අපි ඉන්නේ ජනප්‍රිය තීන්දු ගන්න පුළුවන් වාතාවරණයක නොවෙයි


මුදල් රාජ්‍ය ඇමැති 

ෂෙහාන් සේමසිංහ 

ජනතාව සිටින්නේ බලවත් ආර්ථික පීඩනයෙනි. ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ආණ්ඩුව සතු වැඩ පිළිවෙළ කුමක්ද? මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා සමඟ මේ කතාබහ ඒ සම්බන්ධයෙනි. 

ප්‍රශ්නය - රටේ ඇත්තම ආර්ථික තත්ත්වය මොකක්ද? මේ තියෙන්නේ මවා පෑමක්?   


පිළිතුර - මවා පෑමක් නොවෙයි. ඇත්තම තත්ත්වය තමයි දැන් පෙනෙන්න තියෙන්නේ. රටේ ආර්ථිකය, ජනතාවට අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න ස්ථාවර වෙලා තියෙනවා. ඒක අපි සියලු දෙනාම අත් විඳිනවනේ. මේ අවුරුද්දෙ මාර්තු, අප්‍රේල්, මැයි මාසවල තිබුණු තත්ත්වය මතකනේ. කිලෝ මීටර් ගණන් දිග තෙල් පෝලිම්. විදුලිය කප්පාදුව පැය 10-12 දක්වා දික් වුණා. ගෑස් නෑ. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලය බිඳ වැටිලා තිබුණේ. දැන් ඒ තත්ත්වය පාලනය කරලා තියෙනවා. උද්ධමනය දැනට සියයට 60 ඉක්ම වූ ප්‍රමාණයක තියෙන්නේ. හැබැයි ගිය මාස දෙකට සාපේක්ෂව උද්ධමනය සියයට 70 ඉඳලා සීයට 60 දක්වා අඩුවෙලා තියෙනවා. මේක තමයි තත්ත්වය.   


ප්‍රශ්නය -  ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ තත්ත්වයෙන් මිදෙන්නයි?   


පිළිතුර - ඔව්! අපට විදේශ විනිමය ලැබීම සීමා සහිතයි. විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් හා සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ප්‍රමාණයන්හි යම් ඉහළ යාමක් තියෙනවා. ආර්ථිකය කළමනාකරණයක් දැන් සිදුවෙනවා. නමුත් සාමාන්‍ය තත්ත්වයට ගමන් කරන්න තව මාස කිහිපයක් ගත වේවි.   


ප්‍රශ්නය -  ආර්ථික විශේෂඥයන් නම් කියන්නේ මේ තත්ත්වය වෙනස් වෙන්න ලබන අවුරුද්දෙ අවසන් කාර්තුව වෙනකම් බලා ඉන්න වෙනවා කියලයි?   


පිළිතුර - ලබන අවුරුද්ද තුළ මේ ආර්ථිකය ස්ථාවර කර ගන්න රජයට වැඩ පිළිවෙළක් තියෙනවා. කොවිඩ් වසංගතය, ගෝලීය ආර්ථික අර්බුදය, ලෝකයේ ආර්ථික කඩා වැටීමත් සමග තමන්ගේ මුදල් ඒකකයේ වටිනාකම ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව කඩා වැටීම, උද්ධමනය, ඉහළ පිරිවැයක් ඉන්ධන සඳහා ගෙවීමට සිදුවීම ආදී මේ පොදු කාරණාවලට ලෝකයේ හැම රටක්ම මුහුණ දීලා ඉන්නේ. එහෙමයි කියලා අපි වගකීමෙන් මිදෙන්න සූදානම් නෑ.   


ප්‍රශ්නය -  එහෙම නම් මොකක්ද කරන්න යන්නේ?   


පිළිතුර - ආර්ථිකය ස්ථාවර කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන සහයෝගයත් සමග ණය තිරසර බවට පත්වෙනවා. දැනට අපි ණය ගෙවාගත නොහැකි රාජ්‍යයක්. ඒ නිසා ණය තිරසර බවක් ඇති කරගත යුතුයි. ඒ වගේම අපට ණය දෙන ආයතන අප දෙස සුබවාදීව බැලීම අපේ රටට ආයෝජකයන් එන්න අතිශයින්ම සුබවාදී බලපෑමක් ඇති කරනවා. ඒ සඳහා තමයි අපි ක්‍රියා කරමින් ඉන්නේ. ඒ වගේම අපි ආණ්ඩුවක් හැටියට රාජ්‍ය ආදායම ඉහළ නංවන්න, විනිවිද භාවයකින් වැඩ කරන්න, ප්‍රතිසංස්කරණ ඇති කරන්න කටයුතු කරනවා. එතැනදී ප්‍රතිඵලය ජනතාවටත් අමාරුයි. මොකද ආර්ථිකය අන්තිම අමාරුම අඩියක තියෙන වෙලාවක තමයි මේ ප්‍රතිසංස්කරණ කරලා තියෙන්නේ. අපිට ඒ ගැන අවබෝධයක් නැතුවා නොවෙයි. ජනතාවටත් අපහසුයි. නමුත් මේ කෙටිකාලීනව හෝ ජනප්‍රසාදයට පත් නොවන තීන්දු තමයි රජය මේ අරගෙන තියෙන්නේ. දේශපාලනිකව කල්පනා කරලා නොවෙයි. කෙටිකාලීනව හා දීර්ඝ කාලීනව රට නැවත ගමන් කිරීම වැළැක්වීමටයි අපි මේ ක්‍රියා කරන්නේ. ඒ නිසා අපි කෙටි කාලීනව ගත්ත පියවර වේදනාත්මකයි. රජයක් වුණත් ප්‍රසාදය ලැබෙන තීන්දු මිසක් අප්‍රසාදය එන තීන්දු ගන්න කැමැති නෑ. නමුත් ජනප්‍රිය තීන්දු ගන්න පුළුවන් වාතාවරණයක නොවෙයි අපි ඉන්නේ. ඒ වාසනාව මේ රජයට නෑ. නමුත් අනාගතය වෙනුවෙන් රට ස්ථාවර කිරීම සඳහා මේ වගේ අපහසුතාවට ජනතාව නැවත පත් නොකිරීම සඳහා තමයි මේ තීන්දු ගන්නේ. ඒක තමයි වර්තමාන තත්ත්වය. ලබන අවුරුද්දෙ හතරවැනි කාර්තුවට එනවිට අපේ මහා කන්නයේ අස්වැන්න ආවම මිල ස්ථාවර කිරීමේ රජයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබුණාම නැවත ජාත්‍යන්තර වෙළෙඳපොළට ගමන් කිරීමට හැකි වුණාම මේ අර්බුදය නිමා කර ගැනීමේ ආරම්භක පියවර තබන්න පුළුවන්.   

ප්‍රශ්නය - අයිඑම්එෆ් එකෙන් ලැබෙන සහයෝගය කොහොමද?   


පිළිතුර - අයිඑම්එෆ් එක අපට මේ ආර්ථික ස්ථායීකරණය හා වර්ධනයත් සමග ගමන් කිරීම සඳහා කාර්ය මණ්ඩල එකඟතාව ලැබිලා තියෙනවා. නමුත් අපට තාම අපේ ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය මූල්‍ය සහතික ලැබිලා නෑ. ඒක ගන්න තමයි අපි කටයුතු කරමින් ඉන්නේ. විශේෂයෙන්ම ඒ ණය හිමියන් සියලු දෙනා අප දෙස ඍණාත්මකව බලලා නෑ. රටක් හැටියට අපට සහයෝගය දෙන්න ඔවුන් එකඟතාව පළ කරලා තියෙනවා. නමුත් ඔවුන්ට නිල වශයෙන් අයිඑම්එෆ් එක මූල්‍ය සහතිකය ලබදිය යුතු වෙනවා. ඒකට තමයි අපි මේ මහන්සි වෙන්නේ.   


ප්‍රශ්නය -  ආණ්ඩුව හිතාගෙන හිටියෙ දෙසැම්බර් මාසයෙදි මූල්‍ය සහතිකය ලබාගන්න පුළුවන් වෙයි කියලා?   


පිළිතුර - ඔව්! අපි හිතුවට වඩා ඒ කාලය දීර්ඝ වුණා. ඒ සඳහා දත්ත හුවමාරු කර ගැනීම තොරතුරු ලබාදීම පැහැදිළි කර ගැනීම් මේ වෙනකොට සිදුවෙමින් පවතිනවා. ඒ සඳහා ජපානය ඇතුළු පැරිස් ක්ලබ් එක අවශ්‍ය සහයෝගය අපට ලබා දෙනවා. ඉන්දියාවේ නියෝජිතයන් මේ රටට ඇවිත් අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම කරලා සාකච්ඡා වටය ආරම්භ කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දෙ මුල් කාර්තුව මේ කටයුතු අවසන් කරගන්න.   


ප්‍රශ්නය - විදුලි බල ශක්ති ඇමැති කංචන විජේසේකර කියනවා ‘ජනවාරියේදි අනිවාර්යයෙන්ම විදුලි බිල ඉහළ දානවා’ කියලා. මිනිසුන්ට මේ බර උහුලන්න පුළුවන් කියලා ඔබ හිතනවද?   


පිළිතුර - මෙහෙමයි. මේ කරපු ප්‍රතිසංසකරණ අසීරු ප්‍රතිසංස්කරණ. අපි කිසිසේත්ම කියන්නේ නෑ මේ කරපු ප්‍රතිසංස්කරණ ඉතාම පහසුවෙන් ජනතාවට දරාගන්න පුළුවන් කියලා. ඒකයි මම මුලින් කිව්වේ රජයක් කිසිම වෙලාවක කැමැති වෙන්නේ නෑ ජනප්‍රිය නොවන තීන්දු ගන්න. නමුත් මේ අසීරු ප්‍රතිසංස්කරණ මේ මොහොතේ නොකළොත් මේ දිහා එක එක්කෙනා එක එක විදියට බලන්න පුළුවන්. විවිධ විවේචන එල්ල කරන්න පුළුවන්. අපහසුතාව අපට තේරෙනවා. නමුත් ආර්ථික ප්‍රතිසංස්කරණ මේ මොහොතේ සිදු නොකළොත් අපේ රටේ තත්ත්වය මාර්තු, අප්‍රේල්, මැයි, ජුනි මාසවල තිබුණු තත්ත්වය මතකයිනේ. ඒ තත්ත්වයට වඩා දරුණු තැනකට රටක් හැටියට අපි පත් වෙනවා. අප්‍රසාදයට පත්වන ප්‍රතිසංස්කරණ අපට කරන්න වෙලා තියෙන්නේ ඒ නිසයි. මේ අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ලෝක බැංකුවත්, ආසියානු සංවර්ධන බැංකුවත් අපට අවධාරණය කරලා තියෙනවා මේ පවතින දුෂ්කරතාව තුළ අඩු ආදායම්ලාභී කණ්ඩායම් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව. අපට තියෙන ලොකුම චෝදනාවක් තමයි අපේ සුබසාධන ප්‍රතිලාභ බෙදීයාම අක්‍රමවත් කියලා. විශේෂයෙන්ම ලැබිය යුතු කණ්ඩායම්වලට මේ ප්‍රතිලාභ ලැබෙන්නේ නෑ. ඒ ගැනත් අවධානය යොමු කරලා මේ නොලැබෙන කණ්ඩායමට ඒවා ලැබෙන පදනම සකස් කරන්න.   


ප්‍රශ්නය - ජනතාව නොමිලේ විදුලිය ගන්නේ නෑ. ඔවුන් මුදල් ගෙවනවා. නමුත් දේශපාලනඥයන්ගේ හා නිලධාරීන්ගේ වැරැදිවලට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ ජනතාවටයි. 

 
පිළිතුර - ඇත්ත වශයෙන්ම ජනතාව මත බර නොපැටවෙන තත්ත්වයක් ඉදිරියේදී සිදුවේවි. අපි මේ ආර්ථික ප්‍රතිසංසකරණ කරන අතරතුර අපේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කරන්න බලාපොරොත්තු වෙනවා. රජය තවදුරටත් මහා භාණ්ඩාගාරයේ මුදල් වැය නොවන ආකාරයට මේ ප්‍රතිව්‍යුහගත කිරීම කරනවා. ජනතාව නගන චෝදනාවට ඒකත් එක උත්තරයක්. මේවා පහසු නෑ. නමුත් ජනතාව දැනුවත් කරලා විනිවිදභාවයෙන් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.   


ප්‍රශ්නය - ලබන ජනවාරියෙ පැය 10ක් ලයිට් කපන්න වෙනවා කියලා කියනවා. රටකට මෙහෙම යන්න පුළුවන්ද?   


පිළිතුර - ඔහොම කියන්නේ වෘත්තිය සමිතිවල අයනේ. ඔය වෘත්තිය සමිති එක එක පක්ෂවල න්‍යාය පත්‍රවලට අනුවයි වැඩ කරන්නේ. ඒ අයගේ කතාවලට ඇහුම්කන් දෙනවාට වඩා හරි දේ අදාළ අමාත්‍යාංශය හා අදාළ නිලධාරීන් ප්‍රකාශ කරන දේවල් පිළිගැනීමයි. පහසු කඩුල්ලක් නොවෙයි අපට පනින්න තියෙන්නේ. ඒකට සහයෝගය දෙන අය වගේම බාධා කරන අයත් ඉන්නවා. මේ ප්‍රශ්න විසඳුවාම ජන ප්‍රසාදය ආණ්ඩුවට හිමි වෙනවා කියලා ඔවුන් හිතනවා. එහෙම හිතලා තමන්ගේ කඳවුරට වාසිදායක විදියට මත ප්‍රකාශ කරනවා. රටට ඒ විනාශය කරන්න එපා. මෙයින් වින්දිතයො බවට පත්වෙන්නේ මේ රටේ ජනතාවයි.   


ප්‍රශ්නය -  අලුතෙන් ඇමැතිවරු පත් කරන්නේ කවදාද?   


පිළිතුර- මම දන් නෑ. ඒක ජනාධිපතිතුමාගෙන් විමසිය යුතු ප්‍රශ්නයක්.   


ප්‍රශ්නය -  බැසිල් රාජපක්ෂ අපේ පුවත්පතට කිව්වා ‘පොහොට්ටුවෙන් ඇමැති ධුර ගත්ත අය දැන් කොහේද ඉන්නේ කියලා තේරෙන්නේ නෑ කියලා. ඔබ වඩාත් සමීප පොහොට්ටුවටද? ජනාධිපති රනිල්ටද?   


පිළිතුර - ඕක හොඳ ප්‍රශ්නයක්. අපි ආණ්ඩුවක් කළානේ. ඒ ආණ්ඩුවෙත් මම කොටස්කාරයෙක්. අපි දැන් අලුතෙන් ආණ්ඩුවක් කරනවා. අපේ මුල් ආණ්ඩුව අතින් අඩුපාඩු වුණා. අපේ ඒ ආණ්ඩුව වැරැදි කළා. අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති මේ ආර්ථික අර්බුදය ජයගන්න ගැළපුණේ නෑ. ඒක අපි අවංකව පිළිගන්න ඕනෑ. ඒක පිළිගන්න ගමන් අපි මොකද කළ යුත්තේ. ඒ ආණ්ඩුවේ අපි හිටියා. මේ ආණ්ඩුවට අපි කරන්න දෙන්නේ නෑ කියලා හිතලා ඒකට බාධා කිරීමද සුදුසු. එහෙම නැත්නම් අපේ අඩුපාඩු පිළිඅරගෙන ඒ වගකීම අපි අරගෙන නිවැරැදි කිරීමද කළ යුත්තේ. මම ඉන්නේ එතැන. පක්ෂයක් හොඳයිද නායකයෙක් හොඳයිද කියලා බලනවාට වඩා වැදගත් වෙන්නේ අඩුපාඩු පිළිඅරගෙන නිවැරැදි ගමනකට අවතීර්ණවීමයි.  


ප්‍රශ්නය - පොහොට්ටුව හා එජාපය අතර සන්ධානයක් ගොඩනැගෙන බවත් කියනවා?  


පිළිතුර - දැනුත් තියෙන්නේ එහෙම එකක්නේ. ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනවා. රජයේ බහුතර මන්ත්‍රීවරුන් පොදුජන පෙරමුණ නියෝජනය කරනවා. දැනටම නිල නොලත් රට මෙහෙයවන සන්ධානයක් බිහිවෙලා තියෙනවා.  


ප්‍රශ්නය - නමුත් සන්ධානයකින් ඡන්දයකට යනකොට තත්ත්වය වෙනස් වෙනවනේ. ඒ ඒ දිස්ත්‍රික්කවල අපේක්ෂකයන් තෝරා ගනිද්දී මොකක් වෙයිද?  


පිළිතුර - ඔය කාරණා මැතිවරණයක් ප්‍රකාශයට පත් කළාම බලමුකෝ. ඒ වෙනකම් මොනවගේ සන්ධානයක් බිහිවෙයිද කියලා අපි දන්නේ නෑනේ.  


ප්‍රශ්නය - ඡන්ද තියයිද? ඡන්ද කල්දාන්න ආණ්ඩුව උප්පරවැට්ටි හොයමින් ඉන්නවා.   

පිළිතුර - කිසිම මැතිවරණයක් ප්‍රකාශයට පත්වෙලා නෑනේ. පළාත් පාලන මැතිවරණය ගන්න. ඒ මැතිවරණය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අධිකරණයට ගිහින් තියෙනවා. ඒ අධිකරණය විසින් ලබාදෙන තීන්දුව අනුව අපට කටයුතු කරන්න වෙනවා.

 

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්