ආණ්ඩුව උත්සාහ කළේ හැකිනම් අපව ඝාතනය කිරීමටයි


අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට සවන් දෙන්න

  • අවුරුදු දෙකක් විතර තැපලා වරෙන් කියා තර්ජනය කළා
  • නිදහස් වුණා කියලා අරගලයට ටටා කියල අපි ගෙදර යන්නේ නෑ. අරගලය තවදුරටත් ක්‍රියාත්මකයි
  • ‘අන්න අරූ එනවා එන්න කලින් එළවපං’ කිව්වා. ඒ කියන්නේ නවගමුව පොලිසියේ අයවත් දන්නේ නෑ අපි මොකටද එතෙන්ට ගෙනාවේ කියලා. ඒ අවස්ථාවල ඒ නිලධාරින් අපිට තර්ජනය කෙරුවෙ ‘පහුගිය කාලෙ පාතාලෙට සම්බන්ධ සමහර අය ඝාතනය කෙරුවේ මෙහෙමයි’ කියලා. 

දී ර්ඝ සිරගත කිරීමකට පසු නිදහස ලැබූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සිය රැඳවුම් අත්දැකීම පිළිබඳ මෙසේ අදහස් දැක්වීමකට එක්වේ.  

 

?දීර්ඝ කාලයකට පස්සේ වසන්ත නිදහස ලබනවා. මොකද හිතෙන්නේ?  
 
පහුගිය අරගලයේ හිටපු අය දඩයම් කිරීමටත් විවිධ නඩු දාල ඒ අය හිර කිරීමටත් මේ පාලකයෝ පහුගිය කාලය පුරාම කටයුතු කළා. ගෝඨාභය රාජපක්ෂ එළවා දාන්න පෙරට ආපු පිරිස්, අරගලයේ හිටපු පිරිස් දැවැන්ත මර්දනයකට ලක් කළා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපි බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගැනීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඇතුළු මේ ආණ්ඩුව කටයුතු කළා. අගෝස්තු මාසෙ 18 වැනිදා වරෙන්තුවක් තියෙනවා කියල අත්අඩංගුවට අරගෙන මමයි ගල්වැව සිරිධම්ම හාමුදුරුවො ඇතුළු පිරිසට බොරු නඩු පැවරුවා. මේ මර්දනය ආවේ තනි පුද්ගලයෙකුට හෝ දෙන්නෙකුට නොවෙයි. අරගලයේ ක්‍රියාකාරීන් මර්දනයට ඔවුන් උත්සාහ කළේ. සටන් කෙරුවොත් දඬුවම මේකයි කියලා තමයි සමාජය බය කෙරුවේ. මේක තිර පිටපතකට අනුව සිද්ධ වෙච්ච වැඩක්. ඒකට අනුව තිබුණේ මේ විදියට අපිව නිදහස් කරන්න නෙවෙයි. ආණ්ඩුව උත්සාහ කළේ හැකි නම් අපිව ඝාතනය කරන්න. මේ රටේ ජනතාව දිගින් දිගටම කරපු මැදිහත්වීම තුළ අද මේ ප්‍රතිඵලය ලැබුණා. මේ සටනේ විවිධ පාර්ශ්ව හිටියා. දවස් 167 ක් හිරේ දාලා ඉද්දී බත් පැකට් එකක් අරන් අපිව බලන්න ආපු අයගේ ඉඳලා බොහෝ දෙනෙක් මේ පිටුපස හිටපු යෝධ ශක්තිය. ඒ ශක්තිය එක්ක අධිකරණයෙන් ලැබුණු ඓතිහාසික තීන්දුව හරහා අද අපට නිදහස ලැබුණා.  
 
?සිරගත ජීවිතයේ අත්දැකීම් කොහොමද?  
 
ගිය අවුරුද්දේ අගෝස්තු 18 වැනිදා අපි අත්අඩංගුවට ගත්තේ පෑලියගොඩ පොලිසියෙන්. මාව අත්අඩංගුවට ගත්තේ පෑලියගොඩ පොලිසියේ විශේෂ පොලිස් ඒකකයේ ඒ.එස්.පී. මහින්ද විලෝආරච්චි කියන පුද්ගලයා. වරෙන්තුවකට කියලා මාව අත්අඩංගුවට අරගෙන ගියා පෑලියගොඩ පොලිසියට. එතෙන්ට අරගෙන ගිහින් කිසිම පැහැදිලි කිරීමක් නැතුව පොලිසිය ඇතුළෙ හංගල වගේ තියලා පහුවෙනිදා පාන්දරම කවුරුත් අවදිවෙන්නත් කලින් සිවිල් පිට වාහනේක දාගෙන රෙද්දකින් වහලා අරගෙන ගියා එඩේරමුල්ල පොලිසියට. අපි ගෙනියද්දි එඩේරමුල්ල පොලිසියේ ඉඳපු සියලු දෙනා ඉවත් කරලා හිස් කරලා තමයි අපිව දැම්මෙ. එතෙන්දී මහින්ද විලෝආරච්චි කියන නිලධාරියා මගේ පැත්තට පිස්තෝලයක් හරවල පේන්න තියලා මේසෙක වාඩි කරව ගෙන මට කිව්වා ‘විජේවීරට වෙච්ච දේ උඹට මතකද? විජය කුමාරතුංගට වෙච්ච දේ උඹට මතකද? උඹටත් ඒ ටිකම තමයි කරන්න ඕනෑකම තියෙන්නේ අපිට. හැබැයි මේ තත්ත්වය නිසා එහෙම ඝාතනය කරන්න බෑ. ඒක නිසා අවුරුදු දෙකක් විතර තැපලා වරෙන් කියල තර්ජනය කරන්නේ. උසාවි දාන්නේ නැතුව ප්‍රශ්න කරන්නේ නැතුව රඳවගෙන හිටියා.  
 
එතනින් අපිව අරගෙන ගියා වෙරළබඩ පොලිසියේ පොලිස් නේවාසිකාගාරයකට. ඒකෙ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ කළුවර කාමරවලට දාලා රෙදිවලින් ඔතලා පැය ගාණක් අපි තියනවා. අපි මේ සියල්ල වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යුක්තිය කියන කාරණයේදී රටේ ජනතාව මේ දේවල් දැනගෙන ඉන්න ඕනෑ.  
 
?කොහෙද අර නවගමුව දේවාලෙ පැත්තෙ අරගෙන ගියේ?  
 
21 වැනිදා තමයි ඕක වෙන්නේ. එදා උදේම අපි වාහනේක දාගෙන අරගෙන යනවා නවගමුව දේවාලෙ ළඟ වාහන පාර්ක් එක ළඟින් පහළට බැස්සම තියෙන පාළු ගඟ අයිනට. පාළු ගඟ අයිනෙ මාංචු දාලා අපි තියාගෙන එක නිලධාරියෙක් කෝල් එකක් අරගෙන අහනවා ‘සර් අපි අදාළ තැනට ඇවිත් තියෙන්නේ මොකද කරන්නේ’ කියලා. නවගමුව දේවාලෙ ආරක්ෂක අංශයේ නිලධාරියෙක් ඇවිත් ගඟ පහළ තියෙන සැක සහිත වාහනේ බලනවා. එතකොට අර අපි අරගෙන ගිය නිලධාරියා කියනවා  
 
‘අන්න අරූ එනවා එන්න කලින් එළවපං’ කියලා. ඒ කියන්නේ නවගමුව පොලිසියේ අයවත් දන්නේ නෑ අපි මොකටද එතෙන්ට ගෙනාවේ කියලා. ඒ අවස්ථාවල ඒ නිලධාරියෝ අපිට තර්ජනය කෙරුවෙ ‘පහුගිය කාලෙ පාතාලෙට සම්බන්ධ සමහර අය ඝාතනය කෙරුවේ මෙහෙමයි’ කියලා. මාකඳුරේ මධුෂ්ගේ නමම කියල කිව්වේ එයා ඝාතනය කෙරුවෙ මෙහෙමයි කියලා. ඒ ඔක්කොම කියලා ඔවුන් අපිට නොකියා කිව්වේ වැඩිය සද්ද දාන්න එපා වැඩිය දඟලන්න එපා එහෙම වුණොත් කරන දේ දන්නවා කියලා. මේව ඉතාම වගකීමෙන් අපි කියන්නේ. මේවට අදාළ ක්‍රියාමාර්ග අපි ඉදිරියේදී ගන්නවා. දැන් මේවට අදාළව නිශ්චිත උත්තරයක් පොලිස්පතිවරයා දෙන්න ඕනෑ. මේක සරල සිද්ධියක් නෙවෙයි. විශාල වශයෙන් සැලසුම් කරල කරපු දෙයක් මේක. තුවක්කු පෙන්නල මරණවා කියල කිව්වේ.  
 
?එතනින් ත්‍රස්ත මර්දන ඒකකයටද?  
 
රැඳවුම් නියෝගයක් අත්සන් කරලා අපි ටීඅයිඩී එකට දැම්මා. ඒ ඒකකයේ ඒ.එස්.පී. කෙනෙක් තමයි අපේ විමර්ශන ටික පැනලා බාරගත්තේ. කවුද මේ නිලධාරියා. මේ ඒ.එස්.පී. කියන්නේ ආමි සුරංග නැමැති සැකකරු අත්අඩංගුවට අරගෙන ඉදිද්දී ඔහු ඝාතනය කිරීමට අදාළව දැනටත් යන නඩුවක ප්‍රධාන චූදිතයා. මේක මාර වැඩක්. ආමි සුරංගලා ඝාතනයට අදාළ චූදිතයා තමයි අපේ විමර්ශන කටයුතු බාරගත්තේ. හැබැයි මේ අතරේ පොලිසියේ විශාල පිරිසක් අපි දිහා ආදරෙන් බලලා අපිව ආරක්ෂා කළා. ඒ නිසා තමයි අපි අදටත් මෙහෙම පණපිටින් ඉන්නේ.  
 
 
?ඊට පස්සේ මොකද වුණේ?  
 
දවස් 90 ක් විමර්ශනය කරල කියපු උත්තරේ තමයි අපට විරුද්ධව කිසිදු සාක්ෂියක් නෑ කියන එක. ඊට පස්සේ රිමාන්ඩ් ගත කරල තව දවස් 90 ක් විතර තිබ්බා. ඒත් සාක්ෂි නැතිලු. අපි ඉතාම නිශ්චිතව කියනවා පොලිසිය කරල තියෙන්නේ පාලකයන්ගේ ඕනෑකමට අපිට විරුද්ධව බොරු සාක්ෂි නිර්මාණය කිරීම. කැරලි මර්දන ඒකකයේ අජන්ත රොද්‍රිගො කියන නිලධාරියා බොරු සාක්ෂියක් දෙනවා අපි ඔහුව බෙල්ලෙන් ඇදගෙන ගිහින් මරන්න තර්ජනය කළා කියලා. පොලිස් මූලස්ථානය ඉදිරියේදී කැරලි මර්දන නිලධාරියෙක් බෙල්ලෙන් ඇදගෙන ගිහින් මරන්න තර්ජනය කරද්දී අනිත් නිලධාරීන් කොහේද හිටියේ? කවුරුවත් මේක දැක්කෙ නැද්ද? මේ සිද්ධිය දැකපු වෙන කවුරුවත්ම නෑ. පුදුම විහිළු තමයි මේවා.  
 
අපි රටේ ජනතාවගේ දැවැන්ත මැදිහත් වීම යටතේ නිදහස් වුණාට මර්දනය තාම ඉවර නෑ. අපිව තවදුරටත් මර්දනය කරන්නේ කොහොමද කියල මේ පාලකයෝ කල්පනා කර කර ඉන්නේ. අපි නිදහස් වුණා කියලා අරගලයට ටටා කියල අපි ගෙදර යන්නේ නෑ. අරගලය තවදුරටත් ක්‍රියාත්මකයි.  
 
?බොරු සාක්ෂි දීපු නිලධාරීන්ට ලේසි වෙන්නේ නෑ කියල ඔබ කියනවා.  
 
රඳවා තැබීම සම්බන්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් දැනටමත් ගොණු කරල තියෙනවා. බොරු සාක්ෂි ලබා දුන් නිලධාරීන්ට, අපිට අඩම්තේට්ටම් කරපු නිලධාරීන්ට, අපිට මානසික සහ කායික අවහිරතා ඇති කරපු සියලු දෙනාට තනි තනි පුද්ගල නම්වලට අදාළව නීතිමය පියවර ගන්නවා.  
 
 
?ඔබව බලන්න ආපු විශේෂ පුද්ගලයො කවුද පහුගිය කාලේ?  
 
විවිධ පිරිස් ඇවිත් මගේ සුවදුක් බැලුවා. යම් යම් දේශපාලන නායකයෝ එහෙමත් ආවා.  
 
?මොකක්ද ඉදිරි පියවර?  
 
මම අන්තරේ කැඳවුම්කරු. අපේ ශිෂ්‍ය ව්‍යාපාරයේ අරමුණු හා ඉලක්කවලට කටයුතු කිරීම තමයි බලාපොරොත්තුව.
 
 
 
සටහන: 
ප්‍රියන්ත කොඩිප්පිලි