ආණ්ඩුව එක්ක ඉන්නේ කොළඹ හතේ චෞර වළල්ල විතරයි


සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

එස්.එම්. මරික්කාර්

චැනල් 4 අනාවරණය දේශපාලන ලෝකය තුළ නොනිමි දැල්වෙන ගිනි පුළිඟුවකි. මේ ඒ ගැනත් රටේ දේශපාලන තත්ත්වය පිළිබඳවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සමග කළ සාකච්ඡාවකි.


?චැනල් 4 හෙළිදරව්ව ඔබ පිළිගන්නවද? අනුමත කරනවද?


සාමාන්‍යයෙන් අපේ රටේ දේවල්වලට ජාත්‍යන්තරය ඇඟිලි ගහන එකට මම පෞද්ගලිකව විරුද්ධ කෙනෙක්. නමුත් දේශීයව කරන දෙයින් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැත්නම් ජාත්‍යන්තරව හරි ඒක වෙන්න ඕනෑ. ඒක මහින්ද රාජපක්ෂත් කරලා තියෙනවා. 1989 වෙච්ච දේවල් සම්බන්ධයෙන් එයත් ජිනීවා මානව හිමිකම් කොමිසමට ගිහින් තියෙනවා. ලංකාවේ ආණ්ඩුවෙන් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නෑ කියලා.


?මගේ ප්‍රශ්නය වුණේ චැනල් 4 ගැනයි?


ඔව්. මෙතැනදී බලන්න ඕනෑ චැනල් 4 හරිද වැරැදි ද කියන එකට වඩා වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට වෙනවද කියන එක. ඒ වගේම මේක වර්ධනය වුණේ කොහොමද? මේකේ පිටිපස්සෙ හිටපු අදිසි හස්තයන් මොනවද? කියලයි බලන්න ඕනෑ. මොකද මහ බැංකු බෝම්බ ප්‍රහාරයට දළදා මාලිගාවට එල්ල කළ බෝම්බ ප්‍රහාරයට වඩා ටිකක් වෙනස්. මොකද ඒවා එකපාරම ඇවිත් ගහලා ගිය ඒවා. නමුත් තොරතුරු සියල්ල ලැබිලා තියෙද්දිත් ඒක වළක්වා නොගැනීම තමයි මෙතැන තියෙන බරපතළම ප්‍රශ්නය. මොකක් හරි වරදක් නිසා හෝ කාගේ හෝ වරදක්, සැලසුමක් නිසා ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වුණා. ඒකට සාධාරණය ඉෂ්ට වෙන්න ඕනෑ. අනිත් එක අපේ රට අද ලෝකය තුළ හුදකලා වෙලා තියෙන විදිය අනුව මේ පාස්කු ප්‍රහාරයෙන් විදේශිකයන් හතළිස් ගානක් ඝාතනය වුණා. මේක දේශීයව හරියට හොයලා දුන්නේ නැත්නම් ජාත්‍යන්තර පරීක්ෂණයකින් හරි හොයලා දුන්නේ නැත්නම් මේ විදේශිකයන්ගේ රටවල්වල රජයන් අපට විරුද්ධව හේග්වල තියෙන ජාත්‍යන්තර අධිකරණයට යන එක වළක්වන්න බෑ. එහෙම වුණොත් ඉතාම බරපතළ තත්ත්වයකට රටට මුහුණ දෙන්න වෙනවා.


?පාස්කු ප්‍රහාරය එල්ල කරන්නෙම රාජපක්ෂලාට බලයට එන්න ඔවුන්ගේ අනුදැනුමෙන් කියලයි, ඔබ ඒ කතාව පිළිගන්නවද?


ඒක මට කියන්න බැහැනේ. පරීක්ෂණයක් නැතිව කියන්න බෑ. මේකට අදාළව විද්‍යාත්මක පරීක්ෂණයක් කළ යුතුයි. නමුත් ඉතිහාසය පුරාම රාජපක්ෂලාට මිනීමැරුම්, සුදුවෑන්, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, මාධ්‍යවේදීන්ට පහර දීම්, මාධ්‍ය ආයතනවලට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ අඳුරු, කළු පැල්ලම් සහිත ඉතිහාසයක් තියෙන්නේ. ඔබ දන්නවා. සහෝදර මාධ්‍යවේදීන් විශාල පිරිසකට රට හැර දාලා යන්න වුණා. එහෙම ඉතිහාසයක් රාජපක්ෂලාට තියෙන්නේ. නමුත් පරීක්ෂණයකින් තමයි ඒවා එළියට ගන්න ඕනෑ. මම රහස් පරීක්ෂකවරයෙක් නොවෙයි. නමුත් ඉතින් හිතට ගතට මනසට දැනෙන දේවල් ගොඩාක් තියෙනවා.


?පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු හෙළිකරන්නේ පිල්ලෙයාන්ගේ ලේකම් කෙනෙක්. ඔහු කියන්නේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා, සලේ මේ පිටිපස්සේ හිටියා කියලා. එතකොට තිබුණේ යහපාලන ආණ්ඩුව?


මෙහෙමනේ, අංක එක දැන් මේක මෙහෙම කිව්වට ටිකක් අවුල් වෙයි. ලෝකයේ මාධ්‍ය ආයතන හිතාගෙන ඉන්නවා ඒගොල්ලෝ කියන එක තමයි හරි කියලා. මාධ්‍ය ආයතනයක් යමක් කී පමණින්ම ඒක හරි වෙන්නේ නෑ. අපි දන්නවා මාධ්‍ය ආයතන නයි නටවපු හැටි. මාධ්‍ය ආයතන මේ රටේ අන්තවාදය, ජාතිවාදය වැපිරූ හැටිත් දැක්කනේ. ඒක එක පැත්තක්. දැන් මෙතැන යම් හෙළිකිරීමක් කරලා තියෙනවනේ. එතකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දැනගන්න ඕනැ. එතුමට අගමැති ධුරය නැතිවුණේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට කෙළවුණේ, අපිට එක්සත් ජාතික පක්ෂය අතහැරලා එන්න වුණේ... මේ සියල්ලටම මූලාරම්භය පාස්කු ප්‍රහාරයයි. මහ බැංකු කොල්ලයට අමතරව එතකොට එතුමට අගමැති ධුරය අහිමි වෙච්ච ඔබ හොඳටම දන්නවා දින 52 ආණ්ඩුවෙන් පස්සේ නැවත එක්සත් ජාතික පක්ෂය ජනප්‍රියත්වයට පත්වුණා. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ තමයි එක්සත් ජාතික පක්ෂයට කෙළවෙන්න පටන් ගත්තේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා. මේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරනවා වගේම මේකේ මහ මොළකරුවන් හොයාගෙන එතුමාට අගමැතිකම අහිමි කරපු ඔවුන් අල්ලා ගැනීම. එජාපය දෙකට වෙන්න පාර කපපු එවුන් අල්ලා ගන්න එක. එජාපය පරාජයට පත් කරන්න පාර කපපු එවුන් අල්ලා ගන්න එක. ඒකට එතුමට පෞද්ගලික කැක්කුමක් තියෙන්න ඕනැ.


?පොහොට්ටුව කියන කාරණය තමයි ‘අපිට දිනන්න ඔය වගේ ප්‍රහාර එල්ල කරන්න අවශ්‍ය නෑ. ඊට කලින් තිබ්බ පළාත් පාලන මැතිවරණය අපි කොහොමත් ඉහළින්ම දිනලා හිටියේ’ කියලා.


මම ඔබට උදාහරණයක් කියන්නම්. පළාත් පාලන ඡන්දෙ තිබ්බේ 2015 පෙබරවාරි මාසයේ. ඒ වෙනකොට බැඳුම්කර කොල්ලය නිසා එජාපය ජනප්‍රිය වෙලා තිබුණේ. මගේ ආසනය නම් මම දිනුවා. හැබැයි දින 52 න් පස්සේ මෛත්‍රිපාල සිරිසේන කරපු වැඩෙත් එක්ක ජනප්‍රියතාව නැති වෙලා තිබුණ එක්සත් ජාතික පක්ෂයට ජනතාවගේ අනුකම්පාවත් එක්ක ලොකු රැල්ලක් හැදිලා තිබුණේ. ඒ වෙනකොට මංගල සමරවීර මුදල් ඇමැතිතුමාගේ ගම්පෙරළිය වැඩසටහන තුළ මේ රටේ ග්‍රාමසේවක වසම් දාහතර දාහෙම විවිධ සංවර්ධන කටයුතු නිසා පක්ෂය ඉනෙන් ඉහළට ඇවිත් තිබුණේ. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ තමයි ඒක  ‘ටර්න්’ වුණේ අනිත් පැත්තට. 2018 පළාත් පාලන මැතිවරණයේදී එජාපය බොහෝ ආසන පැරදුණා. මගේ කොලොන්නාව නගර සභාව 11 න් 11 ම දිනුවා. මං හිතන්නේ මිලියන දෙදාහක, තුන්දාහක වැඩ ඊට පස්සේ මම කළා. නමුත් පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා ජනාධිපතිවරණයේදී මගේ ආසනය ඡන්ද දෙදහස් තුන්සියයකින් පරාදයි. මට හොඳටම විශ්වාසයි පාස්කු ප්‍රහාරය නොවුණා නම් ඒ වෙලාවේ මගේ ආසනය අවම වශයෙන් වැඩි ඡන්ද දහදාහකින් දිනනවා.        


?පාස්කු ප්‍රහාරය වෙනකොට තිබුණේ යහපාලන ආණ්ඩුව. ඔබත් ඒ ආණ්ඩුවේ. ඉතින් ඇයි ඔය ඔබ කියන විදියේ අපක්ෂපාතී, සාධාරණ පරීක්ෂණයක් නොකළේ?


අපිත් හිටපු ආණ්ඩුව වුණාට ඔබ දන්නවා අපි නිකම්ම නිකන් පසු පෙළ මන්ත්‍රීවරු. රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලයේ ඉන්නකොට හැමදාම තමන්ගේම කල්ලියක් හදාගෙන ඉන්නේ. දැනුත් එහෙමයි. ඒ වළල්ල ඇතුළට අපිට යන්න බෑ. ඒකත් එක ප්‍රධාන හේතුවක් ඔහු අතහරින්න. ටයිකෝට් දාගත්තු කුරුඳුවත්තේ ඉංග්‍රීසි කතා කරන කල්ලියක් තමයි ඒ වළල්ලේ ඉන්නේ. එතුමා බැඳුම්කර ප්‍රශ්නයේදීත් කමිටු දාලා බේරෙන්න හැදුවා. අන්තිමට කෙළවුණා. පාස්කු බෝම්බ ප්‍රහාරයේදීත් එතුමා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් දැම්මා. එහෙම කමිටුවක මේ විෂය ගැන විශේෂඥයන් ඉන්නවද? මේවා පරීක්ෂණ කරන්න ඕනෑ විශේෂඥයන්.


?පළාත් පාලන ඡන්දෙ ඉල්ලලා විපක්ෂය මරාගෙන මැරෙන සටනක හිටියේ. දැන් ඡන්දෙත් නෑ. සද්දෙත් නෑ?


පිළිතුර:- ඔව්. අපි සටන් කළා පෞද්ගලිකව මට බාර දීලා තියෙන කොලොන්නාව සහ මහරගම ආසන දෙකේ ඉතාම ඉහළ මට්ටමින් මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගියා. ජයග්‍රහණය පිළිබඳව කිසිම අවිශ්වාසයක් තිබ්බේ නෑ. නමුත් මේ ජනාධිපතිවරයා විවිධ කූඨ උපක්‍රම දමමින් ඒ මැතිවරණය කල්දැම්මා. ඒ වෙලාවෙ තිබුණ වාතාවරණය එක්ක මිනිස්සු අසීමිතව දුක් විඳලා හිටියේ. ඊට පස්සේ පෝලිම් නැති වෙලා, කරන්ට් කපන එක නතර වෙලා තියෙන වෙලාවේ ප්‍රමාණය ඉක්මවා අරගලයක් කරන්න හැකියාවක් භූමියේ තිබුණේ නෑ. නමුත් අද යළිත් ඒ තත්ත්වය නිර්මාණය වෙමින් පවතිනවා. ජනතාව අරගල කිරීමේ සූදානමක නොසිටියත් ඔවුන් විඳින අප්‍රමාණ දුක් කන්දරාව නිසා ඔවුන්ගේ පීඩනය පිට කිරීමේ අවශ්‍යතාවයෙන් පසුවන්නේ. ජන සමාජයේ ඉන්න සෑම තරාතිරකම ජනයා මේ ආණ්ඩුවත් එක්ක තරහෙන් ඉන්නේ. තරහ නැතිව ඉන්නේ බිංදුවයි, බිංදුවයි, බිංදුවයි, බිංදුවක් විතරයි. කොළඹ හතේ චෞර වළල්ලක් ඉන්නවා. ඒ චෞර වළල්ල විතරයි ආණ්ඩුවත් එක්ක ඉන්නේ.


?ආණ්ඩුවෙන් කණ්ඩායම් කිහිපයක් එළියට ඇවිත් විපක්ෂයේ ඉන්නේ. නමුත් ඔබේ විපක්ෂනායකතුමා සමත් නෑ නේද ඔවුන් එක මිටට එකතු කරගන්න?


හොඳ ප්‍රශ්නයක්? දැන් මෙහෙමනේ ජනතාව විශ්වාස කරනවනේ මේ රට මෙහෙම විනාශ කළේ රාජපක්ෂලා කියලා. ඒ ආණ්ඩුවේ ඉඳගෙන. ඒ වැරැදිවලට උඩගෙඩි දීලා හවුල්වෙලා එකට පවුල් කාපු අය එළයට ආපු ගමන් අපේ තුරුළට ගන්නවා නම් අපි මහ මෝඩයෝනේ. එහෙම ගත්තොත් විපක්ෂනායකතුමත් එක්ක අපිට ඉන්න බෑ. මේ රටේ ආගම්වාදය, ජාතිවාදය වපුරපු කට්ටිය ඉන්නවා. මුස්ලිම් ජනතාව පහුගිය කාලයේ විශාල පීඩනයකට මුහුණ දුන්නා. මම සිංහල බෞද්ධ පාසලක ඉගෙන ගත්, සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනයා නියෝජනය කරන ජාතික සමගිය ඉතා ඉහළින් ප්‍රාර්ථනය කරන කෙනෙක්. මේ ජාතිවාදයෙන් උපරිම පීඩාවට පත්වෙච්ච කෙනෙක් මමත්. මම දැන් ඕවා විග්‍රහ කරන්න යන්නෙ නෑ. ඒ වාතාවරණය ඇතිකරපු වෙලාවෙ ඔබ කල්පනා කරලා බලන්න සියයට 24 ක්, අපි වෙනුවෙන් සිංහල බෞද්ධයෝ ගම්වල පෙනී හිටියා. ඒ මිනිසුන්ට අපි ගෞරවය ලබා දෙන්න ඕනැ. ඔතන ඉන්නවා ගර්භාෂ යුද්ධ නිර්මාණය කරපු අය. රාජපක්ෂලා මහතීර් මොහොමඩ්ට ලී ක්වාන් යූට අන්දපු අය ඉන්නවා. ඒ අච්චාරුව අපට ගා ගන්න බෑ. අපි දක්ෂිණාංශක සමාජ වෙළෙඳපොළ ආර්ථිකය විශ්වාස කරන ඒ ප්‍රතිපත්තිය හරහා රට දියුණු කරන්න පුළුවන් කියලා හිතන ඒ වගේම මේ රටේ බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දෙමින් අනෙකුත් සියලු ආගම්වලට ගරු කරමින් ශ්‍රී ලාංකික රටක් නිර්මාණය කළ යුතුයි කියන අධිෂ්ඨානයේ අපි ඉන්නේ. ඒ අපේ ප්‍රතිපත්තිවලට ගැළපෙන හා රාජපක්ෂලාගේ කඳවුරේ චෝදනා නැති අය පමණයි අපි ගන්නේ.


?මාලිමාව අභියෝගයක් නො​ෙවයි ද?


මහ පොළොවේ තියෙන්නේ ටෙලිෆෝනයයි මාලිමාවයි විතරයි.


?එතකොට ඡන්දෙදි කැඩෙන්නේ ඔය විපක්ෂයෙ ඡන්දමනේ?


අපේ ඡන්ද එකක්වත් ගැලවෙන්නේ නෑ. ගෝඨාභයට ගිය ඡන්දවලින් කොටසක් ගෝඨාභයට තියේවි. කොටසක් මාලිමාවට යයි. කොටසක් අපට එයි. එතකොට අපේ ගාන වැඩිවෙන එක විතරයි වෙන්නේ.


?වේලක් නොකා වේලක් කමින් හරි ඉන්න රටක් රනිල් වික්‍රමසිංහ ඉතිරි කළා. රනිල් සාධකය ගැන ඔබේ දැක්ම?


පිළිතුර:- රට කොහොමත් තිබ්බා. ඔය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පාලනය ගැන ඔබ මගෙන් අහන්න එපා. ඔබම බලන්න ඔබට ලැබෙන පඩියෙන් ඔබට ජීවත් වෙන්න පුළුවන්ද? ඔබ ඔබේ නෝනගෙන් ඔය ප්‍රශ්නය අහන්න. රනිල් පාලනය ගැන  ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන්.


?පළාත් පාලන ඡන්දය කල්ගියේ සල්ලි නැති නිසා. ජනාධිපතිවරණයටත් සල්ලි නැති වුණොත්?


පළාත් පාලන පළාත් සභා වගේ නොවෙයිනේ ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණ. එහෙම කරන්න ආවොත් මොකක්ද දන්නවද වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂට ජංගියත් එක්ක හරි පැනලා යන්න පුළුවන් වුණා. නමුත් එහෙම කළොත් මැරුම් කාලා තමයි නතර වෙන්නේ.


?මේ ආණ්ඩුවට තව අවුරුද්දක් විතර තියෙනවනේ. මේ ආණ්ඩුවේ ඔබ ඇමැතිවරයෙක් වෙලා ඉන්නවා දකින්න තව මාස කීයක් යයි ද?


කිසිසේත්ම නැහැ. මට දේශපාලනයට වඩා වටිනවා පෞද්ගලික ගරුත්වය. මම මේ දේශපාලනය නොකළා කියලා පාරට වැටෙන මිනිහෙකුත් නොවෙයි. අපේ දරුවෝ ඉස්කෝලේ යන්න ඕනෑ. සමාජයේ මිනිසුන් සමග ගෞරවාන්විත විදියට ඇසුරු කරන්න ඕනෑ. රනිල් මේ ආණ්ඩුවේ අගමැතිවුණාම මුලින්ම ඇමැතිකමක් ගන්න කතා කළේ මට. නමුත් ඇමැතිකමක් වෙනුවෙන් මේ රට විනාශ කරපු රාජපක්ෂලාගේ කඳවුරේ අපිට ඉන්න බෑ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කොළඹ හතේ චෞර කල්ලිය ඉන්න තැන අපට අවස්ථාවකුත් නෑ.


?නමුත් ඔබේ දේශපාලන තාත්තා රනිල් වික්‍රමසිංහ?


මෙහෙමයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මම මූනටම කියලා තියෙනවා එතුමා විනාශ වුණේ එතුමාගේ කල්ලිය නිසා. ඔව් ඔබ කියනවා වගේ මම එතුමා පෞද්ගලිකව ආශ්‍රය කරලා තියෙනවා 1999 ඉඳලා. 2004 මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා එතුමා මට කිව්වා. 2010 දිත් කිව්වා. මම ඒවා ප්‍රතික්ෂේප කළා. මොකද මගේ වෘත්තියෙන් මට හොඳ ජීවිතයක් තිබ්බා. එතුමා සමග තිබුණ ඒ සම්බන්ධකින් සියල්ලම එතුමාගේ ක්‍රියා කලාප, හැසිරීම් නිසා අතහරින්න වෙනවා. කොච්චර පවුල් තියෙනවද ලව් කරලා කසාද බැඳලා ඩිවෝස් වෙච්ච ඒවා. මේකත් ඒ වගේ තමයි.

 

 

■ ප්‍රසන්න සංජීව   
   තෙන්නකෝන්
     සාකච්ඡා කළේ