ආණ්ඩුව ඔය වංගු ගහන්නේ ඡන්දයට බයේ


සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී 

රංජිත් මද්දුම බණ්ඩාර

 

සමගි ජන බලවේගය තුළ ගෙවල් ගිනි තියපු අයත් නෑ. ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණු අයත් නෑ. වෙන ලැයිස්තුවල එහෙම අය ඉන්නවා. නාමල් රාජපක්ෂ මහත්තයාට සමගි ජන බලවේගයට කියන්න දෙයක් නැති නිසා ​ඔහොම කියනවා ඇති. නාමල් රාජපක්ෂ මහත්තයා කියන්නේ රටේ අවලංගු කාසියක්. ජනතාව එළවපු පවුලක සාමාජිකයෙක්.

 පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ තුළ විශේෂ උනන්දුවකි. එහෙත් මැතිවරණය පවත්වයිද? සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි.


?මාර්තු 9 වැනිදාටම ඡන්දය තියයි කියලා ඔබ හිතනවද?   


දැනටමත් මැතිවරණ කොමිසම දිනය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඡන්දය පවත්වන්න කියලා නඩු කිහිපයක් ගොනු කරලා තියෙනවා. අධිකරණය කවදාවත් මැතිවරණ කල්දාන්න තීන්දු දීලා නෑ. ඒ නිසා නියමිත දිනයේදී මැතිවරණය පවත්වයි කියලා අපට විශ්වාසයි.   


?මෙතැන තියෙන්නේ මූල්‍යමය ප්‍රශ්නයක්නේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් කියනවා මැතිවරණයකට වියදම් කරන්න සල්ලි නෑ කියලා?   


මැතිවරණයට අපි අහන්නේ පහුගිය අයවැයෙන් වෙන්කොරපු බිලියන හත්දහස් හයසිය ගණනක් බිලියන කීයද වියදම් වෙන්නේ? බිලියන 10 යි නේ. ආණ්ඩුව මාසෙකට බිලියන ගානක් සල්ලි අච්චු ගහනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරන්න, ජනතාවගේ ඡන්ද බලය උරගා බලන්න ආණ්ඩුව ජනතාවට අවස්ථාව දෙන්න ඕනෑ. ඡන්දයට බයේ තමයි ආණ්ඩුව ඔය වංගු ගහන්නේ.   


?ජනතාවට තම මතය ප්‍රකාශ කිරීමට තරම් නිස්කාංසුවෙන් පිරුණු පරිසරයක් තියෙනවා කියලා ඔබ හිතනවද?   


ජනතාවගෙන් කුසගින්නේ ඉන්න විශාල පිරිසක් ඉන්නවා. මන්දපෝෂණයෙන් ඉන්න පිරිසක් ඉන්නවා. බෙහෙත් නැතිව ලෙඩ්ඩු මැරෙනවා. ඒවගේ වෙලාවක ජනතාවගේ තියෙන කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරන්න අවස්ථාව දෙන්න ඕනෑ. ඡන්දයෙන් අපි අපේක්ෂා කරන්නේ ආණ්ඩුව කරන ක්‍රමය හරිද? ආණ්ඩුවට මෙහෙම යන්න පුළුවන්ද කියන ජනතාවගේ මතය විමසීමටයි.   


?ඔබ කියනවා වගේම ජනතාව ඉන්නේ බලවත් පීඩාවකින්. එහෙම වෙලාවක ජනතාවගේ විරෝධය පළ කරන්න විතරක් අවස්ථාව දුන්නහම ඇති කියලා ඔබ හිතනවද?   


මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්න කණ්ඩායමම තමයි රට මේ තත්ත්වයට පත් කරන්න අත ඉස්සුවේ. නායකය විතරයි දැන් නැත්තේ. නායකයා විතරයි දැන් වෙනස් වෙලා ඉන්නේ. ඒ නිසා මේ මැතිවරණය අවස්ථාවක් වෙයි ජනතාවට මේ රට බාර දෙන්න ඕනෑ කාටද කියන එක තීරණය කරන්න. ඒක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. අලුත් නායකයෙක් ගෙනල්ලා මේ ආණ්ඩුව පිහිටුවාගෙන හිටියට රටේ වෙනසක් දකින්න නෑ. ජනතාව බොහොම අමාරුවෙන් ඉන්නේ. එවැනි අවස්ථාවක ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න දෙන්න ඕනෑ.   


?මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් අස්වෙලා කොළඹ නගරාධිපති ධුරයට ඉල්ලනවා. ඔබලා ඔහු බිලි දුන්නා කියලා මම කිව්වොත්?  


නෑ එහෙම කිසිම දෙයක් නෑ. ඒක එතුමගේ පෞද්ගලික තීන්දුවක්. එතුමාට විශ්වාසයක් තියෙනවා එතුමා දිනනවා කියලා. කොළඹ නගරාධිපති කියන්නේ සුවිශේෂී තනතුරක්. ඒ නිසා එතුමා හිතන්න ඇති මම මේ තනතුරට ගිහිල්ලා ඒකෙ වැඩ කරලා නැවත පාර්ලිමේන්තුවට යන්න ඕනෑ. එතුමගේ ජනප්‍රියත්වය මේ ජයග්‍රහණයට හොඳ අවස්ථාවක්. ඒක එතුමගේ පෞද්ගලික තීන්දුවක්. ඒ නිසාවට අපි පක්ෂයක් හැටියට ඉඩ හැරියා.   


?බොහෝ පක්ෂ තමන්ගේ ප්‍රසිද්ධ නායකයන් ඡන්දෙට දාලා තියෙනවා. එකම අරමුණ ඡන්ද ගොඩ වැඩි කර ගැනීම?  


ඒ ඒ නායකයන්ගේ ප්‍රසිද්ධිය ජනප්‍රියත්වය මැතිවරණ ජයගහණවලට හේතු වෙනවා.  


?මෙතැන තියෙන ප්‍රශ්නය ඡන්දය දිනුවාම ඔවුන් නැවතත් පාර්ලිමේන්තු දේශපාලනයට අනුගතවීමයි. ඔබ කියන්නේ මුජිබර් කරන්නෙත් ඒකමයි කියලද?  


අපේ පාර්ලිමේන්තු පනත අනුව අපේ මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමාට ආපහු පාර්ලිමේන්තුවට යන්න අවස්ථාව නැහැනේ. ඊගාවට එන්න ඉන්නේ පවුසි මැතිතුමා. ඊළඟ මැතිවරණය වෙනකම් එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ජනතාවට සේවය කරන්න ලැබෙන අවස්ථාව සීමිතයි. නමුත් නගරාධිපති හැටියට එතුමාට කොළඹ ප්‍රදේශයටම විශාල සේවාවක් කරන්න පුළුවන්. ඒකයි එතුමා ඒක තෝරාගන්න ඇත්තේ.  


?මේ තියෙන පරිසරය තුළ පළාත් පාලන ආයතනවල ස්ථාවර පාලනයක් පිහිටුවගන්න බෑ කියනවා. ඔබේ අදහස?  


ඔව්! මේ මැතිවරණ ක්‍රමය ගැන නම් මම සෑහීමකට පත්වෙන්නේ නෑ. ජේ.ආර්ගේ ක්‍රමය ​නෙවෙයි මේ මැතිවරණ ක්‍රමයයි බහු බූත. ඒකේ දෙකක් නෑ. කොහොම වුණත් මොන ක්‍රමයෙන් හරි අපට තරග කරන්න වෙනවා. ආණ්ඩුවට ඕනෑ තරම් කල් තිබුණා මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. නමුත් ආණ්ඩුව ඒක කළේ නෑ. මැතිවරණයක් ආපු වෙලාවේ  ඒ වෙනස්කම් කරන්න බෑ. කොහොම වුණත් තියෙන ක්‍රමය යටතේ අපි තරග කරලා ජයග්‍රහණය කරනවා.  


?යම් සභාවක පාලනය පිහිටුවන්න වෙනත් පක්ෂයකට ආරාධනා කරන්න වුණොත් හිතලද තියෙන්නේ කාටද ආරාධනා කරන්නේ කියලා?  


අපි දන්නවා විශේෂයෙන්ම මේ ක්‍රමය යටතේ එකතුවෙලා තමයි සභා පිහිටුවන්න වෙන්නේ. එතැනදී පළාත් පාලන ආයතන අති බහුතරයක් අපි දිනනවා. යම් අවස්ථාවක ඔබ කියන තත්ත්වය ඇති වුණොත් අවස්ථානුකූලව යම් පක්ෂයක් හෝ පක්ෂ කිහිපයක් තෝරාගෙන බලය පිහිටුවන්න අපි කටයුතු කරනවා.  


?මැයි 9 වැනිදා ගෙවල් ගිනි තැබීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් අයටත් සජබෙ නාම යොජනා දීලා කියලා නාමල් රාජපක්ෂ කියනවා.  


නෑ අපි කිසිසේත්ම ඒක පිළිගන්නේ නෑ. සමගි ජන බලවේගය තුළ ගෙවල් ගිනි තියපු අයත් නෑ. ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණු අයත් නෑ. වෙන ලැයිස්තුවල එහෙම අය ඉන්නවා. නාමල් රාජපක්ෂ මහත්තයාට සමගි ජන බලවේගයට කියන්න දෙයක් නැති නිසා ​ඔහොම කියනවා ඇති. නාමල් රාජපක්ෂ මහත්තයා කියන්නේ රටේ අවලංගු කාසියක්. ජනතාව එළවපු පවුලක සාමාජිකයෙක්.  


?ජාතික ජන බලවේගය සමගි ජන බලවේගයන්ට අභියෝගයක් කියලා මම කිව්වොත්?  


නෑ. ජාතික ජන බලවේගය කිසිම අභියෝගයක් නොවෙයි. ඒගොල්ලෝ ඉතිහාසයේ වැඩිම අරන් තියෙන්නේ සියයට 3ක් 4 ක් 5ක් වගේ ඡන්ද. මේ වෙලාවේ පොහොට්ටුව ප්‍රතික්ෂේප කරන අයගෙන් වැඩි කොටසක් අපට එනවා. තව සුළු පිරිසක් ඔවුන් ළඟටත් යයි. නමුත් එහෙමයි කියලා සභාවක බලය පිහිටුවන්න ඔවුන්ට අවස්ථාවක් නෑ. පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර මහතා ගත්තේ ඡන්ද හාරලක්ෂ ගානයි. ඒක තමයි ඇත්ත තත්ත්වය. සෝෂල් මීඩියා සංදර්ශනයකුයි මාධ්‍ය සංදර්ශනයකුයි විතරයි තියෙන්නේ.

 

සාකච්ඡා කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්