ඒ අයට බහුතරයක් හදාගන්න බෑ සාගර කාරියවසම්


  • ආණ්ඩුව පෙරළන්න පුළුවන්ද? අප ඒ ගැන විමසුවේ ශ්‍රී ලංකා පොදුජන
  • පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ගෙනි

 

 

‘ආණ්ඩුවෙ බහුතරය නැති කරනවා කියල කයිවාරු ගහ ගහ ඉන්න අය ක්‍රියාවෙන් පෙන්වන්න එපායැ. කිය කියා ඉඳල වැඩක් නැහැ. බහුතරය නැති කරනවා නම් ඒකට නැකතක් නැහැනේ. කරලම පෙන්වන්න කාරියවසම් මහතා කියයි.   


අප කළ විමසීමට ඒ මහතාගේ පිළිතුර මෙසේය.   


ප්‍රශ්නය- විමල්-ගම්මන්පිල කියනව ආණ්ඩුවේ බහුතරය නැති කරනවා කියල   


පිළිතුර- ඒ අයට බහුතරය හදන්න බැහැ. මොකද ඒ අයට හිටපු අයගෙනුත් එක්කෙනා දෙන්නා ඉවත් වෙනවා. අලුතින් එකතුවීමක් නැහැ.   


ප්‍රශ්නය- ඔවුන් සමඟ දැනට 30ක් ඉන්න බවයි කියන්නේ.   


පිළිතුර- 30ක් නැහැ. කවුද 30 කියල කිසිම වෙලාවක කියල නැහැ. ඔය කතාව ඕනෑ කෙනකුට කියන්න පුළුවන්. සජිත් ප්‍රේමදාසටත් ඕක කියන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහටත් පාර්ලිමේන්තුවෙ බහුතරය තියෙනව කියල කියන්න පුළුවන්. නමුත් හැමෝම දන්න දෙයක් තියෙනව නේ. කියන්න පුළුවන් නම් පෙන්නන්න. තිහක් නෙවෙයි. 50ක් 60ක් ඉන්නව කියලත් කියාවි. බහුතරය පෙන්වන්න නැකතක් නැහැනේ. පුළුවන් ඉක්මනට පෙන්වන්න අවශ්‍යයි. මේ කරන්නෙ සම්පූර්ණ බොරුව. මේ රටට ආයෝජකයො එන එක නවත්වන්න උපක්‍රම දානවා. ජනතාවගේ මානසිකත්වය වට්ටන්න තමන්ගෙ පුහු දේශපාලන වාසියක් ලබාගන්න උත්සාහයක යෙදිල ඉන්නවා. මේ කරන එකම දේ රටට හානි කරන එකයි. ආණ්ඩුව අස්ථාවරයි කියල පෙන්නුව ගමන් රටට ආයෝජකයො එන්න පසුබහිනවා. ඒ අය කියන දේවල් මාධ්‍යයෙ පළවෙනවා. ඊට පස්සෙ ආයෝජකයො අපේ රටට එන්න බයවෙනවා. මේ අය උපක්‍රමයක් භාවිතා කරන්නෙ. රටට ​​​​ද්‍රෝහීවීමක්. බහුතරය තියෙනවා නම් ආණ්ඩුව ගන්න නැකතක් නැහැනේ. හෙටම ගන්න පුළුවන්නේ. ඇයි? බලාගෙන ඉන්නෙ. මේ සම්පූර්ණ බොරුවක් කරන්නෙ.   


ප්‍රශ්නය- විශ්වාසභංග යෝජනාවක් ආවොත්   


පිළිතුර- විශ්වාස භංග යෝජනාවක් ගේනව නම් තවත් බල බලා ඉන්නෙ මොකටද ගේන්න එපායැ.   


ප්‍රශ්නය- ජනතාව තුළ රජය ගැන අප්‍රසාදයක් තියෙන නිසා මන්ත්‍රීවරුන්ගෙ සහායත් ලැබෙන්න ඉඩ තිබෙනවා.   


පිළිතුර- රට අර්බුදයකට මුහුණපාල තියෙන්නෙ. විදේශ මුදල් අර්බුදයකට බරපතළ ලෙස මුහුණ දීල තියෙන්නෙ. රටේ ජනතාව හිතන්නෙ මේ වෙලාවෙ මේකට රජය වගකිව යුතුයි කියලයි. ඇත්තටම මේකට රජය වගකිව යුතු නැහැනේ. මේ රජය සියල්ල හොඳින් කළමනාකරණය කරගෙන ආවා. ඒ අතරෙ කොවිඩ් ආවා. රට වහන්නෙ නැහැ කියල අපි කියද්දි රට වහන්න කියල බල කළා. රටේ ජනතාවට විදේශ මුදල් යොදවල එන්නත් ගෙනැල්ල ලබා දුන්නා. ඒ සියල්ල විදේශ මුදල් හිඟයට බලපෑවා. රටට විදේශිකයො ආවෙ නැහැ. විදේශගත ශ්‍රමිකයො නැවත රටට ආවා. මේ තත්ත්වය ඇති වුණේ කරුණු ගණනාවක් නිසා. එහෙම කියල රජයක් හැටියට අපි වගකීමෙන් බැහැර වෙන්න සූදානම් නැහැ. ජනතාවගෙ අප්‍රසාදයක් තියෙනවා. ඒක ඇත්ත. ජනතාවට අමාරුයි. මටත් අමාරුයි. ගෙදර ලයිට් කැපුවම හරි අමාරුයි. මේ වෙලාවෙත් මගේ ගෙදර විදුලිය කපලා. පෙට්‍රල් ගහන්න මමත් පෝලිමේ ඉන්නවා. මට කියල විශේෂ පෙට්‍රල් ෂෙඩ් එකක් නැහැනේ. ඊයෙ මමත් පැය භාගයක් තිස්සෙ පෝලිමේ හිටියා. මේ තත්ත්වය මඟ හරවා ගෙන රටක් හැටියට අපි ඉදිරියට යා යුතුයි. කුමන්ත්‍රණකාරී කණ්ඩායම් මේ අපහසු අවස්ථාවෙ බොරුවට රඟපෑම් කරනව. මේ පවතින අර්බුදයෙන් මෙම රජය ගොඩ එන බව ඔවුන් දන්නවා. පටු දේශපාලනය පෞද්ගලික න්‍යාය පත්‍රවලට මේව කරන්නෙ. 

 
ප්‍රශ්නය- බහුතරයක් පසුපෙළ මන්ත්‍රීවරුන් ඉන්නෙත් කලකිරීමෙන් ඒ කලකිරීම මේ අයට වාසි සහගත වෙන්න ඉඩ තියෙනවා නේද?   


පිළිතුර- රජය ගෙනයන වැඩපිළිවෙළ ගැන පසුපෙළ මන්ත්‍රීවරුන් කිසි​ෙවකුට ප්‍රශ්නයක් නැහැ. මේ උද්ගතවී ඇති තත්ත්වය ගැන මන්ත්‍රීවරුන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඇත්ත. මටත් ප්‍රශ්න තියෙනවා. හැමෝටම ප්‍රශ්න තියෙනවා. ජනාධිපතිතුමා මේ රටේ ප්‍රශ්න ගැන බොහොම සංවේදීවෙලා ඉන්නෙ. අගමැතිතුමා මුදල් ඇමැතිතුමා ජනතා ප්‍රශ්න නිසා සංවේදීව ඉන්නෙ. ප්‍රශ්නය තේරුම් ගත්තෙ නැතිවා නෙවෙයි. පිළිතුරු හොයනවා කියල රනිල් වික්‍රමසිංහ කළා වගේ රට විනාශ කරන තැනට යන්න බැහැ. අපිට අවශ්‍ය දීර්ඝ කාලීනව රට ගොඩනැගීමේ වැඩ පිළිවෙළකට යාමටයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු රජයක් හැටියට අපි කරගෙන යනවා.   

 

 

 

දයාසීලි ලියනගේ