ආර්ථික නිදහස හරස් කිරීමේ ආදීනව


සාරා කන්දෙගොඩ

ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජීවත්වීමේ නිදහස තහවුරු කෙරේ. විවෘත ආර්ථික ක්‍රමය මගින් ආර්ථික ශක්‍යතාව ඇති කරයි. ලෝකයේ රටවල් වැඩි ප්‍රමාණයක ප්‍රජාතන්ත්‍රවාදයත්, විවෘත ආර්ථිකයත් ක්‍රියාත්මකය. කෙසේ නමුත් රටවල් තුළ පවතින රාමුව පදනම් කරගෙන විවිධ ප්‍රමිතීන් පවතී. අඩුම නිදහස සමාජය තුළ පීඩනයක් ඇති කරන අතර අඩුම ආර්ථික නිදහස ද සංකීර්ණතා ඇති කරයි. ලෝකයේ අනෙක් රටවල ප්‍රවණතා සලකා බලන ජන කොටස් විෂම ස්වභාවයන්ගෙන් ඉවත්වී සුව පහසු තැන් බලා සංක්‍රමණය වෙති. අවස්ථා දිනාගත හැකි, ධෛර්යවත් කණ්ඩායම අහිමිවෙන රටවල් තවත් වටයකින් දරිද්‍රතාවට පත් වේ.

මෑත භාගය තුළ ශ්‍රී ලංකාවේ සිදුවීම් සලකා බලන පසු අනාගතය විහිදෙන දිසාව ගැන පරිස්සම් විය යුතුව තිබේ. පාලකයන්ට අනුව හැසිරවිය හැකි ජන කොටසක් ඉතාම සුදුසුය. විකල්ප අදහස් ඉදිරිපත් කරන අතර ආණ්ඩුවේ බලහත්කාරයට විරුද්ධ වෙන පිරිස් බැහැර වීම ප්‍රශ්නයක් නොවන බව කල්පනා කරන පිළිවෙළ උචිත තත්ත්වයක් නොවේ. නිදහස හා ආර්ථික ගැටලු සලකා පසුගිය කාලය තුළ සැලකිය යුතු පිරිසක් රට හැර ගොස් තිබේ. බුද්ධි ගලනයක් වශයෙන් තීන්දු කොට තීරණ ගැනීම වරදකි.

ආකෘතිය පිටතින් තීරණය කරන්නට ඉඩදීම

අයවැය යනු හුදෙක් ඉලක්කම් නොවේ. එය දර්ශනයකි. අනාගතය ගොඩනඟන වැඩ පිළිවෙළකි. ආණ්ඩුවේ නායකත්වය විශ්වාස කරන ප්‍රතිපත්ති අනුව සැලැස්මක් වෙන අතර අනන්‍යතාව එහි ප්‍රමුඛ අංගයක් විය යුතුව තිබේ. නිදහසට පසු මෙරට ආණ්ඩු ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවල බාහිර බලපෑම සඟවා තිබුණි. ආධාර කණ්ඩායම් සහ ණය දෙන ආයතන මෙකී බලපෑමෙහි බරපතළ කොටස්කරුවෝ වූහ. අපනයන ඉලක්ක කරගත් නිෂ්පාදනය, ආයෝජන ගෙන්වීමට පහසුකම්,  ණය ගැනීම, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, රාජ්‍ය ආයතන පුද්ගලීකරණය, ආහාර නිපදවන කෘෂිකර්මය නොසලකා හැරීම යනා දී උපදෙස් එම බලපෑම් අතර ප්‍රධානය. 

ඉකුත්  දශක ගණනාව තුළ අනුගමනය කරන ලද උපාය මාර්ගවල තීරණාත්මක තැනකට පැමිණ තිබේ. අසංවිධිත හා ප්‍රතිඵල නොපෙන්වන සංවර්ධනය තුළ අහිමිවීම් සමාජයට උහුලාගත නොහැකි විය. අවසානයේ දී එම ආර්ථික විෂමතා කැරලි සහ ත්‍රස්තවාදය වශයෙන් ඇවිලී උත්සන්න වී ගියේය. අභිමතාර්ථ සාක්ෂාත් කළ නොහැකි පාලකයන් ඉදිරියේ දශක තුනක කාලයක් මෙරට ජනතාව වන්දි ගෙවා ඇත. ගෙවා අවසන් කළ නොහැකි දේශීය හා විදේශීය ණය, එම ණය ආවරණය කර ගැනීම සඳහා මහජනතාව මත පනවන බදු ආර්ථිකය තදබල විකෘතියකට කැඳවා ඇත.

ජාතික ජන බලවේගය ආණ්ඩුව වෙනස් තීන්දු සහිතව හැසිරෙනු ඇති අතර කෙටි හා දීර්ඝ කාලීන සැලැස්මක් අනුව රට ඔසවා තබන අලුත් දැක්මක් ඉදිරිපත් කරනු ඇතැයි ජනතාව විශ්වාස කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකුව වැනි නූතන ආර්ථික ක්‍රමවලට නොගැළපෙන කණ්ඩායම්වල තර්කවලට ආණ්ඩුව යටත් වී ඇති බව පැහැදිලිය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇති වූ කාර්මීකරණයට උපකාරී වෙන ව්‍යුහ වශයෙන් ගොඩනගන ලද මෙම ආයතන වර්තමාන තොරතුරු තාක්ෂණ යුගයේ ඩිජිටල් ක්‍රියාකාරීත්වයට ගැළපෙන්නේ නැත. ආර්ථික අර්බුදයට මුහුණ පෑ ශ්‍රී ලංකාවට අභ්‍යන්තර ආදායම හා වියදම පියවාගැනීමට බලකිරීම හැර උත්පාදන ආර්ථිකයක් සඳහා ප්‍රතිපත්ති හඳුන්වා දෙන්නට මෙම ආධාර සපයන ආයතන අපොහොසත්ය. මාස හතළිස් අටක වැඩ පිළිවෙළකින් හරි අඩක් අවසන් කිරීමෙන් පසු එය තහවුරු වී තිබේ.

මහජනතාවගෙන් බදු පමණක් උදුරාගැනීම

ආර්ථික නිදහසක් ඇති රටක් වශයෙන් ව්‍යවසායකත්වයට ඉඩ තැබිය යුතුවේ. ජනතාවට උත්පාදන පහසුව ඇති කිරීම අවශ්‍යය. එයින් පසු ආර්ථිකය ප්‍රසාරණය වෙන අතර අලුතින් පිරෙන ධනයෙන් කොටසක් රාජ්‍ය භාගය වශයෙන් ලබා ගැනීම වරදක් නොවේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ බලකිරීම අනුව ආර්ථිකය සකස් කිරීම සඳහා අයවැය තුලනය කිරීම ප්‍රධාන අරමුණ වූ අතර වියදමට ගැළපෙන පරිදි ආදායම සකස් කර ගැනීම සඳහා බදු හඳුන්වා දී තිබේ. ශරීරයේ තරමට ඇඳුම සකස් කරගැනීම වෙනුවට ඇඳුමට සරිලන පරිදි ශරීරයේ අංග අඩුකරන තීන්දු අවසානයේ දී මහජනතාව අධෛර්යයට පත් වෙමින් සිටී. එය ඉතා අනතුරුදායක අවසානයක් සනිටුහන් කරනු ඇත.

සීමාවක් දක්වා පමණක් උපයන අතර එයින් ඉනික්බිතිව උපයන ධනය සඳහා අධික බදු අය කරන, පසු උත්පාදනය වෑයම් කිරීමෙන් පලක් නැත. උපයන ප්‍රමාණය හෙළිදරව් නොකරන්නට ද වග බලාගැනීමට ඉඩ තිබේ. විවිධ මාර්ගවලින් ලැබෙන ධනය පිළිගත් බැංකුවල තැන්පත් කිරීමෙන් වළකින අවදානමක් ඇති අතර එය මුල්‍ය පද්ධති දුබල කිරීමක් විය හැකිය. 

ක්‍රමයෙන් පිබිදෙමින් තිබුණ අනේවාසික ඩිජිටල් සේවා සඳහා වැට් බද්ද ආර්ථික නිදහසට අලුතින්ම එකතු කරන ලද ආවරණය සේ සැලකේ. ආදායම් බද්ද හෝ සමාජ ආරක්ෂණ බදුවලට යටත් කර නැති නමුත් මෙහි බලපෑම අනුව විද්‍යුත් වෙළෙඳාම, ඩිජිටල් අලෙවිය, සමාජ මාධ්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් කාර්තුවකට ඇමෙරිකානු ඩොලර් 195,000 ඉක්මවන විට බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතුව තිබේ. කොතැන කවර ආකාරයට ගෙවන නමුත් අවසානයේ දී මෙම පිරිවැය පාරිභෝගිකයාට පැවරේ. නිදහසේ ගෙන්වන ලද අයිතමවලට සියයට දහ අටක් එකතු වූ  පසු ඒවා ඇණවුම් කරන පාර්ශ්වයට අතිරේක වියදමකි. අවසානයේ දී ජීවන වියදම ඉහළට යන පියවරකි.

ජනතාවගෙවන බදු වලින් සමහරක් 

ආනයනයේ දී හා අපනයනයේ දී විවිධ ප්‍රතිශතවලින් බදු අය කෙරේ. දේශීය කර්මාන්ත හා නිෂ්පාදන ආරක්ෂා කරන පියවරක් වශයෙන් දක්වා පනවන බදු අවසානයේ දී මෙරට නිපැයුම්කරුවන් තවත් ආකෘතිගත කරනු ඇත. සහල්, අර්තාපල් හෝ ලොකු ලූනු ගොවියා ආරක්ෂා කිරීමට පනවන බදු ගොවිතැන කාර්යක්ෂම කරන්නේ නැත. පාරිභෝගිකයා අසමාන වියදමක් දරන තැනට තල්ලු කරයි. සීනි,  යකඩ, ගෙබිම අතුරන ටයිල්, සිමෙන්ති ඇතුළු මෙරට සම්පූර්ණයෙන් නිපදවිය නොහැකි දේ සඳහා ද අධික බදු නියම කිරීමෙන් ඉදිකිරීම් පිරිවැය ඉහළම තැනකට කැඳවා තිබේ. මෝටර් රථ වාහන බදු තවත් අසීමාන්තික අංශයකි. මුල්‍ය අරමුදලේ නියමය අනුව රටට ආදායම් උපයාගැනීමේ පියවරක් වශයෙන් ඉකුත් පෙබරවාරි මාසයේ සිට වාහන ගෙන්වන්නට ඉඩ දුන් අතර එයට අධික තීරු  බදු පනවා තිබේ. ආනයන බදු, රේගු ගාස්තු, ලියාපදිංචි පිරිවැය, ණයවර ලිපිවලදී අය කරන මුද්දර ගාස්තු, ණය ගැනීමේ දී අය කරන පොලිය යනා දී වශයෙන් සැලකිය යුතු වපරිසයකින් ආණ්ඩුවට ආදායමක් ලැබේ. මෙම වාහන පරිහරණය කළ පසු එයින් උපයන ප්‍රමාණයෙන් මෙම පිරිවැය ආවරණය කරගත යුතු වේ. එහි දී එම වියදම සමස්ත සමාජයටම උහුලන්නට සිදුවීම වැළැක්විය නොහැක. 

දුම්කොළ හා මත්පැන් බද්ද, දේපොළ හුවමාරුව සමග ගෙවන බදු උහුලාගත නොහැකි ප්‍රතිශතයක් දක්වා පැමිණ තිබේ. සිගරැට් එකක් මිල දී ගන්නා පාරිභෝගිකයෙකු ආණ්ඩුවට ගෙවන බද්ද රුපියල් සියයක් පමණ වේ. අරක්කු නිෂ්පාදනය කරන අතර මධ්‍යසාර ලීටරයකට ආණ්ඩුවේ අය කිරීම රුපියල් 7,244 කි. කුලී නිවැසියෙකු බදු දේපොළ මත මුද්දර බද්ද ගෙවිය යුතු වේ. වාර්ෂික කුලියෙන් රුපියල් දහසකට රු. විස්සකි. ඉඩම් නිවාස විකිණීමේ දී වටිනාකම අනුව පළාත් සභාවට ගෙවිය යුතු ප්‍රතිශතය ද සියයට දෙක දක්වා නංවා ඇත. සංගීත සංදර්ශන, නාට්‍ය හෝ චිත්‍රපට සඳහා විනෝද බද්ද අය කෙරේ. ප්‍රවේශ පත්‍රයක මිල අනුව කලා හා සංස්කෘතික වින්දනය පිරිහී තිබේ. සන්නිවේදන බදු බරපතළ හිරිහැරයකි. රුපියල් සියයක ‘‘රී ලෝඩ් ’’ කරන දුරකතන පාරිභෝගිකයෙකු ජාත්‍යන්තර ඇමතුම් හා අන්තර් ජාලවල දී එයින් රුපියල් 32.50 ක් හා දේශීය ඇමතුම් සහ ටෙලිවිෂන් භාවිත කිරීමේ දී රුපියල් 42.50 ක කොටසක් ආණ්ඩුවට ගෙවයි. සන්නිවේදන කුලුනු බද්ද සමාගම් ගෙවිය යුතුය. අලුත් කුලුනු ඉදිකර සංඥා දියුණු කිරීම වළකන මෙම පියවර ඩිජිටල් ආර්ථිකය අවහිර කර තිබේ. ආනයනික චිත්‍රපට හා ටෙලිනාට්‍ය බද්ද අමතක වී ඇත. නාළිකාවල විකාශය කරන එක චිත්‍රපටියකින් රුපියල් හැත්තෑ පන් දහසක සිට ලක්ෂ එකහමාරක් ආණ්ඩුවට ගෙවිය යුතුවේ. බදු ගෙවිය නොහැකි පසුබිම තුළ ඉංග්‍රීසි හෝ හින්දි චිත්‍රපට විකාශය නොවේ. 

කාබන් බද්ද ආණ්ඩුව ගෙවන්නේ නැත 

ජනතාවට දුම් සහතිකය ගැනීමට බල කරන නමුත් ජනාධිපති කාර්යාලයේ වාහනවලට හෝ එය බලපාන්නේ නැත. රජයේ වාහනවලින් පරිසරයට හානි සිදු නොවේ. රජයේ බස් රථ, දුම්රිය, රජයේ වාහනවලට දුම් සහතිකය අවශ්‍ය නොවේ. මහජනතාවට ලැබෙන බාහිර ආදායම රඳවාගැනීමේ සියයට 10 ක බද්දකට යටත්ය. ටින් අංකය රහිත ගනුදෙනුවල දී බැංකුව හෝ මුදල් ගෙවන අංශ එය රඳවාගෙන ආණ්ඩුවට පියවයි.  

ලොතරැයි දිනුම් මහත් වාසනාවන්ත අවස්ථාවකි’. එහෙත් වාසනාව වැඩි වෙන පසු ත්‍යාගයෙන් සියයට දහයක් රජයට ගෙවන්නට සිදුවේ. මැණික් ආදායම ද සියයට දහ හතරක් රජයට වෙන අතර කොටස් හෝ වෙනත් ලාභ මත සියයට 14 ද බද්දක් පැනැවේ. සංචාරක ආදායම සෙස් බද්දට යටත්ය. ගුවන් තොටුපොළට, වරායට ඇතුළු වෙන පසු අය කරන බද්දක් ද තිබේ. තේ, රබර්, පොල් අපනයනය හා කොටස් හුවමාරුව සෙස් බදු අය කරන අංශ අතර වේ. ලක්ෂ තිහ ඉක්මවන විට ජාතිය ගොඩනැඟීමේ  බද්ද සියයට 2 කි. වැට් ලියාපදිංචි හෝටලවල ආහාර පාන, රෝහල් චැනල් ගාස්තු, ස්වර්ණාභරණ, ඉන්ධන, ගෑස් හා ලිහිසි තෙල්, ජල බිල්පත් සහ රක්ෂණය (අග්‍රහාර කෘෂි හා සත්ව පාලනය හැර) ද වැට් බද්දට යටත්ය. නිවසට ගන්නා ජලය සඳහා වැට් ගෙවන අතර යතුරුපැදියේ පෙට්‍රල් ලීටරයට ද නොදැනුවත්වම බදු වශයෙන් රුපියල් 123.26ක් ගෙවන බව පාරිභෝගිකයෝ දන්නේ නැත.

බදු ගෙවිය යුතුය. සෘජු බදු වශයෙන් ආදායම් බද්ද, උපයනවිට ගෙවීම අනිවාර්ය වී තිබේ. පුද්ගලික අංශයේ මධ්‍යම පාන්තික කොටස් වැටුප කපා ගන්නා ආකාරය හා ආදායම් බදු ගෙවිය යුතු තරම ගැන දනී. එම කොටස ඇතුළත්ව අපට පෙනෙන සෘජු බදු ආදායම සමස්තයෙන් සියයට 40 කි. ආණ්ඩුවේ බදු ආදායමෙන් සියයට හැටක් ජනතාව නොදැනුවත්වම ගෙවමින් සිටී. අර්තාපල් කිලෝවක්, සීනි ග්‍රෑම් 500 ක් තිරිඟු පිටි කිලෝ එකක් මිල දී ගන්නා විට එහි බරට බරක් බදු සහිතව නිවසට ගෙන යන බව දැන ගැනීමේ අයිතියක් පාරිභෝගිකයන්ට තිබේ. මෙම බදු ගැන යථාර්ථය ජනතාවට දැනුම් දීම ආණ්ඩුවේ වගකීමකි.