ඉන්දියන් ආයෝජකයන්ට කොළ එළියක්


බලය පිහිටුවීමේ කැඳ හැළිය

කිසිවකුටවත් බහුතරයක් හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ මූලිකත්වයෙන් පැවැති නිලවරණ ඇතැම් සභාවකදී දැඩි ගැටුම්කාරී තත්ත්වයකට හේතු විය. ඇතැම් සභාවකදී පොලිස් ආරක්ෂාව ලබා ගන්නටද සිදුවිය.

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගය සහ ලංකා කම්කරු කොංගසය එක්ව බලය පිහිටුවීමට සැලසුම් කර තිබියදී ජාතික ජනබලවේගය සමග දිගම්බරම්ගේ දමිළ ප්‍රගතිශීලි සංධානය එක්ව බලය ලබා ගැනීම හේතුවෙන් එම සභාවටද පොලිස් ආරක්ෂාව ලබාදීමට සිදුවිය.

උපසභාපති ධුරයට පත් වූ දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජිතයන්ට ඉකුත් 2 වැනිදා වැඩ බාරගැනීමට සිදුවූයේද පොලිස් ආරක්ෂාව ඇතිවය. වතුකරයේම වෘත්තිය සමිතියක පිරිසක් ඔහුට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වීමට සූදානම් වීම හේතුවෙන් මෙසේ පොලිස් ආරක්ෂාව යටතේ වැඩ භාරගැනීමට සිදුවිය.

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර නගර සභාවේ බලය පිහිටුවීමේ විපක්ෂ වැඩපිළිවෙළ විපක්ෂයේම පක්ෂයක් වූ එජාපයේ පිරිසක් හේතුවෙන් පරාජය වූ බවද විපක්ෂය චෝදනා කරයි.
විපක්ෂය එකට සිටින බව පෙන්වුවද බලය සඳහා විපක්ෂයේ පක්ෂ මාලිමාව සමගද එකතු වූයේ දේශපාලන වේදිකාවේ කියන කතා බොරු බව ඔප්පු කරමිනි.

ඡන්ද්‍ දිනට කලින් දා මතුගම මන්ත්‍රීන් අතුරුදන්

මතුගම ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීම සඳහා ජාතික ජනබලවේගය සහ පොදු විපක්ෂය අතර පැවැති තරගයෙන් ජය අත්වූයේ පොදු විපක්ෂයටය. මතුගම සජබ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන එම සභාවට ස්වාධීනව තරග කර ජයගත් කණ්ඩායම සජබයට බඳවාගෙන සභාව ජයගැනීමේ කටයුතු සූදානම් කර තිබූ අතර ඒ ලෙසම නිලවරණයේදී සභාවේ බලය ඔවුන්ට ලබාගත හැකි විය.

පොදු විපක්ෂය ලෙස සමගි ජන බලවේගය, පොදුජන පෙරමුණ, ජාතින නිදහස් පෙරමුණ, එජාපය ඇතුළු විපක්ෂය එක මතයක සිටියේ සභාවේ බලය ලබාගැනීම සඳහාය.

බස්නාහිර පළාතේ බහුතරය නැති පළාත් පාලන ආයතනවල බලය මාලිමාවට ලබා ගැනීමේ කටයුතු භාර වූයේ නියෝජ්‍ය ඇමති නීතිඥ සුනිල් වටගලටය. කොළඹ සහ කොලොන්නාව නගර සභා බලය ජාතික ජන බලවේගයට ලබාගැනීමේ කටයුතු කළ වටගල ඇමැතිවරයා ඉන්පසුව හැරුනේ කළුතර දිස්ත්‍රික්කය වෙතය. ඔහුගේ නම පිහිටි මතුගම ප්‍රාදේශීය සභාවේ බලය විපක්ෂයට වැඩි වාසිදායක වුවත් විපක්ෂ කණ්ඩායම තුළින් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ සහයෝගය වටගල ඇමැතිවරයාට ලැබී තිබුණි.

ඡන්ද විමසීමට දින තුනකට පෙර ප්‍රදේශයේ මන්ත්‍රීවරයකුගෙන් වටගල ඇමැතිවරයාට දුරකථන ඇමතුමක් ලැබුණේ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම සොයාගත නොහැකි බවය.

‘‘ඇමැතිතුමා විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ගෙවල්වල නෑ. ඒ ගෙවල්වල අයත් කලබල වෙලා... කවුරු හරි මෙයාලව හංගගෙන...’’ එම මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඒ සමගම වටගල ඇමැතිවරයාට ලැබුණේ දුරකථන සංවාදයක හඬ පටයකි. විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ යම් මන්ත්‍රීවරයකු සමග ඔහුගේ සමීපතමයකු ඒ මොහොතේ කතා කරද්දී පසුබිමින් ඇසෙන්නේ කවුරුත් මෙතනින් යන්නේ නෑ.... මන්ත්‍රී කණ්ඩායම පාවා දුන්නොත් බාවනවා... වැනි ශබ්ද පසුබිමින් ශ්‍රවණය වන හඬ එම හඬපටයෙන් ශ්‍රවණය කළ හැකිවිය.

මේ ගැන සොයා බැලූ වටගල ඇමැතිවරයාට මන්ත්‍රී කණ්ඩායම යම් තැනක රඳවාගෙන සිටින බව පෙනී ගියේය. විපක්ෂ මන්ත්‍රීවරයකුගේ ඥාතියකු පැමිණිලි කර තිබුණේ තම මන්ත්‍රීවරයා සමග දින කිහිපයකින් සබඳතා පැවැත්විය නොහැකි බවත් ඒ ගැන සොයා බලන ලෙසත්ය.

‘‘ඔන්න එයාලගෙ ප්‍රජාතන්ත්‍රවාදය... මේ පුංචි ප්‍රාදේශීය සභාවක් දිනාගන්න මෙහෙම හැසිරෙනව කියන්නේ පුදුම දේශපාලනයක්නේ මෙයාලා කරන්නේ... මේව රටට එළිදරව් වෙන්න ඕනැ...’’ සුනිල් වටගල ඇමැතිවරයා තමාට තොරතුරු ලබාදුන් මන්ත්‍රීවරයාට කියා සිටියේය.

සජබ මතුගම ආසන සංවිධායක ජගත් විතානට පෙනී ගොස් තිබුණේ යම් පිරිසක් විපක්ෂ මන්ත්‍රීවරුන්ට මුදල් ලබාදී බලය ලබාගැනීමට උත්සාහ දරන බවය. මේ නිසා විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් හෝටලයක නතර කර ඡන්දය දිනයේ බස් රථයකින් කැඳවාගෙන ඒමට ජගත් තීන්දු කළේය. මන්ත්‍රීවරුන් හෝටලයක නතර කළද පොලිසිය එම මන්ත්‍රීවරුන් සොයන්නට පටන් ගත්තේ ඔවුන් අතුරුදන් බවට ප්‍රචාරයක් පැතිර ගිය නිසාය. ‘‘හරි අපි මෙතන නෙවෙයි මතුගම අපේ මහගෙදරට යමු...’’ එසේ කී ජගත් විතාන මන්ත්‍රීවරයා ඔහුගේ කාර්යාලය වන මහ ගෙදරට මන්ත්‍රීවරුන් පිරිස කැඳවාගෙන ගියේය. ඒ වනවිට මන්ත්‍රීවරයා බලහත්කාරයෙන් පිරිස රඳවාගෙන සිටින බවට ප්‍රචාරය වී තිබිණි. ඥාතීන්ගේ පැමිණිලි හේතුවෙන් පොලිසිය සිටියේ නවක මන්ත්‍රීන් පිරිස සොයමිනි. ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයා ඇමතූ ජගත් විතාන මන්ත්‍රීවරයා මන්ත්‍රීන් තම නිවසේ සිටින බවත් එහි පැමිණ තත්ත්වය විමසා බලන ලෙසත් දැනුම් දුන්නේය. පොලිසිය පැමිණ එහි සිටි මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ ලියාගත් අතර හැම මන්ත්‍රීවරයාම එහිදී පැවසුවේ තමන් කැමැත්තෙන් එහි රැඳී සිටින බවය. එහෙත් ජාතික ජන බලවේගය චෝදනා කරන්නේ මන්ත්‍රීවරුන් දාහත් දෙනාගේම දුරකථන ඔවුන්ට නොදී එක් අයකු අත තබාගෙන සිටින බවටය.

නිලවරණය දින උදෑසන මන්ත්‍රීන් දාහත් දෙනාම පාගමනින්ම ප්‍රාදේශීය සභාවට ගියහ. පළාත් පාලන කොමසාරිස් සාරංගා දිසානායක මහත්මිය ඡන්දය විමසන ආකාරය ගැන මන්ත්‍රීවරුන්ගෙන් විමසූ අවස්ථාවේ එහි ගාලගෝට්ටියක් හට ගත්තේය. ඡන්ද 17 ක් විපක්ෂයටද ඡන්ද 15ක් මාලිමාවට තිබූ හෙයින් බහුතරය විපක්ෂයට හිමිවී තිබුණත් ඡන්ද විමසන ක්‍රමය ගැන විමසීමේදී විපක්ෂයේ සිටි එජාප මන්ත්‍රීවරයා කියා සිටියේ රහස් ඡන්දයට යායුතු බවය. ඒ සමග සභාව යළිත් උණුසුම් විය. සභාව ගාලගෝට්ටියෙන් පිරී යද්දී වෙනත් දිනයකට එම නිලවරණය කල් දැමීමේ උත්සාහයක් පැවැති මුත් ඉතා අසීරුවෙන් එදිනම ඡන්ද විමසීම පැවැත්වීම සඳහා කොමසාරිවරිය එකඟ කරවා ගන්නට ජගත් විතාන මන්ත්‍රීවරයා සමත් විය. ඒ අනුව පැවැත්වූයේ විවෘත ඡන්ද විමසීමකි. එහිදී වැඩි ඡන්දයෙන් සභාවේ බලය හිමිකර ගැනීමට සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂය සමත් විය.
‘‘අපේ එක්කෙනෙකුට ගෙදරටම ගිහින් සල්ලි දීලා. මන්ත්‍රී අපි එක්ක හිටිය නිසා ගෙදරට දීලා තියෙන්නෙ ලක්ෂ පහක්. එයාලගෙ ක්‍රමය මුලින් දෙන්නෙ බාගයයි. ඉතිරි බාගෙ දෙන්නේ ඡන්දය දුන්නම. දීල ද කියල තහවුරු කර ගන්නත් එයාල.

බස්නාහිර පළාත් පාලන කොමසාරිස්ට නඩු

ඡන්ද ප්‍රතිඵල ගණනයේදී නිසි ලෙස මන්ත්‍රී ධුර බෙදාදීමට නොහැකි දුර්වලතා ගණනාවකින් යුතු පළාත් පාලන මැතිවරණ පනත හේතුවෙන් පළාත් පාලන ක්ෂේත්‍රයම විවිධ හැලහැප්පීම්වලට ලක්ව තිබියදී බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු විය. එම නඩුව ගොනු කළ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා සිටින්නේ තමන්ට බහුතරය ඇති බව ලිපියකින් දැනුම් දී තිබියදීත් පළාත් පාලන කොමසාරිස්වරිය එය පිළි නොගෙන රහස් ඡන්දයට යෑමට ගත් තීරණය වැරදි බවට නියෝගයක් නිකුත් කරන ලෙසය.

මෙහිදී රජය පවසන්නේ පළාත් පාලන කොමසාරිස්වරිය වරදක් කර නොමැති බවය. ඇය පළාත් පාලන පනත අනුව කටයුතු කර ඇති බවත් ඇය වෙනුවෙන් නීතිපතිවරයා මැදිහත්වීමට තීරණය කර ඇති බවත් රජයේ විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි. එයට අවශ්‍ය නීතිමය සහයෝගය රජයේ පාර්ශ්වයෙන් ලබාදීමට රජය තීන්දු කර ඇති අතර නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල ප්‍රමුඛ පක්ෂයේ නීතිඥ කණ්ඩායමක් එම කටයුතුවල නියැළී සිටියි.

සභා 91ක් විපක්ෂට 75ක් මාලිමාවට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සජබ නායකයන් ඉකුත් සතිය පුරාම නිරතව සිටියේ ස්ථිරව බලය තහවුරුව නොමැති පළාත් පාලන ආයතන විපක්ෂයට ලබා ගැනීමේ කටයුතුවලය. විපක්ෂයේ නායකයන්ට ඉකුත් සතියද අතිශය අවිවේකී විය. සභා එකසිය හැට හයක බලය පිහිටුවීමේ කටයුතු ඉකුත් සතිය වනවිට අවසන් වූ අතර එයින් සභා අනූ එකක බලය පිහිටුවීමට සජබය, පොහොට්ටුව, එජාපය, දෙමළ සංධානය ඇතුළු ඒකාබද්ධ විපක්ෂයට හැකියාව ලැබිණි. ජාතික ජන බලවේගයට හැකියාව ලැබුණේ සභා හැත්තෑ පහක බලය පිහිටුවීමට පමණි. විපක්ෂයට හිමි වූ ආයතන අතරින් තිස් පහක බලය සමගි ජන බලවේගයට හිමිවිය.

ඉකුත් සතියේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයන් සහ නීතිඥ කණ්ඩායමක් සමග සාකච්ඡාවක් පැවැත්වුණේ පළාත් පාලන කොමසාරිස් වරුන්ගේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය. එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණේ බස්නාහිර පළාත් පාලන කොමසාරිස් වරිය සම්බන්ධවය. මෙහිදී තීන්දු වූයේ කොළඹ නගර සභා නිලවරණය දින කොමසාරිස්වරියගේ හැසිරීම හේතුවෙන් ජාතික ජනබලවේගයට වාසි සහගත තත්ත්වයක් උදාවූ බවය. මේ නිසා කොමසාරිස්වරියගේ හැසිරීම හා තීන්දුව පළාත් පාලන පනතට පටහැනි බවට තීන්දුවක් ඉල්ලා උසාවියේ නඩු පැවරිමට සාකච්ඡා කෙරිණි. නීතිඥ චන්දිම වීරක්කොඩි ඇතුළු නීතිඥවරුන් මෙහිදී අදහස් දැක්වූ අතර නඩු පැවරීමේ කටයුතු ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතාට භාර කෙරිණි.

සීතාවක ප්‍රදේශීය සභාවේ ඡන්ද විමසීම වැරදි බවට එක් නඩුවක් හා මාවතගම සභාවේ නිලවරණය වැරදි බවට තවත් නඩුවක් වහාම ගොනු කිරීමට ද එහිදී තීන්දු කෙරිණි. තවත් නඩු කිහිපයක් ඉදිරියේදී පැවරීමට ද නියමිතය.

විපක්ෂනායකවරයා පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ඇතුළු පිරිසක් සමග සාකච්ඡා කළේ බලය ලබාගත් ආයතනවල කටයුතු ආදර්ශමත් හා විනිවිද භාවයෙන් යුතුව පවත්වාගෙන යාම. සම්බන්ධයෙනි. හරිත සභා ලෙස එම සභා පවත්වාගෙන යමින් පරිසරය රකින සභා ලෙස ජනතාවට ආදර්ශමත් සභා  ඇති කළ යුතු බව මෙහිදී සාකච්ඡා කෙරිණි. සභා සියල්ලේම ප්‍රධානීත් ගෙන්වා එම ආයතන පාලනය කරන ආකාරය ගැන වැඩමුංවක් ළඟදීම පැවැත්වීමටද නියමිතය.

ලොකුගේ ගේ දේහය රිය පෙරහැරින් නිවසට

හිටපු ඇමැතිවරකු වන ගාමිණී ලොකුගේගේ අභාවය ආරංචි වූ විගසම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ට දැනුම් දුන්නේ පක්ෂයෙන් කළ හැකි උපරිම උපහාරය ඔහු වෙනුවෙන් ලබාදෙන ලෙසය. ඒ අනුව දේහය සකස් කළ පසු ජයරත්න මල් ශාලාවට ගොස් දේහය භාරගෙන පිළියන්දල පිහිටි ලොකුගේ ගේ නිවසට ගෙන යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ගණනාවක්ම මල් ශාලාවට පැමිණියහ. ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සහ පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් ජයන්ත කැටගොඩ සී.බී. රත්නායක බන්දුල ගුණවර්ධන හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන හා කාදර් මස්තාන් යන හිටපු මන්ත්‍රීවරුන් ගණනාවක්ම දේහය භාරගෙන හිටපු මන්ත්‍රීවරයාගේ පිළියන්දල නිවසට ගෙන ගියේ රිය පෙරහැරකිනි. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමගේ එජාපයේ මුල් පෙළේ ප්‍රධානියකු වූ ගාමිණී ලොකුගේ පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග එක්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කිරීමට මූලික විය. ශ්‍රී ලංකා පොදුජනන පෙරමුණේ වෘත්තීය සමිති භාරව සිටියේ ගාමිණී ලොකුගේය.

‘‘ලොකුගේ අපේ පක්ෂයට බොහෝම කැපවුණ කෙනෙක්. එතුමාගේ අවසන් කටයුතුවලට පක්ෂයෙන් කළහැකි උපරිම සහයෝගය ලබා දෙන්න’’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පක්ෂයේ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

එජාපය ප්‍රතිසංවිධානය කරන්න සාකච්ඡාවක්

එක්සත් ජාතික පක්ෂයේ මුල්පෙළේ ප්‍රධානීන්ගේ හමුවක් ඉකුත් සතියේ පැවැත්වුණේ මැතිවරණයෙන් පසු පක්ෂයේ ප්‍රතිසංවිධානය ගැන සාකච්ඡා කිරීමටය. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි. ‘‘අපි පක්ෂයට තවත් වැදගත් පිරිසක් අරගෙන පක්ෂය ප්‍රතිසංවිධානය කරන්න ඕනෑ...’’ රනිල් වික්‍රමසිංහ පැවසීය.

‘‘අනේ නම් තිබුණට වැඩක් නෑ... ගන්නවනං ඉතාම සුළු ප්‍රමාණයක් පොහොට්ටුවෙන් එහෙම ගන්න පුළුවන්.’’ මහ ලේකම් තලතා අතුකෝරල කීවාය.

‘‘ප්‍රතිසංවිධානවලින් වැඩක් නෑ.... ඊට කලින් පක්ෂය ශක්තිමත් කරමු. පක්ෂය ශක්තිමත් කරන තුරු කිසි කෙනෙක් පිටින් එන්නෙ නෑ. ගිය සැරෙත් කීවනෙ ඔක්කොම කට්ටිය මෙතෙනට එනව කියල... එක් කෙනෙක්වත් ආවෙ නෑ... මෙහෙම පක්ෂය තිබුණම කවුරුවත් එන්නෙ නෑ... සංවිධානයක් නැති තැන්වලට කවුරුවත් එන්නෙ නෑ... දැන් ගම්වල ඉතාම හොඳ පිබිදීමක් තියෙනවා. සජබෙත් වැටිල තියෙන වෙලාවෙ පක්ෂය ශක්තිමත් කරන එකයි වෙන්න ඕනෑ... අපේ රටේ පෝලිම් බූත් දහදාහක් තියෙනවා. එකකට හොඳ එක්කෙනා ගානෙ දාල පක්ෂය ශක්තිමත් කළොත් දහදාහක් ඉන්නවා එතනම. ඒ දහදාහ දාලා කොළඹ හොඳ රැස්වීමක් තියමු. ලොකු පිබිදීමක් වෙයි. එතකොටනෙ මිනිස්සු අපි දිහා බලන්නෙ...’’ දොස්තර රාජිත සේනාරත්න කීවේය.
‘‘අපිට පුංචි ඡන්දෙදි ඡන්දෙ ඉල්ලපු අයට පක්ෂයෙන් කිසිම උදව්වක් කරන්න බැරි වුණා...’’ මහලේකම් තලතා අතුකෝරාල කීවාය.

‘‘ඒක ලීෆ්ලට් එකක් නොදී පක්ෂයෙන් කිසිම උදව්වක් නොකරත් මන්ත්‍රීවරු සෑහෙන ගානක් අපිට ලැබුණනෙ. මදුරාවල ප්‍රාදේශීය සභාවෙ බලයත් අපිට ලැබුණා. ඒක විතරයි අපිට තියෙන්නෙ.

අපි බිම් මට්ටමේ ඉඳල පක්ෂය ගොඩනගමු. රාජිත යළිත් කීවේය. සියළු දෙනාගේම අදහස වූයේ ඡන්දයේ අත්දැකීම් සමග පක්ෂයට ඉදිරියට යා හැකි බවය.

ඉන්දීය ව්‍යාපාරික පිරිස සමග රාත්‍රී  භෝජනයක්

ඉන්දියාවේ ප්‍රධාන පෙළේ ආයෝජකයන් පිරිසක් ඉකුත් සතියේ දිවයිනට පැමිණියහ. මහේන්ද්‍ර සන්ජිව් පූරි, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දිපාක් දාස් ප්‍රමුඛ මෙම ව්‍යාපාරික කණ්ඩායමට බලශක්ති  ක්ෂේත්‍රයේ ආයෝජකයන් ගණනාවක්ද ඇතුළත් වූහ. මෙම කණ්ඩායම බලශක්ති ඇමැති කුමාර ජයකොඩි එම අමාත්‍යංශයේ දී හමුවී ලංකවේ පවතින ආයෝජන අවස්ථා ගැන සාකච්ඡාවක්ද පැවැත්වූහ. මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉන්දීය ව්‍යාපාරිකයන් කණ්ඩායම ලංකාවේ දේශපාලන ප්‍රධානීන් කිහිප දෙනකු සහ ව්‍යාපාරික ප්‍රජාව සමග හමුවක් සූදානම් කර තිබුණේ කොළඹ පිහිටි අයිටීසී රත්නදීප හෝටලයේදීය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  වන රවි කරුණානායක, ජීවන් තොණ්ඩමන් ඇතුළු දේශපාලන ක්ෂේත්‍රයේ කිහිප දෙනකුද සමග එම සුහද හමුවට ආරාධනා ලැබ සිටි ගණන එකසිය පනහක් පමණ විය.

‘‘මොකක්ද තමුන්නාන්සෙලගෙ අදහස ලංකාවෙ ආයෝජන ගැන’’ රවි කරුණානායක එහිදී විමසුවේය. ලංකාවේ මේ වන විට ආයෝජනයට හිතකර පරිසරයක් ඇති වී තිබෙන බවත් එම අවස්ථාව ලබාගැනීමට ඉන්දීය ව්‍යාපාරිකයන් කැමැත්තෙන් සිටින බවත් කී එම ව්‍යාපාරික පිරිස ඒ සඳහා ලාංකිකයන්ගේ විරුද්ධත්වයක් තිබේදැයි පෙරළා විමසූහ.

‘‘ඕ... එහෙම එකක් නෑ.. ඉන්දියාව අපේ රටේ ආයෝජනය කරන්න ඕනෑ...’’ රවි කරුණානායක පැවසීය.

‘‘ඔබතුමාල කියනව එන්න ඕනෑ කියල... ආවම ඒ ආයෝකයන්ට බණිනවා. ඉතිං අපේ ආයෝජකයො එන්න බයයි.’’ ඉන්දීය ව්‍යාපාරිකයෙක් කීවේය.

‘‘නෑ...නෑ... අපිට හැමකෙනාට ඕනෑ... ඉන්දියාව අපට හිතවත් රටක් ලෝකයේ හතරවැනි විශාලම ආර්ථිකය කරුණාකර අපේ රටට ඇවිත් ආයෝජනය කරන්න.’’ රවි ඔවුන්ට කීවේය.

රනිල් ට්‍රයි කළ ස්ටාර්ලින්ක් 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ගෙවුනු සතිය සුවිශේෂ කාලවකවානුවක් වූ බවට සැකයක් නැත. ඔහු කාලයක් මුළුල්ලේ වෙහෙස මහන්සි වූ එලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් සැටලයිට් අන්තර්ජාල පහසුකම ශ්‍රී ලංකාවට හිමි වූයේ ඉකුත් සතියේය. 

2023 දී ඉන්දූනීසියාවේ බාලි දූපතේදී ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි රනිල් වික්‍රමසිංහට එලෝන් මස්ක් හමුවීමට අවස්ථාව උදාවිය. ඒ හමුවෙන් උපරිම ප්‍රයෝජනය ගත් වික්‍රමසිංහ හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ස්ටාර්ලින්ක් පහසුකම ලබාදෙන්නැයි එලෝන් මස්ක්ගෙන් ඉල්ලා සිටියේය. ඉහත හමුවට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනද එක්ව සිටියේය.

ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම මගින් සංඥා (සිග්නල්) දුර්වල ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකටම ඒ සේවය ලබාගැනීමට මින් පසුව අවස්ථාව උදා වන්නේය.

එලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් සැටලයිට් පහසුකම ශ්‍රී ලංකාවට හිමි වූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට පළමුවෙන්ම දැනුම් දුන්නේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නය. ඒ ආරංචිය සැලවූ විගස ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක දිනුක් කොළඹගේ ඇමතු රනිල් වික්‍රමසිංහ වහාම “X” පණිවුඩයක් මගින් එලෝන් මස්ක්ට ස්තූතිය පළකරන ලෙස දැන්වීය. හිටපු මාධ්‍ය අධ්‍යක්ෂක ශානුක කරුණාරත්නට රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ සියලු‍ විද්‍යුත් නාළිකාවලට මේ ප්‍රවෘත්තිය යොමු කරන ලෙසය. 

රජයේ සේවක පිරිසක් රනිල් හමුවෙයි 

රජයේ සේවකයින් සමග වන හමුවකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්වූයේ කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේදීය. එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකුද සහභාගී වූ ඒ හමුවේදී රජයේ සේවකයින් මුහුණදෙන ගැටලු‍ රැසක් පිළිබඳව තොරතුරු හෙළිදරව් කෙරිණි. බොහෝ රාජ්‍ය සේවකයින් ප්‍රකාශ කළේ අපට සිදුවන අසාධාරණකම් පිළිබඳව කිසිවෙකුත් කතා නොකරන බවය. වත්මන් රජයේ පඩි වැඩිවීම් සම්පූර්ණ බොරුවක් යයිද රජයේ සේවකයින් විසින් ප්‍රකාශ කරන ලදි. රාජ්‍ය සේවකයින් මුහුණදෙන ගැටලු‍ පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගැනීමේ වගකීම එජාප නායක පැවරනු ලැබුවේ පක්ෂ සභාපති වජිර අබේවර්ධනටය. 

රාජ දූත