අලුත් උපක්‍රම වලින් ආණ්ඩූව ජනතාව මර්දනය කරනවා


ජනතා විමුක්ති පෙරමුණේ   
මධ්‍යම කාරක සභික

කේ.ඩී. ලාල්කාන්ත   

ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත හමුවේ විපක්ෂයේ කාර්යභාරය පිළිබඳ මේ අදහස් දැක්වීම ජ.වි.පෙ. මධ්‍යම කාරක සභික කේ.ඩී. ලාල්කාන්තගෙනි.   


පාරේ සටන්වල නිතර දැකපු චරිතයක් වුණු ලාල්කාන්ත පහුගිය දවස්වල වැඩිය පේන්න හිටියේ නැත්තෙ මොකද ?   


ජනතාව අවදි කිරීමේ සටන් කරන්න අවශ්‍ය වෙලා නෑ. මොක ද ජනතාව දැන් සටන කරගෙන යනවා. නායකයෝ ජනතාව අතරට ගිහින් පෙරමුණ අරන් ජනතාව අවදි කරන්න අවශ්‍ය වෙන සමහර කාල තියෙනවා. හැබැයි මේ මොහොත කියන්නේ හැමතැනම ජනතාව සටනට බැහැපු අවස්ථාවක්. ගොවිබිම්වල, වැඩබිම්වල, මහපාරේ ජනතාව ඉදිරියට ඇවිත් සටන කරගෙන යනවා. මේ වෙනකොටත් ගොවිබිම්වල සටනට නායකත්වය ලැබෙනවා. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කෙරෙන සටන්වලටත් අපේ නායකත්වය ලැබෙනවා. මේ සියල්ල එකතු කරලා ජාතික වශයෙන් පාරට ගන්න අවශ්‍ය වෙන වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට ඔය ඔබ අහපු ප්‍රශ්නය මතුවෙන එකක් නෑ.   


ආණ්ඩුව විපක්ෂයේ හඬ මර්දනය කරන්න පියවර ගන්නවා කියලා හැම පැත්තෙන්ම චෝදනා එල්ලවෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ වගේම පෙරටුගාමි සමාජවාදී පක්ෂයෙත් සාමාජිකයො කීප දෙනෙක්ම පසුගිය ද‌ා අත්අඩංගුවටත් ගත්තා. මොකද මේ වෙන්නේ ?   


අපේ පක්ෂයේ මහින්ද ජයසිංහ සහෝදරයා වගේම පෙරටුගාමි පක්ෂයේ දුමින්ද නාගමුව සහෝදරයා අත්අඩංගුවට ගත්තා පහුගිය දවසේ. ඒ වගේම නාමල් කරුණාරත්න සහෝදරයයි, සමන්ත විද්‍යාරත්න සහෝදරයයි අත්අඩංගුවට ගත්තා. මේ අය උසාවියෙන් ඇප දීලා නිදහස් කරල තියෙනවා මේ වෙනකොට. මේ සියලු අත්අඩංගුවට ගැනීම් සිදුකරන්නේ කොරෝනාවලට මුවාවෙලා. කොරෝනා පාවිච්චි කරලා. ඉතින් ආණ්ඩුවට කොරෝනා තියෙන එක හොඳයි. ආණ්ඩුවේ අසමත්කම නිසා ඇතිවෙච්ච පීඩාවට එරෙහිව ජනතාව පාරට බහිනකොට කොරෝනාවම ඉදිරියට ද‌ාලා ඒ ජනතාව මර්දනය කරන්න පියවර ගන්නවා. කොරෝනා කියන්නේ ආණ්ඩුවේ මර්දනයට පාවිච්චි කරන්න පුළුවන් හොඳ උපකරණයක්. ආණ්ඩුවේ තේමාව වෙලා තියෙන්නෙත් කොවිඩ් එක්ක ජීවත්වෙමු කියලනේ. එහෙම නැතුව කොවිඩ් අවසන් කරමු කියලා ආණ්ඩුව කියන්නෙ නෑ. කොවිඩ් නැති රටක් කියලා ආණ්ඩුව කියන්නේ නෑ. ආණ්ඩුවට මේක තියාගන්න ඕනෑ. ආණ්ඩුවට කොවිඩ් ආශිර්වාදයක් වෙලා තියෙන්නේ දැන්. ජනතා සටන් අරගල මර්දනයට හොඳ ආයුධයක් මේක. ඒක නිසා මේ ආණ්ඩුව තියෙන කම් ජනතාවට කොවිඩ් එක්ක ඉන්න වෙයිද කියලා අපිට සැකයක් තියෙනවා. කොවිඩ් නිසා මැරෙන අය ඇත්තටම ගත්තොත් මැරෙනවා නෙවෙයි මේක තියාගෙන මරණවා.   


ඔබ කියන්නේ මේ ආණ්ඩුව පවතින කල් කොවිඩ් තියා ගනීවි කියල ද?   


අනිවාර්​ෙ‌යන්ම. පාලකයන්ට ජනතාව මර්දනය කරන්න අලුත් ආයු ද ඕනෑ. පරණ ක්‍රමවලින් ජනතාව මර්දනය කරන්න දැන් අමාරුයි. මොක ද ජනතාව ඒවට හුරුවෙලා දැන්. ඒවට මුහුණ දෙන්න ජනතාව දන්නවා. අනික මේ ජනාධිපති දන්නේ එකම සෙල්ලමයි. ඒ තමයි හැම එකටම හමුද‌ාවයි පොලිසියයි ද‌ාලා ඒව මෙහෙයවන්න ඕනෑ කියන අදහස. ඒ උඩ තමයි ජනාධිපති වැඩ කරන්නේ. ඒ හරහා මර්දනය කරන්න පුළුවන් කියල හිතනවා ඇති. ජනාධිපතිගේ මේ ක්‍රීඩාව හැමද‌ාම කරන්න රටේ ජනතාව ඉඩ නොදිය යුතුයි. ආණ්ඩුවේ පරණ උපක්‍රම වෙනුවට ජනතාව මර්දනයට ආණ්ඩුව අලුත් උපක්‍රම පාවිච්චි කරනවා. අන්න එතන දී කොරෝනා වෙස්වලා ගත්ත ආශිර්වාදයක් වෙලා මේ ආණ්ඩුවට. මේ නිසා මේ ආණ්ඩුව තියෙන කල් කොරෝනා මර්දනය කරයි කියලා අපි හිතන්නේ.   


බැසිල් ආවම රට ගොඩ යයි කියල ආණ්ඩුවෙ අය කියන්නේ. ඇත්තටම ගොඩ යයි ද? එහෙම වුණොත් ඔබලාට පාරේ සටන් කරන්නත් ඕනෑ වෙන්නෙ නෑ.   


 මේ ආණ්ඩුව බලයට ගෙනාවෙත් බැසිල් රාජපක්ෂ. අමාත්‍යාංශ කඩල කඩලා විවිධ ඇමැති තනතුරු හැදුවෙත් බැසිල්. ගස් ගල්වලට පවා අමාත්‍යාංශ හැදුවෙ එයා තමයි. එයා දිගටම මේ ආණ්ඩුව පාලනය කළා. ප්‍රතිපත්ති සකස් කෙරුවා. ප්‍රතිපත්ති ක්‍රියාවට යෙදෙව්වා. බැසිල් නැති ආණ්ඩුවක් නෙවෙයි මෙච්චර දවස් රටේ තිබුණේ. ගෝඨාභය, මහින්ද, බැසිල්, චමල් කට්ටිය එකතුවෙලා හවුලේ තමයි ඔක්කොම තීන්දු තීරණ ගත්තෙ. බැසිල් මේ රටේ වගකිවයුතු ජනාධිපති කාර්ය සාධන බළකාය තුනක ප්‍රධානියා. මේ ආණ්ඩුව මේ වෙනකොට කරල තියෙන සියලුම ජනතා ද්‍රෝහී කටයුතුවල මුල්පෙලේම වගකිව යුත්තෙක් තමයි බැසිල්, එයා පසුගිය දවස් ටිකේ ඇමෙරිකාවෙ හිටියා කියල මේ රටේ දේවල්වලට ඇඟිලි නොගහ හිටියා කියල ද කියන්නේ. ඒක නිසා බැසිල් කියන්නේ මේ ආණ්ඩුවට අලුත් චරිතයක් නෙවෙයි. රාජපක්ෂ පාලනයේ ප්‍රධාන මෙහෙයුම්කරුවෙක් තමයි බැසිල්. ඒ නිසා බැසිල් පාර්ලිමේන්තුවට ආවා කියලා අලුතෙන් කිසිම දෙයක් වෙන්නේ නෑ. ජනාධිපති ගෝඨාභයගේ සහ අගමැති මහින්දගේ අසමත්කම බැසිල් පෙන්වලා වහගත්තා. හැබැයි අපි දන්නවා මේ තුන් කට්ටුවම අසමත් කියලා. මෙච්චර කල් බැසිල් කෙනෙක් හිටියේ නෑ, වගේ පෙන්වන්න හදන්නේ ආණ්ඩුව හිතනව ද දන්නේ මේ රටේ ඔක්කොම හරක් කියලා. මේ හදන්නෙ නැවත වටයක් ජනතාව ගොනාට අන්දන්න. මේ ආණ්ඩුවට ඡන්දය දීපු ජනතාවත් තමන් රැවටුණා කියන එක ටික ටික අවබෝධ කර ගනිමින් ඉන්නේ.   


 ආණ්ඩුව විපක්ෂයේ ක්‍රියාකාරකම් මර්දනය කරනවා වගේම මාධ්‍යයටත් අත තියන්න අරන් වගේ කියලා පාර්ලිමේන්තුවෙදිත් මහජන නියෝජිතයෝ ප්‍රකාශ කළා.  


ඕනෑම පාලනයක් ජනතාවට පිටුපාල කටයුතු කරනකොට සහ ජනතාවට හොරෙන් ජනතා ද්‍රෝහි කටයුතු කරනකොට ජනතාව ඒ සම්බන්ධයෙන් මතවාදීව දැනුවත් වීම පාලනය කිරීම සහ වළක්වා ලීම පාලකයන්ට අවශ්‍ය වෙනවා. මේ සියල්ල ජනතාව අතරට යන්නේ මූලික වශයෙන් ජනමාධ්‍ය හරහා. ජනමතය ගොඩනගන්න ප්‍රබලම මැදිහත් වීම කරන්නේ ජනමාධ්‍යය. ඒ නිසා ජනතාද්‍රෝහී පාලනයක් පවතින ඕනෑම මොහොතක පළමුවෙන්ම පාලකයෝ අත තියන්නේ ජනමාධ්‍යයට අවුරුදු පහකට බලයට ආපු කට්ටියට අවුරුදු එක හමාරක් යනකොටම මාධ්‍යයට අත තියන්න වෙලා තියෙනවා කියන්නෙම ඒ ආණ්ඩුවේ අසමත්කම තවත් වරක් ප්‍රකාශයට පත්වීමක්. මාධ්‍යවලට අත තියන කොටම ජනතාවට වගකීමක් තියෙනවා මාධ්‍ය මර්දනයට එරෙහිව නැගී සිටින්න. ඒක ජනතාවගේ වගකීමක්. අපි හිතනවා මේ රටේ ප්‍රගතිශීලි ජනතාව මේ තත්ත්වය ගැන සවිඥ‌ානයි කියලා.  


විපක්ෂය පාලනය කරන්න ආණ්ඩුවේ එකම ආයුධය මර්දනය නම් විපක්ෂය මේ අභියෝගයට මුහුණ දීලා මේ තත්ත්වය ජය ගන්නේ කොහොම ද?  


දැන් විපක්ෂ කීපයක් තියෙනවා. එක විපක්ෂයක් නෑනේ දැන්. සජිත් ප්‍රේමද‌ාස නිල වශයෙන් නායකයා වෙච්ච විපක්ෂයක් තියෙනවා. සජිත් ප්‍රේමද‌ාසට තාම බෑ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ නම කියල විවේචනයක් ඉදිරිපත් කරන්න. ආණ්ඩුව සහ ඇමැතිවරු කියලා විවේචනය කළාට සජිත් ප්‍රේමද‌ාස ගෝඨාභය රාජපක්ෂට අත තියන්නේ නෑ. මේ අවුරුදු එකහමාර ඇතුළෙ නිල විපක්ෂ නායකයා ගෝඨාභය රාජපක්ෂගේ නම කියලා කිසිදු විවේචනයක් ඉදිරිපත් කරනවා අපි දැකලා නෑ. ඒ වගේ විපක්ෂවලින් රටකට වැඩක් නෑ. තව තියෙනවා රනිල් වික්‍රමසිංහගෙ විපක්ෂයක්. රනිල් වික්‍රමසිංහ විපක්ෂය ගැන කතා කරලා වැඩක් නෑ. ඒ ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් ඇත්තෙම නෑ. 2015 මේ රටේ ප්‍රගතිශීලි ජනතාව ලබා දුන්නු ජනවරම පාවා දීපු කෙනා තමයි රනිල්. අනිත් කෙනා තමයි ඒ ජනවරම පාවලා දීපු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. එයා දැන් මේ ආණ්ඩුවේ සියලු අකටයුතුකම් දිහා බලාගෙන නොදැක්ක වගේ සද්ද වහලා ඉන්නවා. එයා එහෙම හිටපුදෙන්. ඒක හොඳයි.  


 අනික් පැත්තෙන් ටී.එන්.ඒ. එකත් විපක්ෂෙ ඉන්නවා. එයාලා කවදත් සාමාන්‍යයෙන් මේ මර්දනීය කටයුතුවල දී පළමුව ඉදිරියට ඇවිත් නෑ. ඔවුන් දෙමළ ජනතාව ගැන, දෙමළ ජනතාවගේ අයිතිය ගැන කතා කරමින් ඉන්නවා. ඔවුන් ජාතික වශයෙන් එහෙම විශේෂ කාර්යභාරයකට ඉදිරියට එන්නේ නෑ. ඔවුන් පහුගිය කාලෙ මේ රටේ නිල විපක්ෂය වෙලත් හිටියා. සම්බන්ධන් විපක්ෂනායකයා වෙලා හිටියා. ඒ කාලෙවත් නිල විපක්ෂයක කාර්ය භාරය ඔවුන් කෙරුවා කියල මම හිතන්නේ නෑ.  


මේ විදියට බැලුවම ජනතා විමුක්ති පෙරමුණේ අපිට මේ ආණ්ඩුව කෙරුවාව එපා වෙලා ඉන්න අනෙකුත් සියලු පිරිස්වලට තමයි අද විපක්ෂයේ සැබෑ කාර්යභාරය කරන්න සිද්ධවෙලා තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ කවදත් විපක්ෂයේ කාර්ය භාරය හරියාකාරව ඉටු කළා කියලා රටේ ජනතාව දන්නවා. මේ මොහොතෙත් කරනවා. ඒත් ඒක මීටත් වඩා ශක්තිමත්ව උපක්‍රමශීලීව ක්‍රියාත්මක විය යුතුයි.  

 

 

පිළිසඳර
ප්‍රියන්ත කොඩිප්පිලි