ආණ්ඩුවේ සෙලවෙන ප්‍රතිපත්ති


වත්මන් ආණ්ඩුවට සමහරුන් කියන්නේ ‘පැලවත්තේ ආණ්ඩුව’ කියාය. බොහෝ තීන්දු තීරණ පැලවත්ත ජවිපෙ මූලස්ථානයෙන් ගැනීම එයට හේතුවය. අතීතයේ ද ආණ්ඩු ගණනාවකට එවැනි නම් පටබැඳ තිබුණි. මැතිනිගේ ආණ්ඩුවට ජේ.ආර්. කීවේ ‘අත්තනගල්ලේ ධර්මය’ කියාය. බණ්ඩාරනායකවරුන්ගේ පදනම් භූමිය වූ අත්තනගල්ලට එකල හැම කටයුත්තකදීම මුල් තැන ලැබීම එයට හේතුව විය. බණ්ඩාරනායකවරුන් ප්‍රමුඛ එකල විපක්ෂය එජාප පාලනය හැඳින් වූයේ ‘උන්ගේ නෑදෑයන්ගේ පක්ෂය’ යනුවෙනි. යූඇන්පී යන අකුරු තුන උපහාසයට ලක් කරමින් එසේ හැඳින්වූයේ පැරණි යූඇන්පියේ නිරතුරුවම ඉහළ පුටු පිරී තිබුණේ ඥාති සබඳතා මතවීම නිසාය. සර් ජෝන් කොතලාවල අගමැති වූ පසු ඔහු වටා රොද බැඳ සිටි කාන්තා පිරිස ඉංග්‍රීසි පුවත්පත් මගින් එකල හැඳින්වූයේ ‘%පර්පල් බ්‍රිගේඩි’ යන නමිනි. සුන්දර කාන්තාවන්ගේ ඇසුරට නිතර ප්‍රිය කළ කොතලාවලගේ කඳවල වලව්වේ රාත්‍රී ප්‍රිය සම්භාෂණවලට සුන්දර ස්ත්‍රීන් නිරතුරුව සම්බන්ධ වීම ‘%පර්පල් බ්‍රිගේඩි’ නමින් අගමැතිවරයාගේ පරිවාර සේනාංකය හැඳින්වීමට හේතුව විය. මෑත කාලීනව චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය යටතේ තීන්දු තීරණ ගැනුණේ ඇගේ සමීපතම මිතුරු මිතුරියන්ගේ අදහස් අනුවය. ඇගේ සමීපතම යෙහෙළියක වූ ආචාර්ය තාරා ද මැල් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධුරය හිමිකරගැනීමට තරම් වාසනාවන්ත වූවාය.

උතුරේ විනාශකාරී යුද ගින්න නිවීම සඳහා පැවැති සාමසාකච්ඡාවලට පවා ඇය සහභාගි කරවූයේ රාජ්‍ය තාන්ත්‍රිකයන් නොව ඇගේ සමීපතම මිතුරන් පිරිසකි.

මහින්ද රාජපක්ෂ යටතේ බලවත් වූයේ මැදමුලන පරම්පරාවය. මහින්දගේ උපන්ගම වූ බෙලිඅත්තේ මැදමුලන ගම ඉතිහාසයේ ප්‍රථම වරට ජනප්‍රිය වූයේ ද මහින්දගේ පාලනයේ ඇතැම් තීන්දු සමග නිරතුරුවම නම කියවීම නිසාය.

දේශපාලනය එහෙමය. දේශපාලකයා කවර පක්ෂයෙන් පහළවුවත් අවසාන තීන්දු ගැනීමේ කේන්ද්‍රය ඔහුගේ නිවස හෝ පදනම් ප්‍රදේශයය. වත්මන් ආණ්ඩුවේ බලය රැඳුණු තැන පැලවත්ත ලෙස යමකු හඳුන්වන්නේ නම් එය වැරදි නොවන්නේ එම පක්ෂයේ දේශපාලන මූලස්ථානය මේ වන විට රාජ්‍යයේ සියලු කටයුතුවලටම අත යොමා තිබීම නිසාය.

දිස්ත්‍රික් ලේකම්වරුන් ගණනාවක්ම පත් කෙරුණේ පැලවත්තේ දේශපාලනයට වුවමනා ආකාරයෙනි. පැවැති රජයේ පත්වීම් ලෙස ඉහළ තනතුරු අරා වැජඹුණු ආයතන ප්‍රධානීන් අලුතෙන් පත් කෙරුණේ පැලවත්ත දේශපාලනයේ තෝරාගැනීමට යටත් වූ  පිරිසකි. මේ වන විට එම ඉහළ තනතුරුවලින් සිදුවෙමින් පවතින ක්‍රියාවලිය මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම පමණක් බව ද තේරුම් ගත හැකිය.

ජනාධිපතිවරයා යටතේ පවතින ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය ඇතැමුන් සලකන්නේ පැලවත්ත මූලස්ථානයේ සිට ක්‍රියාත්මක වන දේශපාලන ව්‍යාපෘතියක් හැටියටය. රාජ්‍ය ආයතන තුළ ජවිපෙ හා මාලිමා බලය ගොඩ නැගීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව ඇතැමුන්ගේ හැඟීමය. චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේ යුදමය ව්‍යාපෘතිය වෙනුවට ගෙන ආ සාම ව්‍යාපෘතිය ජනගත කිරීම ආරම්භ කළ ‘සුදු නෙළුම’ ද මෙවැනි. වැඩපිළිවෙළක් විය. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති රාජ්‍ය ආයතන තුළ වැපිරීම අරමුණු කරගෙන ඇති බව අනුමාන කරන්නේ සෑම ආණ්ඩුවක්ම තම පක්ෂයේ ප්‍රතිපත්තිය ජනගත කිරීමට විවිධ ව්‍යාපෘති ආරම්භ කළ ඉතිහාසයක් මෙරට ඇති බැවිනි.

මේ කිසිවක් අප වැරදි ලෙස දකින්නේ නැත. සෑම ආණ්ඩුවක්ම බලයට පැමිණ ක්‍රියාත්මක කළේ තමන්ගේම වූ වැඩපිළිවෙළකි. ඒ සඳහා බාධාකාරී වේ යැයි සැලකුණු ඉහළ රාජ්‍ය නිලධාරීන් ඉවත් කිරීමට 1970 මැතිනිගේ ආණ්ඩුවේ සිට 1977 ජේ.ආර්. ගේ ආණ්ඩුව, 1994, චන්ද්‍රිකාගේ ආණ්ඩුව, 2005 මහින්දගේ ආණ්ඩුව ආදී ආණ්ඩු විවිධ හේතු සාධක සාදා ගත්තෝය. ඒ සැම විටම ආණ්ඩුව පත්වී මුල් මාස කිහිපය ගෙවී ගියේ නිලධාරීන් මාරුකිරීමටය. රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගැනීම 2015 රජය රටට හඳුන්වා දුන් ක්‍රමයකි.

ජවිපෙට සෑම විටම අභ්‍යන්තර කවයක් තිබිණි. ඇතැම් අවස්ථාවල පක්ෂ නායකත්වය පවා අබිබවා යමින් පක්ෂය පාලනය කළේ මෙම අභ්‍යන්තර කවයෙනි. 1987 – 89 කැරැල්ල සමයේ විවාදාත්මක බිහිසුණු තීන්දු ගත්තේ රෝහණ විජේවීර නොව සන්නද්ධ නායක සමන් පියසිරි ප්‍රනාන්දු සහ කැරැල්ලේ නිල නොවන තෙවැනි නායකයා වූ ඩී.එම්. ආනන්දය. අති ධාවනකාරී ජවිපෙ නායකයකු වූ ඩී.එම්. ආනන්දත් සන්නද්ධ නායක සමන් පියසිරි ප්‍රනාන්දුත් ගත් ඇතැම් තීන්දු තීරණ හේතුවෙන් ජවිපෙ කැරැල්ල ජනතාවගෙන් ඈත් වූයේය. කැරැල්ලෙන් ඉතිරි වූ ජවිපෙ ප්‍රධාන පෙළේ සාමාජිකයකු පසුකාලීනව මෙම ලේඛකයා සමග පැවසුවේ අවසන් කාලයේ විජේවීර නිවාස අඩස්සියේ මෙන් තබා ආනන්ද සහ සමන් පියසිරි සියලු තීන්දු තීරණ ගත් බවය. හමුදා පවුල් ඝාතනය විජේවීරගේ අනුදැනුමෙන් තොරව ගත් තීන්දුවක් බව ඔහුගේ මතය විය. මෙම තීන්දුවෙන් ආරක්ෂක හමුදා කුපිත වී පහරදීමේ ප්‍රතිඵලය වූයේ ජවිපෙ බිමටම සමතලා වීමය.

එවැනි අතිධාවනකාරී සාමාජිකයෝ අද ද පැලවත්තේ සිටිති.

ජනහද දිනා ජනපති පුටුවට ආ ජනාධිපතිවරයාට හෝ ජනතා ඡන්දයෙන් ජනවරම ලැබ පාර්ලිමේන්තුවට හා කැබිනට් මණ්ඩලයටත් වඩා බලයක් පැලවත්තේ මේ කණ්ඩායමට ඇත. ජනාධිපති සහ ආණ්ඩුව ගන්නා ඇතැම් තීරණ ක්ෂණිකව වෙනස් කරන්නට මෙම කණ්ඩායම සමත්ය.

ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස්වලට අනුගත වුවත් එක්වරම එම තීන්දු වෙනස් වන්නේ අදිසි හස්තයක බලපෑම පෙන්නුම් කරමිනි. විදුලිබල මණ්ඩලය ආයතන ගණනකට වෙන් කිරීම සඳහා පසුගිය රජය ඉදිරිපත් කර තිබූ පනතට වත්මන් ආණ්ඩුවද එකඟ වුවත් මේ වන විට වෙන් කරන්නට ගිය කොටස් යළි එකතු කරන්නට පනතට සංශෝධන ගෙනැවිත් තිබේ. විපක්ෂය කියන්නේ මෙය පැලවත්තේ ආණ්ඩුවේ තීන්දුවක් බවය.

ජාතික ජනබලවේගයට ඡන්දය ප්‍රකාශ කළ කිසිවකුත් සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තිවලට ඡන්දය ප්‍රකාශ කළ අය නොවේ. ජාතික ජනබලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශයේ එවැනි ආර්ථික ප්‍රතිපත්ති අඩංගුව තිබුණේ නැත.

රටේ පවතින ක්‍රමය විධිමත් ආකාරයට පවත්වාගෙන යාම සඳහා ජාතික ජනබලවේගය පෙනී සිටි අතර ජනතාව ඡන්දය ප්‍රකාශ කළේ ද එයට පැහැදීමෙනි. එහෙත් ආණ්ඩු බලය ලැබුණු පසු ආණ්ඩුව ජාතික ජනබලවේග ප්‍රතිපත්ති පසෙකලා ජවිපෙ ප්‍රතිපත්ති පෙරට ගත් බවක් පෙනෙන්නට තිබිණ. පැලවත්තේ කණ්ඩායමකට වුවමනා පරිදි රට පාලනය කරන බව පෙනෙන්නට තිබිණි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වැනි ජනතාවගේ දූ දරුවන්ට පෞද්ගලික සරසවි අධ්‍යාපනය ලබාගැනීමට පිහිටුවා තිබුණු ආයතනවලට සීමා කිරීම් ඇතිවන්නට පටන් ගත්තේය. ජවිපෙ මුල සිටම මෙම විශ්වවිද්‍යාලයට එරෙහිව වුවද ජනතාව ඡන්දය දුන්නේ මාලිමාව නමැති පක්ෂය එවැනි මතයක නොසිටි නිසාය. වෛද්‍ය සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා සීමා කිරීම් පැනවීම සමාජයේ දැඩි විවේචනයට හේතු විය. යල් පැන ගිය සමාජවාදී ප්‍රතිපත්ති කර තබාගත් දෙතුන් දෙනකු ආණ්ඩුව ජනතාවගෙන් ඈත් කරමින් සිටින්නේ ද?

ඒ අතර ආණ්ඩුව ද බලය රැකගැනීම උදෙසා පැරණි ආණ්ඩු අනුගමනය කළ ක්‍රියා පිළිවෙතම අනුගමනය කරන බව ඉකුත් සති කිහිපයේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ නිලවරණවල දී පෙනී ගියේය. විපක්ෂය පවසන්නේ ජාතික ජනබලවේගය ඉතා විශාල ලෙස මුදල් විසි කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් හා ස්වාධීන මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ පැත්තට නම්මාගෙන බලය පිහිට වූ බවය. කොළඹ නගර සභාවේ එසේ කළ බවත් ඉන්පසු තවත් ආයතන ගණනාවක දී එසේ වරදාන හා වරප්‍රසාද ලබා දී බලය ලබාගත් බවත් විපක්ෂය කියයි. කොළඹ නගර සභා නිලවරණයේ දී ජනාධිපතිවරයා මුණු ගැසුණු ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම වූයේ තමා නියෝජනය කරන කොට්ඨාසය දියුණු කර දෙන ලෙසය. ඡන්දදායකයන්ට ඇති ගැටලු විසඳා දෙන ලෙසය. ඇතැමකුට තමා නියෝජනය කරන කොට්ඨාසයේ පොලිස් ප්‍රජා  කමිටුවේ නායකත්වය ලබාගැනීමට අවශ්‍ය විය. ඇතැමකුට මූල්‍ය දුෂ්කරතා ඇති බව කියැවිණි. ජනාධිපතිවරයා මේ සියල්ලටම සානුකම්පිතව සවන් දුන්නේය. සියලු දෙනාගේම පාහේ ඉල්ලීම් විසඳා දීමට එකඟතාව පළවිය. අවසානයේ මෙම ස්වාධීන මන්ත්‍රීවරුන් හත් දෙනකුගේ සහ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ සහායෙන් ආණ්ඩුව කොළඹ නගර සභාව සතු කර ගත්තේය.

මතුගම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමේ නිලවරණයේදී ද විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට ජාතික ජනබලවේගයෙන් මුදල් ලබා දී ඇතැයි විපක්ෂය පවසයි. එක් මන්ත්‍රීවරයකුට මුදල් ලබා දී තිබූ බව කියන්නේ ඔහුගේ නිවසටය. ඒ අවස්ථාවේ මන්ත්‍රීවරයා විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම සමග එක් ස්ථානයක රැඳී සිටි බවත් නිවසට මුදල් ලැබුණු පසු ඒ බව දන්වා මන්ත්‍රීවරයාට ඇමතුමක් ලබා දුන් බවත් විපක්ෂය කියයි. ලක්ෂ දහයක මුදල් පොරොන්දුවක් මත ඡන්දයට පෙර ඉන් අඩක් ද ඉතිරි අඩ ඡන්දය දීමෙන් පසුව ද ලබාදෙන සැලසුමක් තිබී ඇතැයි ද කියති.

පළාත් පාලන කොමසාරිස්වරිය ඡන්දය විමසන ආකාරය විමසා සිටි විට මෙම මන්ත්‍රීවරයා ජාතික ජනබලවේග වුවමනාව ඉටුකළ බව ද කියති. එහෙත් විපක්ෂයේ බලපෑම මත විවෘත ඡන්දයකට යාමට කොමසාරිස්වරිය තීන්දු කළ අතර එහිදී මෙම මන්ත්‍රීවරයා විපක්ෂ මතයට එකඟව විපක්ෂයට අත ඔසවා තිබේ. ඒ අනුව සභාවේ බලය විපක්ෂය සතු විය. ඡන්ද විමසීමෙන් පසු ඔහුට ඉතිරි මුදල් ප්‍රමාණය ලැබී නොමැති බවත් මුලින් ලබාදුන් මුදල් ප්‍රමාණය ආපසු ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරුන් අතර කතාබහට ලක්ව පවතී. පැලවත්තෙන් එවූ මුදල් යළිත් පැලවත්තටම භාරදිය යුතු බව එම කණ්ඩායම පවසන බව ද මතුගම සභාවේ මන්ත්‍රීවරුන් අතර කතාබහට ලක්ව ඇත.

මෙම ප්‍රකාශය අනුව මාලිමා රජය පසුගිය කාලයේ පෙනී සිටි මතවාදයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වූ මතවාදයකට මාර්ගය විවර කරයි. ජවිපෙ ගෙන ගිය ප්‍රතිපත්ති ගණනාවක්ම වෙනසකට භාජනය කර ඇති බව දැකගත හැකිය. එනම් සොරුන් සහ දූෂිතයන් සිටින වෙනත් දේශපාලන පක්ෂ බලය ලබාගැනීම සඳහා වූ ක්‍රියාවලියේ දී ‘පිරිසිදු’ දේශපාලන පක්ෂ බවට පෙරැළී ඇති බවය.

මෙම සිදුවීම අපේ දේශපාලනයේ සාමාන්‍ය ක්‍රියාපිළිවෙතට අනුකූලය. පැවැති ආණ්ඩු බලය ලබා ගත්තේ ඒ ආකාරයෙනි. එම ක්‍රමයට එරෙහිව ජාතික ජනබලවේගය නැඟූ හඬට ජනතාව ද අනුගත වූ අතර ජාතික ජනබලවේගයට බලය හිමිවිය. එහෙත් දැන් ප්‍රශ්නය වන්නේ ජාතික ජනබලවේගය ද එදා ප්‍රතික්ෂේප කළ ප්‍රභූ යැයි සම්මත දේශපාලන පක්ෂ ගමන් කළ මාර්ගයේම ගමන් කරමින් සිටීමය. ප්‍රභූ දේශපාලන පක්ෂ වරදාන වරප්‍රසාද ලබා දී මන්ත්‍රීවරුන් බිලීබාන බවට ජාතික ජනබලවේගය ඇතිකළ මතයම ජාතික ජනබලවේගය යටතේත්  සිදුවෙමින් පවතී.

ජනාධිපති අනුර කුමාර දිසානායක එම පදවියට පත් වූ විගසම ඔහු යෙදුණු චීන නිල සංචාරයට පෙර පක්ෂ මූලස්ථානයේ සිටින පූර්ණ කාලීනයන් කණ්ඩායම සමග ‘සූම්’ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවැත් වූ බව එකල වාර්තා විය. පක්ෂයේ නායකත්වය හොබවන ඉහළම කණ්ඩායම වන මෙම පිරිස හැඳින්වෙන්නේ ‘බෝල්ෂෙවික්’  කණ්ඩායම යනුවෙනි. පක්ෂය වෙනුවෙන් දරදිය ඇද ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සහ ජීවිත පරිත්‍යාග කළ පවුල්වල සාමාජිකයන් කිහිප දෙනකුගෙන් යුතු මෙම කණ්ඩායම පක්ෂයේ ගමන් මග තීන්දු කරන කණ්ඩායම ද වෙයි. මෙම පිරිස සමග කතා කළ දෑ හෙළිදරව් වී නැතත් චීන ගමනේ දී තමා ගත යුතු මග ගැන ජනාධිපතිවරයා එහිදී අවබෝධයක් ලබා ගන්නට ඇති බව විශ්වාස කෙරෙයි. ඕනෑම පක්ෂයකට එවැනි බුද්ධ මණ්ඩල සිටින මුත් එම මණ්ඩලවල උපදෙස් සම්පූර්ණයෙන්ම පිළිපැදීමට වෙනත් ජනාධිපතිවරුන් කටයුතු කළේ නැත. එජාපයෙත්, සජබයෙන් සිටින මෙම කණ්ඩායම් කරන්නේ පක්ෂ නායකයා දැනුවත් කිරීමය. එහෙත් පැලවත්තේ සිටින මෙම කණ්ඩායම එවැනි උපදෙස් ලබාදෙන කණ්ඩායමක් නොව පක්ෂයේත් රටේත් අනාගතය තීන්දු කරන කණ්ඩායමක් නිසා එම කණ්ඩායම ගැන දේශපාලන අංශවල අවධානය යොමු විය.

ජනාධිපතිවරයාගේ චීන නිල සංචාරයේ දී එළඹුණු මහත් ප්‍රචාරයක් ලබාදුන් හම්බන්තොට තෙල් පිරිපහදුව තවමත් කඩදාසි කොළවලට පමණක් සීමා වූ තෙල් පිරිපහදුවකි. ‘සයිනොපෙක්’ සමාගමට අවසර ලබා දුන් බව කී පිරිපහදුව ඉදිකිරීමෙන් පසු කලාපය පසු කරන සියලු නැව්වලට තෙල් විකුණන බවට පුරසාරම් දෙඩුව ද අත්සන් කළ ගිවිසුම යටතේ කටයුතු සිදු නොවීය. ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී ද මෝදි අගමැතිවරයා සමග සමීපව කටයුතු කරන ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඡායාරූප රට පුරා ප්‍රචලිත කළ ද ඉන්දියාව සමග එළඹුණු ගිවිසුම් තවමත් ප්‍රසිද්ධ කර නැත. ඉන්දියාව සිදුකරන බව කී ආයෝජන ගැන ද ඇත්තේ නිහඬතාවකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තමන් සිතූ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ හැකියාව තිබුණ ද වත්මන් ජනාධිපතිවරයාට එවැනි හැකියාවක් නොමැත්තේ ඇයි? ජනවරමින් තේරීපත් වූ ජනාධිපතිවරයාගේ තීන්දු පසුබෑමට ලක්කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා ද? එම තීන්දු ගන්නේ පැලවත්තේ ඇති බව කියන ආණ්ඩුව ද?

ප්‍රේමකීර්ති රණතුංග