අධ්‍යාපන කඩඉම තරණය කළ ද විරැකියාව හේතුවෙන් අනාගත ජීවිතය සැලසුම් කරගත නොහැකිව අසරණව සිටින තරුණ තරුණියෝ බොහෝ වෙති. මැතිවරණ සමයන්හි දී මොවුන් මායාමය කොදෙව්වකට රැගෙන යන ඇතැම් දේශපාලනඥයෝ - බලය අත්පත් කර ගැනීමෙන් පසු සාහසික ලෙස මහපොළොවට ඇද දමති.
රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය දේශපාලන කැරට් අලයක් බවට පත්කර ගෙන තිබේ. මෙවර මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගයේ ප්‍රධාන පොරොන්දුවක් වූයේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බව ය. ඔවුන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.
“රැකියා විරහිත උපාධිධාරීන් විධිමත් ක්‍රමවේදයක් යටතේ කඩිනමින් ගුරු වෘත්තියට20 000ක්, විද්‍යා තාක්ෂණ, ඉංජිනේරැ ගණිත(STEM)උපාධිධාරීන් 3000 ක් සහ (STEM) නොවන උපාධිධාරීන් 9000ක් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට, රේගු දෙපාර්තමේන්තුවට, විදේශ සේවාවට, සංචාරක කර්මාන්තයටත් තවත් 3000ක්.”
නමුත් රැකියා විරහිත උපාධිධාරීන් තවමත් මහ පාරේය. රැකියා විරහිත උපාධිධාරීන් දැන් කියන්නේ සංවේදී කතාවකි. දකුණු පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති පී.ජී රසික ප්‍රසාද් පැවසුවේ මෙවන් අදහසකි.
“2024 වසර මුල වන විට ලංකාවේ රැකියා විරහිත උපාධිධාරීන් 35 000 පමණ වෙනවා.නමුත් දැන් එම ප්‍රමාණය40 000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ගුරු පුරප්පාඩු සඳහා විභාගවලට පෙනී සිට සම්මුඛ පරීක්ෂණ ද සමත් වූ බොහෝ පිරිසක් සිටිනවා. එහි දී උපාධිධාරීන්ට අසාධාරණයක් සිදු වී තිබෙනවා . දකුණු පළාතෙහි නම් ඔවුන් බඳවා ගැනීම් සිදුකර තිබෙන්නේ ප්‍රාදේශීය පදනමකිනි. ප්‍රාදේශීය මට්ටමින් එක් එක් දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ලබාගත් උපාධිධාරීන්ට ද ප්‍රාදේශීය මට්ටමින් පුරප්පාඩු නොමැති වීම හේතුවෙන් රැකියාවලට යොමු වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ආණ්ඩුව බලයට පත්වීමට පෙර ගුරුවරු20 000ක්, සංචාරක ක්ෂේත්‍රයට 3000ක්, අයි.ටී. ක්ෂේත්‍රයට 12000ක් ආදී වශයෙන් 35 000ක් පමණ රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීමට පළමු අයවැයෙන් මුදල් වෙන් කරන බවට පොරොන්දු ලබා දුන්නා. මැතිවරණයෙන් පසු අගමැතිනිය සමග සිදු කළ සාකච්ඡාවල දී වයස අවුරුදු 45 පසුකළ උපාධිධාරීන්ට පවා සාධාරණයක් කරන බවට ප්‍රකාශ කළද, අද වන විට පවතින්නේ සාකච්ඡාවක්වත් නොදෙන තත්ත්වයකි.”
පාස්කු ප්‍රහාරය, ආර්ථික අර්බුද, කොරෝනා වැනි හේතු මත උපාධිධාරීන් බොහෝ පිරිසකගේ වයස් සීමාව ඉහළ ගොස් තිබේ. රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රමුඛ අරමුණ නම් ඔවුන්ට රැකියාවලට අයදුම් කිරීම සඳහා පවතින වයස් සීමා ගැටලුව නිරාකරණය කිරීමය. ග්‍රාම නිලධාරී, ගුරු වෘත්තිය වැනි රැකියා සඳහා බඳවා ගැනීමේ වයස් සීමාව ඉහළ දැමීම ඉතා වැදගත් ය.
මාස අටක් තුළ රාජ්‍ය සේවයට යටතේ 62314 ක් අලුතින් බඳවා ගැනීම සඳහා අනුමතිය හිමිවී ඇති බවත්, ඒ අනුව උද්ඝෝෂණ කර රුකියා ලබා දෙන ලෙස ඉල්ලීම් කිරීම වෙනුවට රැකියා විරහිත උපාධිධාරීන්ට එම රැකියා සඳහා අයදුම් කළ හැකි බවත්, කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ සභාපතිගෙන් විමසීමේ දී ඔහු දැක්වූයේ මෙවන් අදහසකි.
“පොලිසියට සහ ආරක්ෂක අංශයටත්, ඇතැම් රැකියා තාක්ෂණික අංශයටත්, සුළු ප්‍රමාණයක් උපාධිධාරීන්ටත් හිමි වී තිබෙනවා. නමුත් මේ මගින් උපාධිධාරීන්ගේ ගැටලුව විසඳෙන්නේ නැහැ. විභාගවලින් හිමි වන්නේ ඉතාම සුළු රැකියා ප්‍රමාණයක්. අපි මේ සම්බන්ධව සතුටට පත් වෙනවා. නමුත් රැකියා විරහිත උපාධිධාරීන් 40,000කගේ ප්‍රශ්නය විසඳීමට තරම් මෙය ප්‍රමාණවත් නැහැ. වැඩි රැකියා ප්‍රමාණයක් උපාධිධාරීන්ට අදාළ ඒවා නොවෙයි."
මේ ගැටලුව සම්බන්ධව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ බස්නාහිර පළාත් සංවිධායකවරිය වන එස්. රන්වල දැක් වූයේ මෙවන් අදහසකි.
“රැකියා විරහිත උපාධිධාරීන්ට තව තවත් විභාගවලට මුහුණ දීමට කාලයක් නැහැ. විභාගවලට මුහුණ දී ලකුණු ලබා ගැනීමට තවත් කාලයක් බලා සිටිය යුතු වෙනවා. උපාධිධාරීන් වෙනුවෙන් කිසිම දෙයක් ගැසට් කරන්නේ නැහැ. ආණ්ඩු බලයට පත්වීමට පෙර ස්ටේජ් නැගලා ප්‍රකාශ කළේ STEM එකකට අප බඳවා ගන්නා බවට. අපි ඉල්ලා සිටින්නේ අප STEM එකකට බඳවා ගන්න කියලා"
පවතින රජය බලයට පත් වීමට පෙර රැකියා විරහිත උපාධිධාරීන් I.T STEM සඳහා බඳවා ගන්නා බවට පොරොන්දු ලබා දුන්නා. උපාධිධාරීන් 35, 000ම බඳවා ගෙන ඒ අතරතුර විභාග හරහා ඔවුන් වෙනත් ක්ෂේත්‍රවලට යොමු කරන බවට ඔවුන් පොරොන්දු දුන්නා. නමුත් තවමත් එය සිදුවන්නේ නැහැ. විභාග මගින් බඳවා ගැනීම සිදු කරන්නේ සීමිත පුරප්පාඩු සඳහා එහි දී වයස් සීමා හේතුවෙන් උපාධිධාරීන්ට අයදුම් කිරීමට ඇති අවස්ථාව අහිමි වී තිබෙනවා.අවුරුදු 5කින් බඳවා ගැනීම් සිදුකර නැහැ. මේ බඳවා ගැනීම්වලට යොමු වීමේ හැකියාව තිබෙන්නේ අලුතෙන් විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන්ට. විශ්ව විද්‍යාලවලින් පිටවී රැකියා විරහිතව සිටින උපාධිධාරීන්ට ඒ සඳහා අයදුම් කිරීමට ඇති අවස්ථාව ඉතා අඩුය. මැතිවරණයෙන් පසු ජනාධිපති ලේකම්තුමා, අගමැතිතුමිය ,පරිපාලන ඇමතිතුමා සමග සාකච්ඡා කිරීමට ඉල්ලීම් කළ ද ඔවුන් කිසිදු අවස්ථාවක් අපට ලබා දෙන්නේ නැහැ.”
“62,314කට රැකියා ලබා දෙන බවට ප්‍රකාශ කළ ද, එම රැකියා උපාධිධාරීන්ට පමණක්ම වන රැකියා නොවෙයි. රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ඉල්ලුව ද නමුත් මේ තාක් සිදු වූයේ වෙන වෙන පිරිස් වලට රැකියා ලබාදීම.
උපාධිධාරී සුදුසුකමට අනුව අපිට රැකියා අවශ්‍ය වෙනවා.”
මෙම ගැටලුව සම්බන්ධව රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය දැක්වූයේ මෙවන් අදහසකි.
“උපාධිධාරී සංගමයක් ලෙස අපි දිගින් දිගටම මේ ගැටලුව සම්බන්ධව මැදිහත් වෙලා තිබෙනවා. ආණ්ඩුවේ නියෝජිතයන් කීප දෙනෙක් සමගම දිගින් දිගටම සාකච්ඡා සිදුකර තියෙනවා. අනෙක් කාරණාව නම් මේ වන විට වයස අවුරුදු 35 ට අඩු රජයේ රැකියා දෙන්න පුළුවන් පරිපාලන සේවයේ තනතුර සඳහා සියල්ල ගැසට් කරමින් යනවා. මේ ආණ්ඩුව පළාත් සභාවෙන් පළාත් සභාවට පවතින විෂයන්වලට අදාලව රැකියා ලබාදෙන්න ක්‍රමයක් සැලසුම් කරමින් හිටියා. නමුත් 2023 මාර්තු මස 22 වැනි දින යම් වෘත්තිය සමිතියක් සමග ඒකාබද්ධ වෙමින් නඩුවක් යොමු කර තිබෙනවා. සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගන්නා අයට අසාධාරණයක් සිදු වී ඇති බවටත් වයස් සීමාව අවුරුදු 45 කරන ලෙසත් ඔවුන් සේවා අන්තර්ග්‍රහණය කරන ලෙසත් මේ නඩුව හේතුවෙන් යම්කිසි ප්‍රශ්නයක් පැන නැගුණා. ගුරුවෘත්තියට බඳවා ගැනීම සම්බන්ධව. මේ සම්බන්ධව අපි දිගින් දිගටම නීතිපතිවරයාගෙන් විමසුවා. ආණ්ඩුව සමග සාකච්ඡා සිදු කළා. එහි ප්‍රතිඵලයක් විදිහට ගුරු වෘත්තියට බඳවා ගැනීම සඳහා දැන් අවස්ථාව ලැබී තිබෙනවා.”
“ජාතික ජන බලවේගය ආණ්ඩුව කුමන හෝ රස්සාවක් ලබා දී උපාධිධාරීන් අමාරුවේ දැමීමක් සිදු කර නැහැ. විධිමත් ක්‍රමයකට රැකියා ලබා දිය යුතුය යන පදනමේ ඉන්නවා. දැන් නඩුව අහන එක නතර වෙලා තියෙනවා. මේ වනවිට රැකියා ලබා දීම සඳහා අවස්ථාවක් ලැබී තිබෙනවා. ඉතාමත්ම කඩිනමින් අගමැතිතුමිය සමග සාකච්ඡාවලින් පසුව මේ රැකියා ලබාදෙන්න තීරණය කරනවා. පළාත්වල විෂයන්වලට අදාළ පුරප්පාඩුවලට අනුව මේ බඳවා ගැනීම් සිදුකිරීමට තීරණය කර තිබෙනවා. අවුරුදු 45ට වැඩි අය සම්බන්ධව තීරණයක් ගන්න අපහසුයි. නමුත් අවුරැදු 40 සීමාවේ රැකියා ලබා දීමට මේ මගින් අවස්ථාව ලැබී තිබෙනවා. වයස අවුරැදු 35 සීමාව අවුරැදු 40 දක්වා දීර්ඝ වෙලා තියෙනවා.”
“උද්ඝෝෂණ සංවිධානය කරන පිරිස් තමයි මේ නඩුවල පිටුපස සිටින්නේ ඔවුන් නඩු දැමීම නිසා ගුරැ පත්වීම් ලබා දෙන්න යම් කාලයක් ගත වුණා. මීට පෙර උද්ඝෝෂණ සංවිධානය කළේ රැකියා ලබා දෙන රාජ්‍ය ආයතන ඉදිරිපිට මේ උද්ඝෝෂණයහි අරමුණම දේශපාලන අරමුණක්. මේ ක්‍රමවේදය හුදු දේශපාලන අරමුණු වෙනුවෙන් සිදු කරනවා. උපාධිධාරීන් යම් ප්‍රමාණයක් මේකට ගොදුරැ වෙලා තියෙනවා. කඩිනමින් මේ සම්බන්ධව පියවර ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් අපිට තිබෙනවා.”
රැකියා පොරොන්දුව ජයග්‍රහණයකට මුවා කර ගත්ත ද දිනෙන් දින ගෙවී යන්නේ කාලය පමණි. ඉටු නොවන පොරොන්දු සවන් නොදෙන බලධාරීන් අතර උපාධිධාරීන්ගේ හඬවල් මහ පාරටම පමණක් සීමා වෙයි. ඉතිහාසය පුරා ම ඔවුන්ට අත් වූයේ මෙවැනි ඉරණමකි. උපාධිධාරීන්ගේ මනාපය පමණක් ලබා නිහඬ වී නොසිට තමන්ගේ හඬට බලධාරීන් සවන් දෙනු ඇත යන්න ඔවුන්ගේ අපේක්ෂාවයි.
පුන්සරා ගිම්හානි