අරගලයෙන් තමයි මේ විකෘතිය වුණේ


ජාතික නිදහස් පෙරමුණේ නායක 

විමල් වීරවංශ මහතා

  • ශ්‍රීලනිප සහාය දුන්නා කිව්වට ඩලස්ට ලැබුණේ සුළු ඡන්ද ප්‍රමාණයයි
  • මන්ත්‍රීවරුන්ට ඕනෑ  දරදඬු තීරණ  ගන්න කෙනෙක්. එයා ඩලස් නොවෙයි
  • සමගි ජන බලවේගයෙන්  සෑහෙන පිරිසක්  රනිල් වික්‍රමසිංහට ඡන්දය දීලා තිබෙනවා

 රටේ අලුත් දේශපාලන තත්ත්වයකි. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ පැවැති ජනපතිවරණයෙන් ජය ගත්තේය. ඩලස් අලහප්පෙරුම මහතා පරාජය විය. පරාජයට හේතු මොනවාද? ඒ ගැන ඒ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමග කළ සංවාදයකි.  

 

 ප්‍රශ්නය -ජනපති ඡන්දෙදි මොකද වුණේ?


පිළිතුර:- මේ ජනපති ඡන්දය තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර, පසුගිය කාලයේ, විශේෂයෙන්ම මැයි 9 වැනිදා ජූලි 9 වැනිදා ඇතිවෙච්ච සිද්ධි සමග. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහොමයක් ඉන්නේ අනාරක්ෂිත මනසකින්. පොලොන්නරුවේ මන්ත්‍රීතුමාට මහපාරේ ගහලා මරලා දාපු විදිය දැක්ක. ගෙවල් සිය ගානක් ගිනි තියල තියෙනවා දැක්ක. මන්ත්‍රීවරු බහුතරයක් ඉන්නේ අනාරක්ෂිත මනසකින්. එ් අනාරක්ෂිත මනසට ආමන්ත්‍රණය කරන්න ඩලස් අලහප්පෙරුම අපි සහයෝගය දීපු අපේක්ෂිකයාට හොඳින් පුළුවන් වුණේ නෑ.   


ප්‍රශ්නය -ඇයි එහෙම වුණේ?   


පිළිතුර:- ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පාර්ශ්වයෙන් ඒ අනාරක්ෂිත මනසින් ඉන්න මන්ත්‍රීවරුන්ට හොඳින් ආමන්ත්‍රණය වීමක් වුණා. ‘ඔබේ පිච්චිච්ච ගෙදරට වන්දි දෙන්නම්. ඔබට ආරක්ෂාව දෙන්නම්. ඔබේ ඉන්ධන දීමනාව වැඩි කරන්නම්. ඒ වගේම ඔබට නැවත ගමට ගිහිල්ලා දේශපාලනය කරන්න පුළුවන් පරිසරය හදන්නම්’ ඔය අරගලකාරයෝ කියන ටික මට්ටු කරන්නම්’ මේවා තමයි මන්ත්‍රීවරුන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්න. නැතිව මේ රටේ තියෙන ආර්ථික අර්බුදයවත්, වෙන මොකක්වත් නොවෙයි. මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකව බලපාන ඉතාම සංවේදී නිල රනිල් වික්‍රමසිංහ මහත්මයාට සහ ඔහු​ ජයග්‍රහණය කරවන්න කැපවෙවූ පොහොට්ටු   බලවේගය විසින් ඒ සංවේදී නිල හොඳින් ස්පර්ශ කළා. ඒ පරිමාවට පිරිමහන්න ඩලස් අලහප්පෙරුම අපේක්ෂකයාට හැකි වුණේ නෑ.   


ප්‍රශ්නය -සල්ලි මලු එහෙ මෙහෙ පියාසර කළා කියලත් කියනවා?   


පිළිතුර:- එහෙම කියනවා. මම නොදන්න දේවල්, මම නොදකපු දෙයක්, පිළිගත හැකි සාක්ෂියක් නැතිව මට කියන්න බෑ ඒක එහෙමයි කියලා. ඒක එහෙම වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. නමුත් ඒවට වඩා දැන් අපට පේන විදියට සමගි ජන බලවේගයෙන් සැලකිය යුතු පිරිසක් රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයාට ඡන්දය දීලා තියෙනවා. චම්පික රණවක වගේ කෙනෙක් කලින් කිව්වේ නෑ ‘තමන් කාටද ඡන්දෙ දෙන්නේ’ කියලා. මේක රහස් ඡන්දයක් හින්දා ‘ඩලස්ට දෙන්නම්’ කියලා කියමින් රනිල්ට දීපු අයත් ඉන්නවා. මොනවා වුණත් එවැනි තත්ත්වයක් ඇතිවෙන්න ප්‍රධාන හේතුව වුණේ අර මම මුලින් කියපු අනාරක්ෂිත මනස. අනාරක්ෂිත මනසේ අයට තිබුණේ අරගලය පිළිබඳ ප්‍රශ්නය. ඒ අරගලයට න්‍යාය පත්‍රයක් නෑ. ඒ අරගලයට අවසාන ඉලක්කයක් නෑ. ‘ගෝඨා ගෝ හෝම්’ කිව්වා හැටනව ලක්ෂයක් පත් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගියා. ඡන්දෙන් පැරදිලා ජාතික ලැයිස්තුවෙන් ආපු රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා. අරගලයෙන් අන්තිමට වුණේ ඒක තමයි මේ විකෘතිය.   


ප්‍රශ්නය -ඔබේ අතේ තිබුණ සංඛ්‍යා ලේඛනවලට අනුව ඡන්දෙට කලින් දවසෙ රෑත් දිනලා හිටියේ ඩලස්? 

 
පිළිතුර:-  ඇත්ත වශයෙන්ම සහයෝගය පළකරපු පක්ෂවල අංක ටික එහෙම්මම ලැබුණ නම් ඩලස් දිනනවා. නමුත් පක්ෂ හැටියට සහයෝගය දුන්නට ඒවායේ හිටපු මන්ත්‍රීවරු ඔක්කොම අපේ පැත්තට ඡන්දය දුන්නෙ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දුන්නා කියලා කිව්වට සුළු ඡන්ද ප්‍රමාණයයි ඩලස්ට ලැබුණේ. ඒ පක්ෂ සහයෝගය දුන්නට වැඩක් නෑ ලැබෙන්නේ ඡන්ද සුළු ප්‍රමාණයක් නම් ඒක තමයි ඇතිවුණ අර්බුදය. ඒ අතරේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේ ආර්ථික අර්බුදය ගොඩගන්න පුළුවන්කමක් තියෙනවා කියලා කවුරුත් විශ්වාස කරන්නේ නෑ. හැබැයි මේ අනාරක්ෂිතභාවය තුරන් කළ හැකියි කියලා ඔවුන් විශ්වාස කරනවා.   


ප්‍රශ්නය - එහෙම විශේෂයෙන් හිතන්න හේතුව?   


පිළිතුර:- ඒකට හේතුව ගෝඨාභය රාජපක්ෂ රටින් පිටවීමට නියමිත දිනයේ පාර්ලිමේන්තුව වට කරන්න ආවනේ ලාල් කාන්තලා, සුනිල් හඳුන්නෙත්තිලා, බිමල් රත්නායකලා, ඒ වෙලාවේ හදිසි නීතිය දාලා, ඇඳිරි නීතිය දාලා ආරක්ෂක අංශ ලවා හොඳට නෙළලා ඒ වැඩේ බේරගත්තේ රනිල් කියලා මේ අය හිතනවා. එහෙම විශ්වාසයක් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට තියෙනවා. ඒ ගොල්ලො හිතනවා ‘ගෝඨාභය රාජපක්ෂ හිටියා නම් ඒ වැඩෙත් වෙන්නේ නෑ. එහෙනම් අරගලකරුවන් පාර්ලිමේන්තුවත් අල්ලනවා’ කියලා. ඒ නිසා මේ මන්ත්‍රීවරුන්ට ඕනෑ දරදඬු තීරණ ගන්න කෙනෙක්. එයා ඩලස් නොවෙයි.   


ප්‍රශ්නය -ඩලස් පැරදවීමේ මෙහෙයුම බැසිල්ගේ?   


පිළිතුර:- ඔව්. අනාරක්ෂිත බවේ පතුළේ ඉන්න බැසිල් රාජපක්ෂ ඒ පතුලෙන් ගොඩ එන්න ඔහුට පේන එකම ලනුව රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ බොහෝ මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකව කතා කර කර ඒ මෙහෙයුම කළා.   


ප්‍රශ්නය -පොහොට්ටුව මේ ඡන්දෙදි පැහැදිලිවම දෙකට බෙදුණා. පොහොට්ටුවට මොකක් වෙයිද?   


පිළිතුර:- මෙහෙමයි. මගේ කියවීමට අනුව ඩලස් අලහප්පෙරුම ඇතුළු ඔහුට ඡන්දය දුන් පොහොට්ටුවෙ මන්ත්‍රීවරුන්ට තවදුරටත් සදාචාරාත්මක අයිතියක් නෑ ඒ ආණ්ඩුව ඇතුළේ ලගින්න. ඔවුන් සියලු දෙනාම විපක්ෂයට ආ යුතුයි. එසේ විපක්ෂයට පැමිණ විපක්ෂයේ සාධාරණ භූමිකාව ඒ කියන්නේ විනාශකාරී භූමිකාව නොවෙයි. හොඳ දේටත් විරුද්ධ වෙන නරක දේටත් මෝඩයි කියන පන්නයේ භූමිකාව නොවෙයි. යුක්ති සහගත විපක්ෂයේ භූමිකාවට ඔවුන් අවතීර්ණ විය යුතුයි. එමගින් අවිචාරවත් විපක්ෂයක් වෙනුවට විචාරශීලි විපක්ෂයක් නිර්මාණය කරන්න අපට පුළුවන් වෙනවා. මේක ඉතා වැදගත් කාරණාවක්. මට තියෙන භය තමයි රනිල් වික්‍රමසිංහ සමහරවිට ගාලු මුවදොර පිටිය ශුද්ධ කරයි. ඒත් ආර්ථික පිටිය ‘ක්ලියර්’ කරයි කියලා මට විශ්වාසයක් නෑ. එහෙම වුණොත් ආර්ථික අර්බුදය උත්සන්න වෙන එක වළක්වන්න බැරිවුණොත් තව මාසෙකින් එක හමාරකින් ආයෙමත් තව නව වැනිදාවක් දරුණු මහජන සුනාමියක් නිර්මාණය වෙන්න ඉඩ තියෙනවා.   


ප්‍රශ්නය -එහෙම වුණොත්?   


පිළිතුර:- එහෙම වුණොත් ඒකට රනිල් වික්‍රමසිංහ මුහුණ දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ විලාශයෙන් නොවෙයි. ගෝඨාභය රාජපක්ෂ වෙඩි තිබ්බේ නෑ. මැරුවේ නෑ. හැබැයි එළැඹීමට නියමිත නව වැනිදාට ඊට වඩා භයංකර නව වැනිදාවක්. සමහර විට ලේ ගංගා නිර්මාණය විය හැකි නව වැනිදාවක්. ඒ ලේ ගංගා උපකාර වෙනවා අපේ රට විදේශීය මැදිහත්වීමකට මග පාදා ගන්න. එතැනට මේ රට ඇද වැටීමේ අවදානමක අපි ඉන්නේ. ඒ අවදානම හොඳින් දකින ඒ අවදානම වළක්වන්න උත්සාහ කරන විපක්ෂයක් දැන් අපට ඕනැ. අන්න ඒ විපක්ෂයෙ භූමිකාවයි අපි ඉටු කළ යුතුව තිබෙන්නේ.  


ප්‍රශ්නය -සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ගැන මුලින්ම කතා කළේ ඔබලා. ඇයි දැන් ඒ ගැන කතා නොකරන්නේ?  


පිළිතුර:- සර්ව පාක්ෂික පාලනය පිළිබඳ යෝජනාව මුලින්ම ලිඛිතව අපි ඉදිරිපත් කළේ අප්‍රේල් මාසයේ 8 වැනිද‌ා එවකට හිටපු ජනාධිපතිතුමාට. ඊට පෙර වාචිකව අප්‍රේල් 5 වැනිදා විතර ඉදිරිපත් කළා. නමුත් ඒ ජනාධිපතිවරයාට එය පිළිගැනීමේ හැකියාවක් තිබුණේ නෑ. නමුත් අපි අදත් හිතනවා උත්තරය ඒක.  


ප්‍රශ්නය -ඉතින් ඇයි කතා නොකරන්නේ?  


පිළිතුර:- මෙහෙමයි. අදටත් හෙටටත් උත්තරය ඒක. ඇත්තටම ඩලස් අලහප්පෙරුම ජයග්‍රහණය කළා නම් ඒ ප්‍රසූතියේම තියෙනවා සර්ව පාක්ෂික ආණ්ඩුව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක යෝජනා කරන්නේ. පොහොට්ටුවේ සභාපති ජී.එල්. පීරිස් ස්ථීර කරන්නේ. විපක්ෂයේ ඉන්න සියලුම පක්ෂ සහයෝගය දෙනවා. එතකොට ඒ ගර්භාෂයෙයි උත්පත්තියෙයි දෙකේම තියෙනවා සර්ව පාක්ෂික ස්වභාවය. එතකොට උපත ලබන දරුවත් සර්වපාක්ෂික තමයි. නමුත් රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති උත්පත්තිය තුළ ඒ සර්ව පාක්ෂික ස්වභාවය නෑ. ඒ නිසා ඔහුට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයව ඔහුගේ සර්වපාක්ෂික පාලනයෙ කොටස්කාරයකු කර ගන්න. ඒ නිසා එතැන සර්වපාක්ෂිකභාවයක් ඇති වෙන්නේ නෑ. සර්වපාක්ෂික කියලා පෙන්වන්න හරීන් - මනූෂ ගත්තා වගේ තව කවුරු කවුරු හරි ගන්න පුළුවන් වෙයි. නමුත් ඒක සර්වපාක්ෂික වෙන්නේ නෑ. 

 
ප්‍රශ්නය -මේ මොහොතේ තර්ක නොවෙයි අවශ්‍ය වෙන්නේ. රට ගොඩනගන වැඩපිළිවෙළක්?  


පිළිතුර:- ඔව්. අනිවාර්යයෙන්ම මේ ආර්ථික අර්බුදය තමයි අපට ඉන්න ප්‍රධානම හතුරා. අනික් ඔක්කොම හතුරන් ඉන්නේ ඊට යටින්. ආර්ථික අර්බුදය නමැති හතුරා පරදවන සටන තමයි දැන් තියෙන ප්‍රධාන සටන. රනිල් වික්‍රමසිංහට ඒ සඳහා කිසිම වැඩපිළිවෙලක් සැලසුමයි තියෙනවා කියලා අපට පේන්නේ නෑ. ඔහු එහෙම සැලැස්මක් රටට ඉදිරිපත් කරලා නෑ. එහෙම සැලැස්මක් ඉදිරිපත් නොකරපු කෙනෙක් සමග සර්ව පාක්ෂික පාලනයක් අටවාගෙන මේ ආර්ථික හතුරා පරාද කරන්න පුළුවන්ද? එහෙම විශ්වාසයක් කාට හරි තියෙනවද? ඒ විශ්වාසය අපට නෑ.  


ප්‍රශ්නය -දැන් ඔබලාගෙ ඊළඟ ඉලක්කය විපක්ෂනායක ධුරය?  


පිළිතුර:- නෑ. විපක්ෂ නායකයෙක් ඉන්නවනේ.  


ප්‍රශ්නය -අවශ්‍ය මන්ත්‍රීන් ගණන ලැබුණොත්?  


පිළිතුර:- අපේ බලාපොරොත්තුවක් නෑ කාගෙවත් තියෙන තනතුරක් උදුරාගන්න. අපට මේ රට වෙනුවෙන් ඉටු කළ යුතු වගකීමක් හා යුතුකමක් තියෙනවා. ඒක අපි ඉටුකරනවා.  


ප්‍රශ්නය -මේ මොහොතේ මේ පැයට අදාළව ගතයුතු හොඳම පියවර කුමක්ද?  


පිළිතුර:- දැන් අපි විපක්ෂයේ හිටියත් ​ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙ ඉන්න කාලේ අපි දිගින් දිගටම කිව්වා රුසියාවෙන් තෙල් ගෙන්ගන්න කියලා. එතකොට බලශක්ති ඇමැති කංචන  විජේසේකර පාර්ලිමේන්තුවේදී අපට අභියෝගයක් කළා ‘ගෙන්නන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් පෙන්වන්න. අපි ඒක කරන්නම්’ කියලා. ඊට පස්සේ අපි අපිට තියෙන සම්බන්ධතා පාවිච්චි කරල රුසියාවේ එක්තරා සමාගමක සභාපති හා ප්‍රධාන විධායක නිලධාරියාව ලංකාවට ගෙන්නුවා. එහෙම ගෙන්වල කංචන විජේසේකර ඇමැතිතුමා, මහ බැංකු අධිපති ආදීන් සමග සාකච්ඡා කළා. ඒගොල්ලෝ දැන් එවලා තියෙනවා අවබෝධතා ගිවිසුම. ඒ අවබෝධතා ගිවිසුමට අදාළ එකඟත්වය කංචන විජේසේකර අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් යවලා තියෙනවා. ඊළඟට එවනවා ඒගොල්ලෝ ගිවිසුම. ඒ ගිවිසුමට අපේ එකඟතාවය තියෙනවා නම් ඒක අත්සන් කළා. ඊට පස්සේ ණය යෝජනා ක්‍රමයක් යටතේ රුසියාවෙන් බොර තෙල් ගෙන්වීමේ හැකියාව ලැබෙනවා. අපි දැන් ඉන්නේ විපක්ෂයේ. මේක ඕනෑ නම් අපට කඩාකප්පල් කරන්න පුළුවන්. මොකද අපියි මේක සම්බන්ධිකරණය කරන්නේ. නමුත් අපි එහෙම කඩාකප්පල් කරන්නේ නෑ. මේකේ වාඩිවෙලා ඉන්න පුටුව මොක වුණත් අපි ඔක්කොම එකතුවෙලා මේ ගින්න නිවන්න ඕනැ. අපි ඉන්නේ ඒ මතයේ ගින්න නිවන්න විපක්ෂයේ හිටියත් ආණ්ඩු පක්ෂයේ හිටියත් කරන්න ඕනැ දේ කරන්න ඕනැ. හැබැයි අපි සූදානම් නෑ ඇමැතිකමක් අරගෙන වරප්‍රසාද භුක්ති විඳිමින් මේ අර්බුදයට විසඳුම් නොදී වෙන වෙන තාලේ වැඩවලට හවුල්වෙන්න. විපක්ෂයේ හිටියා කියල මේ ගින්න නිවන්න කළ යුතු දේ නොකර ඉන්නෙත් නෑ. රුසියාව මිලියන 300 ක පමණ ණය යෝජනා ක්‍රමයක් තමයි යෝජනා කරලා තියෙන්නේ. රුසියාවේ බොරතල් මිල අඩුයි. ඒ නිසා ඩොලර් මිලියන 300 න් ගන්න පුළුවන් ප්‍රමාණය වැඩියි. එතකොට මේ පෝලිමේ ඉන්න මිනිහගෙ ප්‍රශ්නය විසඳෙනවා. ඒක විසඳුනාම ඒකෙන් මේ ආණ්ඩුවට යම්කිසි සහනයක් ලැබෙනවා. ආණ්ඩුවට ඒ සහනය දෙන්න හොඳ නෑ, ආණ්ඩුව තවත් අමාරුවට දාන්න ඕනැ, ඒ නිසා මේ වැඩේ කරන්න දෙන්න හොඳ නෑ කියන විෂම මතයක අපි නෑ. ඒක තමයි අපේ දේශපාලනයෙයි අනික් අයගෙ දේශපාලනයෙයි වෙනස. ඒ නිසා ඔබ ප්‍රශ්න කරන්න එපා අපිව. අපි විපක්ෂයෙ හිටියත් මේ ගින්න නිවන්න පුළුවන් හැමදේම කරනවා.  


ප්‍රශ්නය -ගින්න නිර්මාණය කරන්න පුරෝගාමී වුණෙත් ඔබ සහ ගම්මන්පිලයි?  


පිළිතුර:- ඔය කතාව කියන්නේ බැසිල් රාජපක්ෂගෙ කුක්කො ටික. බැසිල් රාජපක්ෂගේ උද්ධච්ඡකම තමයි මේ දේශපාලන අර්බුදයෙ මුල. බැසිල් රාජපක්ෂගේ ඇහුම්කන් නොදෙන දුර්ගුණය තමයි දේශපාලන අර්බුදයෙ ආරම්භය. ඔහුගේ අත්තනෝමතිකත්වය තමයි ප්‍රධාන හේතුව. බැසිල් රාජපක්ෂ ඇහුම්කන් දෙන මිනිහෙක් වුණා නම් හොඳ අදහසක් දුන්නම කවුරු දුන්නත් පිළිගන්න මිනිහෙක් වුණා නම් ඒ වගේම ආර්ථික අර්බුදය ගැන සංවේදී මිනිසුන් කියන කතා වටහා ගන්න පුළුවන් මිනිහෙක් වුණා නම් අඩු ගානේ මොළ හතක් නොවෙයි එක මොළ කැබැල්ලක් තියෙන මිනිහෙක් වුණා නම් මේ දේශපාලන අර්බුදය මේ විදියට වෙන්නේ නෑ. ඒක තේරුම් ගන්න බැරි ගොට්ටෝ සහ කුක්කො තමයි අපිට චෝදනා කරන්නේ. අපිද ඇමැතිකම්වලින් ඉවත් වුණේ. අපිව අයින් කළා. අපි ආණ්ඩුව ඇතුළේ කරපු අරගලයෙ ප්‍රතිඵල නැතිවෙන කොට අපි මාර්තු දෙක මුළු රටම හරි මගට කියලා මේ අනතුර ගැන රටට කිව්වා. අපි මේ අනතුරු දැක දැක කටබලියන් ඉන්න අය නොවෙයි. මේ ඔය පොහොට්ටුවේ ඉන්න අතිබහුතරයකට අනාගත කියැවීමක් නෑ. අනාගත කියැවීමක් කළාම ඒක තේරුම් ගන්නත් බෑ. ඒ නිසා බැසිල් කියන ඕනෑම දෙයක් හිස් මුදුනෙන් පිළිගන්නවා. අපි එහෙම ගොන්නු නොවෙයි. අපිට අනාගත කියැවීමක් තියෙනවා. අපි ඒක කියනවා. ඇතුළේ බේරගන්න බැරි වුණාම අපි එළියෙ කිව්වා. කිව්වා විතරයි අපිව එළියට දැම්මා. ඊට පස්සෙ අපි ඉතිරි ටිකත් කිව්වා. එහෙම කිව්ව නිසා තමයි ආර්ථික අර්බුදය මුහුකුරා ගිය වෙලාවේ පුපුරා යාමට නියමිතව තිබූ දේශපාලන අර්බුදය, ආර්ථික අර්බුදයේ ළදරු අවස්ථාවේදී මතු වුණේ. ළදරු අවස්ථාවේ දේශපාලන අර්බුදය ඇතිවුණේ නැත්නම් ඒ අර්බුදය ඇතිවෙන්නේ ආර්ථීක අර්බුදය මුහුකුරා ගිය අවස්ථාවේදී. එහෙම වුණා නම් එහි විපාකය අතිභයානකයි. ආර්ථික අර්බුදයෙ ළදරු අවස්ථාවේදි ගැටුමක් ආවා මැයි 9 වැනිදා. ඊට ප්‍රතිවිරෝධි ප්‍රචණ්ඩ ප්‍රතික්‍රියාවක් ආවා. ඒ මගින් ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳ අවබෝධයක් කල් ඇතුවම ලබාගන්න පුළුවන් වුණා. ජූලි 9 වැනිදා ගිනි තිබ්බේ රනිල් වික්‍රමසිංහගේ ගේ විතරයි. ඒක මේ එක්තරා නාලිකාවක් උසි ගන්වලා උසිගන්වලා කරපු එකක්නේ. මොන මතය දැරුවත් ගෙවල් ගිනි තියපු අයට ශාප වේවා කියලා මම කියනවා. එතැන තිබුණ පොත්පත් පෞරාණික වස්තු ඒවට මිලක් නෑ. ඒවා ගැන වටිනාකමක් නොදන්න නරුමයන්ට රටක ඉරණම තීරණය කරන්න දෙන්න බෑ. මගේ ගේ ගිනි තිබ්බ දවසට වැඩිය මම කනගාටුවෙනවා ඒ නිවෙස ගිනි තැබීම ගැන.  


ප්‍රශ්නය -ඔබේ නිවෙසත් ගිනි තිබ්බා. ඔබ, බිරිඳ හා දරුවන් දෙන්නා දැන් කොහේද ඉන්නේ?  


පිළිතුර:- ඒක මගේ බිරිඳ හදපු නිවෙස. ඒ නිවෙස ගිනිබත් කරලා ගියාට පස්සේ. මම හුඟාක් මිනිස්සුන්ට උදව් කරලා තියෙන කෙනෙක්. කර්මාන්ත ඇමැති හැටියට ශතපහක දෙයක් බලාපොරොත්තු නොවී විශාල වශයෙන් උදව් කරලා තියෙන කෙනෙක්. ඒ අය මට උදව් කළා. කෙනෙක් තීන්ත ටික අරන් දුන්නා. එක එක අය එක එක විදියට සම්මාදම් වුණා. ඒ අනුව මම ටික ටික නිවෙස පිළිසකර කරගෙන යනවා. තාමත් දුව ඉන්නේ එයාගේ කාමරේ නොවෙයි. බිරිඳ ඉන්නෙත් ඒ කාමරෙත් නොවෙයි. එක කාමරයක තුන් දෙනෙක් නිදා ගන්නවා. අම්මයි, දුවයි එයාගේ නැන්දා කෙනෙකුයි ඒ කාමරේ ඉන්නවා. පුතාට ඉන්න පුළුවන් විදිහට කාමරයක් හදාගෙන තියෙනවා. මට ඉන්න පුළුවන් විදියට තව කාමරයක් හදාගත්තා. ඒ අලුත්වැඩියා කිරීම මැද දූවිලි ගොඩක් උඩ අපි ජීවත් වෙනවා.

 

සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව 
තෙන්නකෝන්