ගමේ කඳවුරු බඳින වමේ හමුදාව


පාතාලය හා කුඩු ගැනුම්කරුවන් ගැන ඉහළ පෙළේ සාකච්ඡාවක

ඉන්දුනීසියාවේ සිට අත්අඩංගුවට ගත් පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ ආණ්ඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සුවිශේෂී සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහ ආණ්ඩුවේ ඉදිරිපෙළ ඇමැතිවරුන් කිහිප දෙනකුගේ සහභාගීත්වයෙන් ඉකුත් සතියේ පැවැත්විණි. මෙහිදී මුලින්ම අවධානයට ලක්වූයේ සම්පත් නමැති හිටපු පළාත් පාලන සභිකයා සැඟවී සිටීමෙන් ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වීමේ අවදානමක් ඇති බවය. පාතාලය සහ දේශපාලකයන් කණ්ඩායමක් අතර මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන පුරුකක් ලෙස එම හිටපු පළාත් පාලන සභිකයා සිටි බව මෙහිදී සාකච්ඡාවට ලක්විය. මේ නිසා ඔහු නිහඬ කිරීමට වෑයමක් දැරීමට ඉඩ ඇති හෙයින් වහාම අත්අඩංගුවට පත්වී එම අවදානම අඩුකර ගන්නැයි ඔහුගේ පවුලේ සාමාජිකයන්ට දැනුම් දීමට එහිදී තීන්දු කෙරිණි. පද්මේ නමැත්තාගේ ගනුදෙනු දේශපාලනයට යන්නේ ඔහු හරහා බව පරීක්ෂණ අංශ රජයට පෙන්වා දී තිබිණ. මත්කුඩු ජාලයේ සියයට පනහක් ක්‍රියාත්මක වන්නේ මෙම ජාලය හරහා බවත් පාතාල අපරාධවලින් සියයට හැත්තෑපහක් මෙම ජාලය හරහා ක්‍රියාත්මක වී ඇති බවත් එහිදී සාකච්ඡාවට ලක්විය.

ජනාධිපතිවරයා ඇතුළු ඇමැතිවරුන් කණ්ඩායම ඊළඟට සාකච්ඡා කළේ ජනාධිපතිවරයා බලයට පත්ව 21 වැනිදාට වසරක් පිරෙන නිසා රජය ලබාගත් සාර්ථකවීම් සහ අසාර්ථකවීම් පිළිබඳවය. සැලකිය යුතු සාර්ථකත්වයක් රජයය ලබාගෙන ඇතැයි සාකච්ඡාවට ලක්විය. ආයෝජන කිහිපයක්ම පැමිණ ඇති බවත් ආර්ථික වශයෙන් ස්ථාවරත්වයක් ලබා ඇති බව සහ ජාත්‍යන්තරයේ  විශ්වාසය ඇතිකර ගෙන තිබෙන බවත් ඇමැතිවරු කියා සිටියහ. සංවර්ධන වැඩකටයුතු කිහිපයක්ම ආරම්භ කිරීමට ඉකුත් සතියේ රජය පියවර ගත්තේය. මේ හේතුවෙන් ආණ්ඩුවේ ජනප්‍රියත්වය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බවට සංවිධාන කිහිපයක්ම පවසා ඇති බවද එහිදී සාකච්ඡා විය. විපක්ෂය ගැනද මෙම ඇමැති කණ්ඩායම සාකච්ඡා කළ අතර ඉකුත් දිනවල ඒකාබද්ධ විපක්ෂයක් ලෙස අදහස් දැක්වීම නිසා යම් කලකිරීමක් විපක්ෂයට හිතැති පුද්ගලයන් තුළ ඇති වී තිබෙන බවද එහිදී කියැවිණ.

ඇමැතිවරුන් හයකගේ වත්කම් ගැන හා හූවක්

ආණ්ඩුවේ ඇමැතිවරුන් හය දෙනකුගේ වත්කම් පිළිබඳව කතාබහක් ඉකුත් සතියේ මතුවුණේ හදිසියේය. සුනිල් වටගල ඇමැතිවරයාගේ සුපිරි නිවසක් සහ වසන්ත සමරසිංහ ඇමැතිවරයාගේ කෝටි ගණනක වත්කම් ගැන එහිදී විශේෂයෙන්ම කතාබහට ලක්විය. මේ පිළිබඳව ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීමේ සාකච්ඡාවට පෙර නලින්ද ජයතිස්ස ඇමැතිවරයා වටගල ඇමැතිවරයාගෙන් විමසුවේ මේ පිළිබඳව කියන්නට ඇත්තේ කුමක්ද කියාය.

‘මේවා මම උපයාගත්ත දේපොළ. මම වසර විසිහයක් නීතිඥයෙක් හැටියට වැඩ කළා. මගේ බිරිඳ වසර විසිපහක්ම වෛද්‍යවරියක්. බිරිඳ තවමත් රාජකාරියේ. දේපොළක් තිබීම අපරාධයක් නෙවෙයි. දේපොළ තිබීම දේශපාලනයට නුසුදුසු කමකුත් නොවෙයි. දේශපාලනයට ඇවිත් තනතුරු දරද්දී උපයා ගත්ත නම් තමයි වැරැද්ද. අනික තොරතුරු පනත යටතේ අල්ලස් එකෙන් මේ අය අපි ඉදිරිපත් කළ වත්කම් බැරකම් ප්‍රකාශය ගන්නවා. අරගෙන අපි දීල තියෙන විස්තරයම කියවනවා. මේ වත්කම් අපි දැනුම් දීල තියෙන වත්කම්. මේ කණ්ඩායම් අපි අලුතෙන් උපයා ගත් දෙයක් තියෙනවා නම් ඒක හෙළිදරව් කළා නම් අන්න ඒක හෙළිදරව්වක්. මේ තොරතුරු අපිමනෙ දුන්නෙ.’ සුනිල් වටගල ඇමැතිවරයා කියා සිටියේය. කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේදී ඇමැති නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේද දේශපාලනයට එනවිට වත්කම් තිබීම දේශපාලනය කිරීමට බාධාවක් නොවන බවය.

විපක්ෂයට නලින්ද ගැන හිත ගිහින්

ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර දැඩි ඝට්ටනයක් මතුපිටින් පෙනෙන්නට තිබුණද මුහුණට මුහුණ හමුවීමේදී සාමාන්‍ය ආචාර සමාචාරයකින් කතාබහ කිරීමම නිරතුරුව සිදුවේ. අලුතෙන්ම පාර්ලිමේන්තු පැමිණි මාලිමා මන්ත්‍රීවරුන් තමන් සමග කතා බහ කිරීමට පැකිළෙන මුත් පැරණි ජවිපෙ මන්ත්‍රීවරුන් හොඳින් කතා කරන බව විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් කියන කතාවකි. ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේදී මුජිබර් රහුමාන්, චමින්ද විජේසිරි ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ඇමැති නලින්ද ජයතිස්ස සමග පාර්ලිමේන්තු කොරිඩෝවක සුහද කතාබහක යෙදී සිටියහ.

මෙන්න..... ඇමැතිකම් ගත්තට ඔළුව ඉදිමුණේ නැති මිනිහෙක්. එදා වගේමයි...’ විපක්ෂ මන්ත්‍රීවරුන් කීවේ නලින්ද ජයතිස්ස ඇමැතිවරයාටය.

ඔව් ඉතින් ඔය තනතුරු අපි ළඟ හැමදාම තියෙන ඒව නෙමෙයිනේ.’ එසේ කී නලින්ද සිනාමුසුව එතැනින් නික්ම ගියේය.

කතානායකටත් විශ්වාසභංගයක්

නියෝජ්‍ය ආරක්ෂක ඇමැති අරුණ ජයසේකරට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව කතානායකවරයා ප්‍රතික්ෂේප කිරීමත් සමග සජබ මන්ත්‍රීවරුන් කතාබහ කළේ කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු බවටය. කතානායකවරයා ස්වාධීනව එම තනතුරේ කටයුතු නොකර ආණ්ඩුවට පක්ෂ පාතව කටයුතු කරන බව එම මන්ත්‍රීවරුන්ගේ අදහසය. ඉකුත් පාර්ලිමේන්තු සතියේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සාකච්ඡා කළේ ඉතා ඉක්මනින් කතානායකට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට ගත යුතු පියවරය. සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ගයන්ත කරුණාතිලක ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන් පැවැති එම සාකච්ඡාවේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට පැවරුණේ පිරිස සමග සාකච්ඡා කර විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කරන ලෙසය. මේ දිනවල ඒ සඳහා කටයුතු සිදුවෙයි.

විජේවීර බිරිඳට දුන් පහසුකම් මොන පනතෙන් ද?

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කරන පනත විවාදයට ගත් දිනයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වුණේ මෙම පනත ගැන විපක්ෂයෙන් අදහස් දක්වන ආකාරය පිළිබඳවය. මන්ත්‍රීවරුන් ගණනාවක්ම දයාසිරි ජයසේකරට කියා සිටියේ ඔයා මුලින්ම කතා කරල මේ තියෙන කරුණු ටික ඉදිරිපත් කරන්න කියාය. විපක්ෂයේ ප්‍රධානියකු පැවසුවේ ‘%නෑ අපි කතා කරන්න ඕනෙ නෑ. ආණ්ඩුවට මේක කරගන්න දෙමු කියාය.’ එහෙම බෑ අපි කතා කරන්න ඕනෑ. මේක එයාලගෙ මතය වුණාට මේ ජනාධිපතිවරු රටට සේවයක් කරපු අය....’ සෙසු මන්ත්‍රීවරු කියා සිටියහ.‘‘මේ නායකයන්ට පහසුකම් ටික ලැබෙන්න ඕනෑ. ඒත් මෙතන තියෙන ප්‍රශ්නෙ මේ ජනාධිපතිවරු පනතට පිටින් තවත් පහසුකම් ඈඳා ගත්ත එකයි.  පනතේ තියෙන්නේ කැබිනට් ඇමැතිවරුන්ට හිමි වරප්‍රසාද හිටපු ජනාධිපතිවරුන්ට දෙන්න කියලයි. මේ හිටපු අය විශ්‍රාම ලබන කොට අලුත් ජනාධිපතිගෙන් අහල වාහන තුන හතර අරන් එනවා. නිල නිවසක් කොහෙන් හරි දෙන්න ඕනෑ. මෙයාල කොළඹ හතෙන්ම නිල නිවාස අරගෙන ළඟ තිබුණු අනිත් නිල නිවාසෙකුත් ඈඳල ඒක ලොකු කරගත්තා. චන්ද්‍රිකාට විතරයි ඒ කිසි දෙයක් ගන්න බැරිවුණේ. ආරක්ෂාවත් වැඩියෙන් ගත්තා. ජනාධිපතිට කියල... ඕකයි සිද්ධ වුණු ප්‍රශ්නෙ. දැන් ඒ වෙනුවට සියලු වරප්‍රසාද කපල දැම්මා.

කැබිනට් ඇමැති කෙනකුගෙ පහසුකම් ටික විතරක් ගත්ත නම් මේ ප්‍රශ්නෙ නෑ....’ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියා සිටියේය. හරි.... ඔයාම විවාදය ස්ටාට් කරන්න....’ සෙසු මන්ත්‍රීවරු කීහ.

‘‘විපක්ෂනායකතුමනි, ඔයාගෙ අම්මට මේ නිල නිවස හිමියි. ඔයාගෙ තාත්තව මහ පාරෙ මරල දැම්මේ. එතකොට එයා රටේ ජනාධිපති ත්‍රස්තවාදීන් එහෙම ඝාතනයක් කළාම ඔයාගෙ අම්මා.... ඔයා....නංගි හැමෝම අනාථ වුණා. එතකොට ඔයාගෙ අම්ම එක පාරට මහපාරට වැටෙන එක හරි ද? ඔයාගෙ අම්මා බලෙන් මේ නිල නිවස ගත්තෙ නෑ. මහත්තයා මරල දැම්මම නෝන මහපාරට වැටෙන්න ද? ඒ ගැන අපි කතා කරන්න ඕනෑ. එතකොට රට පුරාම ත්‍රස්තවාදය වපුරපු විජේවීර ඝාතනය වුනාම ඒ කාලෙ රජය විජේවීරගෙ බිරිඳටයි දරුවන්ටයි  ඉන්න රජයෙන් නිල නිවාසයක් දුන්නා. තාමත් ඉන්නෙ ඒකෙ.... ඇයි එතකොට ඒ ගැන කතා නොකරන්නෙ. විජේවීර බිරිඳට නිල නිවාසයක් දුන්නෙ මොන පනතකවත් නැතුව.... ඒ කාලෙ රජය එහෙම නිල නිවසක් දුන්නා. ඒක මේ ආණ්ඩුවත් අමතක කරල දැන් අමුතු නාට්‍යයක් මේ රඟදක්වන්නේ....’’

දයාසිරි ජයසේකර  තවදුරටත් කීවේය. දයාසිරි පාර්ලිමේන්තු විවාදයේදී ද එම තර්කය මතු කරමින් කියා සිටියේ කිසිම පනතක හෝ ඇමැති මණ්ඩල තීන්දුවක හෝ නොමැතිව  මෙතෙක් සිටි නාවික හමුදාපතිවරුන් විජේවීර බිරිඳ රැක බලා ගත්තේ නාවික හමුදාපතිට හිමි සංග්‍රහය දීමනාවලින් බවය. ‘පුළුවන් නම් ඒ නාවික හමුදාපතිවරුන්වත් සංග්‍රහ දීමනා අවභාවිත කළා කියල හිරේ දාන්න...’ දයාසිරි පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. 

මහින්ද බලන්න ජන ගඟක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ තිබූ නිල නිවෙස අහිමි වූ පසු ඔහු ඉකුත් සතියේ තංගල්ලේ කාල්ටන් නිවස බලා පිටත්ව ගියේය. එම නිවසට ගියදා පටන් දිනකට තුන්සීයක් හාරසීයත් අතර පිරිසක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බැලීම සඳහා එම නිවසට යන බව පොහොට්ටුවේ නායකයෝ පවසති.

ඉකුත් සතියේ මහින්දගේ සුවදුක් විමසීම සඳහා භික්ෂූන් වහන්සේලා හතළිස් නමක් පමණ කාල්ටන් නිවසටස වැඩම කළහ. එම කණ්ඩායමට නායකත්වය දුන්නේ නෙල්ලිගල හාමුදුරුවන් නමින් ප්‍රකට වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ය. ‘‘මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ සංකේතයක්. දේශපාලනයෙන් බැහැරව ගත්තත් අපි ඔබතුමා සමග ඉන්නවා. කාගෙන් මොන ප්‍රශ්න ආවත් මේ රටේ හාමුදුරුවරු ඔබතුමාව අතහරින්නේ නෑ.’’ නෙල්ලිගල හාමුදුරුවෝ කියා සිටියහ. මහින්ද රාජපක්ෂගේ සැප දුක් විමසා එතුමාට පිරිත් දෙසා අනුශාසනා කිරීමෙන් පසු එම භික්ෂූන් වහන්සේලා පිරිස ආපසු වැඩම කළහ.

මෑත කාලයේ මහින්දගේ දේශපාලනයෙන් බැහැරව සිටි දේශපාලකයෝ ගණනාවක්ම කාල්ටන් නිවසට ගියහ. ඉන් එක් අයකු වන්නේ හිටපු ඇමැතිවරයකු වන ඩලස් අලහප්පෙරුමය. මහින්ද නිල නිවසෙන් නික්ම ගිය දින මහින්ද හමුවී එම නිවසේ පැය දෙකක් පමණ ගත කළ ඩලස් මහින්ද තංගල්ලට ගිය පසු එම නිවසටද ගොස් මහින්ද හමුවිය.

අපේ කඳවුර විනාශ වෙලානෙ ඩලස්.... අපි අලුතෙන් කඳවුරක් හදන්න ඕනෑ නේද?...’ ඩලස් දුටු විගසම හිටපු ජනාධිපතිවරයා විමසුවේය. ඩලස් සමග ගෙවී ගිය කාලයේ දේශපාලන සිදුවීම් ගණනාවක්ම හිටපු ජනාධිපතිවරයා සිහිපත් කළේය.’ මම මේ විඳින්නේ එල්ටීටීඊ එකට දඬුවම් කළාට දඬුවමක් තමයි. ඩලස් ගියා නේද දෙදාස් අටේ යූඑන් සමුළුවට...’ රාජපක්ෂ මහතා විමසුවේය.

ඔව් සර්...’ ඩලස් පිළිතුරු දුන්නේය.

ඔයාට මතකද එදා ලන්ච් එකක් දීල ජෝර්ජ් බුෂ් ජනාධිපතිතුමා මගෙන් කනට කරල යමක් ඇහුවා....’

‘‘අපි සර් අනෙක් ගොඩනැගිල්ලෙනෙ හිටියේ... සර්ගෙ කනට ළං කරල මොනවද කියනවා දැක්කා....’’ ඩලස් අලහප්පෙරුම මහතා කීවේය.

‘‘බුෂ් ඇවිත් යුද්දෙ ගැන ඇහුවා. මම කීවා නැගෙනහිර පළාත ක්ලියර් කළා.... උතුරු පළාත තමයි දැන් කරගෙන යන්නේ....’ කියලා. බුෂ් ජනාධිපතිතුමා ඊළඟට කීවා ෆිනිෂ්.... ෆිනිෂ් කියලා... ඕක තමයි කනට කරල කීවේ....” මහින්ද ඩලස් සමග එවැනි සිදුවීම් සිහිපත් කළේය.

“ජේවීපී එක මේ පනත් ගෙනත් තියෙන්නේ පළිගන්නනේ....” එහි සිටි නීතිඥවරයෙක් කීවේය.

“නෑ....නෑ.... පළිගන්න නෙවෙයි. එහෙම හිතන්න එපා. තුනෙන් දෙකේ බලය ලැබුණාම ආණ්ඩු දේශපාලන තීන්දු ගන්නවා. ජේආර් මැතිනිගෙ ප්‍රජා අයිතිය අහිමි කරල දැම්මේ... ජනවරම් ලැබුණු ආණ්ඩු එහෙම කළා. ඒකට ආණ්ඩුවට දොස් කියල වැඩක් නෑ. බහුතර බලය ලැබුණාම එක්දාස් නවසිය හැත්තෑවේදී අපේ පක්ෂයත් එහෙම තීන්දු ගත්තා. අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවා. ජේආර් එහෙම කළා..... ඒවා ආණ්ඩුවල ප්‍රතිපත්තිමය තීන්දු... මෙයාලත් එහෙමයි. විපක්ෂය කියනවා තීන්දුව වැරදියි කියලා... ආණ්ඩුව කියනවා තීන්දුව හරි කියලා... ආණ්ඩුවට මම නම් දොස් කියන්නෙ නෑ. ඒක ආණ්ඩුවෙ ප්‍රතිපත්තිමය තීන්දුවක්. ඒක රටට පෙන්වල දෙන්නයි විපක්ෂයක් ඉන්න ඕනෑ....” මහින්ද රාජපක්ෂ දීර්ඝ විග්‍රහයක් කළේය.

ඩලස් ඊළඟට සිහිපත් කළේ මහින්ද බලයට ආ අවස්ථාවේ ශ්‍රීලනිප, ජවිපෙ, භූමිපුත්‍ර වැනි පක්ෂ ගණනාවක පුළුල් පෙරමුණක් ගොඩනඟා ජනාධිපතිවරණයට තරග කළ ද ඉතාම සුළු වැඩි ඡන්දයකින් ජයග්‍රහණය කළ අවස්ථාව ගැනය. එවැනි බොහෝ  දේ මහින්ද සමග කතාබහ කරමින් සිටි ඩලස් සමුගත්තේ  යළිත් දිනක එන පොරොන්දුවෙනි.

විමල් වීරවංශ ඇතුළු ජාතික නිදහස් පෙරමුණේ නායකයෝද ඉකුත් සතියේ තංගල්ලට ගොස් මහින්ද රාජපක්ෂගේ සුවදුක් විමසූහ.

‘‘කොහොමද විමල්....’’ විමල් දුටු ගමන්ම හිටපු ජනාධිපතිවරයා විමසීය.

‘‘හොඳින් ඉන්නව සර්.....’’ එසේ කී විමල් මහින්ද රාජපක්ෂ අසලින් වාඩි ගත්තේය. රටේ දේශපාලන තත්ත්වය ගැන කණ්ඩායම බොහෝ දේ සාකච්ඡා කළහ.

‘‘හිටපු ජනාධිපතිවරුන් තවත් හිටියට රට වෙනුවෙන් අවදානම ගත්ත ජනාධිපතිවරයකු ගැන සොයාබැලීම අප සතු වගකීමක් හා යුතුකමක්... යුද්ධය ඉවර කරන්න එතුමා ගත්ත තීන්දුව වෙන කිසි ජනාධිපතිවරයෙක් ගත්තෙ නෑ. අපට මොන මතවාද හා මතභේද තිබුණත් ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. අපි අද ඔබතුමා බලල යන්න අවෙ ඒකයි....” විමල් සමුගත්තේ එසේ කියමිනි.

“සර්ට කවදත් මේ රටේ ජනතාව හිතවත්.... මේ එන සෙනඟෙන් ඒක පේනවා...” හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්න කීවේ සාගර කාරියවසම් ඇතුළු පක්ෂයේ නායකයන් සමග කාල්ටන් නිවසට ගිය අවස්ථාවේය.

“මිනිස්සු මාව බලන්න එන්නෙ කවුරුවත් බල කරල නෙවෙයි.... මට තියෙන බැඳීම නිසා.... අද ඇතිවන දේශපාලන තත්ත්වයන් එක්ක මිනිස්සුන්ට මාව මතක් වෙනවා.’ මහින්ද රාජපක්ෂට පාඩුවෙ ඉන්න දීපං කියලත් සමහර අය කියනවා.. ඒ මට ආදරෙන් නෙවෙයි. මේ එන සෙනඟ දැකලා... මේ එන අය තමයි මට සැබෑ ආදරෙන් එන්නේ....” හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.
“තංගල්ලට වාහන අරන් එන්න බැරි අය අපිටත් කෝල් කරනවා එක්ක යන්න කියලා... මේ වෙලාවෙ පක්ෂයේ දිස්ත්‍රික් නායකයන්ට ලොකු ඉල්ලීමක් එනවා. මහින්ද මහත්තයගෙ ගෙදර එක්ක යන්න කියලා....’ සංජීව එදිරිමාන්න කියද්දී හිටපු ජනාධිපතිවරයා සිනාසු​ණේය.

හිටපු ජනාධිපතිවරයාට ඉතා ඉක්මනින්ම කොළඹින් නිවසක් සොයාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහසක් නොමැති බවද එළඹෙන තත්ත්වය අනුව පසුව එවැනි තීන්දුවක් ගන්නා බව ද පොහොට්ටු නායකයෝ කියති.

දිස්ත්‍රික් සංවිධායක තනතුරු සජබෙන් ඉවත් කරයි

සමගි ජනබලවේගයේ ඉදිරි වසර දෙක සඳහා ආසන සංවිධායකයන්ගේ කාලය දිගු කිරීම සහ අලුතෙන් පත්කිරීම සඳහා පත්කළ කමිටුවේ සාකච්ඡාවක් ඉකුත් සතියේ පැවැත්විණි. පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ලක්ෂ්මන් කිරිඇල්ල, නලින් බණ්ඩාර, සුජිත් සංජය පෙරේරාගෙන් යුතු එම කමිටුව සංවිධායකවරුන් පිළිබඳ නිර්ණායක දෙකක් සලකා බැලුවේය. එනම් දැනට පත්කර සිටින සංවිධායකවරුන්ගෙන් සමාලෝචනය කළ යුත්තේ කවර සංවිධායකයන් ගැන ද යන්න සහ පුරප්පාඩු සඳහා පත් කළ යුත්තේ කවුද යන්න ගැනය. කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා එම ලැයිස්තු සකස් කිරීම එදින සිදුවිය.

“අපි මේ පාර සංවිධායකවරුන් පත්කරන කොට ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ ඒ ආසන ලබාගෙන තියෙන ප්‍රගතිය සහ ප්‍රතිශතය දිහා බලන්න ඕනෑ. විනය පරීක්ෂණවලින් වරදකරුවන් වූ අය පත්කිරීම නවත්වන්න ඕනෑ...” පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීවේය. කිසිම ක්‍රියාකාරකමක නොයෙදී නමට පමණක් සංවිධායකවරුන් වී සිටින කිහිප දෙනකු ගැන ද කණ්ඩායමේ අවධානය යොමු විය. දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස පත්වීම් ලබාදීම නතර කිරීමට පක්ෂ නායකයාට නිර්දේශ කිරීමට ද එහිදී සාකච්ඡා කෙරිණි.

එජාප සමුළුව ගැන සජබ තීන්දුව

සෙනසුරාදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ සම්මේලනයට සහභාගි වන්නැයි සමගි ජනබලවේගයේ සියලු මන්ත්‍රීවරුන්ට එජාපයෙන් ආරාධනා පත් ලැබී තිබුණි. මන්ත්‍රීවරුන් එකිනෙකා අතර අදහස් හුවමාරු වූයේ තමන්ගේ මව් පක්ෂය වන එජාපයේ සංවත්සරයට යා යුතු බවය. එසේ සාකච්ඡා වෙමින් තිබියදී එක් මන්ත්‍රීවරයකු සමාජ මාධ්‍ය සටහනක් පෙන්වූයේ මේ කතාව කුමක්දැයි විමසමිනි....’ “මෙන්න බලන්න.... මේ එජාපයේ  ජ්‍යෙෂ්ඨයකුගේ සටහනක් මේකෙ තියෙනවනෙ ඒකාබද්ධ විපක්ෂයේ අනාගත ජනාධිපති අපේක්ෂක වන රනිල් වික්‍රමසිංහ කියල එහෙම තීන්දුවකට ඇවිත් නෑනෙ අපි....” එම මන්ත්‍රීවරයා අන් මන්ත්‍රීවරුන්ගේ අවධානයට ලක් කළේය. මන්ත්‍රී ජගත් විතාන මේ පිළිබඳව පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන්ද විමසුවේය.

‘‘සර් අපි අර රැස්වීමට යන්නයි හිටියේ... එහෙම තියෙද්දි මෙහෙම කතාවක් තියෙනවනෙ.... අපේක්ෂකයා ගැන පොදු එකඟතාවකට සර්ලා ආවද....?” ජගත් විමසීය.

“එහෙම නෑ ජගත්.... පොදු විපක්ෂයක් හැටියට තවම කවුරුත් එහෙම තීන්දුවක් අරගෙන නෑ කවුද මීළඟ ජනාධිපති අපේක්ෂක කියලා....” සජිත් ප්‍රේමදාස පැවසීය.

“අපි මේ වැඩෙන් අමාරුවෙ වැටෙනවනෙ සර්... අපි එහෙම නම් යන්නෙ නෑ මේ රැස්වීමට....” එසේ කී ජගත් තමාගේ තීරණය සෙසු මන්ත්‍රීවරුන්ට ද දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස තීන්දු කර තිබුණේ පක්ෂයේ නියෝජිතයකු එජාප සම්මේලනයට සහභාගි කරවීමටය. පක්ෂ මහලේකම්වරයා පක්ෂයේ නියෝජිතයා ලෙස සහභාගි කරවිය යුතු බව සිකුරාදා වන විටත් සජබයේ තීන්දුව විය. එහෙත් තවත් මන්ත්‍රී කණ්ඩායමකගේ යෝජනාව වූයේ පක්ෂ නායකයා නියෝජිතයකු ලෙස එම සමුළුවට සහභාගි වීම සුදුසු බවය. මේ පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීම සඳහා පක්ෂ මහලේකම්වරයා පක්ෂ නායකයා සමග සාකච්ඡා කළ යුතු බවට සජබ ආසන සංවිධායකවරුන් පත්කිරීම පිළිබඳව කමිටුව ඉකුත් සතියේ රැස්වූ අවස්ථාවේදී එම නියෝජිතයන්ද මහලේකම්ට යෝජනා කර තිබිණ.

විජිත – රාජිත – අනුරයාපා එකම මඟුල් මේසයේ

නෙත් එෆ් එම් මාධ්‍යවේදී හේමන්ත කහවලගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවය ඉකුත් බදාදා බොල්ගොඩ පැරඩයිස් හෝටලයේදී පැවැත්වුණි. එම මංගල්‍ය අවස්ථාවට දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ පක්ෂවල ප්‍රධාන පෙළේ චරිත ගණනාවක්ම ඇරියුම් ලැබ සිටියහ. ඒ හැමදෙනාම විවාහ මංගල්‍යයට සහභාගි වූයේ හේමන්ත සියලු දෙනා සමගම හිතවත් මාධ්‍යවේදියකු නිසාය.

දේශපාලන ක්ෂේත්‍රයේ කැපීපෙනෙන කිහිප දෙනෙක්ම වාඩි වී සිටියේ එකම මේසයකය. විදේශ කටයුතු ඇමැති විජිත හේරත්, මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල, හිටපු ඇමැති දොස්තර රාජිත සේනාරත්න, සුසිල් ප්‍රේම ජයන්ත, අනුර යාපා ඇතුළු කිහිප දෙනෙක්ම එම මේසයේ වාඩිගෙන සිටියේ දේශපාලන කතා බහකින් තොරව සියලු දෙනාම සුහදව ආගිය තොරතුරු කතා කරමිනි. හිටපු ඇමැති මර්වින් සිල්වා බිරිඳ ද සමග පැමිණ හැම දෙනා සමගම කතා කරමින් දන්නා හඳුනන අය සිටින මේසවලට ගියේය. “ආ රාජිත.... කොහොමද මචං.... උඹ නම් ලෝයර්ස්ලගෙ දක්ෂ කමෙන් මට කලින්ම එළියට ආවා.... මගේ ලෝයර්ස්ලත් දක්ෂම අය.... ඒත් මගේ වෙලාවේ හැටියට මාස හතරට දවසක් අඩුවෙන් හිරේ ඉඳල එළියට ආවා.” මර්වින් කීවේ රාජිත පමණක් නොව එහි සිටි හැමදෙනාම සිනා ගන්වමිනි. ඇමැති විජිත හේරත්ට අතට අත දුන් මර්වින් ‘කොහොම ද? ඇමැතිතුමා... හොඳින් කරගෙන යනව නේද?...’ යැයි ඇසුවේ යළිත් කවුරුත් සිනා ගන්වමිනි.

රනිල් විවාහ මංගල්‍යයට එන විට ඉදිරියට පැමිණි නාමල් ඉතා සුහදශීලීව ඔහු පිළිගත්තේය. යෝෂිත ද එහි විය. වජිර ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලකයෝ රැසක් මංගල්‍යයට පැමිණ සිටියහ.

බිමල්ගෙන් නිලධාරීන්ට දොස්

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඉකුත් සතියේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙ​නෙවියගේ ප්‍රධානත්වයෙනි. රාජ්‍ය අංශයෙන් ප්‍රදේශයේ සිදුවන ඉදිකිරීම් ව්‍යාපෘති නාගරික ප්‍රදේශවල අඩුපාඩු සකස් කිරීම හා සැලසුම් කිරීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල පරමාර්ථය වේ. කොළඹ දිස්ත්‍රික් කමිටුවද රැස්වූයේ එම පරමාර්ථයෙනි. ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බිමල් රත්නායකද එම රැස්වීමට සහභාගි විය. බිමල් රත්නායක ඇමැතිවරයා එහිදී පැවසුවේ ලෝටස් වටරවුම ආශ්‍රිතව වාහන තදබදයට පියවරක් ගත යුතු බවය. නාගරික කුණු ප්‍රශ්නය විසඳීම සඳහා දුම්රියෙන් කසළ ප්‍රවාහනය කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාව නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතියට යවා ඇතත් මාස හයක් ගතවීත් එම ලිපියට පිළිතුරක්වත් නැති බව නිලධාරියෙක් පැවසීය. මෙහිදී බිමල් රත්නායක ඇමැතිවරයා පැවසුවේ එසේ නම් තවත් වසරකටවත් මෙම ව්‍යාපෘතිය ආරම්භ නොවන බවය. මෙහිදී බිමල් රත්නායක ඇමැතිවරයා පැවසුවේ ආණ්ඩුව කොතරම් දැඟලුවත් නිලධාරීන් ගියරය මාරු කරන තුරු මේ කිසිම කටයුත්තක් සිදුනොවන බවය. අපි රැවටෙන්නේ නෑ. අඩු ගානෙ ප්‍රශ්නයක් විසඳාගන්න අවශ්‍ය තොරතුරු ටිකවත් අපට දෙන්න. රට අරාජික කරන්න එපා. තමා ගිය රැස්වීම්වලින් නිලධාරීන්ගේ අඩුම සූදානම දැක්කේ මෙම රැස්වීමේදී බව ද බිමල් රත්නායක ඇමැතිවරයා පැවසීය.

රට හදන්න ගැසූ රනිල්​ෙග සැලැස්ම

ප්‍රචණ්ඩත්වයට ඇද වැටී තිබූ හිත් සූක්‍ෂම අයුරින් වෙනස් කොට රට සාමාන්‍යකරණයට පත් කරනු ලැබුවේ තනිකරම රනිල්ගේ සැලසුමක් අනුව බව එහිදී කතා බහට ලක් වූයේ නේපාලයේ  අර්බුදයද ඒ මොහොතේ මාතෘකාවක් වූ හෙයිනි.

"ලොක්කා අර්බුදයෙන් පස්සේ ආර්ථිකය හදලා කැමති කෙනෙක් තෝරගන්න කියලා ඡන්දයක් තිබ්බා. මිනිස්සු නිදහසේ තේරීම කළා. දැන් වෙලා තියෙන්නේ ඒ තෝරපු කෙනාට වැඩ කරන්න බැරි වෙලා තියෙනවා” සංවත්සර  උත්සවය ගැන කතිකා කෙරෙන දේශපාලන හමුවේදී වජිර පැවසීය.

"වසන්තලා, වජිරලා එකී නොකී බර ගානකගේ වත්කම් එළියට ඇවිත්. මේ අය මිනිස්සු අන්දලා තියෙන්නේ එසේ මෙසේ ඇන්දිල්ලක් නෙමෙයි" තලතා කීවාය.

"වසන්ත කෝච්චියේ බිස්නස් කරලා වත්කම් හෙව්වා  කියලා කියන්නේ. ඔය කියන විදියට කෝච්චියේ විකුණන්න ඇත්තේ රත්තරන් බිස්කට්" චාමර කීවේ සියල්ලන්ට සිනහවක් එකතු කරමිනි.

"ක්‍රිප්ටෝ  කරන්සිවලිනුත්  මුදල්  හොයලා   නේද?"  "දේශපාලනඥයන්ට ක්‍රිප්ටො කරන්සි පාවිච්චි කරන්න බෑ" ක්‍රිප්ටෝ නීත්‍යනුකූලද නැද්ද කියලා අප තීරණය කරලත් නෑ.මේ අයට විනිවිද භාවයෙන් මේ සල්ලි ලැබුණු  හැටි ගැන විස්තර කරන්න වෙනවා.

"වටගලගේ සිනමන් ලයිෆ් එකේ දේපොළ ලක්ෂ 3200ක් ලු"

මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී පළ කෙරුණේ ඔයාකාරයේ දෙබස්ය.

"හිඟමන් ලයිෆ් එකෙන් සිනමන් ලයිෆ් එකට" යනුවෙන් ඉදිරිපත් කෙරුණු පාඨය රනිල්ටද සිනහ සඟවා සිටීමට නොහැකි විය.

0"ආණ්ඩුවේ අවුරුද්දක ප්‍රගතිය මේ වගේ නම් තව කාලයක් හිටියොත් කොහොම ප්‍රගතියක් අත් කර ගනීවිද? රුවන් නළල රැලි ගන්වමින්  විමසීය.

හොඳම විහිළුව වන්නේ මොවුන් මේ මුදල් උපයා තියෙන්නේ සාපය යැයි ඔවුන් විසින්ම හඳුන්වා දී තිබූ කාලයේදී වීමයි.

මේ අතර එජාප  කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තවත් ඉදිරිගාමී යෝජනාවක් සම්මත විය.

ඒ් සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමයි.

ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී පැන නැගිය හැකි නීතිමය පසුබිම සොයා බැලීම සඳහා හිටපු නීතිපති සහ ජනාධිපති නීතිඥ තිලක් මාරපනගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටද  එහිදී පියවර ගැනිණ.

සමගි ජන බලවේගයට එක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගත් මෙම පියවර නිසා යළි එක්සත් ජාතික පක්ෂය එක් වී සහයෝගයෙන් කටයුතු කිරීමට තිබූ බාධක ඉවත් වන බව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී කියවිණි.

සිරිකොත මහ ගෙදරදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූයේ නායක රනිල්ගේ ප්‍රධානත්වයෙනි.

එජාප සංවත්සරයට පක්ෂ නායකයන්ට ආරාධනා

රනිල් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට පොදු සන්ධානයකින් කටයුතු කිරීම සඳහා සහභාගී වූ සියලු පාර්ශ්ව වෙත ස්තුතිය පළ කිරීමේ යෝජනාවක්ද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව සම්මත විය.

එ.ජා.ප.සංවත්සර සැමරුමේ සංවිධාන කටයුතු පක්ෂයේ නායකයින්ට වෙන් වෙන් වශයෙන් බෙදා දීම පක්ෂ නායක රනිල්ගේ උපදෙස් පරිදි සිදුවිණි. මෙහිදි සභාපති වජිරට බැරෑරුම් මෙන්ම සූක්ෂමව කළ යුතු රාජකාරියක් නායක රනිල් පැවරුවේ එම කටයුත්ත කළ හැකි හොඳම පුද්ගලයා වජිර බව රනිල් දන්නා නිසාවෙනි.

මෙවර එක්සත් ජාතික පක්ෂ සංවත්සර සැමරුම සඳහා සියලු පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් සම්බන්ධ කර ගත යුතු බවට යෝජනා වුණේ එක්සත් ජාතික පක්ෂය මීට 79 වසරකට පෙර ආරම්භ කළේද සියලු පක්ෂ එකමුතුව ඒවායේ ආශීර්වාදයෙන් වීම නිසාය. ඒ නිසාම මෙවර සංවත්සර සැමරුම සඳහා සියලු පක්ෂ නායකයින්ට සහ නියෝජිතයින්ට ආරාධනා පත් යවා ආරාධනා කිරීමට නායක රනිල්ගේ  තීරණය විය.

රනිල් මෙම වැඩකටයුත්ත බාරදුන්නේ වජිරටයි. වජිර බොහෝම කැමැත්තෙන් මෙම කටයුත්ත බාර ගත්තා පමණක් නොව එය බාරදුන් මොහොතේ සිටම ඊට ආදාළ සියලු කටයුතු සම්පාදනය කළේ  පුත් තීක්ෂණ සහ කාර්ය මණ්ඩලය සමගිනි.

ආරාධනා පත් යැවු සියලු දෙනාටම  ජංගම දුරකථනයෙන් කතා කරන්නට වජිර අමතක නොකළේය.

රාජ දූත