ආසයි බයයි සංවර්ධනය


අනුර කුමාර දිසානායක මෙරට ජනාධිපතිවරයා බවට තේරී පත්වී මාස එකොළහක් ගතව ඇතත් කැපී පෙනෙනන සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට රජයට තවමත් හැකියාවක් ලැබී නැත. ජනාධිපතිතුමාගේ ධුර කාලයෙන් තවත් ඉතිරිව ඇත්තේ සිව් වසරක් පමණකි. ඒ සමගම කැපී පෙනෙන විදේශ ආයෝජන කිසිවක්ම නව රජය යටතේ මෙරටට පැමිණ නොමැති අතර ඉන්දියාවේ බිලියනපති ව්‍යාපාරික ගෞතම් අදානි රනිල් වික්‍රමසිංහ රජය සමග එළඹ තිබුණු ඩොලර් බිලියන එකක විදුලි බල ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවන තැනට ගෙන ඒමට වත්මන් රජය පියවර ගත් නිසා අදානි එම ව්‍යාපෘතියෙන් ඉවත් විය. මේ වන විට ඔහු මෙරට රජයෙන් ප්‍රමාද ගාස්තු ද ඉල්ලා තිබේ.

ආණ්ඩුවෙ යෝජිත සංවර්ධන සැලසුම්වලට එරෙහිව තැනින් තැන කුඩා ප්‍රමාණයේ මහජන විරෝධතා ද ආරම්භ වී ඇත. මන්නාරම සුළං බල විදුලි යෝජනා ක්‍රමය ඉන් එකකි. ජනාධිපතිවරයා මන්නාරම ප්‍රදේශයේ ජනතා නියෝජිතයන් ඉකුත් සතියේ හමුවී මේ පිළිබඳ සාකච්ඡා කළ අතර සුළං බල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මසකින් කල්දමන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. මෙම විරෝධය නිසා විදුලිබල ඇමැතිවරයා ප්‍රකාශ කරන්නේ අදානි සමූහයට මන්නාරමෙන් වෙන් කළ ඉඩම් නැවත ආයෝජකයන්ට ලබාදීමට පියවර ගන්නා බවය. මේ අනුව ආණ්ඩුව සිටින්නේ ‘%ආසයි - බයයි’ සංවර්ධන ව්‍යාපෘතියක බව පැහැදිලිය. ජනතා විරෝධය නිසා සංවර්ධන ව්‍යාපෘතියක් අකුළා ගන්නේ නම් රට තුළ කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් ජනාධිපතිවරයාට ඉතිරිව ඇති වසර හතරේදී ද ආරම්භ කළ නොහැකි වනු ඇති බවට මෙම පැකිළීම අපට පැහැදිලි කරයි.

ශ්‍රී ලංකාව නිරතුරුවම විදේශ ආයෝජන කැඳවා ගැනීම පිණිස උත්සාහ කළ ද 1990 න් පසු මෙරටට මහා පරිමාණ විදේශ ආයෝජන පැමිණියේ නැත. 1977 න් පසු ආරම්භ කළ නිදහස් වෙළෙඳ කලාප යටතේ යුරෝපීය හා කොරියානු වැනි ආයෝජකයන් පැමිණිය ද ඉන් දශකයකට පමණ පසු මව් සමාගම්වල හිමිකාරීත්වය දේශීය සහ වෙනත් ආයෝජකයන්ට පැවරුණි. විදේශ ආයෝජකයෝ කිහිප දෙනෙක් පමණක් මෙරට දිගටම රැඳී සිටිති. එහෙත් එම ආයතන ද ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තයට අෑඳුණු ආයතන මිස බැර කර්මාන්ත නොවේ. 

නිදහස් වෙළෙඳ කලාප ආරම්භ කරද්දී විදේශ ආයෝජකයන්ගේ පැමිණීමෙන් නවීන තාක්ෂණය මෙරටට ගලා එනු ඇතැයි බලාපොරොත්තු මතු විය. එහෙත් එය එසේ වූයේ නැත. අලුත් ආයෝජනයක් නිසා පමණක් නොව පැරණි ව්‍යාපාරයකට හෝ කර්මාන්තයකට විදේශ ආයෝජන යෙදවීමෙන් ද නව තාක්ෂණය රටට ගලා එනු ඇතැයි බොහෝ විට බලාපොරොත්තු වේ. තාක්ෂණය ගලා ඒම මගින් නිෂ්පාදනය වේගවත් වී රටේ ආර්ථික වර්ධනය වඩාත් වේගවත් වී ජනතාවගේ ආදායම් මාර්ග වැඩි දියුණු වන බවත් ජීවන තත්ත්වය ඉහළ යනු ඇති බවත් බලාපොරොත්තු විය. එහෙත් එසේ සිදු වූයේ නැත.

1969 දී ඉතාලියේ ‘ලැම්බ්‍රෙටා’ මෝටර් රථ සමාගම විසින් ජාඇල කර්මාන්ත ශාලාවක් විවෘත කළේය. වර්තමාන ත්‍රිවිලරයට සමාන රෝද තුනේ වෑන් රථයක් සහ ස්කූටර් රථ එහි නිෂ්පාදනය කළත් 1977 වන විට එම කර්මාන්ත ශාලාව වැසී ගියේය. 1970 අගෝස්තුවේ පූර්ණ දේශීය නිෂ්පාදනයක් ලෙස ඇරඹූ ‘උපාලි ෆියට්’ මෝටර් රථ සමාගම වේගයෙන් දියුණු වෙමින් පැවැතියත් 1977 නිදහස් වෙළෙඳ සුළඟට ගසාගෙන ආ නවීන මෝටර් රථවලට මුහුණ දීමට උපාලි මෝටර් රථ සමාගමට නොහැකි විය.

ආයෝජන යනුවෙන් දියුණු රටවල් සිදුකරන්නේ දියුණුවෙන් ඌන රටවල තම ධනය ආයෝජනය කර ලාභය ඇද ගැනීමය. තම රටවල ශ්‍රමයට වඩා අඩු දියුණු රටවල ශ්‍රමය ලාබ දායක නිසා එවැනි රටක කුඩා කර්මාන්තකරුවකුට වුවද අඩු දියුණු රටක දී ආයෝජකයකු විය හැකිය. එහෙත් ඔවුන් සැබෑ ආයෝජකයන් නොවේ. ලාබ යනුවෙන් ඔවුන් මෙහි දී ලබා ගන්නේ සම්පත් මිලදී ගැනීමේ හැකියාවය. අවසානයේ දී ඔවුන්ට වැඩි සම්පත් ප්‍රමාණයක් මිලදී ගැනීමේ හැකියාව ලැබෙයි. ඔවුන් සමග තරග කිරීමට විදේශ ආයෝජකයන්ට ආරාධනා කළ අඩු දියුණු රටවලට නොහැකි වේ. ඒ නිසා දියුණු රටවල ජීවන තත්ත්වය හා ආදායම කරා ළඟා වීමට අඩු දියුණු රටවලට නොහැකි වේ.

අයෝජකයා දේශීය වුවද විදේශීය වුවද ඔහු යම් ව්‍යාපාරයක හෝ කර්මාන්තයක මුදල් ආයෝජනය කරනුයේ ලාබ ලැබීම සඳහාය. එය ඔහුගේ ලාබය මිස රටේ ලාබය නොවේ. එවැනි අවස්ථාවක ලාබයට අයිතිවාසිකම් කීමට ශ්‍රමිකයන්ට හිමිකමක් නැත. ශ්‍රමිකයාට ඒ වෙනුවෙන් වැටුප් ගෙවනු ලැබේ. අදාළ රටට ඒ වෙනුවෙන් බදු ගෙවීම ද ශ්‍රමිකයන් නඩත්තු කිරීම මගින් ඔවුන්ගේ රැකියා ප්‍රශ්නය තාවකාලිකව හෝ විසඳීම ද සිදුවේ. එහෙත් එම ආයෝජන තාවකාලිකය. නිදසුනක් ලෙස මැණික් පතලකට සමානය. පතලේ මැණික් අවසන් වූ පසු වෙනත් තැනක මැණික් පතලක් කැපීමට පෙර පතල අත්හැර දමයි.

මෙරටට පැමිණෙන ආයෝජන ද එවැනිය. අදාළ කාලසීමාව තුළ ලාබය උපයාගෙන ආයෝජනය අවසන් කෙරෙයි. ඇතැම් විට කීර්තිනාමයක් යම් තරමකට හෝ තිබේ නම් වෙනත් ආයෝජකයකු එහිම අලුත් ආයෝජනයක් අරඹයි. එහෙත් ආයෝජනය ආපසු ගිය පසු එම තාක්ෂණය මෙරට ඉතිරි වන්නේ නැත. එවැනි ආයෝජන සැබෑ ආයෝජන ලෙස සැලකිය නොහැකිය.

එවැනි වංචා සහගත ආයෝජනයක් ගැන අනාවරණය වූයේ ද ඉකුත් දිනවල පුත්තලම ප්‍රදේශයෙනි.
පුත්තලම අරුවක්කාරු ප්‍රදේශයේ ඉල්මනයිට් නිස්සාරණය කළ පෞද්ගලික සමාගමක කටයුතු වත්මන් රජය විසින් උසාවි නියෝග මත තහනම් කර තිබේ. හිටපු ඇමැති දෙපලකගේ ආශීර්වාදයෙන් කරගෙන ගිය මෙම ව්‍යාපෘතිය මගින් රටට හිමිවන්නට තිබූ ජාතික ආදායමක් හොර පාරෙන් අඩු මිලට වංචා කළ බවට චෝදනා නැගී ඇත.

පෞද්ගලීකරණය හෝ ආයෝජන නමින් රාජ්‍ය සම්පත් විනාශ කිරීමේ කතාවක් ඉන් අනාවරණය වෙයි. දශක ගණනාවක් තිස්සේ  රාජ්‍ය දේපොල පෞද්ගලික අංශයට පැවරීමේ කටයුතු සහ මහපොළොව මත ඇති නොඉඳුල් සම්පත් රට පැටවීමේ දී සිදුවන වංචා සහගත කටයුතුවලට ද මෙය හොඳම උදාහරණයකි.

එක්දහස් නවසිය හැට ගණන්වල බණ්ඩාරනායක ආණ්ඩු මෙරට පෞද්ගලික අංශය නැත්තටම නැතිකර දැමුවේ යම් ආදායමක් ලැබු පෞද්ගලික ආයතන රජයට පවරා ගැනීමෙනි. ඉන්පසු ඒවා කම්මැළි කුසීතයන්ගේන් පිරුණු හොර ගුහා බවට පත්විය. වසර කිහිපයක් ගත වෙද්දීම එම ආයතනවල පාලනය රජයට කරගෙන යා නොහැකිව එක්කෝ වැසි ගියේය. නැතිනම් රජයේ ආදායමෙන් නඩත්තු වන රජයට බරක් වූ ආයතන බවට පත්විය.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් පසුව ආ සෑම ආණ්ඩුවක්ම ආයෝජන සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළේ අඳුරේ අතපත ගෑම පමණය. ජේ.ආර්. පමණක් බියක් නොමැතිව සංවර්ධන කටයුතුවලට සහ විදේශීය ආයෝජන සඳහා අත තැබුවේය. කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ආරම්භ කළේ ඔහු බලයට පත්වී පළමු දින සියයට ඇතුළතය. එය දැවැන්ත ආයෝජන වැඩපිළිවෙළක් විය. ඒ සමගම නිවාස ඇමැති රණසිංහ ප්‍රේමදාස යටතේ විශාල නිවාස සංවර්ධන සහ නාගරික සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේය. මුඩුක්කු පැල්පත් දහස් ගණනකින් යුතුව තිබූ කොළඹ නගරය අලංකාර නගරයක් බවට පත් වූයේ එම වැඩ පිළිවෙළෙනි. විරෝධතා මැද වුවත් පැල්පත් කඩා මහල් නිවාස බිහිවිය. එකම මඩ ගොහොරුවක් වූ මාලිගාවත්ත නව නගරයක් බවට පත් වූයේ එම වැඩපිළිවෙළ නිසාය. මේ සියල්ලටම මුල පිරුවේ අගමැති ලෙස ජේ.ආර්. ගේ පළමු දින සියයේදීය.

1977 බලයට පත් වූ රජයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අති විශාල බලයක් තිබූ හෙයින් එම රජයේ නායකයන් කවර විරෝධතා පැමිණිය ද සංවර්ධන කටයුතු පිළිබඳව පැකිලුණේ නැත. මහවැලි මහා ජලාශ මෙන්ම නව නගරද ඉදි වුණේ එම ශක්තිමත් නායකත්වය නිසාය.

චීන රජය සමග වර්තමාන ජනාධිපතිවරයා අත්සන් කළ හම්බන්තොට යෝජිත තෙල් පිරිපහදුව තවමත් ඒ සඳහා අත්සන් කළ කඩදාසිවලට සීමා වී ඇත්තේ ආණ්ඩුවේ ‘ආසයි - බයයි’ සංවර්ධන වැඩපිළිවෙල නිසාය. වර්තමාන ජනාධිපතිවරයා චීන සයිනොපෙක් සමාගම සමග අත්සන් කළ මෙම තෙල් පිරිපහදුව ඉදිකිරීමේ ආයෝජනය මෙරටට ලැබුණු විශාලතම ආයෝජනය වුවත් එය යථාර්ථයක් වන ලකුණු පෙනෙන තෙක් මානයකවත් නැත. ඩොලර් බිලියන 3.5 ක මෙම ආයෝජනය යථාර්ථයක් වුවහොත් හම්බන්තොට වරාය ආශ්‍රිතව දැවැන්ත ඉන්ධන සැපයුම් ජාලයක් ඇති වේ. එහෙත් ව්‍යාපෘතිය තවමත් එතැනමය.

හම්බන්තොට ඛනිජතෙල් පිරිපහදුවක් ඇති කිරීමේ අදහස අද ඊයේ ඇතිවූවක් නොවේ. පළමු යෝජනාව පැමිණියේ චන්ද්‍රිකා කුමාරතුංග රජය යටතේ 2000 වසරේදීය. වුවමනාව රජයේ වුවත් ඒ සඳහා ඉල්ලුම්කරුවකු හෝ විශාල ප්‍රමාණයේ නෞකා නැවැත්වීමට වරායක් එදා ඉදිකර  නොතිබිණ. ඉන්පසු 2005 පමණ වන විට චීන රජය හම්බන්තොට වරායක් ඉදිකිරීමේ හා තෙල් පිරිපහදුවක් ඉදිකිරීමේ අභිලාෂය ඉදිරිපත් කර තිබිණ. මහින්ද රාජපක්ෂ රජය විසින් චීන ණය ආධාරයෙන් හම්බන්තොට වරාය ඉදිකළ පසු චීනය යළිත් තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට කැමැත්ත ප්‍රකාශ කළේය. මහින්ද රාජපපක්ෂ රජය 2015 දී බිඳ වැටුණු පසු බලයට ආ යහපාලන රජය චීන රජයට හම්බන්තොට වරාය අනූනව අවුරුදු බදු පදනම යටතේ පවරා දුන්නේය. ඒ වනවිටත් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු තෙල් ටැංකි සංකීර්ණයක් හම්බන්තොට වරාය ආශ්‍රිතව ද ඉදිකර තිබිණි. 2019 දී උපාය මාර්ග හා අන්තර්ජාතික වෙළෙඳ අමාත්‍යංශය නිවේදනය කළේ ඕමාන හා සිංගප්පූරු හවුල් සමාගමක් යටතේ අක්කර 200 ක ඉඩමක් ඛනිජ තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවත් එය ලංකා ඉතිහාසයේ විශාල ආයෝජනය බවත්ය. එහෙත් විවිධ කතා බහ මේ පිළිබඳව පැතිරී ගිය අතර ඕමාන රජය නිල වශයෙන් නිවේදනය කළේ තම රජය ලංකාවේ කිසිදු තෙල් පිරිපහදුවකට එකඟ වී නොමැති බවය. එම පිරිපහදුව ගැන කතාව එතැනින්ම අවසන් විය.

ඊළඟට පැමිණියේ චීන රජයට අයත් සයිනොපෙක් සමාගමය. ඒ වන විට. ජනාධිපතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහය.

2023 නොවැම්බර් 27 වැනිදා එවකට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ චීන රජයට අයත් සයිනොපෙක් සමාගම විසින් හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරීමට අදාළ යෝජනාව එදින ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවය. ඔහු පැවසුවේ සයිනොපෙක් සමාගම විසින් හම්බන්තොට ඉදිකිරීමට යෝජිත තෙල් පිරිපහදුව ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක ආයෝජනයක් වන අතර ඇමැති මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසුව ඒ පිළිබඳ ගිවිසුම් අත්සන් කිරීමේ කටයුතු සිදුවන බවය. ‘අඩුම තරමේ අපි බලාපොරොත්තු වෙනවා ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක හෝ 5 ක ආයෝජනයක් සමග අපනයනය කේන්ද්‍ර කරගත් මෙන්ම මෙරට අවශ්‍යතාවලටත් සරිලන ආයෝජනයක් බවට පත් කරන්න.’ එදා කංචන විජේසේකර ඇමැතිවරයා පැවසීය. මෙම පිරිපහදුව සඳහා ‘විටෝල්’ නමැති සිංගප්පූරු සමාගම ද ලංසු ඉදිරිපත් කර තිබුණත් රජය තෝරා ගත්තේ චීන ‘සයිනොපෙක්’ සමාගමය. විටෝල් සමාගම ඉන්පසු තරගයෙන් ඉවත් විය.
වත්මන් ජනාධිපතිවරයාගේ චීන සංචාරයේ දී සයිනොපෙක් සමාගම සමග අත්සන් කළේ එසේ තහවුරු වූ ගිවිසුම වුවත් මේ වනතුරුත් එම ආයෝජනය ගිවිසුමට පමණක් සීමා වී ඇත. ආණ්ඩුව මෙම ආයෝජනය පිළිබඳව ද ‘ආසයි - බයයි’ ප්‍රතිපත්තියේ සිටින බව පෙනෙන්නට තිබේ.

රටට ආයෝජන ගෙන එමින් රට ගොඩ නැගීම සඳහා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා යොදාගත් උපක්‍රම සහ ක්‍රියා පිළිවෙත ඕනෑම ආණ්ඩුවක් අධ්‍යයනය කළ යුතු අත්පොතක් වැන්නකි. ඔහු පළමුව ලෝකය සමග ගනුදෙනු කිරීමට පත් කළේ තමා සතුව තිබූ වටිනාම සම්පත් කිහිපයයි. මුදල් අමාත්‍යාංශය භාර වූයේ ලෝක බැංකුවේ ද සේවය කර පළපුරුද රොනී ද මැල්ටය. වාණිජ ඇමැතිවරයා වූයේ ඔක්ස්ෆර්ඩ් අධ්‍යාපනය ලැබූ ඊශ්‍රායලයේ සරසවියක ද උගන්වා තිබූ ලලිත් ඇතුළත්මුදලිය. සිරිල් මැතිව් වැනි උග්‍ර ජාතීවාදීන් ද ජේ.ආර්. සතු වුවත් ඔහු ඩොලර් ඉපැයීමේ දේවාල වැනි මුදල් වාණිජ, ආයෝජන ආදී අමාත්‍යාංශ එවැන්නන්ට භාර දුන්නේ නැත. රොනීලා, ලලිත්ලා ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරමින් ආයෝජකයන් ද මූල්‍ය අරමුදල වැනි ණය දෙන්නන් ද කැඳවා ගෙන ආවෝය. ඔවුහු මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ ප්‍රධානීන් පෞද්ගලිකව දැන හඳුනාගෙන සිටියහ. එංගලන්තයේ ඇමෙරිකාවේ, ජර්මනියේ ප්‍රධාන පෙළේ ඇමැතිවරුන් සමග එකම සරසවියේ ඉගෙන ගෙන තිබුණාහ. නැතිනම් දැඩි මිත්‍රත්වයක් තිබුණේය. මේ සබඳතා ආයෝජකයන් ගෙන ඒමට සහ සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට ඔවුන්ට හැකි විය.

වර්තමාන රජයට එවන් දැක්මක් තිබේ ද? ආයෝජන සහ මුදල් ඇමැතිවරයා වන්නේද ජනාධිපතිවරයාය. මෙම තනතුරු බදා ගැනීම චන්ද්‍රිකා කුමාරතුංග යුගයේ සිට ජනාධිපතිවරුන්ට උරුම වූවකි. එම අමාත්‍යාංශ භාර දිය යුත්තේ මහන්සි වී වැඩ කිරීමට හැකි වෙනම ඇමැතිවරුන්ටය. ජනාධිපති පදවියට උරුම වෙනත් රාජකාරි ඇති හෙයින් පෙර කී අමාත්‍යාංශවල කාර්යක්ෂමතාවට ඉන් බාධා ඇතිවේ.

අනුර දිසානායක ජනාධිපතිවරයා පමණක් නොව රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන යන ජනාධිපතිවරුන්ගේ පාලන කාල තුළ දී ද චීන සහ ඉන්දියානු විවිධ ආයෝජන මෙරටට ගෙන එන බව ප්‍රකාශ කළත් මෙරටට පැමිණි ආයෝජනයක් නැත. ලංකාවට ආයෝජන පැමිණීම සමාන කළ හැක්කේ මහලු වෙමින් සිටින අවිවාහක යුවතියන්ගේ විවාහ සිහිනවලටය. ඉලෝන් මස්ක්ගේ වර්ගයේ ආයෝජකයන් බලාපොරොත්තු නොවි ඉන්දියාවේ ටාටාට හෝ අදානිට ආයෝජන අවස්ථා ලබාදීම තුළින් මෙරට ආයෝජන සඳහා දොර විවර කරගත හැකිය.

ප්‍රේමකීර්ති රණතුංග