අනුරගේ ආණ්ඩුව පෙරළන්නේ කවුද?


හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන්නේ අනුර දිසානායක ජනාධිපතිවරයාගෙන් පසු මීළඟ ජනාධිපතිවරයා නාමල් රාජපක්‍ෂ බවය. බුද්ධි අංශ ඒ පිළිබඳ වාර්තා රජයට භාරදී ඇති බව ද ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඒ පිළිබඳ දැනුවත් බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි. 

ඒ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ අදහසය. එම අදහස සත්‍යයක්දැයි හෙළිදරව් වන මාර්ගයක් ද නැත්තේ බුද්ධි අංශ වාර්තා සාමාන්‍ය ජනතාවගේ දැන ගැනීමට කිසිදා ප්‍රසිද්ධ නොකරන නිසාය. තරුණ නායකයකු වන දයාසිරි ජයසේකර විපක්‍ෂයේ මීළඟ ජනාධිපති අපේක්‍ෂකත්වයට එකම සුදුස්සා බව කියන පිරිසක් ද වෙති. 

මේ සියලුම මතවාද ඒ ඒ පුද්ගලයන්ගේ රුචිය අනුවය. මේ සියලු දෙනාටම යම් ජනබලයක් ද වෙයි. එහෙත් ඒ ජනබලය තනි තනිව ගොස් ආණ්ඩුව පෙරැළීමට ප්‍රමාණවත් වන්නේ නැත. තනිව නොව එකතුවී පැමිණියත් අනුර දිසානායකගේ මාලිමා ආණ්ඩුව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරය අතහැර ගියා සේ ආණ්ඩුව දමා යන්නේ නැත. ආණ්ඩුව පෙරළීමට විපක්‍ෂයේ එකමුතු ක්‍රියාදාමයක් විය යුතුය. 1994 සහ 2015 දී ආණ්ඩු පෙරලු ආකාරයට සමස්ත විපක්‍ෂයේම පොදු එකමුතුවක් විය යුතුය. ඒ එකමුතුව තම තමන්ගේ සිහින ජනාධිපති ධුරය අතහැර තනි එක් අපේක්‍ෂකයකුට සහාය ලබා දෙන්නට කැමැති පක්‍ෂ නායක එකමුතුවක් විය යුතු ය. 

එහෙත් එවැනි එකමුතුවක් ජනාධිපති ධුරය සම්බන්ධයෙන් නම් අද පමණක් නොව අනාගතයේදීත් සිදු වෙතැයි සිතිය නොහැකිය. විපක්‍ෂයේ සිටින සියලුම පක්‍ෂවල නායකයන් මේ වනවිට සිටින්නේ තමාගේ පක්‍ෂය තනිව ආණ්ඩුවක් පිහිටුවනවාය යන මතයේ වීම එයට හේතුවය.

ප්‍රධාන මැතිවරණ පරාජයෙන් මාස නවයක් ගතවී ඇතත් විපක්‍ෂය තවමත් සිටින්නේ ආරක්‍ෂාව පිණීස සටන් කරන තත්ත්වයක මිස ප්‍රහාරය පිණිස සටන් කරන තත්ත්වයක නොවේ. විපක්‍ෂයෙන් ආණ්ඩු විරෝධී හඬක් නඟන සෑම මන්ත්‍රීවරයාම පාහේ රජය විසින් කුමන හේතුවක් හෝ දමා සිරගත කරන තත්ත්වයක් දැකගත හැකිමුත් එයට එරෙහිව සාමූහිකව පහර දෙන තත්ත්වයක් විපක්‍ෂයේ කිසිම කණ්ඩායමකින් දකින්නට නැත. 

දේශපාලනයේ දී වීම මෙන්ම ප්‍රති ප්‍රහාරය ද ඉතා වැදගත්ය. එහෙත් ආරක්‍ෂාව සඳහා පමණක් ක්‍රියාත්මක වන කිසිම බලවේගයකට දේශපාලනයේ දී ජයග්‍රහණ ලබාගත නොහැකිය. අනුර දිසානායක මෙරට ජනාධිපතිවරයා බවට පත් වූයේ ආරක්‍ෂාව සඳහා හඬ නැඟීමෙන් නොව දැඩි ප්‍රහාරක ශෛලියකට අනුගත වීමෙන් බව ඒ සඳහා ඇති හොඳම උදාහරණය වේ. දේශපාලනයේ දී ජයග්‍රහණය සඳහා ඉතා වැදගත් වනුයේ ප්‍රතිවාදියා ආරක්‍ෂාව සඳහා සටන් කරන තත්ත්වයකට ඇද දමමින් තමා ප්‍රහාරකයා බවට පත්වීමය. අනුර දිසානායක මේ කාරිය ඉතා හොඳින් සිදු කළේය. තුනෙන් දෙකක අති විශාල බලයක් හිරු දුටු පිනිසේ විනාශ කළේ අනුරගේ එම ප්‍රහාරක ශෛලියයි. එම පක්‍ෂයෙන් ප්‍රහාරක කථිකයකු ලෙස සිටියේ අනුර පමණක් බව ද සැලකුව මනාය. ඒ හඬ සහ ප්‍රහාරක ශෛලිය නතර වූයේ රාජපක්‍ෂ කඳවුර මෙන්ම එජාප හා සජබ කඳවුරු ද සමතලා කර දමමින් ජනාධිපති පුටුව අත්පත් කර ගැනීමෙනි. එහෙත් අද විපක්‍ෂයට එවන් හැකියාවක් තිබේ ද?
මෙරට ආණ්ඩු බලය හිමි වී තිබූ ප්‍රධාන පක්‍ෂ දෙකක් වන එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට සිටින්නේ කණ්ඩායම් කිහිපයකට කැඩී ගොසිනි. එයින් දිගු කලක් ශක්තිමත්ම පක්‍ෂය වූයේ එක්සත් ජාතික පක්‍ෂයය. 

එක්සත් ජාතික පක්‍ෂයට ස්ථාවර ඡන්ද බැංකුවක් තිබිණි. එම පක්‍ෂයේ නමින් අර්ථ දැක්වෙන ඡන්ද බැංකුව සමන්විත වූයේ ජාතීන්ගේ එකමුතුවෙනි. සිංහල, දෙමළ හා මුස්ලිම් ජන කොටස්වලටත් බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමිකයන්ටත් එකමුතුව රැඳී සිටිය හැකි පක්‍ෂය වූයේ එක්සත් ජාතික පක්‍ෂයයි. මෙම එකමුතුව පැවැති සෑම විටම එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කළේය. එකමුතුව බිඳී ගිය විට පරාජය වූයේය. මඩකළපුවේ නයිනමරික්කාර්ලා එජාපයෙන් ජයග්‍රහණය කරන විට කටානේ විජයපාල මෙන්ඩිස්ලා සිංහල ප්‍රදේශවලින් ජයග්‍රහණය කළේය. මේ දෙපිරිසම එකම හුයක ඇමිණූ මුතු ඇට ලෙස එජාපයේ ශක්තිය රඳවා ගත්තේය. එජාපයට සෑම විට ම සිංහල බෞද්ධ ධන්ද පදනම රඳවා තබා ගතහැකි ප්‍රාදේශීය නායකත්වයක් ද තිබිණ. 1977 ජේ.ආර්. ජයවර්ධන ජයගත් අවස්ථාවේ හෝමාගම වැනි සිංහල බෞද්ධයන් බහුල ආසන හෙබ වූයේ සිංහල බෞද්ධ ලාංඡන බවට පත්ව සිටි අනගාරික ධර්මපාල පරපුරේ ඥාතිවරයකු වූ ගාමිණී ජයසූරියය. කටානේ බෞද්ධ දානපති විජයපාල මෙන්ඩිස්ලා පරම්පරාගත බෞද්ධ ඡන්ද උරුමය ගම්පහ දිස්ත්‍රික්කයෙන් එජාපයට රැක දුන්නේය. වතුකරයේ ඉන්දියානු දෙමළ ජනතාවගේ ඡන්ද එජාපයට ගෙන ආවේ එජාපයේ දීර්ඝකාලීන මිතුරු සෞම්‍ය මූර්ති තොණ්ඩමන්ය. ඩී.එස්. සේනානායක, ඩඩ්ලි. සේනානායක යන පිය පුතු දෙදෙනාගේ අතිමහත් සිංහල බෞද්ධ ආකර්ෂණය ඔවුන්ගේ අභාවයෙන් දශක ගණනාවක් යන තුරුම එජාපයට වැදගත් ඡන්ද පදනමක් විය. මෙරට වැඩිම කාලයක් බලය හෙබ වූ පක්‍ෂය බවට පත්වන්නට එජාපය සමත් වූයේ එම සමීක්‍ෂණය විසඳන්නට වෙනත් පක්‍ෂවලට නොහැකි වූ නිසාය. බේරුවල බාකීර් මාකර්ලා. මහනුවර ඒ.සී.එස්. හමීඩ්ලා සිටින තුරු මුස්ලිම් ඡන්ද ලැබුණේ එජාපයටය. 

එජාපයෙන් සමගි ජන බලවේගය වෙන්ව ගිය පසු මෙම පාරම්පරික ඡන්ද පදනම ගිලිහී ගියේ දෙපක්‍ෂයටම එම ඡන්ද අහිමි කරවමිනි. 1994 සිට මේ දක්වාම එජාපයෙන් හා සජබයෙන් පාරම්පරික ඡන්ද දායකයා ඉවත් යනවා මිස එම ඡන්ද එකතු කිරීමට ශක්තිමත් වැඩපිළිවෙළක එම පක්‍ෂ දෙක තුළම නැත. ආණ්ඩු බලය අවශ්‍ය නම් එජාපය සහ සජබය එකතු විය යුතු අතර පැරණි යුගයේ ආකාරයටම ග්‍රාමීයව සිංහල බෞද්ධ ඡන්ද ගෙන ආ හැකි ශක්තිමත් ග්‍රාමීය නායකයන් එකතු කරගත යුතු අතර පක්‍ෂයේ ජාතික මට්ටමේ මුහුණු අතරට සියලු ජනවර්ගවල කැපී පෙනෙන වැදගතුන් එකතු කරගත යුතුය. එවිට මේ වන විට නිද්‍රාශීලීව සිටින ලක්‍ෂ හැටක්වන කිසිම පක්‍ෂයකට ඡන්දය නොදුන් ඡන්දදායකයන් අවදිකරගත හැකි අතර මෙම ලක්‍ෂ හැටෙන් ඉතා වැඩි ප්‍රමාණය සජබ හා එජාප ඡන්දදායකයන් මිස වෙනත් පක්‍ෂයක ඡන්ද නොවේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කැඩී බිඳී ගොස් බිහිවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද ඉකුත් කාලයේ තව තවත් කැඩී බිඳී ගියේය. 2020 මහා මැතිවරණයේ දී තුනෙන් දෙකේ ජනවරමක් ලැබුණු එම පක්‍ෂයට ඡන්ද ලැබුණේ මෙරට සාම්ප්‍රදායික වාමාංශික ඡන්ද සහ යුද ජයග්‍රහණයත් සමග එකතු වූ පාවෙන ඡන්දවලිනි. ඉකුත් ජනාධිපතිවරණයේ දී මාලිමා අපේක්‍ෂක අනුර දිසානායක ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගැලවී ගිය එම අති මහත් ඡන්ද ප්‍රමාණයෙනි. ජනාධිපතිවරණ කිහිපයකදීම අලුත් ජනාධිපතිවරයකු බිහි කිරීම සඳහා දායක වූ එම ඡන්ද දායකයන්ගෙන් කොටසක් වත්මන් රජයේ වැඩපිළිවෙළ නිසා යම් සෙලවීමකට ලක්ව ඇති මුත් එම ඡන්ද දැන්ම ආණ්ඩුවෙන් ඉවත් වන්නේ ද නැත. එසේ ඉවත් වූ ප්‍රමාණයෙන් ආණ්ඩුව පෙරළිය හැකි වන්නේ ද නැත. එහෙත් අනාගතයේ යම් දිනක මෙම ඡන්දවලින් කොටසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතුවනු ඇත්තේ එම ඡන්ද දායකයන් තමන්ගේ මව් පක්‍ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සොයා ආ ආකාරය ඉකුත් පළාත් පාලන මැතිවරණයේ දී පෙනී ගිය නිසාය. 

ආණ්ඩුව පෙරඳීළීමට නම් මෙරට ඡන්ද දායකයන් ගොනු වී සිටින දේශපාලන සමීකරණය තේරුම්ගැනීම අවශ්‍යය. ගමේ සහ බිම් මට්ටමේ සිටින්නේ කැපුවත් කොළ සහ කැපුවත් නිල් ඡන්දදායකයන්ය. ඉකුත් ජනාධිපතිවරණයේ දී මාලිමා නොවන බොහෝ දෙනා මාලිමාවට ඡන්දය පාවිච්චි කළේ රනිල් සහ සජිත් යන දෙදෙනාම යූ.ඇන්.පී. කාරයන් නිසාය. බොහෝ දෙනා කීවේ තමන් කිසි දවසක එජාපයට ඡන්දය පාවිච්චි කර නැති නිසා රනිල්ට හා සජිත්ට නොදී අනුරට ඡන්දය පාවිච්චි කරන බවය. කැපුවත් කොළ සහ කැපුවත් නිල් ඡන්ද ලක්‍ෂ ගණනක් තවමත් මෙරට දේශපාලන ඡන්ද බැංකුව තුළ ඇති නිසා සජිත් සමග නාමල් එකතුවීමකින් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත. නාමල් ප්‍රධානියා කොට සජිත් දෙවැනියා වී කරන එකතුවීමකින්ද පලක් නොලැබේ. 

සජිත්ට ලැබෙන්නේ ධනවාදී ඡන්ද මිස වාමාංශික ඡන්ද නොවේ. නාමල්ට ලැබෙන්නේ වාමාංශික ඡන්ද මිස දක්‍ෂිණාංශික ඡන්ද නොවේ. එනිසා එකතුවිය යුත්තේ පළමුව සජබය සහ එජාපයය. අනතුරුව ඒ වටා වෙනත් බලවත් කණ්ඩායම් එකතුවීම සිදුවනු ඇත. 1994 දී සහ 2015 දී පැවැති ආණ්ඩු පරාජය කරමින් එවකට විපක්‍ෂය බලය ලබා ගත්තේ එවැනි පොදු එකමුතුවකිනි. 

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ හදිසි අභාවයත් සමග එජාපයට තිබූ අතිමහත් ශක්තිය දුර්වල විය. විපක්‍ෂයට තිබූ පීඩනය ක්‍රමයෙන් ලිහිල් වූයේය. ඒ වනවිට විපක්‍ෂය තේරුම් ගෙන තිබුණේ එජාප රජයේ ඉතිරිව තිබූ ශක්තිය බිඳ දැමීම සඳහා සමස්ත විපක්‍ෂයම එක් පෙරමුණකට ගොනු වීම සාර්ථක ප්‍රතිඵලයක් දෙන ලෙස බවය. ඒ අනුව ශ්‍රීලනිපය පෙරටු කරගෙන එජාපයෙන් කැඩී ආ යම් පිරිසකුත්, වාමාංශික පක්‍ෂ දෙක සහ ඒ වන විට විශාල ඡන්ද ප්‍රමාණයක් ඒකරාශීව තිබූ අෂ්රොෆ්ගේ මුස්ලිම් කොංග්‍රසයත් සමග එක හවුලකට ඒමට විපක්‍ෂය සමත් විය. එහෙත් එවැනි අවස්ථාවක වුවත් බණ්ඩාරනායක මැතිනිය ඉදිරිපත් කළේ නම් එම මැතිවරණය පරාජයට පත්වීමට ඉඩ තිබුණේ එතුමියගේ 1970-77 පාලනය ජනතාවට තවමත් මතක තිබූ නිසාය. ජනතා ආකර්ෂණයක් වූ ඇගේ දියණිය චන්ද්‍රිකා කුමාරතුංග ඉදිරිපත් කරමින් 1994 මැතිවරණ දිනා ගන්නට විපක්‍ෂයට හැකි විය. මාලිමා ආණ්ඩුව පරාජය කිරීමට නම් වර්තමාන විපක්‍ෂයේ සියලු බලවේග ඒකරාශීවීම අවශ්‍ය වේ. එසේ වුවත් 2029 ජනාධිපතිවරණයේ දී විපක්‍ෂයට ජයගත හැකි ද යන්න තවත් ප්‍රශ්නයකි. 

විපක්‍ෂයේ ඇතැම් දේශපාලකයන්ගේ අදහස වන්නේ 2028 ජනාධිපතිවරණයේ දී වමේ අපේක්‍ෂකයකුට ජයගත නොහැකි බවය. එයට හේතුව නම් 2024 ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කළේ ද වාමාංශික බලවේගයකින් වීමය. මේ නිසා පිටපිටම වාමාංශික බලවේගයකට ජයග්‍රහණය කිරීමේ අවස්ථාවක් මෙරට දේශපාලන රටාව අනුව සිදුවන්නේ නැත. මෙහිදී නාමල් රාජපක්‍ෂ වාමාංශික ඡන්දවලින් ලක්‍ෂ විස්ස තිහ අතර ප්‍රමාණයක් ලබාගනියි. ඔහුට ද ජයගත නොහැකිය. ජවිපෙට ද ලක්‍ෂ විස්සක පමණ ඡන්ද ප්‍රමාණයක් හිමිවෙයි. ඔවුන්ට ද ජයගත නොහැකිය. ජවිපෙ එම ඡන්ද ප්‍රමාණය කඩා ගැනීම මත වාමාංශික අපේක්‍ෂකයකුට තනිව ජයගත නොහැකිය. ඒ අනුව ලබන ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය හිමිවන්නේ දක්‍ෂිණාංශික කඳවුරේ අපේක්‍ෂකයකුටය. රනිල් වික්‍රමසිංහට හෝ සජිත් ප්‍රේමදාසට තනි තනිව ද ජයගත නොහැකිය. එහෙත් එම දෙදෙනාගේ පක්‍ෂ ඒකාබද්ධවී රටේ දක්‍ෂිණාංශික කඳවුර ශක්තිමත් කළහොත් සුළු ජාතික ඡන්දද එකතුවී ශක්තිමත්ම බලවේගය බවට සජබ හා එජාප එකමුතුව පත්වනු ඇතැයි එම පිරිස කියා සිටිති.

විපක්‍ෂය එසේ සූදානම් වුවත් ඊළඟට මතුවන්නේ වත්මන් ආණ්ඩුව එක් පාලන කාලයකින්ම පරාජය කිරීමේ අභියෝගයය. තමාගේ අතේ ඇති ජනාධිපතිධූරය වර්තමාන ජනාධිපතිවරයා විපක්‍ෂයට මල් වට්ටියක තබා පිළිගන්වනු ඇතැයි සිතිය නොහැකිය. ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ තීරුබදු වෙනස් කිරීමේ ප්‍රතිපත්තියත් සමග පෙනී ගියේ ශ්‍රී ලංකාවේ රජයට ඔහුගේ යම් නම්‍යතාවක් පවතින බවය. ඒනිසා විවිධ අංශවලින් ඇමරිකානු කඳවුරේ උදව් වර්තමාන රජයට ලැබෙනු ඇති අතර එය දෙවැනි පාලන කාලයක් සඳහා ජනවරම ලබාගැනීමට ශක්තියක් වනු ඇත. මෛත්‍රීපාල සිරිසේන හා ගෝඨාභය රාජපක්‍ෂ හැර අන් සියලුම ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරුන් ඉවත්ව ගියේ අවස්ථා දෙකම ධුර කාලය දැරීමෙන් පසුවය. ජේ.ආර්., චන්ද්‍රිකා, මහින්ද තිදෙනාම තමන්ගේම ආණ්ඩු තිබූ නිසා බාහිර අර්බුදවලින් බේරී ධුර කාල දෙකම රැඳීසිටීමේ හැකියාව ලැබුණේය. අනුන්ගේ කාලයක ඉතිරි අඩ සඳහා පිනට පත් වූ ඩී.බී. විජේතුංගටත් තමාගේම පක්‍ෂයක ආණ්ඩුවක් නොතිබූ මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්‍ෂටත් එම අවස්ථාව නොලැබුණේ ජනාධිපති ධුරය ශක්තිමත්වීමට නම් තමාගේම පක්‍ෂයේ සගයන්ගේ බහුතරයෙන් යුතු ආණ්ඩුවක් තිබිය යුතු නිසාය. අනුරට එවැනි අර්බුදයක් නැත. වැඩ නොකිරීම නිසා මේ වන විට යම් පසුබෑමක් ඇතත් ආණ්ඩුව ඇද වැටෙන තත්ත්වයක් අනුරගේ ආණ්ඩුවට නැත. මේ අවුරුදු හතර ගැට ගසා ගැනීම අසීරුද නැත. බෙදී සිටින විපක්‍ෂය හමුවේ 2029 ජනාධිපතිවරණ කඩඉම පැන ගැනීමේ අමාරුවකුත් නැත. තවමත් සුළු ජාතික ඡන්ද පදනම ඇත්තේද මාලිමාවට හා අනුරටය. ඒනිසා අනුර පැරදවීමේ අභියෝගය මතුවන්නේ 2029 දී නොව 2034 දී එළඹෙන ජනාධිපතිවරණයේදීය. 

ප්‍රේමකීර්ති රණතුංග