
2026 ජනවාරි මස 20 වන දින අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කර තිබේ. එබැවින් මෙම ලිපියෙන් සාකච්ඡා කරනු ලබන්නේ - එම පනත් කෙටුම්පතේ සැකැස්ම, අරමුණ හා අදාලත්වය සම්බන්ධයෙන් පමණකි.
මීට අමතරව 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ද එදින ම පාර්ලිමේන්තුවට ඉදිරිපතක් කරන ලදී. එහි සමස්ත බලපෑම සම්බන්ධයෙන් වෙනම සාකච්ඡා කළ යුතු ය.
පනතේ අරමුණ
ගෙහිමියකු විසින් යම් පරිශ්‍රයක පදිංචි වී සිටින තැනැත්තන් නෙරපීම වැළැක්වීම හා ඒ හා සම්බන්ධ විධිවිධාන සැලැස්වීම යෝජිත නීතියේ මූලික අරමුණය. කෙටුම්පතේ වගන්ති 13 ක් තිබේ.
කෙටුම්පතේ / පනතේ අදාළත්වය
යෝජිත පනත් කෙටුම්පතේ 2 වන වගන්තියට අනුව (අ) පරිශ්‍රයක නීත්‍යානුකූලව පදිංචි වී සිටින සහ (ආ) කෙටුම්පතේ 3, 4, 5 වගන්ති යටතේ දක්වා තිබෙන සිද්ධීන් සිදුවීමට මාස තුනකට වැඩි කාලයක් යම් පරිශ්‍රයක නිරවුල්ව හා අඛණ්ඩව පදිංචි වී සිටින තැනැත්තන්ට යෝජිත නීතිය අදාල වේ.
කෙටුම්පතේ 3, 4, 5 වගන්තිවල සඳහන් වන්නේ පදිංචිව සිටින තැනැත්තාට අදාල පරිශ්‍රයෙන් ඉවත් වීමට හේතු වන හෝ ඉවත්වීමට බලකරන හේතූන්ය.
පනතේ 3, 4, 5 වගන්තිවල සඳහන් සිද්ධීන් ඇති කරමින් පදිංචිකරුගේ පදිංචිය අහිමි කිරීමට ගෙහිමියා ක්‍රියා කළහොත් ගෙහිමියාට එරෙහිව නඩු පැවරීමට අයිතිය පදිංචිකරුට පනතේ 6වන වගන්තිය යටතේ තිබේ. එහි 7, 8, 9, 10 , 11 හා 12 වගන්තිවල සඳහන් වන්නේ අදාල අධිකරණ පටිපාටිය හා පදිංචිකරුට ලබාගත හැකි සහන පිළිබඳ කාරණා වේ. පදවල අර්ථනිරූපණ 13 වගන්තියේ සඳහන් ය.
- ගෙහිමියකුට දැනට තිබෙන අයිතිවාසිකම්
ගෙහිමි - කුලී නිවැසි හෝ බදුගැනුම්කරු අතර ඇතිකරගත් ගිවිසුමකට අනුව කුලී හෝ බදු නොගෙවන හෝ එම ගිවිසුම වෙනත් ආකාරයකින් උල්ලංඝනය කරන හෝ බදු කාලයෙන් පසුව බලහත්කාරයෙන් අදාළ පරිශ්‍රයේ රැඳී සිටින කුලී නිවැසියෙකුට හෝ බදුගැනුම්කරුවකුට එරෙහිව 2023 අංක 01 දරන බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ලබා ගැනීමේ පනතේ විධිවිධාන යටතේ අධිකරණයක් මගින් සහන ලබා ගැනීමටත් එම කුලී නිවැසියා හෝ බදු ගැනුම්කරු නෙරපා දැමීමටත් ගෙහිමියාට තිබෙන අයිතියට යෝජිත පනතින් බලපෑමක් හෝ බාධාවක් සිදුකර නැත.
- නීත්‍යනුකූලව පදිංචිව සිටීම
ඒ අනුව යෝජිත නීතියෙන් ආරක්ෂා වන්නේ යම් පරිශ්‍රයක (නිවාස හෝ ව්‍යාපාරික ස්ථානයක) නීත්‍යනුකූලව පදිංචිව සිටින තැනැත්තන් පමණකි. එසේම එම තැනැත්තා අදාළ ස්ථානයෙන් ඉවත් කිරීමට බල කරන සිද්ධීන් ගෙහිමියා විසින් සිදුකිරීමට පෙර මාස තුනක කාලයක් නිරවුල්ව හා අඛණ්ඩව එහි පදිංචිව සිටිය යුතුය.
පනත් කෙටුම්පතේ 13 වන වගන්තියේ ගෙහිමියා හා පදිංචිය යන පද අර්ථ ගන්වා තිබේ. ඒ අනුව එසේ පදිංචියට පැමිණ තිබෙන තැනැත්තා බදු ගිවිසුමක් හෝ කුලී නිවැසි ගිවිසුමක් මත පදිංචිය ආරම්භ කර ගෙහිමියාගේ එකඟත්වය ඇතිව නිශ්චිත කාල සීමාවක් සඳහා පදිංචි ව සිටින අයකු විය යුතුය.
උදාහරණයක් ලෙස යම් නිශ්චිත කාලයකට යම් නිවසක් හෝ ව්‍යාපාරික ස්ථානයක් බද්ධට ගත් තැනැත්තකු එම බදු කාලය අවසන් වීමට පෙර කෙටුම්පතේ 3, 4, 5 වගන්තිවල සඳහන් පරිදි ක්‍රියා කිරීමෙන් හෝ නොකර හැරීමෙන් එම තැනැත්තාව නෙරපීමට හෝ එම තැනැත්තාට එහි රැඳී සිටීමට නොහැකි වන තත්වයක් ඇති කිරීමට (නව පනත යටතේ) ගෙහිමියාට නොහැකිය.
- 3 වන වගන්තිය
කෙටුම්පතේ 3 වන වගන්තියට අනුව ගෙහිමියා විසින් අදාළ පරිශ්‍රයට සපයා තිබෙන යම් සේවාවක් හෝ පහසුකමක් හෝ යම් අත්‍යාවශ්‍ය සැපයුමක් හෝ උපයෝගිතා සේවාවක් නැවැත්වීම හෝ අත්හිටුවීම සිදු නොකළ යුතුය. එසේම එවැනි සැපයීමක් අලුත්වැඩියා කිරීම හෝ නිසි තත්ත්වයෙන් පවත්වාගෙන යාම ප්‍රතික්ෂේප කිරීම හෝ පැහැරහැරීම යනාදි ක්‍රියා ද ගෙහිමියා විසින් සිදු නොකළ යුතුය.
මෙහි අත්‍යාවශ්‍ය සැපයුම් හෝ උපයෝගිතා සේවා යන්නට ජලය, විදුලිය, මලාපවහන සේවා, පිසීමේ ගෑස් සහ ප්‍රවේශ මාර්ගවල සහ තරප්පුවල විදුලි පහන් ද ඇතුළුව විදුලි පහන්, සෝපාන සහ කසළ ශෝධන හෝ සනීපාරක්ෂක සේවා සැපයීම ඇතුළත් වන බවට පනතේ සඳහන්ය.
- 4 වන වගන්තිය
4 වන වගන්තියේ සඳහන් වන්නේ ගෙහිමියා විසින් කෙළින්ම හෝ වක්‍රාකාරයෙන් පදිංචිකරුට අදාල පරිශ්‍රය හැර යාමට පෙළඹවීම පිණිස හෝ බලකිරීම පිණිස එම පරිශ්‍රයට අලාභහානී කිරීම, කඩාබිඳ දැමීම හෝ වෙනත් අයුතු යමක් සිදු නොකළ යුතු බවය.
5 වන වගන්තිය
5 වන වගන්තියට අනුව ගෙහිමියා හෝ ගෙහිමියාගේ බලය යටතේ වෙනත් තැනැත්තෙකු විසින් බදු ගිවිසුමේ හෝ කුලී ගිවිසුමේ නියම උල්ලංඝනය කරමින් හෝ අධිකරණයක තීන්දු ප්‍රකාශයක් හෝ ආඥාවක් උල්ලංඝනය කරමින් අදාල පදිංචිකරුව නෙරපීම හෝ නෙරපීමට සැලැස්වීම සිදු නොකළ යුතුය.
මෙම වගන්තිය සකස් කිරීමේදී යම් දෝෂයක් සිදුව ඇති බව පෙනේ. වගන්තියේ කෙටි යෙදුමේ සඳහන් වන්නේ අධිකරණයක ආඥාවක් මත මිස පදිංචිකරුවකු නෙරපීම නොකළ යුතු බවය. ඉංග්‍රීසි කෙටුම්පතේ සඳහන් වන්නේ ද එම අර්ථයමය. එහෙත් සිංහල කෙටුම්පතේ අන්තර්ගතයේ සඳහන් වන්නේ අධිකරණ ආඥාවක් උල්ලංඝනය කරමින් නෙරපීමක් සිදු නොකළ යුතු බවකි. මෙහි ගැළපීමක් නැති අතර, අදහස සම්පූර්ණයෙන් ම එකිනෙකට වෙනස් ය.
- ලිඛිත ගිවිසුමක් මගින් 5 වන වගන්තිය මගහැරිය හැකි ද?
5 වන වගන්තිය සමග කියවිය යුතු 13 වන වගන්තියේ නෙරපීම යන වචනය අර්ථ ගන්වා තිබේ. එහි දී බදු ගිවිසුමක හෝ කුලී ගිවිසුමක ඇති නියම හෝ කොන්දේසි උල්ලංඝනය කරමින් පදිංචිකරුට ලබාදෙන ලද පරිශ්‍රය සම්පූර්ණයෙන්ම හෝ එහි කොටසක් පාවිච්චි කිරීමට හා එහි පදිංචි වීමට ඇති අයිතිය සෘජුව හෝ වක්‍රාකාර ක්‍රම මගින් අහිමි කිරීම නෙරපීම යනුවෙන් අදහස්කර තිබේ.
ඒ අනුව කෙටුම්පතේ 5වන වගන්තිය සමග ඝට්ඨනයක් ඇති නොවන පරිදි බදු ගිවිසුමක් හෝ කුලී ගිවිසුමක් සකස් කිරීමට ද අවකාශ පැවැතිය හැකිය. එහෙත් එවැනි කොන්දේසිවල වලංගුභාවය අධිකරණයකින් තීරණය කළ යුතුය.
කෙසේ වෙතත් දෙපාර්ශ්වයේම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස යම් පරිශ්‍රයක් බද්දට හෝ කුලියට ලබාදීමේ දී නීතිඥවරයෙකු විසින් සකස් කර සහතික කරනු ලබන ලිඛිත ගිවිසුමකට එළඹීම අත්‍යාවශ්‍ය වන බව නිසැකය.
- පදිංචිකරුවෙකුගේ අයිතිය
පනතේ 3, 4, 5 වගන්තිවල සඳහන් ක්‍රියා හා නොකර හැරීම් සිදුකරන අවස්ථාවක හෝ එසේ සිදුකර මාසයක් ගතවීමට පෙර දිවුරුම් පත්‍රයක් මගින් සනාථ කරන පෙත්සමක් මගින් කරුණු දක්වා දිසා අධිකරණයක ගෙහිමියාට (වගඋත්තරකරුට) එරෙහිව නඩු පැවරීමට පදිංචිකරුට පනතේ 6 වන වගන්තිය යටතේ අයිතිය ඇත.
- සහන
එවැනි නඩුවක දී (අ) (ගෙහිමියා විසින්) අත්හිටුවන ලද නමුත් යථා තත්ත්වයට පත් නොකරන ලද සැපයුම් යථා තත්ත්වයට පත්කිරීමට හෝ නොකරන ලද අලුත්වැඩියාවන් සිදු කිරීමට අවසරය ලබාගැනීමට (ආ) ගෙහිමියා විසින් සිදුකරන බලහත්කාරකමක්, සාහසික කමක්, තර්ජනය කිරීමක්, අනතුරක්, හානියක් යනාදිය වළක්වාගැනීමට (ඇ) ගෙහිමියා විසින් අදාළ පරිශ්‍රයට හානි සිදුකිරීම වැළැක්වීමට (ඈ) (පනතට පටහැනිව නෙරපන ලද) පදිංචිකරුවකු නැවත හිස් හා නිරවුල් සන්තකයේ පිහිටුවීමට (ඉ) වෙනත් සහන ලබා ගැනීමට ආඥාවන් ඉල්ලා සිටීමට පදිංචිකරුට අයිතිය ලබාදී ඇත.
මෙහිදී ගෙහිමියා විසින් සිදුකරමින් පවතින වරදීය ක්‍රියාවන් වැළැක්වීම පිණිස අතුරු සහන ද ඉල්ලා සිටීමට ද හැකියාව පදිංචිකරුට තිබේ.
7 වන වගන්තියට අනුව මුල් අවස්ථාවේදීම අධිකරණය විසින් පෙත්සමේ සඳහන් කරුණු සලකා බලා ගෙහිමියාට (වගඋත්තරකරුට) එරෙහිව නෛසයි ආඥාවක් හෝ අතුරු ආඥාවක් නිකුත් කළ හැකිය.
- කාලය
වගඋත්තරකරු විසින් විරෝධතා ඉදිරිපත් නොකළහොත් හෝ විරෝධතා පිළිනොගතහොත් පෙත්සමේ දින සිට මාස තුනක් (3) ක් ඇතුළත හා එසේ විරෝධතා ඉදිරිපත් කළහොත් විරෝධතා ප්‍රකාශය ලැබුණු දිනයේ සිට මාස නවයක් (9) ඇතුළත නඩුව අවසන් කළ යුතුය.
- ගෙහිමියාට ගාස්තු හා සහන ලබා ගත හැකි බව
8 වන වගන්තියට අනුව ගෙහිමියා (වගඋත්තරකරු) විසින් විරෝධතා වශයෙන් කරුණු දැක්වූ පසු නෛසයි ආඥාව බලාත්මක නොකිරීමට ප්‍රමාණවත් හේතු තිබෙන බවට අධිකරණ නිශ්චය කරන්නේ නම් යුක්තිය ඉටු කිරීම පිණිස වගඋත්තරකරු විසින් ඉල්ලා ඇති නඩු ගාස්තු, සහන සහ වියදම් ගෙවන ලෙස ආඥා කිරීමට ගරු අධිකරණයට බලය තිබේ.
- ආඥාව ක්‍රියාත්මක කිරීම
ගරු අධිකරණය විසින් ලබා දෙන ලද නියෝගයක් අනුව ක්‍රියා කිරීමට ගෙහිමියා පැහැර හැරියහොත් අධිකරණ මගින්ම එම නියෝගය ක්‍රියාත්මක කළ හැකි බව 9වන වගන්තියේ සඳහන් ය.
10 වන වගන්තියට අනුව පදිංචිකරුව (පෙත්සම්කරුව) අදාළ පරිශ්‍රයේ හිස් වූ සන්තකයෙහි නැවත පිහිටුවීමටද එහි දී ඒ වන විට පරිශ්‍රයේ බුක්තියට පැමිණ සිටින වෙනත් අයව නෙරපාදැමීමට ද අධිකරණයේ පිස්කල්වරයාට බලය ලබාදීමට අධිකරණයට හැකිය.
එවැනි අවස්ථාවක දී අධිකරණයේ පිස්කල්වරයාට බාධා කිරීම අධිකරණයට අපහාස කිරීමක් වේ. අධිකරණ නියෝගයකින් සන්තකයෙහි පිහිටුවනු ලැබූ පදිංචිකරුව නැවත එම පරිශ්‍රයෙන් නෙරපීමට ගෙහිමියා කටයුතු කළහොත් එයද අධිකරණයට අපහාසයක් වේ. එසේ අපහාස කිරීමක් කරන වරදකරුවකු රුපියල් ලක්ෂ පහකට නොවැඩි දඩයකට හා/හෝ අවුරුදු එකකට නොවැඩි කාලසීමකට බන්ධනාගාරගත කිරීමකට යටත් කළ හැකිය.
අවසාන ආඥාව නතර නොකළ යුතු බව
11 වන වගන්තියට අනුව (12වන වගන්තිය යටතේ කර තිබෙන අභියාචනයක් විමසන) ඉහළ අධිකරණයකින් ලබාදෙන නියෝගයකින් හැර දිසා අධිකරණයෙන් ලබාදෙන අවසාන ආඥාව ක්‍රියාවේ යෙදවීම නතර නොකළ යුතුය.
- කෙටුම්පතේ ඇති දෝෂ නිවැරදි කළ යුතුය
මෙම පනත් කෙටුම්පත සකස් කිරීමේ දී පෙර සඳහන් පරිදි ඉංග්‍රීසි හා සිංහල පිටපත් අතරද, අන්තර්ගතයේ ද එකිනෙකට ගැටෙන, නොගැළපෙන හා අපැහැදිලි තැන් තිබේ. එසේම සිංහල කෙටුම්පතේ ඇති වචන හා පද ගැළපීම් ද ඇතැම් තැන්වල දී වඩාත් පැහැදිලි අර්ථයක් ලබා දෙන ලෙස නිවැරදි කළ යුතුවේ.
පනත සකස් කිරීමේ දී දැනට බලාත්මක 2023 අංක 01 දරන බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ලබාගැනීමේ පනතේ විධිවිධාන සමග මෙම පනත එකිනෙක නොගැටෙන පරිදි ක්‍රියාත්මක වීමට අදාළ ප්‍රතිපාදන ඇතුළත් කර නොමැති හෙයින් යම් ව්‍යාකූලතාවක් හට ගෙන තිබේ.
එසේ හෙයින් යෝජිත නීතිය යටතේ ලබාදෙන ආඥා හා තීන්දු, 2023 අංක 01 දරන පනත යටතේ ලබාදෙන ආඥාවලට හා තීන්දුවලට යටත්ව ක්‍රියාත්මක විය යතු බවට වගන්තියක් යෝජිත නීතියට ඇතුළත් කළ යුතුය. තවද නීත්‍යනුකූලව පදිංචිව සිටින තැනැත්තා යනු කවරෙක් ද යන්නත්, එවැනි පදිංචිකරුවකුගේ නීත්‍යනුකූලභාවය අවසන් වන්නේ කුමන අවස්ථාවක දී ද යන්නත් පැහැදිලි වන ලෙස අර්ථ නිරූපණයක් ලබාදීම වැදගත් වේ.
මෙම පනත මගින් ගෙහිමියාට සිදුවිය හැකි අසාධාරණයක් වන්නේ පදිංචිකරුවකුව අධිකරණ නියෝගයකින් බුක්තියේ පිහිටුවීමෙන් පසුව හෝ එසේ බුක්තියේ තහවුරු කිරීමෙන් පසුව එම තැනැත්තා එහි පදිංචිව සිටිනතාක් ගෙහිමියාට ලැබිය යුතු ගෙවීම් හා සහන අඛණ්ඩව සිදු කිරීමට නියෝග කළ හැකි නිශ්චිත ප්‍රතිපාදන කෙටුම්පතේ නොතිබීමය.
මෙම දෝෂ හා ව්‍යාකූලතා හඳුනාගෙන ඒවාට සිදුකරන සංශෝධන මගින් නිවැරදි කළ යුතුය. එසේ නොවුණහොත් යෝජිත නීතියෙන් ප්‍රායෝගික වැදගත්කමක් නොලැබෙනු ඇත.
නීතිඥ
කණිෂ්ක විතාරණ

