උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වෙනස් කළ හැකි ද


ශ්‍රේෂ්ඨාධිකරණයේ  හා අභියාචනා-ධිකරණය විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අත්තනෝමතික ලෙස වෙනස් කිරීමට රජය කටයුතු කරන බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට පටහැනි බවත්, කොළඹ මහාධිකරණයේ නිතීඥවරුන්ගේ සංගමය ප්‍රකාශ කළ බව කියවේ. 

මෙසේ විශ්‍රාම ගැන්වීමේ වයස වෙනස් කිරීම තුළින් -

1. අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ඇති මහජන විශ්වාසය පලුදුවන බව හා විශ්වාසය අඩුවන බවටත්,

2.අධිකරණ සේවයේ උසස්වීම් ක්‍රමවේදයට අවහිරතා ඇතිවන බවටත්, කරුණු දැක්වේ.

නිතීඥ සංගමය මෙන්ම ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ද ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවීම තුළින් මේ තත්ත්වය පැහැදිලි කොට ඇති බවද වැඩිදුරටත් කියැවේ.

රජය හා අධිකරණ නිලධාරීන්ගේ (විශ්‍රාම ගැන්වීමේ) ආඥා පනත 1910 වර්ෂයේ දී සම්මතවී තිබුණ ද -  අධිකරණ නිලධාරීන්, මහාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ විනිසුරුවරුන් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීම විවිධ නීතිමය රාමුවක් යටතේ සිදුවන බව පළමුකොටම පැහැදිලි කළ යුතුය.

“ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය-කාරවරයන් විශ්‍රාම ගත යුතු වයස අවුරුදු හැටපහ වන අතර, අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් විශ්‍රාම ගත යුතු වයස, අවුරුදු හැටතුන වන්නේය,  යනුවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ව ඇත. එමෙන්ම මහාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම ගත යුතු වයස අවුරුදු හැට එකක් වන්නේය. එය සඳහන් වන්නේ අධිකරණ සංවිධාන පනතෙහි ය.

ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධි-කරණය හා මහාධිකරණ විනිසුරුවරුන් හැරුණුවිට අනෙකුත් සියලු‍ම අධිකරණ නිලධාරීන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60 ක් විය යුතු වේ.

එය සඳහන් ව ඇත්තේ විශ්‍රාම වැටුප් ව්‍යාවස්ථා සංග්‍රහය තුළ ය.

මෙම නීතිමය රාමුව අනුව ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝධනය කිරීමට අවශ්‍ය වන්නේ නම් - එය සිදුකළ හැකි ක්‍රමවේදයන් කිහිපයක්ම පවතින බව පෙනේ. 

කෙසේ වෙතත් අනෙකුත් අධිකරණ නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝධනය කළ යුතු නම් විශ්‍රාම වැටුප් ව්‍යාවස්ථා සංග්‍රහය සංශෝධනය කළ යුතුය. ඒ සඳහා අමත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීම හා එම අනුමැතිය රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කිරීම පමණක් ප්‍රමාණවත් වනු ඇත.

මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු හැටඑක වැඩිකිරීම හෝ සංශෝධනය කිරීම කළ යුතු නම් - අධිකරණ සංවිධාන පනත සංශෝධනය කළ යුතු වේ. ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් වුවද සම්මත කළ හැකිවේ.

ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනා-ධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝධනය හෝ වැඩිකිරීම පහසු කටයුත්තක් නොවේ. එය කළ හැකි එකම ක්‍රමවේදය ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව සංශෝධනය කිරීම පමණි. එනම් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයක් සිදු කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකගේ එකඟතාව අත්‍යවශ්‍යය බව අමුතුවෙන් පැහැදිළි කළ යුතු නොවේ. එබැවින් අත්තනෝමතික ලෙස  ​ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනා-ධිකරණය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වෙනස් කිරීමට හැකියාවක් නොමැති බව පැහැදිලි කිරීම ඉතා වැදගත් වනු ඇත.

මෑත කාලයේ දී ජනාධිපතිවරයාගේ වැටුප් දීමනා හා විශ්‍රාම වැටුප් වෙනස් කිරීමට ගනු ලැබූ උත්සාහය ද මීට සමාන වන්නේය.

“යම් තැනැත්තෙකු විසින් ජනාධිපතිධූරය භාරගනු ලැබූ විට පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලබන පරිදි වූ වැටුප් හා දීමනා ලැබීමට ද, ඉන් පසුව එසේ නිශ්චය කරනු ලබන විශ්‍රාම වැටුප් ලැබීමට ද, ඒ තැනැත්තා හිමිකම් ලබන්නේය.” යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වී ඇති බැවින්, ජනාධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් මුක්තිය තවදුරටත් හිමිවන්නේය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට 22 වරක් සංශෝධනය වී ඇතත්, ඒ කිසිම සංශෝධනයක් කුමන මට්ටමේ නිලධාරියකුගේ හෝ විනිසුරුවරයකුගේ විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝධනය වැන්නක් වෙනුවෙන් නම් නොවේ. 

රජයේ නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව 2022 අයවැය මගින් ද වයස අවුරුදු 65 දක්වා වැඩිකරනු ලැබුව ද, ඉහත නීතිමය බැඳීම් හේතුවෙන් එම වැඩිකිරීම මහාධිකරණ අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට අදාළ කරගත නොහැකි විය. යළිත් එක් වර්ෂයක් අවසානයේ දී  එම වයස් සීමාව ඉහළ නැංවීම හකුළා ගැනීමටද රජයට සිදුවිය.

වෛද්‍යවරුන්ගේ හිඟතාව නිසා ඔවුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා ඉහළ නංවාගැනීමට හැකිවුව ද, එම තීරණයන්ද ඉහළ අධිකරණ නිලධාරීන්ට අදාළ නොවූයේ මෙම නීතිමය බලපෑම නිසාය. 

අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස වැඩිකළ යුතුද යන තර්කයට පදනම් වන කරුණු කිහිපයක්ම පවතින බවද පෙනේ.

සියලු‍ම රාජ්‍ය නිලධාරීන් විශ්‍රාම ගැනීමේ දී තම මනාපය පළකරමින් විශ්‍රාම පාරිතෝෂිතයකට හිමිකම් ලබා ගනී. එය ඔවුනට ඇති අයිතියකි. මෙම විශ්‍රාම පාරිතෝෂිතය ලබාගත් පසු වර්ෂ දහයක් සම්පූර්ණ කරන තෙක් ඔවුනට අඩුකළ විශ්‍රාම වැටුපක් පමණක් මාසිකව ගෙවනු ලැබේ. ඒ එම පාරිතෝෂිතය නැවත අයකර ගැනීම වෙනුවෙනි.

විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ නැංවීමේ ඉතා පොදු සාධකය වන්නේ ජීවන අපේක්ෂාව ඉහළ යාම වේ. 1949 වසරේ පැනවූ රෙගුලාසියකින් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 ක් වන විට අපගේ ජීවන අපේක්ෂාව වූයේ අවුරුදු 47 ක් වැනි පහළ මට්ටමකය. වර්තමානයේ ජීවන අපේක්ෂාව වයස අවුරුදු 80 ඉක්මවා ඇත. නමුත් ඊට සරිලන පරිදි විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝධනය නොවීම ගැටලුවකි. ඇල්බේනියාව, ආජන්ටිනාව, ඔස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, කැනඩාව, කියුබාව, ජර්මනිය, ග්‍රීසිය, අයිස්ලන්තය, ඊශ්‍රායලය, නෝර්වේ, නෙදර්ලන්තය, ඕමානය, රුමේනියාව, ස්වීඩනය ඇතුළු බොහෝ රටවල්වල විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 ක් හෝ ඊට වැඩි අගයක් ගනී. තවත් රටවල් කීපයක මෙම වයස අවුරුදු 66 - 67 දක්වා ඉහළ අගයක පවතී. වෛද්‍යවරුන් හැරුණුවිට විශ්‍රාම ගැන්වීමේ වයස අපගේ රාජ්‍ය සේවය තුළ මෑත කාලයේ කිසිදු ආකාරයකින් වැඩිවීමක් ද සිදු නොවීය. විශ්‍රාම වැටුප් අහිමි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විශ්‍රාමගැන්වීමේ වයස් සීමාව වූ අවුරුදු 65 තවදුරටත් දීර්ඝ කිරීමට ගෙන ආ යෝජනාව මූලාරම්භයේ දීම හකුළා ගැනීමට බලධාරීන්ට සිදුවිය.

ශ්‍රී ලංකාව තුළ ඉහළ අධිකරණයන්හි සේවයේ නියුතු විනිසුරුවරුන් නීති විශාරදයන් වශයෙන් හඳුන්වනු ලබන්නේය. ප්‍රාථමික අධිකරණවල සිට ඉහළ අධිකරණ සඳහා නිසි පරිදි ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේ‍ විනිසුරුවරුන් අතළොස්සකට පමණි. ඇතැම්විට නීතිපතිතුමා හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුටද මෙම අවස්ථාව හිමි වී ඇත. ඉතා කලාතුරකින් විශ්වවිද්‍යාල මහාචාර්යවරියකට හා පිළිගත් බාහිර නීතිඥවරුන් කුඩා ප්‍රමාණයකට මෙම අවස්ථාව හිමි වී ඇති බවද දැනගත යුතු කරුණකි. මෙම තත්ත්වය මත සුදුසු නෛතික ක්‍රියාමාර්ග ගනිමින් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාවන් ඉහළ නැංවීම සිදුකිරීමට වුවද අවකාශය පවතින බව සඳහන් කළ යුතු වේ.

තවද විනිසුරුවන්ගේ විශ්‍රාම ගැන්වීමේ ක්‍රියාවලිය ද වෙනස් වූ පරාසයන් පෙන්නුම් කෙරේ. කම්කරු විනිශ්චය සභා මහේස්ත්‍රාත් හා දිසා අධිකරණයන්හි විනිසුරුවන් පත්කිරීම, උසස් කිරීම, විනය කාර්යයන් ඉටු කිරීම හා විශ්‍රාම ගැන්වීමේ බලතල අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැවරී ඇත. 1978 දී එම කොමිෂන් සභාව විසින් පනවන ලද හා ඊට අනුශාංඝික අධිකරණ සේවා කොමිෂන් සභා රීති මගින් ඒ සඳහා අවැසි නෛතික පදනම සලසා ඇත. මහාධිකරණ අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් සම්බන්ධව අධිකරණ සංවිධාන පනත හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විශ්‍රාම ගැන්වීම ජනාධිපතිවරයා වෙත පැවරී තිබේ.

ඇතැම් රාජ්‍ය නිලධාරීන් නියමිත වයස් සීමාවෙන් විශ්‍රාම ලබා ඉන් අනතුරුව කොන්ත්‍රාත් පදනම මත යළි සේවයේ නියුතු අවස්ථාවන් දැකිය හැකි වේ. අමාත්‍යංශ ලේකම්වරුන්ගේ පළපුරුද්ද හා විෂයානුබද්ධ අවශ්‍යතාවන් මත එම අවස්ථාව ඇතැම් විට ලැබී ඇත. නමුත් විනිසුරුවරුන් නියමිත වයස සම්පූර්ණ වූ පසු විශ්‍රාම ගැන්වීමෙන් පසු කොන්ත්‍රාත් පදනම මත යළි අධිකරණ සේවයේ යෙදවූ අවස්ථා පිළිබඳ ආදර්ශයන් විරලය.

අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු-වරයකු ලෙස සේවය කොට විශ්‍රාම වැටුපක් සඳහා උරුමකම් කීමට වසර 03 ක සේවා කාලයක් සපුරා තිබිය යුතුය. වසර 03 ක අවම සේවා කාලයක් වෙනුවෙන් කිසිදු වෙනත් නිලධාරියකුට විශ්‍රාම වැටුප් ලැබීමට හිමිකම් නැත. ඉහළ අධිකරණයන්ගේ ඇති සුවිශේෂිතාවය හේතුකොට ගෙනම මෙම අවස්ථාව හිමිකර දී ඇති බව සැලකිය යුතුය.

වරක් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝජනය කළ විනිසුරුවරයකු විශ්‍රාම ගැන්වීමට පෙර සපුරා තිබුණේ වසර 02 ක සේවා කාලයක් පමණි. එය විශ්‍රාම වැටුප අහිමිවීමට හේතු සාධකයක් විය. මෙවැනි එක් අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීමට පෙර වසරක කාලයක් තානාපති සේවයේ නිරතව සිටි නිතිඥවරයකුට එම සේවා කාලය ද එකතු කොට විශ්‍රාම වැටුප සකස් කර දෙනු ලැබුවේ - රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමාට ලැබී ඇති බලතල අනුව එනම් පෙර ඕනෑම සේවා කාලයක් එකතුකොට අවම සේවා කාලය සපුරාලීමට විධානයක් පැනවීම තුළිනි.

අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුනට ඉහළ විශ්‍රාම වැටුප් ප්‍රතිශතයකට හිමිකම් කිව හැකිය. ඒ 2001 වසරේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයට ඇතුළත් කළ සංශෝධනය මගිනි. එම ප්‍රතිශතය වැටුපෙන් සියයට අනූවක් වේ. වෙනත් ආකාරයකින් දැක්වුව හොත් වසර තුනක සේවා කාලය වෙනුවෙන්  සියයට 90 ක විශ්‍රාම වැටුපකට හිමිකම් කිව හැකිය. 

මෙම කරුණුවලින් පැහැදිලි කෙරෙන්නේ අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් යනු සුවිශේෂි පිරිසක් බවය. එම සුවිශේෂීතාව නිසාම සුවිශේෂි වරප්‍රසාදයන් ගණනාවක් විශ්‍රාම වැටුප් හිමිකම හා විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ඔවුනට අත්කර දී ඇත.

සියලු‍ම රාජ්‍ය නිලධාරීහු විශ්‍රාම ගැනීමේ දී තම මනාපය පළකරමින් විශ්‍රාම පාරිතෝෂිතයකට හිමිකම් ලබා ගනිති. එය ඔවුනට ඇති අයිතියකි. මෙම විශ්‍රාම පාරිතෝෂිතය ලබාගත් පසු වර්ෂ දහයක් සම්පූර්ණ කරන තෙක් ඔවුනට අඩුකළ විශ්‍රාම වැටුපක් පමණක් මාසිකව ගෙවනු ලැබේ. ඒ එම පාරිතෝෂිතය නැවත අයකර ගැනීම වෙනුවෙනි. ඉන් අනතුරුව අඩු නොකළ විශ්‍රාම වැටුප ලැබීමට හිමිකම පවතී. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන්ද ඔවුන් ලබාගන්නා විශ්‍රාම පාරිතෝෂිතය වසර 10 කින් අඩුකිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවකු එම ඉහළ අධිකරණයේ පැවරූ නඩුවක තීන්දුව වූයේ එසේ නැවත අයකරගත නොහැකි බවයි. 

“ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර-වරයකුගේ ද අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයකුටද ගෙවිය යුතු වැටුප සහ විශ්‍රාම වැටුප් හිමිකම එම විනිශ්චකාරවරයා පත්කරනු ලැබීමෙන් පසුව අඩු නොකළ යුත්තේ ය.” යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන් පනවා ඇති විධානයක් එසේ වීමට හේතු වන්නට පුළුවනි.

කුමන හේතුවක් මත හෝ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට සංශෝධනයක් සිදුකිරීම ඉතා බැරෑරුම් කාර්යයක් වනු ඇත. එම සංශෝධනවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනු කළ හැකිය. එමෙන්ම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් එය සම්මත කළ යුතු වීම ද අත්‍යවශ්‍ය වනු ඇත.

අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධි-කරණයේදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස වැඩි කරන්නේ නම් ඉහත අභියෝගයන්ට වත්මන් රජයද මුහුණ පානු ඇත. එබැවින් මේ වනවිටත් ඉහළ අධිකරණයන්හි පවතින පුරප්පාඩු පවා සම්පූර්ණ නොකර ඇති තත්ත්වයක් තුළ අධිකරණ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් රජය විමර්ශනශීලීව කටයුතු කළ යුතු බව පෙනේ.