අපට ආරාධනාවක් නැති නිසයි උද්ඝෝෂණයට නොගියේ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමය නායක 

 උදය ප්‍රභාත් ගම්මන්පිල

රටේ උණුසුම් දේශපාලන කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමය නායක උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා සමග කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය:- පසුගිය 2 වැනිදා තිබුණ උද්ඝෝෂණයට ඔබ නොගියේ?   


පිළිතුර:- රටේ විවිධ හේතු මත විවිධ උද්ඝෝෂණ කරනවා. 2 වැනිදා තිබුණ උද්ඝෝෂණයෙ සංවිධායකවරු අපට ආරාධනා කරලා නෑ. ඒ වගේම කවුරු කොතැන උද්ඝෝෂණ කළත් මේ රටට එන විදෙස් ආයෝජකයන් හා සංචාරකයන් හැරී යන තත්ත්වයට උද්ඝෝෂණ නොකිරීමට කවුරුත් වග බලා ගන්න ඕනෑ. මං හිතන්නේ උද්ඝෝෂණය කරන අයගේ අරමුණ මීට වඩා හොඳ රටක් නම් ආයෝජකයන් හා සංචාරකයන් බියපත් කරලා ඒ රට හදන්න බෑ.   


ප්‍රශ්නය:-  ඕක ඔබේ පක්ෂයේ මතයද? උත්තර ලංකා සභාගයේ මතයද? 

 
පිළිතුර:- මා කතා කරන්නේ පිවිතුරු හෙළ උරුමයේ මතය.   


ප්‍රශ්නය:-  උත්තර ලංකා සභාගයේ මතය මොකක්ද?   


පිළිතුර:- උත්තර ලංකා සභාගයෙ ඒ ගැන කතා කරන්න එහෙම ආරාධනාවක් ආවේ නැහැනේ.   


ප්‍රශ්නය:- මර්දනයට එරෙහිව යමක් කරන්න ආරාධනාවක් ලැබෙන්නම ඕනෑද?   


පිළිතුර:- ඔබේ මගුල් ගෙදරට මට එන්න බැහැනේ ඔබේ ආරාධනාවක් නැතිව. හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ මට මගුලක් කන්න බෑ කියලා. අපි ආණ්ඩුවට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා. 2 වැනිදා උද්ඝෝෂණයට ආරාධනාවක් නැති නිසා තමයි අපි නොගියේ. ඒකෙන් කියවෙන්නේ නෑ ඇතුළෙ ආණ්ඩු විරෝධය නෑ කියලවත් අපි ආණ්ඩු විරෝධි අරගලයේ නෑ කියලවත්. අපි අපේම වූ ක්‍රමවේදයකින් ආණ්ඩු විරෝධි අරගලය දියත් කරලා තියෙනවා. අපට ආණ්ඩු විරෝධි අරගල කරලා විතරක් නොවෙයි අරගල ජයග්‍රාහී විදියට නිමා කිරීමේ අත්දැකීම් ගණනාවක්ම තියෙනවා.   


ප්‍රශ්නය:-  ඔබලාගේ උත්තර ලංකා සභාගයට පොළොවේ ඉඩක් තියෙනවා කියලා ඔබ හිතනවද?   


පිළිතුර:- ඇත්තෙන්ම ඉඩක් තිබෙන්නේ උත්තර ලංකා සභාගයට පමණයි.   


ප්‍රශ්නය:-  ඔබ එහෙම කියන්නේ?   


පිළිතුර:- මම එහෙම කියන්නේ මොකද අද අනෙකුත් දේශපාලන පක්ෂ කරන්නේ ජනතාව හොඳින් දන්න, ජනතාවගේ ප්‍රශ්න වේදිකාවක් මත නැගලා ජනතාවටම පැවසීම. ජනතාව රෝහලකට ගියාම ඔසුසලට ගියාම බෙහෙත් නැති බව අත්දැකීමෙන්ම දන්නවා. වෙළෙඳසැලට ගියාම බඩු මිල උහුලා ගන්න බැරි බව සජීවීව අත්විඳිනවා. මේවා වේදිකාවල හෝ මාධ්‍යයට කතා කිරීමෙන් ජනතාවටවත් රටටවත් කිසිම ප්‍රගතියක් නෑ. ජනතාවට අවශ්‍ය ​ෙවන්නේ වසර ගණනාවක් පෙළෙන මේ ප්‍රශ්නවලට උත්තර. හැබැයි එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීමත් ජනතාව හොඳින්ම දන්නා ප්‍රශ්න නැවත ජනතාවට පැවසීමත් හැරුණු විට ආණ්ඩුවවත් විපක්ෂයවත් ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න සමත් වෙලා නෑ. අද ජනතාවගේ ප්‍රශ්න ජනතාවටම කියනවා කියන්නේ ගහ දන්නා අයට කොළ කඩා පෑමක් වගේ දෙයක්. ඒ නිසා ජනතාවට අද අවශ්‍ය තමන් මුහුණ පාලා ඉන්න ප්‍රශ්නවලට උත්තර සපයා ගැනීමයි. මේ ​ෙවනවිට ආණ්ඩුවවත්, සජබෙවත්, ජවිපෙවත් මේ අර්බුදයෙන් ගොඩ යෑම සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න අසමත් වෙලා තියෙන්නේ. ඒවාට වැඩපිළිවෙළක් ජනතාව හමුවේ තැබූ එකම දේශපාලන ව්‍යාපාරය උත්තර ලංකා සභාගයයි. 

 
ප්‍රශ්නය:-  ඉදිරියේදී මොනවද ඔබලා කරන්න හිතාගෙන ඉන්නේ? 

 
පිළිතුර:- අපේ විසඳුම් අතර සමහර විසඳුම් ක්‍රියාත්මක කරන්න රාජ්‍ය බලය අවශ්‍යයි. හැබැයි තවත් සමහර විසඳුම් ක්‍රියාත්මක කරන්න රාජ්‍ය බලය අවශ්‍ය නෑ. වවන්න පුළුවන් සෑම තැනම වවන්න, හදන්න පුළුවන් සෑම දෙයක්ම හදන්න කියලා ජනතාව පොළඹවන්න අපට රාජ්‍ය බලය අවශ්‍ය නෑ. සිරිලක දේ සිරි සැප දේ කියලා දේශීය භාණ්ඩ පාවිච්චිය පෙළඹන්න කියලා ජනතාව පොළඹන්න අපට රාජ්‍ය බලය අවශ්‍ය නෑ. මේ ආර්ථික අර්බුදයෙන් මිදෙන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න අපි හැර වෙන කිසිවෙක් සමත් වෙලා නෑ. එම වැඩපිළිවෙළ ඉදිරිපත් කරලා තියෙන්නේ උත්තර ලංකා සභාගය පමණයි. ඒ නිසා ජනතාවට තවත් වරක් නොරැවටෙන්න නම් තෝරා ගන්න තියෙන එකම විකල්පය උත්තර ලංකා සභාගය පමණයි. තවමත් අනෙක් දේශපාලන පක්ෂ කරන්නේ විරුද්ධවාදියාට බණිමින් සුන්දර පොරොන්දු දෙමින් ජනතාව රැවටීම පමණයි. 

 
ප්‍රශ්නය:-  ජනාධිපති රනිල් යම් පමණකට හෝ රට ස්ථාවර කරලා තියෙනවා කියලා ඔබ පිළිගන්නේ නැද්ද?   


පිළිතුර:- අප්‍රේල් මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ලංකාවේ තිබුණ තත්ත්වයට සාපේක්ෂව රටේ යම් ප්‍රගතියක් තිබෙන බව ඇත්ත. නමුත් ඒ ප්‍රගතිය තාවකාලිකයි.   


ප්‍රශ්නය:- ඔබ එහෙම කියන්නේ?   


පිළිතුර:- මම එහෙම කියන්නේ අපේ ඩොලර් අර්බුදයට විසඳුම් හොයන්න ආණ්ඩුව අසමත්​ වෙලා තියෙනවා. ඒ විතරක් නොවෙයි. මෙවැනි අර්බුදයකදී ලෝකයේ අනික් රටවල් කරපු දේවල්වත් තවම මේ රටේ කරලා නෑ.   
ප්‍රශ්නය:-  මොනවද ඒ?  


පිළිතුර:- නිදසුනක් විදියට ඉන්දියාවේ නීතියක් තියෙනවා සෑම අපනයනකරුවෙක්ම තමන්ගේ අපනයනවල වටිනාකමෙන් සියයට 80ක් විදේශ විනිමය මාස තුනක් තුළ රටට ගෙන ආ යුතුයි කියලා. හැබැයි ලංකාවේ එහෙම නීතියක් නෑ. එහෙම  නීතියක් තිබුණා නම් අපේ කළුකඩ හරහා රට තුළට ගලන උන්ඩියල්, හලාල වැනි ක්‍රම වෙනුවට නීත්‍යානුකූල විදියට බැංකු හරහා ඩොලර් ගේන්න පෙළඹෙනවා. එහෙම දෙයක්වත් කරන්න අර්බුදයට වසරකට වඩා වැඩි කාලයක් ගත වුණත් ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා.  


ප්‍රශ්නය:- කාලයක් ඔබලාගේ කටගැස්ම බවට පත්වෙලා හිටපු එරික් සෝල්හයිම් ජනාධිපති රනිල්ගේ උපදේශකයෙක් බවට පත්වෙලා ඉන්නවා. ඔබ මොකද හිතන්නේ?  


පිළිතුර:- ඔව්, ඇත්තෙන්ම එරික් සෝල්හයිම්ව පත්කර ඇත්තේ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක ලෙසයි. ලංකාවට දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ලබා ගැනීමට ඔහු පත්කළ බවයි ජනාධිපතිතුමා කියන්නේ.  


ප්‍රශ්නය:-  ඔබ ඒක විශ්වාස කරන්නේ නෑ?  


පිළිතුර:- මෙහෙමයි, දේශගුණික විපර්යාස පිළිබඳව ලෝකයේ සහාය ලබා ගැනීමට නම් තෝරාගත හැකි නුසුදුසුම පුද්ගලයා තමයි එරික් සෝල්හයිම්. ඒ මොකද එරික් සෝල්හයිම් 2017 නොවැම්බර් දක්වා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ හිටියා. නමුත් ඔහු මාස 22 ක් තුළ ඩොලර් ලක්ෂ 5 ක් විදේශ සංචාර සඳහා නාස්ති කිරීම, පරිසර විශේෂඥයන්ගේ උපදෙස් නොතකා හැරීම, සේවකයන් සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීම, එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර රෙගුලාසි උල්ලංඝණය කිරීම යන චෝදනා මත ඔහුට එම තනතුරෙන් ඉවත්වෙන මෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුම් දුන්නා. එතකොට පරිසර ක්ෂේත්‍රයේ පිරිහීමට ලක්වුණු ප්‍රතික්ෂේප වුණ කෙනෙක් තමයි එරික් සෝල්හයිම්. එහෙම නම් එයාට දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ලංකාවට අරමුදල් ගෙන ඒමේ හැකියාවක් නෑ.  


ප්‍රශ්නය:- ඔබේ අනුමානයට අනුව ඔහු එන්නේ?  


පිළිතුර:- වැදගත්ම කාරණය ඒකයි. දෙමළ බෙදුම්වාදී බලවේග සතුව ඩොලර් බිලියන තුනකට වඩා තියෙනවා. ඒකට හේතුව තමයි කොටි සංවිධානය ආදායම් ඉපැයීමට පාවිච්චි කළේ මිනිස් ජාවාරම, අවි ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම, පුරාවස්තු ජාවාරම, නැව් සේවා, ගුවන් විදුලි සේවා හා රූපවාහිනී සේවා පවත්වාගෙන යාමයි. යුද්ධය අවසන් වුණත් මේවායින් ලැබුණු ආදායම ඒ විදියටම ලැබෙනවා. කොටි සංවිධානය මේ ජාලා හරහා වසරකට ඩොලර් මිලියන 300කට අධික මුදලක් උපයනවා. හැබැයි එදා තිබුණ වියදම් අද නෑ. අද යුද්ධයක් සඳහා අවි ආයුධ මිලදී ගැනීමට වගේම අනික් පැත්තෙන් කොටි උසාවි, කොටි පොලීසි, සුබසාධන නිලධාරීන් නඩත්තු කිරීමේ අවශ්‍යතාවක් නෑ. ඒ ඉතිරි වෙන දැවැන්ත මුදල් සම්භාරය රට තුළට ගෙන ඒමට අවශ්‍ය සාකච්ඡා පැවැත්වීම සඳහා තමයි එරික් සෝල්හයිම් ගෙන්නුවේ කියන එකයි අපේ අදහස. විදෙස්ගත දෙමළ ප්‍රජාවගේ ධනය මේ මොහොතේ ලංකාවට ණය හා ආයෝජන විදියට ගේන්න මේ හදන්නේ.  


ප්‍රශ්නය:-  ඉතින් ඇයි ඒකට විරුද්ධ වෙන්නේ?  


පිළිතුර:- අපි ඒකට විරුද්ධ නෑ. නමුත් ඒ හා සමගම රට ෆෙඩරල් කිරීම වැනි කොන්දේසි අන්තර්ගත නොවිය යුතුයි. නැතිනම් අද දවසේ බඩගින්න නිවන්න ගිහිල්ලා සදාකාලික යුද ගින්නක් ඇවිලෙන්න ඉඩ තියෙනවා. 

 
ප්‍රශ්නය:-  අන්තිමට ඔබලා රට බෙදීම, කොටි සංවිධානය, ෆෙඩරල් වැනි මාතෘකාවල එල්ලෙන්නේ, එල්ලෙන්න වෙන වැල් නැති නිසාද?  


පිළිතුර:- එහෙනම් එරික් සෝල්හයිම් ගෙන්නුවෙත් අපි වෙන්නැති. ඔබතුමා කියන්නේ එරික් සෝල්හයිම් ගෙන්වලා ජනාධිපති උපදේශක කළේ අපිද? අපි මේ කියන්නේ එරික් සෝල්හයිම් ලංකාවට ගෙන්වීමේ තියෙන අනතුරයි. අපි මෙතැනදී කියන්නෙත් විදෙස්ගත දෙමළ ප්‍රජාවගේ ඩොලර් ලංකාවට ගෙන්වනවට අපි විරුද්ධ නෑ. අපි විරුද්ධ ඒ සඳහා බෙදුම්වාදය පෝෂණය ​ෙවන පොරොන්දු ඉටු කිරීමට විරුද්ධයි කියලයි.  


ප්‍රශ්නය:- ආණ්ඩුව අයවැය ගේන්න සූදානම් වෙනවා. ඔබගේ තක්සේරුව?  


පිළිතුර:- ආණ්ඩුව ප්‍රශ්නයට පැලැස්තර ඇලවීම මිසක් අර්බුදයෙන් ගොඩ යෑමේ දිගුකාලීන හා කෙටිකාලීන විසඳුම් ඉදිරිපත් කරන්න මෙතෙක් අසමත් වෙලා තියෙනවා. ඒ නිසා අයවැය තවත් හිස් වචන ගොඩක් වීමට පමණයි ඉඩ තිබෙන්නේ.  

 

 

සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්