ආණ්ඩුවට වෙලා තියෙන්නේ මුදල් නැතිකම නොවෙයි ඡන්ද නැතිකම


සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු 

මන්ත්‍රී  අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල

පළාත් පාලන මැතිවරණ ගිනියම මැද 75 වැනි නිදහස් සැමරුම් උළෙල ද පැවැත්විණි. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම බලගන්වන්නයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම දේශපාලන දෙබරයට ගැසූ ගලක් බවට පත්වී තිබේ. මේ සියලු කාරණා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ඉරිදා ලංකාදීපය සමග සංවාදගත වූයේ ‘මේ රටේ මුලින්ම බලය බෙදීමක් ඉල්ලා සිටියේ උඩරට සිංහලයන්’ යැයි පවසමිනි. මේ ඒ සාකච්ඡාවය.  


?පළාත් පාලන මැතිවරණය නොපවත්වන්න ඉඩ තිබෙන බවට සැක පළ වෙනවා?  


එහෙම කරන්න බෑ. මැතිවරණ කටයුත්ත සම්පූර්ණයෙන්ම භාරව තිබෙන්නේ මැතිවරණ කොමිසමට. ඒ අය අවශ්‍ය පියවර හතරක් පහක් අරගෙන තියෙනවා. ඒ නිසා මැතිවරණය කල් දාන්න බෑ.  


?මැතිවරණ පැවැත්වීමේ බලය කොමිසමට තිබුණට මුදල් දෙන්න ඕනෑ ආණ්ඩුව. ආණ්ඩුව කියනවා ‘මුදල් නෑ’ කියලා.  


ආණ්ඩුව ව්‍යවස්ථාවෙන් බැඳී ඉන්නවා මැතිවරණ කොමිසම මැතිවරණයක් ප්‍රකාශයට පත් කළාම අවශ්‍ය මුදල් ලබා දෙන්න.  


?රටේ මුදල් නෑ සංචිත හිඳිලා. ඒවා බොරු නොවෙයිනේ.  


ආණ්ඩුවට වෙලා තියෙන්නේ මුදල් නැතිකම නොවෙයි ඡන්ද නැතිකම.  


?ආර්ථිකය බිංදුවටම වැටිලා. ඒක ගොඩගන්න ආණ්ඩුව යම් උත්සාහයක යෙදෙනවා?  


උත්සාහයක් ගන්න බව පේනවා. දැන් භාණ්ඩ ටිකක් සුලභ වෙලා තියෙන්නේ ආණ්ඩුවේ දක්ෂකමට නොවෙයි. වර්තමාන ජනාධිපතිතුමා බලයට ඇවිත් මාස හතක් වෙනවා. අපේ රට ගොඩදාන්න ණයක් තාම ලැබුණාද? තාම රට ගොඩදාන්න පුළුවන් ණයක් ලැබිලා නෑ. බෙහෙත්වලට සල්ලි ටිකක් ලැබෙනවා. අඩු ආදායම්ලාභීන්ට උදව් කරන්න කියලා සල්ලි ටිකක් ලැබෙනවා. ළමයින්ට පොත්පත් ගන්න කියලා තව ටිකක් ලැබෙනවා. නමුත් රට ගොඩදාන්න ආධාරයක් නෑනේ.  


?ඒ පීල්ලට වැටිලා කියලා තමයි ආණ්ඩුව කියන්නේ?  


ඒ වුණාට අයිඑම්එෆ් එකට අපට පස්සෙ ගියේ බංග්ලාදේශය, ඒගොල්ලන්ගේ සල්ලි මුදා හැරුණා. මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ පදනම යටතේ තමයි ජාත්‍යන්තරය ක්‍රියාත්මක වෙන්නේ. ලංකාවේ වෙන සිද්ධීන් දිහා බැලුවම ජාත්‍යන්තරය තුළ කිසිම ප්‍රසාදයක් නෑ. ගිය පාර අපිට මානව හිමිකම් කොමිසමේදී ලැබුණේ වාර්තාගත පරාජයක්නේ. අපේ රට ආර්ථික අපරාධ කරනවා කියලත් යෝජනාවක් සම්මත වුණා. රට බංකොළොත් කරපු ආණ්ඩුවකට ජාත්‍යන්තරය උදව් කරයි කියලා හිතන්න බෑ.

අයිඑම්එෆ් එකේ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවෙදිම කිව්වනේ ආණ්ඩුව නව ජන වරමක් ගන්න ඕනැ කියලා. 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ රාජ්‍ය ආයතන ආරක්ෂා කරන්නනේ. නමුත් දැන් වෙන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්. අහුවෙන අහුවෙන දේ විකුණන එකයි. උහුලගන්න බැරි බදු ගහන එකයිනේ ආණ්ඩුව කරන්නේ.  


?මේ ඡන්දය පවත්වන්නේ ගමේ කොට්ඨාසයට නියෝජිතයෙක් තෝරාගන්න. නමුත් මේක ජාතික මැතිවරණයක පෙනුම අරන් තියෙනවා. ඒක විකෘතියක් නොවෙයිද?  


මේ විකෘතිය වෙලා තියෙන්නේ ජනතාවට තමන්ගේ විරෝධය පාන්න ලැබෙන පළමු අවස්ථාවනේ මේක. ආණ්ඩුවේ වැඩපිළිවෙලට කැමැත්ත හෝ අකමැත්ත පාන්න ලැබෙන පළමු අවස්ථාව. ජනතාව නලියමින් ඉන්නේ පණිවිඩයක් දෙන්න. ඒ පණිවිඩය දෙන එක රටට හොඳයි. සියලු දෙනාට තමන් ඉන්නේ කොහෙද කියලා තීරණයක් ගන්න මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් පස්සේ.  


?ජාතික ජන බලවේගයට සමගි ජන බලවේගය භයවෙලා කියලා ඒ වේදිකාවෙන් කියැවෙනවා.?  


මොකටද භය වෙන්නේ. නමුත් ජාතික ජන බලවේගයට යම් පිබිදීමක් තියෙනවා. ඒකෙන් වැඩිපුරම ඡන්දෙ ඉල්ලන්නේ පොහොට්ටුවේ හිටපු අය. අපිට අනිවාර්යයෙන්ම මේ මැතිවරණයෙන් සියයට 52 කට එහා ගිය ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා සියලු ජනමත සමීක්ෂණවලින් තහවුරු වෙලා තියෙනවා.  


?ජනාධිපතිවරය, සර්ව පාක්ෂික සමුළුවක් කැඳෙව්වා. සජබෙ ඒකට සහභාගි වුණේ නෑ.  


අපි පළමුවැනි වටයට ගියා. එතැනදී අපේ පක්ෂ නායක, විපක්ෂනායකතුමා අපේ පක්ෂයේ ස්ථාවරය කිව්වනේ. මීට මාස තුනකට විතර කලින් තිබුණ ඒ සර්ව පාක්ෂික සමුළුවට මමත් ගියා. මහ ලේකම්තුමා ඇතුළු කණ්ඩායමක් ගියා. අපි අපේ ස්ථාවරය එතැනදී කිව්වා.  


?සර්ව පාක්ෂික සමුළුවේදී ජනාධිපති රනිල් කිව්වා ‘ 13 වැනි සංශෝධනය මුළුමනින්ම බල ගන්වන්න ඕනෑ’ කියලා. අද ප්‍රධාන මාතෘකාව ඒක?  


ඒක එයාට තනියම කරන්න ​ බෑනේ. ඒකට එයාට ආණ්ඩු පක්ෂයේ සහයෝගය ඕනෑනේ. ආණ්ඩුව ඒ මතයේ ඉන්නවාද කියන එකයි ප්‍රශ්නය. ඔයාට මතකද දන්නෙ නෑ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී ඔහොම කිව්වාම මම මහින්ද රාජපක්ෂගෙනුයි අගමැති දිනේෂ් ගුණවර්ධනගෙනුයි ඇහුවා ’මේකට කැමැතිද’ කියලා. කෙළින් උත්තරයක් දුන්නේ නෑ. ආණ්ඩුව එක මතයක නෑ. ආණ්ඩුවේ ස්ථාවරය කිව්වම අපිට අපේ ස්ථාවරය කියන්න පුළුවන්.  


?මෙච්චර අර්බුද පොකුරක් තියෙද්දී රටේ මාතෘකාව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැනයි. අපි මේ යන්නේ ආපස්සට?  


පැහැදිළිවම. කාලීන ප්‍රශ්නය ආර්ථිකයනේ මේ රටේ කිසිම ආණ්ඩුවක් රට බංකොලොත් කළේ නෑ. හැම ආණ්ඩුවක්ම සල්ලි ටිකක් ඉතිරි කරලා ගියා ඊළඟට එන ආණ්ඩුවට වැඩ කරන්න. ලංකා ඉතිහාසයේ පළමු වරට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව රට බංකොළොත් කළා.  


?මගේ ප්‍රශ්නය වුණෙත් ඒකමයි. පෙරට ගත යුත්තේ ආර්ථික ප්‍රශ්නය නේද?  


ඔබ හරි. මුළු රටම මතු කරන්නේ ආර්ථිකයනේ. නමුත් මම හිතන්නේ ජාත්‍යන්තරයත් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ආණ්ඩුවට බලපෑම් කරන බව පේනවා. ඉන්දියාව කියලා තියෙනවා ‘13 වැනි සංශෝධනය මුළුමනින්ම බලාත්මක කරන්න’ කියලා මොකද ඉන්දියාව ගොඩක් උදව් කළානේ.’ මේකට ප්‍රධාන හේතුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව රට බංකොළොත් කරලා අපිව හිඟන්නෙක් කළානේ. දැන් අපේ ස්වාධීනත්වය, ස්වෛරිභාවය පාවා දෙන තත්ත්වයට ඇවිත් තියෙනවා. ඒගොල්ලෝ කියන ඒවා කෙරුවේ නැත්නම් අපට ලැබෙන ආධාර දවසින් දවස අඩුවෙනවා.   


?ඉඩම් බලතල හා පොලිස් බලතල ලබා දීම සම්බන්ධයෙන් සජබෙ ස්ථාවරය පැහැදිළි නෑ.  


බලයේ ඉන්නේ ආණ්ඩුවනේ. ඒ කාලේ මහින්ද රාජපක්ෂ කිව්වා '13-+' කියලා. අපි දන්නෑ එයා අදහස් කළේ මොකක්ද කියලා. ආණ්ඩුවේ ස්ථාවරය කිව්වට පස්සේ අපේ ස්ථාවරය පැහැදිළිවම කියනවා.  


?මට අවශ්‍ය වන්නේ පක්ෂයේ මතය?  


13 වැනි සංශෝධනය ගෙනාවේ අපේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවනේ. සජබය හැටියට අපි බලය බෙදනවාට විරුද්ධ නෑ.  


?ඔබ ඉන්නෙත් ඒ මතයෙමයි?  


මම පාර්ලිමේන්තුවේදිත් කියලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න කාලෙත් කියලා තියෙනවා. බලය බෙදන්න තිබුණේ 1948 දී නිදහස දෙනකොටමයි. අපේ රටේ බලය බෙදීමක් ගැන මුලින්ම කතා කළේ ඩොනමෝර් සාමිවරයා. ලංකාවට ආවම විවිධ ජාතීන් විවිධ දේශපාලන පක්ෂ ගියා සාමිවරයා හමුවන්න. අපේ උඩරට කණ්ඩායමේ නායකත්වය දැරුවේ මීපිටිය මහාධිකාරම්තුමා. ඔහු ඉල්ලීමක් කළා ‘ රුහුණු, මායා, පිහිටි කියලා ප්‍රාන්ත තුනක් හදල බලය බෙදන්න. මධ්‍යම ආණ්ඩුවට හමුදාව, පොලිසිය, වරාය, මුදල්, ආරක්ෂාව තියාගෙන ඒ ඒ පළාත්වල සංස්කෘතික ලක්ෂණ ආරක්ෂා වෙන විදියට’ කියලා. ඇත්තෙන්ම ඒ කාලේ උතුරේ දෙමළ ජනතාව ‘බලය බෙදන්න එපා’ කිව්වා. ඒ ගොල්ලෝ බලය බෙදීමක් ගැන කතා කළේ නිදහසෙන් පස්සේ. ඒ බලයට පත්වන ආණ්ඩු තමන්ව නොසලකා හරී කියන භයට, ඇත්තෙන්ම ඔවුන්ට භාෂා අයිතියවත් දුන්නේ නෑනේ. කොහොම හරි ඩොනමෝර් සාමිවරයා බලය බෙදීම පිළිගත්තත් අනෙකුත් දේශපාලන පක්ෂ ඒකට කැමැත්තක් දැක්වූයේ නෑ.  


?‘බලය බෙදීමක් ගැන පළමුවෙන්ම කතා කළේ උඩරට සිංහලයන් කියලා ඔබ කියලා තිබුණා?  


ඔව්. උඩරට සිංහලයන් කිව්වා ‘අපට රජවරුන් හිටියා හාරසිය ගණනක්. අපට සිංහාසනයක් තිබුණා. අපට ඔටුන්නක් තිබුණා. අපට වෙනම නීති පද්ධතියක් තිබුණා. ඒ නිසා උඩරටට වෙනම බලය බෙදීමක් අවශ්‍යයි කියලා කිව්වා. සෝල්බරි සාමිවරයා ආවාමත් ඒ ඉල්ලීම කළා. ඔය වෙනකොට ඉන්දියාවටත් නිදහස ලැබෙන්න ඔන්න මෙන්න. අපේ අය කිව්වේ ‘ඉන්දියාවේ බලය බෙදන ආකාරයට ලංකාවෙත් බලය බෙදන්න’ කියලයි. ඉන්දියාව ඒක සාර්ථකව කළා. ලංකාවෙත් ඒ වෙනකොට ප්‍රාන්ත තුනක් හතරක් ඇති කරලා බලය බෙදුවා නම් සංස්කෘතිය, චාරිත්‍ර, ආගම ආරක්ෂා වන විදියට මේ තිස් අවුරුදු යුද්ධය එන්නේ නෑ. නිදහස ලැබෙනකොටම බලය බෙදුවා නම් යුද්ධය එන්නේ නෑ. ගොඩක් රටවල් නිදහසත් එක්ක ඒක කරගත්තා. නමුත් අවාසනාවකට අපේ රටේ ඒක වුණේ නෑ. කොළඹ හිටපු නායකයන්ට මුළු කුට්ටියම ඕනෑ වුණා. ඒගොල්ලෝ කිව්වා ‘උඩරැටියන් කියන්නේ අතීතයේ ජීවත්වන පිරිසක්’ කියලා. අපි වරද්ද ගත්තේ එතැනින්.  


?ජනතාව මෙච්චර පීඩාවට පත්වෙලා සිටියදීත් අපේ රටේ දේශපාලකයන් ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන නෑ කියලා මම කිව්වොත්?  


පැහැදිළිවම. ආයෙමත් මේ 13 බදාගෙන ආණ්ඩුවෙන් වෙන්වෙලා ස්වාධීන වෙච්ච කණ්ඩායම් ආයෙමත් ජාතිවාදය අවුස්සලා මැතිවරණයට මුහුණ දෙන්නනේ යන්නේ. මේක මහින්ද රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුවක් පැහැදිළිවම. මේ මන්ත්‍රීවරුන් විපක්ෂයේ වාඩි වුණාට සම්බන්ධකම් පවත්වන්නේ මහින්ද රාජපක්ෂ සමගනේ. ජාතිවාදය අවුස්සන එක මහින්දගේ කොන්ත්‍රාත්තුවක්.  


?ඔවුන් කියන්නේ නම් ‘පවුල්වාදය පරදවනවා’ කියලයි?  


එහෙම කිව්වට වෙන්නේ අරක. දැන් ඔය කෑගහන අයත්, පාර්ලිමේන්තුවේ ආණ්ඩුව පක්ෂයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකුත් ඉන්දියාවට එක්කර ගෙන ගිහින් එහෙ බලය බෙදලා තියෙන්නේ කොහොමද අධ්‍යයනය කළ යුතුයි. ඉන්දියාවේ පළාත් සභා පනතට ආනුවම තමයි අපේ පළාත් සභා පනත හදලා තියෙන්නේ. ඉස්පිල්ලක් පාපිල්ලක් නෑරම එක සමානයි. ඒක නිසා ඉන්දියාවට ගිහින් ඉඩම් බලතල, පොලිස් බලතල බෙදලා තියෙන්නේ කොහොමද කියලා අධ්‍යයනය කළ යුතුයි. අනික ඔය පාර්ලිමේන්තුවේ ඉන්න සෑම පක්ෂයක්ම පළාත් සභාව නියෝජනය කරලා තියෙනවා. ඒකෙන් කියැවෙන්නේ පළාත් සභා ක්‍රමය පිළිගන්නවා කියන එකනේ. ඒ නිසා රටේ අනාගතය සමග සෙල්ලම් නොකර වගකීමෙන් කටයුතු කරන්න සෑම දේශපාලන පක්ෂයකටම වගකීමක් තියෙනවා. 

 
?ඔබලා මෙවර නිදහස් සැමරුම් උළෙල වර්ජනය කළේ ඇයි?  


 මේ තරම් ආර්ථික අර්බුදයක් තිබියදී ආණ්ඩුව නිදහස් උත්සවයට රුපියල් මිලියන 250 ක් වියදම් කරනවා. අප්‍රිකාවේ රටක් නිදහස් උත්සවය නවත්වලා ඒ මුදලින් පාසල් සිසුන්ට අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. ඒ වගේම තමයි ලේ බිඳක් හෝ සොලවන්නේ නැතිව 1948 දී අපි නිදහස දිනාගත්තා කියනවනේ. නමුත් 1818 දීත් 1848 දීත් නිදහස වෙනුවෙන් අපේ මුතුන් මිත්තන් ජීවිත පූජා කරමින් සටන් කළා. ඒ සටන් නිසා තමයි 1948 දී අපට නිදහස ලැබෙන්නේ. ඒ නිසා සමරන්න ඕනෑ ඒ නිදහස් සටන්.  

 

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්