එහෙම නම් දැන්ම අයින්වෙන්න: සජිත් කිව්වේ කාටද?


රාජ්‍ය සේවය ගැන ජනපති කියන කතාව

රාජ්‍ය සේවය නඩත්තු කිරීමට ශ්‍රී ලංකා රජයට හැකියාවක් නැති බව ජාත්‍යන්තර ණය දෙන ආයතන නිතර පවසන මතයකි. එම නිසා පවත්වාගෙන යා නොහැකි ආයතන වසා දමා සේවක සංඛ්‍යාව අඩුකරන ලෙස එම ආයතන නිතර උපදෙස් ලබා දෙයි. ඉකුත් සතියේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකදී ජනාධිපති අනුර කුමාර දිසානායකද රාජ්‍ය සේවයේ පවතින ගැටලු ගැන දිගු විස්තරයක් කළේය. ජනාධිපතිවරයා පැවසුවේ රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය නොකරන බවය. එහෙත් එකම සේවය කරන විවිධ අංශ රාජ්‍ය සේවයේ පවතින බව කී ජනාධිපතිවරයා මෙම අංශ ඒකාබද්ධ කර එක් ආයතනයක් ලෙස පවත්වාගෙන යන බව පැවසීය.

රාජ්‍ය සේවයේ පහළම ශ්‍රේණි සඳහා විශාල පිරිසක් සිටියත් මැද ස්තරයක් නොමැති හෙයින් රාජ්‍ය සේවය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයිද ජනාධිපතිවරයා පැවසීය. කළමනාකරණ මට්ටමේ නිලධාරීන් සිටියත් තාක්ෂණික සේවා නිලධාරීන්, වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගේ  හිඟයක් ඇති බව කී ජනාධිපති අනුර කුමාර දිසානායක එවැනි විශේෂිත ශ්‍රේණිවල සේවක හිඟයක් පවතින විට සංවර්ධන කටයුතු සියල්ල අවුල්වන බව කීවේය. ‘“පාරවල් හදන්න සියල්ල සූදානම් කළත් ටී.ඕලා... ඒ කියන්නේ තාක්ෂණික නිලධාරීන් අඩුයි. එවිට එම සංවර්ධන කටයුත්තම අවුල් වෙනවා.” ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයා පැවසුවේ මෙවැනි විශේෂිත ශ්‍රේණි සඳහා අවශ්‍ය නිලධාරීන් හැත්තෑදහසකට ආසන්න පිරිසකගේ හිඟයක් ඇති බවත් එම පිරිස ලබන වසරේදී බඳවාගන්නා බවත්ය.

රාජ්‍ය ආයතන ව්‍යාපාර නොකළ යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය. රාජ්‍ය ආයතනවලින් නිවාඩු නිකේතන, ශ්‍රවණාගාර ආදිය ඉදිකර ඇතත් එම ආයතනවලට මසකට ඇති වැඩකටයුතු ප්‍රමාණය ඉතා අඩු බව කී ජනාධිපතිවරයා පෞද්ගලික අංශය සමග එම අංශ පවත්වාගෙන යාමට කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. 

දෙපැත්තෙම කකුල් තියාගෙන ඉන්න අය

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉකුත් සතියේ පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අවස්ථාවේ ප්‍රධාන සාකච්ඡාව බවට පත්වූයේ ලබන වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය තීන්දු කළහොත් පක්ෂය ගත යුතු පියවරය.

‘පළාත් සභා ආවොත්... පාර්ලිමේන්තුවට තේරී පත්නොවූ සියලුම ආසන සංවිධායකවරුන් එම මැතිවරණයට තරග කළ යුතුයි.’ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය. එම යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව අනුමත කළේය. ඉන්පසුව සාකච්ඡා වූයේ මැතිවරණයට තරග කරන ආකාරය පිළිබඳවය. විපක්ෂයේ සියලු පක්ෂ එක්ව තරග කළ යුතු බවට ද සජබය සහ එජාපය එක්ව තරග  කළ යුතු බවට ද අදහස් ඉදිරිපත් විය.

‘මෙතනදි මටත් තියෙනව දෙයක් කියන්න.... විපක්ෂයේ හැමෝම එකතුවෙලා තරග කෙරුවොත් කළුතරදි නම් ඒක අසාර්ථක වෙනවා. පළාත් පාලන මැතිවරණයෙන් පස්සෙ බලය පිහිටුවන්න ගියාමත් ඒක සිද්ධ වුණා. කොළඹදී පක්ෂ නායකයො සභා පිහිටුවන්න එකතුවෙන තීන්දු ගත්තට... කළුතර ප්‍රාදේශීයව සිද්ධ වුණේ ඒ තීන්දුව ක්‍රියාත්මක කිරීම නෙවෙයි. මේ පාරත් එහෙම වෙනවට මම විරුද්ධයි....’ ජගත් විතාන මන්ත්‍රීවරයා කීවේය.

‘අපේ මන්ත්‍රීවරුන් තුන්දෙනෙක් විතර මගෙන් ඉල්ලලා තියෙනවා පළාත් සභා මැතිවරණයේදී මන්ත්‍රී ධුරයෙන් අස්වෙලා මහ ඇමැති අපේක්ෂකත්වයට ඉල්ලන්න. ඒ අදහස හොඳයි.... අපි ඒක ඡන්දෙ ආවම බලමු....’ සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.

අපිට මේ වෙලාවේ ඕනෑ පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙලා වැඩකරන්න පුළුවන් කණ්ඩායමක්. කකුල් දෙක දෙපැත්තෙ තියාගෙන දිනන පැත්තට පනින්න බලාගෙන ඉන්න අය ඉන්නව නම් මම මේ කියන්නේ කරුණාකර දැන්මම අයින්වෙන්න... විපක්ෂනායක සජිත් ප්‍රේමදාස තවදුරටත් කියා සිටියේය.

ඉන්පසු සාකච්ඡා වූයේ විදුලි බිල වැඩි කිරීමට මණ්ඩලය අවසර ඉල්ලා ඇති කරුණ පිළිබඳවය. 

‘දැන් මේ ආණ්ඩුව හදන්නේ යළිත් වතාවක් විදුලි බිල වැඩි කරන්නයි. එහෙම කළොත් මහජනතාව ලොකු අමාරුවක වැටෙනවා... විදුලි බිල වැඩි කළොත් අපි පහුවදාම පාරට බැහැල ලොකු විරෝධතා ව්‍යාපාරයක් කරන්න ඕනෑ.....’ විපක්ෂනායක සජිත් කියා සිටියේය. එම යෝජනාවද ඒකමතිකව අනුමත විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක්ම තම ගම් ප්‍රදේශයේ විරෝධතා ව්‍යාපාර සංවිධානය කිරීමට භාරගත්තේය.

මේ රජය පොලිස් රාජ්‍යයක් හදන්නයි උත්සාහ කරන්නේ. විපක්ෂ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ කතා කරන්න වෙලාව දෙන්නේ නෑ... එහෙන් විරුද්ධ මත මර්දනය කරනවා. කතානායකවරයා වැඩ කරන්නේ අපක්ෂපාතව නෙවෙයි...’ විපක්ෂනායකවරයා සඳහන් කළේය. කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ගෙන ඇති තීන්දුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ද අනුමත විය. ඉදිරි මාසය වන විට විශ්වාසභංගය භාරදිය හැකි බවට ද එහිදී මත පළවිය.

දොරින් දොරට කළුතර

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස හැරුණේ ජගත් විතාන මන්ත්‍රීවරයා වෙතය.

ජගත් අපිට බැරිද ගමින් ගමට දොරින් දොරට වැඩසටහනක් කළුතර කරන්න.....’විපක්ෂනායකවරයා විමසීය.
‘පුළුවන් සර්... මට දවස් තුනක් දෙන්න... අද හෙටම හොඳ රැස්වීම් ටිකක් කළුතර සූදානම් කරනවා....’ මන්ත්‍රී ජගත් විතාන කීවේය.

ඒ අනුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහභාගි වන ගමින් ගමට දොරින් දොරට සංවාදශීලි ජනහමු මාලාවක් කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය, මතුගම හා ගුරුදළුව යන ස්ථානයන්හි පැවැත්විණි.

කුඩා තේවතු කර්මාන්තයේ යෙදෙන පිරිසක් ගුරුදළුවේදී හමුවූ අවස්ථාවේ ඔවුන්ගේ ඉල්ලීම වූයේ තේ මිල අඩු වී ඇති හෙයින් මේ ගැන පාර්ලිමේන්තුවේදී කතා කරන ලෙසය.

සර් දළු මිල හොඳටම බැහැලා.. අර ස්වැට් කියන බද්ද හින්දා අපනයනකරුවන්  අසීරුවට පත්වෙලා. මේක අපිට ලොකු ප්‍රශ්නයක්.... සර් මේකට විසඳුමක් හොයල දෙන්න....’ තේ වගාකරුවන්ගේ ඉල්ලීම විය. විපක්ෂනායක සජිත් මේ සියලු ප්‍රශ්න පොතක සටහන් කරගත්තේය. පාර්ලිමේන්තුවේදී මේ ගැන ප්‍රශ්න කරන බවට පොරොන්දු විය.

මතුගම රැස්වීමට පැමිණ සිටි ජනතාව දැක විපක්ෂනායකවරයා සතුටින් ජගත් විතාන මන්ත්‍රීවරයා දෙස බැලුවේය.

‘“සර් මෙතන ඉන්නේ පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් බලාපොරොත්තු වෙලා අනික් පැත්තට ගිය අය. ඒ අයට දැන් තේරිලා... මේ ඇවිත් ඉන්න ගොඩක් අය එහෙම ගිය අය...” ජගත් විතාන මන්ත්‍රීවරයා කීවේය. ජනතාවට තේරිලා.....විපක්ෂනායකවරයා කීවේය.

‘සර් මතුගම තමයි ආණ්ඩුවෙ ලොකුම ප්‍රබලයෝ ටික ඉන්නෙ. සුනිල් වටගල ඇමැතිතුමා..... නලින්ද ජයතිස්ස ඇමැතිතුමා... සංජීව රණසිංහ,  රණසිංහ, අපේ පොලිස්පතිතුමා, අග්‍රාමාත්‍ය ලේකම් තුමා.. ඔක්කොම වැඩකාරයො මතුගමයි කළුතරයි.... එහෙම තියෙද්දිත් අපේ ඉල්ලීමට මේ සෙනඟ ආවේ...’ ජගත් විතාන කියා සිටියේය.

ඩඩ්ලිට ඇඳුම් මාරු කරන්න වෙලා හිරු මාධ්‍යවේදී කෝජන බණ්ඩාරගේ විවාහ උත්සවය ඉකුත් සතියේ පැවැත්වුණේ පොළොන්නරුව ‘ඩියර් පාක්’ උත්සව ශාලාවේදීය. මනාල යුවළ වෙනුවෙන් සාක්ෂියට අත්සන් කිරීම පැවරී තිබුණේ නාමල් රාජපක්ෂ සහ ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනටය. නාමල් පිළිගනිමින් මනාලයා වූ කෝජන බණ්ඩාර කියා සිටියේ ඔන්න මමත් බඳින්නේ රාජපක්ෂ කෙනෙක්. හැබැයි මාතර කියාය. හිටපු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, සුජීව සේනසිංහ, වසන්ත සේනානායක යන මහත්වරුද එම මංගල්‍යයට ඇරියුම් ලැබ සිටියහ. අත්සන් කිරීමට වාඩි වෙමින් ඩඩ්ලි  සිරිසේන කී කතාවකින් එහි සිටි කවුරුත් සිනාසීමට පටන් ගත්හ.

‘මීට කලින් මමයි නාමලුයි අත්සන් කරපු විවාහයක වීඩියෝ එකක් ලක්ෂ දහයක් විතර නරඹලා තිබුණා. අද මම අඳින්න හිටියෙත් එදා ඇඳපු ඇඳුමමයි. අද උදේ මම චෙක් කළා කවුද අනික් පැත්තෙන් අත්සන් කරන්නෙ කියලා... බලපුවම නාමල්.... ඒ ඇඳුමමයි මම අඳින්න හිටියේ. ආයෙ මේ වීඩියෝ එකත් ගියාම එදා ඇඳුමම ඇඳගෙන ආව කියල විහිළු කරයි. මම ටක් ගාල ආයෙ අලුත් ඇඳුමක් ඇඳගෙන ආවා.....’ ඩඩ්ලි සිරිසේන කීවේ එහි සිටි සියල්ලන්ම සිනාගන්වමිනි.

පොහොට්ටුවෙන් අලුත් පත්වීම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඇති විවිධ අංශ ආවරණය වන පරිදි සෑම අංශයකටම කැඳවුම්කරුවකු බැගින් පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉකුත් සතියේ කටයුතු කළේය. පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කරගැනීම මෙම පත්වීම් ලබාදීමේ බලාපොරොත්තුවය. ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට මහලේකම් සාගර කාරියවසම් සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

රණවිරු ප්‍රජාව  සංජීව එදිරිමාන්නටද ඉංජිනේරු වෘත්තිකයන් ඉන්දික අනුරුද්ධටද මැණික් පතල් වෘත්තිකයන් ප්‍රේමලාල් ජයසේකරටද පැවරිණ.

ශ්‍රී ලංකා පොදුජන ගුරු සංවිධානයේ ජාතික කැඳවුම්කරු ලෙස හිටපු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, ශ්‍රී ලංකා පොදුජන ගොවි සංවිධානයේ ජාතික කැඳවුම්කරු ලෙස හිටපු මන්ත්‍රී ඩී. වීරසිංහ, ශ්‍රී ලංකා පොදුජන කලා සංස්කෘතික සංවිධානයේ ජාතික කැඳවුම්කරු ලෙස හිටපු මන්ත්‍රී ජයන්ත කැටගොඩට නව පත්වීම් ලිපි හිමිවිය. ජාතික සංවිධාන සරත් වීරසේකරටද බස්රථ වෘත්තිකයන් සී.බී. රත්නායකටද නීතිඥ සංවිධාන මොහාන් සිල්වාට ද භාර විය.

‘තමන්ගෙ ආසනයට, දිස්ත්‍රික්කයට ගිහිල්ලා තමන්ට පැවරිලා තියෙන අංශවල වගකීම් ඉටු කරන්න. අපි මහන්සි වෙලා වැඩ කරමු. අපි මේ පත්වීම් දුන් ක්ෂේත්‍රවල ප්‍රශ්න මුලින්ම මතු කරන්නෙ අපි කියන තැනට මේ සංවිධාන පත්කර ගන්න. ජනතාව සමග එකතුවෙලා ජයග්‍රහණය අනාගතයේදී අපිට ලබාගන්න පුළුවන්. ඒකට මහන්සි වෙන්නයි ඕනෑ...’ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඉදිරි දේශපාලන කටයුතු ගැන ද එහිදී සාකච්ඡා කෙරිණ. ‘පළාත් සභා මැතිවරණය ලබන අවුරුද්දෙ මැද විතර වෙනකොට තියන්න පුළුවන්. දැනට ඡන්දය තියන්න පනතක් නැතිවුණත් මේ ඡන්දෙ තියන්න කියල ලොකු පීඩනයක් ආණ්ඩුවට තියෙනවා... ඡන්දෙ තියයි... අපි ලෑස්ති වෙමු. හැම පළාතටම දිනන්න පුළුවන් හොඳ ශක්තිමත් මහඇමැති අපේක්ෂකයන් අපි දානවා...’ නාමල් රාජපක්ෂ තවදුරටත් කීවේය.

මහින්දගේ උපන් දිනයට පිංකමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ උපන් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආගමික වැඩසටහන් මාලාවක් පවත්වයි. පක්ෂයේ නායකයන් සහභාගි වන ‘ගමින් ගමට’ වැඩසටහනට සමගාමීව ඉකුත් බදාදා මෙම ආගමික පිංකම් මාලාවක් පොළොන්නරුවේදි පැවැත්විණි. ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, හිටපු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, හිටපු මන්ත්‍රී ඩී. වීරසිංහ ද එම උත්සවවලට සහභාගි වූහ. කදුරුවෙල ගල්ලෑල්ල විහාරය. බිසෝ බණ්ඩාර විහාරය ඇතුළු විහාරස්ථාන හයකදී ගමින් ගමට වැඩසටහන පැවැත්විණි. මහින්ද රාජපක්ෂට ආශීර්වාද කරමින් එදින සවස හයට සෝමාවතී පුදබිමේදී ගිලන්පස පූජාවක්ද පැවැත්විණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ නිල නිවාසයෙන් ඉවත් වූ පසු මේ වනතුරුම දිවි ගෙවන්නේ තංගල්ල කාල්ටන් නිවසේය. මහින්දගේ සුවදුක් විමසීම සඳහා තවමත් කාල්ටන් වෙත යන ජනතාවගේ අඩුවක් වී නැත. බොහෝ පාක්ෂිකයන් තමන් තංගල්ලට කැඳවාගෙන යන ලෙස ආසන සංවිධායකවරුන්ගෙන් ඉල්ලා ඇති බවද ඉකුත්දා පොහොට්ටුවේ ප්‍රධානීන් කිහිප දෙනකු අතර පැවැති සාකච්ඡාවකදි කියැවිණ. ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න, සුමිත් උඩුකුඹුර ඇතුළු සංවිධායකවරුන් පිරිසක් හමුවූ අවස්ථාවේ මේ බව කියැවිණ. ‘හැම තැනින්ම ඉල්ලීම එන්නේ මහින්ද මහත්තයා බලන්න එක්ක යන්න කියලා... විශාල පිරිසක් එකවර එක්ක යන්න බස් ඕනෑ. බස් වියදම, කෑම බීම එක්ක ගත්තම තංගල්ලට ගිහින් එන්න විශාල වියදමක් යනවා. කී දෙනෙක් කතා කළාද ඔය ප්‍රශ්නය කියලා. පුළුවන් අය පොඩි කණ්ඩායම් හැටියට ගිහින් බලල එනවා....’ සංජීව හා උඩුකුඹුර ඇතුළු පිරිස කතාබහ කළේ පාක්ෂිකයන්ගේ ඉල්ලීම් ඉටුකරන්නේ කොහොම ද කියාය.

විහාරස්ථානවල පැවැත්වෙන රැස්වීම් කිහිපයකට මහින්ද රාජපක්ෂ ඉදිරි සතියේ සහභාගිවීමට නියමිතය. සංජීව එදිරිමාන්න සංවිධානය කරන බේරුවල රැස්වීමකට මෙම 26 වැනිදා ද කළුතර මිල්ලනියේ රැස්වීමකට ලබන මස 5 වැනිදා ද හිටපු ජනාධිපතිවරයා සහභාගිවීමට නියමිතය.

පොහොට්ටු - ශ්‍රීලනිප සාකච්ඡාව

සහෝදර පක්ෂ සමග එකතු වී වැඩ කිරීම සඳහා සාකච්ඡා මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු යොදා ඇත. ඒ සඳහා සංජීව එදිරිමාන්න සහ ඩී.වී. චානක පත්කිරීමට පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පියවර ගෙන ඇත. ඒ යටතේ ශ්‍රීලනිපය සමග සාකච්ඡාවක් ඉකුත් දිනවල පැවැත්වුණේ කොළඹ ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේදීය.

ශ්‍රීලනිපය වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක සහ චාමර සම්පත් සහභාගි වූහ. උදය ගම්මන්පිල, සංජීව එදිරිමාන්න සහ ටිරාන් අලස් ද එම සාකච්ඡාවට එක්වූහ.

‘තෝරාගත් කාරණාවලදී අපි එකට වැඩ කරමු කියන එක තමයි පක්ෂයෙන් අපිට කතා කරන්න කීවේ....’ සංජීව එදිරිමාන්න කීවේය.

ඔව් අපිත් ඒකට එකඟයි. පොදු ප්‍රශ්නවලදී අපි එකතු වෙලා වැඩකරමු...’ හිටපු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ද කියා සිටියේය.

‘අපි තේ එකක් බීල ඉම්මු....’ නිමල් සිරිපාල එහෙම කීවේ මේසය මත තිබූ කැවිලි බන්දේසිය පිරිසට පෙන්වමිනි.
“මට නම් කෑම එපා.... ප්ලේන්ටියක් තිබුණාම ඇති...” ගම්මන්පිල කියද්දී ලසන්ත කීවේ ‘අනේ, ප්ලේන්ටි නම් හැදුවෙ නෑ..... අපි කිරි තේ ලෑස්ති කළේ. ඒ නිසා කිරි තේ බොමු..’ කියාය.

පාර්ලිමේන්තුව ඇතුළෙ මම මාර ගේමක් ගහන්නෙ. සේරටම ඉස්සෙල්ල ඔයාල ඒක අගය කරන්න ඕනෑ....’ චාමර සම්පත් එසේ කීවේ නෝක්කාඩුවකින් වගේය.

අනිවාර්යයෙන්ම.... ඔබතුමා කරන මෙහෙයුම ගැන අපේ හිතේ ගෞරවයක් තියෙනවා....’ ගම්මන්පිල කීවේය. ‘ඒ වගේම නාමල්... ගමින් ගමට ගිහින් කරන වැඩෙත් ලොකු වටිනාකමක් තියෙනවා....’ අනුර යාපා කීවේය.

අපි ලොකු වැඩවලට බහිනකොට පිළිගැනීමක් ටිකක් වැඩි වෙයි. නාමල් එහෙම මොකද ඒ ගැන කියන්නෙ....’ දුමින්ද විමසීය.

නාමල් ඕනෑම අභියෝගයකට මූණ දෙන්න ලෑස්තියි.’ සංජීව එදිරිමාන්න දුමින්දට උත්තර බැන්දේය.

රනිල් ජනපති සමයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වූ ශානුක කරුණාරත්නගේ බිරිඳ මනෝජාගේ අවමංගල්‍යය බොහෝ දේශපාලන නායකයන් එක්තැන් කළ තැනක් විය.නායක රනිල්ද බිරිඳ මෛත්‍රී සමඟ බොරැල්ල ජයරත්න මල් ශාලාවට ගොස් මනෝජාට අවසන් ගෞරව දක්වා පැය කිහිපයක්ම එහි ගත කළේය.

රනිල් එහි එන විට හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක මෙන්ම රනිල්ගේ පෙර අනුගාමිකයන් වන වත්මන් සමගි ජන බලවේගය නියෝජනය කරන වරුණ රාජපක්ෂ සහ මහේෂ් සේනනායක සිටියහ.

රනිල්- දිනිත් සමග දොඩමලු වෙද්දී වරුණ සහ  මහේෂ්ද  ඒ අසලට පැමිණියහ.

රනිල් එහිදී කීවේ අනාගතයේ දී පක්ෂ දේශපාලනය අසාර්ථක වන අතර පුද්ගල චරිත මත දේශපාලනය තීන්දුවන බවයි.

"විපක්ෂයේ පාර්ලිමේන්තු දේශපාලනය  විපක්ෂයේ කාර්යභාරය ඉතා වැදගත්. ඒත් අද  විපක්ෂයේ කටයුතු දුර්වල වෙලා" රනිල් කීවේ උපදේශාත්මක ස්වරයෙනි.

''විපක්ෂයේ පුළුල් ඉදිරිපත් වීම වෙනුවට “චරිත” ලෙස හැඳින්විය හැකි පුද්ගලයො කිහිපයක් පමණක් දේශපාලන කටයුතු කරමින් ඉන්න බව පෙනෙනවා. උදාහරණයක් විදියට චාමර සම්පත්, දයාසිරි ජයසේකරගේ දේශපාලන ඉදිරිපත් වීම  දකින්න පුළුවන්.'' රනිල් කීය.

එහිදී වරුණ සහ මහේෂ් හඬ අවදි කරමින් විපක්ෂයේ සන්ධානය ගැන රනිල් ගෙන් විමසීය.

“සන්ධානයට සජබ නායකත්වය ගන්න දඟලන්නෙ මම ඒකට එකඟ නොවෙයි කියල හිතලනේ...  ඔය කියන විදිහට සමගි ජන බලවේගය සන්ධානයට නායකත්වය දරන එකට මම එකඟ වුණොත්, ඒ සන්ධානයේ ඊළඟ ගමන ගැන ඔයාලට යම් යෝජනාවක්-පිළියමක් තියනව ද? රනිල් විමසූයේ සිනා මුසුවය.

එම ප්‍රශ්න කිරීම හමුවේ වරුණ හා මහේෂ් දෙදෙනාම නිහඬ වී තිබේ.

දෙකට බෙදී තිබෙන එජාපය එකතු කර ශක්තිමත් කළ යුතු යැයි එහිදී මතුවූ අදහසට ප්‍රතිචාර දක්වමින් රනිල් පවසා ඇත්තේ" අනාගතයේ දී සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය

පමණක් නොව සියලු දේශපාලන පක්ෂ දේශපාලන භුමිය තුළ අහෝසි වෙන බවයි." අද ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි. ලොව පුරාම "Character-based politics" මතු වෙලා තියෙනවා. ඒ නිසා පක්ෂ දේශපාලනය අසාර්ථක වෙලා යනවා.” යයි රනිල් පවසා ඇත.

“ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂය දුර්වල වී තිබුණත් ඩොනල්ඩ් ට්‍රම්ප් මගින් පක්ෂයේ බලය අල්ලාගත්තා. 

බ්‍රිතාන්‍යයත් එහෙමයි.රනිල් තමා ඉදිරිපත් කළ අදහසට ජාත්‍යන්තරයෙන්ද උපහැරණ  ගෙන දැක්වීය. 

විපක්ෂයේ පොදු සන්ධානය නොයෙක් තර්ක විතර්ක මැද එක් මතයකට එන්නට උත්සාහ ගනිමින් සිටී.

"මේ සන්ධානය ගැන අපි අපේ මතය කියලා නිවේදනයක් නිකුත් කරන්න ඕන" රනිල් එලෙස ඒ වගකීම දිනිත්ට බාර දුන්නේය.

සන්ධානය ගැන එජාපයේ මතය රැගත් නිවේදනය නිකුත් කිරුණේ ඒ අනුවයි.

"ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය යැයි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීමේදී දේශපාලන පක්ෂවල අනන්‍යතාව සහ ප්‍රතිපත්ති රැකෙන ලෙස කටයුතු කිරීම වැදගත් වෙයි. මේ ස්ථාවරයට පැමිණෙන ලෙස සියලු පක්ෂවලින් ඉල්ලා සිටිමු. 

එලෙසම ඉහත පරමාර්ථය ඉෂ්ඨ කරගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර පවතින දූරස්ථභාවය නැතිකරමින් එකමුතුව ක්‍රියාකිරීම වෙනුවෙන්ද අපි කැප වී සිටින්නෙමු. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන කමිටුවේ සාකච්ඡා සඳහා අපි සහභාගී වන්නෙමු. අනෙකුත් දේශපාලන පක්ෂ සමගද අප පක්ෂ සාකච්ඡා කළ යුතුව පවතී. 

තවද අප පක්ෂ දෙක අතර සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාවට ද එකඟත්වය පළ කරන්නෙමු. 

සමගි ජනබලවේගය මෑතකදී කළ ප්‍රකාශත්, එක්සත් ජාතික පක්ෂයේ මූලික අරමුණත් සලකා බලා ඉදිරි වැඩසටහන් සකස් කළ හැකිය." යනුවෙන් එම නිවේදනය කරුණු දක්වා තිබිණි.

රනිල්ගේ උපදෙස් පරිදි සංවිධානය කරන ලද විශේෂ කොට්ඨාස රැස්වීම් මාලාවේ ගාල්ල දිස්ත්‍රික් රැස්වීම් පසුගිය මාසය පුරා පක්ෂ සභාපති වජිරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම විශේෂ රැස්වීම්වල අරමුණ වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ගැන මෙන්ම පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීමයි.

පක්ෂය වෙනුවෙන් ක්‍රියා කරන ක්‍රියාකාරීන්, පාක්ෂිකයින් සමග සුහදව පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සකස් විය යුත්තේ කෙසේ ද යන්න ඔවුන්ගේම අදහස්වලින් දැන අවබෝධ කරගන්නට පක්ෂ සභාපති වජිරට අවශ්‍ය විය. ඒ නිසාම මෙම රැස්වීම් වෙනස්ම ආකාරයකින් පවත්වන්නට වජිර කටයුතු කර තිබිණි.

පසුගිය ඉරිදා  දවස පුරා බළපිටිය සහ අම්බලන්ගොඩ කොට්ඨාස කේන්ද්‍ර කරගෙන මෙම රැස්වීම් පැවැති අතර පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී ඉතා හොඳ යෝජනාද ඉදිරිපත් වූ බව පක්ෂ සභාපති වජිර මාධ්‍යයට පවසා තිබුණි.

රාජ දූත