
රටේ ආර්ථික තත්ත්වය කොහොම ද? හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි.
රටේ දැවැන්තම ආර්ථික අර්බුදය ඇතිවෙච්ච වෙලාවේ මුදල් රාජ්‍ය ඇමැති ධුරය බාරගත් ඔබ දැන් දේශපාලනිකව නිහඬයි. මොකක් ද හේතුව?
පිළිතුර:- උත්තර දෙන්න අමාරුම ප්‍රශ්නයක්. රටට අමාරුම වෙලාවේ අපි අපේ වගකීම ඉටු කළා. ඒක බොහොම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ වෙලාවේ රටේ දේශපාලන ස්ථාවරත්වයයි, සමාජයීය ස්ථාවරත්වයයි, ආර්ථික ස්ථාවරත්වයයි මුළුමනින්ම බිඳවැටිලා තිබුණේ. මහා ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණයවෙලා තිබ්බේ. ඒ සියල්ලටම හේතු වුණේ ආර්ථිකයේ ඇතිවෙච්ච බිඳවැටීම. හැබැයි, අපි ක්‍රමානුකූලව ඉවසීමෙන්, අභියෝගය හඳුනාගනිමින් ආවේගශීලි නොවී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, අනෙකුත් ණය හිමි රටවල් සමග විශ්වාසය දිනාගනිමින් කටයුතු කළා. ඒ වගේම ඒ වෙනකොට අවුරුදු 20 කට කලින් කළ යුතුව තිබුණ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරලා ඉතාම අසීරුවෙන් රටේ ආර්ථික තත්ත්වය ස්ථාවර තත්ත්වයට පත් කළා.
එහෙම කරලත් ඇයි නිහඬ වුණේ?
පිළිතුර :- අපි කොහොම කළත් ජනතාව තීරණය කළා වෙන කණ්ඩායමකට බලය දෙන්න ඕනෑ කියලා. ඒ ජනතාවගේ තීරණයට ඉතාම නිහතමානීව හිස නැමීමක් තමයි සිදුකළේ.
ඔබ නිහඬයි කියලා පෙන්නුවත් යටින් දේශපාලන කටයුතුවල යෙදෙනවා?
පිළිතුර:- මෙහෙමයි. මම බලාගෙන ඉන්නවා. මොකද ජනතාව ලබා දුන්නේ අසීමිත බලයක්. ඒ අසීමිත බලය මේ කණ්ඩායම කොහොම ද රටේ ජනතාවගේ යහපතට යොදවන්නේ කියලා බලාගෙන ඉන්නවා. අපි කකුලෙන් අදින්න යන්නේ නෑ. අනවශ්‍ය සැක සංකා මතු කරන්න යන්නේ නෑ. ජනතාව එතරම්ම බලයක් දුන්නට පස්සේ ඒ බලය ක්‍රියාත්මක කරන්න ඒ අයට අපි බාධාවක් නොවිය යුතුයි.
අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. එදාටත් වඩා දැඩි අර්බුදකාරී තත්ත්වයක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. මේ තත්ත්වය හරියට කළමනාකරණය කරගත්තොත් ඒක ලැබුණු ජනවරමට ගෞරවයක් වේවි.
පොහොට්ටුව ආණ්ඩු කාලේ කැපී පෙනුණ තරුණ මන්ත්‍රීවරුන් වන ඔබ, කංචන විජේසේකර. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, කනක හේරත් මේ ඔක්කොම නිහඬයි. ඔයගොල්ලෝ කතා වෙලාද මේ නිහඬ වෙලා ඉන්නේ?
පිළිතුර:- නෑ.... එහෙම කතා වෙලා නොවෙයි. අපි එකිනෙකා අතර තිබුණ සම්බන්ධකම් ඒ විදියටම පවත්වාගෙන යනවා. අපේ අවශ්‍යතාවක් නැවත රටට අවශ්‍ය වුණොත්, රටට අපි කරපු දේ හරියි කියන එක පිළිබඳව අවබෝධයක් ඇවිල්ලා යම් පසුබිමක් හැදුණොත් ඒ ඕනැම වෙලාවක වගකීම් බාරගන්න සූදානම්. මේ වනතෙක් ජනතාව අපි ගැන විශ්වාසය තබලා නෑ.
නමුත් අපි එදා ගත්තු තීන්දු කිසිම දේශපාලනඥයෙක් ගන්නේ නැති තීන්දු. එදා තිබුණ ඒ පාර්ලිමේන්තුවට මොන ආකාරයේ විවේචනයක් එල්ල වුණත්, ඒ පාර්ලිමේන්තුවේ හොඳ නරක දෙකම තියෙන්න ඇති. නමුත් ඒ පාර්ලිමේන්තුවේ මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට සහයෝගය නොලැබුණා නම් මේ රටේ ආර්ථිකය ගැන කතා කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නෑ.
2022 තත්ත්වය එහෙම නම් තවදුරටත් දරුණු වෙනවා. අපි කරපු ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ කෙටිකාලීනව ප්‍රතිඵල ගේන්නේ නෑ කියලා අපි දැනගෙන හිටියා. අවුරුදු දෙක තුනකට පස්සේ තමයි ප්‍රතිඵල එන්නේ. හැබැයි, අවුරුදු දෙක තුනකට පස්සේ හරි ප්‍රතිපල අරගෙන එන්න පුළුවන් වෙන්නේ ඒ ප්‍රතිසංස්කරණ ක්‍රමානුකූලව ඉදිරියට අරගෙන ගියොත් විතරයි.
පාර්ලිමේන්තුව තුළ නීතියක් බවට පත් කිරීම පමණකින්ම මේ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල එන්නේ නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන එයාකාරයෙන්ම අනුගමනය කළත් බලාපොරොත්තු වෙන ආර්ථිකයේ ප්‍රගතියක් ඇති වෙන්නේ නෑ. කොහොම වුණත් මම දැනගෙන හිටියා ඒ කරපු අමාරු කාර්ය වෙනුවෙන් නිසි ගෞරවය ලැබෙන්නේ නෑ කියලා.
ඔබ එහෙම හිතුවේ?
පිළිතුර:- බෙහෙත තිත්තයි. නමුත් ඒ දුෂ්කර බෙහෙතේ කළ කාර්යභාරය සම්බන්ධයෙන් මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා.
ජනාධිපතිවරයා හා ආණ්ඩුව තමන්ගේ ධුර කාලයෙන් සියයට 50 ක් ගෙවලා අවසානයි. ඒ නිසා ආණ්ඩුව විශේෂයෙන්ම කරන්න ඕනෑ ආර්ථික අර්බුදයකට යළිත් නොයා සිටීමට කටයුතු කිරීමයි.
ඒ කාලේ ඔබේ ආණ්ඩුව අයි.එම්.එෆ්. යනකොට විපක්ෂයේ හිටපු මාලිමාව කිව්වේ ‘ඒක උගුලක්’ කියලයි. හැබැයි, අද මාලිමා ආණ්ඩුව යන්නේ ඒ පාරෙමයි. ඔබලා ආණ්ඩුව ඒ උගුලේ හිර කළා ද?
පිළිතුර:- මෙහෙමයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැම ප්‍රශ්නයකම පිළිතුරක් නොවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටේ ආර්ථික ස්ථාවරත්වය ගොඩනැගීම සඳහා පදනම වගේම ජාත්‍යන්තර හා දේශීය විශ්වාසය ගොඩනැගීමට හේතුවෙලා තියෙනවා. හැබැයි, ඒක ආර්ථිකයේ එක කොටසක් පමණයි.
කවුරු හරි හිතනවා නම් අයි.එම්.එෆ්. එකේ වැඩසටහන පමණයි රටේ ආර්ථිකය ගොඩනැගුවේ කියලා ඒකේ සත්‍යතාවක් නෑ. එදා විපක්ෂයේ හිටපු අද ආණ්ඩු කරන කණ්ඩායම දිගටම කිව්වේ අයි.එම්.එෆ්. එකට ගිහින් ගොඩ ගිය රටක් නෑ කියලා. අයි.එම්.එෆ්. එකටම බාරදීලා අපට පැත්තකට වෙලා ඉන්න බෑ. අයි.එම්.එෆ්. හයිය අරගෙන ඒ අය දෙන විශ්වාසයේ ශක්තිය අරගෙන අපේ කොටස් අපි කරන්න ඕනෑ. ඒක තමයි රටක ආර්ථික කළමනාකරණය කිරීම කියන එකෙන් අදහස් කරන්නේ. අභ්‍යන්තර හරි බාහිර හරි කම්පනයක් ඇති නොවන අවස්ථාවල කරන කළමනාකරණය නොවෙයි.
ආර්ථිකය කළමනාකරණය කරනවා කියන්නේ බාහිර හා අභ්‍යන්තර කම්පනවලට මුහුණ දීලා ඒක කළමනාකරණය කිරීමයි. අපි කළේ ඒක. ඒ වෙලාවේ බාහිර වගේම අභ්‍යන්තර කම්පන තිබුණා. අපි ඒවා නිදහසට කරුණක් කරගත්තේ නෑ. කළ යුතු දේ නිවැරැදිව කළා.
සමහරු කිව්වා ‘මේ ආණ්ඩුවට පළපුරුද්දක් නෑ. එල්බෝඩ් කණ්ඩායමක්’ කියලා. ආණ්ඩුවේ ගමන් මග ගැන ඔබේ තක්සේරුව කොහොම ද?
පිළිතුර:- ජනාධිපතිවරයා හා ආණ්ඩුව තමන්ගේ ධුර කාලයෙන් සියයට 50 ක් ගෙවලා අවසානයි. ඒ නිසා ආණ්ඩුව විශේෂයෙන්ම කරන්න ඕනෑ ආර්ථික අර්බුදයකට යළිත් නොයා සිටීමට කටයුතු කිරීමයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ඒ කාලයේ හිටපු රජයේ නිලධාරීන් ඉහළම කැපකිරීමක් කළා. ඒ අයගෙන් බොහොමයක් තාම ඉන්නවා. ඒ නිලධාරීන්ගේ අත්දැකීම් අරගෙන කටයුතු කළොත් අපට මේ තියෙන ගෝලීය තත්ත්වය තුළත් රටේ ආර්ථිකය රැකගන්න පුළුවන්. හැබැයි මම හිතනවා මීට වඩා ධෛර්යයක් රටේ ආර්ථිකය කළමනාකරණයට යොදවන්න ඕනෑ කියලා. මොකද ආර්ථිකය කළමනාකරණය කිරීමේදී මුදල් අමාත්‍යාංශයත්, බලශක්ති අමාත්‍යාංශයත් ඉතාම වැදගත් වෙනවා. මේ දෙකේ ක්‍රියාකාරිත්වය සමස්ත රටටම බලපානවා. ඒ ගැන වැඩි අවධානයක් යොමු කිරීම වඩාත් යෝග්‍යයි කියලයි මගේ අදහස.
මාලිමාව තරම් වංචා දූෂණවලට එරෙහිව කතා කරපු පක්ෂයක් මේ රටේ නෑ. මේ ආණ්ඩුවට මාස 18 ක් ගතවෙනකොට විවිධ වංචා දූෂණ එල්ල වෙනවා. මේ ගැන ඔබේ අදහස?
පිළිතුර:- අපේ ආණ්ඩුවලටත් චෝදනා තිබුණා. ඒ චෝදනාවලදී මගේ මතක අතීතය තුළ කැබිනට් ඇමැතිවරයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළා. ඒ ඇමැතිවරයාට බන්ධනාගාරගත වෙන්න සිදුවුණා. ඒ වගේම රටේ අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් --- විශාල වශයෙන් චෝදනා එල්ල වුණා.
ඒ නිසා තමයි අපි අලුත් නීති පද්ධතියක් මේ රටට හඳුන්වා දුන්නේ. අල්ලස් හෝ දූෂණ පනත් කෙටුම්පත අපේ ආණ්ඩුවේ නිර්මාණයක්. මේ ආණ්ඩුව අල්ලසට දූෂණයට එරෙහිව විපක්ෂයේ සිටියදී කටයුතු කළ ආකාරයටම දැනුත් ක්‍රියා කිරීම යෝග්‍යයයි. චෝදනා එල්ල වෙලා තියෙනවා නම් ඒවායේ වගවීම අරගෙන ආණ්ඩුව කටයුතු කළ යුතුයි.
පළාත් සභා මැතිවරණය පවත්වන්න වෙන් කරපු මුදල් දිට්වා අරමුදලට යොමු කළ නිසා පළාත් සභා ඡන්දය තියන්න බෑ කියලා ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා කිව්වා. ඔබ හිටපු මුදල් රාජ්‍ය ඇමැති. එහෙම කරන්න පුළුවන් ද?
පිළිතුර:- අපේ රට ලෝකයේ දියුණු රටවල් මට්ටමට අරගෙන යන්න අවශ්‍ය නීති පද්ධතිය සම්පාදනය කිරීමේ ගෞරවය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හිමිවිය යුතුයි. ඒක අවිවාදාත්මකයි. මම දැනට කිසිම පක්ෂයක් සමග සම්බන්ධ වෙලා දේශපාලනය නොකළාට ඒ ඇති කරපු හැම නීති පද්ධතියක්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු මුළු ජාත්‍යන්තරයත් එක්කම සාකච්ඡා කරලා ඇති කරගත්ත ඒවා. ඒ කියන්නේ අල්ලස් හෝ දූෂණ පනත් කෙටුම්පත, රාජ්‍ය සේවා කළමනාකරණ පනත් කෙ!ත. ණය කළමනාකරණ පනත් කෙටුම්පත පනත් වගේම ආණ්ඩුව අනුගමනය නොකළත් ආර්ථික පරිවර්තන පනත විශේෂයි.
ඒ පනත අනුගමනය කළා නම් අද තියෙන අර්බුදවලට මීට වඩා හොඳින් මුහුණ දීමේ හැකියාව ලැබෙනවා. අයවැය කළමනාකරණය කිරීමේදී පාර්ලිමේන්තුවට තමයි බලය තියෙන්නේ කොහොමද මුදල් වෙන් කරන්නේ කියලා.
මගේ ප්‍රශ්නය වුණේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම ගැනයි.
පිළිතුර:- මැතිවරණ පැවැත්වීම ඉතාම හොඳයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කාලේ පළාත් පාලන මැතිවරණය කල් දැම්මා. ඒක කල්දාන්න අපට සිදුවුණා. මොකද ඒ මොහොතේ රටේ ආර්ථිකයේ ඇතිවෙච්ච ගැඹුරු අර්බුදය නිසා. හැබැයි ඒ ඡන්දය කල් දැම්මා කියලා ඊළඟ ඡන්දය අපි දිනුවේ නෑනේ. මට මතකයි 2018 දී පළාත් පාලන මැතිවරණය කල්දාන්න යහපාලන ආණ්ඩුව කටයුතු කළා. හැබැයි ඊළඟ මහා මැතිවරණයේදී යහපාලන ආණ්ඩුව ජයග්‍රහණය කළේ නෑ. මේ පූර්වාදර්ශ ආණ්ඩුව හරියට කියවාගත යුතුයි.
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

