අටුව කඩා පුටුව හදන නව අධ්‍යාපන පුතිසංස්කරණ


මේ වනවිට රටේ ආන්දෝලනයකට තුඩුදෙන කාරණාවක් ලෙස රජය මගින් කඩිමුඩියේ රැගෙන ආ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැඳින්විය හැකිය. ඒ නිසාම එයට එරෙහිව දැඩි විරෝධයක් සිවිල් සමාජයෙන් එල්ලවෙයි. විකල්ප අධ්‍යාපන ධාරාවෙහි කටයුතු කරන්නෙකු ලෙස මෙහි ගැටලුකාරී ස්වභාවය පිළිබඳ කරුණු කිහිපයක් දක්වමි.   

අධ්‍යාපන ප්‍රතිසංකරණ සකස් කිරීමට දායක වුණ කණ්ඩායම සහ වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරිය විශේෂයෙන් මතුකරන කාරණාවක් වන්නේ මේ පවතින විභාග ක්‍රමය වැරදි, නුසුදුසු හා දරුවන්ට පීඩාකාරී බවය. එනිසා එය වහා වෙනස් කළ යුතුය යන ස්ථාවරයෙහි සිටිනු පෙනේ.

දැනට පවතින අධ්‍යාපන ක්‍රමය රඳා පවතින්නේ විභාග මූලික කරගෙනය. එමෙන්ම රජය මගින් පාසල් විභාග 3ක් පවත්වනු ලබයි. ඒ විභාග තුන ඉතාමත් සාධාරණ අයුරින් පැවැත්වෙයි. කුසලතා ඇති දරුවන්ට ඉදිරියට යා හැකි වන ලෙස අතිශය සාධාරණ විදියට එම විභාග මේ දක්වා පවත්වාගෙන එයි.

යෝජිත ප්‍රතිසංස්කරණ ඒ ආකාරයෙන්ම සිද්ධ කළොත් අපේ මෙතෙක් පැවති සර්ව සාධාරණ විභාග පටිපාටිය සම්පූර්ණයෙන්ම විනාශ වනු ඇත. සුදුස්සන් වෙනුවට නුසුදුස්සන් ඉස්මතු වෙන විභාග ක්‍රමයක් බිහිවෙයි. රජයේ ප්‍රධාන විභාග තුන ගැන තිබෙන විශ්වාසය නැති වේ.

විභාග පීඩනය

රටේ පවතින විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය නිසා දරුවන් දැඩි පීඩනයට ලක්වීමෙන් විභාග නැති ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම මෙයින් සිදුවන බව රජයේ මතයයි. මේ මතයෙහි ශක්තිමත් පදනමක් නොමැත.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළ යුතුය. නව ශිල්පීය ක්‍රම හඳුන්වාදිය යුතුයි. කාලයත් සමග නව ගෝලීය වෙනස්වීම් වටහාගත් වඩාත් විශ්වීය අධ්‍යාපන මොඩලයකට රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය රැගෙන යා යුතුය. ඒ ගැන තර්කයක් නැත.

කළ යුතු වන්නේ ඒ සඳහා පවතින ක්‍රමවේදයේ තිබෙන අඩුපාඩු හඳුනාගෙන ප්‍රතිසංස්කරණ එකතු කිරීමය. නමුත් මෙහිදී සිදු වී තිබෙන්නේ පවතින අධ්‍යාපන ක්‍රියාවලියේ තිබෙන හොඳම දේ නරකම දේ ලෙස වරදවා වටහාගෙන එය වෙනස් කිරීමට ගොස් සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියම විකෘති කිරීමකි.

ලෝකයේ බොහෝ දියුණු රටවල් විභාග ක්‍රමයෙන් මිදී වඩාත් සරල සහ ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමවේදවලට ගොස් සාර්ථක වී ඇති නිසා පීඩාකාරී විභාග වෙනුවට නව ක්‍රමවේද හඳුන්වාදීමේ ඇති වරද කුමක්දැයි ද අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මුල් වූවෝ අසති.

ලෝකයේ දියුණු රටවල් කරන දේවල් කරන්න තරම් අපි තවම දියුණු වී නොමැත.  රටක් හැටියට අප ඉන්නේ පසුගාමී තැනකය. ඒ යථාර්ථය අප පිළිගත යුතුය. 

විභාග තුනේ විශ්වාසය

අපේ රටේ පාසල් සිසුහු ජාතික තලයේ විභාග තුනකට මුහුණ දෙති. 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සහ අ.පො.ස. උසස් පෙළ විභාගය යනු එම විභාග තුනයි.

මේ විභාග තුනම ඉතා සාධාරණව සහ විනිවිදභාවයකින් යුතුව පවත්වනු ලැබේ. ඒ නිසා විශ්වාසය කියන දේ සියයට 100 ක්ම මේ විභාග සම්බන්ධයෙන් පවතී. දෙමාපියන්ගේ තරාතිරම, රාජ්‍ය බලය හෝ වෙනත් කිසිදු පාර්ශ්වයකට මේ විභාග ප්‍රතිඵලවලට බලපෑම් කළ නොහැක. දරුවන්ගේ හැකියාව හා දක්ෂතාව මත ඉහළම දක්ෂතා සහිත කණ්ඩායම ඉදිරියට යයි. රටේ ජනාධිපතිටවත් එයට බලපෑම් කළ නොහැක.

මෙහි ඇති සුවිශේෂ කාරණාව වන්නේ විභාග අපේක්ෂකයා සහ පිළිතුරුපත්‍ර පරීක්ෂකවරයා දෙන්නාට දෙන්නා හඳුනන්නේ නැත. ඒ දෙදෙනා හිතවතුන් වුණත් හතුරන් වුණත් ප්‍රතිඵලය සඳහා එය බල නොපායි.

හඳුන්වා දීමට නියමිත අඛණ්ඩ ඇගයීම් ක්‍රියාවලිය මගින් මේ තත්ත්වය වෙනස් වෙයි. විභාග කෙරෙහි තිබෙන විශ්වාසනීත්වය සම්පූර්ණයෙන් බිඳවැටිය හැක. මේ දක්වා විභාගවලින් ඉදිරියට ගියේ දක්ෂතා සහිත දරුවන්ය. මින් ඉදිරියට දෙමාපියන්ගේ හැකියාව, සමාජ බලය සහ හිතවත්කම්, නෑදෑකම් මත ජාතික විභාගවල ප්‍රතිඵල වෙනස්වීමේ වැඩි ඉඩක් පවතී.

අඛණ්ඩ ඇගයීම් අඛණ්ඩ වීම

විභාග වෙනුවට යෝජිත පාසල් අඛණ්ඩ ඇගයීම් ක්‍රියාවලිය බිල්ලෙකු ලෙස දකින්නේ හේතු ඇතිවය. උදාහරණයක් විදියට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ගනිමු. ශිෂ්‍යත්ව විභාගයට දෙන ලකුණුවලින් සීයට50ක් පාසල් පාදක ඇගයීම්වලින් ලබාදීමට මෙම ප්‍රතිසංස්කරණ මගින් යෝජනා කෙරේ. මෙය බරපතළ තත්වයකි. මේ ලකුණු ටික දෙන්නේ පාසලේ ගුරුවරයා විසිනි. මෙහිදී තමන්ට ඕනෑ ඕනෑ ආකාරයට ලකුණු දීමේ හැකියාවක් ගුරුවරයාට ලැබේ. දක්ෂ දරුවා වෙනුවට කිසියම් බලපෑමක් මත අදක්ෂ දරුවෙකු ඉදිරියට ගැනීමේ ඉඩක් විවර වෙයි. රාජකීය විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය ගතහොත් පාසල් දෙකේ ශිෂ්‍යත්ව කඩයිම වෙනස් වෙන්නේ ලකුණකින් දෙකකිනි. මේ ආකාරයට ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුවහොත් රාජකීය විදුහලට යෑමට දරුවා ආනන්ද විද්‍යාලයට නැත්නම් ඊට වඩා අඩු ලකුණු කඩයිමක් තිබෙන පාසලකට යන තැනට වැඩ කිරීමේ හැකියාව ගුරුවරයාට ලැබේ. එමෙන්ම පහළ මට්ටමක ඉන්න දරුවෙකු රාජකීය හෝ විශාකා මට්ටමට ඔසවා තබන්නට ද මේ ඇගයීම් ක්‍රියාවලිය හරහා ගුරුවරයාට හැකි වේ.

විශ්වවිද්‍යාලය ප්‍රවේශයේ දී උසස් පෙළ හරහා ද මේ ගැටලුවම ඇතිවේ. මේ ප්‍රතිසංස්කරණ හරහා අපේ තියෙන හොඳම දේ අපට අහිමි වේ යැයි මා පවසන්නේ ඒ නිසාය.

ගුරුවරුන් තම වෘත්තියෙහි නිවැරදිව නිරත වේ නම් තම යුතුකම හරියට ඉටුකරනවා නම් එවැනි වාතාවරණයක් ඇති නොවේ යැයි කිසිවෙකු හට කිව හැකිය. යථාර්ථය එය නොවේ.

අප ජීවත් වන්නේ සෑම ක්ෂේත්‍රයකම දූෂණය, වංචාව හා අල්ලස රජ කරන රටකය. මෙය ලොව නම් දැරූ දූෂිත දේශයකි. ඒ ඇත්ත අප අකමැත්තෙන් වුවද පිළිගත යුතුය. අනෙකුත් සැම වෘත්තියකම එවැනි පිරිහීමක් ඇති විට ගුරුවරුන් පමණක් අවංක, අව්‍යාජ, දෑ හිතකාමී ශාන්තුවරුන් වේයැයි සිතිය නොහැක.

දරුවන්ට විභාගවලින් අනවශ්‍ය පීඩනයක් ඇතිවී තිබෙන බව නිතර මතුවෙන චෝදනාවකි. අධ්‍යාපන ඇමතිවරිය ද නිතර ඒ බව සඳහන් කරයි. මේ නව ක්‍රියාවලියෙන් එම පීඩනය ඉවත් වන බව ද ප්‍රකාශ කෙරේ.

පවතින ක්‍රමයෙහි එවැනි ගැටලුවක් ඇති බව අප පිළිගත යුතුය. ඊට පිළියමක් යෝජනා විය යුතු බවට විවාදයක්ද නැත. මේ ප්‍රතිසංස්කරණවල ද ඒ පීඩනය අඩු කිරීම සඳහා ප්‍රතිපාදන නොමැත. එය තවත් වැඩිවීම නම් සිදු වෙයි. නව නිර්දේශ අනුව දරුවා 3 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වාම අඛණ්ඩ ඇගයීම් කළ යුතුවේ. අර තරම්‍ පිළිගැනීමක් නැතත්‍ අඛණ්ඩ ඇගයීම් යනු ද එක්තරා විභාගයකි. 

උදාහරණයක් ගතහොත් දැන් පවතින ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට ලොකු පීඩනයකි. එම දරුවෝ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් 3 ශ්‍රේණියේ පටන් 5 ශ්‍රේණිය දක්වා අවුරුදු දෙකහමාරක් අඛණ්ඩ ඇගයීම් කරති.

පීඩනය වැඩිය කියන්නේ එයටය. අලු‍ත් වැඩපිළිවෙළ අනුව සිදු වෙන්නේ 3 සිට 5 දක්වා කළ දේ උසස් පෙළ දක්වාම අඛණ්ඩව පවත්වාගෙන යාමකි. විෂයක් දෙකක් පමණක් නොව විෂය 15කට පමණ උසස් පෙළ දක්වා අඛණ්ඩ ඇගයීම් කිරීමට දරුවන්ට සිදු වෙයි. පීඩනය අඩු කිරීමේ යෝජනාවෙන් කර ඇත්තේ පීඩනය දහස් ගුණයකින් වැඩි කිරීමය.

ටියුෂන්වලට තල්ලුවක්

අලු‍ත් අධ්‍යාපන ක්‍රමය යටතේ ටියුෂන් අහෝසි වෙන බවක් ඇඟවුවද සිදුවනු ඇත්තේ ටියුෂන් තව තවත් බලවත් වීමය.

පෙරටත් වඩා පිරිවැයක් අමතරව දැරීමට දෙමව්පියන්ට සිදුවනු ඇත. එය සිදු වෙන්නේ මෙසේය. ටියුෂන් මගින් දැන් සිදු වෙන්නේ දරුවා විභාගය සඳහා සූදානම් කිරීම පමණි. එහිදී අමතර ඉගැන්වීම්, ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම, පෙරහුරු විභාග පැවැත්වීම වැනි දේවල් විභාග ඉලක්ක කරගෙන සිදු වෙයි.

ටියුෂන් ගුරුවරයා විසින් දරුවන් වෙනුවෙන් විභාගය කර දුන්නේ නැත. නව අධ්‍යාපන ක්‍රමය අනුව ඉදිරියේ දී එයද සිදුවිය හැක. අඛණ්ඩ ඇගයීම් සඳහා අවශ්‍ය දේවල් ඉදිරියේ දී මුද්‍රණය කර විකිණිය හැකිය. 

ඒ හරහා ටියුෂන් ගුරුවරයාගේ ආදායම් මාර්ග තවත් තරවීමේ බඩක් පවතී. විභාග ප්‍රතිඵල ඒ ආකාරයට මුදලට ලබා ගැනීමේ ප්‍රවණතා ඇතිවිය හැක. උසස් පෙළ දරුවන්ගේ ව්‍යාපෘතියට සිදු වුණු දේ අපි දනිමු. එය ප්‍රසිද්ධියේම මුදලට ගත හැකි තැන්ද තිබිණ. මෙය ඊටත් එහාට යයි.

මෙම නව ප්‍රතිසංස්කරණ ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය තියෙන ෆින්ලන්ත අධ්‍යාපන ආකෘතිය අනුව සකස් වූ බව පැවසුව ද එහි පදනමක් නැත. ෆින්ලන්තය සහ ශ්‍රී ලංකාව යනු රටවල් දෙකකි. ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය මෙරටට ගෙනවා නම් පළමුව කළ යුත්තේ ලංකාවත් ෆින්ලන්තයක් කිරීමය. ඒ නිසා ඒවා හුදු ප්‍රකාශ පමණි.

ලෝකයත් සමග බැලු‍ විට චීනය, දකුණු කොරියාව වැනි රටවල පවතින්නේ ද අපේ රටේ විභාග ක්‍රමයට බෙහෙවින් සමාන විභාග ක්‍රමයකි. ඒ විභාග ඉතාම තරගකාරී විභාග වේ. දක්ෂයන් තෝරාගැනීම සහ දක්ෂයන් ඉදිරියට රැගෙන යාම සඳහා ඒ රටවල් මේ තරඟ විභාග ක්‍රමය සාර්ථකව යොදා ගනියි.

අධ්‍යාපනය ඉතා ඉහළ මට්ටමක ඇතැයි කියන නවසීලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් ගතහොත් ඒවායේ නිශ්චිත ජාතික විභාග ක්‍රමවේදයක් නැත. ඒ රටවල පෞද්ගලික පාසල් සහ රජයේ පාසල් ගත් විට ලොකු වෙනසක් පවතී. පාසල් අනුව විභාගවල ගුණාත්මක බව වෙනස් වෙයි. සමහර විට එක විශ්වවිද්‍යාලයක් පිළිගන්නා පාසල් සහතිකයක් තවත් විශ්වවිද්‍යාලයක් මගින් ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තිබේ.

ඒ අතින් ගත් විට දේශීය සාමාන්‍ය පෙළ විභාගයට සහ උසස් පෙළ විභාගයට ඉහළ වටිනාකමක් පිළිගැනීමක් අපට තිබේ. පාසල අනුව, ප්‍රදේශය අනුව, මාධ්‍ය අනුව එය වෙනස් නොවේ.

එපමණක් නොව විශ්වසනීත්වය, විනිවිදභාවය මෙන්ම තරාතිරම හෝ අනෙකුත් බලපෑම්වලින් තොරව දක්ෂයන් ඉස්මතුවීමේ හැකියාව දේශීය විභාගවල තිබේ. ඒ අතින් ගත් විට ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව අපේ විභාගවලට උසස් ප්‍රමිතියක් පවතී.
අධ්‍යාපන ප්‍රතිසංකරණ යෝජනා ගෙන එන්නට පෙර අප අවධානයට යොමු කළ යුතු ඉසව් ගණනාවක් තිබේ. රාජ්‍ය යාන්ත්‍රණය ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් අක්‍රමිකතා, අල්ලස්, දූෂණ හා වංචාවෙන් තොරව උසස් විනයකින් ක්‍රියාත්මක වීම සිදුවෙන තුරු මොනම ප්‍රතිසංකරණ ක්‍රියාවලියක්වත් නිවැරදිව කළ නොහැක. ප්‍රතිසංස්කරණ කළ යුත්තේ රටේ භූගෝලීය වෙනස්කම්, සංස්කෘතීන්, උපසංස්කෘතීන් මෙන්ම සම්ප්‍රදායන් ගැන අවබෝධයක් ඇතිවය.

යටිතල පහසුකම්

ලෝකය තාක්ෂණයෙන් ඉදිරියට ගොස් ඇතත් අප ඉන්නා තැන ගැන අවබෝධයක් අපට තිබිය යුතුය. විශේෂයෙන්ම යටිතල පහසුකම් ගැන දැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍ය වේ.

උදාහරණයක් ගත හොත් ජනවාරියේ 6 වන ශේණිය අලු‍ත් නිර්දේශය අනුව ඉගැන්වීම ආරම්භ වූයේ නම් ජනවාරිය වෙද්දී ලංකාවේ සියලු පාසල්වලට අන්තර්ජාල පහසුකම් ලබාදී තිබිය යුතුය. ලංකාවේ සෑම පාසලකම 6 ශ්‍රේණිය සුහුරු පන්තියක් විය යුතුය.

නමුත් එසේ සිදුවී නැත එයින් අදහස් වෙන්නේ නව ක්‍රමය ප්‍රායෝගික නැති බවය. අපි අපේ මට්ටම හඳුනාගෙන අපේ මට්ටමින් කළ හැකි දේ පමණක් කළ යුතුය. දැනට රටක් විදියට අප ඉන්න තැන ගැන බැලු‍ව හොත් අපට තව සෑහෙන කාලයකට මේ යන විභාග ක්‍රමයේම යන්නට සිදුවේ. 

අපේ රටේ විදුලිය විසන්ධි වුණොත් එදාට අන්තර්ජාලයත් නැත. විදුලිය නැත්නම් සන්නිවේදන කුලුනු වැඩ නොකරයි. දිට්වා නිසා තවමත් සමහර ප්‍රදේශවල විදුලිය සහ සන්නිවේදන පහසුකම් නැත.

රටේ තියෙන සම්පත්වලින් වැඩ කරන්න පුලු‍වන් මට්ටමේ අලු‍ත් දේවල් එකතු කරනු මිස කොහේ හරි රටක තියෙන දේ ගෙඩිය පිටින් ගැනීම වැරදිය. අපේ රටේ 

වාතාවරණය දෙස බැලු‍ව හොත් දැනට නම් සුදුසු වන්නේ මෙතෙක් පැවත ආ විභාග ක්‍රමය දිගටම පවත්වාගෙන යාමය.මක්නිසාද සිංහල, ඉංග්‍රීසි, දෙමළ යන කවර මාධ්‍යයෙන් ලිව්ව ද විභාග ප්‍රතිඵලය එකමය. කොළඹ දරුවාටත් මහියංගනේ දරුවාටත් භේදයකින් තොරව තරඟ විභාග ජයගත හැකිය.

ජාතික පාසලක් වුණත් ගමේ පාසලක් වුණත්, ජාත්‍යන්තර පාසලක වුණත් දේශීය විභාගයන්හි දී ලබන ප්‍රතිඵලය එක හා සමානය. සංශෝධන අවශ්‍ය නමුත් ඒ සඳහා නව මානයන් සොයාගත යුතු වෙයි. ඒවා කඩිමුඩියේ කළ යුතු නැත. සෙමින් හා ඉවසීමෙන් යුතුව වෙනස්කම් සිදුකළ යුතුය. එය සියලු‍ දරුවන්ට පහසුවෙන් අනුගත විය හැකි වෙනසක් විය යුතුය.