මාලිමා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ වත්කම් -බැරකම් ප්‍රකාශ එළිදැක්වීමත් සමග ජවිපෙ පූර්ණකාලීනයන් සම්බන්ධයෙන් කතිකාවක් නිර්මාණය වී තිබේ.
චන්ද්‍රසේන සී. විජේසිංහ යනු ජවිපෙ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකි. එමෙන්ම සන්ධාන ආණ්ඩුවෙන් ජවිපෙට හිමිවුණ අමාත්‍ය ධුර හතරෙන් ධීවර අමාත්‍යවරයා ලෙස ජවිපෙ තේරීම වූයේ ඔහුය. මේ ඔහු සමග ජවිපෙ පූර්ණකාලීනයා ගැන කෙරුණු කතාබහකි.
? ජවිපෙ දේශපාලන සංස්කෘතියෙහි “පූර්ණ කාලීන සාමාජිකයාට” විශේෂත්වයක් තියෙනවා. ඔබ කොහොමද ඒ විශේෂත්වය විග්‍රහ කරන්නේ ?
පිළිතුර - පූර්ණකාලීන සාමාජිකයා කියන්නේ පක්‍ෂයේ අරමුණු වෙනුවෙන් තමන්ගේ සමස්ත ජීවිතය, කාලය කැප කරපු ක්‍රියාධර්යාටයි. රෝහණ වීජේවීර සහෝදරයා මේ ආදර්ශනය ගත්තේ බෞද්ධ සංස්කෘතියෙන්.
සසුන්ගතවෙන පුද්ගලයා ඔහුගේ සමස්ත භාවිතාව දෙන්නේ ඒ ශාසනික අරමුණ වෙනුවෙන්. ඒ ආදර්ශය තමයි පක්‍ෂයේ පූර්ණකාලීනයාට ගළපන්නේ. සසුන්ගත වෙන පුද්ගලයාගේ අයිතිය එතැන් සිට දෙමාපියන්ට නෑ.
බෞද්ධ සමාජයටයි ඔහුගේ අයිතිය තියෙන්නේ. ඒ වගේම ඔහුට පෞද්ගලික අරමුණු නෑ. තමන්ට පැවරුණු ශාසනික වගකීම වෙනුවෙන් තමයි ඔහු කැප වෙන්නේ.
? ජවිපෙ පූර්ණකාලීනව යැපෙන්නේ සාමාජිකයන්ගේ උදව්වෙන්?
පිළිතුර - ඔව්. ජනතාවගෙන් තමයි යැපෙන්නේ. ඒ නිසාම ඔහුට ඉතාම සරල ජීවිතයක් තියෙන්නේ. පුද්ගලික අරමුණක් සහිතව කිසිවක් පූර්ණකාලීනයා අතින් සිදුවෙන්න බෑ. ඔහුගේ ජීවිතයේ පැය විසිහතරම ඔහු කැප කරන්නේ පක්‍ෂයේ අරමුණ වෙනුවෙන්. ඔහු දකින හීනය තුළත් තියෙන්නේ පක්‍ෂයේ අරමුණු. ඔහුට පෞද්ගලික ජීවිතයක් තියෙන්න බෑ.
? මගේ ප්‍රශ්නය වුණේ ඔහුගේ යැපීම සිද්ධ වෙන්නේ කොහොමද කියලයි?
පිළිතුර - ඔහුගේ යැපීම සිද්ධ වෙන්නේ අර මම මුලින් කියපු විදියට භික්‍ෂුවක් විදියට තමයි. මම ඔබට පෞද්ගලික අත්දැකීමක් කියන්නම්. මම පක්‍ෂයේ පූර්ණකාලීනයෙක් වෙන්නේ 1977න් පස්සේ. 1977 මහ මැතිවරණයේ දී අපි ආසන හතරක් තරග කරනකොට, මගේ ආසනය වුණේ මාතර – හක්මන ආසනය. අපි ඒ මැතිවරණයේ දී ස්වාධීනව තරග වැදුණා සීනුව ලකුණින්. එතැනින් තමයි මගේ දේශපාලන ජීවිතය ආරම්භ වෙන්නේ. රෝහණ සහෝදරයා එළියට ආවටත් පස්සේ කළ මූලික ඉල්ලීම තමයි... මොකද ඒ වෙනකොට පක්‍ෂයෙහි පූර්ණකාලීනයන් හතළිහක්වත් හිටියේ නෑ. ඒ පසුබිම අනුව තමයි රෝහණ සහෝදරයා පූර්ණකාලීනව පක්‍ෂයේ වැඩ කරන්න කියලා අපෙන් ඉල්ලන්නේ. අපි අපේ අධ්‍යාපනය පැත්තකින් තියලා “ෆුල්ටයිමර්” කෙනෙක් වෙනවා. මම පක්‍ෂයේ දිස්ත්‍රික් නායකයෙක් විදියට වැඩ කරද්දී දෙපාරක්ම මහ පාරේ ක්ලාන්තය හැදිලා වැටෙනවා.
? බඩගින්නට ද?
පිළිතුර - ඔව්. එක් අවස්ථාවක 1987 දී විතර සෙවණගල ඇළ බන්ට් එකේදී මට ක්ලාන්ත ගතිය දැනෙනවා. මම ෆුට් සයිකල් එක නවත්වලා බිම වැතිරුණා. ටික වේලාවක් ගියාට පස්සේ එතැන හන්දියේ කඩයක් තියෙනවා. ඒ කඩයට ගිහින් තේ එකක් බීලා තමයි මම මගේ ගමන යන්නේ. 1988 දී තලවකැලේ බස් නැවතුමේ මම කලන්තෙ දාලා වැටෙනවා. මේ අවස්ථා දෙකේදීම මම දිස්ත්‍රික් නායකයෙක්. පක්‍ෂයේ සල්ලි මගේ අතේ තියෙනවා. නමුත් ඒ මුදල් පෞද්ගලිකව පාවිච්චි කරන්න අපට අයිතියක් නෑ. තලවකැලේ බස් නැවතුමේ දී මම කලන්තේ දාලා වැටුණම ඒ අවට හිටපු දෙමළ ජනතාව මට වතුර ඉහළා සිහිය අරන් තිබුණේ. අපේ සගයකුගේ ගෙදරකට ගිහින් තමයි ප්ලේන්ටියක් හරි බොන්නේ. එහෙම නැතිව පක්‍ෂයේ මුදල් අවභාවිත කරන සංස්කෘතියක් පක්‍ෂ ඉතිහාසයේ තිබුණේ නෑ.
? පූර්ණකාලීන අතට එන මුදල් ඔයතරම්ම අවංකව පරිහරණය කරනවා කියන එක සනාථ කරගන්නේ කොහොම ද?
පිළිතුර - අපි සාකච්ඡාවකට වෙන්න පුළුවන් වෙනත් දේශපාලන කටයුත්තකට වෙන්න පුළුවන්. එහෙම ගියාට පස්සේ අපි කවුද කියන එක අපේ හිතවත්තු දන්නවා. අපි කන්නෙ බොන්නේ කොහොමද. ඊළඟ කටයුත්තට අපි යන්නේ කොහොමද කියලා ඔවුන් දන්නවා. ඒ දැනුවත් භාවයෙන් තමයි ඔවුන් අපට සලකන්නේ. මම පෞද්ගලික උදාහරණයක් කියන්නම්. මම ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ දේශපාලනය කරපු අවස්ථාවක උදේ හයට විතර අපේ ගෙදරට ආපු ව්‍යාපාරිකයෙක් මගේ අතට රුපියල් ලක්‍ෂ 2ක් ගෙනත් දුන්නා. ඒ වෙලාවේ ගෙදර හිටියේ මමයි බිරිඳයි, කිරි දරුවයි විතරයි. මම ගෙදරින් පිටවෙන්න කලින් තමයි ඔහු උදෙන්ම ඇවිත් මෙහෙම සල්ලි දෙන්නේ. ඒ සල්ලි කිසිම අපහසුවකින් තොරව මගේ පෞද්ගලික කටයුත්තකට යොදා ගන්න තිබුණා. නමුත් අපි එහෙම කළේ නෑ. ඊයේ, පෙරේදා පක්‍ෂයේ පූර්ණ කාලීනයන් යැයි කියාගන්නා පුද්ගලයන්ගේ වත්කම්, බැරකම් සාකච්ඡාව එළියට එනකොට අපිත් එක්ක වැඩ කරපු පැරැණි සගයෙක් කෝල් කරලා ඔය කතාව මට මතක් කළා. “අයියෙ ඔයාලා වැඩ කළේ එහෙමයි. වර්තමානයේ ඉන්න අය වැඩ කරන්නේ මෙහෙමයි” කියලත් ඒ සහෝදරයා කිව්වා. අපි පක්‍ෂයේ මුල්ම රුපියල් ලක්‍ෂයේ අරමුදල හදන්න මුල් වෙච්ච කෙනෙක් මම. එතකොට මම හිටියේ මාතර දිස්ත්‍රික්කයේ. අපි ගෙන්ගෙට ගිහිල්ලා ශත පහ, ශත දහය එකතු කරලා තමයි ඒ අරමුදල හදන්න මුල් වුණේ. ඒ යන ගමනෙදි කොතැනක හරි ගෙදරකින් කුරුම්බා ගෙඩියක් තැඹිලි ගෙඩියක් දුන්නොත් මිස කහට කෝප්පයක් දුන්නොත් හැර ඒ සල්ලිවලින් කහට කෝප්පයක්වත් අපි බිව්වේ නෑ. ඒ මුදල් දෙවියන්ගේ හාල් වගේ කිසිම කෙනෙක් පෞද්ගලිකව පාවිච්චි කරන්න පෙලඹුණේ නෑ. ඒක එදා තිබුණ සංස්කෘතිය.
? ඔබ කියන්නේ අද එහෙම නෑ කියල ද?
පිළිතුර - අනිවාර්යයෙන්ම අපි දේශපාලනය වචනවලින් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. හැබැයි දේශපාලනය එහෙම ඉගැන්නුවට පූර්ණකාලීනයගේ කැපවීමේ භාවිතාව උගන්වන්න වෙන්නේ නායකයන්ගේ භාවිතාවෙන්. නායකත්වයේ ආදර්ශයෙන් මිස වචනවලින් ඒක උගන්වන්න බෑ. නායකත්වයෙන් ආදර්ශයක් නැති වුණාට පස්සේ නායකත්වය වැරැදි ආදර්ශ දුන්නට පස්සේ දේශපාලන ව්‍යාපාරයම ජරාජීර්ණ වෙනවා. වර්තමානයේ තියෙන තත්ත්වයට නායකත්වය අනිවාර්යයෙන්ම වග කියන්නම ඕනෑ.
? පූර්ණකාලීනයාට පක්‍ෂයෙන් වැටුපක්, දීමනාවක් දෙනවා?
පිළිතුර - ඉතිහාසය පුරා එහෙම දීමනාවක් ගැන සාකච්ඡාවක් නෑ. එහෙම අවශ්‍යතාවක්වත් නෑ. මොකද ඔහුට පෞද්ගලික ජීවිතයක් නැත්නම්... පක්‍ෂය වෙනුවෙන් ජීවිතය කැප කරපු මිනිසුන්නේ මේ. කමල, බන්ධුල ලී ඉරන කියත් වලින් කෑලි- කෑලිවලට කපලා මරලා දානකොට ඔහු කිසිදු පාවාදීමක් කරන්නේ නැතිව පක්‍ෂය ආරක්‍ෂා කරලා “ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා” කියලා ජීවිතය පූජා කරනවා. මාතර සුසිල් වික්‍රම ජීවිතය පූජා කරන්නේ එහෙම. මේ අය වීරයන් හැටියට ඉතිහාසගත වුණේ එහෙම. බද්දේගම කමල බන්ධු හරි සුසිල් වික්‍රම හරි කියන්නේ පක්‍ෂයේ නායකයා නොවෙයිනේ. නමුත් ඇත්ත අව්‍යාජ පූර්ණකාලීනයන් හැටියට ඔවුන් මැරුණේ එහෙම. තල්පාවිල ධර්මෙ සහෝදරයා මරලා දානවා. නමුත් පක්‍ෂයට කිසිම හානියක් කරලා නෙවෙයි ඔහු මැරෙන්නේ. ඔහුගේ ජීවිතයේ එකම අරමුණ පක්‍ෂය ආරක්‍ෂා කිරීම හා පක්‍ෂයේ අරමුණ ජයග්‍රහණය කරවීමයි. ඒ නිසා මේක ඇතුළේ වැටුපක්, දීමනාවක් දෙන්න අවශ්‍ය නෑ. වැටුප් ගන්න දේශපාලනයක් ජවිපෙට තිබුණේ නෑ.
? පූර්ණකාලීනයගේ බිරිඳට දරුවන්ට සලකන්න බැරිවීම ඔවුන්ට කරන අසාධාරණයක්?
පිළිතුර - මම ඒක ඒ විදියට දකින්නේ නෑ. මම පුංචි උදාහරණයක් කියන්නම්. මට ඉන්නේ දූලා දෙන්නෙකුයි, පුතෙකුයි. මගේ ලොකු දුව හම්බවෙනකොට මම දේශපාලන මණ්ඩල රැස්වීමේ හිටියේ. මට ආරංචිය ආවම නිහාල් ගලප්පත්ති සහෝදරයගේ වාහනයෙන් තමයි මම ගෙදර ආවේ. ඒ එනකොටත් පක්‍ෂයේ සහෝදරවරු ඇවිත් දරුවට අවශ්‍ය සියල්ල අරන් දීලා. අපේ අවශ්‍යතාවන් සපිරුණේ එහෙමයි. ඒ නිසා ඒක දරුවට කරන අගතියක් කියලා අපි හිතන්නේ නෑ. අපේ භාවිතය අනාගත පරපුරක් වෙනුවෙන් කරන භාවිතාවක්.
? ඔබ 2004 සන්ධාන ආණ්ඩුවේ ධීවර ඇමති. ඒ ඇමති වරප්‍රසාද ඔබ කොහොම ද භුක්ති වින්දේ?
පිළිතුර- ඒ ඇමතිකම්, මන්ත්‍රීකම් අපි ගන්නේ පක්‍ෂයටනේ. අපි මන්ත්‍රීවරු වුණේ පක්‍ෂයේ වුවමනාවට මිසක් අපේ වුවමනාවට නොවෙයිනේ. අපේ මුල්ම පළාත් සභා මැතිවරණය ආවට පස්සේ අපට තිබුණු ප්‍රශ්නය තමයි පළාත් සභාවට යවන්නේ කවුද කියන එක. විශ්වාස කරන්න පුළුවන් අය කවුද කියන එක. එතැනදී තමයි අපට යෝජනා කරන්නේ පළාත් සභාවට යන්න කියලා. අපි සංවිධායකවරුනේ. එහෙම නැතිව අපි වේදිකා උඩ දේශපාලනය කරපු අය නොවෙයි. බිම් මට්ටටම් සංවිධාන කටයුතු කරපු පූර්ණ කාලීනයා පළාත් සභා මන්ත්‍රීවරයෙක් කරලා යවන්නේ පක්‍ෂය විසින්. පාර්ලිමේන්තුවට යවන්නෙත් පක්‍ෂය විසින්. එහෙමනම් ඒකට ලැබෙන වැටුප දීමනා සියල්ල අපි පක්‍ෂයට පරිත්‍යාග කරනවා. අපේ මුල්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති සහෝදරයනේ. ඒ සහෝදරයගේ වැටුප මුලින්ම පරිත්‍යාග කරන්නේ පක්‍ෂයටත් නෙවෙයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව දෙන්න තමයි ඒ මුදල දුන්නේ. ඊට පස්සේ තමයි පක්‍ෂය කරන සමාජ සේවා කටයුතු වෙනුවෙන් පක්‍ෂයේ අරමුදලට පරිත්‍යාග කරන්නේ. ඒක ස්වේච්ඡාවෙන් කරන පරිත්‍යාගයක්.
? සමහරු කියන්නේ මන්ත්‍රී වැටුප පක්‍ෂයට ගන්නේ බලහත්කාරයෙන් කියලයි.
පිළිතුර - නෑ. මම මෙහෙම කියන්නම්. මම පක්‍ෂයෙන් එළියට එනකොට මා සතුව වාහන දෙකක් තිබුණා. ඒ වගේම මගේ වැටුප වැටෙන පාර්ලිමේන්තු ගිණුම තිබුණා. ඒ සියල්ල පක්‍ෂයට බාර දීලා කුලී ගෙයින් එළියට ඇවිත් හිස් අතින් ගෙදර ගියා. මම එළියට ආවට පස්සේ සහෝදරවරුන් කීප දෙනෙක්ම මාව හමුවෙලා කිව්වා බැංකු ගිණුමක් පටන් ගන්න. අපි මාසිකව මුදලක් දාන්නම් කියලා. මම එපා කිව්වා. මම දැන් ඉන්න ගේ අරන් දුන්නේ හිතවතෙක්. පක්‍ෂයෙන් ආවට පස්සේ මට ඒ ගෙදර ඉන්න අයිතියක් නෑ. ඒ නිසා ඒ ගේ මම බැංකුවට තියලා අර හිතවතාට සම්පූර්ණ මුදලම දුන්නා. අපි පක්‍ෂයෙන් ඉවත් වෙනකොටත් ගෞරවන්‍ීය විදියටම තමයි ඉවත් වුණේ. පක්‍ෂය යන ගමන අනුමත කරන්න බැරිවෙනකොට ඒකට අදාළ විවේචනය ඉදිරිපත් කරලා මම පක්‍ෂයෙන් එළියට බැස්සා.
? ඔබ පක්‍ෂය වෙනුවෙන් හිරබත් කාපු කෙනෙක්?
පිළිතුර - ඔව්. මමත් අත්අඩංගුවට පත්වෙනවා. ටිල්වින් සිල්වත් අත්අඩංගුවට පත් වෙනවා. අවුරුදු පහකට ආසන්න කාලයක් රැඳවුම් කඳවුරුවල වගේම මැගසින් බන්ධනාගාරයේ, බෝගම්බර බන්ධනාගාරයේ මම හිටියා. බූස්ස කඳවුරේ අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් හිටියා. වේලාසනින්ම අපිට එළියට එන්න පුළුවන්කම තිබුණා. වරද පිළිගත්තානම්. නමුත් මම තමයි අත්අඩංගුවට පත් වුණාට පස්සේ පක්‍ෂයේ කිසිම දෙයක් හෙළිදරව් නොකරපු පක්‍ෂයේ හිටපු එකම දේශපාලන මණ්ඩල සභිකයා. බොහොම අභිමානයෙන් කියන්නේ ඒක. පක්‍ෂයට පුංචි හෝ කැළලක් කරන්න පූර්ණකාලීනයට අයිතියක් නෑ.
? හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ඔබටත් විශ්‍රාම වැටුපක් හිමියි. ඔබ ඒක ගන්නව ද? පක්‍ෂයට දෙනව ද?
පිළිතුර - පක්‍ෂයෙන් අයින් වුණාට පස්සේ ටිල්වින් සිල්වාට මම කිව්වා “මට මේ විශ්‍රාම වැටුප පක්‍ෂ කාර්යාලයට ඇවිත් බාර දෙන්න විදියක් නෑ. ඒ නිසා මට ගිණුම් අංකයක් දෙන්න” කියලා. නමුත් ඒක මට ලැබුණේ නෑ. පක්‍ෂය දෙකට කැඩෙන්න කලින් මම මේ ගැන පක්‍ෂයට පැහැදිලි කිරීමක් කළා. පක්‍ෂයේ අභ්‍යන්තර කණ්ඩායම්වාදය ගැන මට වැටහීමක් තිබුණා. ඒ අනුව කුමාර ගුණරත්නම්, ඕපාත, දිමුතු ආටිගල ඇතුළු කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය පක්‍ෂය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් කියලා මම කිව්වා. මේ අයව පක්‍ෂයෙන් ඉවත් කරන්න ඕනෑ කියලා මම යෝජනා කරලා තිබුණේ. හැබැයි මේ අය ඒකට කිසිම කන්දීමක් කළේ නෑ. ඒ වැරැදි භාවිතය අනුමත කරන්න බැරි නිසා මම මගේ විශ්‍රාම වැටුප ඔවුන්ට දුන්නේ නෑ.
? ඔය ඔබ කියන පූර්ණකාලීනයගේ පෞරුෂය වැහැරුණේ කොහොම ද?
පිළිතුර - නායකත්වයෙන් ආදර්ශනයක් නොවීම තමයි ප්‍රධානම හේතුව. දේශප්‍රේමී අරගලයේ දී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය බිහිවුණා. ඒකේ හිටියෙ ජවිපෙ අය පමණක් නොවෙයි. ඒ නිසා පක්‍ෂය තනියෙන් වැඩ කරන කාලෙද වගේ පූර්ණකාලීනයා ඒ හැඩයෙන්ම නඩත්තු කරන්න බැරි වෙනවා. දැන් ඉන්න නායකයන් දකින්නේ ඒ විකෘතිය. ඔබ දන්නවා විජිත රණවීර සහෝදරය ගැන. ඔහු අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියටත් පත් වුණේ. ඔහු ඉතා හොඳ කෙනෙක්. ඔහුගේ විතාරන්දෙණියේ හේනගම වලව්ව පක්‍ෂයේ පාසල විදියටයි සැලකුවේ. ඔහු ජවිපෙ පරම්පරා තුනකට සෙවණ දුන්න නායකයෙක්. ඔහුගේ වලව්ව දැන් නඩත්තු කරගන්න විදියක් නැතිව ඉන්නේ. ඒ විජිතත් අද ඉන්න විජිතලත් අතර තියෙන වෙනස ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන්.
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්