ගෙවීගිය සතියේ දී ලෝකයේ අවධානය චීනයේ ටියන්ජින් වෙත යොමු වූයේ එහි පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවාරය නිසා ය. ඊට චීන ජනාධිපති ෂී ජින්පින්ග්, රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි ඇතුළු නැගී එන රාජ්‍ය ගණනාවක නායකයෝ සහභාගී වූහ. ගෝලීය උතුරේ ආර්ථික බලය පිරිහෙමින් ඇති සන්දර්භයක හා ඇමෙරිකානු තීරු බදු බලාත්මක වෙන තත්ත්වයක චීනයේ දී චීන-ඉන්දියා නායකයන්ගේ හමුව ගැන ලෝකයා මහත් අවධානයෙන් පසුවූයේ ය. තවදුරටත් තරගකරුවන් ලෙස එකිනෙකා දකින ප්‍රවේශයක් වෙනුවට හවුල්කරුවන් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම එහිදී දෙරටේ නායකයන් විසින් අවධාරණය කරනු ලැබීය. මෙහි දේශපාලන හා ආර්ථික ඇඟවුම් ගැනත් චීන-ඉන්දියා සහයෝගීතා ක්ෂේත්‍රයෙහි ශ්‍රී ලංකාව සිය විදේශ ප්‍රතිපත්තිය හැසිරවිය යුතු ආකාරය ගැනත් ආචාර්ය දයාන් ජයතිලක සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ ලිපියක් මෙසේ ය.
ඇමෙරිකානු ආධිපත්‍යට එරෙහිව ත්‍රිකෝණාකාර එකමුතුවක්
ෂැංහයි සහයෝගීතා සංවිධානයේ මේ වසරට අදාළ රැස්වීම පසුගිය සතියේ චීනයේ ටියන්ජින් ප්‍රදේශයේ දී ඉතා සාර්ථකව පවත්වන ලදී. එම සමුළුවේදී සහ ඒ අසබඩ සිදු වූ තවත් වැදගත් සිදුවීම් කිහිපයක් තිබේ. මෙම සංවිධානය සාපේක්ෂව පැරණි සංවිධානයක් වුවත් වර්තමානය වෙනවිට වඩාත් පුළුල් සහ ශක්තිමත් එකක් බවට පත්ව ඇත. මෙහි ආරම්භයේ දී රුසියාව, චීනය හා පෙර පැවති සෝවියට් සමූහාණ්ඩුවට අයත් තජිකිස්තානය, උස්බෙකිස්තානය, කස්කස්තානය ඇතුළු රටවල් කිහිපයක් එකතු වී සිටියේ ය. ඉකුත් සතියේ පැවති සැසියට ස්ථාවර හා නිරීක්ෂක සාමාජික රාජ්‍ය 20 ක් පමණ සහභාගි විය. මෙපරිදි මෙම සංවිධානය පුළුල් වී තිබීම පළමු වැදගත්කම ලෙස සැලකිය හැකි ය.
එමෙන් ම මෙම සැසිවාරයේ දී ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් ඉතා සුහද සහ ගැඹුරු සාකච්ඡාවක නිරත වූ අයුරු දැකගන්නට ලැබිණ. භූ දේශපාලනික තරගකරුවන් හැටියට කටයුතු කරනවා වෙනුවට ආර්ථික හවුල්කරුවන් ලෙස ක්‍රියා කිරීමට එහිදී නායකයෝ එකඟ වූහ. එය දෙවැනි වැදගත්කමයි. තුන්වැනුව මෙම සමුළුවට ඉන්දීය හා පාකිස්තාන අගමැතිවරුන් සහභාගීවීම ද කැපී පෙනිණ. සිව්වැනුව ලෝක දේශපාලනයේ ඉතාමත් වැදගත් කේන්ද්‍ර තුනක් අතිශය සුහදව කටයුතු කරනු දැකගන්නට ලැබිණ. ඒ චීන හා රුසියා ජනාධිපතිවරුන් සහ ඉන්දියානු අගමැතිවරයා ය. එකී ත්‍රිකෝණාකර සබඳතාව ද ලෝකයාට දැකගත හැකි විය.
මෙවර පැවැත්වුණු ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සංකල්පීය හරය විමසා බැලීමේ දී චීන ජනාධිපතිවරයා ලෝකය පිළිබඳව ඉදිරිපත් කළ දැක්ම අතිශය වැදගත් ය. ගෝලීයකරණය ඉදිරියට යා යුතු වුවත් එය වඩාත් සාධාරණ සහ සමබර එකක් විය යුතු බව එහිදී චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ ය. එම ප්‍රකාශය සහ එහි ඇඟවුම් වැදගත් වෙන්නේ ගෝලීයකරණය නැවැත්වීමට හෝ එහි මුදුනත වැජඹෙන තත්ත්වයක් ඇමෙරිකාවට බලහත්කාරයෙන් හෝ ලබාගැනීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා තීරු බදු පැනවීම ඔස්සේ උත්සාහ දරන පසුබිමක ය. ඇමෙරිකාව ඉන්දියානු භාණ්ඩවලට සියයට 50 ක තීරු බද්දක් පැනවීය. එහෙත් චීනයට පැනවූයේ ඊට වඩා අඩු තීරු බදු ප්‍රතිශතයකි. ඉන්දියාවට පැන වූ තීරු බදුවල කොටස් දෙකක් ඇත. පළමුවැන්න ඉන්දියාව ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩවලට සියයට 25 ක තීරු බද්දක් පැනවීම ය. ඉතුරු සියයට 25 ඉන්දියාවට ලබා දුන් දඬුවමකි. එම දඬුවම වනාහි ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලට ගන්නා නිසා එයින් ලැබෙන මුදල්වලින් රුසියාව යුක්රේන යුද්ධය කරගෙන යන බවට ඇමෙරිකාව නගන චෝදනාවයි. එසේ වුවත් චීනය රුසියාව සමග කරන ගනුදෙනුවලදී ඉන්දියාව රුසියාවෙන් මිල දී ගන්නා ප්‍රමාණයට වඩා වැඩි තෙල් ප්‍රමාණයක් මිල දී ගනියි. එයින් හැඟෙන්නේ තෙල් වෙළෙඳාම මත පදනම්ව රුසියාවට වැඩි මුදල් ප්‍රමාණයක් ලැබෙන්නේ ඉන්දියාවෙන් නොව චීනයෙන් බව ය. තත්ත්වය එසේ තිබිය දීත් චීනයට පැනවූ තීරු බද්ද ඉන්දියාවට වඩා අඩු ය.
ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු අගමැතිවරයා සෘජුව ප්‍රකාශ කළේ සිය රටේ ගොවීන් තමන් ආරක්ෂා කරන බවත් ඇමෙරිකානු භාණ්ඩවලට පනවා ඇති තීරු බදු අඩු නොකරන බවත් රුසියාව සමග පවත්වන මිත්‍ර සබඳතා අත් නොහරින බවත් ය. චීනය සදාතනික සතුරකු ලෙස සලකා කටයුතු නොකරන බවටත් තමන්ට තවත් විකල්පයක් ඇති බවටත් ඉන්දියානු අගමැතිවරයා ඇමෙරිකාවට ඒත්තු ගැන්වීය. ඉන්දියාව ඇමෙරිකාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඒ ආකාරයේ සෘජු ප්‍රතිචාරයක් දැක්වීම ප්‍රශංසාත්මක ය. මේ සියල්ල සැලකීමේ දී පෙනී යන්නේ ඇමෙරිකානු ආර්ථික ආධිපත්‍යයට එරෙහිව චීනය, ඉන්දියාව, රුසියාව යන රටවල් එකතු වී ඇති බව ය. වෙසෙසින් ම චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ආර්ථිකමය හෝ මිලිටරිමය වශයෙන් ලෝකයට තර්ජනය කරන තනි රටක් තිබිය නොහැකි බව ය. එවැනි තර්ජනවලට තමන් විරුද්ධ බව ද ඔහු කීවේ ය. මෙයින් හැඟෙන්නේ ඇමෙරිකානු ආධිපත්‍යයට විරුද්ධව චීනය වෙනම විකල්පයක් ඉදිරිපත් කර ඇති බව ය.
ක්වොඩ් සංවිධානයේ සෙලවෙන දත
ගෝලීයකරණ ක්‍රියාවලිය ගත්විට ඇමෙරිකාව එක් අතකින් එයට සහයෝගය ලබා දේ. එයට හේතුව වන්නේ රුසියාව හා චීනය ලෝක ධනපති ක්‍රමය වෙත ඈඳාගෙන ලෝක ආර්ථික අර්බුද සමනය කිරීම සඳහා චීනයේ ආර්ථික ශක්තිය භාවිත කිරීමට ඇමෙරිකාවට ඇති අවශ්‍යතාවයි. එහෙත් කල් යාමේදී ඇමෙරිකාවට ප්‍රත්‍යක්ෂ වූයේ ගෝලීයකරණ ක්‍රියාවලියත් සමග චීනය ඇතුළු මැද බලවතුන් පෙරට පැමිණෙන බවය. මේ සන්දර්භයේ සිදුවූයේ ආර්ථික හා සෙසු ක්ෂේත්‍රවල ඇමෙරිකාව විසින් පවත්වාගෙන යනු ලැබූ ආධිපත්‍යය අඩුවීම ය. ඒත් සමගම ඇමෙරිකානු ප්‍රතිපත්ති සම්පාදකයෝ චීනය තමන්ගේ ප්‍රධාන තරගකරුවා වශයෙන් සලකමින් මූලෝපායන් සකස් කර ගත්තෝ ය.
එම මූලෝපායන්වල එක් කොටසක් නම් ඇමෙරිකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය ඇතුළත් කර ගනිමින් පිහිටු වූ ක්වොඩ් සංවිධානය යි. එහෙත් අද වෙනවිට ඉන්දියාව ක්වොඩ් සංවිධානයේ සෙලවෙන දතක් බවට පත්ව තිබේ. ඇමෙරිකාව ආර්ථික ක්ෂේත්‍රයේ දී ඉන්දියාවට කරන තර්ජන ගර්ජන ඊට ඉවහල් වී තිබේ.
සිදුවෙමින් තිබෙන්නේ ලෝක ආර්ථික බලය ගෝලීය උතුරෙන් ගෝලීය දකුණේ ප්‍රබල රාජ්‍යයන් කිහිපයක් වෙත මාරුවීම පමණක් නොවේ. ඒ මාරුවීමට විරුද්ධව ඇමෙරිකාව සහ යුරෝපය සිය තත්ත්වය ආරක්ෂා කර ගැනීමට උත්සාහ ගැනීම ද සිදු වේ. ලෝක ධනපති ක්‍රමයේ වසර 500 ක ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වෙන්නේ මෙය සෑම කාලයක ම සිදු වූ සංසිද්ධියක් බව යි. එහෙත් මෙවර එය කළ නොහැකි වාතාවරණයක් උදා වී තිබේ. යම් රටක් ආර්ථික වශයෙන් ස්වාධීනව නැගී සිටිනවිට බටහිර අධිරාජ්‍යවාදීහු එය කුඩුපට්ටම් කළහ. ඒ වෙනුවෙන් යටත්විජිතවාදයත් ආර්ථික හා යුද බලයත් යොදාගත්හ. එසේ වුවත් අද එය කිරීම පහසු නැත. හේතුව ආර්ථික වශයෙන් පිබිදෙන මැද බලවතුන් නොයෙක් ආකාරයට සංවිධානගත වීම ය. එවැනි එක් එකතුවක් වන්නේ බ්‍රික්ස් සංවිධානය යි. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව නිත්‍ය සාමාජිකයන් වෙන එම සංවිධානය තවත් පුළුල් වෙමින් තිබේ.
ඒ ආකාරයේ තවත් සංවිධානගතවීමක් වන්නේ ෂැංහයි සහයෝගීතා සංවිධානය යි. එයත් පුළුල් වී ඇත. මෙම රටවල් ආර්ථික වශයෙන් පෘෂ්ටිමත් වෙනවිට යුදමය වශයෙන් ද ශක්තිමත් වේ. ඔවුන් ඇමෙරිකාවට විරුද්ධව රංචු ගැසෙනවා වෙනුවට තමන්ට ස්වාධීන ලෙස නැගී සිටීමට හා ක්‍රියාත්මක වීමට අවකාශ ලැබෙන ආකාරයේ නොයෙක් සංගතවීම්වලට යයි. චීන ජනාධිපතිවරයා මෙම සමුළුවේ දී මතු කළ මූලධර්ම අතර බහුපාර්ශ්වීය වශයෙන් කටයුතු කිරීම සහ බහු ධ්‍රව ලෝකයක් නිර්මාණය කිරීම එකකි. බහුපාර්ශ්වීයව කටයුතු කිරීම යන්නෙන් ඔහු අදහස් කළේ තනි රටකට අවශ්‍ය පරිදි කටයුතු කිරීම වෙනුවට සාකච්ඡා සංවාද ඇතුළත් සාමූහික ප්‍රවේශයකින් ක්‍රියා කිරීම ය. බහුධ්‍රව ලෝකයක් යන්නෙන් ගම්‍ය වෙන්නේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර නායකත්වය දෙන ලෝක ක්‍රමයක් වෙනුවට විවිධ ධ්‍රවයන් සහිත වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෝක ක්‍රමයක් නිර්මාණය කිරීම ය.
ඇමෙරිකා-යුරෝපා පරස්පරය
ඇමෙරිකාව සහ යුරෝපය අතර තිබෙන ප්‍රතිවිරෝධය හඳුනාගැනීම ද වැදගත් ය. ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසන්නේ තමන්ගේ තරගකරුවා චීනය බවත් ඇමෙරිකාව උත්සාහ කළ යුත්තේ චීනය හා රුසියාව දූරස්ථ කිරීමට බවත් ය. එහෙත් යුරෝපයේ ස්ථාවරය වන්නේ චීනයේ සගයා රුසියාව බැවින් රුසියාව මෙල්ල කළ යුතු බවය. යුක්රේන යුද්ධය භාවිත කරමින් රුසියාවේ බලය හීන කිරීම යුරෝපා න්‍යායපත්‍රයේ කේන්ද්‍රයට පැමිණ ඇත්තේ එබැවිනි. රුසියාව හා එහි ජනාධිපති පුටින් කිසිවකුගේ සැලකීමට පාත්‍ර නොවන හුදකලා රටක් හැටියට සමස්ත යුරෝපය දුටුවේ ය. එහෙත් එය එසේ නොවන බව ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවේදී සහ ඉනික්බිති පවත්වනු ලැබූ චීනයේ මහා යුද පෙළපාළියේ දී දැකගන්නට ලැබිණ. ජපානයට එරෙහිව දෙවැනි ලෝක සංග්‍රාමය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් චීන හමුදා ලද ජයග්‍රහණයෙහි 80 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් එම යුද පෙළපාළිය පැවැත්විණ. චීනයේ නවීන යුද තාක්ෂණය හා ශක්තිය එයින් ලෝකයට විදහා දැක්විණ.
ලංකාවට ආරාධනාවක් නොලැබුණේ ද? ලැබිලත් නොගියා ද?
වසර 2009 සිට ශ්‍රී ලංකාව ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සංවාද සහකරුවෙකි. පසුගිය සතියේ චීනයේ පැවැති එහි සමුළුවාරය සඳහා සංවාද හවුල්කරුවන් වශයෙන් කටයුතු කරන රාජ්‍යයන් සහභාගී විය. එහෙත් ශ්‍රී ලංකාව එහි සංවාද හවුල්කරුවෙකු වශයෙන් සහභාගී වූයේ නැත. මෙහිදී මතු කළ යුතු ප්‍රශ්න කිහිපයක් තිබේ. පළමුවැන්න මේ සමුළුවට සංවාද හවුල්කරුවෙකු වශයෙන් සහභාගී වීමට නිල ආරාධනාවක් නොලැබුණි ද යන්න ය. දෙවැන්න ආරාධනාවක් නොලැබුණි නම් ඒ ගැන මතක් කිරීමක් කළේ ද යන්න ය. තුන්වැන්න ආරාධනාවක් ලැබී ආණ්ඩුව සමුළුවට සහභාගී නොවූයේ ද යන්න ය. සිදුවී ඇත්තේ කුමක්දැයි අපි නොදනිමු.
ඉන්දියාව හා චීනය අතර ගොඩනැගෙමින් තිබෙන මහා ආර්ථික අවකාශය ඇතුළත සිටිනවා වෙනුවට මේ කුඩා දිවයිනේ කොටස් ඉන්දියාවට හා චීනයට ලබාදෙන පිළිවෙතක් ආණ්ඩුව අනුගමනය කරමින් සිටියි. කළ යුත්තේ අපේ අවකාශයෙහි ස්ථානගතවීමට එම දෙරටට ඉඩ ලබාදීම වෙනුවට චීනයේ හා ඉන්දියාවේ අන්තර්ක්‍රියාකාරීත්වය මගින් ඇතිවෙන අවකාශයෙහි අප ස්ථානගත වීම ය
ඉන්දියාව හා චීනය එකතුවෙන තැන හා ලංකාවේ අනාගතය
ඉන්දීය-චීන සමීකරණය නිවැරදිව භාවිත කිරීමෙන් ලංකාවට විශාල ප්‍රතිලාභ ලබාගැනීමට පිළිවන. එහෙත් වර්තමාන ආණ්ඩුව ඒ සඳහා කටයුතු කරන්නේ නැත. ආසියාවේ රාජ්‍ය නායකයන් අතරින් වඩාත් බුද්ධිමත් රාජ්‍ය නායකයෙකු වශයෙන් සැලකිය හැකි සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ කළ ප්‍රකාශයක් මෙහිදී සිහිපත් කිරීම වැදගත් ය. ඉන්දියාව හා චීනය ගැන ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ ඉන්දියාව හා චීනය දැවැන්ත ආර්ථික විප්ලව කරා ගමන් ගන්නා විශාල වෘක්ෂ දෙකක් බවත් ඒවායෙහි අතු එකිනෙකට ස්පර්ශ වෙන සෙවණැල්ල යට සිංගප්පූරුව සිටිය යුතු බවත් ය. ගොඩනැගෙන ඉන්දු-චීන ආර්ථික සබඳතා හමුවේ ලංකාවේ ස්ථාවරය විය යුත්තේත් එයම බව මගේ අදහස යි. එසේ වුවත් ලංකාව එම යථාර්ථයට පිටුපා ක්‍රියා කරමින් සිටියි.
ඉන්දියාව හා චීනය අතර ගොඩනැගෙමින් තිබෙන මහා ආර්ථික අවකාශය ඇතුළත සිටිනවා වෙනුවට මේ කුඩා දිවයිනේ කොටස් ඉන්දියාවට හා චීනයට ලබාදෙන පිළිවෙතක් ආණ්ඩුව අනුගමනය කරමින් සිටියි. කළ යුත්තේ අපේ අවකාශයෙහි ස්ථානගතවීමට එම දෙරටට ඉඩ ලබාදීම වෙනුවට චීනයේ හා ඉන්දියාවේ අන්තර්ක්‍රියාකාරීත්වය මගින් ඇතිවෙන අවකාශයෙහි අප ස්ථානගත වීම ය. වත්මන් ආණ්ඩුව ඔළුවෙන් සිටගෙන ලෝකය දෙස බලන බවක් මෙයින් ගම්‍ය වේ. බටහිර රටවල් මත ආර්ථික වශයෙන් රඳා පැවතීමෙන් සිදු වෙන හානි ගැන අපට අවබෝධයක් තිබිය යුතු ය. ලංකාවට ඒ ගැන අවබෝධයක් ඇති බවක් ද නොපෙනේ. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට ඕනෑ තරම් විකල්ප ගෝලීය දකුණේ ඇති අතර අප බැලිය යුත්තේ ඒවා කෙරෙහි ය.
ජනාධිපතිවරයා බලයට පත් වූ පසු බ්‍රික්ස් සංවිධානයේ සමුළුවාරයට සහභාගීවීම සඳහා ලැබුණු අවස්ථාව ප්‍රතික්ෂේප කළේ ය. ෂැංහයි සහයෝගීතා සංවිධානයේ නිරීක්ෂකත්වය ගත යුතු බව මීට පෙර පැවති රජය යටතේ ප්‍රකාශ වුව ද ඒ සම්බන්ධයෙන් පියවර ගෙන ඇත්දැයි කීමට අපි නොදනිමු. එහි නිරීක්ෂකත්වය ලබාගැනීම සඳහා ගෙවුණු වසරක කාලයේ දී ගත් පියවර ගැන විදේශ කටයුතු අමාත්‍යාංශය කිසිදු කරුණු දැක්වීමක් ද කර නැත. ලෝකයේ අලුතින් නිර්මාණය වෙන ඉඩ ප්‍රස්තා සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් කර ඇති බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට පැරණි ආකාරයටම බටහිර මත රඳා පවතින හෝ බටහිර විසින් නටවනු ලබන ජාත්‍යන්තර වැඩපිළිවෙළ සහ සංවිධානවලට හිස නමාගෙන කටයුතු කරයි. එමෙන් ම ඉන්දියාව හා ඊශ්‍රායලය සමග ඇති සබඳතා වඩාත් තහවුරු කර ගැනීමට කටයුතු කරන බවක් ද නිරීක්ෂණය කළ හැකි ය. එය නුවණට හුරු ප්‍රවේශයක් නොවේ.
ඉන්දියාව අපේ අසල්වැසියා බව සැබෑ ය. එහෙත් අසල්වැසියාට පමණට වඩා තැන ලබා දීම අනුවණකමක් යැයි පළමුව ප්‍රකාශ කොට ඇත්තේ ඉන්දියාවේ පහළ වූ මහා පඬිවරයෙකු වූ කෞටිල්‍ය හෙවත් චානක්‍ය ය. ආණ්ඩුව අසල්වැසියට විශාල ඉඩක් දී අසල්වැසියා මත පමණට වඩා රඳා පවතින බවක් දිස් වේ. දෙවැනුව මුළු ලෝකයම සමූල ඝාතක රාජ්‍යයක් වශයෙන් සැලකෙන ඊශ්‍රායල ජාතිකයන්ට වීසා නොමැතිව රටට ඇතුළුවීමට ඉඩ ලබා දී තිබේ. ආණ්ඩුවේ මේ ප්‍රවේශය නිවැරදි නොවන අතර ඉදිරියේ දී බලයට පත්වෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් යටතේ නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වේවා යන්න මගේ ප්‍රාර්ථනයයි.
උපුල් වික්‍රමසිංහ