අර්බුධයෙන් ගොඩ ඒමට එකම විසඳුම සර්ව පාක්ෂික ආණ්ඩුවක්


පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී 

  • අර්බුදයෙන් ගොඩ ඒමට එකම විසඳුම සර්වපාක්ෂික ආණ්ඩුවක්  මේ ආණ්‍ඩුවට වැඩපිළිවෙළක් නෑ
  • මේ ආණ්‍ඩුවේ නිල නොලත් පාලකයා බැසිල්  

 

රටේ අර්බුදයට ඇති විසඳුම කුමක්ද? ඉදිරියේදී ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද? මේ ඒ ගැන විමසමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා සමග කළ සාකච්ඡාවකි. 


ප්‍රශ්නය:- ඔබලා ආණ්‍ඩුවෙන් ස්වාධීන වුණා. ඇමැති ධුරවලින් නෙරපා හැරියා. දැන් ඔබලා කරමින් ඉන්න දේශපාලනය අර්බුදයට ගොදුරු වූ රටට උත්තරයක් ද?  


පිළිතුර:- අපි මේ අර්බුදය දැකලා 2020 ඔක්තෝබර් මාසයෙ ඉඳලා ආණ්ඩුවට කිව්වා. උද්දච්ඡ නායකයෝ අපට ඇහුම්කන් දුන්නේ නෑ. අර්බුදයක් ඇතිවන බව පිළිනොගන්න අය අර්බුදය විසඳන්න උත්සුක නොකළ නිසා මාර්තු 2 වැනිදා මුළු රටම හරි මගට නමින් අර්බුදයෙන් මිදීමේ යෝජනාවලියක් රට හමුවේ තැබුවා. ඒ යෝජනාවලිය දෙස බලනවා වෙනුවට විසඳුම් ඉදිරිපත් කළ අපව කණෙන් ඇදලා එළියට දැම්මා. අදත් එදා නියම අපි අපේ හතුරා බවට ආර්ථික අර්බුදය පත්කරගෙන ඊට විසඳුම් සොයමින් ඒවා ඉදිරිපත් කරමින් ඉන්නේ. මේ වෙලාවේ අර්බුදයෙ පියවරු සොයමින් එකිනෙකාට ඇඟිලි දිගු කරලා වැඩක් නෑ. එයින් සිදුවන්නේ අර්බුදය තව තවත් තීව්‍ර වීම පමණයි. අපි මේ මොහොතේ කළ යුත්තේ 225 ම එකාමෙන් සමගිව මේ අර්බුදයෙන් ගොඩ ඒමට උත්සාහ කිරීම අර්බුදයෙන් ගොඩ ආවාට පසු අර්බුදයේ පිතෘවරුන් සොයමින් ඔවුන්ට දඬුවම් කිරීම කළ හැකියි.  


ප්‍රශ්නය:- ඔබ හිතනවද මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් කියලා.  


පිළිතුර:- සැලසුම් සහගත උත්සාහයක් දැරුවොත් මේ අර්බුදයෙන් ගොඩ එන්න බැරිකමක් නෑ. මේ ලෝකේ ආර්ථික අර්බුද නිසා වසා දැමූ රටවල් නෑ. සමාගම් බංකොලොත් වෙනවා වගේ රටවල් බංකොලොත් වී වසා දමා නෑ. නමුත් අර්බුදයෙන් ගොඩ ඒමට කෙතරම් කාලයක් ගතවෙන්නේ ද යන්න තීරණය වන්නේ ඒ සඳහා නිසි සැලසුමක් සකස් කර කැපවී එය ක්‍රියාත්මක කළොත් පමණයි. අවාසනාවට මේ රට හමුවේ අදටත් තියෙන්නේ මාර්තු 2 වැනිදා අපි ඉදිරිපත් කළ යෝජනාවලිය පමණයි. ආණ්ඩුවෙන් විපක්ෂයටත් මේ දක්වා කිසිම සැලසුමක් ඉදිරිපත් කරන්න අසමත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම වත්මන් අගමැතිවරා තනතුරට ඇවිත් මාසයකට වැඩියි. එතුමා අගමැති ධුරයට පත් වුණුදාට පහුවදාම මාව හමු වුණා. මම ඒ මොහොතේ එතුමාට කිව්වා මේ මොහොතේ වඩාත් වැදගත් වෙන්නේ හැකි ඉක්මණින් අර්බුදයෙන් ගොඩ ඒමේ සැලැස්ම රට හමුවේ තැබීමයි කියලා. නමුත් මේ දක්වා එවැනි සැලසුමක් රට හමුවේ තබන්න අගමැතිවරයාත් අසමත් වී තිබෙනවා.  


ප්‍රශ්නය:- ජාතික ආණ්‍ඩුවක් අවශ්‍යයි කියලා සමහරු කියනවා. එබඳු ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවක් ඔබ දකිනවා ද?

  
පිළිතුර:- අනිවාර්යයෙන්ම ​ඔව්. ඔය යෝජනාව පළමුවෙන්ම ඉදිරිපත් කළේ අපි. අප්‍රේල් 8 වැනිදා ජනාධිපතිතුමාට ඔය යෝජනාව යැව්වේ අර්බුදය විසඳා ගැනීමේ එකොළොස් වැදෑරුම් යෝජනාවලියේ එක් යෝජනාවක් තමයි සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්‍ඩුවක් පිහිටුවීම. මේ අර්බුදය විසඳීමට නම් වේදනාකාරී තීන්දු ගැනීමට සිදුවෙනවා. තමන්ට අත්වේ යැයි සිතෙන දේශපාලන අවාසිය සලකලා බොහෝ ආණ්ඩු වේදනාකාරී තීන්දු ගන්න බයයි. ජනප්‍රිය නොවන තීන්දු ගන්න පුළුවන්කම ලැබෙනවා. අනික් පැත්තෙන් සෑම පක්ෂයකම සිටින මේ අර්බුඳය විසඳීමට දායකත්වයක් ලබා දීමට හැකි දක්ෂයන්ගේ හැකියාවන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි අදටත් විශ්වාස කරන්නේ සර්ව පාක්ෂික ආණ්‍ඩුවක් තමයි මේ අර්බුදයෙන් ගොඩ ඒමට තිබෙන එකම විසඳුම. ඒ වෙනුවෙන් කටයුතු කරගෙන යන අතරෙ දී තමයි ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැති ධුරයට පත් කළේ.  


ප්‍රශ්නය:-  එබඳු ජාතික ආණ්ඩුවක් හඳුනා ගැනීමේ ඉඩක් තවමත් තියෙනව ද?  


පිළිතුර:- තවමත් මේ අාණ්ඩුව අර්බුදයට විසඳුමක් ඉදිරිපත් කරලා නෑ. ආණ්‍ඩුවට වැඩපිළිවෙළක් නෑ. ඒ සඳහා කැපවීමක් පෙන්නුම් කරලා නෑ. ඒ නිසා මේ අර්බුදය විසඳීමට ආණ්ඩුව අසමත් වුණොත් එයින් පීඩාවට පත් වෙන්නේ ආණ්‍ඩුවෙ අය පමණක් නොවෙයි. සමස්ත මිලියන 22 ක් වූ මේ රටේ ජනතාව. ඒ නිසා මේ මොහොතේ වුවත් ජාතික ආණ්ඩුවක් සෑදීමට අවස්ථාව තිබෙනවා. පසුගිය අවස්ථාවේ දී ජාතික ආණ්‍ඩුව බිහි කිරීමට නොහැකි වුණේ ඒ සම්බන්ධයෙන්. සමගි ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණත් දක්වපු අකමැත්ත නිසයි. මේ පක්ෂ දෙක තමන්ගේ අකමැත්ත වෙනස් කරගන්නවා නම් අදටත් ජාතික ආණ්‍ඩුවකට ඉඩක් තියෙනවා.  


ප්‍රශ්නය:- අගමැති ධූරයේ රනිල් වික්‍රමසිංහ ඉන්නවා. ඔහු අගමැති වශයෙන් ඔබ පිළිගන්නව ද?  


පිළිතුර:- මේ මොහොතේ අගමැති ධුරය බාර ගන්නා ඕනෑම අයෙකුට කොන්දේසි විරහිතව සහාය දෙන්න අපි සූදානම්. ඒ අය සම්බන්ධයෙන් අපට ඓතිහාසිකව ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ වගේම ඒ අයගෙ නොයෙකුත් අඩුපාඩු ඇති. මේ ඔවුන්ගේ අඩුපාඩු හොයන වෙලාව නොවෙයි. අඩුපාඩු ගැන සංවාද කරනවා වෙනුවට අර්බුදයට විසඳුම් සෙවිය යුතුයි. ඊළඟ අගමැතිවරයා විය යුත්තේ කවුදැයි මට තීරණය කරන්න බෑ. එහි තීරණය කළ යුත්තේ පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාව විසින්.  


ප්‍රශ්නය:- අැමැති ධුරයෙන් ඉවත් වුණාට පස්සේ ඔබට මහින්ද රාජපක්ෂ හමුවුණා ද?  


පිළිතුර:- ඔව්. අවස්ථා ගණනාවක දී පාර්ලිමේන්තුවේ දී හමුවෙලා. එතුමා සමග සුහදව සාකච්ඡා කළා.  


ප්‍රශ්නය:- රාජපක්ෂවරුන්ගේ ඉරණම මෙහෙමවීම ගැන ඔබට මොකද හිතෙන්නේ?  


පිළිතුර:- මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටට යම් සේවයක් කළ නායකයෙක්. එතුමා දේශපාලයෙන් සමුගැනීම ගෞරවාන්විතව සිදුවිය යුතුව තිබුණා. ඒ නිසා අපි දිගින් දිගටම පොහොට්ටුවේ අයගෙන් ඉල්ලා සිටියා මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගමැති ධුරයෙන් ඉවත් වෙන්න අවස්ථාව දෙන්න කියලා. අපි එතුමාගෙන් ඉල්ලා සිටියා වහාම ගෞරවණීය ලෙස සමුගන්න කියලා. එතුමා අස්වුණේ නෑ. වටේ ඉන්න අය අස්වෙන්න දුන්නෙත් නෑ. ඒ නිසා එතුමාගේ නික්මයාම ඇත්ත වශයෙන්ම එතුමාට අතිශයින්ම කනගාටුදායක තත්ත්වයක්.  


ප්‍රශ්නය:- ‘අවලස්සන ඇමෙරිකානුවා’ කියලා ඔබ හඳුන්වපු බැසිල් රාජපක්ෂ මන්ත්‍රීධුරයටත් සමුදුන්නා?  


පිළිතුර:- බැසිල් රාජපක්ෂ මහතා කියන්නේ මේ අර්බුදයේ අංක එකේ වග උත්තරකරුවා ලෙසයි මම දකින්නේ. ඔහු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීම අවසාන මොහොතේ වුවත් රටට සිදුවිය යුතුව තිබු දෙයක්. ඉවත්වීමට ගැන අපි සතුටුයි. ඔහුගේ බලපෑම රාජ්‍ය තන්ත්‍රයට ආවේ ඔහු දැරූ ඇමැති ධුරය නිසාවත් මන්ත්‍රී ධුරය නිසාවත් නොවෙයි. ඔහු තමයි මේ ආණ්ඩුවේ නිල නොලත් පාලකයා. අදටත් ඒ තත්ත්වය ඔහුට එලෙසම තියෙනවා. මොකද පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් සිටින පක්ෂයේ නායකයා ඔහුයි. ඉන්දියාවේ සෝනියා ගාන්ධි මැතිනිය කොංග්‍රස් පක්ෂයේ නායකත්වය දරමින් මන්මෝහන් සිං අගමැති පුටුවේ වාඩි කර රට පාලනය කළා සේ රට පාලනය කිරීමේ හැකියාව තවමත් බැසිල් රාජපක්ෂ මැතිතුමාට තියෙනවා. එන්න ඒ නිසා තමයි ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පමණක් නොව දේශපාලන පක්ෂවල තනතුරු දැරීමත් තහනම් කළ යුතු යැයි අප විශ්වාස කරන්නේ.  


ප්‍රශ්නය:-  චම්පික රණවක සජබයෙන් ස්වාධීන වුණා. ඊට පස්සෙ ඔහු අනුර යාපා ජෝන් සෙනෙවිරත්න චන්දිම වීරක්කොඩි එක්ක ප්‍රවෘත්ති සාකච්ඡාවක් කළා. මේ ගොඩනැගෙන දේශපාලන කඳවුර ගැන ඔබේ මතය.  


පිළිතුර:- එතැන දේශපාලන කඳවුරක් බිහි කිරීමක් සම්බන්ධ අදහසක් ඉදිරිපත් වුණේ නෑ. එක්ව දේශපාලන ගමනක් යන බව එතැන දී කියවුණේ නෑ. එතැන දී ඔවුන් කිව්වේ 21 වැනි සංශෝධනය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවයි. 21 වැනි සංශෝධනය මුලින්ම රටට කිව්වෙ අපි. එය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒ වගේම ආණ්‍ඩුව එය ප්‍රමාද කිරීම හරහා සිදු කරන්නේ ආණ්ඩුව නැවත වතාවක් රට අර්බුදයකට තල්ලු කරගෙන යෑම.  


ප්‍රශ්නය:- ඔබලා අලුත් දේශපාලන සන්ධානයක් ගොඩනගන බව කියනවා.  


පිළිතුර:- ඔව්. අපේ රටේ මෙතරම් දැවැන්ත අර්බුදයක් තිබියදීත් අදත් තියෙන්නේ එකිනෙකාට ඇඟිලි දිගු කර ගැනීමයි. මේ මොහොතේ අප කළ යුත්තේ රටේ තියෙන ප්‍රශ්නවලට උත්තර සොයන සංවාදයක් මිස එකිනෙකාට චෝදනා නගන සංවාදයක් නොවෙයි. ඒ වගේම අපේ රටේ දේශපාලන බලවේග විවිධ දේශපාලන දහරාවන් තිබුණත් එකිනෙකාට මඩ ගැසීමටත් චෝදනා කිරීමටත් උත්සාහ කරනවා මිසක් රටේ ප්‍රශ්නවලට උත්තර හොයන්න මේ කිසිම බලවේගයක් සමත් වෙලා නෑ. ඒ නිසා රටේ ප්‍රශ්න වවාගෙන කනවා වෙනුවට ප්‍රශ්නවලින් දැවෙන ජනතාවට සිසිල් දිය පොදක් බවට මේ මොහොතේ දේශපාලනය පත්විය යුතුයි. නමුත් තවමත් බල දේශපාලනයේ යෙදෙනවා නම් රටේ ප්‍රශ්නවලට උත්තර සොයන සන්ධානයක් අපි ගොඩ නගනවා. මේ රටේ පක්ෂ ගණනාවකින් අපට ඉතාම යහපත් ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. නුදුරු දිනයකම ඒ සන්ධානය ගොඩ නගනවා. එය තවත් එක් බල දේශපාලනයක් නොවෙයි. මේ රට යළි ඔළුවෙන් සිටුවීමේ වැඩපිළිවෙළ සමගයි අපි එන්නේ.  


ප්‍රශ්නය:- වාසුදේව නානායක්කාර කිව්වා ඒ සන්ධානයේ නායකයා විමල් වීරවංශ කියලා.  


පිළිතුර:- අපි තවම නායකයා කවුදැයි නිශ්චිතව තීරණය කරලා නෑ. නමුත් මේ මොහොතේ අප සමග සිටින දේශපාලන පක්ෂ අතර අපගේ ප්‍රමුඛයා විමල් වීරවංශ මැතිතුමා.  


ප්‍රශ්නය:- ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් තවත් සන්ධානයක් ගොඩනගන බව කියනවා.  


පිළිතුර:- ඩලස් කියන්නේ ජනතාවගේ දේශපාලන නාඩිය ඇල්ලීමට සමත්කම් ඇති දේශපාලනයෙ ඉන්න හොඳ මිනිස්සු ටික දෙනාගෙන් කෙනෙක්. ඒ නිසා පොහොට්ටුවේ දැවැන්තයෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු භාණ්ඩාගාරික. ඒ නිසා අතරමංවී සිටින පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට නායකත්වය ලබාදීමේ හැකියාවක් ඩලස් අලහප්පෙරුම මැතිතුමාට තියෙනවා. එතුමන් එක්ව අත්වැල් බැඳගන්න අපි සූදානම්. එතුමා අලුත් දේශපාලන පක්ෂයක් බිහි කරනවා නම් එතුමත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න අපි සුදානම්.

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්