයුත්ත ගැන කනස්සල්ල පළ කරමින් විද්වතුන්, මාධ්‍යවේදීන්, ස්ත්‍රීවාදී ක්‍රියාකාරීන් සහ නීතිඥයන් 85 දෙනෙක් සහයෝගීතා ප්‍රකාශයක් නිකුත් කළහ.

මෙම ප්‍රකාශයට දේශමාන්‍ය රාධිකා කුමාරස්වාමි, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, ආචාර්ය සුභාංගී හේරත්, ආචාර්ය රේණුකා පතිරණ මහත්මීන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ක්‍රියාකාරීන් අත්සන් තබා තිබේ.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පිළිබඳ සභාපති සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරිය ලෙස සේවය කරන අතර එහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයේ ආරම්භක අධ්‍යක්ෂවරිය බව අදාල සහයෝගීතා ප්‍රකාශයේ සඳහන්ය.

රනිල් ඉන්දියා හමුව 

රනිල් සහ ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් බදාදා උදේ කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී සිදුවිය. මේ හමුව සිදු වූයේ සුවිශේෂ පසුබිමක හෙයින් මෙය දේශපාලන ලෝකයේ විශේෂ අවධානයකට ලක්ව තිබේ.

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට පත් වූයේ ද බදාදා උදේ වරුවේය. පාස්කු ප්‍රහාර පරීක්ෂණයේ තීරණාත්මක  සාධකයක් බවට සලේ ප්‍රකාශ වී තිබූ නිසා මේ ගැන කාගේත් අවධානයට ලක් විය. රනිල් සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර හමුව පැයකට ආසන්න කාලයක් පැවැතිණ. එහිදී දෙපාර්ශ්වය අතර හුවමාරැ වූ අදහස් ගැන ප්‍රකාශයක් නොකෙරිණ. කෙසේ වෙතත් ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහිදී ප්‍රබල විපක්ෂයක අවශ්‍යතාව මතුකර පෙන්වා තිබෙන බව දැනගන්නට ඇත.

එහිදී රනිල් ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවේ ප්‍රබල විපක්ෂයන් ගොඩනැගීමට ගෙන තිබෙන පියවර පිළිබඳව කරුණු පැහැදිලි කළේය.

ලෝක  බෞද්ධ සංඝ සම්මේලනය ලංකාවේදී

ඉකුත් සතියේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණේ භික්ෂූන් වහන්සේලා පිරිසක් පැවැත්වූ සත්‍යග්‍රහයකි. රජය බුද්ධ ශාසනයට හිරිහැර කරන බවත් භික්ෂූන් වහන්සේලා මර්දනය කරන බවත් එම සත්‍යග්‍රහයේදී කියැවිණ. එහි උණුසුම යන්නටත් පෙරම තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනාධිපති කාර්යාලයට ගියේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමටය. ලෝක බෞද්ධ සංඝ සම්මේලනය මෙම නොවැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වීම පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීම මෙම හිමිවරුන්ගේ ගමනේ අරමුණය. විදේශීය භික්ෂූන්  වහන්සේලා හයසිය නමක් සහ  මෙරට භික්ෂූන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගීත්වයෙන් මෙම සම්මේලනය පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම සමුළුව ජාතික මට්ටමින් සංවිධානය කිරීමේ වගකීම පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් රජයේ පූර්ණ සහාය ලබාදෙන බවද සඳහන් කළේය.

මහා ජනහඬ රනිල් හමුවෙයි

මහා ජනහඬ සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදය සහ බහු පක්ෂවාදය ආරක්ෂාකර ගැනීම සඳහා සියලු පක්ෂ සමග සාකච්ඡා කරයි. ඉකුත් බදාදා ‘‘මහා ජන හඬ’’ නායකයන් මල් පාර එජාප දේශපාලන කාර්යාලයට ගොස් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාප නායකයන් හමුවිය. මහජන හඬ වෙනුවෙන් මහාචාර්ය ජීඑල් පීරිස්, අනුර  ප්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර ඇතුළු පිරිසක් සහභාගී වූ අතර එජාපය වෙනුවෙන් තලතා අතුකෝරළ, සාගල රත්නායක ඇතුළු පිරිසක් සහභාගී වූහ.

තම අරමුණු පැහැදිලි කරමින් මහාචාර්ය ජීඑල්. පීරිස් කියා සිටියේ සන්ධානයක් පිහිටුවීමට නොව බහුපක්ෂ දේශපාලනය රැක ගැනීම සඳහා විපක්ෂයේ සියලු පක්ෂ සමග සාකච්ඡා කරමින් සිටින බවය.

‘‘බහුපක්ෂ දේශපාලනයට මේ වන විට මෙරට ලොකු තර්ජනයක් එල්ල වී තිබෙනවා. හැමදේකටම නඩුදාන එක තමයි කරගෙන යන බව පෙනෙන්නේ. මේ රටේ දිගටම තිබුණේ තනි පක්ෂ දේශපාලනයක් නොවෙයි. බහු පක්ෂ දේශපාලනය රැකගැනීම අපේ වගකීමක්...’’ එජාප නායකයා සඳහන් කළේය.

නිදහස්දා ව්‍යාපාරය බිහිවෙයි

විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිකයන් වැටී ඇති දේශපාලන පසුබෑමෙන් ගැලවීම සඳහා විවිධ දේශපාලන සංවිධාන ඇති කර ගැනීමට උත්සාහ දැරෙයි.

“නිදහස් දා ව්‍යාපාරය’’ ද එවැන්නකි. එහි කැඳවුම්කරු වන්නේ වෛද්‍ය රාජා විජේතුංගය. වාසුදේව නානායක්කාර, දොස්තර  රාජිත සේනාරත්න,  කවුඩුල්ලේ ජයතිස්ස, පියසේන අබේගුණවර්ධන, හිටපු මන්ත්‍රී දොලවත්ත ඇතුළු කණ්ඩායමක් ඉකුත් සතියේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයට රැස්වූයේ ‘‘මනුස්සකම ඇති ආණ්ඩුවක්’’ බිහි කරන්නේ කෙසේ ද යන්න ගැන සාකච්ඡා කිරීමටය.

“මේ මොනව කළත් අද රටේ තියෙන දේශපාලනය වෙනස්. රට බංකොලොත් වුණාට පස්සේ සාම්ප්‍රදායික දේශපාලනයත් වෙනස් වුණා. මාලිමාව ගත්තට එයාලටත් රට ගෙනියන්න බෑ. එතකොට මිනිස්සුත්  නැගිටියි. ගෝඨාභය ජනතා නැගිටීම ඉදිරියේ නිහඬවම බලය දාලා ගියාට මෙයාල ඊට වඩා දරුණු ප්‍රතික්‍රියාවක් දක්වයි. මොනව වුණත් ඊට පස්සේ බිහිවෙන ආණ්ඩුව වුණත් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න ඕනෑ. එහෙම ආණ්ඩුවක් තමයි අපිට අනාගතයේ බිහි කර ගන්න ඕනෑ’’ දොස්තර රාජිත සේනාරත්න එහිදී කීවේය.

මෙහිදී විවිධ අදහස් ඉදිරිපත් විය. මාර්තු මස හයවැනිදා තවත් මෙවැනිම සාකච්ඡාවක් පැවැත්වීමට එහිදී තීන්දු විය.​

රාජ දූත