ආර්ථික අර්බුදයක් පෙනෙන ඉසව්වකට රට තල්ලුවෙලා


සර්වජන බලය නියෝජ්‍ය නායක හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ

රටේ වත්මන් ආර්ථිකය සම්බන්ධයෙන් හා අනාගතයේ දී ආර්ථිකයේ ඇතිවිය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් සර්ව ජන බලය නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ සමග කළ සාකච්ඡාවකි. 

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ විග්‍රහ එළි දකිනවා. ඔබ ආර්ථික විශේෂඥයෙක්. රටේ ආර්ථිකය ගැන ඔබේ විග්‍රහය කෙබඳු ද?

පිළිතුර:- ඇත්ත වශයෙන්ම ඔබේ ප්‍රශ්නයට සවිස්තරාත්මක පිළිතුරක් තමයි දෙන්න වෙන්නේ. කාලයක් තිස්සේ ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන ගැටලු දෙකක් මධ්‍යගත විදියට පවතිනවා. එකක් තමයි අභ්‍යන්තර මූල්‍ය ස්ථාවරත්වය නොමැතිවීම. දෙවැනි එක තමයි බාහිර මූල්‍ය ස්ථාවරත්වය නොමැතිවීම. 

ඔය ගැටලු දෙක සරලව කියනවා නම් ?

පිළිතුර:- ඔව්! රජයේ වියදම් ප්‍රමාණවත් පරිදි පවත්වාගෙන යෑමට වුවමනා කරන රුපියල්  ආදායම් නැතිවීම. ඊළඟට විදේශ විනිමය අවශ්‍ය කරන ප්‍රමාණයට නැතිවීම. ඔය කාරණා දෙකම  එකට එකතුවීමෙන් තමයි 2022දී ආර්ථිකය බංකොලොත්වීමට බලපාපු කාරණාව. තවත්  අවශේෂ කරුණු තිබුණා. නමුත් මේ හේතු දෙක තමයි කේන්ද්‍රියව බලපාපු කාරණාව. මේ වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියාත්මක කරන්න කියලා රජයට දීලා තියෙන න්‍යාය පත්‍රය කවුරු බලයට පත් වුණත් ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අභ්‍යන්තර මූල්‍ය ප්‍රශ්නය කියන එක යම්තාක් දුරකට විසඳිලා තියෙනවා.

ඒ කියන්නේ අයි.එම්.එෆ්. එකේ කොන්දේසි හොඳයි ?

පිළිතුර:- එහෙම නොවෙයි. ඒ විසඳීම තුළ රජයේ පුනරාවර්තන වියදම් ටික කරගෙන යන්න ඕනෑ කරන රාජ්‍ය බදු ආදායම ලැබිලා තියෙනවා. ඒ අනුව මූල්‍ය ස්ථාවරත්වයක් අභ්‍යන්තරිකව තියෙනවා. 
ඊළඟට රටින් පිට තත්ත්වය සැලකිල්ලට ගත්තාම ගෙවුම් ශේෂය, ණය සේවාකරණය ආනයන අපනයන වෙළෙඳාම කේන්ද්‍ර කර ගනිමින් ගන්නා ආදායම ප්‍රමාණවත් නෑ.

මේ පරිසරය  තුළ ආර්ථිකය කඩා වැටීමේ අනතුරක් තියෙනවා ?

පිළිතුර:- ඔය ඔබ කියන කාරණාව ගත්තොත් මේ  ඇවිල්ලා තියෙන මාවතේ ප්‍රගතිය දිහා බැලුවම අර්බුදයෙන් පස්සේ ආර්ථිකය ස්ථාවරවෙලා තියෙනවා. නමුත් ආර්ථිකය වර්ධනය වෙන්න පටන් අරගෙන නෑ. ඒ තත්ත්වය 2027 දී මූල්‍ය අරමුදලත් එක්ක තියෙන ගිවිසුම නිමාවට පත්වීමෙන් පසු නිර්මාණය වන විදේශ කම්පනවලට මුහුණ දෙන්න ශක්තිමත් බවත් රටට දීලා නෑ. ඒ නිසා 2027 දී ආර්ථිකය අර්බුදයට යනවා කියලා කෙනකුට තර්ක කරන්න පුළුවන්. තව කෙනකුට තර්ක කරන්න පුළුවන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තව ගිවිසුමකට ගිහිල්ලා අර්බුදයකට යන එක වළක්වා ගන්න පුළුවන් කියලා. ඒකෙන් අදහස් වෙන්නේ අපි අර්බුදයක් පෙනෙන ඉසව්වකට ඇවිත් කියලා.

ප්‍රශ්නය:- ලෝක යුදමය තත්ත්වයට අපේ ආර්ථිකයට කළ හා කරන බලපෑම ගැන කතා කළොත් ?

පිළිතුර:- 2025 නොවැම්බර්-දෙසැම්බර් වෙනකොට නිශ්චිතවම පුරෝකථනය වෙලා තිබුණා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තිබුණා 2026 ජනවාරි පෙබරවාරි වෙනකොට යුද්ධය ආරම්භ වෙනවා කියලා. ඒක පදනම් කරගෙන මම පොඩි ආර්ටිකල් එකකුත් කළා දිට්වා බලපෑම, මැද පෙරදිග බලපෑම, යුක්රේන - රුසියන් යුද්දේ බලපෑම, මැද පෙරදිග රැකියා වෙළෙඳපොළට එල්ලවන බලපෑම සංචාරක කර්මාන්තයට එල්ලවන බලපෑම. ඒ හරහා අපේ අපනයනයට ඇතිවන බලපෑම, නැව් ගාස්තු ඉහළ යාම ආදි මේ ඔක්කොම ගත්තාම 2026දී අපේ විදේශ විනිමය අපට ඕන කරන ඩොලර් අතිරික්ත ප්‍රමාණය ඩොලර් බිලියන 4කට වඩා වැඩි වීමට නියමිතව තිබුණා. උදාහරණයක් විදියට අපේ තෙල්වලට මාසෙකට යන වියදම ඩොලර් මිලියන 350ක් විතර තිබ්බ එක 500දක්වා වැඩි වුණා. සමහර මාසවල ඒක 800ට 900ට ගිහින් තියෙනවා. අපි ඒක පුරෝකථනය කරපු එකක් නෙවෙයි. අපි හිතුවේ 500ට 600ට වගේ යාවි. බිලියන 6 දක්වා වැඩිවෙයි කියලයි හිතුවේ.

නමුත් ඊට වඩා වැඩි වුණා. එහෙම බැලුවම යුද්ධයෙ සෘජු බලපෑමක් තියෙනවා. අවාසනාවන්ත තත්වය තමයි  එක පැත්තකින් රජයට උපදෙස් දෙන අයට හා ආර්ථික විශේෂඥයන්ට හැකියාවක් තිබුණේ නෑ මේක පුරෝකථනය කරලා ඒ සඳහා පූර්ව සූදානමක් ඇති කරගන්න. 

ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද ගොවියෝ පාරට ඇවිත් තියෙන්නේ. ආණ්ඩුවට පොහොර ටික කලින් ගෙන්න ගන්න බැරි වුණා. බෙහෙත් ටික කලින් ගෙන්න ගන්න බැරිවුණා. තෙල් උවමනා කරන ප්‍රමාණයට ගබඩා කරගන්න බැරි වුණා.

එහෙම නැත්නම් පූර්ව ගිවිසුම්වලට යෑමේ හැකියාව තිබුණා. ඒ වෙලාවේ ඒවාට නොගිය ආර්ථික ප්‍රතිඵල අද අපි භුක්ති විඳිමින් ඉන්නවා. ඒ නිසා අපේ සමස්ත සාර්ව ආර්ථිකය හැකිළීමට ලක්වෙලා තියෙනවා. ඉතින් යුද්ධය කියන්නේ අපට දරා ගන්න බැරි ප්‍රබල බාහිර කාරණයක්. ඒ කම්පනයට අපි සැලසුම් සහගතව මුහුණ දුන්නා නම් මීට වඩා යහපත් ආකාරයට කළමනාකරණය කරගන්න තිබුණා.

ඒ වගේම තමයි ඉදිරියටත් දැන් යුද්ධය නතර වුණත් මේක යථා තත්ත්වයට පත්වෙන්න තව මාස 8ක් 10ක් හෝ අවුරුද්දක් විතර යාවි. ඒකේ අනික් ප්‍රතිඵලවලට ජාත්‍යන්තර වෙළෙඳාම් මත සෘජුව බැඳී තිබෙන සහ ඒ මත යැපෙන ආර්ථිකයක් විදියට කවුරු බලයේ හිටියත් ඒ බලපෑමෙන් මිදෙන්න  බෑ. අපි යම් ප්‍රමාණයකට අනිවාර්යයෙන්ම යටත් වෙනවා. 

ඊට අමතරව අපි ඒකට  සූදානම් නොවීමේ ප්‍රතිශතයක් එකතු කළාම අපිට එල්ල වෙන බලපෑම අතිවිශාලයි.

2028 දී අපි අයි.එම්.එෆ් ණය ගෙවන්න ඕනෑ. අපි ණය ගෙවනව ද එහෙම නැත්නම් ණය ගෙවීම කල් දාගන්නව ද?

පිළිතුර:- ඇත්තටම දැන් තියෙන ගිවිසුම අනුව 2027 දී මේක අහෝසි වුණාම 2028 දී ණය ගෙවන්න ඕනෑ. 2028දී විදේශ විනිමය අපටත් ණයවලට ඩොලර්  බිලියන 3.1ක් අවශ්‍ය වෙනවා. මේ වනවිට  බොහෝ ණය වර්ග ගෙවාගෙන යනවා. නොගෙවන ණය වර්ග දෙකක් තියෙනවා. අයි.එස්.බී. සහ ද්විපාර්ශ්වික ණය ඒකේ ණය හා පොලිය එනවා. ඒකේ දැන් තියෙන ආකාරයට ගත්තොත් ඒක ගෙවන්න විදේශ විනිමය හොයන්න බැරිවෙන බවට ලෝක බැංකුවයි-ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි දෙකම ලිඛිතව දීලා තියෙනවා.

දේශීය  කර්මාන්ත ක්ෂේත්‍රයෙත් ලොකු ගොඩනැඟීමක් වුණේ නෑ. ඒ නිසා තමයි අද වෙනකොට පෝර්ට් සිටියවත් ඇක්ටිවේට් කරගන්න බැරි වුණේ. ඉතින් පොදු තත්ත්වය තුළ ගත්තොත් මේ අයට අලුතෙන් කරන්න දෙයක් තිබුණේ නෑ.

ඒකට හේතුව?

පිළිතුර:- ඒකට හේතුව තමයි මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව පුරෝකථනය කරලා තියෙන විදියට 2027 වසර වෙනකොට බදු ආදායම්වලින් අපනයන ආදායම්වලින් මේ සියල්ලෙන්ම එකතු කරගන්නා විදේශ විනිමයේ එකතුවෙන් අපට ඩොලර් මිලියන 800ක ප්‍රමාණයක හිඟයක් එනවා. ඒක ලබාගන්න  වෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළට ගිහිල්ලා ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරලා. එහෙම කරන්න නම් ඒ අවස්ථාව වෙනකොට මේ රටේ ශේෂ පත්‍රයේ තියෙන්න ඕනෑ වත්කම් හා ශේෂය කොච්චර ද කියලා නිශ්චිතව දන්වල ඒ අනුව 2029දී අපි ස්වෛරිත්ව බැඳුම්කර බිල ඩොලර් බිලියන  1-5ක කැඳවීම් කළාම මිලියන 800ක් ලැබෙයි කියලා තමයි හිතුවේ. එතකොට ඒකට යන්න අපේ රටේ ශේෂ පත්‍රය සූදානම් නෑ. ඒ නිසා ප්‍රශ්නයක් එනවා එය ලබාගන්න පුළුවන් ද කියලා.

ඒ ප්‍රශ්නය මතු වුණොත්.

පිළිතුර:- එහෙම වුණොත් කරන්න තියෙන එකම විසඳුම එක්කෝ අයි.එම්.එෆ්. ගිවිසුමෙන් එළියට ඇවිත් අපි වෙන රටවල් සමග සාකච්ඡා කරලා අපේ දිශානතිය වෙනස් කරලා මූල්‍ය පහසුකම් අරගෙන ණය ගෙවන වැඩේට යන එක. එහෙම නැත්නම් අයි.එම්.එෆ්. එකේ ගිවිසුම දික් කරලා තවදුරටත්  මේ ගමනෙම යන එක.

රටක් විදියට ගත්තාම පේන්න තියෙන්නෙ අයි.එම්.එෆ්. එක මේ ක්‍රියාත්මක කරන සැලැස්ම තුළ අපි දකිනවා ජාතික ආර්ථිකයේ ප්‍රසාරණයක් නෑ. ආයෝජන නෑ. නිෂ්පාදනය ඉහළ යන්නේ නෑ. මේ සමස්තය ගත්තාම ලොකු අර්බුදයක තමයි ඉන්නේ මේ ණය ගෙවන එක ගැන.

ඔබට  අනුව මේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය සාර්ථක ද? අසාර්ථක ද?

පිළිතුර:- ඇත්තටම ඔබේ ප්‍රශ්නය දිහා දේශපාලන ඇහැකින් බලන්නේ නැත්නම් මේ වෙලාවේ මේ ආණ්ඩුවට වගේම වෙනත් ආණ්ඩුවක් තිබුණත් මේ අයි.එම්.එම්. එකේ රාමුව ඇතුළේ තමයි ආර්ථිකය හසුරුවන්න වෙන්නේ. ඒක ස්ථිරයි. එහෙම නැතිව අපේ රටේ තියෙන ප්ලේන් එකක්වත් එළියට යවා ගන්න බැරිවෙනවා. 

එතකොට මේ ආණ්ඩුව ක්‍රියාත්මක කළේ කරපු සියලු ආර්ථික සැලසුම්වලින් සීයයට 70ක් විතර අයි එම් එෆ් එකේ කොන්දේසි. එහෙම නැත්නම් අපි සියයට 50ක් කියලා කියමු. ඉතිරි සියයට 50 තමයි ආණ්ඩුවට කරන්න  තිබුණේ. හැබැයි ඒ සියයට 50 ආණ්ඩුව කළේ නෑ. ආණ්ඩුවට ඒක කරගන්න බැරි වුණා. ආණ්ඩුවේ මොකක් හරි තියෙන ගැටලු නිසා එක්කෝ පළපුරුද්ද නැතිකම නිසා ආණ්ඩුවට සැලසුම් නොතිබුණ නිසා අනපේක්ෂිතව බලයට පත්වීම නිසා ඒගොල්ලන්ගේ ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති මොකක්වත් තිබුණේ නෑ. තියෙන ව්‍යාපෘති අඛණ්ඩව කිරීම සම්බන්ධව ආණ්ඩුවට නිශ්චිතව අදහසක් නෑ. ඒ වගේම ආයෝජකයන්ගේ පැත්තෙන් ගත්තාම  විදේශ ආයෝජකයෝ එන්නෙ නෑ.

දේශීය  කර්මාන්ත ක්ෂේත්‍රයෙත් ලොකු ගොඩනැඟීමක් වුණේ නෑ. ඒ නිසා තමයි අද වෙනකොට පෝර්ට් සිටියවත් ඇක්ටිවේට් කරගන්න බැරි වුණේ. ඉතින් පොදු තත්ත්වය තුළ ගත්තොත් මේ අයට අලුතෙන් කරන්න දෙයක් තිබුණේ නෑ. අයි.එම්.එෆ්. එකේ ප්‍රෝග්‍රෑම්  එකේ  වැඩවලිනුත් කොටසක් ඒගොල්ලන්ට කරන්න පුළුවන් වුණේ. ඒ නිසා හොඳ ආර්ථික  කළමනාකරණයක් තිබුණ අවුරුදු දෙකක් නොවෙයි මේ ආණ්ඩුව ගත කරලා තියෙන්නේ කියන කාරණව නිශ්චිතයි.

හැබැයි ඒකෙන් අදහස් කෙරෙන්නේ නෑ ඉතාම අකාර්යක්ෂමයි කියලා. අකාර්යක්ෂමයි තමයි. නමුත් මීට වඩා හොඳ තැනකට එන්න තිබුණා. ඒකට හොඳ අවස්ථාවක් තිබුණා. මේක වාමාංශික ආණ්ඩුවක්. මිනිස්සු ඒකට සූදානම්  වෙලා හිටියා. රට හොඳ දිශාතනියකට යොමු කරන්න තිබුණා. ඒ අවස්ථාවලින් ප්‍රයෝජන ගත්තානම් රටේ විශාල ආර්ථික ප්‍රසාරණයක් කරගන්න තිබුණා.

සංවාද සටහන
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්