කොහොම වුණත් ජනාධිපති තුමා යන මාර්ගය හැර වෙනත් විකල්පයක් නෑ


සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී ආචාර්ය

 හර්ෂ ද සිල්වා මහතා

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා සාකච්ඡා ආරම්භ වී තිබේ. කුමක් වෙයිද? සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි.

 

 

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා සාකච්ඡා ආරම්භ වී තිබේ. කුමක් වෙයිද? සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි.

 

?ඔබ කවදද ඇමැති ධුරයේ දිවුරුම් දෙන්නේ?   


සමාජය තුළ විවිධ කතා තියෙන බව ඇත්ත. ඒ වුණාට අපි කල්පනා කරන්න ඕනැ. රට මේ වැටිලා තියෙන අගාධයෙන් ගොඩ ගන්න නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් අවශ්‍ය වෙනවා. ඒක මම විශ්වාස කරන්නේ සද්භාවයෙන්ම. සියලු පක්ෂවල එකඟතාව මත ගොඩනැගිච්ච ආණ්ඩුවක් විය යුතුයි. ඒකට අපට දේශපාලන හා ආර්ථික වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ සාකච්ඡා පහුගිය සතියේ තමයි පටන් ගත්තෙ ජනාධිපතිවරයා. ඒ සියලු පක්ෂ සමග සාකච්ඡා කළාට පස්සෙ මේ සතිය වෙනකොට අපට පුළුවන් වෙයි අවශ්‍ය තීරණය ගන්න. ඊට පස්සෙ තමයි පෞද්ගලික කාරණා.   


?ජනාධිපතිවරයා සමගි ජන බලවේගයත් එක්ක සාකච්ඡා කළා ද?   


අපි මේ සාකච්ඡා කරන්නේ සිකුරාදනේ. අද තමයි ජනාධිපතිවරයා එක්ක සාකච්ඡාව තියෙන්නේ.   


?ඒ සාකච්ඡාවට විපක්ෂනායක සජිත් ප්‍රේමද‌ාස සහභාගි වෙනවද?   


ඔව්. ඔහු සහභාගි වෙනවා. ඔහු සමග පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුත් සහභාගි වෙනවා.   


?ජනාධිපතිවරයගේ රාජාසන කතාව ගැන ඔබේ අදහස?   


ඉතාමත්ම ප්‍රගතිශීලී කතාවක් හැටියටයි මම දකින්නේ. ආර්ථිකය පැත්තෙන් ඔහු ඉදිරිපත් කරපු වැඩපිළිවෙළත් එක්ක මම සීයට සීයක්ම එකඟයි. ඇත්ත වශයෙන්ම අපි 2015 ආණ්ඩුව හදන්න කලින් අපි එකට වාඩි වෙලා ලියපු වැඩපිළිවෙළම තමයි ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා තියෙන්නේ.   


?වෙනසක් නෑ?   


ඔව්. වෙනසක් නෑ. ජනාධිපතිතුමාගේ ඒ කතාවට තව කොටසක් එකතු කරන්න මම කැමැතියි. ඔහු කිව්වේ තරගකාරිත්වයක් ඇති සමාජ    වෙ​ෙළඳපොළක්   නිර්මාණය කළ යුතුයි. ඉන්දීය පැසිපික් කලාපය කේන්ද්‍රස්ථානය කරගෙන කියලා. මම ඒකට එකතු කරන්න කැමැතියි. දැනුම හා තාක්ෂණය මත පදනම් වී සමාජ වෙ​ෙළඳපොළ ආර්ථිකයක් නිර්මාණය කළ  යුතුයි ඉන්දු පැසිපික් කලාපයේ කේන්ද්‍රස්ථානය හැටියට. එතකොට අපි සරල භාණ්ඩ නිෂ්පාදනයේ ඉඳලා සංකීර්ණ භාණ්ඩ නිෂ්පාදනය කරන තැනට යා යුතුයි. ඔහු කියන්නේ මොකක්ද? රට විවෘත කරන්න ඕනැ. ලෝකෙම එකතු කරන්න ඕනැ. කාර්යක්ෂමතාව වැඩි කරන්න ඕනැ. ඊළඟට තරගකාරිත්වයක් ඇති කරන්න ඕනැ. රටේ පාඩු ලබන මේ සුදු අලි සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන්න ඕනැ. ඊළඟට සමාජ වෙළෙඳපොළ කියන එකෙන් අර්ථකථනය වෙන්නේ අපේ රටේ අඩු ආදායම් සහ අනෙකුත් ගැටලු තියෙන කණ්ඩායම්වලට රජය ඒ අවශ්‍ය ශක්තිය ලබා දෙන්න ඕනැ. එතුමා නොකියා කීවේ දේශීය නවීන ආර්ථිකයක් අපි ගොඩනගන්න ඕනැ කියලා.   


?ජනාධිපතිවරයා විවෘත ආර්ථිකයත් ප්‍රශ්න කළා?   


ඔව්. 1977 න් පටන් අරගෙන ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විවෘත ආර්ථිකය පවත්වාගෙන ගියා. එතුමගෙ කාලයේ මැද හරියෙදි යම් යම් ගැටලු මතුවුණා. දෙවැනි ආර්ථික ප්‍රතිසංස්කරණය කළේ ප්‍රේමදාස ජනාධිපතිතුමා. අසූ ගණන්වල මැද හරියේදී පොඩි පොඩි ප්‍රතිසංස්කරණ ටිකක් වුණා. හැබැයි ඒ ආපු ආණ්ඩු හදවතින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් පටන් ගත්ත විවෘත ආර්ථිකය ලෝකෙට එකතු කරන වැඩපිළිවෙළ කාර්යක්ෂම හා ඵලදායිතාව වැඩි ක්ෂේත්‍ර බිහි කිරීම කියන එක ගැන විශ්වාස කළේ නෑ. විවෘත ආර්ථිකය පවත්වාගෙන ගියා. හැබැයි ඒ අයට හරිහමන් විශ්වාසයක් තිබුණේ නෑ. ඉතින් දැන්වත් අපි ජේ. ආර්. ජයවර්ධන 77 දී පටන් ගත්ත වැඩේ සමාජ වෙ​ෙළඳපොළ ක්‍රමවේදයක් හරහා ඉස්සරහට යන්න ඕනැ.   


?ජනාධිපති රනිල් කිව්වා ‘රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ සංකල්පය බොහොම පරණ එකක්. ඒක ලෝකයේ හැම රටක්ම අතහැරපු එකක්’ කියලා. ඔහු නොකියා කියන්නේ රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කළ යුතුයි කියලා නේද?   


උදාහරණයක් ගත්තොත් සිංගප්පූරුව වගේ රටක සිංගප්පූරු එයාර්ලයින් එක. ජී.පී.එස්. බැංකුව ඒවායෙ ප්‍රධානම කොටස්කාරයා රජය. හැබැයි ඒවා පවත්වාගෙන යන්නේ පෞද්ගලික ආයතන හැටියට. එවැනි වැඩපිළිවෙළක් තියෙන්නේ. අපේ මොබිටෙල් එක ගත්තොත් ඒකේ වැඩි හිමිකාරිත්වයක් තියෙන්නේ රජයට. හැබැයි කවුරුවත් හිතන්නේ නෑ මොබිටෙල් එක ආණ්ඩුවේ ආයතනයක් කියලා. ශ්‍රී ලංකා ටෙලිකොම් එක මොබිටෙල් එක තරගකාරී වෙළෙඳපොළක ඉතාම විශිෂ්ට ලෙස තරගකරලා පාරිභෝගිකයාට සේවාවන් සපයලා විශාල ලාභයකුත් හොයනවා. ඒ නිසා යම්කිසි ප්‍රමාණයක් පෞද්ගලීකරණය කළාට කිසි ගැටලුවක් නෑ. ලෝකයේ අනෙක් හැම රටක්ම එහෙම කරලා තියෙනවා.   


?නමුත් අපේ රටේ තත්ත්වය?   


පොඩ්ඩක් ඉන්න. ඉන්දියාවේ ඉන්දියා එයාර්ලයින් එක ටාටා කොම්පැණියට වික්කා. ශ්‍රී ලංකන් එයාර්ලයින් එකෙ පාඩුව පළමුවැනි මාස හයට රුපියල් බිලියන 250 කටත් වැඩියි. කවුද මේකෙන් ප්‍රයෝජනයක් ගන්නේ. කාගෙ සල්ලිද මේ. මේ වගේ ආයතනයක් තියාගෙන ඉන්න එකෙන් කාටද සෙතක් වෙන්නේ. ඒ ගැන අපි අලුතෙන් හිතන්න ඕනැ.   


?රනිල් වික්‍රමසිංහ කියන නම ඉදිරිපිටින් හැමදාම ලියැවුණේ රාජ්‍ය දේපොළ විකිණීම කියලයි. යළිත් යන්නේ එතැනටද?   


මෙහෙමයි. රාජ්‍ය දේපොළ විකුණනවා කියන එක දැන් සමහරු දකින්නේ මහා කළු දෙයක් හැටියටනේ. දැන් ශ්‍රී ලංකා ටෙලිකොම් දෙපාර්තමේන්තුව කියලා එකක් ඉස්සර තිබුණනේ. ඒකෙන් කොටසක් ජපන් ටෙලිකොම් සමාගමට වික්කනේ. එහෙම කරලා තරගකාරිත්වය ඇති කළා. හැබැයි රජයට කොටසක් අයිතියි. දැන් කවුරුහරි කියනවද ටෙලිකොම් දෙපාර්තමේන්තුව එහෙම කරපු එක වැරැදියි කියලා. කවුරුහරි එහෙම කියන එක්කෙනෙක් මට පෙන්වන්න. 


අපි හිතන්න නරකයි හැමදේම සීයට සීයක්ම රජය තියාගෙන සිටිය යුතුයි කියලා. ඒක රජයට කරන්න බෑ. රජයට තියෙන ප්‍රමුඛතා මොනවද? රජයේ ප්‍රමුඛතා තමයි අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ දේවල්. රජය මොකටද හෝටල් කරන්නේ. රජය මොකටද රෙස්ටෝරන්ට් දාගෙන ඉන්නේ. රජයක ප්‍රමුඛතා මොනවද කියලා රජය තේරුම් ගන්න ඕනැ. ප්‍රමුඛතාවලට ප්‍රමුඛතාවය දීලා රජය කළ යුතු නේ. රජය කරලා වෙළෙඳපොළේ කළ යුතු දේ කරන්න වෙළෙඳපොළට අවස්ථාව දෙන්න ඕනැ. අනිත් එක පෞද්ගලීකරණය කියන්නේ එකක්. තරගකාරිත්වය කියන්නේ තව එකක්. තරගකාරිත්වයට ඉඩ දෙන්න ඕනෑ. තරගකාරිත්වය නැති වුණාම තමයි ඒකාධිකාරිත්වයක් බිහිවෙලා ජනතාවට දහදුක් විඳින්න​ වෙලා තියෙන්නේ. මේ ඇත්ත අපි කතා කරන්න ඕනැ. මම නම් භය නෑ. මම මේ ඇත්ත කතා කරනවා.   


?‘රාජ්‍ය දේපොළ විකිණීමට එරෙහි වෙමු’ කියන එක බොහොම ඉල්ලුමක් තියෙන පහසුවෙන්  විකුණන්න පුළුවන් සටන් පාඨයක්. අලුත් සටන් බිම් හදන්නද මේ යන්නේ?   


අවුරුදු පනහකට ආසියාවේ කිසිම රටක් බංකොලොත් වෙලා නැහැනේ. ලංකාව විතරක් ඔය සටන් පාඨ කියලා බංකොලොත් වුණේ. ඔය සටන් පාඨ කියන තව එක රටක් මට පෙන්වන්න. ඉන්දියාව ගන්න. බංග්ලාදේශය ගන්න, තායිලන්තය, මැලේසියාව ගන්න, වියට්නාමය ගන්න. ඔය සියලු රටවල් වේගයෙන් දියුණු වෙන රටවල්. හැබැයි මේ සටන් පාඨ තියෙනවද බලන්න. එහෙම නෑ. ඔය ඔක්කොටම වඩා බලන්න දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය. ඒකෙන් ඉගෙන ගන්න අපට හුඟාක් දේවල් තියෙනවා. ඒ නිසා යල්පැනපු ළිංමැඩි ආර්ථික දර්ශනයත් එක්ක අපි තව ගිහිල්ලා මෙතැනිනුත් පල්ලෙහාට වැටෙන්න ඕනෑනම් අපට අවස්ථාව තියෙනවා. 


පෝලිමේ දවස් දෙකක් ඉන්නවා වෙනුවට පෝලිමේ සතියක් විතර ඉන්නත් පුළුවන්. ඒකත් එක ක්‍රමයක්. හැබැයි එතැනට නොවෙයිනේ අපි යන්න ඕනැ. අපි ලෝකෙන් අලුතෙන් ඉගෙන ගන්න වෙනවනේ. අපට පිටිපස්සෙන් හිටපු රටවල් කොහොමද අපිව පහුකරගෙන යන්නේ. බංග්ලාදේශය කොහොමද අපිව පහුකරගෙන ​රේසින් කාර් එක වගේ යන්නේ. බලන්නකෝ ඒගොල්ලන්ගේ අලුත් ආර්ථික න්‍යායන්. බලන්නකෝ ඒගොල්ලෝ කොහොමද ඔවුන්ගේ ආර්ථිකය නූතන කරන්නේ කියලා. ඔය සටන් පාඨවල කාලය ඉවරයි. අපට විශාල ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න වෙනවා.   


?ජනාධිපතිවරයගෙ බලය රැඳිලා තියෙන්නේ පොහොට්ටුව අතේ. ​ පොහොට්ටුව  ප්‍රතිපත්තියක් විදියට පෞද්ගලිකකරණයට විරුද්ධයි.


පොහොට්ටුවේ දිනේෂ් ගුණවර්ධනලා ඔය සටන් පාඨ හරහා කළ යුතු දේ කරන්න නොදීපු කට්ටිය. ඒ කියපුවා දැන් ආපහු කරන්න වෙනවා. සිංගප්පූරුව එක්ක අපි වෙළෙඳ ගිවිසුම අත්සන් කරන්න ගියානේ ඒකට විරුද්ධ වෙච්ච කට්ටියනේ ඔය ඉන්නේ.   


?ඒ අයත් එක්ක සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදලා කොහොමද ඉස්සරහට යන්නේ?   


මෙහෙමයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක සියලුම දෙනාගේ මතය තියෙනවනේ. දැන් මෙතැන ජනාධිපතිතුමාගේ මතය තියෙනවා. අනිත් පැත්තට ඔය පොහොට්ටුව සෙට් එකේ මතය තියෙනවා. පොහොට්ටුව සෙට් එකේ මතය මොකක්ද කියලා අපි දන්නවනේ. අවුරුදු පනහක් තිස්සේ හිටියාය කියන දේශපාලන මතවාද එක රැයෙන් අයින් කරන්නත් හැකියාව තියෙනවා. පොහොට්ටුවේ ඉන්නවා 17 ටත් අත උස්සපු, 18 ට වගේම 19 ටත් අත උස්සපු ඊට පස්සේ 20 ටත් අත උස්සපු දැන් 21 ටත් අත උස්සන්න ලෑස්ති කට්ටිය. එහෙටයි මෙහෙටයි පැන පැන කෙටිකාලීන දේශපාලන වරප්‍රසාද ලබා ගන්නා කට්ටියත් ඉන්නවානේ. අපි නම් එක මතයේ තමයි ඉන්නේ. අපේ මතය මේ ගොල්ලෝ පිළිගත්තේ නෑ. දැන් ඉන්නේ බිමටම වැටිලා ඉන්න වෙලාවේවත් අපේ මතය පිළිගන්න.  


?ජනාධිපතිවරයා කිව්වා. අයි.එම්.එෆ්. එකත් එක්ක සිව් අවුරුදු වැඩපිළිවෙළක් ගැන සාකච්ඡා කළා කියලා. ඔහු තෝරාගත්ත මාර්ගය හරිද?  


මේ පාර්ලිමේන්තුවේ 225 ක් ඉන්නවනේ. ඒ අයගෙන් අයි.එම්.එෆ්. යන්න කියලා මුලින්ම කිව්වේ මමනේ. අයි.එම්.එෆ් එකට එදා ගියා නම් මේ වැඩේ බේරාගන්න තිබුණා. දැන් බැහැ ඒක. දැන් අයි.එම්. එෆ් එකට විතරක් ගිහින් මේ ප්‍රශ්නය විසඳන්න බෑ ඒක කවුරුත් දන්නවා. දැන් අපට ණය ගෙවාගන්න බැහැනේ. ඒ නිසා එකඟතාවකට යන්න වෙනවා. මෙතැන පාර්ශව තුනක් ඉන්නවා. එදා ගියා නම් පාර්ශ්ව දෙකයි. අද ප්‍රශ්නය බැරෑරුම්. කොහොම වුණත් ජනාධිපතිතුමා යන මාර්ගය හැර වෙනත් විකල්පයක් නෑ.  


?අවසන් සටනට 9 වැනිදට මුළු රටම කොළඹට එන්න කියලා ඔබේ පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කිව්වා. එතකොට සජබෙද අවසන් සටන කරන්නේ?  


අපි එතැන නෑ. ඒක එතුමාගේ පෞද්ගලික මතයක්. පක්ෂය හැටියට අපි එහෙම තීරණයක් අරගෙනත් නෑ.

 

 

සාකච්ඡා කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්