අලුත් පෙරමුණක් හදන්න අපි අඩිතාලම දැම්මා


මන්ත්‍රී කුමාර වෙල්ගම සැරසෙන්නේ කුමකටද?  

 

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  කුමාර වෙල්ගම 

 

  • මගේ පක්ෂය සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂයක්. ඒත් මම සමගි ජන බලවේගයේ සාමාජිකත්වය අරගෙන නෑ.
  • සමගි ජන බලවේගයේ ඉන්නේ දක්ෂිණාංශික පිරිසක්. මම යන්නේ වාමාංශික පිරිසක් එක්ක.  
  • විමුක්තිට විතරක් නෙවෙයි විජේවීරගේ පුතාටත් මේකට එන්න පුළුවන්.  

 

 

අලුත් දේශපාලන පෙරමුණක් නිර්මාණය කර දේශපාලන පෙරළියක් කරන්නේ යැයි කියන කුමාර වෙල්ගම ඒ පිළිබඳව ඉරිද‌ා ලංකාදීපයට මෙසේ අදහස් දැක්වීය.  


මොකක්ද මේ අල්ලන්න හදන අලුත් දේශපාලන අඩව්ව?  


අලුත් පෙරමුණක් හදන්න අපි අඩිතාලම දැම්මා. වාමාංශික විපක්ෂයේ වැඩක් හැටියට තමයි අපි මේක කරන්නේ. විපක්ෂය ශක්තිමත් වෙන්න ඕනැ. අපි තවත් පක්ෂ ගණනාවක් එකතු කරගෙන ශක්තිමත් පෙරමුණක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.  


මේක තවත් දේශපාලන පක්ෂයක්ද පුළුල් පෙරමුණක් ද?  


මේක පෙරමුණක්. මගේ පක්ෂය වෙනම තියෙනවනේ නව ලංකා නිදහස් පක්ෂය තමයි මගේ පක්ෂය. අපි බොහෝ දෙනෙක් එකතු වෙලා අලුත් පෙරමුණක් තමයි හදන්නේ. වමේ හරි පෙරමුණක් තාම හැදිලා නෑනේ. ඒ අඩුව තමයි මගේ මූලිකත්වයෙන් මේ ආරම්භ වුණේ.  


එතකොට ඔබ දැනට ඉන්න තැනට මොකද වෙන්නේ?  


මම ඉන්නේ නව ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියට. ඒක සමගි ජනබල වේගයේ හවුල්කාර පක්ෂයක්. මම සමගි ජනබලවේගයේ සාමාජිකයෙක් නෙවෙයි. මම ඒකේ සාමාජිකත්වය අරන් නෑ. සමගි ජන බලවේගයට සම්බන්ධයක් තියෙන්නේ හවුල්කාර පක්ෂයක් හැටියට විතරයි. පාර්ලිමේන්තු මැතිවරණය වෙලාවෙ අපේ පක්ෂය සමගි ජනබලවේගය එක්ක ගිවිසුමක් ගැහුවා. ඒකට අනුව මගේ කණ්ඩායමක් සමගි ජනබලවේගය යටතේ මැතිවරණයට ඉල්ලුවා. නව දෙනෙකුට අපේක්ෂකත්වය ලැබුණා. ඒත් මට විතරයි පාර්ලිමේන්තු එන්න වරම් ලැබුණේ. ඒ හැර සමගි ජනබලවේගය එක්ක බැඳීමක් නෑ. මට මගේ පක්ෂය එක්ක ඉදිරියට යන්න සමගි ජනබලවේගයෙන් බාධාවකුත් නෑ.  


මේ අලුත් පෙරමුණත් එක්ක ඔබ සමගි ජනබලවේගයෙන් ගැලවෙනවද?  


 නෑ ගැලවෙන්නෙ නෑ. මම සමගි ජනබලවේගයේ හවුල්කාර පක්ෂයක නායකයෙක්. විමල් වීරවංශලා පොහොට්ටුව එක්ක ඉන්නේ. අන්න ඒ වගේ තමයි.  


ඔබ හදන මේ අලුත් පෙරමුණයි සමගි ජනබලවේගයයි අතර ගැටුමක් ඇතිවෙන එකක් නැද්ද?  


එහෙම වෙන එකක් නෑ. සමගි ජනබල වේගය යන්නේ වෙනම ගමනක්. ඔවුන් දක්ෂිණාංශික අය. මම යන්නේ වමේ අය එක්ක ගමනක්. පොහොට්ටුවට ඡන්දෙ දීලා දැන් ඒ ගැන කලකිරිලා ඉන්නවා පිරිසක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කලකිරිලා ඉන්නවා තව පිරිසක්. එහෙම ඉන්න පිරිසටත් අපිත් එක්ක එකතුවෙන්න පුළුවන්.  


දක්ෂිණාංශික සමගි ජනබල වේගය එක්ක ඉන්න ගමන් වමේ කඳවුරක් හදන එක ඇතුළෙ මතවාදී අවුලක් තියෙනවා කියල හිතෙන්නෙ නැද්ද?  


එහෙම අවුලක් තියෙනවා කියලා මම හිතන්නෙ නෑ. පොහොට්ටුවෙ ඉන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න කවුරු හරි ඒ පක්ෂය ගැන කලකිරුණොත් ඒ අය බොහෝ දුරට යූඑන්පියට හෝ සමගි ජනබලවේගයට ඡන්දය දෙයි කියලා හිතන්න අමාරුයිනේ. ඒ අය එකතු කරන්න පුළුවන් වමේ නායකත්වයකට. මේකෙන් සමගි ජනබලවේගයට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එතනින් කවුරුත් ගලවලා ගන්නේ නෑ. අපි මේක ඉදිරියට යනකොට පුළුල් බලවේගයක් බවට පත්වෙයි.  


ඔබ මේ පෙරමුණ ගැන කරුණු කියපු මාධ්‍ය සාකච්ඡාවේදී ඔබ කියනවා ඉදිරියට ගේන සුවිශේෂී චරිතයක් ගැන. ඒ විමුක්ති කුමාරතුංගද කියලත් සමහරු ඇහුවා. ඇත්තටම කවුද ඒ?  


මම එහෙම එක එක්කෙනාගෙ නම් කියන්න ඉක්මන් වෙන්නෙ නෑ. අපේ මේ ව්‍යාපාරය එක්ක තරුණ තරුණියෝ එකතුවෙන්න ඕනෑ. උගත් තරුණයෝ මේ රටේ දේශපාලන ව්‍යාපාර එක්ක එකතු වෙනවා වෙනුවට කරන්නේ පුළුවන් අවස්ථාව ආපු ගමන් රට හැරල යන්න. ඒක අද ප්‍රවණතාවයක් වෙලා. මොකද මේ ජරාජීර්ණ දේශපාලන කුණුගොඩේ දඟලන්න ඒ අය කැමැති නෑ. මෙන්න මේ තරුණ පිරිස එකතු කරගන්න පුළුවන් පිරිසිදු ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. අපි උත්සාහ කරන්නේ එවැන්නක් නිර්මාණය කරන්න. අපේ මේ දේශපාලන ව්‍යාපාරය වටා විවිධ තරාතිරම්වල උගත් බුද්ධිමත් තරුණ පිරිසක් එකතුවෙයි කියලා අපි විශ්වාස කරනවා. මෙතෙක් ක්‍රියාකාරී දේශපාලනයේ ඉඳපු අය වගේම එහෙම නැති අයත්, දේශපාලන පවුල් පසුබිමකින් එන අයට ඕන කෙනෙකුට මෙතන විවෘතයි. මේකට විමුක්ති කුමාරතුංගට විතරක් නෙවෙයි. රෝහණ විජේවීරගෙ පුතාටත් එන්න පුළුවන්. තවත් ​දේශපාලන අම්මල තාත්තලාගෙ දූල පුතාලටත් එන්න පුළුවන්. එහෙම නැති දුවා දරුවන්ටත් එන්න පුළුවන්. කිසිම විශේෂයක් නෑ.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ඔබයි අතරෙ තියෙන ගැටුම මේ අලුත් පෙරමුණ නිසා තවත් උග්‍රවෙයිද?  


ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක තියෙන ගැටුමක් නොවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මම ​දේශපාලනයේ හෝඩිය කියපු පක්ෂය. මම ​දේශපාලන චරිතයක් විදියට ගොඩනැගුණෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක. මම අලුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරෙයි. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක ගැටුමක් නොවෙයි. පක්ෂය ඇතුළෙ ඉන්න නිලධාරීන් කීප දෙනෙක් එක්ක විතරයි මට ගැටුමක් තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයෝ ප්‍රාදේශීය දේශපාලන නායකයෝ ආසන සංවිධායකවරු සහ පක්ෂයට ආදරය කරන අය අහන්නේ ඇයි කෙනහිලිකම් කරද්දි තවදුරටත් පොහොට්ටුව එක්ක ආණ්ඩුවෙ ඉන්නෙ. ඒ අය හැමෝම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් එළියට බහින්න කියලා. ප්‍රාදේශීය

සංවිධායකවරුන්ට ප්‍රතිපාදන දෙන්නේ නෑ. පොහොට්ටුවෙ අගිස්සෙ එල්ලිලා ඉන්නෙ ඇයි තවදුරටත්. තවත් හෑල්ලුවට ලක්වෙන්නෙ මොකටද? ආණ්ඩුවෙන් එළියට ඇවිත් විපක්ෂෙ භූමිකාව හරියට කරන්න පුළුවන් ඒ අයට. එහෙම එනවනම් අපේ සහයෝගයත් ඒ අයට දෙනවා.  


දයාසිරි ජයසේකර කියන්නේ වෙල්ගමට තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන නෑ කමක් තියෙන්න විදියක් නෑ කියලා. අතන මෙතන ගිහින් දැන් සමගි ජන බලවේගයේ ඉඳගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන දුක්වෙන්න එපා කියලා එයා කියන්නේ?  


මට සමගි ජනබලවේගය එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියල මම කිව්වනේ දැන්. ඒක කවුරුත් දන්නවා. මම සිරිසේන මහත්තයා ජනාධිපති වුණාට පස්සේ ඔහුත් එක්ක එන්නේ නෑ කියල එළියට බැස්සා. මම පොහොට්ටුවෙ සාමාජිකත්වය අරගෙනත් නෑ. මගේ හදවතේ සාමාජිකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක විතරයි. හැබැයි ඔය මට චෝදනා කරන පුද්ගලයා කොහේද හිටියෙ. අතන මෙතන ගිහින් ආවෙ කවුද? එතකොට. මම ඔහුට ඕනැ පක්ෂයකට යන්න තියෙන අයිතිය විවේචනය කරන්නේ නෑ. හැබැයි එයා හැරෙන හැරෙන පැත්තට දිව නැවෙන කෙනෙක් කියල කවුරුත් දන්නවා. යූ.එන්.පී. එකේ ඉන්නකොට තිබුණු හම්බන්තොට වරායෙ ගල රාජපක්ෂලා ළඟට ආවම නැති වුණානේ. ඒ වගේ ඕනැ ඕනැ විදියට කතා වෙනස් කරුපු කෙනෙක්නෙ ඔය චෝදනා කරන්නේ. මම එහෙම දෙබිඩි චරිතයක් නෙවෙයි. මම බලයට කෑදර නම් ඇමැතිකම් ඕනැ හැටියෙ ගන්න තිබුණා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිගෙ කාලෙ ඕනැ නම් ඇමැතිකමක් ගන්න තිබුණා. දින පනස් දෙකේ ආණ්ඩුවේදී මට ඇමැතිකමක් දෙන්න හැදුවා. මහින්ද රාජපක්ෂ. මම ඒ වැඩේ කරන්නත් එපා කියලා මහින්ද රාජපක්ෂට කිව්වා. දින පනස්දෙකේ ආණ්ඩුව ගන්න එපා කියලා මම තරයේම මහින්ද රාජපක්ෂට කියා හිටියා. මහින්ද මහත්තය දිවුරුම් දීලා ඇවිත් මට කිව්වාම ඇමැතිකමත් ගන්න කියලා මම කිව්වා මගේ හිතට එකඟව ඒ වැඩේ කරන්න බෑ කියලා. මම බලයට කෑදර නැති නිසා තමයි ඒවට පයින් ගහල ආවේ. පහුගිය ඡන්දෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කරමු කියල මම කියද්දි එහෙම කරන්න බෑ පොහොට්ටුවෙන්ම තරග කරනව කියල කියපුවම මම ඒකට අකමැතිවෙලා ඇවිත් පක්ෂයක් හද‌ාගෙන ස.ජ.බ. එක්ක එකතු වෙලා ඡන්දෙ ඉල්ලුවා. මම කිව්වාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට වෙනම තරග කරමු කියල ඒකට බෑ කියපු අය මාව පරාද කරන්න කළුතරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලිස්ට් එකක් දැම්මා. ඔන්න එයාල කරපු කැත වැඩේ. ඒත් ඒ කාටවත් දිනන්න බැරි වුණා. කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවට තේරුණා.  


ඔබ හදන අලුත් පෙරමුණේ අභිප්‍රාය රාජපක්ෂ පාලනය පෙරළා දමන එක නම් එහෙම කරල බලයට ගේන්න හදන්නේ කවුද?  


එහෙම කණ්ඩායමක් තාම බිහිවෙලා නෑ. අනාගතයේ බලමු. කවුද බලයට ගේන්නේ කියලා. විවිධ අය ඉන්නවා. නම් ගම් කියන්න ඉක්මන් වෙන්න ඕනැ නෑ. ඉදිරියේදී හොඳ කෙනෙක් මතුවෙයි. ඒකට ඉක්මන් වෙන්න ඕනැ නෑ. ඒත් ඒකට පසුබිම දැන්ම ඉඳලා හදන්න ඕනැ. අපි මේ කරමින් ඉන්නේ ඒක. 2023 දී විතර අපිට පුළුවන් වෙයි ඒ ගැන කතා කරන්න නම් ගම් සහිතව. ඊට කලින් ජනාධිපතිවරණය ගැන කතා කරලා වැඩක් නෑ. ඊට කලින් ප්‍රාදේශීය සභා, පළාත් සභා මැතිවරණ එනවනේ. ඒවට අපි සූද‌ානම් වෙන්න ඕනැ. 

 
 කුමාර වෙල්ගම එක පැත්තකින් පෙරමුණක් හදද්දී මංගල සමරවීරත් තව පැත්තකින් අලුත් දේශපාලන ව්‍යාපාරයක් පටන් ගත්තා.  


මංගල සමරවීර ඉතා දක්ෂයෙක්. අපි එකට කාලයක් දේශපාලනය කළා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සමිතියේ උප ලේකම් කෙනෙක් විදියට ඉන්නකොට බණ්ඩාරනායක මැතිනිය මංගලව ගෙනල්ලා සිරිසේන මහත්තයාට බාර දෙන්නෙ. එතකොට සිරිසේන මහත්තයා තරුණ සමිතියේ ලේකම්. ඒ කාලෙ ඉඳන් මම මංගල දන්නවා. එයා වැඩ කරන්න කඩිසරයි. වෙනස් අදහස් තියෙනවා. එයා මේ ගත්තු අලුත් පියවරත් ඉතාම හොඳයි. අපි බලමු ඉදිරියට මොකක් වෙයිද කියලා. මේ රාජපක්ෂ ආණ්ඩුව පෙරළන්න මේ වගේ විවිධ දේශපාලන ව්‍යාපාර ඇරඹෙන එක හොඳයි.  


කුමාර වෙල්ගම පහුගිය ටිකේම චන්ද්‍රිකා කුමාරතුංග එක්ක ළඟින් හිටියනේ. ඔබේ මේ නව ​දේශපාලන පෙරමුණට චන්ද්‍රිකා කුමාරතුංග සහයෝගයත් තියෙනවද?

  
දැන් එතුමිය විදෙස්ගතව ඉන්නේ. එතුමිය අපේ නායිකාව, 1994 ඉඳන් එතුමිය ඉන්නවනේ. මගේ විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂගෙත් නායිකාව චන්ද්‍රිකා. එතුමියට තාම ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙන්න පුළුවන් ශක්තිය තියෙනවා. විශේෂයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳව හසල දැනුමක් තියෙනවා. එහෙම සම්බන්ධතා ජාලයක් එතුමියට තියෙනවා. එතුමියගේ සහයෝගය අපිට ලැබෙනවා නම් ඉතා හොඳයි. ලැබෙයිද නැද්ද කියන එක මම හරියටම දන්නෙ නෑ. අපි ඒ ගැන සාකච්ඡා කරලත් නෑ. එතුමියගේ දේශපාලන අත්දැකීම් එක්ක අපිට සහයෝගයක් ලැබෙනව නම් ඒක විශාල ශක්තියක් වේවි.  


ඔබ ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ගේම ඉල්ලුවා. දැන් ඊළඟ ජනාධිපතිවරණයට බැසිල් රාජපක්ෂගේ නම කියවෙනවා ඔබ එයාටත් ගේම ඉල්ලනවද?  


 ජනාධිපතිවරණයට ගෝඨාභයගේ නම යෝජනා වෙච්ච වෙලාවෙ ඉඳලා ඒකට විරුද්ධව කතා කරපු කෙනා මම. කවුරුත් සද්ද වහල ඉද්දී මම විතරයි ප්‍රසිද්ධියේ ඒ ගැන කිව්වේ. ප්‍රාදේශීය සභාවකටවත් නොගිය ගෝඨාභය ජනාධිපතිකමට සුදුසු නෑ කියල මම බය නැතුව කිව්වා. එද‌ා මම ඒ කියපු කතාව හරිද වැරදිද කියලා අබමල් රේණුවක මොළයක් තියෙන ඕනැ කෙනෙකුට තේරෙනවා. රාජපක්ෂල වුණු පලියට මාර වැඩකාරයො කියල එකක් නෑ. බැසිල් මහතා මැජික්කාරයෙක් නෙවෙයි. බැසිල් ආවම තෙල් අඩුවෙයි කියල ආණ්ඩුව කයිවාරු ගහ ගහ හිටියනේ. කෝ තාම අඩු කළා ද? එහෙම එකක් නෑ. මවා පෑම් විතරයි ඔක්කොම. 2010 - 2015 ආණ්ඩුවෙ එයානෙ ආර්ථික කටයුතු ඇමැති. මමත් ඒ කැබිනට් එකේ හිටියනේ. රට ගොඩ දැම්මද? 2015 මහින්දට ගෙදර යන්න වෙන තැනට වැඩ සිද්ධ වුණේ බැසිල් රාජපක්ෂ ඔය ඇමැතිකමේ ඉඳලා තමයි. මේ ආණ්ඩුව ආවට පස්සේ එක එක ජාතියේ කාර්ය සාධක බළකාවල මුල් පුටුවෙ හිටියෙ එයානේ. ආණ්ඩුව ගත්ත තීරණවලදී බැසිල් ප්‍රධාන චරිතයක්. මොකක්ද රටට වෙච්ච මහා ලොකු සුගතිය. එහෙම එකක් නෑ. ජනාධිපතිවරණයට බැසිල් එනවා කියලා අපිට නම් බයවෙන්න දෙයක් නෑ. ඒ පැත්තෙන් ඕනැ කෙනෙක් ආපුදෙන්. අනික පොහොට්ටුවෙන් රාජපක්ෂ කෙනෙක් ඇරෙන්න වෙන කෙනෙක් එන්නෙත් නෑ. 2050 ජනාධිපතිවරණයටත් එන්නේ රාජපක්ෂ කෙනෙක්ම තමයි. මම ඉතින් අවුරුදු ගාණක් මහින්ද මහත්තයාගෙ දකුණු අත වගේ හිටියනේ. මං දන්නවනේ ඒගොල්ලන්ගෙ වැඩ. පොහොට්ටුව කියන්නේ රාජපක්ෂලාටම හදපු පක්ෂයක්. ඕනැ රාජපක්ෂ කෙනෙක් එක්ක හැප්පෙන්න තමයි අපි මේ බලවේගය හදන්නේ.   


කුමාර වෙල්ගමටත් ජනාධිපති වෙන්න බැරි නෑ කියලා පහුගිය කාලෙ කිය කිය හිටියනේ. චාන්ස් එකක් ලැබෙයි ද මේ අලුත් වැඩේ එක්කවත්?  


 කුමාර වෙල්ගම විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ කෙනෙක්. මුල ඉඳලම මම ඒ මතයේ හිටපු මිනිහෙක්. එද‌ා අපිත් එක්ක විධායක ජනාධිපති ක්‍රමය එපා කියපු අය තමයි විධායක ජනාධිපති පුටුවෙ වාඩිවෙලා ඒක ඉවත් නොකර ඒකෙම රැඳෙන්න මාන බැලුවෙ. චන්ද්‍රිකා කුමාරතුංග කිව්වා මේක අයින් කරනවා කියලා. මහින්ද රාජපක්ෂ කිව්වා, මෛත්‍රිපාල සිරිසේනත් කිව්වා. ඒත් අයින් කළේ නෑ. කුමාර වෙල්ගම සහතික කරල කියනවා කුමන හෝ අවස්ථාවක් ලැබුණොත් පළවෙනියටම කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව. මේක රටට පිළිලයක්. මේක අහෝසි කළ යුතුමයි. අපි ඒකට උත්සාහ ගන්නවා.  

 

 ප්‍රියන්ත කොඩිප්පිලි