ඇයි තවත් බලාඉන්නේ කියලයි ජනතාව අපෙන් අහන්නේ


සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි  

  • මෙතන තියෙන්නේ මේ අයගේ නොහැකියාව  

 

රටේ අලුත් දේශපාලන පෙළගැසීම් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සමග කළ සාකච්ඡාව.  


ප්‍රශ්නය:- රටේ අලුත් තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?  


පිළිතුර:- රටේ දේශපාලන තත්ත්වය විතරක් නොවෙයි. රටේ සමාජයීය තත්ත්වය, ආර්ථික තත්ත්වය, ආගමික තත්ත්වය වගේම සංස්කෘතික තත්ත්වය හිතාගන්න බැරි විදියට පිරිහිලා තියෙනවා. ජනතාව අපව හමුවන හැම අවස්ථාවකම කියන්නේ ‘‘ඇයි ඔබතුමන්ලා තවදුරටත් මේ ආණ්ඩුවට පිස්සු නටන්න ඉඩදීලා ඉන්නේ, බලන්න මුළු රටම ලෙඩවෙලා. මිනිස්සු මැරෙනවා. ව්‍යාපාර කඩා වැටිලා. ඇයි තවමත් බලන් ඉන්නේ’’ කියලා. දෙමාපියන් තමන්ගේ දරුවන් පිටරට යවන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ජනතාව අපට හැම මොහොතකම බලපෑම් කරන්නේ මේ ආණ්‍ඩුවට මෙහෙම යන්න දෙන් එපා කියලා. විපක්ෂය හැටියට ඔහොම බලාගෙන ඉන්න එපා කියලයි ජනතාව කියන්නේ. මේගොල්ලන්ට කරන්න බැරිනම් ආණ්‍ඩුව අරගෙන අපට කරන්න කියන මතයෙයි ජනතාව ඉන්නේ.  


ප්‍රශ්නය:-ආණ්‍ඩුවනම් කියන්නේ ජනතාව බුද්ධිමත්. ලෝක තත්ත්වයත් රටේ තත්ත්වයත් ජනතාව තේරුම් අරගෙන ඉන්නේ කියලා.  


පිළිතුර:- ජනතාව තේරුම් අරගෙන තියෙන විදිය මේගොල්ලො හරියට දන්නේ නෑ. රට ඇරියට පස්සේ ජනතාව පෙන්වයි ඔවුන් තේරුම් අරගෙන තියෙන්නේ කොහොමද කියලා. ජනතාවගේ සැබෑ තත්ත්වය අඳුරගන්න බැරිනම් මේ ආණ්‍ඩුවට මේ ආණ්‍ඩුව ගැන අපට හිතාගන්න පුළුවන්. කොරෝනා වයිරසය නිසා නෙමේනේ මේ ප්‍රශ්නය වෙලා තියෙන්නෙ. කොරෝනා වයිරසය කියන්නේ වෙන එකක්. රට පරිපාලනය කරන ක්‍රමය ගත්තාම ඔවුන් අසාර්ථකයි කියලා ඔප්පු වෙලා ඉවරයි. මෙතැන තියෙන්නේ මේ අයගෙ නොහැකියාව මිසක් වෙන දෙයක් නොවෙයි. දැන්  අනිත් රටවල්වල කොරෝනා නැද්ද? ඒ රටවල් මෙහෙම කඩාගෙන වැටිලද? ඒ රටවල් එකක්වත් මෙහෙම කඩාගෙන වැටිලා නෑ. අපේ රටේ තියෙන්නේ පාලකයන්ගේ අසමත්කම.  


ප්‍රශ්නය:-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කිව්වා මැතිවරණයකට යන් කියලා. මේක මේ මැතිවරණයකට යන්න පුළුවන් මොහොතක්ද?  


පිළිතුර:- එතුමා කිව්වේ මැතිවරණ කතාවක් නොවෙයි.  


ප්‍රශ්නය:-නෑ මන්ත්‍රීතුමනි. විපක්ෂනායකවරයා ඒක පැහැදිලිවම කිව්වා. ජ.වි.පෙ. නායක අනුර කුමාර කිව්වා සජිත්ගේ මොළය බලාගන්න වෙනවා කියලා.  


පිළිතුර:- සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කිව්වේ ජනතාවගේ ඇත්ත මතය විමසා බලන්න කියලයි. ජනතාවගේ මතය විමසනවා කියන්නේ අර මම කියපු කතාව තමයි. ජනතාව අපෙන් අහන ප්‍රශ්නවලට අපි පිළිතුරක් දෙන්න ඕනෑ. ජනතාව හිතනවා සමගි ජනබලවේගයට ඔච්චර කියලත් ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ජනතාව කාටද කතා කරන්නේ. ඒ නිසා අපි ජනතාවට උත්තරයක් දෙන්න ඕන. ජනතාවගේ හැඟීම ජනතාවගේ මතය තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශ කළේ. අනික් එක මතක තියාගන්න මේ රට බාරගන්නවා කියලා සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වෙ කඩන් වැටිච්ච කරකියා ගන්න දෙයක් නැති විනාශ කරපු ආර්ථිකයක් සහිත රටක්. ඒ රට වෙනස් කරලා ජනතාව ජීවත් කරවන්නයි රට බාර ගන්නවා කියලා එතුමා කිව්වේ. එතුමා සුන්දර වූ රටක් බාරගන්නවා කියලා කිව්වානම් අන්න එතැනදියි නායකයකු වැරදි වෙන්නේ. හැබැයි මේ නායකයා කිව්වේ මිනිස්සුන්ට කන්න නෑ අඳින්න නෑ. සෞඛ්‍ය ප්‍රශ්න අහස උසට. රටේ දරුවන්ට ඉගෙන ගන්න නෑ. ව්‍යාපාර කඩාවැටිලා. ආගමික නායකයෝ බේදභින්න වෙලා ජාතිවාදය වපුරගෙන යනවා. හැම අතින්ම ගරාවැටිච්ච ගිලා බැස්ස රටක් තමයි එතුමා බාර ගන්නවා කියලා කිව්වේ.  

ප්‍රශ්නය:-ආණ්‍ඩුවේ මන්ත්‍රීවරුන් කියන්නේ බල කෑදරකමට මළ කඳන් උඩින් හරි බලය ගන්න විපක්ෂ නායකවරයා උත්සාහ කරනවා කියලයි.  


පිළිතුර:- ඒ කියන්නේ ආණ්‍ඩුව පිළිගන්නවා රටේ මිනිස්සු මැරෙනවා කියලා. ඒ නිසානේ මේ මළකඳන් ගැන ආණ්‍ඩුවම කියන්නෙ.  


ප්‍රශ්නය:-මන්ත්‍රීතුමනි ආණ්‍ඩුවේ මන්ත්‍රීවරුන් කියන්නේ මේ මාරක වසංගතය අස්සේ මැතිවරණයකට ගියොත් ඇතිවන තත්ත්වය ගැනයි.  


පිළිතුර:- හරි. මේ මළ කඳන් ​ගොඩගැස්සුවේ ආණ්‍ඩුවනේ. ආණ්‍ඩුවට තියෙන්නේ ඔය කතාව කියන්න නොවෙයිනේ. ආණ්‍ඩුව තමන් අසමත් කියලා පේන්නේ එතැනින්නේ. ආණ්‍ඩුව පල්වෙලා තියෙන තරම ඒකෙන්ම පේනවනේ. ආණ්ඩුවට දෙන්න තියෙන්නේ ඔය උත්තරය නොවෙයි. ආණ්‍ඩුවට අහන්න තියෙන්නේ මොකක්ද අපේ අඩුපාඩුව කියලයි. ආණ්‍ඩුවට එහෙම අහන්න බෑනේ. ඒ වෙනුවට ආණ්ඩුව කියනවා මළ කඳන් උඩින් බලය ගන්න හදනවා කියලා. ඒ අනුව ආණ්‍ඩුව පැහැදිලිවම පිළිඅරගෙන තියෙනවා ආණ්‍ඩුවට බෑ. රටේ මිනිස්සු මැරෙනවා. තමන් සම්පූර්ණයෙන්ම අසමත් කියලා ආණ්ඩුවම පිළිඅරගෙන තියෙනවනේ.  


ප්‍රශ්නය:-ඔබ හිතනවද සමගි ජන බලවේගයේ ආණ්‍ඩුවක් හදන්න රටේ ජනතාව පෙළගැහිලා ඉන්නවා කියලා.  


පිළිතුර:- ඇයි ඔබට එහෙම දෙයක් පේන්නේ නැද්ද? ජන මතය හරියට කියවා ගන්න. ජනතාව ඉන්නේ අවස්ථාවක් එනකන්. මොකද මේ ආණ්‍ඩුවට කොරෝනා පාලනය කරන්න බැරිවුණා. මේ ගොල්ලෝ වසංගතය වසන්තයක් කර ගත්තා. අසමත් ආණ්‍ඩුව ගෙදර යවන්න ජනතාව බලාගෙන ඉන්නේ.  

ප්‍රශ්නය:- විපක්ෂය ගොවි උද්ඝෝෂණ හදලා, ගුරු උද්ඝෝෂණ හදලා කොරෝනා වගුර ගැඹුරු කළා කියලයි ආණ්‍ඩුව කියන්නේ.  


පිළිතුර:- ගුරු උද්ඝෝෂණ කළේ අපිද? ගුරු උද්ඝෝෂණ කළේ අපි නෙවෙයි. එහෙම නම් ගුරුවරුන් නෙවෙයිනේ මේ උද්ඝෝෂණ කරලා තියෙන්නේ. රටේ ගුරුවරුන්, විදුහල්පතිවරුන් කියනවනේ ගුරු වැටුප් විෂමතා විසඳනවා කියලා ආණ්‍ඩුව බොරු පොරොන්දු දීපු නිසා තමයි උද්ඝෝෂණ කළේ කියලා. ගුරුවරුන්ගේ ඡන්දයෙන්ම බලයට ඇවිත් ගුරුවරුන්ට මේ ආණ්‍ඩුව පස්ස පෙන්නන නිසා තමයි මේ සටන් හැදුණේ. අපිද ඒ උද්ඝෝෂණ කළේ? එහෙම නම් ගුරුවරුන්ට ප්‍රකාශයක් කරන්න කියන්න උද්ඝෝෂණ කළේ අපි නොවෙයි, විපක්ෂයෙ මන්ත්‍රීවරුන් කියලා.  


ප්‍රශ්නය:-මේ අසීරු අවස්ථාවෙ වුණත් ආණ්‍ඩුව සංවර්ධන ව්‍යාපෘති නතර කරලා නෑ.

  
පිළිතුර:- රට කොහේද සංවර්ධනය කරන්නේ. රටේ කරන්නේ පාරවල් කාපට් කරන එකයි. කාපට් පාරවල් සියල්ලම ප්‍රමිතියෙන් තොරයි. අනිත් කාරණය තමයි පාරවල් හදන්නේ මොකටද? කොමිස් ගහන්නනේ. වෙන මොනවටද පාරවල් හදන්නේ. මේ වෙලාවෙ ඇවිදින මංතීරු හදන වෙලාවක්ද? ගොවියා වහ බොන්න හදනවා. ගොවියට පොහොර ටික නෑ, ගොවියට වගා කරන්න නෑ. ගොවියගේ වී වලට මිලක් නෑ. ගොවියො වේදනාවෙන් බෙරිහන් දෙනවා. අනික් පැත්තෙන් මිනිස්සු කෑගහනවා. බොන්න වතුර නෑ, නාන්න වතුර නෑ කියලා. ඒවා සියල්ලම අමතක කරල දාල ඒ වෙනුවට මේ ගොල්ලො පාරවල් කාපට් කරනවා. ඇවිදින මං තීරු හදනවා. මේ දෙකෙන්ම රටට අත්වෙන වාසිය මොකක්ද කියලා මට කියන්න.  


ප්‍රශ්නය:- ඔබ කියන්නේ පාරවල් හදන්න අවශ්‍ය නෑ කියලද?  


පිළිතුර:- මේ වෙලාවෙ රටට තියෙන වාසිය මම කියන්නෙ. ආර්ථිකය ගොඩගන්න පුළුවන්ද ඕවා කරලා. එහෙම නැත්නම් මිනිසුන්ගෙ අතමිට සරුවෙන්න ​ඕකෙන් පුළුවන්ද? ජීවන රටාව වෙනස් කරන්න මේකෙන් වෙන වාසිය මොකක්ද? ඩොලර් එක හොයාගන්න විදෙස් සංචිත සොයාගන්න මේකෙන් වෙන වාසිය කියන්න. රටේ කර්මාන්ත දියුණු වෙන්න මේකෙන් වෙන වාසිය කියන්න. මේකෙන් සිද්ධ වෙන එකම වාසිය තියෙන්නේ ආණ්‍ඩුවේ ඉන්න ඇමැතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට විතරයි. ඒ අයට කොමිස් ගහන්න මේ වැඩේ කරගෙන යනවා. එහෙම කියන ගමන් ජනතාවට කියනවා තුන් වේලෙන් දෙවේලක් කන්න කියලා. ආණ්‍ඩුව දන්නේ නෑ ජනතාව දැනුත් ජීවත් වෙන්නේ එහෙම තමයි කියලා. දෙ​වේලක් තියා එක වේලක්වත් කන්න රටේ බහුතර ජනතාවට බැහැ. ඒක නොදන්න ආණ්ඩුව ගජරාමෙට කොමිස් ගහන්න පුළුවන් සංවර්ධන ව්‍යාපෘති නම් කරගෙන යනවා.  


ප්‍රශ්නය:- අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙලා මහ බැංකු අධිපතිකම බාරගත්තා. රටේ ආර්ථිකය වෙනස් වෙයි කියලා ඔබ හිතන්නේ නැද්ද?  


පිළිතුර:- ඔන්න ජනාධිපතිතුමා 20 වැනි සංශෝධනයත් එක්ක දුන්න හොඳම වැඩක් තමයි ඔය වැඩේ. දැන් ඔය කබ්රාල් හිටපු රාජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ආර්ථිකය ගැන ලොකු පුරසාරම් දෙඩුවනේ. දැන් ඔය පුරසාරම් දොඩොන කෙනාට දැන් ඔන්න බාර දුන්නා. පුළුවන්නම් කරලා පෙන්වපන් කියලා. ඊළඟ එක තමයි අප දන්නවනේ මහ බැංකු වෝහාරික වාර්තා අපි ළඟ තියෙනවනේ. ඒ වාර්තාවේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. එයා මීට කලින් මහ බැංකු අධිපතිවෙලා ඉන්න කාලේ සම්බන්ධයෙන්. දැන් ඔන්න හරියටම අතට දුන්නා තොණ්ඩුව. දැන් කරලා පෙන්නුවේ නැත්නම් මොකක්ද වෙන්නේ කියලා බලාගන්න කියලා.   


ප්‍රශ්නය:-ඔහුවගේ පළපුරුදු කෙනෙකුට ආර්ථිකයේ යම් වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා ඔබට හිතෙන්නෙම නැද්ද?  


පිළිතුර:- ආපු ගමන් කරපු වැඩේ මොකක්ද? එයා කිව්වා ණය අඩු කරනවා කියලා. ණය ගන්නවා වෙනුවට වෙනත් ආදායම් හදනවා කියලා. පෙන්වන්න බලන්න රටේ අපනයනය සම්බන්ධව කිසිම වැඩ පිළිවෙළක් මේ අයට නෑ. කෘෂිකර්මාන්තය හෝ වෙනත් නිෂ්පාදන කටයුතු වලට රටේ වැඩපිළිවෙළක් නෑ. අනිත් අතට රටේ සම්පත් ජාත්‍යන්තර ආදායම් ලබන්න පුළුවන් විදියට හසුරුවන්න පුළුවන්. ඒකට වැඩපිළිවෙළක් නෑ. සේවා සම්බන්ධව ගත්තත් පිටරටට විකුණන්න පුළුවන් සේවා හදලා නෑ. අපේ කර්මාන්ත ඉදිවෙන්නේ නෑ විදේශ විනිමය ගන්න පුළුවන් වැඩසටහන්වලට. ඊළඟට විදේශ රැකියා කරන අය ආරක්ෂා කරගන්නවත් අලුත් විදේශ රැකියා නිෂ්පාදනය කර ගැනීමටවත් වැඩපිළිවෙළක් නෑ. ඒ හරහා අපේ රටට වෙනත් ආදායම් මොකක්වත් නෑ. හැබැයි මේ ආණ්‍ඩුවට කරන්න පුළුවන් එකම දේ රටේ දේපොළ ටික, ඉඩම් ගොඩනැගිලි ටික ඒ වටිනාම සම්පත් ටික පිටරටට විකුණන එක. එහෙම නැත්නම් රජය හැසිරවිය යුතු දේවල් පිටරටට විකුණන්න පුළුවන්. ඒවායෙන්නම් දේශද්‍රෝහී විදියට ආදායම් උපයන්න හදන්නේ මේ රටේ දේ පිටරටට විකුණපු ආණ්‍ඩුව හැටියට මේ ආණ්‍ඩුව ඉතිහාසගත වෙනවා. ඒ රාජකාරිය තමයි අලුත් මහ බැංකු අධිපතිතුමාට බාර දීලා තියෙන්නේ. අපි සතුටු වෙනවා. අනිත් අය මෙනවා කිව්වත් මම හිතනවා එතුමට බාරදීපු වැඩේ අපට විපක්ෂයක් හැටියට ඉතාම හොඳයි. අපට කතා කරන්න ගොඩාක් මාතෘකා හදලා දෙයි කියලා මම හිතනවා.  


ප්‍රශ්නය:-තමන්ට එල්ල වෙච්ච චෝදනාව නිසා රාජ්‍ය ඇමැති ධුරයෙන් ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වුණා. ඒ ගැන ඔබට දැනෙන හැඟීම?  


පිළිතුර:- ඒක විහිළුවක්නේ. කෙනෙක් තව කෙනෙක්ව මරන්න ගිහින් අහුවුණාම සමාවෙන්න කියනවා. එතකොට ප්‍රශ්නය ඉවරයිද? ඒක හරිද? අනික් කාරණය තමයි අපි බලාගෙන ඉන්නවා. මේකට ක්‍රියාමාර්ග ගත යුත්තේ ආණ්‍ඩුව මිසක් විපක්ෂය නෙවෙයිනේ. එතුමා එක රාජ්‍ය ඇමැති ධුරයකින් විතරක් අස්වෙලා අනික් අමාත්‍ය ධුරයේ ඉන්නවා. එතකොට එතුමාට නැගෙන චෝදනාවලට උත්තර දෙන්නේ කවුද? එක එක මන්ත්‍රීවරුයි ඇමැතිවරුයි ලජ්ජා නැතිව කියනවා අපි නම් දන්නෙ නෑ. මාධ්‍යයෙන් තමයි දන්නේ කියලා. බන්ධනාගාර කොමසාරිස් කියනවා එහෙම පැමිණිල්ලක් නෑ කියලා. ඒ අස්සේ සිද්ධිය සම්බන්ධයෙන් වගකීම බාරඅරගෙන රාජ්‍ය ඇමැතිවරයා ඉල්ලා අස්වෙනවා. මොකක්ද මේ රට කියලා කියන්න. ලෝකය අපට මොනවා නොකියයිද. ඒ රටවල ජනතාවට කියයි මේ වගේ රටකට යන්න එපා කියලා. අපේ රට පත් කරපු තැන බලන්න. 

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්