ආණ්ඩුව ජාතික සම්පත් විජාතිකයන්ට විකිණීමේ නිරත වෙලා


සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  
වෛද්‍ය කාවිංග ජයවර්ධන 

  • රටේ සම්පත් වේගයෙන් විදේශ ආයතනවලට අඩු මුදලට කුණු කොල්ලයට ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ලබා දීම ඔස්සේ ජාත්‍යන්තර වශයෙන් රටට දේශපාලන බලපෑම් එල්ලවීමත් ජාතික ආරක්ෂාවත්, ආර්ථිකයත් දැඩි අනතුරකට හෙළලා තියෙනවා.
  • හැටනව ලක්ෂයටත් සමස්ත ජනතාවටත් කොහේවත් නොතිබුණ පවකට කර ගහන්න වෙලා තියෙන්නේ.

රටේ තත්ත්වය පිළිබඳවත් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් විමසමින් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවිංග ජයවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය:- දැන් රටේ තත්ත්වය ඔබ කොහොමද විග්‍රහ කරන්නේ?  


පිළිතුර:- රටේ ඇත්තටම වෙන දේ තමයි ජාතික සම්පත්, රටේ උරුමය, රටේ අනාගතය විජාතිකකරණය හා විකිණීමේ ක්‍රියාවලියක රජය නියැලිලා ඉන්නවා. රටේ සම්පත් වේගයෙන් විදේශ ආයතනවලට අඩු මුදලට කුණු කොල්ලයට ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ලබා දීම ඔස්සේ ජාත්‍යන්තර වශයෙන් රටට දේශපාලන බලපෑම් එල්ලවීමත් ජාතික ආරක්ෂාවත්, ආර්ථිකයත් දැඩි අනතුරකට හෙළලා තියෙනවා. මේ නිසා රටේ අනාගතයත් මේ රටේ උපනූපන් දරුවන්ගේ අනාගතයත් ඉතාම භයානක සංධිස්ථානයකට ගෙන යමින් මේ රජය කටයුතු කරමින් ඉන්නවා. මේ රටේ ආර්ථිකය දැන් කඩා වැටිලා තියෙනවා. අද ගොවියට පොහොර ටික නෑ. ධීවරයාට ඒ කර්මාන්තයේ නියැලෙන්න අවශ්‍ය පරිසරය නෑ. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වෙච්ච අලාභය, ඉන්ධන මිල ඉහළ යාම, විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටිලා තියෙනවා. හතළිස් පන්ලක්ෂයක් වෙච්ච දරුවන් අවුරුදු දෙකක් තිස්සේ අධ්‍යාපනය ලබන්න බැරිව අන්ත අසරණ වෙලා ඉන්නවා. ඔන්ලයින් අධ්‍යාපනයට කිසිම වැඩපිළිවෙළක් නෑ. රජය ගන්නා අත්තනෝමතික ක්‍රියාමාර්ග නිසා ගොවියට නිසි මිලක් ලැබෙන්නේ නෑ. පාරිභෝගිකයාට අධික මිලක් ගෙවන්න වෙලා තියෙනවා. හාල්, පොල්තෙල්, ගෑස්, කිරිපිටි, සැමන්, පරිප්පු, ලොකු ලූනු මේ සියල්ලෙහිම මිල අහස උසට නැගලා. ජාවාරම්කාර ගජ මිතුරන් අධික ලාභ අත්විඳිමින් ඉන්නවා. බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා ‘සුදුලූනු වංචාවක් වෙලා තියනවා’ කියලා. බැඳුම්කර වංචාවට එහා ගිය වංචාවක් දූෂණයක් තමයි සීනි වංචාවෙන් වුණේ. ඒක ඉතිහාසයට එක්වෙනවා. පවුල් පාලනය හා යටිමඩි ගැසීම අද ජාත්‍යන්තරයට ගිහින් තියෙනවා. පැන්ඩෝරා පත්‍රිකාවලින් ඒ බව හොඳින් ඔප්පු වෙලා තියෙනවා. එක පැත්තකින් පෝලිම් යුගයක් ඇවිත් තියෙනවා. ඉතාම භයානක දුෂ්කර ජීවිතයක් අද අපේ රටේ ජනතාවට ගත කරන්න වෙලා තියෙනවා.  


ප්‍රශ්නය:-ඔබත් සාමාජිකයකු වූ යහපාලන ආණ්ඩුවේ වැරදි නිසා ආර්ථිකය මෙහෙම කාබාසිනියා වුණා කියලා ඔබ පිළිගන්නේ නැද්ද?  


පිළිතුර:- යහපාලන ආණ්ඩුවේ ප්‍රධානියා ඉන්නෙත් ආණ්ඩුවෙම නේද? විධායක ජනාධිපති යහපාලන ආණ්ඩුවේ අද ඉන්නේ ආණ්ඩුවත් එක්ක. යහපාලන ආණ්ඩුවේ හිටපු කැබිනට් ඇමැතිවරු අද මේ ආණ්ඩුවෙත් කැබිනට් ඇමැතිවරු නේද? මහින්ද සමරවීර, දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක යහපාලන ආණ්ඩුවේ ඇමැතිකම් දැරුවා. ඒ අයම මේ ආණ්ඩුවෙත් ඇමැතිකම් දරණවා. ඒ නිසා යහපාලන රජයේ අඩුපාඩු තියෙනවා නම් ඒකේ හොරකම් වෙලා තියෙනවා නම් මේ ආණ්ඩුව අාවේ ඒවා නිරාකරණය කරගන්න. පාස්කු ප්‍රහාරයට ලක්වෙච්ච අහිංසක ජනතාවට සාධාරණය ඉෂ්ට කරන්නයි මේ ආණ්ඩුව ආවේ. බැඳුම්කර හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා කිව්වා. මේ අය ඒ කියපු කිසිම දෙයක් කරන්නේ නෑ. මේ ආණ්ඩුව කළේ තමන්ගේ ගජ මිතුරන්ට, හෙන්චයියලාට තිබුණ නඩුවලින් ඔවුන් බේරලා ඒ ගජමිතුරන්ට හොරකම් කරන්න පුළුවන් පරිසරයක් හදලා හැට නව ලක්ෂයෙ ජනවරම අවභාවිත කරන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත්වෙලා තියෙනවා. හැටනව ලක්ෂය කවද‌ාවත් බලාපොරොත්තු වුණේ නෑ මේ ආණ්ඩුව මෙහෙම කරයි කියලා. හැටනව ලක්ෂයක් ජනතාව මේ ආණ්ඩුවට බලය ලබා දුන්නේ මේ රටේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් සපයන්න. නමුත් ඒක නොවෙයි වෙන්නේ. හැටනව ලක්ෂයේ අභිලාසයන් මහ දවාලේ බිඳ වැටිලා. ඒ ජනතාවගෙන් දැන් අපට අහන්න බෑ ‘දැන් සැපද’ කියලා. ඒ ජනතාව ඡන්දය දුන්නේ මෙහෙම සැපක් විඳින්න නොවෙයි. ඒ හැටනව ලක්ෂයටත් සමස්ත ජනතාවටත් කොහේවක් නොතිබුණ පවකට කර ගහන්න වෙලා තියෙන්නේ.  


ප්‍රශ්නය:-ඔබේ පක්ෂයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා කියනවා ‘ආණ්ඩුවේ වැරැදි වලින් දේශපාලනය කරන්න එපා. වැඩපිළිවෙලක් හදන්න’ කියලා. මොකක්ද මේ ඔහු කියන්නේ?  


පිළිතුර:- ඇත්තටම අපිට වැඩපිළිවෙළක් තියෙනවා. අපේ වැඩපිළිවෙළ බවට පත්වෙලා තියෙන්නේ මේ රටේ ජන ජීවිතය නැංවීමත් සුරක්ෂිත රටක පුරවැසියන් බවට මේ රටේ ජනතාව පත් කිරීමත් නීතිගරුක සමාජයක් තුළ ජාති ආගම් කුලමල බේදයකින් තොරව පක්ෂ පාට බේදයකින් තොරව ජීවත්වීමට සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමත් රටේ සංහිඳියාව ඇති කිරීමත් රට තව දුරටත් ණය නොකර නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීමත් ඒ ඔස්සේ මේ රටේ මානව සම්පත දියුණු කිරීමත්, විජාතිකකරණයට හා ජාතික සම්පත් කුණු කොල්ලයට විකිණීම වහාම නතර කිරීමත් ජාතිවාදයට ආගම්වාදයට හිස ඔසොවන්නට ඉඩ ලබා නොදීමත් තමයි අපේ දර්ශනය හා වැඩපිළිවෙළ බවට පත්වෙලා තියෙන්නේ. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම තමයි සජිත් ප්‍රේමද‌ාස නායකතුමාගේ ඒකායන බලාපොරොත්තුව බවට පත්වෙලා තියෙන්නේ.  


ප්‍රශ්නය:-විපක්ෂනායක සජිත් ප්‍රේමද‌ාසගේ නායකත්වය අභියෝගයට ලක්වෙලා නේද? ඔහු අත්තනෝමතික ලෙස කටයුතු කරන බවට තමයි චෝදනා නැගෙන්නේ?  


පිළිතුර:- ඒකට මට කියන්න තියෙන්නේ ‘කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි’ කියලා. මම නම් විශ්වාස කරන්නේ නෑ එතුම අත්තනෝමතිකව කටයුතු කරනවා කියලා. එතුමා මගේ නායකයා හැටියට ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා. එතුමා තරුණ මන්ත්‍රීවරුන් හැටියට අපට අවස්ථාව දීලා තියෙනවා අපගේ දේශපාලන වැඩපිළිවෙළ ස්වාධීනව ක්‍රියාත්මක කරන්න. එතුමා ඒවාට ඇඟිලි ගහන්න එන්නේ නෑ. එතුමා අපට බලපෑම් කරන්නේ නෑ. අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් හැටියට පක්ෂ අභ්‍යන්තරයෙත් ඒ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගනිමින් කටයුතු කරමින් ඉන්නවා. දේශපාලනික වශයෙන් අපට හතුරෝ ඉන්නවා. අපිව කඩන්න බලාගෙන ඉන්න පිරිසක් ආණ්ඩුව තුළ ඉන්නවා. ඒ වගේම ආණ්ඩුවේ කුමන්ත්‍රණ තියෙනවා. ඒවාට ශක්තිමත්ව මුහුණ දීම අපේ හැකියාව බවට පත්වෙනවා.  


ප්‍රශ්නය:-සමගි ජන බලවේගය පහට කැඩිලා කියලා ප්‍රවෘත්තියක් පළ වුණා. ඔබ ඉන්නේ කා එක්කද?  


 පිළිතුර:- ප්‍රවෘත්තිවල යන හැම දෙයක්ම නිවැරැදි නෑනේ. ඒ නිසා මම ඔය ප්‍රවෘත්තිය සත්‍යයක් ලෙස පිළිගන්නේ නෑ. මම ඉතාම පැහැදිලිව ඉන්නේ සජිත් ප්‍රේමද‌ාස නායකතුමත් එක්කයි. ඒ වගේම මම විශ්වාස කරනවා. අපේ සියලුම මන්ත්‍රීවරු, සංවිධායකවරු සජිත් ප්‍රේමද‌ාස මැතිතුමත් එක්ක ඒ නායකත්වයත් එක්ක කටයුතු කරනවා කියලා.  


ප්‍රශ්නය:-මන්ත්‍රී චම්පික රණවක වෙනම ගමනක් යනවා කියලත් ඔබේ පක්ෂයේම අය චෝදනා කරනවා?  


පිළිතුර:- එහෙම චෝදනාවක් තියෙනවා කිව්වට ඒ චෝදනාව එතුමා පිළිඅරගෙන නෑනේ. ඒ චෝදනාව එතුමා පිළි නොගැනීමෙන් ඒක අසත්‍යයක් කියලා තමයි අපට පිළිගන්න වෙන්නේ.  


ප්‍රශ්නය:-සමගි ජන බලවේගය තුළ ඉන්න හවුල්කාර පක්ෂ වේගයෙන් ඔබේ පක්ෂයෙන් දුරස් වෙමින් ඉන්නවා.  


පිළිතුර:- ඒකත් පිළිගන්න අමාරුයි. මොකද ඒ කිසිදු පක්ෂයක් මේ වනතුරු කණ්ඩායම් රැස්වීමේදී පක්ෂ නායක රැස්වීමේදී ඔවුන් ඔය සම්බන්ධයෙන් කතා කරලා නෑ.  


ප්‍රශ්නය:-කතා කරලා නැද්ද කතා කරන්න අවස්ථාවක් නැද්ද?  


පිළිතුර:- අපේ පක්ෂය පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. මම ඔබට මුලිනුත් කිව්වා පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ඉතා ඉහළ මට්ටමක තියෙනවා. අපේ නායකතුමා ඉතාම හොඳින් සවන් දෙන්නෙක්. ප්‍රශ්නයක් මතු වුණොත් කල් මරන්නේ නැතිව ඒ මොහොතෙම විසඳනවා. දැන් ඔය ඔබ මතුකරන ප්‍රශ්නය මාධ්‍ය ප්‍රකාශනයක් විතරයි. එහෙම දෙයක් අප අතර නෑ. ඒ නිසා ඒ ප්‍රවෘත්තියත් බොරුවක් කියලා තමයි මට කියන්න තියෙන්නේ.  


ප්‍රශ්නය:-ඔබේ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් නැවත රනිල් වික්‍රමසිංහ ළඟට යන බවටත් ප්‍රවෘත්ති පළ වුණා? 

 
පිළිතුර:- ඔය ඔක්කොම ප්‍රවෘත්ති. ප්‍රවෘත්ති හැම දෙයක්ම සත්‍ය වෙන්නේ නෑනේ.   


ප්‍රශ්නය:-නමුත් ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑ?  


පිළිතුර:- මෙහෙමයි. ප්‍රවෘත්ති නිර්මාණය කරන්න පුළුවන්. ප්‍රවෘත්තිවලින් අසත්‍ය ප්‍රකාශ කරන්න පුළුවන්. පැහැදිළිවම ඔය ගොතන ලද ප්‍රවෘත්තියක් කියලා තමයි මට කියන්න වෙන්නේ. 

 
ප්‍රශ්නය:-අයවැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීමේදී ඔබේ පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ආණ්ඩුවට සහයෝගය දක්වන්න සූද‌ානමින් ඉන්නවා. ඒක ඇත්තක් නේද?  


පිළිතුර:- ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් නෑ. ඔය ඉදිරිපත් කරන අයවැයෙන් ජනතාවට සහන ලැබෙන්නේ නෑ. තියෙන සහනත් නැති කරන අයවැයක් එන්නේ. ඒ වගේම ජනතාව මත අධික බර පටවන අයවැයක් එන්නේ. රටේ දූ පුතුන්ට ඉගෙන ගන්න දෙන්නේ නැති, කිරිපිටි ටික දීගන්න බැරි, ගෑස් ටික වෙලාවට දී ගන්න බැරි ගොවියට පොහොර ටික දී ගන්න බැරි පිටරටින් හාල් ටික ගෙන්නන, පොල්තෙල් බෝතලයේ ඉඳන් වස තියෙන, මෝල් හිමියන්ට හාල් මිල තීරණය කරන්න ඉඩ දීලා බලාගෙන ඉන්න ආණ්ඩුවකට බබාලන්තේ බබාලා වගේ තීන්දු තීරණ ගන්නා ආණ්ඩුවක අයවැයකට කවුද ඡන්ද දෙන්නේ. ආණ්ඩුව තුළ ඉන්න හෘද සාක්ෂියක් තියෙන මැති ඇමැතිවරුන් මේ අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කරයි කියලා තමයි මම හිතන්නේ.  


ප්‍රශ්නය:-ඔබේ පක්ෂයේ මන්ත්‍රීවරු යන්නේ නෑ කියලා ඔබට සහතිකයි?  


පිළිතුර:- ඔව් මම සහතික කරලා කියනවා.  

 

 

 සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්