ආණ්ඩූව කොරෝනාවට මුවාවෙලා ඔවුන්ට ඕනෑ හැමදේම කරනවා


සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන  

  • ආණ්ඩුව කියන බොරු  ලොකු වැඩියි   

දේශපාලන ලෝකය දිනෙන් දින උණුසුම් වෙමින් තිබේ. මේ ඒ උණුසුම් දේශපාලන මාතෘකා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා සමග කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය:- රටේ තත්ත්වය ගැන හිතන්නේ නැතිව විපක්ෂය ජනතාව පාරට බස්සනවා. මෙය රට අනතුරට හෙළීමක්?   


පිළිතුර:- මම විශ්වාස කරන විදියට කොරෝනා වසංගතය නිසා රට අසරණ වෙලා ජන ජීවිතය කඩා වැටිලා තියෙන අවස්ථාවක්. රට මේ පත්වෙලා තියෙන තත්ත්වයට ආණ්ඩුව වගකිව යුතුයි. ඉතාම උද්ධච්ඡ විදියට පළමු රැල්ලෙදි වගේම දෙවැනි රැල්ලෙදි ආණ්ඩුව කටයුතු කළේ. විද්‍යාව පස්සේ යන්නේ නැතිව මිථ්‍යාව පස්සේ ගියා. මුට්ටි ගඟේ දැම්මා. පැණි පස්සේ ගියා. ප්‍රතිඵලය වුණේ තුන්වැනි රැල්ලක් ඇතිවීමයි. ඒකේ ශාපය අනිවාර්යයෙන්ම ආණ්ඩුවට එල්ල වෙනවා. හැබැයි ආණ්ඩුව කොරෝනා වසංගතයට මුවාවෙලා ඔවුන්ට අවශ්‍ය සියලු දේ කරමින් ඉන්නවා.   


ප්‍රශ්නය:- මොනවද ඒ අවශ්‍ය දේ?   


පිළිතුර:- ඔවුන්ට අවශ්‍ය අණ පනත් බොහෝම වේගයෙන් සම්මත කර ගන්නවා. උද‌ාහරණයක් හැටියට පෝර්ට් සිටි පනත, සහස්යා සමාගම් පනත, හෙළන්දිවා සමාගම් පනත, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ඒ ආදී වශයෙන් ආණ්ඩුවට අවශ්‍ය වන ජනතාවට සහ මේ මහ පොළොවට හානිකරවන දේ කොරෝනාවට මුවා වෙලා බොහොම ගජ රාමෙට ඉෂ්ඨ කරගන්නවා. රාජපක්ෂවරුන්ගේ සාක්කුව පිරෙන ජාවාරම් ටික බොහොම යහමින් කරගනිමින් ඉන්නවා.

   
ප්‍රශ්නය:- ඒකට උත්තරය විපක්ෂය කොරෝනා පොකුරු හදන එකද?   


පිළිතුර:- විපක්ෂය කොරෝනා පොකුරු හදන්න යන්නේ නෑ. ඔබේ ඒ ප්‍රශ්නය වැරදියි. පොහොර පිළිබඳ ආණ්ඩුව අරගෙන තියෙන අදූරදර්ශී ප්‍රතිපත්තිය නිසා ගොවියා පාරට බැහැලා තියෙනවා. ගුරුවරුන්ට ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා ගුරුවරුන් මහපාරට බැහැලා තියෙනවා. මීට කලින් සෞඛ්‍ය සේවකයන් මහ පාරට බැස්සා. ජීවන වියදම නිසා රටේ ජනතාව ඉන්නේ මහා කළකිරීමකින් හා අසහනයකින්. ඒ නිසා මේ ආණ්ඩුව බලයට පත්වෙච්ච ද‌ා ඉඳලා කරලා තියෙන ජඩකම නිසා ජනතාව පාරට බැහැලා ඉන්නේ. විපක්ෂයක් හැටියට අපි මේ කරන්නේ ආණ්ඩුවට අපි කොයි විදියට කිව්වත් ශත පහකට ගණන් ගන්නේ නැති නිසා ඒ ජනතාවගේ සටන්වලට ආණ්ඩුවේ ඇස් ඇරලීම සඳහා අවශ්‍ය ශක්තිය සහ සහයෝගය දීම පමණයි. මේවා විපක්ෂයේ අරගල නොවෙයි. මේවා පොදු ජනතාවගේ අරගල. වගකිවයුතු විපක්ෂයක් හැටියට ඔවුන්ට අවශ්‍ය ශක්තිය දීමයි අපි කරන්නේ. 

 
ප්‍රශ්නය:-ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව අවුරුදු 24 ක් පැරණියි. මේ මොහොතේ මේ සටන් පටන් ගත්තෙම වෙනත් අරමුණු වෙනුවෙන්?   


පිළිතුර:- ඉතාමත් වැරදියි.1997 දී ගුරු වැටුප් විෂමතා තුරන් කරන්න ගෙනාපු යෝජනා මේ වන තෙක් ඉෂ්ඨ වුණේ නෑ. පහුගිය යහපාලන ආණ්ඩු සමයේදී අපි පත්කරපු රනුග්ගේ කොමිටි වාර්තාව හරහා අපි සියලුම ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවන් තුරන් කරන්න සාධාරණ වැටුප් ක්‍රමවේදයක් හදලා ඒ සඳහා අවශ්‍ය මුදල් පාස් කරලා ඒ සියලු කටයුතු 2020 දී ක්‍රියාත්මක කරන්න සියලු කටයුතු සූද‌ානම් කරලා තිබුණේ. නමුත් අපි පරාජයට පත්වුණා. මේ ආණ්ඩුව බලයට ආවා. මේ ආණ්ඩුවේ බොහොම ජනප්‍රිය මැතිවරණ පොරොන්දුවක් තමයි බලයට පත්වෙලා මාස හයක් ඇතුළත ගුරු වැටුප් විෂමතාව තුරන් කරනවා කියලා. දැන් මේ ආණ්ඩුව බලයට පත්වෙලා අවුරුද්දකට කිට්ටුයි. අයවැයේදී බොරු කිව්වා. තව පාරක් බොරු කිව්වා. සඳුද‌ා කැබිනට් එකේදී ආයෙත් සැරයක් බොරු කළා. ගුරුවරුන් දිගින් දිගටම රැවැට්ටුවා. ගුරුවරු කියන්නෙත් මනුෂ්‍යයෝ කොටසක්. මේ කොරෝනා නිසාවාත් හදිසියේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් නොවෙයි. ආණ්ඩුව දිගින් දිගටම ගුරුවරුන් රැවට්ටුවා.  


ප්‍රශ්නය:-මගේ ප්‍රශ්නය සටනේ අරමුණු ගැන නොවෙයි. මේ මොහොතේ මේ ඒකරාශිවීම් හරහා කොරෝනා පොකුරු බිහි නොවේවිද කියන කාරණයයි?  


පිළිතුර:- ඇත්ත වශයෙන්ම... ජනතාවගේ මේ ප්‍රශ්න නොවිසඳන තාක් ජනතාව පාරට බහීවි. එ් ජනතාව පාරට බැසීමේ අවසන් ප්‍රතිඵලය ඇත්ත වශයෙන්ම කොරෝනා ව්‍යාප්තියක් වෙයි. එය වළක්වන්න නම් ඉල්ලීම්වලට සාධාරණ විසඳුම් ලබා දීම ආණ්ඩුවේ වගකීමයි.  


ප්‍රශ්නය:-රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යෙදීම හොඳ වැඩක් කියලා ඔබලාත් පිළිගන්නවා. එහෙම පිළිගන්න ගමන් අනික් පැත්තෙන් ගොවියන් උසිගන්වනවා.  


පිළිතුර:- ලෝකයේ කාබනික වගාවන් මේ වෙනකොට සියයට 10 ක 15 ක මට්ටමක තමයි තියෙන්නේ. සමගි ජන බලවේගය අපි මේ රටේ කෘෂිකර්මාන්තයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්න. කෙත්වතු දියඇළි ගහකොළ හරකාබාන ඇතුළු මේ සොබාදහම ආරක්ෂා කරන පක්ෂයක්. කෘෂිරසායන පොහොරට අපි විරුද්ධයි.  


ප්‍රශ්නය:-එහෙනම් ගොවියා පාරට බස්සන්නේ?  


පිළිතුර:- අපට තියෙන ප්‍රශ්නය තමයි අපි බරපතළ ප්‍රශ්නයක ඉන්නේ. ජීවන වියදම අහස උසට නැගලා තියෙන්නේ. අපේ ආණ්ඩුව කාලේ රුපියල් 70ට තිබුණ හාල් අද 140 ක් පැනලා. ආහාර සුරක්ෂිතභාවය හා ආහාර සංචිත ඉහළ දමා ගැනීමේ වගකීම අද ඉහළින්ම තියෙනවා. මාරක වසංගතයක් තියෙන මේ අවස්ථාවේදී ආහාර හිඟවීම හරහා දුර්භික්ෂයක් ඇතිවීමේ අවද‌ානම මේ හදිසියේ අපෙ ගොවියන්ට පොහොර ලබා නොදීම හරහා ඇතිවෙනවා. මේ යෝජනාව නිසා අස්වැන්න සියයට 40 කින් පමණ පහළ බහිනවා. අපේ තේවල තියෙන ගුණාත්මක භාවය සම්පූර්ණයෙන්ම නැතිවෙලා අපේ තේවලට වසර සියයකට වඩා ‘ශ්‍රී ලංකා තේ’ වලට තිබුණ පිළිගැනීම නැති වෙනවා. මේ වගේ අත්හද‌ා බැලීම් කරන්න අවශ්‍ය මොහොතක්ද මේ. රෝමය ගිනි ගන්න වෙලාවෙ නීරෝ වීණා වාදනය කළා වගේ මේ රට ගිනිගන්න මොහොතක රාජපක්ෂලාට වයලින් ගහන්න ඉඩ දෙන්න බෑ කියන පණිවිඩයයි අපි දෙන්නේ. මේ වගේ අත්හද‌ා බැලීම් කරන්න අවශ්‍ය කාලයක් නොවෙයි මේ. කාබනික පොහොරවලට අපි මාරු වෙන්න ඕනා. නමුත් ඒ ‘අපි තමයි හොඳටම කළේ’ කියන එකට නොවෙයි පියවරෙන් පියවර තමයි කාබනික පොහොරවලට යන්න ඕනැ.  


ප්‍රශ්නය:-ඔබ ජීවන වියදම ගැන කතා කළා. රුපියල් 50 ට 60 ට හාල් දෙනවා කියලා ඇමැති මහින්ද‌ානන්ද කිව්වා?  


පිළිතුර:- මහින්ද‌ානන්ද ඇමැතිවරයා මොනවා කියවනවද කියලා අපි දන්නේ නෑ. වී නිෂ්පාදනය මේ කාබනික පොහොර නිසා සියයට 40 කින් අඩු වෙනවා නම් හාල් රටින් ගෙන්වන්නත් අවශ්‍ය වෙනවා නම් මේ වෙනකොටත් හාල් මිල දෙගුණ තෙගුණ වෙලා නම් මට තේරෙන්නේ නෑ මහින්ද‌ානන්ද මහත්තයාගේ ආර්ථික විද්‍යාව, බන්දුල ගුණවර්ධන මහත්මයාගෙන් ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නවා ද කියලා මම දන්නේ නෑ. වස කවන්න හොඳ නෑ පිළිකා හැදෙනවා කියලා ඔය මහින්ද‌ානන්ද මහත්තයා නිතරම මතුරනවනේ. පිටරටින් ගේන හාල්වලින් පිළිකා හැදෙන්නේ නැද්ද? මේවා ඒගොල්ලන්ට තේරෙන්නේ නැති එක ගැන මට කනගාටුයි. මේ ගොල්ලෝ කැමැතියි පිටරටින් හාල් ගෙන්වන්න. වෙළඳ ඇමැතිවරයා කෘෂිකර්ම ඇමැතිවරයා කැමැතියි ඒකට. මොකද හැම හාල් ඇටයකින්ම එතකොට සන්තෝෂම් ලැබෙනවා.  


ප්‍රශ්නය:- විපක්ෂය මරළතෝනි දුන්නා ‘එන්නත ගේන්නේ නෑ’ කියලා. නමුත් මේ වෙනකොට වැඩේ සාර්ථකව යනවා.  


පිළිතුර:- ඒකෙදි අහපු විහිළුම කතාව තමයි ආණ්ඩුවේ පත්තරයක ද‌ාලා තිබුණා. ‘එන්නත්කරණය අතින් ලෝකයේ අංක එක බවට ශ්‍රී ලංකාව පත්වේ.’ කියලා. මමත් හිටපු රූපවාහිනී වැඩසටහනකදී ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් කිව්වා ‘අපේ රටලු ලෝකයේ එන්නත්කරණය අතින් ලෝකයේ අංක එක වෙලා තියෙන්නේ.’ කියලා. ආණ්ඩුව එතැනත් අංක එක බවට පත්වෙලා. මේ බොරු ලොකු වැඩියි. කෑලි මූට්ටු කරලා එන වෙලාවක සයිනොෆාම් ගහනවා. තව වෙලාවක ස්පුට්නික් ගෙන්වනවා. තව වෙලාවක මොඩානා ගෙන්වනවා. ඊට ඉස්සෙල්ලා ඇස්ට්‍රොසෙනිකා ගැහුවා. ඔළුව ජපන් කඳ ජර්මන් ක්‍රමයට තමයි මේ ගොල්ලෝ වැක්ෂින් ගෙන්වන්නේ. ඇස්ට්‍රාසෙනිකා ගහලා ඒකේ දෙවැනි මාත්‍රාව ගහන්න හදනකොට බඩු නෑ. ඊට පස්සේ දැන් ගහන්නේ වෙන එකක්. ඔළුව ජපන් කඳ ජර්මන් ප්‍රතිපත්තියක් තමයි අපේ රටේ තියෙන්නේ. එහෙම කරළත් කියනවා ‘අපි තමයි එන්නත්කරණයෙන් අංක එක.’ කියලා. මන් දන්නෑ මේවායින් කවුරු චූන් වෙනවද කියලද? බලන්න ඒ බොරුවේ තියෙන කැතකම. කාටද අනේ මේ බොරු කියන්නේ. මේ රටේ ජනතාව දන්නවා ඇත්ත. 

 
ප්‍රශ්නය:-ආණ්ඩුවේ ප්‍රශ්න ඔච්චර සද්දෙට කතා කළාට රිෂාද් බදුර්දීන්ගේ ගෙදර දරුවෙක් පිච්චිලා මිය යනවා. නමුත් සමගි ජන බලවේගය ‘හුම්’ නෑ?  


පිළිතුර:- මෙහෙමයි රිෂාද් බදුර්දීන් මහත්තයාගේ ගෙදර කාන්තාවක් මිය යනවා. රිෂාද් බදුර්දීන් දැන් ඉන්නේ ගෙදර නොවෙයි. අත්අඩංගුවේ. එතකොට හොඳ‌ාකාරවම අපට විශ්වාස කරන්න පුළුවන් රිෂාද් බදුර්දීන් නම් මේක කළේ නෑ කියලා.  


ප්‍රශ්නය:-ඒ දැරියව මෙහෙකාර සේවයට ගේනකොට බදුර්දීන් ගෙදර හිටියා කියලා පොලිස් පරික්ෂණවලදී අනාවරණය වුණා?  


පිළිතුර:- ඒක හරි. ඔය වගේම විමල් වීරවංහ මහත්තමයාගේ ගෙදරදී ලිංගික උත්තේජන පෙත්තක් පානය කරපු තරුණයෙක් මිය යනවා. 

 
 ප්‍රශ්නය:- එය සිද්ධිය වුණේ ඔබලාගේ ආණ්ඩුව කාලේ. පොලිසිය පරීක්ෂණ කළා. ඒ තරුණයා මියගියේ හෘදයාබාධයකින් කියල ඔප්පු වුණා?  


පිළිතුර:- හෘදයාබාධය ඇති වුණේ ඇයි දන්නේ නෑනේ?  


ප්‍රශ්නය:- ඔබ හිතනවද ඔහොම අවලාද නැගීමෙන් මම මතුකරපු ප්‍රශ්නයට සාධාරණ පිළිතුරක් ලැබුණා කියලා?  


පිළිතුර:- ඔබ අහන්නේ රිෂාද් බදුර්දීන්ගේ ගෙදර සිද්ධිය ගැන අපි නිහඬ ඇයි කියලනේ. ඔබ එහෙම අහනකොට මාත් මේ උත්තරය දෙන්න ඕනැනේ. විමල් වීරවංශ මහත්මයාගේ නිවෙසේ ප්‍රශ්නය අධිකරණයෙන් විසඳුණා කියලා කියනවනේ. එහෙම නම් රිෂාද් බදුර්දීන්ගේ ගෙදර ප්‍රශ්නය ගැනත් පරීක්ෂණ කරනවනේ. කවුද වැරැදිකාරයා කියල ඉදිරියේදී ඔප්පු වේවි. එතකන් අපට බෑනේ එළියට බැහැලා උද්ඝෝෂණ කරන්න. මේ පරීක්ෂණ වෙන්නේ නැත්නම්, මේක යට ගහනවා නම් අපේ පක්ෂයේ නායකයෙක් හරි පරීක්ෂණවලට ඇඟිලි ගහනවානම් නේ ප්‍රශ්නයක් වෙන්නේ. එහෙම වෙන්නේ නෑනේ. අනිත් එක රිෂාද් බදුර්දීන් මහත්මයාගේ පක්ෂයෙ මන්ත්‍රීවරුන් ඔක්කොම ඉන්නේ ආණ්ඩුවත් එක්කනේ.’  


ප්‍රශ්නය:-ඒක විපක්ෂනායක සජිත්ගේ දුර්වලකම නොවෙයිද?  


පිළිතුර:- විපක්ෂනායකතුමාගේ දුර්වලකමට වැඩිය මම හිතන්නේ ආණ්ඩුව කරන බලවතුන්ගේ සල්ලිවල තියෙන බලය කියලයි.  


ප්‍රශ්නය:-එක පැත්තකින් කරු ජයසූරිය විපක්ෂයේ පොදු සන්ධානයක් ගොඩ නගනවා. මංගල සමරවීර වෙනම පාරකින් මතු වෙනවා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ආවා. මේ සියල්ලෙන්ම විපක්ෂනායක සජිත් අභියෝගයට ලක්වෙනවා කියලා ඔබ හිතන්නේ නැද්ද?  


පිළිතුර:- රනිල් වික්‍රමසිංහ මහත්මයා එයාගේ සියලුම දක්ෂතාවන් රටේ ජනතාවට පෙන්වලා ඉවරයි. 1993 සිට 2020 දක්වා කාලය තිබුණ එතුමාට වැඩ පෙන්වන්න. එතුමා පෙන්වපු තරම ඔබත් දන්නවා. මාත් දන්නවා. එකතු කරලා යම්මාදම් කරගෙන මන්ත්‍රීකමක් ගන්න තරමට එජාපය වළපල්ලට රැගෙන ගිය අසාර්ථක නායකයෙක් කියලා ඔප්පු කරලා ඉවරයි. කරු ජයසූරිය මහත්මයා කතානායක ධුරයත් දරලා ඉන්න වියපත් කෙනෙක්. සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයට එතුමා සජිත් ප්‍රේමද‌ාස අපේ නායකතුමා සමග සාකච්ඡා කළා. ඉදිරියටත් ඇති කර ගනිමින් යනවා. එතකොට මංගල සමරවීර මැතිතුමා පහුගිය මහ මැතිවරණයේදී ඡන්දෙට මුහුණ දෙන්නේ නැතිව දේශපාලනයෙන් ඉවත් වෙනවා කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා මේ දේශපාලන දහරාවෙන් ඉවත් වෙලා ඉන්න කෙනෙක්. හිතෙනකොට පත්තු වෙන්නයි, හිතෙනකොට නිවෙන්නයි. එහෙම නොවෙයි. මේ රටේ තියෙන සක්‍රීය දේශපාලන බලවේගය සමගි ජනබලවේගය. බොහොම ශක්තිමත්ව අපි ඉදිරියට යනවා. ඒ ගැන අවිශ්වාසයක් ඇතිකරගත යුතු නෑ. 

 

 

සාකච්ඡා කළේ 
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්