ආණ්ඩුව දැනට ඉන්නෙ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුළේ


කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ජයදේව උයන්ගොඩ

 
ලංකාවේ සමාජ දේශපාලන න්‍යාය ගැඹුරු කියවීමකට ලක්කළ ශාස්ත්‍රඥයන් අතර ජයදේව උයන්ගොඩ පෙරමුණේ පසුවේ. දේශපාලනය හා දේශපාලන විද්‍යාව පිළිබඳ අඛණ්ඩ හැදෑරීම් හා ශාස්ත්‍රීය රචනා ඔස්සේ ඔහු මෙරට දේශපාලනයේ කේන්ද්‍රීය තර්කණ මෙන් ම තේමාත්මක වශයෙන් වැදගත් ගැටලු අධ්‍යයනය කළේ ය. සිය අදහස් සමාජගත කළේ ය. මෙවර “ඉරිදා ලංකාදීප” පුවත්පත සඳහා විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් කාලීන දේශපාලන මාතෘකා රාශියක් සම්බන්ධයෙන් ඔහු සිය නිරීක්ෂණ ඉදිරිපත් කළේ ය. මේ එම සාකච්ඡාවේ සටහන යි.
 
ඔබේ මෑතකාලීන රචනාවල වර්තමාන දේශපාලන මොහොත “පරිවර්තනාත්මක මොහොතක්” හැටියට හඳුන්වා තිබෙනවා. ඒ ගැන කරන පැහැදිලි කිරීමකින් මේ සාකච්ඡාවට මුල පුරන්න මම කැමතියි....
 
නිදහසින් පසු දේශපාලන බලය ප්‍රභූ පන්තියෙන් නිර්ප්‍රභූ සමාජ පන්ති නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයකට මාරුවීම හැඳින්වීමට තමයි මම ඒ සංකල්පය ඉදිරිපත් කළේ. ඒක හුදෙක් මීට පෙර සිදු වුණු ආකාරයේ මැතිවරණයකින් පසු ආණ්ඩු මාරුවීමක් පමණක් නෙවෙයි. දේශපාලන බලය දරන්නේ කවර සමාජ පන්තිය ද කියන කාරණය ප්‍රභූ පන්තියේ සිට නිර්ප්‍රභූ පන්තියකට දේශපාලන බලය හුවමාරු වීමෙන් මෙවර ප්‍රදර්ශනය වෙලා තියෙනවා. ඒක ලංකාවෙ ඉතිහාසයේ පළමුවරට සිදුවී තිබෙන්නේ නිදහසින් පසුව. ඒ අර්ථයෙන් තමයි මම කිව්වෙ ඒක හුදු ආණ්ඩු මාරුවකින් එහාට ගිය පරිවර්තනය වීමක් කියලා. දෙවැනි කාරණය තමයි ලංකාවේ දේශපාලනයේ විශාල පරිවර්තන කිරීම සඳහා දැන් අවකාශයක් තියෙනවා. ඒ අවකාශය මොන විදියට පාවිච්චි කරනව ද කියලා තවම කියන්න අමාරුයි.
 
ලංකාවේ සාම්ප්‍රදායික බල ව්‍යුහය අති තීරණාත්මක අර්බුදයකට ගිහින් තියෙනවා
 
 
ඒ පරිවර්තනීය මොහොතේ කර්තෘක කාර්ය කරන්න ජාතික ජන බලවේග රජය සමත් වෙයි කියලා ඔබ හිතනවා ද?
 
ජාතික ජන බලවේගය තමයි ඒ කර්තෘකයා විදියට මතු වුණේ. ඒ මතු වීමට ක්ෂණික හේතුව වුණේ 2022 දී ඇති වුණු අරගලය. ඒ අරගලයෙන් ලංකාවේ සාම්ප්‍රදායික පාලක පන්තිය, දේශපාලන පක්ෂ සහ නායකත්වය පරාජයට පත් වුණා. ඔවුන්ට මහජන සහයෝගය පමණක් නොව මහජන සුජාතභාවයත් අහිමි වුණා. සමාජය නව නායකත්වයක් සොයමින් හිටියා. ලංකාවේ දේශපාලනය අලුත් කළ යුතුයි කියන සටන් පාඨය අරගලය ඇතුළෙ තිබුණා. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සහ නායකත්වයෙ ඒ සඳහා සූදානමක් තිබුණෙ නෑ. ඔවුන්ට ඒ බව වැටහුණෙත් නෑ. ලංකාවේ සාම්ප්‍රදායික බල ව්‍යුහය අති තීරණාත්මක අර්බුදයකට ගිහින් තියෙනවා. ඒ අර්බුදය විසඳන්න තියෙන එකම මාර්ගය පැරණි දේශපාලන නායකත්වය වෙනුවට අලුත් දේශපාලන නායකත්වයකට දේශපාලන බලය මාරුවීම. කාටවත් ඒක වැටහී ඇති බවක් පේන්න නෑ. නමුත් ජාතික ජන බලවේගයට ඒක වැටහුණා. ඒ පක්ෂය මුලදි අරගලයට එතරම් සහයෝගයක් දැක්වුවෙ නෑ. නමුත් අගරලය වර්ධනය වෙද්දි ඒ අයට වැටහුණා ඒක ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක මොහොතක් කියලා.
 
මහජන අරගලයෙ දි ඉදිරියට දැමුණු අදහසක් තමයි ක්‍රම වෙනසක් ඇති කළ යුතුයි කියන එක. ඔබ විග්‍රහ කළ පරිවර්තනාත්මක මොහොත ඒ මහජන අපේක්ෂාවේ වර්ධනීය අදියරක් ද?
 
එහෙම දකින්න පුළුවන්. ක්‍රම වෙනසක් කියන එකේ අර්ථ ගණනාවක් තියෙනවා. සිස්ටම් චේන්ජ් කියන වචනය ගෝඨාභය රාජපක්ෂත් පාවිච්චි කළේ පටු අර්ථයෙන්. නමුත් අරගලයෙ දි ඒක ඊට වඩා පුළුල් අර්ථයෙන් පාවිච්චි වුණා. දේශපාලන බලය හිමි සමාජ පන්තිය වෙනස් විය යුතුයි සහ ඔවුන් පවත්වා ගෙන ගිය දේශපාලන ක්‍රමයෙ ව්‍යුහය සහ පන්ති ස්වභාවයත් වෙනස්විය යුතුයි කියන අවධාරණය ඒ පුරවැසි ඉල්ලීමෙහි තිබුණා. ජාතික ජන බලවේගයට තිබුණු වාසිය තමයි ඒ සටන් පාඨය දක්ෂ සහ විචක්ෂණ ලෙස ඉදිරියට ගෙන යෑමට තිබුණු හැකියාව සහ කැපවීම.
 
පරිවර්තනාත්මක මොහොත ගැඹුරු ව්‍යුහාත්මක වෙනසකට ගෙන යන්න නම් කවර මාදිලියෙ ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතුයි කියල ද ඔබ කල්පනා කරන්නෙ? රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ඇති කරගත් ණය වැඩසටහන ඉදිරියට ගෙන යන එකයි පසුගිය කාලයේ කරන ලද වංචා දූෂණවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන එකයි හැරුණු විට අලුත් ප්‍රතිසංස්කරණ කිසිවක් ඉදිරිපත් කර නැති බවට විවේචනත් ඉදිරිපත් වෙනවා.
 
ක්‍රම වෙනසකට කැමති නැති ආණ්ඩුවේ විවේචකයො තවම මතු කරන කාරණයක් තමයි කෝ වෙනස කියලා. හුඟක් අය ක්‍රම වෙනස කියන එක අඩුවෙන් තක්සේරු කරනවා. ඒක එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. 2024 ලංකාවෙ වුණේ විප්ලවයක් නෙවෙයි. එතන වුණේ සාමකාමී ඡන්දයක් මගින් පාර්ලිමේන්තුවෙ සහ විධායකයෙ බලය මාරු වුණු එක. කෙටි කාලයකදි හරයාත්මක සහ ගැඹුරු ක්‍රම වෙනසක් ඇති කරන්න නම් විප්ලවයක් අවශ්‍ය වෙනවා. ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත් වුණේ විප්ලවයකින් නෙවෙයි. දෙවැනි එක මේ ආණ්ඩුව මාක්ස්වාදී විප්ලවවාදී ආණ්ඩුවක් නෙවෙයි. මේක රැඩිකල් නැඹුරුවක් ඇති ප්‍රගතිශීලී ආණ්ඩුවක්. ඒකට මාක්ස්වාදී සහ වාමාංශික අතීතයකුත් තිබුණා. නමුත් එය පරිවර්තනයකට භාජනය වූ දේශපාලන ව්‍යාපාරයක්. මේ යථාර්ථය තේරුම් නොගත් ආණ්ඩුවේ විවේචකයො කියන්නෙ ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට ඒකාධිපති වෙන්න කියලා. කෙටි කාලයකදී ක්‍රම වෙනසක් ඇති කරමින් දූෂණ වංචා නතර කරමින් දූෂිතයන්ට වහාම දඩුවම් දෙමින්. ඔවුන් කියන දේවල්වල තියෙන බරපතළ දේශපාලන ඇඟවුම් ගැන ඒ විවේචකයන්ට තේරෙන්නෙ නෑ. මෙය ස්ටාලින්වාදී ආණ්ඩුවක් නෙවෙයි. අනුර කුමාරත් හැසිරිය යුත්තෙ ඩොනල්ඩ් ට්‍රම්ප් වගේම ද? මේ විවේචනය කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කරනවා. පළමු කණ්ඩායම තමයි ජාතික ජන බලවේගයට සහාය දුන් සහ නොදුන් වාමාංශික කණ්ඩායම්. ඒ අය බලාපොරොත්තු වුණා ජාතික ජන බලවේගය බලයට පත්වෙලා හදන්නෙ පරණ ජවිපෙ ආණ්ඩුවක් කියලා. නමුත් ඒ අය තේරුම් නොගත් දෙයක් තමයි එන්.පී.පී. කියන්නෙ රැඩිකල් විප්ලවවාදී දේශපාලන බලවේගයක් නොවෙයි කියන එක. ඔවුන් ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලිබරල්වාදී ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළක්. 2019 දි NPP එක ඉදිරිපත් කරපු පළමුවැනි වැඩපිළිවෙළත් ලිබරල් සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී එකක්. දැනට තියෙන ජාතික ජන බලවේග ආණ්ඩුව ලිබරල් නෛතික රාමුවක් ඇතුළත වැඩකරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්.
 
අපි ජවිපෙ කාලයක් තිස්සෙ දැක්කෙ වෘත්තීය සමිති සහ ශිෂ්‍ය සංගම්වල බලය පැතිරූ සක්‍රීය දේශපාලන ව්‍යාපාරයක් විදියට. ජවිපෙ ඒ මුල් ස්වරූපය සහ ආණ්ඩුකරණයට ඇතුළත් වූ පසු දැකිය හැකි ව්‍යුහාත්මක වෙනස්කම් තියෙනවා ද?
 
ඒගොල්ලන්ගෙ විශාල වෙනසක් වෙලා තියෙනවා. ඒ වෙනස කොතරම් විශාල ද කියනවා නම් ජවිපෙ විවේචකයන්ට තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා මේ වෙනස යථාර්ථයක් කියලා. මේ ආණ්ඩුව බලයට පත් වූ පසු මා සමග සම්මුඛ සාකච්ඡා පවත්වන්න පැමිණි බෝහෝ විදේශ මාධ්‍යවේදීන් මාගෙන් ඇසූ ප්‍රශ්නයක් නම් දැන් බලයට පත්වී සිටින්නේ මාක්ස්වාදී පක්ෂයක් නේද කියලා. මම ඒ අයගෙන් විහිළුවට ඇහුවෙ ඔබලා ජාතික ජන බලවේගයේ ඉතිහාසය ඉගෙන ගෙන තියෙනවා ද කියලා. කොළඹ සිටින ඇතැම් පුවත්පත් කලාවේදීනුත් හිතුවෙ ලංකාවේ මාක්ස්වාදී පක්ෂයක් බලයට පත්වෙලා තියෙන්නෙ කියලා. ජවිපෙ මාක්ස්වාදී පක්ෂයක් හැටියට හිටියා. නමුත් ඒක පසුව වෙනස් වුණා.
 
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයෙ සීමාවන් ඇතුළෙ බොහෝ පිරිස් ඉල්ලා සිටින ක්‍රම වෙනසක් පහසුවෙන් හා ඉක්මනින් ඇති කළ හැකි ද කියන එක ප්‍රශ්නයක්
 
ලංකාවේ වමේ දේශපාලනය අවසන් ද?
 
පැරණි විදියෙ වමේ දේශපාලනය දැන් කරන්න බෑ. කුඩා කණ්ඩායම් හැටියට තියෙනවා. නමුත් වම කියන්නෙ කුමක් ද කියන එකත් දැන් ලෝක මට්ටමින් වෙනස් වෙමින් තියෙනවා. අලුතින් නිර්ණය වන සහ අලුත් වූ වමකටයි ලංකාවේ දේශපාලන අනාගතයක් තිබෙන්නෙ.
 
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට ආණ්ඩුව ප්‍රතිඥා දුන්නා. පසුගිය කාලෙ ඒ සම්බන්ධ සාකච්ඡා ඇති වුණා. කමිටු වාර්තා සකස් වුණා. ඔබ හිතන විදියට ආණ්ඩුවට මේ කර්තව්‍යය ඒ පැරණි භාවිතයෙන් පටන් ගත හැකි ද? නැතිනම් අලුත් ප්‍රවේශයකින් ඒ සඳහා යොමු විය යුතු ද?
 
ලංකාවේ විරුද්ධ පක්ෂ සහ සිවිල් සමාජ කණ්ඩායම් හිතන දෙයක් තමයි මේ ආණ්ඩුවත් රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා කුමාරතුංග ආරම්භ කරපු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියම ඉදිරියට ගෙන යා යුතුයි කියලා. ඒක වැරදියි. ජාතික ජන බලවේගයට අවශ්‍ය වුණා හැම දේකදිම නව ආරම්භයක් ගන්න. ඒකකරන්න අමාරු වෙයි. නමුත් මගේ තේරුම්ගැනීමේ හැටියට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන කතිකාවෙදි ජාතික ජන බලවේග ආණ්ඩුවත් පරණ ව්‍යවස්ථා සංශෝධන කතිකාවම සහ පරිකල්පනයම ඉදිරියට ගෙනියයි කියලා මම හිතන්නෙ නෑ. ඒක බලාපොරොත්තු වෙන්න බැරි දෙයක්. බලාපොරොත්තු වෙන එකත් වැරදියි. ජාතික ජන බලවේගය කියන්නෙ අලුත් දේශපාලන සත්වයෙක්. මේතාක් ගෙනාපු ව්‍යවස්ථා සංශෝධන බලයේ සිටි පුද්ගලයෙක් වටා තමයි පෙළ ගැහුණෙ. ඒ අනුව යමින් අනුරත් කළ යුත්තෙ චන්ද්‍රිකා - රනිල් කරපු දේමයි කියලා ඒ අය හිතනවා. ඒක යථාර්ථවාදී නොවන අපේක්ෂාවක්. මට පෙනෙන හැටියට ජනාධිපතිවරයාට අවශ්‍ය නෑ ඒක තමන්ගෙ ව්‍යවස්ථාව කියලා කියවා ගන්න.
 
දේශපාලන නිරීක්ෂකයෙක් හැටියට මට පෙනෙන දේ තමයි ආණ්ඩුවට අවශ්‍ය කරලා තියෙනවා ලංකාවේ ආණ්ඩුක්‍රම කතිකාව අලුත් කරන්න. පැරණි දේශපාලන භාෂාවම ඉදිරියට ගෙන යන්න නෙවෙයි ආණ්ඩුවට අවශ්‍ය. ජාජබයටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ බලය විමධ්‍යගත කිරීම ගැන තමන්ගේම පරිකල්පනයක් සිතීමක් සහ දේශපාලන ශබ්ද කෝෂයක් තියෙනවා. එම පක්ෂයේ 2024 මැතිවරණ ප්‍රකාශයෙන් මේවා හොඳට පෙනෙනවා. සිස්ටම් චේන්ජ් කියන එකේ ඔය අලුතින් සිතීම යන අර්ථයත් තියෙනවා. ඒක අපි තේරුම් ගත යුතුයි.
 
දැන් ලංකාවේ ඡන්දදායකයො පුරවැසියො වෙලා තියෙනවා
 
ව්‍යවස්ථාව සම්බන්ධ සාකච්ඡාවේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ පළාත් සභා ක්‍රමය නිරතුරුවම විවාදාසම්පන්න වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය කුමක් ද?
 
මගේ පෞද්ගලික මතය තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන එක. නමුත් නැවතත් පාර්ලිමේන්තු ක්‍රමයක් ගේන එකත් පිළියමක් නෙවෙයි. ලංකාවට අවශ්‍ය වෙන්නෙ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අලුත් වූ පාර්ලිමේන්තු ක්‍රමයක්. දෙවැනි එක තමයි ලංකාව බලය විමධ්‍යගත කිරීම ශක්තිමත් කළ යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කතා කරන ඕනෑම ආණ්ඩුවකට අභියෝගයක් තියෙනවා. ආණ්ඩුව ක්‍රම වෙනසෙ න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කරන්න ගියොත් සාම්ප්‍රදායික දේශපාලන නායකත්වයයි ආණ්ඩුවයි අතර තියෙන ප්‍රතිවිරෝධතා උත්සන්න වෙනවා. ඒක වළක්වන්න බෑ. සාම්ප්‍රදායික දේශපාලන නායකත්වයට එරෙහිව ආණ්ඩුව රාජ්‍ය බලය සහ නීතියේ ක්‍රියාවලිය පාවිච්චි කළොත් ඒ අය නිකන් ඉන්නෙ නෑ. ඒක යථාර්ථයක්. පසුගිය කාලයේ දී සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර ඇතුළු විපක්ෂ කණ්ඩායම් ආණ්ඩුවට කළ චෝදනාවක් තමයි දූෂිතයන්ට දඬුවම් දුන්න ද කියලා. නමුත් ආණ්ඩුව දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරද්දි මේ දෙපාර්ශ්වය අතර තියෙන සතුරු ප්‍රතිවිරෝධතාව උත්සන්න වෙනවා. ඒ උත්සන්න වීමේ සලකුණක් තමයි පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ වුණු සමහර සිදුවීම්. ආණ්ඩු පක්ෂයයි, විපක්ෂයයි අතර තියෙන බල සම්බන්ධතාව සාම්ප්‍රදායිකව ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි අතර තිබුණු බල සම්බන්ධතාවෙන් වෙනස් වෙමින් යනවා. එය දැනටමත් විවෘත පන්ති සටනක ස්වභාවය අරගෙන තියෙනවා. පාර්ලිමේන්තු සභා ගර්භය තමයි එම පන්ති සටන සිදු වෙන අඩවිය බවට පත් වෙලා තියෙන්නෙ. ඒක බොහෝ අය තේරුම් නොගෙන තමයි ක්‍රම වෙනස කෝ යනුවෙන් ප්‍රශ්න කරන්නෙ.
 
ඕනෑම ආණ්ඩුවක් ක්‍රම වෙනසකට යනවා නම් දැනට බලයේ සිටින ව්‍යුහයන් නැති කරන්න සිදු වෙනවා. නැතිනම් ඒවා දුර්වල කළ යුතුයි. ඒක කළොත් සමාජයේ විශාල ගැටුමක් ඇති වෙනවා. මොකද දූෂිත, පිරිහුණු, සහ අකාර්යක්ෂම පැරණි ක්‍රමයෙන් වාසි සහ ප්‍රතිලාභ ලබපු සහ එහි හිමිකරුවන් කොටස්කරුවන් වෙන බලසම්පන්න පිරිසුත් ඉන්නවානෙ. ක්‍රම වෙනස කෝ? යනුවෙන් ප්‍රශ්න කරන අය සමාජයේ තිබෙන සමාජ දේශපාලන ගැටුම ඉතාමත් තීක්ෂණ වීමේ අවධියකට යා යුතුයි කියන එක තමයි දැනුවත්ව හෝ නොදැනුවත්ව කියන්නෙ. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළෙ බොහෝ පිරිස් ඉල්ලා සිටින ක්‍රම වෙනසක් ඇති කළ හැකි ද කියන එක ප්‍රශ්නයක් වෙන්නෙ මෙන්න මේ පසුබිම සහ සන්දර්භය ඇතුළෙ. ඕකට ආණ්ඩුවට සහ විරුද්ධ පක්ෂයට පිළිතුරක් තියෙනවා ද කියලා මම දන්නෙ නෑ. ක්‍රම වෙනසක් පිළිබඳ න්‍යායපත්‍රය ගැඹුරට ක්‍රියාත්මක කරන්න ගියොත් ලංකාවේ සමාජයේ දේශපාලන ප්‍රතිවිරෝධතා අලුත් අවධියකට යනවා කියන එකයි මට කියන්න පුළුවන්.  ලංකාවේ දේශපාලනය දැනටමත් ධ්‍රැවීකරණයකට ලක්වෙලා තියෙනවා. ඒ කියන්නෙ ප්‍රභූ සහ නිර්ප්‍රභූ, බලයේ සිටි සහ දැන් ඉන්න අය අතර ගැටුම අනිවාර්යයෙන් ම උත්සන්න වෙනවා. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ප්‍රශ්නය දෙස බැලිය යුත්තෙත් මෙම පසුබිම අමතක නොකරමින්.
 
නමුත් මහජන අරගලයෙන් ඉදිරියට දැමුණු න්‍යායපත්‍රයෙ තිබුණෙ ඔය ඉල්ලීම් නේද?
 
ඔව්. නමුත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතුළෙ ඒක කිරීම පහසු නෑ. අපි ඒක තේරුම් ගත යුතුයි. ලංකාවේ දේශපාලන සාකච්ඡාවට මැදිහත් වෙන විශ්වවිද්‍යාල ආචාර්යවරු පවා මේ දේශපාලන මොහොතේ තියෙන සංකීර්ණතා පිළිබඳව ගැඹුරු විග්‍රහයක් කරන්නෙ නෑ. පත්තර කතුවැකි සමාජ මාධ්‍ය මේ හැම තැනකම මේක මතුපිටින් කතා කරන්නෙ. ආණ්ඩුව දැනට ඉන්නෙ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුළෙ. ජනාධිපතිවරයා පසුගිය දිනෙක පැහැදිලිව කිව්වෙ තමන් වැඩ කරන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ සීමා ඇතුළෙ කියලා. නමුත් ක්‍රම වෙනසක් අවශ්‍යයි කියලා ඉල්ලන අය නොකියා ඉල්ලන්නෙ නීතියෙ සීමා නොතකා කටයුතු කරන්න කියලා. ලංකාවෙ සමාජයට දේශපාලන විචාරකයන්ට ඔය දෙකෙන් එකක් තෝරාගන්න වෙනවා. පළමු වැනි එක තමයි ක්‍රම වෙනසක් ඇති කළ හැකි ද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන් ඇතුළෙ කියන එක. දෙක ක්‍රම වෙනසක් සඳහා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ඉක්මවා යෑම සුදුසුද කියන එක. වඩා හොඳ විකල්පය මොකක්ද කියන එක. මොන වගේ ක්‍රම වෙනසක් ද මොන වගේ ප්‍රජාතන්ත්‍රවාදයක්ද කියන එක අද මගහරින්න බැරි කරුණක්. ලංකාවේ වර්තමාන දේශපාලන සාකච්ඡාවේ මේ දේවල් ගැනයි කතා කළ යුත්තෙ.
 
ක්‍රම වෙනසක් පිළිබඳ න්‍යාය පත්‍රය බැරෑරුම්ව ක්‍රියාත්මක කරන්න ගියොත් ලංකාවේ සමාජයේ දේශපාලන ප්‍රතිවිරෝධතා සහ ගැටුම් අලුත් අවධියකට යනවා
 
ලංකාවේ සාම්ප්‍රදායික ද්වී පක්ෂ ක්‍රමයෙ බිඳවැටීමත් එයින් පිටස්තර බලවේගයක් විදියට ජවිපෙ බලයට පැමිණීමත් මත සාම්ප්‍රදායික ආණ්ඩු පක්ෂ-විපක්ෂ විවේචනශීලී දේශපාලන අවකාශය ව්‍යුහාත්මක වෙනසකට ලක්වෙලා තියෙනවා ද?
 
විවේචනය තදින්ම සිදු වෙනවා. විපක්ෂය දැඩි ලෙස ආණ්ඩුව විවේචනය කරනවා. ලංකාවේ සජීවි විපක්ෂයක් ඉන්නවා. ආණ්ඩුවේ කටයුතු විපක්ෂය, සමාජ මාධ්‍ය සහ ප්‍රධාන මාධ්‍ය ප්‍රශ්න කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ඒක ඉතා හොඳ තත්ත්වයක්. ආණ්ඩුව ඒකට බාධා කරන්න යන්නෙත් නෑ. නමුත් ඒ විවේචනය මතුපිට එකක්. විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු ආර්ථික ප්‍රතිපත්තිය ගැන කරන විවේචන අතිසරල ඒවා. මීට වඩා ගැඹුරට කියන්න දේවල් ඇත්තටම තියෙනවා. ඇයි කියන්නෙ නැත්තෙ? ඒකෙන් පේනවා සාම්ප්‍රදායික පක්ෂවල තියෙන දේශපාලන දරිද්‍රතාව. විපක්ෂයට තවම බැරි වෙලා තියෙවා ගුණාත්මක වශයෙන් වෙනස් වෙන්න. 2024 මැතිවරණවලදි සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට ජනතාව ඡන්දය නොදුන්නෙ ඇයිද කියන එක තේරුම් ගන්න මේ පක්ෂවලට බැරි වෙලා තියෙනවා. ඔය ප්‍රශ්නයට බොහෝ අය දෙන උත්තරේ තමයි ජාතික ජන බලවේගයේ බොරුවලට මිනිස්සු රැවටුණා කියන එක. ඒක අසත්‍යයක් විතරක් නෙවෙයි පුරවැසියන්ගෙ දේශපාලන බුද්ධියට කරන නින්දාවක්. රටේ ඡන්දදායකයො දේශපාලනික වශයෙන් පරිණත වෙලා තියෙනවා. ඡන්දදායකයන් ලබපු පරිණතාභවය ලබා ගන්න දේශපාලන පක්ෂවලට බැරි වෙලා තියෙනවා. ඒ බව නිතර ප්‍රදර්ශනය කරනවා. විපක්ෂ කණ්ඩායම් මුහුණ දෙන ලොකුම අභියෝගයක් තමයි ඔවුන්ගේ විවේචනවල තියෙන දුගීබව ජය ගැනීම.
 
ලංකාවේ අද තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපය හැඳින්වීමට “පුරවැසි සමූහාණ්ඩු ප්‍රජාතන්ත්‍රවාදය” යන යෙදුම ඔබ ඔබේ මෑතකාලීන ලේඛනවලදි පාවිච්චි කරලා තියෙනවා. ඒක ලංකාවේ දැනට තියෙන මහජන දේශපාලන අවකාශය හඳුන්වන පර්යාය යෙදුමක් ද?
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලංකාව හඳුන්වන්නෙ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස. නමුත් කවුරුවත් ජනරජය කියන්නෙ මොකක්ද කියලා ප්‍රශ්න කරන්නෙ නෑ. ජනරජය කුමක්ද යන්නට දේශපාලන න්‍යායෙ අදහස් දෙකක් තියෙනවා. එකක් තමයි පුරවැසියන්ගේ රාජ්‍යයක් යන අදහස. පුරවැසියන් කියන්නෙ දේශපාලන ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ වෙන අයට. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළෙ පුරවැසි දේශපාලන සහභාගීත්වය අවම මට්ටමක තියෙන්නෙ. 2022 අරගලයෙදි මේ දුර්වලකම පුරවැසියන් ඡන්දදායකයන් දැක්කා. ඡන්දය දුන්නට පසු දේශපාලන නිද්‍රාශීලීත්වයට පත් වෙන පුරවැසියන් වෙනුවට අවදියෙන් ඉන්න දේශපාලන ක්‍රියාකාරීත්වයට සක්‍රීයව මැදිහත් වෙන පුරවැසි සමාජයක් ලංකාවේ බිහිවෙලා තියෙනවා. ඒක බංග්ලාදේශයෙත් වුණා. මම කියන්නෙ ලංකාවේ පුරවැසියො ජීවගුණයෙන් සමූහාණ්ඩුවාදී පුරවැසියො කියලා. නමුත් දේශපාලනඥයො මේක දන්නෙ නෑ. ලංකාවේ දැන් ඉන්නෙ සක්‍රීය දේශපාලන පුරවැසියො බව ආණ්ඩුවත් පිළිගත යුතුයි. දැන් ලංකාවේ ඡන්දදායකයො පුරවැසියො වෙලා තියෙනවා.
 
රාජපක්ෂවාදය මූලික වශයෙන් අවසන් වෙලා තියෙන්නෙ
 
වත්මන් ආණ්ඩුව යටතේ ඉන්දු-ලංකා සබඳතා පරිවර්තනීය අවධියකට පැමිණ ඇති බවක් ප්‍රකාශ වෙනවා. ඔබ එය දකින්නෙ කෙසේ ද?
 
ඉන්දියාව සමග වන සම්බන්ධතා ගැන කතා කිරීමේ දී තේරුම් ගත යුතුයි ඉස්සරට වඩා දැන් වෙනස් වෙන ලෝකයක් තියෙන්නෙ කියලා. ලංකාවේ ඕනෑම ආණ්ඩුවකට තෝරාගැනීමේ ගැටලුවක් තියෙනවා. ඒ තමයි ඉන්දියාව තරහ කරගෙන ඉන්න පුළුවන් ද කියන එක. මතවාදීමය වශයෙන් මග පෙන්වනු ලබන විදේශ ප්‍රතිපත්තියක් අපට අනුගමනය කරන්න බෑ. විදේශ ප්‍රතිපත්තියේ දී ලංකාව අනුගමනය කළ යුත්තෙ ප්‍රයෝජ්‍යතාවාදී විදේශ ප්‍රතිපත්තියක්. ඒක ක්‍රියාත්මක කිරීමේ දී දෘෂ්ටිවාදයක් අවශ්‍ය නම් ඒ සඳහා ගැළපෙන්නෙ යාවත්කාලීන කරන ලද නොබැඳි ප්‍රතිපත්තිය. ඒ කියන්නෙ වෙනස් වෙන ලෝකයට අදාළ ලෙස සකස් කළ නොබැඳි ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය ඒ පැත්තට ගමන් කරන එකක් බව මට පෙනෙනවා. ප්‍රයෝජ්‍යතාවාදී විදේශ ප්‍රතිපත්තිය කියන යෙදුම වෙනුවට ජනාධිපතිවරයා අවස්ථා කීපයකදි ව්‍යවහාරික බුද්ධිය භාවිත කිරීම යන යෙදුම පාවිච්චි කළා. මම දකින හැටියට ඒක ඉතාම වැදගත් ප්‍රකාශයක්. ඒ කියන්නෙ ප්‍රයෝජ්‍යතාවාදී ආර්ථික හා විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියන එක. බොහෝ අයට ඒක තේරුම් ගන්න බැරි බවක් තමයි පෙනෙන්නෙ. ඒ වගේම ජවිපෙත් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන ඇති බවක් පෙනෙනවා. ඒ කියන්නෙ පෙර වගේ අතිධාවනකාරී විදියට වැඩ නොකළ යුතුයි කියන පාඩම ඉගෙන ගෙන තියෙනවා.
 
ලංකාවේ දේශපාලනය ඇතුළෙ රාජපක්ෂවාදය මූලිකව අවසන් කියලා ඔබ හිතනවා ද?
 
මම හිතන්නෙ ඒක අවසන්. රාජපක්ෂවාදයේ මූලධර්ම කීපයක් තිබුණා. සිංහල බෞද්ධ ජාතිකවාදය එකක්. දෙවැන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබුණු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මතවාදයට උරුමකම් කීම. තව එකක් තමයි දේශපාලන අධිකාරවාදය. දූෂණය කියන්නෙ රාජපක්ෂවාදයේ තිබුණු තවත් එක මූලධර්මයක්. දූෂණය දේශපාලන අවියක් විදියට පාවිච්චි කිරීමක් සිදු වුණා. මහින්ද රාජපක්ෂ 2005 දී බලයට පත් වූ පසු තමන්ගේ බලය පවත්වා ගෙන යෑම සඳහා දේශපාලන බලය සහ දූෂණය දේශපාලන අවියක් ලෙස සාර්ථකව පාවිච්චි කළා. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩු ක්‍රමයක් ඇතුළෙ දූෂණය සම්බන්ධයෙන් යම් ලැජ්ජාවක් තියෙනවානෙ. නමුත් රාජපක්ෂවාදය ඇතුළෙ ඒ ලැජ්ජාව තිබුණෙ නෑ. මේ සියලු මූලිකාංගවල මිශ්‍රණයක් තමයි රාජපක්ෂවාදය කියන්නෙ. ඒක දැන් අවසානයකට ඇවිත් තියෙනවා. නාමල් රාජපක්ෂ දේශපාලනයෙ ඉඳියි. නමුත් දේශපාලන බලය ලබා ගැනීමට ශක්තිමත් මතවාදයක් විදියට රාජපක්ෂවාදය ඉදිරියට පැමිණීමට දැනට රටේ ඉඩක් නෑ.
 
ප්‍රධාන දේශපාලන පක්ෂ බිඳවැටී ඇති තත්ත්වයක ඔබ හිතන විදියට ලංකාවේ අනාගත තීරණාත්මක දේශපාලන බලවේග හැටියට කවුරු මතු වෙයි ද?
 
ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඉදිරියේ දී තනි පක්ෂ ක්‍රමයක් සහිත දේශපාලනයකට රට යන්න ඉඩ තියෙනවා. ඒකෙ වැරැද්ද ජාතික ජන බලවේගය නිසා නෙවෙයි. ඒකෙ වැරැද්ද විරුද්ධ පක්ෂ නිසා. විරුද්ධ පක්ෂ මහජනතාව ඉදිරියට ඇවිත් මැතිවරණයක් දිනන්න නම් ඔවුන් අලුත් විය යුතුයි. ජනතාවට හිතවත් දේශපාලන පරිවර්තනයක් ඇති කිරීමට කැපවෙන නව පන්නයේ දේශපාලන මතවාදයක් ඔවුන් ගොඩනැංවිය යුතුයි. ඒ මතවාදය ආණ්ඩුවේ මතවාදයම විය යුතු නැහැ. නමුත් විපක්ෂ කණ්ඩායම්වලට ඒ වෙනසට අවැසි බුද්ධිමය දේශපාලන ශක්තිය ඇති බවක් මට පේන්නෙ නෑ. ජාතික ජන බලවේගයට තරගකාරී ලෙස ඉදිරියට එන්න පුළුවන් විපක්ෂ බලවේගයක් ළඟදි මතු වෙයි කියලා මම විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසා එන්.පී.පී.යෙ තනි පක්ෂ ඒකාධිකාරයක් විරුද්ධ පක්ෂවලට තමන්ම ප්‍රතිසංස්කරණය කරගැනීමට ඇති නොහැකියාවෙ ආධාරයෙන් එන්න ඉඩ තියෙනවා. 
 
විපක්ෂයට තවම බැරි වෙලා තියෙවා ගුණාත්මක වශයෙන් වෙනස් හෝ අලුත් වෙන්න
 
පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලිය ශාස්ත්‍රීය වශයෙන් ඔබත් අතගහපු ප්‍රශ්නයක්. නමුත් එය පරිපූර්ණත්වයට පත්ව ඇති බවක් පෙනෙන්නට නෑ. ඒ වගේ ම යුද්ධය අවසන් වීමෙන් පසුවවත් අර්ථවත් ප්‍රතිසංධානයක් ගොඩනැගුණෙත් නෑ. ඔබ හිතන විදියට මේ ආණ්ඩුව යටතේ ඒ ව්‍යාපෘති මොන වගේ තැනකට තල්ලු කළ යුතු ද?
 
1980 ගණන්වලින් පස්සෙ ලංකාවේ ජාතිය ගොඩනැගීම හා රාජ්‍ය ගොඩනැගීම පිළිබඳව අලුත්ම කතිකාවක් ඇති වුණා. ලංකාව වාර්ගික බහුත්වවාදය පිළිගත යුතුය, එය ආණ්ඩුක්‍රම ව්‍යුහයන්ගෙන් ප්‍රකාශයට පත් කළ යුතුය, බලය විමධ්‍යගත කළ යුතුය යනාදී ප්‍රකාශයන් ඒ කතිකාව ඇතුළෙ තිබුණා. රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී විය යුතු බවත් දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයට අමතරව ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයත් තිබිය යුතුය යනාදී අවධාරණ ද එහි තියෙනවා.
 
ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයෙහි ඔය අදහස් සියල්ලම තියෙනවා. 1980 ගණන්වලින් පස්සෙ ලංකාවෙ රාජ්‍ය යළි නිර්මාණය කිරීම සඳහා ඇති වුණු ප්‍රගතිශීලී හා ප්‍රජාතන්ත්‍රවාදී යැයි කිව හැකි කතිකාව එයාලගෙ මැතිවරණ ප්‍රකාශනයෙහි තියෙනවා. කනගාටුවට කරුණ තමයි බොහෝ දෙනා ඒ මැතිවරණ ප්‍රකාශනය කියවලා නෑ. 
 
ජාතික ජන බලවේගය පාවිච්චි කරන දේශපාලන භාෂාව 1990 ගණන්වල පොදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුව මේ සම්බන්ධයෙන් පාවිච්චි කරපු භාෂාවෙන් වෙනස්. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දේශපාලන භාෂාවත් නෙවෙයි. ජවිපෙ මේ අදහස් තමන්ගේම දේශපාලන ශබ්දකෝෂයකින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒක ඕනෑම දේශපාලන පක්ෂයක් කරන දෙයක්. ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න නම් ඉන්දු ලංකා-ගිවිසුම ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බවට දෙමළ දේශපාලන පක්ෂ අතර මතයක් තියෙනවා. ඉන්දියාවේ මැදිහත්වීම අනිවාර්යයි කියලා ඔවුන් හිතනවා. ඒක ටිකක් යල්පැන ගිය අදහසක්. ඔය මතය සමගි ජන බලවේගයත් දරනවා. 
 
ඒ නිසා ඒ සියලු දෙනාත් තමන්ගෙ දේශපාලන කතිකාවන් අලුත් කළ යුතුයි. ඒක කිරීමේ ආරම්භයක් ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයෙ තියෙනවා. රාජ්‍ය ගොඩනැගීම හා ජාතික ප්‍රශ්නයට අදාළව දේශපාලන කතිකාව අලුත් කරන්නෙ කොහොමද කියන ප්‍රශ්නය තියෙනවා. ජාතික සමගිය හා ප්‍රතිසංධානය ඇතිකිරීමට ජනාධිපතිවරයා පාවිච්චි කරන වචනය හඳුන්වන්න පාවිච්චි කළ හැකි යෙදුමක් තමයි පුරවැසි ජාතිකවාදී විකල්පය (Civic Nationalism Alternative). ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනා ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස හඳුන්වන ඇඟවුම ඒකෙ තියෙනවා. පුරවැසියන් හැටියට හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙනවා. වෙන් වෙන් ජාතිකවාද තිබුණත් ජනාධිපතිතුමා අවධාරණය කරන්නෙ ඒ සියලු ඒවා එකතු කරන්න පුළුවන් අලුත් ආකාරයේ ජාතිකවාදයක් ගැන. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකවාදවලට සම්මුඛ වෙන්න පුළුවන් තැනක් ගැන ඒ කතාවෙ තියෙනවා. ඒ තැන තමයි ප්‍රජාතන්ත්‍රවාදය හා සමාන පුරවැසිභාවය. මම හිතන්නෙ මේ පණිවුඩය දේශපාලනික වශයෙන් නිර්මාණාත්මක පණිවුඩයක්. අවාසනාවකට දෙමළ දේශපාලන පක්ෂත් මේ පණිවුඩයට අකැමැති වුණා. මම කියන්නෙ පුරවැසි ජාතිකවාදී දෘෂ්ටිකෝණයකින් බලනවා නම් විතරයි ලංකාව සමූහාණ්ඩුවක් වශයෙන් නැතිනම් ජනරජයක් වශයෙන් ගොඩනැගිය හැක්කෙ.
ලංකාවට අවශ්‍ය වෙලා තියෙන්නෙ පැරණි ජනරජ ව්‍යවස්ථාවට පැලැස්තර විසඳුමක් වෙනුවට තුන්වැනි ජනරජයක් සඳහා අරගල කිරීම. ඒ තුන්වැනි ජනරජයෙන් ජනරජවාදී මූලධර්ම ශක්තිමත් කරන්න ඕනැ. ඒ වගේම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ශක්තිමත් කරන්න ඕනැ. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ශක්තිමත් කිරීම මදි. අපි ආණ්ඩුවට බල කරන්න ඕනැ ඒවා කරන්න කියලා. ඔය විදියට හිතන්න විරුද්ධ පක්ෂ තවම සූදානම් නෑ. ඒකට කොළඹ සිවිල් සමාජයත් ලෑස්ති නෑ.
 
සාකච්ඡා කළේ 
උපුල් වික්‍රමසිංහ